40වෙනි පරිච්ඡේදය
දෙවිව සතුටු කරන්න පුළුවන් කොහොමද?
දෙවිව සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? මොනවා හරි දීලා දෙවිව සතුටු කරන්න පුළුවන්ද?— ‘වනයේ ඉන්න සතුන්ව අයිති මටයි’ කියලත් ‘රිදී මාගේය, රන්ද මාගේය’ කියලත් යෙහෝවා දෙවි කියලා තියෙනවා. (ගීතාවලිය 24:1; 50:10; හග්ගයි 2:8) ඒත් අපිට පුළුවන් දෙවිට දෙයක් දෙන්න. ඒ මොකක්ද?—
යෙහෝවා දෙවිට සේවය කරනවාද නැද්ද කියලා තීරණය කරන්න දෙවි අපිට නිදහස දීලා තියෙනවා. දෙවි කැමති දේ කරන්න දෙවි අපිට බල කරන්නේ නැහැ. දෙවිට සේවය කරනවාද නැද්ද කියලා අපිටම තීරණය කරන්න පුළුවන් විදිහට දෙවි අපිව නිර්මාණය කළේ ඇයි කියලා අපි බලමු.
රොබෝ යන්ත්‍ර ගැන ඔයා අහලා ඇති. ඒවා හදන්නේ ඒවා හදපු කෙනාට ඕන විදිහට වැඩ කරන්නයි. කරන්න ඕන මොකක්ද කියලා තීරණය කරන්න ඒවාට බැහැ. ඕන නම් දෙවිටත් තිබුණා අපිව ඒ විදිහට හදන්න. ඒත් දෙවි එහෙම කළේ නැහැ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?— රොබෝ යන්ත්‍ර වගේ හදලා තියෙන සෙල්ලම් බඩු තියෙනවා. බොත්තමක් එබුවාම ඒක හදපු කෙනාට ඕන දේ ඒකෙන් වෙනවා. ඒ වගේ සෙල්ලම් බඩු ඔයා දැකලා තියෙනවාද?— ටික කාලයක් ගියාම අපිට ඒවා එපා වෙනවා. දෙවි කැමති නැහැ අපි රොබෝ යන්ත්‍රයක් වගේ දෙවිට කීකරු වෙනවා දකින්න. දෙවිට ඕනෙ දෙවි ගැන තියෙන ආදරේ නිසා අපි කැමැත්තෙන්ම දෙවිට කීකරු වෙනවා දකින්නයි.
යෙහෝවා දෙවි අපිව මේ රොබෝ යන්ත්‍රය වගේ හැදුවේ නැත්තේ ඇයි?
අපි කැමැත්තෙන්ම දෙවිට කීකරු වෙද්දී දෙවිට කොහොම හිතෙයිද?— ඔයා හැසිරෙන විදිහ ඔයාගේ දෙමාපියන්ට බලපාන්නේ කොහොමද?— බයිබලයේ මෙහෙම කියනවා. ‘ප්‍රඥාවන්ත පුතෙක් තමන්ගේ තාත්තාව සතුටු කරනවා. ඒත් අඥාන පුතෙක් තමන්ගේ අම්මාට දුකක් දෙනවා.’ (හිතෝපදේශ 10:1) අම්මායි, තාත්තායි කියන දේට ඔයා කීකරු වෙද්දී එයාලා සතුටු වෙනවා නේද?— හැබැයි ඔයා අකීකරු වෙද්දී එයාලාට කොහොමද හිතෙන්නේ?—
යෙහෝවා දෙවිවත් ඔයාගේ දෙමාපියන්වත් සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
යෙහෝවා දෙවි ගැන ටිකක් හිතන්න. දෙවිව සතුටු කරන්න නම් අපි කරන්න ඕන මොනවාද කියලා දෙවි කියලා තියෙනවා. හිතෝපදේශ 27:11 කියන මේ දේ බලන්න. ‘මගේ පුතේ, මට නින්දා කරන කෙනාට උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට ඔයා ප්‍රඥාවන්තව වැඩ කරලා මගේ හිත සතුටු කරන්න.’ නින්දා කරනවා කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද?— නින්දා කරන කෙනෙක් ඔයාට සමච්චලේට හිනා වෙයි, නැත්නම් ඔයා කරන්නම් කියපු දෙයක් ඔයාට කරන්න බැහැ කියලා කියයි. සාතන් යෙහෝවා දෙවිට නින්දා කළේ කොහොමද?—
මතකනේ, අපි 8වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා කැපිලා පේන්න කැමති වුණු සාතන්ට හැමෝගෙම නමස්කාරය ලබාගන්න ඕන වුණා කියලා. මිනිසුන් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ ඒකෙන් සදාකාල ජීවිතය ලැබෙන නිසා කියලයි සාතන් කියන්නේ. ආදම්වයි ඒවවයි දෙවිට අකීකරු වෙන්න පෙලඹුවාට පස්සේ සාතන් දෙවිට අභියෝග කළා. එයා දෙවිට මෙහෙම කිව්වා. ‘මිනිසුන් ඔබට සේවය කරන්නේ ඔබගෙන් ලැබෙන දේවල් නිසා විතරයි. මට අවස්ථාවක් දුන්නොත් ඕනම කෙනෙක්ව ඔබට නමස්කාර කරන එකෙන් වළක්වන්න මට පුළුවන්.’
ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණාට පස්සේ සාතන් දෙවිට අභියෝග කළේ කොහොමද?
ඒ වචන ඒ විදිහටම බයිබලයේ සඳහන් වෙලා නැහැ. හැබැයි යෝබ්ගේ සිද්ධිය ගැන කියවද්දී තේරෙනවා සාතන් ඒ වගේ දෙයක් දෙවිට කියලා තියෙනවා කියලා. යෝබ් දෙවිට විශ්වාසවන්තව ඉඳියිද නැද්ද කියන එක දෙවිටත් සාතන්ටත් වැදගත් දෙයක් වුණා. මොකද වුණේ කියලා අපි දැන් යෝබ් පොතේ මුල් පරිච්ඡේද දෙකෙන් බලමු.
දේවදූතයන් දෙවි ළඟට ආපු වෙලේ සාතනුත් එතැන හිටියා කියලා පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඒ වෙලාවේ යෙහෝවා දෙවි සාතන්ගෙන් ඇහුවා ‘ඔයා ආවේ කොහේ ඉඳලාද’ කියලා. සාතන් කිව්වේ පොළොවේ හැම තැනකටම ගියා කියලයි. එතකොට දෙවි එයාගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයා මගේ සේවකයෙක් වන යෝබ්ව දැක්කාද? එයා වැරදි දේවල් කරන්නේ නැහැ.’—යෝබ් 1:6-8.
ඒ වෙලාවෙම සාතන් මෙහෙම කිව්වා. ‘යෝබ් ඔබට නමස්කාර කරන්නේ එයාට කිසිම දෙයකින් අඩුවක් නැති නිසයි. ඔබේ රැකවරණයත් ආශීර්වාදත් නැති කළොත් එයා ඔබට ශාප කරයි.’ යෙහෝවා දෙවි උත්තර දුන්නේ මෙහෙමයි. ‘ඔයාට කැමති දෙයක් එයාට කරලා බලන්න. හැබැයි එයාගේ ජීවිතයට මුකුත් කරන්න එපා.’—යෝබ් 1:9-12.
සාතන් මොනවාද කළේ?— එයා යෝබ්ගේ ගොනුන්වත් කොටළුවන්වත් හොරකම් කරන්න සලස්වලා උන්ව බලාගත්ත අයවත් මැරුවා. ඊටපස්සේ අහසින් ගිනි එවලා බැටළුවන්වත් එඬේරුන්වත් මැරුවා. ඔටුවන්වත් හොරකම් කරන්න සලස්වලා උන්ව බලාගත්ත අයවත් මැරුවා. අන්තිමේදී ලොකු හුළඟක් එවලා යෝබ්ගේ දරුවන් හිටිය ගේ සමතලා කළා. ඒකෙන් දරුවන් 10දෙනාම මැරුණා. ඒ කිසිම දෙයක් නිසා යෝබ් දෙවිට සේවය කරන එක නතර කළේ නැහැ.—යෝබ් 1:13-22.
සාතන්ව ආපහු මුණගැහුණාම යෙහෝවා දෙවි එයාට කිව්වා යෝබ් තාමත් විශ්වාසවන්තව ඉන්නවා කියලා. එතකොට සාතන් කිව්වේ ‘යෝබ්ගේ ශරීරයට පහර දෙන්න ඔබ මට ඉඩ දුන්නොත් යෝබ් ඔබට ශාප කරයි’ කියලයි. ඒ නිසා දෙවි ඒකටත් අවසර දුන්නා. හැබැයි යෝබ්ව මරන්න එපා කියලා දෙවි කිව්වා.
යෝබ් විඳදරාගත්තේ මොනවාද? දෙවි ඒ ගැන සතුටු වුණේ ඇයි?
සාතන් යෝබ්ගේ ඇඟේ කුෂ්ඨ හැදෙන්න සැලැස්සුවා. ඒකෙන් ආපු ගඳ නිසා කවුරුත් එයා ළඟට යන්න කැමති වුණේ නැහැ. එයාගේ බිරිඳ කිව්වා ‘දෙවිට ශාප කරලා මැරෙන්න’ කියලා. යෝබ්ගේ යාළුවන් එයාට කිව්වේ ඒ හැම දෙයක්ම වුණේ යෝබ් අතින් වුණු වරදක් නිසා කියලයි. සාතන් කොච්චර පීඩා කළත් යෝබ් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා.—යෝබ් 2:1-13; 7:5; 19:13-20.
ඒ ගැන යෙහෝවා දෙවිට කොහොම හිතෙන්න ඇද්ද?— දෙවි හුඟක් සතුටු වුණා. මොකද ඒකෙන් යෙහෝවා දෙවිට පුළුවන් වුණා ‘යෝබ් මට සේවය කරන්නේ කැමැත්තෙන්මයි’ කියලා සාතන්ට කියන්න. ඔයාටත් පුළුවන්ද යෝබ් වගේ වෙන්න? ඒ කියන්නේ යෙහෝවා දෙවිට පුළුවන්ද ඔයාව පෙන්නලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න?— දෙවිගේ සේවකයන්ව දෙවිගෙන් ඈත් කරන්න පුළුවන් කියලා සාතන් කිව්ව දේ බොරුවක් කියලා ඔප්පු කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව ඇත්තටම වරප්‍රසාදයක්. යේසුස් ඒක වරප්‍රසාදයක් විදිහට සැලකුවා.
වරදක් කරන්න යේසුස්ව පොලඹවන්න සාතන් කොච්චර උත්සාහ කළත් යේසුස් අහු වුණේ නැහැ. යේසුස් ගැන එයාගේ තාත්තා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! යෙහෝවා දෙවිට පුළුවන් වුණා යේසුස්ව පෙන්වලා සාතන්ට මෙහෙම කියන්න. ‘මගේ පුතා දිහා බලන්න. එයා මට හුඟක් ආදරේ නිසා අන්තිමය දක්වාම මට විශ්වාසවන්තව හිටියා.’ තාත්තාගේ හිත සතුටු කරන්න ලැබෙන එක ගැන යේසුස් කොච්චර සතුටු වෙන්න ඇද්ද! ඒ සතුට නිසා තමයි යේසුස්ට පුළුවන් වුණේ වධකණුවේ මැරුණු මොහොත වෙන කල්ම විඳදරාගන්න.—හෙබ්‍රෙව් 12:2.
ඔයාත් කැමතිද යේසුස් කළා වගේ යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන්න?— එහෙමනම් යෙහෝවා දෙවි කැමති ඔයා මොනවා කරනවාටද කියන එක ගැන දිගටම ඉගෙනගන්න. ඒ දේවල් කරලා දෙවිගේ හිත සතුටු කරන්න.
දෙවිගේ හිත සතුටු කරන්න යේසුස් කළේ මොනවාද කියලත් අපිට කරන්න පුළුවන් මොනවාද කියලත් දැනගන්න මේ බයිබල් පද කියවලා බලමු. හිතෝපදේශ 23:22-25; යොහන් 5:30; 6:38; 8:28; 2 යොහන් 4.