ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bhs 12 පරි. 124-134 පි.
  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්
  • බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • කියවන්න බයිබලයේ ඉගැන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ව ආරක්ෂා කරනවා
  • සාතන් මිනිසුන් ගැන කරපු චෝදනාව
  • සාතන් යෝබ්ට පීඩා කරයි
  • සාතන් ඔයා ගැනත් චෝදනා කරනවා
  • යෙහෝවා දෙවියන් දීපු නීතිවලට කීකරු වෙන්න
  • යෙහෝවා දෙවියන් ඇලුම් කරන දේට ඇලුම් කරන්න
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිව සතුටු කරන්න පුළුවන් කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝබ් විඳදරාගත්තේය—එසේ අපටත් හැක!
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
bhs 12 පරි. 124-134 පි.

12වෙනි පරිච්ඡේදය

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්

1, 2. යෙහෝවා දෙවියන්ගේ යාළුවන් අතරේ හිටියේ කවුද?

ඔයාගේ හොඳ යාළුවෙක් විදිහට ඔයා තෝරාගන්න ආස මොන වගේ කෙනෙක්වද? ඔයාත් එක්ක පෑහිලා වැඩ කරන්න පුළුවන්, අවංක, කරුණාවන්ත කෙනෙක්ව නේද?

2 යෙහෝවා දෙවියනුත් ඔහුගේ යාළුවන් විදිහට සමහර මිනිසුන්ව තෝරාගන්නවා. ආබ්‍රහම් ඒ වගේ කෙනෙක්. (යෙසායා 41:8; යාකොබ් 2:23) දෙවියන් දාවිත්ව ‘මාගේ සිත සතුටු කරන කෙනෙක්’ කියලත් දානියෙල්ව “බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්” කියලත් හැඳින්නුවා.—ක්‍රියා 13:22; දානියෙල් 9:23.

3. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ව, දාවිත්ව, දානියෙල්ව යාළුවන් කරගත්තේ ඇයි?

3 යෙහෝවා දෙවියන් එයාලව යාළුවන් කරගත්තේ ඇයි? දෙවියන් ආබ්‍රහම්ට කිව්වා ‘ඔබ මගේ හඬට සවන් දුන්නා’ කියලා. (උත්පත්ති 22:18) ඒකෙන් පේන්නේ යෙහෝවා දෙවියන්ට කීකරු වෙන අයව ඔහු යාළුවන් කරගන්නවා කියලයි. ඔහු පුද්ගලයන්ව විතරක් නෙවෙයි, මුළු ජාතියක්වම වුණත් යාළුවන් කරගෙන තියෙනවා. යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් ජාතියට කිව්වා “මාගේ හඬට කීකරු වන්න. ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි. ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි” කියලා. (යෙරෙමියා 7:23) දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඕනෙ නම් ඔයාත් දෙවියන්ට කීකරු වෙන්න ඕනේ.

යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ව ආරක්ෂා කරනවා

4, 5. යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ව ආරක්ෂා කරන්නේ කොහොමද?

4 අපිට යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම කඩන්න සාතන් බලන් ඉන්නවා. ඒත් දෙවියන්ට ඕනෙ අපිව ආරක්ෂා කරන්න. (ගීතාවලිය 55:22 කියවන්න.) ඔහු ඒක කරන එක විදිහක් තමයි ඔහුගේ බලය අපිට දෙන එක. ඔහුට ‘පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය දෙමින් ඔවුන්ට උපකාර කරන්න’ ඔහු ආසාවෙන් ඉන්නවා. (2 ලේකම් 16:9) දෙවියන් ඔහුගේ යාළුවන්ව ආරක්ෂා කරන තව විදිහක් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතාවලිය 32:8.

5 යෙහෝවා දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න නම් අපිත් මුළු හදවතින්ම ඔහුට ආදරේ කරන්න ඕනේ. මොන පීඩා ආවත් ඔහුව අත්හරින්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට අපිටත් පුළුවන් ‘දෙවියන් මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි’ කියලා විශ්වාසෙන් කියන්න. (ගීතාවලිය 16:8; 63:8) සාතන් යෙහෝවා දෙවියන් එක්ක තියෙන අපේ යාළුකම කඩන්න හදන්නේ කොහොමද කියලා බලමු.

සාතන් මිනිසුන් ගැන කරපු චෝදනාව

6. සාතන් මිනිසුන් ගැන චෝදනා කරන්නේ මොනවා කියලාද?

6 යෙහෝවා දෙවියන් බොරුකාරයෙක් කියලත් අසාධාරණ පාලකයෙක් කියලත් සාතන් චෝදනා කරපු විදිහ අපි 11වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. යෙහෝවා දෙවියන්ගේ යාළුවන් වෙන්න කැමති අය ගැනත් සාතන් චෝදනා කරනවා. එයාලා දෙවියන්ගේ යාළුවන් වෙලා ඉන්නේ දේවල් ගන්න මිසක් දෙවියන්ට ආදරේ නිසා නෙවෙයි කියලා සාතන් චෝදනා කරනවා. ඒ නිසා ඕනම කෙනෙක්ව දෙවියන්ගෙන් ඈත් කරන්න එයාට පුළුවන් කියලත් එයා කියනවා. දෙවියන්ගේ යාළුවෙක් වුණු යෝබ් ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද? දෙවියන් එයාව ආරක්ෂා කළේ කොහොමද?

7, 8. (අ) යෙහෝවා දෙවියන් යෝබ් ගැන කිව්වේ මොනවාද? (ආ) සාතන් යෝබ් ගැන කිව්වේ මොනවාද?

7 යෝබ් ජීවත් වුණේ මීට අවුරුදු 3,600කට විතර කලින්. ඒ කාලේ එයා තරම් හොඳ කෙනෙක් හිටියේ නැහැ කියලා යෙහෝවා දෙවියන් කිව්වා. එයා දෙවියන්ට ගරුබිය දක්වපු නරක දේවල් පිළිකුල් කරපු කෙනෙක්.—යෝබ් 1:8.

8 ඒත් යෝබ් දෙවියන්ගේ යාළුවෙක් වෙලා ඉන්නේ වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් කියපු සාතන් දෙවියන්ට මෙහෙම කිව්වා. “ඔබ ඔහුගේ නිවස හා ඔහු සතු සියල්ල වටා ආරක්ෂක පවුරක් දමා තිබෙනවා නොවේද? ඔහු කරන සෑම දෙයකටම ඔබ ආශීර්වාද කර ඇත. ඔහුගේ සත්ව රැළ දේශය පුරා පැතිර තිබෙන්නේ ඒ නිසයි. එහෙත් දැන් ඔහුට විරුද්ධව ඔබේ බලය පාවිච්චි කර ඔහුට අයිති සියල්ල විනාශ කර දමන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.”—යෝබ් 1:10, 11.

9. යෙහෝවා දෙවියන් සාතන්ට ඉඩ දුන්නේ මොනවා කරන්නද?

9 යෝබ්ව දෙවියන්ගෙන් ඈත් කරන්න පුළුවන් කියලත් සාතන් කිව්වා. එහෙම වෙන්නේ නැහැ කියලා දැනගෙන හිටියත් යෙහෝවා දෙවියන් යෝබ්ට පීඩා කරන්න සාතන්ට අවසර දුන්නා. ඒකෙන් තමන් ඇත්තටම දෙවියන්ට ආදරේද නැද්ද කියලා ඔප්පු කරන්න යෝබ්ට අවස්ථාවක් ලැබුණා.

සාතන් යෝබ්ට පීඩා කරයි

10. සාතන් යෝබ්ට පීඩා කළේ කොහොමද, යෝබ් කළේ මොනවාද?

10 සාතන් මිනිසුන්ව යොදාගෙන යෝබ්ට අයිති සතුන්ගෙන් කොටසක් හොරකම් කළා. ඉතිරි කොටස මැරුවා. සේවකයන්වත් මැරුවා. කුණාටුවක් ගෙනල්ලා යෝබ්ගේ දරුවන් 10දෙනාවත් මැරුවා. ඒත් යෝබ් දෙවියන්ව අත්හැරියේ නැහැ. ‘මේ සියල්ල සිදු වුණාට පසුවත් යෝබ් වචනයකින්වත් පව් කළේ නැහැ. දෙවිට දොස් පැවරුවෙත් නැහැ.’—යෝබ් 1:12-19, 22.

යෝබ් එයාගේ බිරිඳ එක්කත් දරුවන් 10දෙනා එක්කත් සතුටින් ජීවත් වෙමින්

යෝබ් විශ්වාසවන්තව හිටිය නිසා යෙහෝවා දෙවියන් එයාට ආශීර්වාද කළා

11. (අ) ඊළඟට සාතන් යෝබ්ට කළේ මොනවාද? (ආ) යෝබ් ඒකට මුහුණ දුන්නේ කොහොමද?

11 සාතන් දෙවියන්ට කිව්වා ‘යෝබ්ගේ ශරීරයට පහර දෙන්න, එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න’ කියලා. ඒ නිසා දරුණු රෝගයකින් යෝබ්ට පහර දෙන්න දෙවියන් සාතන්ට ඉඩ දුන්නා. (යෝබ් 2:5, 7) ඒත් යෝබ් කිව්වේ “මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” කියලයි.—යෝබ් 27:5.

12. සාතන් බොරුකාරයෙක් කියලා යෝබ් ඔප්පු කළේ කොහොමද?

12 සාතන්ගේ චෝදනා ගැනවත් තමන් පීඩා විඳින්නේ ඇයි කියලවත් යෝබ් දැනන් හිටියේ නැහැ. එයා හිතුවේ හැම පීඩාවක්ම ගේන්නේ දෙවියන් කියලයි. (යෝබ් 6:4; 16:11-14) ඒත් එයා දෙවියන්ව අත්හැරියේ නැහැ. ඒකෙන් එයා පෙන්නුවා එයා යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙලා ඉන්නේ ඔහුට තියෙන ආදරේට මිසක් වාසි ප්‍රයෝජන ගන්න නෙවෙයි කියලා. ඒකෙන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු වුණා.

13. දෙවියන්ට විශ්වාසවන්තව හිටිය නිසා යෝබ්ට ලැබුණේ මොනවාද?

13 යෝබ් දැනන් හිටියේ නැහැ පීඩා ගෙනාවේ සාතන් කියලා. ඒත් එයා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටිය නිසා සාතන් මොන තරම් නපුරු කෙනෙක්ද කියලා ඔප්පු වුණා. යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවාට ගොඩක් ආශීර්වාද කළා.—යෝබ් 42:12-17.

සාතන් ඔයා ගැනත් චෝදනා කරනවා

14, 15. අපි එක් එක් කෙනා ගැන සාතන් කරන චෝදනාව මොකක්ද?

14 අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන බලාගෙන කියලා සාතන් අපි ගැනත් චෝදනා කරනවා. සාතන් කිව්වේ “මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි” කියලයි. (යෝබ් 2:4) “මිනිසෙකු” කියපු එකෙන් අපිත් ඒ චෝදනාවට සම්බන්ධයි කියලා සාතන් පෙන්නුවා. යෝබ් මැරිලා අවුරුදු ගාණක් ගෙවිලා තිබුණත් සාතන් අදටත් දෙවියන්ගේ යාළුවන් ගැන චෝදනා කරලා දෙවියන්ට නින්දා කරනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න” කියලා යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 27:11.

15 යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහුගේ යාළුවෙක් වෙන්න තීරණයක් ගත්තොත් ඔයාටත් පුළුවන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න. ඒක කරන්න ඔයාගේ ජීවිතේ ලොකු වෙනස්කම් කරන්න වෙයි. ඒත් ඒක තමයි ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය. ඒක සැහැල්ලුවට ගන්න බැහැ. මොකද ප්‍රශ්න එද්දී ඔයා දෙවියන්ව අත්හරිනවා කියලයි සාතන් චෝදනා කළේ. අපිව දෙවියන්ගෙන් ඈත් කරන්න ඔහු හුඟක් උපක්‍රම යොදනවා.

16. (අ) මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් පාවිච්චි කරන්නේ මොන උපක්‍රමද? (ආ) ඔයාව දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් මොන වගේ උපක්‍රම පාවිච්චි කරයිද?

16 එක උපක්‍රමයක් තමයි ඔයාට ප්‍රහාර එල්ල කරන එක. “යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි” කියලා බයිබලයේ කියනවා. (1 පේතෘස් 5:8) බයිබලය ඉගෙනගෙන, හරි දේ කරන්න උත්සාහ කරද්දී ඔයාගේ යාළුවෝ, පවුලේ අය ඒක නවත්වන්න කියලා ඔයාට බල කරයි. ඒක සාතන්ගෙන් ඔයාට එන ප්‍රහාරයක් කියලා ඔයාට දැනෙයි.a (යොහන් 15:19, 20) තව උපක්‍රමයක් තමයි සාතන් “ආලෝකය ලබා දෙන දූතයෙකු” වගේ පෙනී ඉඳලා ඔයාව රවට්ටන එක. (2 කොරින්ති 11:14) ඒ කියන්නේ හරි දේ වැරදියි කියලත් වැරදි දේ හරියි කියලත් පෙන්වලා අපිව වැරදි දෙයක් කරන්න පොලඹවන්න සාතන් උත්සාහ කරනවා. තව උපක්‍රමයක් තමයි දෙවියන්ට නමස්කාර කරන්න අපි වටින්නේ නැහැ කියන හැඟීම ඇති කරලා දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න හදන එක.—හිතෝපදේශ 24:10.

යෙහෝවා දෙවියන් දීපු නීතිවලට කීකරු වෙන්න

17. අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?

17 දෙවියන්ට කැමැත්තෙන්ම කීකරු වෙලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න අපිට පුළුවන්. කීකරු වෙන්න උදව් වෙන්නේ මොනවාද? බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.” (ද්විතීය කතාව 6:5) අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්නේ ඔහුට ආදරේ නිසයි. ආදරේ වැඩි වෙද්දී ඔහු කියන හැම දේම කරන්න අපිට ලොකු ආසාවක් ඇති වෙනවා. ‘දෙවිට ප්‍රේම කරනවා කියන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමයි. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නෙවෙයි’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—1 යොහන් 5:3.

18, 19. (අ) යෙහෝවා දෙවියන් කරන්න එපා කියලා තියෙන්නේ මොන වගේ දේවල්ද? (ආ) දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන ඕනෙම දෙයක් අපිට කරන්න පුළුවන් කියලා දන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවියන් කරන්න එපා කියලා තියෙන්නේ මොන වගේ දේවල්ද? ඒවා කීපයක් “යෙහෝවා දෙවියන්ට පිළිකුල් දේවල්” කියන කොටුවේ තියෙනවා. සමහර දේවල් ඒ තරම් නරක නැහැනේ කියලා ඔයාට හිතෙයි. ඒත් එතන තියෙන බයිබල් පද කියවලා ඒ ගැන හිතුවොත් ඒ නීතිවලට කීකරු වෙන එකේ වැදගත්කම ඔයාට තේරෙයි. ජීවිතේ සමහර දේවල් වෙනස් කරගන්න ඕනෙ කියලත් ඔයාට හිතෙයි. ඒක අමාරු වුණත් එහෙම කරනවා නම් ලොකු සාමයක්, සතුටක් අද්දකින්න පුළුවන්. (යෙසායා 48:17, 18) ඒ වෙනස්කම් කරගන්න පුළුවන් වෙයිද?

19 අපිට කරන්න බැරි දෙයක් යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන්නේ නැහැ. (ද්විතීය කතාව 30:11-14) අපි ගැන අපිටත් වඩා දන්නේ ඔහුයි. අපේ හොඳ පැතිත් දුර්වල පැතිත් ඔහු දන්නවා. (ගීතාවලිය 103:14) අපිට ඇති වෙන වැරදි පෙලඹීම් ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.” (1 කොරින්ති 10:13) ඒ නිසා හරි දේ කරන්න ශක්තිය දෙවියන් දෙනවා කියලා ස්ථීරයි. පීඩා, වැරදි පෙලඹීම් එද්දී ඔහු අපිට “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙනවා. (2 කොරින්ති 4:7) ඒ වගේ උදව් ලබපු කෙනෙක් තමයි පාවුල්. එයා කිව්වා “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියලා.—ෆිලිප්පි 4:13.

යෙහෝවා දෙවියන් ඇලුම් කරන දේට ඇලුම් කරන්න

20. දෙවියන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද, ඒක කරන්න ඕනෙ ඇයි?

20 යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න නම් ඔහු එපා කියන දේවල් නොකර ඉන්න එක විතරක් මදි. (රෝම 12:9) ඔහු කැමති දේවලට ලොකු ආශාවක් ඇති කරගන්නත් ඕනේ. දෙවියන් කැමති දේවල් ගීතාවලිය 15:1-5 (කියවන්න.) සඳහන් වෙනවා. යෙහෝවා දෙවියන්ගේ යාළුවන් ඔහුව ආදර්ශයට අරගෙන “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” වගේ ගුණාංග එයාලගේ ජීවිතයෙන් පෙන්වනවා.—ගලාති 5:22, 23.

21. දෙවියන් කැමති ගුණාංග පෙන්වන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

21 ඒ වගේ ලස්සන ගුණාංග, ආකල්ප පෙන්වන්න ඔයාට ඉගෙනගන්න පුළුවන් කොහොමද? නිතිපතා බයිබලය කියවලා, ඒකේ තියෙන දේවල් අධ්‍යයනය කරලා යෙහෝවා දෙවියන් කැමති මොනවාටද කියලා දැනගන්න. (යෙසායා 30:20, 21) එහෙම කරනවා නම් දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරය වැඩි වෙයි. එතකොට ඔහුට කීකරු වෙන්න ඔයාට තියෙන ආසාවත් වැඩි වෙයි.

22. යෙහෝවා දෙවියන්ට කීකරු වෙද්දී සතුට වැඩි වෙන්නේ කොහොමද?

22 ජීවිතයේ වෙනස්කම් කරගන්න එක හරියට පරණ ඇඳුමක් ගලවලා අලුත් ඇඳුමක් ඇඳගන්නවා වගෙයි. “පරණ පෞද්ගලිකත්වය” වෙනස් කරලා “අලුත් පෞද්ගලිකත්වයක්” ඇති කරගන්න කියලා බයිබලයේ කියනවා. (කොලොස්සි 3:9, 10) ඒක ලේසි නැති වුණත් එහෙම කරද්දී දෙවියන් අපිට හුඟක් “ආශීර්වාද” කරනවා. (ගීතාවලිය 19:11) ඒ නිසා යෙහෝවා දෙවියන්ට කීකරුව ඉඳලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න ඔයත් අධිෂ්ඨානයක් ගන්න. අනාගතයේදී ලැබෙන ආශීර්වාද නිසා නෙවෙයි යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ නිසා ඔහුට නමස්කාර කරන්න. එතකොට ඔයාටත් පුළුවන් යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න.

a ඒත් හැම වෙලේම සාතන් එයාලගේ පිටිපස්සේ ඉඳන් එයාලව පොලඹවනවා කියන්න බැහැ. “මේ සමාජයේ දෙවියා” සාතන්. “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්.” ඒ නිසා සාතන්ගේ පාලනය යටතේ ඉන්න අය එහෙම කරන එක පුදුමයක් නෙවෙයි.—2 කොරින්ති 4:4; 1 යොහන් 5:19.

යෙහෝවා දෙවියන්ට පිළිකුල් දේවල්

  • මිනී මැරීම

    නික්මයාම 20:13; 21:22, 23

  • අනාචාරය

    ලෙවී කතාව 20:10, 13, 15, 16; රෝම 1:24, 26, 27, 32; 1 කොරින්ති 6:9, 10

  • භූතවාදය

    ද්විතීය කතාව 18:9-13; 1 කොරින්ති 10:21, 22; ගලාති 5:20, 21

  • රූප වන්දනාව

    1 කොරින්ති 10:14

  • බේබදුකම

    1 කොරින්ති 5:11

  • සොරකම

    ලෙවී කතාව 6:2, 4; එෆීස 4:28

  • බොරු කීම

    හිතෝපදේශ 6:16, 19; කොලොස්සි 3:9; එළිදරව් 22:15

  • කෑදරකම

    1 කොරින්ති 5:11

  • දරුණු ක්‍රියා

    ගීතාවලිය 11:5; හිතෝපදේශ 22:24, 25; මලාකි 2:16; ගලාති 5:20, 21

  • ඕපාදූප සහ නරක වචන

    ලෙවී කතාව 19:16; එෆීස 5:4; කොලොස්සි 3:8

  • ලේ ගැනීම සහ දීම

    උත්පත්ති 9:4; ක්‍රියා 15:20, 28, 29

  • පවුලේ අයට ඕන දේවල් නොදී ඉන්න එක

    1 තිමෝති 5:8

  • යුද්ධ සහ දේශපාලනය

    යෙසායා 2:4; යොහන් 6:15; 17:16

  • දුම් බීම සහ මත්ද්‍රව්‍ය

    මාක් 15:23; 2 කොරින්ති 7:1

සාරාංශය

1වෙනි ඉගැන්වීම: යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ඔහුට කීකරු වෙනවා

“මාගේ හඬට කීකරු වන්න. ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි. ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”—යෙරෙමියා 7:23

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න අපිට පුළුවන්ද?

  • උත්පත්ති 22:18; යාකොබ් 2:23

    ආබ්‍රහම්ගේ කීකරුකම සහ විශ්වාසය නිසා දෙවියන් ඔහුව තමන්ගේ යාළුවෙක් විදිහට සැලකුවා.

  • 2 ලේකම් 16:9

    යෙහෝවා දෙවියන්ට කීකරු වෙනවා නම් ඔහු අපිට උදව් කරනවා.

  • ගීතාවලිය 25:14; 32:8

    යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ට වටහාගැනීමේ හැකියාව දෙනවා.

  • ගීතාවලිය 55:22

    යෙහෝවා දෙවියන් ඔහුගේ යාළුවන්ව අතහරින්නේ නැහැ.

2වෙනි ඉගැන්වීම: යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වුණු යෝබ් දිගටම විශ්වාසවන්තව හිටියා

“මේ සියල්ල සිදු වූ පසුත් යෝබ් වචනයකින්වත් පව් කළේ නැත. දෙවිට දොස් පැවරුවේද නැත.”—යෝබ් 1:22

සාතන් යෝබ්ට පීඩා කළෙත් යෝබ් ඒකට මුහුණ දුන්නෙත් කොහොමද?

  • යෝබ් 1:10, 11

    යෝබ් දෙවියන්ට ආදරේ නැති ආත්මාර්ථකාමී කෙනෙක් කියලා සාතන් කිව්වා.

  • යෝබ් 1:12-19; 2:7

    යෝබ්ගේ හැම දේම නැති කරන්න යෙහෝවා දෙවියන් සාතන්ට ඉඩ දුන්නා. සාතන් යෝබ්ට දරුණු අසනීපයකිනුත් පීඩා කළා.

  • යෝබ් 27:5

    එච්චර දුක් පීඩා ඇති වෙන්න හේතුව යෝබ් දැනගෙන හිටියේ නැතත් එයා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා.

3වෙනි ඉගැන්වීම: සාතන් උත්සාහ කරන්නේ ඔයාව යෙහෝවා දෙවියන්ගෙන් ඈත් කරන්න

‘මිනිසෙකු තම ජීවිතය බේරාගන්න තමා සතු සියල්ල වුවත් පරිත්‍යාග කරයි.’—යෝබ් 2:4

දෙවියන් එක්ක තියෙන බැඳීම සාතන් කඩන්න හදන්නේ කොහොමද?

  • 2 කොරින්ති 11:14

    සාතන් හදන්නේ අපිව රවට්ටලා දෙවියන් අකමැති දෙයක් අපි ලවා කරවන්නයි.

  • හිතෝපදේශ 24:10

    යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න තරම් අපි වටින්නේ නැහැ කියලා පෙන්වන්නයි සාතන් උත්සාහ කරන්නේ.

  • 1 පේතෘස් 5:8

    සාතන් අපිට හුඟක් පීඩා කරනවා.

  • හිතෝපදේශ 27:11

    කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහුගේ හොඳ යාළුවෙක් වෙන්න. එතකොට සාතන් බොරුකාරයෙක් වෙනවා.

4වෙනි ඉගැන්වීම: අපි යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්නේ ඔහුට ආදරේ නිසයි

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.”—1 යොහන් 5:3

යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද?

  • ද්විතීය කතාව 6:5

    දෙවියන්ට මුළු හිතින්ම ආදරේ කරන්න. ඔහුට කීකරු වෙන්න ඒක ඔයාට උදව් වෙයි.

  • යෙසායා 48:17, 18

    යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න. ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ඔයාටමයි.

  • ද්විතීය කතාව 30:11-14

    ඔයාට කරන්න බැරි දෙයක් දෙවියන් කවදාවත් ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ කියන විශ්වාසයෙන් ඉන්න.

  • ෆිලිප්පි 4:13

    හරි දේ කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවියන් දෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න