ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 46 පරි. 238-243 පි.
  • ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • නෝවාගේ නැව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අතීතයෙන් අනතුරු ඇඟවීමක්
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • නෝවා විශාල නැවක් හදයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 46 පරි. 238-243 පි.

46වෙනි පරිච්ඡේදය

ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?

අනිත් අය ලෝක විනාශය ගැන කතා වෙනවා ඔයාට ඇහිලා තියෙනවාද?— හුඟක් අය ඒ ගැන කතා වෙනවා. සමහර අය හිතනවා න්‍යෂ්ටික බෝම්බවලින් මුළු ලෝකයම විනාශ වෙයි කියලා. මේ ලස්සන පොළොව විනාශ කරන්න දෙවි මිනිසුන්ට ඉඩ දෙයි කියලා ඔයාට හිතෙනවාද?—

බයිබලයේ ලෝක විනාශය ගැන කියනවා. ‘ලෝකය පහ වෙලා යනවා’ කියලයි ඒකේ කියන්නේ. (1 යොහන් 2:17) ලෝක විනාශයෙන් අදහස් වෙන්නේ මුළු පොළොවම විනාශ වෙනවා කියන එකද?— නැහැ. දෙවි මේ පොළොව හැදුවේ ‘මිනිසුන්ගේ වාසය සඳහා’ කියලා බයිබලයේ තියෙනවා. (යෙසායා 45:18) ගීතාවලිය 37:29 මෙහෙම කියනවා. ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා. ඒ අය සදාකාලයටම ජීවත් වෙනවා.’ ඒ නිසා තමයි පොළොව සදහටම පවතිනවා කියලත් බයිබලයේ තියෙන්නේ.—ගීතාවලිය 104:5; දේශනාකාරයා 1:4.

එහෙමනම් ඇත්තටම ලෝක විනාශයේදී සිද්ධ වෙන්නේ මොනවාද?— නෝවාගේ කාලෙදී වුණු දේ ගැන හොඳට කල්පනා කළොත් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. බයිබලයේ කියන්නේ ‘ඒ කාලේ තිබුණු ලෝකය ජලගැල්මකට අහු වෙලා විනාශ වෙලා ගියා’ කියලයි.—2 පේතෘස් 3:6.

නෝවාගේ කාලයේදී ඇති වුණු ඒ ජලගැල්මෙන් කවුරු හරි බේරුණාද?— බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘දෙවි තමන්ට කිසි ගෞරවයක් පෙන්නුවේ නැති ලෝකය ජලගැල්මකින් විනාශ කළාම ධර්මිෂ්ඨකම ගැන දේශනා කරපු නෝවාවත් තවත් හත්දෙනෙක්වත් ආරක්ෂා කළා.’—2 පේතෘස් 2:5.

නෝවා, එයාගේ පවුලේ අය සහ සත්තු නැවෙන් එළියට ආවට පස්සේ අහසේ දේදුන්නක් පායලා තියෙනවා

නෝවාගේ දවස්වල විනාශ වුණු ලෝකය මොකක්ද?

එහෙමනම් ඒ විනාශයෙන් ඇත්තටම විනාශ වුණේ මේ පොළොවද නැත්නම් නරක මිනිසුන්ද?— බයිබලයේ කියන්නේ ‘දෙවිට කිසි ගෞරවයක් පෙන්නුවේ නැති’ මිනිසුන් විනාශ වුණා කියලයි. බයිබලයේ නෝවාව හඳුන්වලා තියෙන්නේ ‘දේශනා කළ කෙනෙක්’ විදිහට. එයා දේශනා කරන්න ඇත්තේ මොනවා ගැනද?— නෝවා අනතුරු ඇඟෙව්වේ ‘ඒ කාලේ තිබුණු ලෝකය’ විනාශ වෙන්න යන එක ගැනයි.

යේසුස් ගෝලයන්ට මහා ජලගැල්ම ගැන කියපු වෙලේ ජලගැල්ම එන්න කලින් මිනිසුන් හැසිරුණු විදිහ ගැන මෙහෙම කිව්වා. ‘ජලගැල්මට කලින් මිනිසුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් හිටියා. ජලගැල්ම ඇවිත් හැමෝවම ගහගෙන යන කල් ඒ අය සිද්ධ වෙන දේවල් ගැන කිසි තැකීමක් කළේ නැහැ.’ ඊටපස්සේ යේසුස් කිව්වා ලෝක විනාශය එන්න කලින් මිනිසුන් ජීවත් වෙන්නේ ඒ විදිහටමයි කියලා.—මතෙව් 24:37-39.

ජලගැල්මට කලින් හිටිය මිනිසුන් ජීවත් වුණු විදිහෙන් අපිටත් පාඩමක් ඉගෙනගන්න පුළුවන් කියලා ඒකෙන් තේරෙනවා. මේ පොතේ 10වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්ත විදිහට ඒ මිනිසුන් කළේ මොනවාද කියලා ඔයාට මතකද?— සමහර මිනිසුන් අනිත් අයට හරිම නපුරු විදිහට සැලකුවා. කිසි කෙනෙක් දෙවි නෝවා මාර්ගයෙන් එවපු පණිවිඩයට ඇහුම්කන් දුන්නේ නැහැ කියලයි යේසුස් කිව්වේ.

දවසක් යෙහෝවා දෙවි නෝවාට කිව්වා පොළොවේ ඉන්න නපුරු මිනිසුන්ව ජලගැල්මකින් විනාශ කරනවා කියලා. ඒ ජලගැල්ම නිසා කඳුත් වැහෙන තරමටම පොළොවේ වතුර පිරෙයි. ඒ නිසා ලොකු නැවක් හදන්න කියලා යෙහෝවා දෙවි නෝවාට කිව්වා. 238වෙනි පිටුවේ පින්තූරෙන් පේන විදිහට ඒ නැව හරියට දිග පෙට්ටියක් වගෙයි.

දෙවි නෝවාට කිව්වා එයාගේ පවුලේ අයවයි, සත්තු හුඟදෙනෙක්වයි දාන්න පුළුවන් වෙන විදිහට ඒක හදන්න කියලා. ඒ නැව හදන්න නෝවාත් එයාගේ පවුලේ අයත් හුඟක් මහන්සි වුණා. ලොකු ගස් කපලා ඒ ලොකු නැව හදන්න අවුරුදු ගාණක්ම ගියා.

නැව හදපු කාලේ නෝවා කරපු තවත් දෙයක් ඔයාට මතකද?— එන්න යන ජලගැල්ම ගැන එයා මිනිසුන්ට අනතුරු අඟවමින් දේශනා කළා. ඒත් කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. නෝවාගේ පවුලේ අය විතරයි ඒක පිළිගත්තේ. අනිත් අය එයාලාගේ එදිනෙදා වැඩ කරගෙන හිටියා. එයාලා මොනවා කරමින් හිටියා කියලාද යේසුස් කිව්වේ?— එයාලා කමින්, බොමින්, විවාහ වෙමින් හිටියා. ජීවත් වෙන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා හිතුවේවත් නෝවාට ඇහුම්කන් දුන්නේවත් නැහැ. ඒ නිසා එයාලාට වුණේ මොනවාද කියලා අපි බලමු.

නෝවාත් පවුලේ අයත් නැවට ඇතුල් වුණාට පස්සේ යෙහෝවා දෙවි දොර වැහුවා. ඒත් ජලගැල්මක් එයි කියලා මිනිසුන් විශ්වාස කළේ නැහැ. හැබැයි එකපාරටම වහින්න පටන්ගත්තා. ඒක නම් මහා වැස්සක්. මුළු පොළොවම වතුරෙන් යට වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. යෝධ ගස් ගහගෙන ගියේ හරියට තණකොළ ගස් වගෙයි. ලොකු ගල් පෙරළුණේ හරියට පොඩි ගල් කැට වගෙයි. එළියේ හිටිය මිනිසුන්ට මොකද වුණේ?— යේසුස් කිව්වේ ‘ජලගැල්ම ඇවිත් ඒ හැමෝවම ගහගෙන ගියා’ කියලයි. ඒ හැමෝම මැරුණා. ඇයි?— යේසුස් කියපු විදිහටම ඒ අය ‘කිසි තැකීමක් කළේ නැහැ.’ එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ.—මතෙව් 24:39; උත්පත්ති 6:5-7.

මුහුදු වෙරළක ළමයි සෙල්ලම් කරමින්

සෙල්ලම් කරන එක ගැන විතරක් හිතන එක හොඳ නැත්තේ ඇයි?

මතකයි නේද, යේසුස් කිව්වේ එයාලාට වුණු දෙයින් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන් කියලයි. මොකක්ද ඒ?— ඒ මිනිසුන් විනාශ වුණේ එයාලා නරක අය වුණු නිසා විතරක්ම නෙවෙයි. දෙවි ගැනත් දෙවි කරන්න යන දේ ගැනත් ඉගෙනගන්නවාට වඩා එයාලා වැඩි අවධානයක් දුන්නේ එයාලාගේ වැඩකටයුතුවලටයි. එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනෙ නේද?—

දෙවි ආයෙත් ජලගැල්මකින් මේ පොළොව විනාශ කරයිද?— නැහැ. එහෙම කරන්නේ නැහැ කියලා දෙවි පොරොන්දු වුණා. ඒ ගැන දෙවි කිව්වේ මෙහෙමයි. ‘මම වලාකුළු අතරේ මගේ දේදුන්න තියනවා. ආයේ කවදාවත් පොළොවේ ජීවත් වෙන හැමෝවම ජලගැල්මකින් විනාශ කරන්නේ නැති බවට ඒ දේදුන්න ලකුණක්.’—උත්පත්ති 9:11-17.

ඒ නිසා දෙවි ආයෙත් පොළොව ජලගැල්මකින් විනාශ කරන්නේ නැහැ කියලා අපිට සහතික වෙන්න පුළුවන්. හැබැයි ලෝක විනාශයක් ගැන බයිබලයේ තියෙනවා. දෙවි ඒ විනාශයෙන් කාව බේරයිද?— දෙවි ගැන ඉගෙනගන්නවාට වඩා වෙන දේවලට අවධානය දීපු අයව බේරයිද? බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කාලය ගත්තේ නැති අයව බේරයිද? ඔයාට මොකක්ද හිතෙන්නේ?—

අපි කැමති දෙවි බේරන අය පැත්තේ ඉන්න නේද?— අපේ පවුලේ අයටත් නෝවාගේ පවුලේ අය වගේ වෙලා විනාශයෙන් ගැලවෙන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳයිද නේද?— විනාශයෙන් බේරෙන්න නම් දෙවි විනාශය ගේන්නේ කොහොමද කියලත් ධර්මිෂ්ඨකම රජයන කාලයක් ගේන්නේ කොහොමද කියලත් තේරුම්ගන්න ඕනේ. දෙවි ඒ දේ කරන්නේ කොහොමද කියලා අපි බලමු.

දානියෙල් 2:44 තියෙන දෙයින් ඒක පැහැදිලි වෙනවා. ඒකේ තියෙන දේ අදාළ වෙන්නේ මේ කාලයට. එතැන මෙහෙම කියනවා. ‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ වෙන්නේ නැති රාජ්‍යයක් පිහිටුවනවා. ඒක වෙන සෙනඟක් අතට පත් වෙන්නේ නැහැ. ඒ රාජ්‍යය අනිත් හැම රාජ්‍යයක්ම පොඩි කරලා නැති කරලා දානවා. ඒක සදහටම පවතිනවා.’

ඔයාට ඒක තේරුණාද?— බයිබලයේ කියන්නේ දෙවිගේ ආණ්ඩුව මිනිස් ආණ්ඩු ඔක්කොම විනාශ කරනවා කියලයි. ඒ ඇයි?— ඒ එයාලා දෙවි පත් කරලා තියෙන රජට කීකරු වෙන්නේ නැති නිසයි. ඒ රජ කවුද?— යේසුස් ක්‍රිස්තුස්!

යේසුස් සහ ඔහුගේ ස්වර්ගික හමුදාව පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ට හර්-මගෙදොන් යුද්ධයේදී විනාශ කරනවා

දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් හර්–මගෙදොන් යුද්ධයේදී දුෂ්ට අයව විනාශ කරනවා

තියෙන්න ඕනෙ මොන වගේ ආණ්ඩුවක්ද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට. ඒ ආණ්ඩුවේ රජ විදිහට දෙවි, යේසුස්ව තෝරලා තියෙනවා. ළඟදීම යේසුස් ක්‍රිස්තුස් මේ ලෝකයේ තියෙන හැම ආණ්ඩුවක්ම විනාශ කරනවා. මේ පින්තූරෙත් පෙන්වලා තියෙන විදිහට යේසුස් ඒ දේ කරන්නේ කොහොමද කියලා එළිදරව් 19:11-16 පදවල සඳහන් වෙනවා. මිනිස් ආණ්ඩු විනාශ කරන දෙවිගේ යුද්ධය බයිබලයේ හඳුන්වලා තියෙන්නේ හර්–මගෙදොන් යුද්ධය කියලයි.

පොළොවේ තියෙන ආණ්ඩු විනාශ කරන්නේ දෙවිගේ රාජ්‍යයෙනුයි. හැබැයි ඒ ආණ්ඩු විනාශ කරන්න කියලා දෙවි අපිට කියලා තියෙනවාද?— නැහැ. පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා දාන හර්–මගෙදොන් යුද්ධයට කියන්නේ ‘සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය’ කියලයි. (එළිදරව් 16:14, 16) එහෙමනම් අපිට තේරෙනවා මේක දෙවිගේ යුද්ධයක් කියලා.මේ යුද්ධයට හවුල් වෙන ස්වර්ගයේ ඉන්න දෙවිගේ සේනාවේ අයගේ නායකයා විදිහට වැඩ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්. හර්–මගෙදොන් යුද්ධය ළඟදීම පටන්ගන්නවාද? ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

දෙවි පොළොවේ ඉන්න දුෂ්ට අයව විනාශ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා අපි දැන් බලමු. හිතෝපදේශ 2:21, 22; යෙසායා 26:20, 21; යෙරෙමියා 25:31-33; මතෙව් 24:21, 22.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න