7වෙනි පරිච්ඡේදය
මටත් ලස්සන වෙන්න බැරිද?
ඔයාට නිතරම හිතෙන්නේ ඔයා ලස්සන නැහැ කියලාද?
□ ඔව් □ නැහැ
ප්ලාස්ටික් සැත්කමකින් හරි අසාමාන්‍ය විදිහට කෑම පාලනයෙන් හරි පෙනුම වෙනස් කරගන්න හිතිලා තියෙනවාද?
□ ඔව් □ නැහැ
ඔයාට පුළුවන් නම් ඔයා වෙනස් කරගන්නේ මේවායින් මොනවාද? (ඒවා යටින් ඉරක් ගහන්න.)
උස
ඇඟේ හැඩේ
හමේ පාට
බර
කොණ්ඩේ
කටහඬ
මුල් ප්‍රශ්න දෙකට ‘ඔව්’ කියලත් තුන්වෙනි ප්‍රශ්නෙට දේවල් තුනක් හරි ඊට වැඩි ගාණක් හරි ඔයා ලකුණු කළා නම් ඒකෙන් තේරෙන්නේ ඔයාගේ පෙනුමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලාද? එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද ඔයාගේ පෙනුම හරි නැහැ කියලා ඔයාට හිතුණට අනිත් අයට එහෙම හිතෙන්නේ නැතුව ඇති. ‘මං ලස්සන නැහැ’ කියලා හිතලා ඒ ගැන ඕනෑවට වඩා දුක් වෙන්න ඕනම කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. සමහර තරුණියන් මහත් වෙන්න කොච්චර භයද කියනවා නම් එක සමීක්ෂණයකින් ඔප්පු වුණේ න්‍යෂ්ටික යුද්ධයකට, පිළිකාවකට, අම්මා තාත්තා නැති වෙනවාට වඩා මහත් වෙනවට ඒ අය භයයි කියලයි.
කෙනෙක්ගේ පෙනුම එයාගේ ආත්මවිශ්වාසය වැඩි කරන්න නැත්නම් අඩු කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගේ පෙනුම නිසා අනිත් අය එයාට සලකන විදිහත් වෙනස් වෙන්න පුළුවන්. මරීසා ඒක අද්දැක්කා. දැන් එයාට අවුරුදු 19යි. එයා මෙහෙම කියනවා. “මගේ අක්කලා දෙන්නා හරිම ලස්සනයි. මං විතරයි මහතට හිටියේ. ඒ නිසා ඉස්කෝලේ හැමෝම වගේ මට විහිළු කළා. ඒ මදිවට මගේ නැන්දා මට චබ්බා කියලා නමකුත් දැම්මා. එයාගේ බල්ලාගේ නමත් ඒකමයි. ඌත් බෝල ගෙඩියක් වගෙයි.” දැන් අවුරුදු 16 ඉන්න ජූලියාත් ඒ වගේ දෙයක් අද්දැක්කා. “ඉස්කෝලේ ළමයෙක් කිව්වා මගේ ඉස්සරහා දත් දෙක හරියට හාවෙක්ගේ වගේ කියලා. ඒක එච්චර ලොකුවට හිතන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒත් එයා ඒක කිව්වාට පස්සේ මං ඒ ගැන හිතන්න පටන්ගත්තා. තාමත් මං ඒ ගැන වධ වෙනවා.”
හිතන්න ඒත් ඕනෑවට වඩා එපා
ලස්සනට ඉන්න කැමති නිසා පෙනුම ගැන හිතන එකේ වරදක් නැහැ. බයිබලයෙත් සමහරක් අයගේ පෙනුම ගැන සඳහන් කරලා තියෙනවා. සාරා, රාකෙල්, යෝසෙප්, දාවිත්, අබිගායිල් ඒ අතරින් කිහිපදෙනෙක්. ඒ වගේම අබිෂග් කියන කාන්තාවත් ‘ඉතා රූමත් තරුණියක්’ කියලා බයිබලයේ කියනවා.—1 රාජාවලිය 1:4.
හැබැයි ගොඩක් යෞවන යෞවනියන් ඒගොල්ලන්ගේ පෙනුම ගැන ඕනෑවට වඩා හිතනවා. සමහර අය හිතන්නේ ලස්සනට ඉන්න නම් කෙට්ටුවට ඉන්න ඕනේ කියලයි. එහෙම හිතන්නේ ප්‍රසිද්ධ සඟරාවල එන නිරූපිකාවන් ගොඩක් කෙට්ටු නිසා වෙන්න ඇති. ඒත් ඒ නිරූපිකාවන්ගේ පින්තූර කොම්පියුටර් එකෙන් හදලයි පළ කරන්නේ කියලා එයාලා අමතක කරනවා. ඒ නිරූපිකාවන් කෙට්ටුවට ඉන්නේ කන්නේ බොන්නේ නැතුව හාමතේ ඉන්න නිසා කියලත් එයාලා අමතක කරනවා. ඒ වගේ නිරූපිකාවන්ගේ පෙනුම එක්ක ඔයාගේ පෙනුම සන්සන්දනය කළොත් ඔයාගේ පෙනුම ගැන කවදාවත් සතුටු වෙන්න බැහැ.
ඔයා දකින්නේ වැරදි රූපයක්ද?
ඔයා කවදා හරි ඔයාගේ පෙනුම ලොකු කරලා පෙන්නන නැත්නම් පොඩි කරලා පෙන්නන කණ්ණාඩියකින් බලලා තියෙනවාද? ඒ දෙකෙන්ම පෙන්නන්නේ ඔයාගේ ඇත්ත ස්වරූපයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.
ඒ වගේ තමයි ගොඩක් යෞවනයන්ට ඒගොල්ලන්ගේ පෙනුම ගැන මනසේ ඇඳිලා තියෙන්නේ වැරදි පින්තූරයක්. එක සමීක්ෂණයකිනුත් ඒක ඔප්පු වුණා. ඒකට හවුල් වුණු ගැහැනු ළමයිගෙන් 58%ක්ම හිතුවේ ඒගොල්ලෝ මහතයි කියලයි. හැබැයි ඇත්තටම බර වැඩි අය හිටියේ 17%ක් විතරයි. තවත් සමීක්ෂණයකින් පැහැදිලි වුණ විදිහට කාන්තාවන්ගෙන් 45%ක්ම ඒගොල්ලෝ බර වැඩියි කියලා හිතුවාට ඒගොල්ලන්ට උසට හරි යන බරක් තිබුණේ නැහැ.
සමහර පර්යේෂකයන් කියන්නේ ගැහැනු ළමයි හුඟදෙනෙක් ඒගොල්ලන්ගේ බර ගැන කනස්සලු වුණාට ඇත්තටම එහෙම වෙන්න හේතුවක් නැහැ කියලයි. හැබැයි ඔයා ටිකක් මහත කෙනෙක් නම් ඒ ගැන ඔයා හිතන එක සාධාරණයි. ඔයාගේ ඇඟ මහත් වෙන්න හේතුව මොකක් වෙන්න ඇද්ද?
කෙනෙක්ගේ ඇඟේ හැඩය, තෙල් තැන්පත් වෙන තැන් තීරණය වෙන්නේ ජානවලින්. සමහරවිට ඔයා මහත් වෙන්නෙත් ඔයාගේ ජාන නිසා වෙන්න ඇති. ඒ කියන්නේ ඔයාට උපතින්ම කෙට්ටු, සිහින් සිරුරක් උරුම වෙලා නැහැ. උසට හරි යන බරක් ඔයාට තිබුණට ඔයාව ටිකක් මහතට පේන හේතුව ඒක වෙන්න ඇති. ව්‍යායාම් කරලා, සමබර විදිහට කෑම අරගෙන මහත් වෙන එක තරමකට අඩු කරන්න පුළුවන් වුණත් උපතින් උරුම වෙලා තියෙන ශරීරයේ හැඩය ඔයාට වෙනස් කරන්න බැහැ.
නව යොවුන් වියට එද්දී ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් නිසාත් මහත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙක් නව යොවුන් වියට එද්දී ඇඟේ තියෙන මේද 8% ඉඳලා 22% විතර වෙනකම් වැඩි වෙනවා. හැබැයි කාලයත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒ නිසා තමයි වයස අවුරුදු 11-12 කාලයේ මහතට ඉන්න ගැහැනු දරුවන් යොවුන් වියට ආවාට පස්සේ මහත අඩු වෙලා කියලා පේන්න තියෙන්නේ. සමබර විදිහට කෑම ගන්නේ නැති එකත් ව්‍යායාම නැති එකත් මහත් වෙන්න තවත් හේතුවක්. ඔයා ටිකක් මහත ඒ හේතුව නිසා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
වැඩියත් එපා අඩුවත් එපා
බයිබලයේ කියන්නේ ‘සෑම දෙයකදීම සීමාව දැනගෙන වැඩ කරන්න’ කියලයි. (1 තිමෝති 3:11) ඒ නිසා ඇඟ කෙට්ටු කරගන්න අන්තයටම ගිහින් කෑම පාලනය කරන්න එපා. ඒ වගේම කෑම වේලවල් අතපසු කරන්නත් එපා. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි සමබර කෑම වේලක් අරගෙන, හරි ගාණට ව්‍යායාම කරන එක.
කාලෙන් කාලෙට ප්‍රසිද්ධ වෙන ඩයට් ක්‍රම අත්හදා බලන එකත් තේරුමක් නැති වැඩක්. බර අඩු කරගන්න තියෙන බෙහෙත් වර්ග (ඩයට් පෙති) ගත්තාම කෑම රුචිය අඩු වෙන්න පුළුවන්. හැබැයි කාලයක් ගියාට පස්සේ ඇඟ ඒකට හුරු වෙන නිසා ආයෙත් බඩගින්න ඇති වෙනවා. ඒ වගේම ඒ පෙති ගන්න කොට ශරීරයේ මේදය දහනය වෙන වේගය අඩු වෙන නිසා බර වැඩි වෙනවා. ඒ පෙති නිසා කැරකිල්ල, ඇබ්බැහි වෙන එක, අධිරුධිර පීඩනය, කාංසාව වගේ අතුරු ආබාධත් ඇති වෙන්න පුළුවන්. කෙට්ටු වෙන්න ඕනකමට මුත්‍රා පිට වෙන එක වැඩි කරන බෙහෙත් ගන්න එකෙනුත් මේදය ඉක්මනින් දහනය කරන බෙහෙත් ගන්න එකෙනුත් අතුරු ආබාධ ඇති වෙනවා.
නිරෝගී පෙනුමක් තියාගන්න ඔයාට පුළුවන් හොඳම විදිහ තමයි සමබර විදිහට කෑම අරගෙන, නිතිපතා ව්‍යායාම් කරන එක. සතියට කිහිප වතාවක් හයියෙන් ඇවිදින එකෙනුත් පඩි නඟින බහින එකෙනුත් හුඟක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
අන්තයටම ගියොත් . . .
ඕනෑවට වඩා කෙට්ටු වෙන්න ගිහින් සමහර යෞවන යෞවනියන් ඇනරෙක්සියා කියන ලෙඩේට ගොදුරු වෙලා තියෙනවා. ඒ ලෙඩේ ජීවිතේට තර්ජනයක්. මොකද ඇනරෙක්සියා තියෙන කෙනෙක් ඇඟ කෙට්ටු කරගන්න ඕන නිසා නොකා නොබී හාමතේම ඉන්නවා. ඒ ලෙඩෙන් ගොඩ එන්න මාස හතරක් උත්සාහ කරපු මසාමී කියන යෞවනිය එයාට හැඟෙන විදිහ ගැන මෙහෙම කියනවා. “කවුරු හරි කෙනෙක් මට ලස්සනයි කියලා කිව්වාම මට හිතෙන්නේ එයා එහෙම කියන්නේ දැන් මං මහත් වෙලා නිසා කියලයි. ඒ වගේ වෙලාවට ‘අනේ, මාස හතරකට කලින් තිබුණු ගාණට මගේ ඇඟ බස්සගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද’ කියලා මට හිතෙනවා.”
ඇනරෙක්සියා රෝගයට කෙනෙක් ගොදුරු වෙන්නේ කොහොමද? ගැහැනු ළමයෙක් ටිකක් කෙට්ටු වෙන්න හිතාගෙන කෑම පාලනය කරන්න පටන්ගන්නවා. එයා හිතපු ගාණට ඇඟ බස්සගත්තට පස්සෙත් එයාට හිතෙන්නේ එයා තාමත් මහත වැඩියි කියලයි. ඒ නිසා එයා තව වැඩියෙන් කෑම පාලනය කරලා තවත් කෙට්ටු වෙනවා. හැබැයි ඒත් එයාට හිතෙන්නේ එයා මහතයි කියලයි. කොච්චර කෙට්ටු වුණත් එයාට හිතෙන්නේ තව කෙට්ටු වෙන්න ඕනේ කියලයි. මේ විදිහට තමයි කෙනෙක් ඇනරෙක්සියා රෝගයට ගොදුරු වෙන්නේ.
ඔයාටත් ඇනරෙක්සියා රෝග ලක්ෂණ හරි ඕනෑවට වඩා කෑම කන පුරුද්දක් හරි තියෙනවා නම් හිතහිතා ඉන්නේ නැතුව ඒ ගැන ඔයාගේ දෙමාපියන්ට නැත්නම් විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න. එතකොට ඔයාට උදව් කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි. බයිබලයේ කියන්නෙත්, ‘සැබෑ මිතුරෙක් හැම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්’ කියලයි.—හිතෝපදේශ 17:17.
මූණේ තියෙන ලස්සන හිතේ නැත්නම්
පෙනුම ලස්සන කරගන්න හිතනවාට වඩා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕනේ එයාගේ චරිතය, එයාගේ ගතිගුණ ලස්සන කරගන්නයි. මොකද යෙහෝවා දෙවිට වටින්නේ ඒ දේවල් මිසක් කෙනෙක්ගේ ලස්සනවත් ඇඟේ හැඩයවත් නෙමෙයි.—හිතෝපදේශ 11:20, 22.
දාවිත් රජුගේ පුතා අබ්සලොම් ගැන බයිබලයේ කියන්නේ, ‘ඊශ්‍රායෙල් දේශය පුරාම අබ්සලොම් තරම් කඩවසම් පුද්ගලයෙක් තවත් හිටියේ නැහැ. ඔහුගේ පෙනුමේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඔහුගේ පෙනුම නිසා ඔහුව බොහෝ සෙයින් වර්ණනා කළා’ කියලයි. (2 සාමුවෙල් 14:25) හැබැයි එයාගේ චරිතේ එච්චර ලස්සන නැහැ. එයා වංචාකාරයෙක්. ඒ වගේම එයා හරිම ආඩම්බර කෙනෙක්. එයා කොච්චර නපුරු කෙනෙක්ද කියනවා නම් යෙහෝවා දෙවි පත් කරලා හිටිය රජුව ඒ කියන්නේ එයාගේම තාත්තාව රජකමෙන් අයින් කරලා එයා රජකම ගන්න හැදුවා. ඒ හින්දා එයාව හොඳ කෙනෙක් විදිහට බයිබලයේ හඳුන්වලා නැහැ. එයාව විස්තර කරලා තියෙන්නේ මිනී මරන්න තරම් වෛරයක් තිබුණු ද්‍රෝහියෙක් විදිහටයි.
ඒකෙනුත් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවිට ඇත්තටම වටින්නේ කෙනෙකුගේ “සිතුම් පැතුම්” මිසක් රූප ස්වභාවයවත් හැඩිදැඩි පෙනුමවත් නෙමෙයි කියලයි. (හිතෝපදේශ 21:2) පෙනුම ගැන ටිකක් හිතන එකේ වරදක් නැහැ. ඒත් වැදගත්ම දේ වෙන්නේ හොඳ ගතිගුණ ඇති කරගෙන චරිතේ ලස්සන කරගන්න එක. පෙනුම කොහොමවුණත් ඔයාට ලස්සන ගතිගුණ තියෙනවා නම් අනිත් අය අනිවාර්යයෙන්ම ඔයාට ආදරේ කරයි.
තවත් දැනගන්න 1වෙනි පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න
සමහර යෞවනයන් බරපතළ අසනීපයකින් හෝ ආබාධයකින් පෙළෙනවා. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් ඒකට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?
බයිබල් උපදෙස
“මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”—1 සාමුවෙල් 16:7.
යෝජනාවක්
කෙට්ටු වෙන්න ඕනේ නම් . . .
● උදේ කෑම නොකා ඉන්න එපා. එහෙම කළොත් බඩගින්න වැඩි වෙලා ඔයා වෙනදාට වඩා කයි.
● කෑමට කලින් ලොකු වතුර වීදුරුවක් බොන්න. ඒකෙන් ඔයාගේ බඩගින්න ටිකක් අඩු වෙන නිසා කන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්.
මේක දැනගෙන හිටියාද?
පර්යේෂකයන් කියන විදිහට කෙනෙක් කෙට්ටු වෙන්න හාමතේ හිටියොත් ශරීරයට මොකක් හරි අනතුරක් වෙලා කියලා එයාගේ මොළේ තේරුම්ගන්නවා. එතකොට මේදය දහනය වෙන වේගය අඩු වෙලා බර ආයෙත් වැඩි වෙනවා.
ඔයාට වැඩක්!
නිරෝගීව ඉන්න මං මේ දේවල් කරනවා ․․․․․
නිරෝගීව ඉන්න මං මේ වගේ ව්‍යායාම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● ඔයාගේ පෙනුම ගැන ඔයා සතුටුද නැද්ද?
● ඔයාගේ පෙනුම හොඳින් තියාගන්න ඔයාට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් මොනවාද?
● යාළුවෙක් අහිතකර විදිහට කෑම පාලනය කරනවා නම් නැත්නම් කෑම ගන්නවා නම් ඔයා එයාට උදව් කරන්නේ කොහොමද?
● නංගිට නැත්නම් මල්ලිට ඒගොල්ලන්ගේ පෙනුම ගැන හරි විදිහට හිතන්න ඔයා උදව් කරන්නේ කොහොමද?
[69වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘මගේ කන් දෙක ලොකුයි කියලා කට්ටිය මට ගොඩක් විහිළු කළා. හැබැයි කල් යද්දී ඒක විහිළුවක් විදිහට භාරගන්න මං ඉගෙනගත්තා. ඒ ගැන හිතලා මගේ ආත්මවිශ්වාසය අඩු වෙන්න මං ඉඩ දුන්නේ නැහැ. මගේ පෙනුම ගැන මං සතුටුයි.’’—ඇමා
[68වන පිටුවේ පින්තූරය]
පෙනුම විකෘති කරලා පෙන්නන කණ්ණාඩියක් වගේ ඔයාගේ හිතත් ඔයාගේ පෙනුම ගැන විකෘති අදහසක් දෙනවා ඇති