6වන පාඩම
යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියි
යෝබ් ඇත්තටම දෙවිට විශ්වාසවන්ත කෙනෙක්ද කියා සාතන් ප්‍රශ්න කරයි. යෝබ් තම විශ්වාසවන්තකම ඔප්පු කර පෙන්වයි
බොහෝ දුක් කරදර මැද වුණත් කෙනෙක් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීද? දෙවිට කීකරු වීමෙන් කිසි වාසි ප්‍රයෝජනයක් ලැබෙන බව පෙනෙන්න නොතිබුණත් කෙනෙක් දෙවිට කීකරු වෙයිද? ඒ ප්‍රශ්න දෙකට ප්‍රබල පිළිතුරු යෝබ් නමැති තැනැත්තාගේ ජීවිතයෙන් සොයාගත හැකියි.
ආබ්‍රහම්ගේ නෑයෙක් වූ යෝබ් ජීවත් වුණේ අරාබියේ. ඒ කාලයේ ඊශ්‍රායෙල් සෙනඟ ජීවත් වුණේ ඊජිප්තුවේ. ස්වර්ගයේ සිටි දේවදූතයන් දෙවි ඉදිරියේ පෙනී සිටි අවස්ථාවක සාතන්ද ඔවුන් අතර සිටියා. එහිදී තම සේවක යෝබ්ට තමන් කෙරෙහි තිබූ විශ්වාසය කොයි තරම්ද කියා රැස්ව සිටි සියලුදෙනා ඉදිරියේ දෙවි පැවසුවා. දෙවි කියා සිටියේ යෝබ් තරම් විශ්වාසවන්ත පුද්ගලයෙක් පොළොවේ තවත් නැති බවයි. නමුත් යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ දෙවි ඔහුට ආශීර්වාද කරන නිසාත් ඔහුව ආරක්ෂා කරන නිසාත් කියා සාතන් දෙවිට චෝදනා කළා. සාතන් තවදුරටත් පැවසුවේ යෝබ්ට තිබෙන සෑම දෙයක්ම ඔහුට අහිමි වුණොත් ඔහු දෙවිව අත්හරින බවයි.
සාතන් නැඟූ ඒ චෝදනාව නිසා මුලින්ම යෝබ්ට තිබූ ධන සම්පත් හා ඔහුගේ දරුවන් ඔහුට අහිමි කිරීමට දෙවි සාතන්ට ඉඩහැරියා. පසුව සාතන් ඔහුට දරුණු රෝගයකින්ද පහර දුන්නා. සාතන් දෙවිට කළ චෝදනා ගැන කිසිවක් නොදැන සිටි යෝබ්ට එවැනි දේවල් අද්දැකීමට දෙවි ඉඩහරින්නේ ඇයි කියා තේරුම්ගන්න නොහැකි වුණා. නමුත් යෝබ් කිසිම ආකාරයකින් දෙවිට ද්‍රෝහි වුණේ නැහැ.
ඒ අතරතුර යෝබ්ව හමු වීමට මිතුරන් තුන්දෙනෙක් පැමිණියා. ඔවුන් යෝබ් සමඟ කළ සංවාදය බයිබලයේ යෝබ් නමැති පොතේ සඳහන් වී තිබෙනවා. ඔවුන් තරයේ කියා සිටියේ යෝබ් රහසින් පව් කර ඇති බවයි. ඒ නිසා දෙවි ඔහුට දඬුවමක් හැටියට එවැනි කරදර ඔහු පිටට ගෙනැවිත් තිබෙන බව ඔවුන් පැවසුවා. ඔවුන් තවදුරටත් පැවසුවේ දෙවිගේ සේවකයන් ඔහුට පෙන්වන විශ්වාසවන්තකමින් දෙවි කිසි සතුටක් නොලබන බවයි. එමෙන්ම ඔවුන් කෙරෙහි දෙවිට කිසි විශ්වාසයක් නැති බවයි. නමුත් ඔවුන්ගේ බොරු තර්ක එකහෙළාම ප්‍රතික්ෂේප කළ යෝබ්, තමා මිය යන තුරුම දෙවිට විශ්වාසවන්තව සිටින බව මහත් නිසැකකමකින් කියා සිටියා.
යෝබ් සහ ඔහුගේ මිතුරන් තුන්දෙනා අතර ඇති වූ සංවාදයට ඔවුන්ට වඩා වයසින් බාල එලිහු නම් තැනැත්තා සවන් දී ගෙන සිටියා. සංවාදයේදී යෝබ් අතින් යම් වරදක් සිදු වූ බව ඔහු දුටුවා. ඒ, යෝබ් තමාගේ නිර්දෝෂකම ගැන ඕනෑවට වඩා සිතීමයි. ඔහුව නිවැරදි කිරීම සඳහා එලිහුද සංවාදයට එකතු වුණා. යෙහෝවා දෙවි කොයි තරම් ධර්මිෂ්ඨ පාලකයෙක්ද කියා ඔප්පු කිරීමට වඩා යෝබ් තමාගේ නිර්දෝෂකම ඔප්පු කිරීම වැදගත් දෙයක් ලෙස සැලකීම ගැන එලිහු ඔහුට අවවාද කළා. ඉන්පසුව ඔහු යෝබ්ගේ මිතුරන් තුන්දෙනාටත් තදින් අවවාද කළා.
පසුව යෙහෝවා දෙවි යෝබ්ට කතා කර ඔහු සිතූ ආකාරය නිවැරදි කළා. දෙවි තම පුදුමසහගත නිර්මාණයන් වෙතට යෝබ්ගේ අවධානය යොමු කර මිනිසුන් සමඟ සසඳන විට තමා කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔහුට තේරුම් කර දුන්නා. යෝබ් යටහත්පහත්ව ඒ උපදෙස් පිළිගත්තා. “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු” වූ නිසා යෝබ්ගේ රෝගය සුව කර ඔහුට අහිමි වූ දේ මෙන් දෙගුණයක් ලබා දුන්නා. (යාකොබ් 5:11) එමෙන්ම දරුවන් දසදෙනෙකුගේ පියෙක් වීමේ ආශීර්වාදයද ඔහුට ලැබුණා. බොහෝ දුක් කරදර හමුවේ පවා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් සාතන් නැඟූ චෝදනාවට එනම්, මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ දෙවි ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන නිසයි යන චෝදනාවට යෝබ් කදිම පිළිතුරක් ලබා දුන්නා.
—යෝබ් පොත.