4වන පාඩම
යේසුස් ක්‍රිස්තුස් කවුද?
1. යේසුස්ගේ ජීවිතය ඇරඹුණේ කොහොමද?
ජනයා යේසුස්ට ළං වුණේ ඔහුගේ මොන ගතිලක්ෂණ නිසාද?—මතෙව් 11:29; මාක් 10:13-16.
හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින් දෙවියන් නිර්මාණය කළේ යේසුස්වයි. ඔහු පොළොවට එන්න කලින් හිටියේ ස්වර්ගයේ. (යොහන් 8:23) දෙවියන් තනිව නිර්මාණය කරපු එකම තැනැත්තා ඔහු නිසා ඔහුව දෙවියන්ගේ ‘එකම පුත්‍රයා’ කියලා හඳුන්වනවා. (යොහන් 1:14) අනිත් හැම දෙයක්ම නිර්මාණය කරන්න දෙවියන් ඔහුව හවුල් කරගත්තා. ඔහු දෙවියන්ගේ පණිවිඩ ප්‍රකාශ කරන නිසා ඔහුට ‘“වචනය” නමැති තැනැත්තා’ කියලත් කියනවා.—හිතෝපදේශ 8:22, 23, 30; කොලොස්සි 1:15, 16 කියවන්න.
2. යේසුස්ව පොළොවට එව්වේ ඇයි?
දෙවියන් ආශ්චර්යයකින් ස්වර්ගයේ හිටපු තම පුතාව මරියා කියන යුදෙව් කන්‍යාවගේ කුසේ වැඩෙන්න සැලැස්සුවා. (ලූක් 1:30-35) ඒ විදිහට ඔහු යේසුස්ව පොළොවට එව්වේ හේතු තුනක් නිසයි. (1) දෙවියන් ගැන ඇත්ත මිනිසුන්ට කියලා දෙන්න. (2) දුක් කරදර මැද වුණත් දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා පෙන්නන්න. (3) මිනිසුන්ව පව්කාරකමින් ගලවගන්න තම පරිපූර්ණ “ජීවිතය පූජා කරන්න.”—මතෙව් 20:28 කියවන්න.
3. ජීවිත පූජාවක් අවශ්‍ය වුණේ ඇයි?
දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ වයසට ගිහිල්ලා මැරෙන්න නෙමෙයි. ඒත් පොළොවේ ජීවත් වුණු මුල්ම මිනිසා ඒ කියන්නේ ආදම්, දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා ඔහු පව්කාරයෙක් වුණා. ඒකේ ප්‍රතිඵලය වුණේ මරණයයි. (උත්පත්ති 2:16, 17; 5:5) අපි හැමෝම පැවත එන්නේ ආදම්ගෙන් නිසා අපිටත් පව්කාරකම උරුම වුණා. අපි හැමෝටම මරණයත් උරුම වුණා. දෙවියන්ගේ නීතියේ හැටියට මරණයට නියම වුණු කෙනෙක්ව මුදවගන්න නම් වන්දියක් ගෙවන්න ඕනේ. (නික්මයාම 21:29, 30) එහෙමනම් අපිව පව්කාරකමින් හා මරණයෙන් ගලවගන්නත් වන්දියක් ගෙවන්න ඕනේ. ඒත් ඕනම දෙයක් වන්දියක් හැටියට දෙන්න බැහැ. වන්දිය හැටියට ආදම් නැති කරගත්ත ජීවිතයට සමාන ජීවිතයක් පූජා කරන්න ඕනේ.—රෝම 5:12; 6:23 කියවන්න.
ඒත් පොළොවේ ඉන්න හැමෝම පව්කාරයන් නිසා අපෙන් කාටවත් ඒ වන්දිය ගෙවන්න බැහැ.—ගීතාවලිය 49:7-9 කියවන්න.
4. යේසුස් මිය ගියේ ඇයි?
යේසුස් මිනිසෙක් හැටියට පොළොවේ ඉපදුණේ පව්කාර ස්වභාවය උරුම කරගෙන නෙමෙයි. ඒ නිසා ඔහුට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. එහෙමනම් ඔහු මිය ගියේ පව්කාරකම නිසා නෙමෙයි. ඔහු මිය ගියේ අපිව පව්කාරකමින් ගලවගන්න අවශ්‍ය වන්දිය ගෙවන්නයි. ඒකට ඔහුව පොළොවට එව්වේ දෙවියනුයි. දෙවියන් අපිට කොච්චර ආදරේද කියලා ඒකෙන් තේරෙනවා. යේසුස්ද ඔහුගේ ජීවිතය කැමැත්තෙන් පූජා කරලා අපිට තියෙන ආදරය කොයි තරම්ද කියලා ඔප්පු කළා.—යොහන් 3:16; රෝම 5:18, 19 කියවන්න.
‘යේසුස් මිය ගියේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.
5. යේසුස් දැන් කරන්නේ මොනවාද?
යේසුස් මැරුණට පස්සේ දෙවියන් ඔහුව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට නැවත ජීවත් කෙරෙව්වා. (1 පේතෘස් 3:18) පස්සේ ඔහු දෙවියන්ගේ ආණ්ඩුවේ රජකම තමාට භාර දෙනකම් දෙවියන්ගේ දකුණු පැත්තේ හිටියා. (හෙබ්‍රෙව් 10:12, 13) දැන් ඔහු ස්වර්ගයේ රජකම් කරනවා. ඔහුගේ අනුගාමිකයන් ඒ ගැන ලොව පුරා ප්‍රචාරය කරනවා.—දානියෙල් 7:13, 14; මතෙව් 24:14 කියවන්න.
යේසුස් පොළොවේ ඉද්දී ලෙඩ වෙලා හිටපු අයව සුව කළා. මිය ගිය අයව නැවත ජීවත් කෙරෙව්වා. විපත්තිවලින් මිනිසුන්ව ගලවගත්තා. (මතෙව් 15:30, 31; යොහන් 5:28) ඔහු එහෙම කළේ ඉදිරියේදී කරන්න යන දේවල් පෙන්නන්නයි. ඔහු ළඟදීම දුෂ්ටකම්වලට නිමාවක් ගේනවා. ඊටපස්සේ ඔහුට කීකරු වෙමින් ඔහු කෙරෙහි විශ්වාසය පෙන්වන අයට ලස්සන පොළොවක සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—ගීතාවලිය 37:9-11 කියවන්න.