6වන පාඩම
මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?
1. මිය ගිය අය ගැන බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය මොකද්ද?
බෙතානියේ ලාසරුස් කියලා කෙනෙක් ජීවත් වුණා. ඔහු යේසුස්ගේ යාළුවෙක්. ඔහු හදිස්සියේම මිය ගියා. දවස් හතරකට පස්සේ බෙතානියට ආපු යේසුස්, ලාසරුස්ගේ සහෝදරියන් දෙන්නා වුණු මාර්තා හා මරියා එක්ක ඔහුගේ සොහොන් ගෙය ළඟට ගියා. ඊටපස්සේ යේසුස්, දෙවියන්ගේ බලයෙන් ඔහුව නැවත ජීවත් කෙරෙව්වා. ඒ වෙලාවේ මාර්තාටයි මරියාටයි දැනුණු සතුට කොච්චරද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?—යොහන් 11:21-24, 38-44 කියවන්න.
යෙහෝවා දෙවි මිය ගිය අයව නැවත ජීවත් කරවනවා කියලා බයිබලයේ තියෙනවා. ඒ ප්‍රීතිමත් පණිවිඩය මාර්තාත් දැනගෙන හිටියා.—යෝබ් 14:14, 15 කියවන්න.
2. මැරුණට පස්සේ මොකද වෙන්නේ?
“ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය” කියා දෙවියන් ආදම්ට කිව්වා.—උත්පත්ති 3:19.
බයිබලයේ කියන්නේ අපිව නිර්මාණය කරලා තියෙන්නේ දූවිල්ලෙන් කියලයි. (උත්පත්ති 2:7; 3:19) අපේ ඇඟ ඇතුළේ අමරණීය දෙයක් නැහැ. ඒ නිසා මැරුණට පස්සේ අපි ආත්මයක් හැටියට කොහේවත් ජීවත් වෙන්නේ නැහැ. මැරුණට පස්සේ මොළයේ ක්‍රියාකාරිත්වය නතර වෙන නිසා අපිට හිතන්න පතන්න බැහැ. මුකුත් දැනෙන්නෙත් නැහැ. මිය ගිහින් හිටපු දවස් හතර ගැන ලාසරුස් මුකුත්ම කිව්වේ නැත්තේ ඒ නිසයි.—ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 6, 10 කියවන්න.
මැරුණට පස්සේ කිසිම දෙයක් දැනෙන්නේ නැත්නම් වැරදි කරන අයව අපායක, නිරයක දාලා දඬුවම් කරන්න පුළුවන්ද? ඇත්තටම ඒ ඉගැන්වීම බොරුවක්. මිනිසුන්ට වධ වේදනා දෙන්න තියා එහෙම කරන එක ගැන හිතන්නවත් දෙවියන් කැමති නැහැ. ඒ ඉගැන්වීම දෙවියන්ට කරන අගෞරවයක්!—යෙරෙමියා 7:31 කියවන්න.
‘මැරුණට පස්සේ මොකද වෙන්නේ?’ කියන වීඩියෝ එක බලන්න.
3. මිය ගිය අය එක්ක කතා කරන්න පුළුවන්ද?
මිය ගිය අයට කතා කරන්න බැහැ. අපි කියන දේවල් ඔවුන්ට ඇහෙන්නෙත් නැහැ. (ගීතාවලිය 115:17) ඒත් භූතයන් සමහර අවස්ථාවලදී මිය ගිය අයගේ කටහඬින් කතා කරන නිසා ගොඩක් අය හිතනවා මිය ගිය අය ආත්ම හැටියට ජීවත් වෙනවා කියලා. (2 පේතෘස් 2:4) මිය ගිය අය එක්ක කතා කරන්න සමහරුන් උත්සාහ කරන්නේ ඒ නිසයි. ඒත් යෙහෝවා දෙවිට ඒක පිළිකුලක්.—ද්විතීය කතාව 18:10, 11 කියවන්න.
4. අනාගතයේදී දෙවියන් නැවත ජීවත් කරවන්නේ කාවද?
මිය ගිහින් ඉන්න මිලියන ගාණක් දෙනාව දෙවියන් නැවත ජීවත් කරවනවා. ඒක හඳුන්වන්නේ නැවත නැඟිටීම කියලයි. ඒ අය නැවත නැඟිටලා ජීවත් වෙන්න යන්නේ මේ පොළොවෙමයි. දෙවියන් ගැන නොදැන වැරදි කරපු අයවත් නැවත නැඟිටුවනවා.—ලූක් 23:43; ක්‍රියා 24:15 කියවන්න.
ඒ අයට දෙවියන් ගැන දැනගන්නත් යේසුස් කෙරෙහි විශ්වාසය තබලා ඔහුට කීකරු වෙන්නත් අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 20:11-13) නැවත නැඟිටුවන අය දෙවියන් කැමති විදිහට ජීවත් වුණොත් ඔවුන්ට සදහටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්.—යොහන් 5:28, 29 කියවන්න.
5. මිය ගිය අය ගැන දෙවියන් පවසන පණිවිඩයෙන් ඔහු ගැන හෙළි වෙන්නේ මොකද්ද?
මිය ගිය අයට නැවත ජීවත් වෙන්න අවස්ථාවක් තියෙන්නේ දෙවියන් අපි වෙනුවෙන් ඔහුගේ පුතාගේ ජීවිතය දුන්න නිසයි. ඔහු මිනිසුන්ට කොච්චර ආදරේද කියලා ඒකෙන් පැහැදිලියි. නැවත නැඟිටුවන අය අතරින් ඔයා දකින්න ආසාවෙන්ම ඉන්නේ කාවද?—යොහන් 3:16; රෝම 6:23 කියවන්න.