137වෙනි පරිච්ඡේදය
පෙන්තකොස්ත දවසට කලින් හුඟදෙනෙක් යේසුස්ව දකියි
මතෙව් 28:16-20 ලූක් 24:50-52 ක්‍රියා 1:1-12; 2:1-4
- යේසුස් බොහෝදෙනෙක් ඉදිරියේ පෙනී සිටියි 
- යේසුස් ස්වර්ගයට යයි 
- ගෝලයන් 120දෙනෙකුට දෙවිගේ බලය ලැබෙයි 
නැවත නැඟිටුණු යේසුස් සැලසුම් කරපු විදිහටම ගලීලයේ පිහිටි කන්දක නියෝජිතයන් 11දෙනාව හමු වෙනවා. තවත් ගෝලයන් 500ක් විතර එතැනට ඇවිත්. ඒ අතරින් සමහර අයට පුංචි සැකයක් ඇති වෙනවා. (මතෙව් 28:17; 1 කොරින්ති 15:6) හැබැයි යේසුස් දැන් කියන දෙයක් නිසා ඒ අය තේරුම්ගන්නවා යේසුස් ඇත්තටම නැවත නැඟිටලා කියලා.
යේසුස් කියන්නේ ස්වර්ගයෙත් පොළොවෙත් හැම බලයක්ම තමන්ට දීලා තියෙනවා කියලයි. ඔහු මෙහෙමත් කියනවා. “එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:18-20) ශුභාරංචිය හැමෝම දැනගන්නවාට යේසුස් මොන තරම් කැමතිද කියලා ඒකෙන් පැහැදිලියි.
දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ පැවරුම ස්ත්‍රීන්, පුරුෂයන්, දරුවන් ඇතුළු යේසුස්ගේ අනුගාමිකයන් හැමෝටම ලැබෙනවා. ඔවුන්ව නතර කරන්න විරුද්ධවාදීන් උත්සාහ කරයි. ඒත් යේසුස් ඔවුන්ට සහතික කරන්නේ “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා” කියලයි. ඊළඟට ඔහු මෙහෙමත් කියනවා. “මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” යේසුස් අදහස් කළේ දේශනා කරන හැමෝටම බලවත් ක්‍රියාවන් කරන්න හැකියාව ලැබෙනවා කියලා නෙවෙයි. දේශනා සේවය කරන්න දෙවිගේ බලය ඔවුන්ට ලැබෙනවා කියලයි.
නැවත නැඟිටුණු යේසුස් “දවස් හතළිහක් පුරා” ගෝලයන් ඉදිරියේ පෙනී හිටියා. විවිධ මිනිස් සිරුරුවලින් පෙනී සිටි ඔහු ‘තමා ජීවමානව සිටින බවට ඉතා පැහැදිලි සාක්ෂි බොහොමයක් සැපයුවා.’ ඒ වගේම “දෙවිගේ රාජ්‍යය පිළිබඳව” ඔවුන්ට හුඟක් දේවල් කියලා දුන්නා.—ක්‍රියා 1:3; 1 කොරින්ති 15:7.
ගලීලයේ ඉන්න නියෝජිතයන්ට යේසුස් දැන් කියන්නේ යෙරුසලමට යන්න කියලයි. එහෙදී ඔවුන්ව මුණගැහුණාම ඔහු මෙහෙම කියනවා. “යෙරුසලමට වී බලාගෙන සිටින්න. එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි. යොහන්, බව්තීස්ම කළේ වතුරෙන්. නමුත් වැඩි දවසක් යෑමට කලින් ඔබව දෙවිගේ බලයෙන් බව්තීස්ම කරනු ලබනවා.”—ක්‍රියා 1:4, 5.
තවත් අවස්ථාවක යේසුස් ඔහුගේ නියෝජිතයන්ව හමු වෙනවා. ඔහු ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ තියෙන “බෙතානිය දක්වා” ඔවුන්ව එක්කන් යනවා. (ලූක් 24:50) තමන් ස්වර්ගයට යනවා කියලා යේසුස් මේ වෙද්දී පැහැදිලිවම කියලා තිබුණත් ගෝලයන් තවමත් හිතන් ඉන්නේ යේසුස් තමන්ගේ රාජ්‍යය පොළොවේ පිහිටුවයි කියලයි.—ලූක් 22:16, 18, 30; යොහන් 14:2, 3.
“ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද” කියලා නියෝජිතයන් අහනවා. යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු නියම කරන්නේ පියාණන්. ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.” ඔවුන් කරන්න ඕන දේ ගැන ආපහු කාවද්දමින් ඔහු මෙහෙම කියනවා. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:6-8.
නියෝජිතයන් එක්ක ඔලීව කන්දේ ඉඳන් මේ දේවල් කතා කළාට පස්සේ යේසුස්ව ඉහළට ඔසවාගනු ලබනවා. වැඩි වෙලාවක් යන්න කලින් වලාකුළකින් ඔහුව වැහෙන නිසා තවදුරටත් ඔහුව දැකගන්න ලැබෙන්නේ නැහැ. නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් විවිධ අවස්ථාවලදී මිනිස් සිරුරුවලින් පෙනී හිටියත් දැන් ඔහු ආපහු ස්වර්ගයට යන්නේ මිනිසෙක් විදිහට නෙවෙයි. එහේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහටයි. (1 කොරින්ති 15:44, 50; 1 පේතෘස් 3:18) නියෝජිතයන් අහස දිහා බලන් ඉද්දී “සුදු වස්ත්‍ර” ඇඳගත්ත මිනිසුන් දෙන්නෙක් ඔවුන් ඉදිරියට එනවා. ඇත්තටම මේ ඇවිත් ඉන්නේ දේවදූතයන් දෙන්නෙක්. ඔවුන් දැන් මෙහෙම කියනවා. “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ මෙතැන සිටගෙන අහස දෙස බලා සිටින්නේ ඇයි? අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, ස්වර්ගයට යනවා ඔබ දුටු ආකාරයෙන්ම නැවත පැමිණේවි.”—ක්‍රියා 1:10, 11.
යේසුස් ස්වර්ගයට යන එක දැක්කේ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් විතරයි. ඔහු දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට පැමිණෙන එකත් සිද්ධ වෙන්නේ ‘ඒ ආකාරයෙන්මයි.’ ඔව්, ඒක තේරුම්ගන්නෙත් ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් විතරයි.
නියෝජිතයන් දැන් ආපහු යෙරුසලමට යනවා. දවස් කිහිපයකට පස්සේ ‘යේසුස්ගේ මව වූ මරියා සහ ඔහුගේ සහෝදරයන්’ ඇතුළු අනිත් ගෝලයන් එක්ක ඔවුන් රැස් වෙනවා. (ක්‍රියා 1:14) දැන් මේ හැමෝම ලොකු ඕනෑකමකින් දිගටම යාච්ඤා කරනවා. නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක්ව හිටිය යූදස් වෙනුවට අලුත් කෙනෙක්ව තෝරාගන්න උපකාර ඉල්ලන එකත් ඒ යාච්ඤාවට ඇතුළත්. (මතෙව් 19:28) ඔවුන්ට ඕනෙ යේසුස් එක්ක සේවය කරපු, නැවත නැඟිටුණු යේසුස්ව දැකපු කෙනෙක්ව තෝරාගන්නයි. දැන් ඔවුන් ඒ සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත දැනගන්න දාදු දානවා. දාදු දාපු සිද්ධීන් අතරින් බයිබලයේ අන්තිමටම වාර්තා වෙලා තියෙන්නේ මේ සිද්ධිය ගැනයි. (ගීතාවලිය 109:8; හිතෝපදේශ 16:33) අන්තිමේදී “නියෝජිතයන් එකොළොස්දෙනාට” මතියස්ව එකතු කරගන්නවා. සමහරවිට ඔහු, යේසුස් දේශනා කරන්න පිටත් කරපු 70දෙනාගෙන් කෙනෙක් වෙන්න ඇති.—ක්‍රියා 1:26.
යේසුස් ස්වර්ගයට ගිහින් දවස් 10කට පස්සේ, ඒ කියන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ගෝලයන් 120දෙනෙක් විතර යෙරුසලමේ උඩුමහල් කාමරයක රැස් වෙනවා. හිටි හැටියේම තද සුළඟක් හමනවා වගේ හඬක් ඇහෙනවා. ඒ හඬ නිවස පුරාම පැතිරෙනවා. ඊටපස්සේ ගිනිදලු බෙදිලා ගිහින් හැමෝගෙම හිසට උඩින් ඒවා දැල්වෙන්න පටන්ගත්තාම ඔවුන් විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගන්නවා. මේ දේවල් වෙන්නේ යේසුස් පොරොන්දු වුණු විදිහටම ඔවුන්ට දෙවිගේ බලය ලැබෙන නිසයි.—යොහන් 14:26.