93වෙනි පාඩම
යේසුස් ස්වර්ගයට යයි
යේසුස් ගලීලයේදී ආයෙත් ඔහුගේ ගෝලයන්ව හම්බ වෙලා එයාලට කරන්න වැදගත් වැඩක් භාර දුන්නා. යේසුස් මෙහෙම කිව්වා. ‘හැම රටකම ඉන්න මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. මං ඔයාලට උගන්නපු දේවල් එයාලට කියලා දෙන්න. එයාලව බව්තීස්ම කරන්න. මං හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා.’
යේසුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ දවස් 40ක් යන කල් ඔහු ගලීලයෙත් යෙරුසලමෙත් හිටපු ගෝලයන්ට හුඟක් දේවල් ඉගැන්නුවා. හුඟක් පුදුම දේවලුත් කළා. අන්තිම වතාවට ඔහුගේ නියෝජිතයන්ව ඔලීව කන්දේදී හම්බ වෙලා ඔහු මෙහෙම කිව්වා. ‘මගේ තාත්තා ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ ලැබෙන කල් යෙරුසලමට වෙලා ඉන්න.’
නියෝජිතයන්ට ඔහු කියපු දේ තේරුණේ නැති නිසා එයාලා ඇහුවා ‘ඔයා ඊශ්‍රායෙල් දේශයේ රජ වෙන්න යන්නේ මේ කාලේදීද’ කියලා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. ‘මාව රජ කරන්න යෙහෝවා නියම කරපු කාලය දැන් නෙමෙයි. ඉක්මනටම ඔයාලට දෙවියන්ගේ බලය ලැබෙයි. එතකොට ඔයාලා මගේ සාක්ෂිකරුවන් වෙයි. යෙරුසලමෙත් යුදයෙත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් දේශනා කරන්න.’
ඊටපස්සේ යේසුස්ව ටිකෙන් ටික අහසට ගත්තා. ඒ වෙලාවේ වලාකුළකින් ඔහුව වැහිලා යන විදිහ ගෝලයන් දැක්කා.
පස්සේ ගෝලයෝ යෙරුසලමට ගියා. එහෙදී එයාලා නිතරම වගේ උඩ තට්ටුවක තිබුණු කාමරයක එකතු වෙලා යාච්ඤා කළා. එයාලා බලාගෙන හිටියේ කරන්න ඕනෙ මොනවාද කියලා යේසුස් දැනුම් දෙන කල්.
“රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි. ඊටපස්සේ අවසානය එයි.”—මතෙව් 24:14