ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 71 පරි. 168 පි.-169 පි. 9 ¶
  • පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • පරිසිවරුන් මුරණ්ඩු ලෙස අවිශ්වාස කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් සබත් දවසකදී සුව කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • උපතෙන්ම අන්ධ වූ කෙනෙකුව සුව කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 71 පරි. 168 පි.-169 පි. 9 ¶
අන්ධව සිටි මිනිසා තමන්ට පෙනීම ලැබුණු විදිහ ගැන පරිසිවරුන්ට පැහැදිලි කරද්දී දෙමාපියන් බලා සිටියි

71වෙනි පරිච්ඡේදය

පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි

යොහන් 9:19-41

  • අන්ධව සිටි මිනිසාගෙන් පරිසිවරු ප්‍රශ්න කරයි

  • ආගමික නායකයන් “අන්ධයි”

යේසුස් අන්ධ මිනිසාට පෙනීම දුන්නා කියලා විශ්වාස කරන්නේ නැති පරිසිවරු ඒ මිනිසාගේ දෙමාපියන්ව කැඳවනවා. ඔවුන් දන්නවා තමන් කියන දේවල් නිසා පරිසිවරුන් තමන්ව “සිනගෝගයෙන් නෙරපා දැමීමට” ඉඩ තියෙනවා කියලා. (යොහන් 9:22) එහෙම වුණොත් යුදෙව්වන්ගේ ආශ්‍රය නැති වෙන නිසා සෑහෙන ආර්ථික ප්‍රශ්නවලටත් ලොකු ලැජ්ජාවකටත් මුහුණ දෙන්න වෙනවා.

පරිසිවරු මෙහෙම අහනවා. “අන්ධ වී ඉපදුණා කියා ඔබ කියන ඔබේ පුතා මොහුද? එසේනම් දැන් ඔහුගේ ඇස් පෙනෙන්නේ කොහොමද?” සිද්ධ වුණු දේ ගැන දරුවා කියලා තිබුණත් ඔවුන් පරෙස්සමින් උත්තර දෙන්නේ මෙහෙමයි. “මේ අපේ පුතා තමයි. ඔහු උපතින්ම අන්ධව සිටියා. නමුත් අපි දන්නේ නැහැ ඔහුට පෙනීම ලැබුණේ කොහොමද කියලා. ඔහුට පෙනීම ලබා දුන්නේ කවුද කියාවත් අපි දන්නේ නැහැ. ඔහු යමක් කමක් තේරෙන වයසේ ඉන්න කෙනෙක්. ඒ නිසා ඒ ගැන ඔහුගෙන්ම අහන්න. ඔහුට පුළුවන්කමක් තිබෙනවා ඒ ගැන කියන්න.”—යොහන් 9:19-21.

ආයෙත් ඒ මිනිසාව කැඳවන පරිසිවරු යේසුස්ට විරුද්ධව සාක්ෂි තියෙනවා කියලා ඔහුව බය කරමින් මෙහෙම කියනවා. “ඒ මිනිසා පව්කාරයෙක් කියා අපට ස්ථිරයි. ඒ නිසා දෙවි ඉදිරියේම ඇත්ත කියන්න.” ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “ඔහු පව්කාරයෙක්ද නැද්ද කියා නම් මම දන්නේ නැහැ. නමුත් මට එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. මම කලින් අන්ධ වෙලයි සිටියේ. නමුත් දැන් මට පේනවා.”—යොහන් 9:24, 25.

එතකොට පරිසිවරු “ඔහු ඔබට මොනවාද කළේ? ඔහු ඔබේ ඇස්වලට පෙනීම ලබා දුන්නේ කොහොමද” කියලා අහනවා. ඒ මිනිසා නිර්භීතව කියන්නේ මෙහෙමයි. “මම ඒ දේ කලිනුත් ඔබට කිව්වා. ඒත් ඔබ කවුරුත් අසාගෙන සිටියේ නැහැ. මට ආයෙත් ඒ දේ කියන්න කියා පවසන්නේ ඇයි? ඔබටත් ඕනේ ඔහුගේ ගෝලයන් වෙන්නද?” එතකොට පරිසිවරුන් කේන්තියෙන් මෙහෙම කියනවා. “ඔබ නම් ඒ මිනිසාගේ ගෝලයෙක්. නමුත් අපි මෝසෙස්ගේ ගෝලයෝ. දෙවි මෝසෙස්ට කතා කළා කියා අපි දන්නවා. නමුත් මේ මිනිසා ගැනවත් ඔහු කොතැනින් ආවාද කියාවත් අපි කිසිම දෙයක් දන්නේ නැහැ.”—යොහන් 9:26-29.

ඒ ගැන පුදුම වෙන ඔහු මෙහෙම කියනවා. “ඔබ පවසන මේ දේවල් ගැන හිතද්දී මට පුදුම හිතෙනවා. ඔහු මට පෙනීම ලබා දුන්නා. ඒ නිසා ඔහු ආවේ කොහෙන්ද කියා ඔබ දන්නේ නැහැ කියා පවසන්නේ කොහොමද?” ඊටපස්සේ ඒ මිනිසා මේ තර්කය ඉදිරිපත් කරනවා. “දෙවි පව්කාරයන්ට සවන් නොදෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. දෙවි සවන් දෙන්නේ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ කැමැත්ත කරන අයටයි. උපතින් අන්ධ කෙනෙකුට කවුරු හරි කෙනෙක් පෙනීම ලබා දුන්නා කියා අපි කවදාවත් අහලා නැහැ. ඉතින් මේ මිනිසා දෙවිගෙන් පැමිණියේ නැත්නම් ඔහුට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කොහොමද?”—යොහන් 9:30-33.

ඒ තර්කය බිඳින්න බැරි නිසා පරිසිවරු මෙහෙම කියනවා. “ඔබ ඉපදුණේම මහ පව්කාරයෙක් හැටියටයි. දැන් අපිටත් උගන්වන්න හදනවාද?” අන්තිමේදී ඔහුව සිනගෝගයෙන් නෙරපනවා.—යොහන් 9:34.

ඒ සිද්ධිය යේසුස්ට ආරංචි වෙනවා. ඔහුව මුණගැහුණාම යේසුස් අහන්නේ “ඔබට මනුෂ්‍ය පුත්‍රයා ගැන විශ්වාසයක් තිබෙනවාද” කියලයි. එතකොට ඔහු මෙහෙම කියනවා. “මහත්මයාණෙනි, මම කැමතියි ඔහු කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු කවුද කියා මට කියන්න.” ඒ නිසා යේසුස් කෙළින්ම ඔහුට මෙහෙම කියනවා. “ඇත්තෙන්ම ඔබ ඔහුව දැක තිබෙනවා. දැන් ඔබ සමඟ කතා කරන්නෙත් ඒ තැනැත්තායි.”—යොහන් 9:35-37.

යේසුස් ඉදිරියේ දණින් වැටෙන ඒ මිනිසා “ස්වාමීනි, මට ඔබ කෙරෙහි විශ්වාසයක් තිබෙනවා” කියා පවසනවා. එතකොට යේසුස් මේ වැදගත් දේ ඔහුට කියනවා. “මා මේ ලෝකයට ආවේ පෙනීම නැති අයට පෙනීම ලබා දෙන්න හා පෙනීම ඇති අය අන්ධයන් බව පෙන්වන්නයි. මම ආවේ එම විනිශ්චයට පදනමක් ලබා දෙන්නයි.”—යොහන් 9:38, 39.

එතැන ඉන්න පරිසිවරු “ඔබ කියන්නේ අපි අන්ධයි කියාද” කියලා යේසුස්ගෙන් අහනවා. පරිසිවරු අන්ධ නැති වුණත් දෙවියන් ගැන කියලා දෙන වගකීම තියෙන්නේ තමන්ට කියලා ඔවුන් කියන නිසා යේසුස් මෙහෙම කියනවා. “ඔබ අන්ධ වී සිටියා නම් ඔබ තුළ කිසි පාපයක් නැහැ. නමුත් දැන්, ‘අපට පේනවා’ කියා ඔබ පවසන නිසා ඔබ තුළ පව්කාරකම පවතිනවා.” (යොහන් 9:40, 41) ඔවුන් ගුරුවරුන් නෙවෙයි නම් යේසුස්ව මෙසියස් හැටියට පිළි නොගන්න එක සාධාරණයි කියලා හිතන්න පුළුවන්. ඒත් දෙවියන් දීපු නීතිය ගැන හොඳින්ම දන්න ඔවුන් එහෙම කරන එක ඇත්තටම බරපතළ පාපයක්.

  • පෙනීම ලැබුණු මිනිසාගේ දෙමාපියන් පරිසිවරුන්ට බය වුණේ ඇයි? ඔවුන් පරිසිවරුන්ට පිළිතුරු දුන්නේ කොහොමද?

  • පරිසිවරුන්ට බිඳින්න බැරි වුණේ මොන තර්කයද?

  • පරිසිවරුන් යේසුස්ව ප්‍රතික්ෂේප කරන එක බරපතළ වරදක් වුණේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න