71වෙනි පරිච්ඡේදය
පරිසිවරුන් මුරණ්ඩු ලෙස අවිශ්වාස කරයි
වරක් අන්ධව සිටි සිඟමනේ යෙදුණු මනුෂ්‍යයාගේ දෙමව්පියන්ව පරිසිවරුන් ඉදිරියට කැඳවන විට ඔවුන් බියපත් වෙනවා. යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන ඕනෑම කෙනෙකුව සිනගෝගයෙන් නෙරපා දැමීමට තීරණය කර ඇති බව ඔවුන් දන්නවා. විශේෂයෙන්ම දිලිඳු පවුලක් එලෙස ප්‍රජා ඇසුරෙන් කපාහැරියොත් ඔවුන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය හැකියි. ඒ නිසා, දෙමාපියන් කටයුතු කරන්නේ පරෙස්සමින්.
“අන්ධව උපන්නේයයි ඔබ කියන ඔබේ පුතා මොහුද? එසේනම්, දැන් ඔහුට පෙනෙන්නේ කොහොමද” කියා පරිසිවරුන් ඔවුන්ගෙන් අසනවා.
“මේ අපේ පුතා බවත්, මොහු අන්ධව උපන් බවත් අපි දනිමු” කියා දෙමව්පියන් තහවුරු කරනවා. “නමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමද කියාවත් ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාවත් අපි නොදනිමු” කියායි ඔවුන් පවසන්නේ. ඇත්තෙන්ම සිදු වූ සියල්ල ඔවුන්ගේ පුත්‍රයා ඔවුන්ට පවසන්න ඇති. එහෙත් දෙමව්පියන් ඥානවන්තව මෙසේ පවසනවා. “ඔහුගෙන් අසන්න. ඔහු තේරෙන වයසැති කෙනෙකි. ඔහු තමා වෙනුවෙන් කතා කළ යුතුයි.”
ඉතිං, පරිසිවරු නැවතත් එම මිනිසාව කැඳවනවා. මෙවර ඔවුන් වෑයම් කරන්නේ තමන් යේසුස්ට විරුද්ධව සාක්ෂි රැස් කර තිබෙන බව අඟවමින් ඔහුව බියගැන්වීමටයි. “දෙවිව මහිමයට පත් කරන්න. ඒ මිනිසා පව්කාරයෙකු බව අපි දනිමු” කියා ඔවුන් තරයේ කියා සිටිනවා.
වරක් අන්ධව සිටි මනුෂ්‍යයා ඔවුන්ගේ චෝදනාව ප්‍රතික්ෂේප නොකර මෙසේ කියනවා. “ඔහු පව්කාරයෙකුද නැද්ද කියා මම නොදනිමි. නමුත් එක දෙයක් දනිමි. මම කලින් අන්ධව සිටියෙමි. දැන් මට පෙනේ.”
ඔහුගේ සාක්ෂියේ යම් වරදක් සෙවීමට තැත් කරමින් පරිසිවරුන් නැවතත් අසන්නේ මෙසේයි. “ඔහු ඔබට කළේ කුමක්ද? ඔහු ඔබේ ඇස් පෑදුවේ කොහොමද?”
දැන් එම මිනිසා පැමිණිලි කරන්නේ මෙසේයි. “මම මේ දේ කලිනුත් ඔබට කීවෙමි. ඒත් ඔබ ඇසුවේ නැත. එය නැවතත් අසන්න ඔබට ඕනෑ මන්ද?” ඉන්පසු ඔහු උපහාසාත්මක ලෙස මෙසේ කියනවා. “ඔබත් ඔහුගේ ගෝලයන් වන්න කැමති නිසාවත්ද?”
මෙම පිළිතුරෙන් හොඳටම කිපෙන පරිසිවරුන් මෙලෙස චෝදනා කරනවා. “ඔබ ඒ මිනිසාගේ ගෝලයෙකි. නමුත් අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය. දෙවි මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. නමුත් මේ මිනිසා ගැන නම්, ඔහු කොතැනින් පැමිණියාදැයි අපි නොදනිමු.”
කලින් සිඟමනේ යෙදුණු එම යටහත් පහත් මනුෂ්‍යයා පුදුමයට පත් වී මෙසේ පවසනවා. “මෙය නම් මහ පුදුමයකි. ඔහු මගේ ඇස් පාදා තිබියදීත් ඔහු කොතැනින් ආවාදැයි ඔබ දන්නේ නැත.” මෙයින් එළඹිය යුතු නිගමනය කුමක්ද? පිළිගත් මූලික සත්‍යයක් හිඟන්නා පෙන්නුම් කරනවා. “දෙවි පව්කාරයන්ට සවන් නොදෙන බව අපි දනිමු. නමුත් යමෙක් දෙවිට භයව, ඔහුගේ කැමැත්ත කරන්නේ නම්, දෙවි ඔහුට සවන් දෙන්නේය. කිසි කෙනෙකු අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව පුරාණයේ සිට කවදාවත් අසා නැත.” නිගමනය මනාව පැහැදිලි විය යුතුයි. “මේ මිනිසා දෙවි වෙතින් නොපැමිණියේ නම්, ඔහුට කිසිවක් කළ නොහැක.”
පරිසිවරුන්ට එවැනි ඍජු, පැහැදිලි තර්කයකට පිළිතුරු දිය නොහැකියි. සත්‍යය පිළිගැනීමට අකමැතිව සිටින ඔවුන් එම මිනිසාට නිග්‍රහාත්මක ලෙස බැණ වදින්නේ මෙසේයි. “මුළුමනින්ම පාපයේ උපන් ඔබ අපට උගන්වන්න හදනවාද?” දැන් ඔවුන් පෙනෙන විදිහට, ඔහුව සිනගෝගයෙන් නෙරපා දමමින් එතැනින් පන්නා දමනවා.
ඔවුන් කර තිබෙන දෙය ගැන දැනගත් විට යේසුස් එම මිනිසාව හමු වී මෙසේ අසනවා. “ඔබ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල තබන්නෙහිද?”
පිළිතුරු වශයෙන්, වරක් අන්ධව සිටි හිඟන්නා මෙලෙස අසනවා. “මහත්මයාණෙනි, ඔහු කවුද? ඔහු කෙරෙහි මා ඇදහිල්ල තබන පිණිස මට කියන්න.”
‘ඔබ සමඟ කතා කරන්නේ එම තැනැත්තාය’ කියා යේසුස් පිළිතුරු දෙනවා.
එක විගසම ඔහු යේසුස් ඉදිරියේ වැටී පවසන්නේ “ස්වාමිනි, මම ඔහු කෙරෙහි ඇදහිල්ල තබමි” කියායි.
එවිට යේසුස් මෙලෙස පැහැදිලි කරනවා. “මා මේ ලෝකයට ආවේ මේ විනිශ්චය සඳහාය. එනම්, පෙනීම නැත්තන්ට පෙනෙන පිණිසත්, පෙනීම ඇති අය අන්ධ වන පිණිසත්ය.”
එවිට, සවන් දෙමින් සිටි පරිසිවරුන් අසනවා, “අපත් අන්ධද” කියා. තමන් මානසිකව අන්ධයි කියා ඔවුන් පිළිගන්නවා නම්, ඔවුන් යේසුස්ට දක්වන විරෝධය සඳහා යම් ආකාරයකින් හෝ නිදහසට කරුණක් තිබෙනවා. යේසුස් ඔවුන්ට පවසන්නේ මෙයයි. “ඔබ අන්ධව සිටියා නම්, ඔබට කිසි පාපයක් නැත.” එහෙත්, ඔවුන් මුරණ්ඩු ලෙස තරයේ කියා සිටින්නේ තමන් අන්ධ නැති බව හා ආත්මික ඥානාලෝකයක් තමන්ට අවශ්‍ය නැති බවයි. ඉතිං යේසුස් මෙසේ කියනවා. “නමුත් දැන්, ‘අපට පෙනේ’ යයි ඔබ කියන්නහුය. ඔබේ පාපය පවතියි.” යොහන් 9:19-41, NW.
▪ වරක් අන්ධව සිටි සිඟන්නාගේ දෙමව්පියන්ව පරිසිවරුන් ඉදිරියට කැඳවනු ලබන විට, ඔවුන් බියපත් වන්නේ ඇයි? ඔවුන් පරෙස්සමින් පිළිතුරු දෙන්නේ කෙසේද?
▪ වරක් අන්ධව සිටි මනුෂ්‍යයාව බියගැන්වීමට පරිසිවරුන් උත්සාහ කරන්නේ කෙසේද?
▪ පරිසිවරුන් කුපිත වන්නේ එම මිනිසාගේ කිනම් තර්කානුකූල පිළිතුර නිසාද?
▪ යේසුස්ට දක්වන විරෝධය සම්බන්ධයෙන් පරිසිවරුන්ට කිසිම අන්දමක නිදහසට කරුණක් නැත්තේ ඇයි?