ඉලක්කය වෙත වේගයෙන් දුවන්න!
පිලිප්පි පොතෙන් මූලික කරුණු
පිලිප්පියේ සිටින ක්‍රිස්තියානින් සදාකාල ජීවනය නැමැති ඉලක්කය වෙත වේගයෙන් දුවනවා දැකීමට ප්‍රේරිත පාවුල්ට උවමනා විය. මේ හේතුව නිසා, පො.යු. 60 හෝ 61 දී පමණ, පාවුල් පළමු වරට රෝමයේ සිරගත වී සිටින අතරේ දී, ඔවුන්ට ලීවේ ය. මසෙදොන් හි පිලිප් (මහා ඇලෙක්සැන්ඩර්ගේ පියා) විසින් ස්ථාපනය කරන ලද පිලිප්පි හි, වසර දහයකට පමණ පෙර තමන් පිහිටුවා තිබූ සභාවකට ඔහුගේ ලිපිය යවන ලදි. පළමු සියවස පමණ වන විට, එය “මකිදෝනිය දිස්ත්‍රික්කයේ අග නුවර” බවට පත්ව තිබූ අතර, අද එය උතුරු ග්‍රීසියේ හා දකුණු යුගෝස්ලාවියාවේ කොටසක් වෙයි.—ක්‍රියා 16:11, 12
පිලිප්පීය ඇදහිලිවන්තයන් දිළිඳු නමුත් ත්‍යාගශීලි අය වූහ. එක වරකට වඩා වැඩියෙන්, පාවුල්ගේ අවශ්‍යතා සපුරනු වස්, ඔව්හු යම් දේ ඔහු වෙත යැවූහ. (පිලිප්පි 4:14-17) නමුත් ඔහුගේ ලිපිය ස්තූති කිරීමේ සටහනකට වඩා වැඩි යමක් විය. එය දිරිගැන්වීමක් ද දුන් අතර, ප්‍රේමය ප්‍රකාශ කොට, උපදෙස් ද සැපයූවේ ය.
ක්‍රිස්තියානි ගුණාංග පැහැදිලි ව පෙන්වා තිබේ
පිලිප්පීය ඇදහිලිවන්තයන් කෙරෙහි වූ සිය ප්‍රේමයේ සාක්ෂි සමඟින් පාවුල්ගේ ලිපිය ආරම්භ වෙයි. (1:1-30) ශුභාරංචියේ වර්ධනය උදෙසා ඔවුන් විසින් කළ සම්මාදම් ගැන ඔහු යෙහෝවඃ වහන්සේට ස්තූති කළ අතර, ඔවුන්ගේ ප්‍රේමය වැඩි වන ලෙස යාච්ඤා කළේ ය. ඔහුගේ සිරගතවීම, ‘දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ව කථා කිරීමෙහි ලා වැඩිමනත් ධෛර්යයක් පෙන්නුම් කිරීමට’ ඔවුනට හේතුකරවීම ගැන ඔහු සතුටු විය. ක්‍රිස්තුස් වහන්සේ සමඟ ජීවත් වීමට ඔහු ආශා කළ ද, ඔවුන් හට සේවය කරන්නට තමාට තවමත් හැකි බවට ඔහුට හැඟුණි. “එක ආත්මයෙන් ස්ථීර ව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්ය කරමින්” ඔවුන් ගමන් කරනවා දැකීමට පාවුල්ට උවමනා විය.
ඊළඟට ඔහු ලීවේ ආකල්ප හා හැසිරීම පිළිබඳ උපදෙස් ය. (2:1-30) අන්‍යයන් කෙරෙහි පුද්ගලික සැලකිල්ලක් පෙන්වන ලෙසට ද, ක්‍රිස්තුස් වහන්සේ දැක්වූ යටහත්කමට සමාන යටහත්කමක් විදහාපාන ලෙසට ද පිලිප්පිවරුන්ව දිරිගන්වනු ලැබිණි. ඔවුන් “ලෝකයේ ප්‍රදීප්ත පහන් මෙන් බැබළෙන” [NW] අතර, “ජීවනයේ වචනය තදින් අල්ලා” තබා ගන්නා ලෙස උදක් ම ඉල්ලා සිටින ලදි. පාවුල් තිමෝති ව ඔවුන් වෙතට යැවීමට අපේක්ෂා කළ අතර, තමා ම ඉක්මනින් එහි පැමිණෙන බවට විශ්වාසය පළ කළේ ය. අසනීප ව සිටි එපප්‍රොදිතස් පිළිබඳ ව ඔවුන්ව සනසනු පිණිස, පාවුල් මෙම පක්ෂපාත සේවකයා ව ඔවුන් වෙතට යවමින් සිටියේ ය.
ඉලක්කය වෙත වේගයෙන් දිව යමින් සිටින්න
ඔවුන් ඉලක්කය කරා වේගයෙන් දිව යන විට, තම විශ්වාසය තබන්නේ කොහේදැයි ප්‍රේරිතවරයා ඊළඟට පිලිප්පිවරු හට පෙන් වී ය. (3:1-21) එය තැබිය යුත්තේ, සමහරුන් කරමින් සිටියාක් මෙන් මාංසයේ හෝ චර්මච්ඡේදනය මත නොව, නමුත් යේසුස් වහන්සේ මත ය. “ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනුමේ උත්කෘෂ්ට වටිනාකම” හේතුකොටගෙන, තම මාංසික අකෘති පත්‍ර කුණු යැයි පාවුල් සැලකී ය. ප්‍රේරිතවරයා, “ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමින් සිටි අතර, එවැනි ම මානසික ආකල්පයක් තබා ගන්නා ලෙසට පිලිප්පිවරුන් ව දිරිගැන් වී ය.
පාවුල්ගේ අවසන් උපදෙස් අදාළ කරගැනීම, ඉලක්කය හා ත්‍යාගය තමන් ඉදිරියෙන් තබා ගැනීමට පිලිප්පිවරුන් හට උපකාර කරනු ඇත. (4:1-23) තම කාන්සාවන් දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤාව මගින් තබා, යහපත් ප්‍රිය මනාප අදහස්වලින් මනස පුරවාගන්න ලෙස ඔහු ඔවුන්ගෙන් අයැද සිටියේ ය. පාවුල් යළිත් වරක් ඔවුන්ගේ ත්යාගශීලිකමට ප්‍රශංසා කළ අතර, ස්වාමි වූ යේසුස් වහන්සේගේ අපරිමිත කරුණාව ඔවුන් පෙන් වූ ස්ප්‍රීතුව සමඟ පවතීවා යන ප්‍රාර්ථනය සමඟ ශුභාශිංසනය කරමින් ලිපිය අවසන් කළේ ය.
පිලිප්පිවරුනට ලියන ලද පාවුල්ගේ ලිපිය, ත්යාගශීලිකමට, ප්‍රේමයට සහ යටහත්කමට පොලඹවයි. එය, ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසයට හා දෙවියන් වහන්සේ වෙත හෘදයාංගම යාච්ඤාවට දිරිගන්වයි. එමෙන් ම පාවුල්ගේ වචන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් හට, ඉලක්කය කරා වේගයෙන් දුව ගොස් සදාකාල ජීවනයේ ත්‍යාගය දිනාගැනීමට මහඟු උපකාරයක් වෙයි. w91 11⁄15
ඉලක්කය කරා: “පස්සෙන් තිබෙන දේ මතක නැති කොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින්, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පළ කරා දුවමි” යයි පාවුල් ලීවේ ය. (පිලිප්පි 3:13, 14) ධාවන තරඟයක සහභාගි වී සිටින්නෙකු මෙන්, ප්‍රේරිතවරයා මහත් වෙහෙසක් දරමින් සිටියේ ය. ධාවකයෙක් අවසන් රේඛාව පසුකිරීමට මහත් වෑයමක් දරන්නාක් මෙන්, පසුපස බලමින් කාලය සහ මහන්සිය වැය නොකොට වේගයෙන් ඉලක්කය කරා දිව ගියේ ය. පාවුල් සහ අනෙකුත් ආලේපලත් ක්‍රිස්තියානින් හට ලැබෙන්නට තිබූ ත්‍යාගය වූයේ, දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිට තම භූමික දේව සේවය අවසන් කළ පසු නැවත නැගිටවීමක් මගින් ලබන ස්වර්ගීය ජීවනයයි. අපගේ බලාපොරොත්තු ස්වර්ගීය හෝ භූමික හෝ වේවා යෙහෝවඃ වහන්සේ කෙරෙහි අඛණ්ඩතාවය තබා උන් වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් ඉලක්කය කරා වේගයෙන් දිව යමු. —2 තිමෝති 4:7.