ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w19 අගෝස්තු 2-7 පි.
  • අපි උත්සාහය අත්හරින්නේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි උත්සාහය අත්හරින්නේ නැහැ
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පාවුල්ගේ ආදර්ශය අපිට උදව්වක්
  • විශ්වාසය දුර්වල කරන්න අභියෝගවලට ඉඩ දෙන්න එපා!
  • අනාගත බලාපොරොත්තුව නිතරම මනසේ තියාගන්න
  • අවසානය දක්වා විඳදරාගැනීමට ඔබට පුළුවන්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉලක්කය වෙත වේගයෙන් දුවන්න!
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විඳදරාගැනීමෙන් යුතුව දුවන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධාවන තරඟය නිම කරන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w19 අගෝස්තු 2-7 පි.

පාඩම් ලිපිය 31

අපි උත්සාහය අත්හරින්නේ නැහැ

“අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය.”—2 කොරි. 4:16.

ගීතිකාව 128 අවසානය දක්වා විඳදරාගන්න

මේ ලිපියෙන්a

1. ධාවන තරඟයේ අවසානය දක්වාම දුවන්න නම් ක්‍රිස්තියානීන් කරන්න ඕනෙ මොකක්ද?

ක්‍රිස්තියානීන් වන අපි හැමෝම ඉන්නේ ධාවන තරඟයක. අපි ඒ තරඟය දුවන්න පටන්ගත්තේ ළඟදී වුණත් මීට අවුරුදු ගාණකට කලින් වුණත් අපි හැමෝම මේ තරඟයේ අවසානය දක්වාම දුවන්න ඕනේ. පාවුල් ෆිලිප්පිවරුන්ට දුන්න උපදෙස් ඒ තරඟය සාර්ථකව අවසන් කරන්න අපිට ලොකු දිරිගැන්වීමක්. පාවුල්ගේ ලිපිය ලැබෙද්දී අවුරුදු ගාණක් තිස්සේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරමින් හිටපු සමහරු ෆිලිප්පි සභාවේ හිටියා. ඒත් පාවුල් දිරිගැන්නුවේ එයා වගේ “ත්‍යාගය ලබාගැනීමේ අදහසින් දිගටම දුවන්න” කියලයි.—ෆිලි. 3:14.

2. පාවුල් ෆිලිප්පි සභාවේ අයට දුන්න උපදෙස් එයාලට ප්‍රයෝජනවත් වුණා කියන්නේ ඇයි?

2 පාවුල් ෆිලිප්පි සභාවේ අයට ලියපු ලිපිය එයාලට හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඒ සභාව පිහිටවපු දවසේ ඉඳන් එහේ සහෝදර සහෝදරියන්ට හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණා. ක්‍රි.ව. 50දී විතර “මැසිඩෝනියාවට ඇවිත් උපකාර කරන්න” කියලා දෙවියන්ගේ බලයෙන් පාවුල්ට මඟ පෙන්වීමක් ලැබුණාම පාවුල් සහ සීලස් ෆිලිප්පියට ගියා. (ක්‍රියා 16:9) එයාලට එහෙදී ලිදියාව හම්බ වුණා. ශුභාරංචිය පිළිගන්න “යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළා.” (ක්‍රියා 16:14) ඊටපස්සේ ලිදියායි, එයාගේ ගෙදර හැමෝමයි බව්තීස්ම වුණා. ඒත් එක්කම වගේ සාතන් එයාලට පීඩා කරන්න පටන්ගත්තා. නගරයේ හිටපු මිනිසුන් පාවුල්වයි, සීලස්වයි සිවිල් ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන ගිහින් එයාලා නගරයේ කලබල ඇති කරනවා කියලා බොරු චෝදනා එල්ල කළා. ඒ නිසා ඒ දෙන්නාට හොඳටම ගහලා හිරේට දැම්මා. පස්සේ ඒ නගරයෙන් පිට වෙලා යන්න කියලා එයාලට බල කළා. (ක්‍රියා 16:16-40) ඒත් පාවුල් සහ සීලස් අධෛර්යය වුණේ නැහැ. එතකොට අලුතෙන් පිහිටවපු ෆිලිප්පි සභාවේ හිටපු සහෝදර සහෝදරියන් අධෛර්යය වුණාද? නැහැ. එයාලත් ඒ පීඩා දිගටම විඳදරාගත්තා. පාවුල් සහ සීලස්ගේ ආදර්ශය එයාලට ලොකු දිරිගැන්වීමක් වුණා කියලා නම් ස්ථිරයි.

3. පාවුල් දැනන් හිටියේ මොකක්ද? අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 දිගටම විශ්වාසවන්තව සේවය කරන්න පාවුල්ට තිබුණේ ලොකු අධිෂ්ඨානයක්. (2 කොරි. 4:16) එයා දැනන් හිටියා ධාවන තරඟයේ අවසානය දක්වාම දුවන්න නම් ත්‍යාගයට මනස යොමු කරලා තියාගන්න ඕනෙ කියලා. පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මොන අභියෝග තිබුණත් දිගටම විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලා සහෝදර සහෝදරියන් ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? තරඟයේ අවසානය දක්වා දුවන්න අපේ බලාපොරොත්තුව අපිට ශක්තියක් වෙන්නේ කොහොමද?

පාවුල්ගේ ආදර්ශය අපිට උදව්වක්

4. දුෂ්කරතා අද්දැක්කත් දිගටම උද්‍යෝගයෙන් දෙවියන්ට සේවය කරන්න පාවුල්ට පුළුවන් වුණේ කොහොමද?

4 පාවුල් ෆිලිප්පි සභාවේ අයට ලිපිය ලියද්දී එයා හිටියේ රෝමයේ නිවාස අඩස්සියේ. කලින් වගේ මිනිසුන් ඉන්න තැන්වලට ගිහින් දේශනා කරන්න එයාට නිදහස තිබුණේ නැති නිසා එයාගේ උද්‍යෝගය අඩු වුණාද? නැහැ. පාවුල් එයාව හම්බ වෙන්න ආපු අයට දේශනා කළා. ඈත පැතිවල තිබුණ සභාවලට ලිපි ලිව්වා. අදත් මහලු වයස හෝ අසනීපයක් නිසා ගෙදරින් එළියට යන්න බැරි හුඟදෙනෙක් ඉන්නවා. ඒ අය එයාලගේ ගෙදරට එන අයට ශුභාරංචිය ගැන කතා කරනවා. ගෙයින් ගෙට සේවයේදී හම්බ වෙන්න බැරි අයට ශුභාරංචිය ගැන කියලා ලිපි ලියනවා.

5. ෆිලිප්පි 3:12-14 අනුව මනස ත්‍යාගයට යොමු කරලා තියාගන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?

5 යෙහෝවා දෙවියන්ට කරන සේවයෙන් එයාගේ මනස වෙන පැත්තකට යොමු කරන්න පාවුල් කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ. “ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරන්න” නම් ඒ කියන්නේ ධාවන තරඟයේ අවසානය දක්වාම දුවන්න නම් එයා “අත්හැර දැමූ දේවල් අමතක කරන්න” ඕනෙ කියලා පාවුල් කිව්වා. (ෆිලිප්පි 3:12-14 කියවන්න.) පාවුල්ගේ මනස වෙන පැත්තකට යොමු වෙන්න ඉඩ තිබුණේ මොන වගේ දේවල් නිසාද? (1) එයා කලින් ගත කරපු ජීවිතේ. ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් පාවුල් ගත කරපු ජීවිතේ එදා සමාජය සැලකුවේ සාර්ථක ජීවිතයක් හැටියට. ඒත් ඒ හැම දෙයක්ම පාවුල් සැලකුවේ “කුණු ගොඩක්” විදිහට. (ෆිලි. 3:3-8) (2) එයා අතින් වුණ වැරදි. එයා කලින් ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට පීඩා කළා. ඒ ගැන එයාට ලොකු දුකක් දැනුණත් එයා අධෛර්යය වෙලා දෙවියන්ට සේවය කරන එක නතර කළේ නැහැ. (3) දෙවියන් වෙනුවෙන් එයා කරපු සේවය. යෙහෝවා දෙවියන් වෙනුවෙන් එයා දැනටමත් සෑහෙන සේවයක් කරලා තිබුණ නිසා දැන් එච්චර වෙහෙසක් දරලා සේවය කරන්න ඕනෙ නැහැ කියලා එයා හිතුවේ නැහැ. පාවුල් හිරේ හිටියා. පහර කෑවා. කීප සැරයක්ම එයා ගමන් කරපු නැව් මුහුදුබත් වුණා. හරියට කන්න, අඳින්න නැති අවස්ථා තිබුණා. ඒ මොන දේට මුහුණ දුන්නත් පාවුල් එයාට භාර දීපු දේවසේවය සාර්ථකව කළා. (2 කොරි. 11:23-27) අතීතයේදී දෙවියන් වෙනුවෙන් කරපු සේවය, දරාගත්ත පීඩා දිහා බලලා ‘දැන් නම් ඇති’ කියලා හිතනවා වෙනුවට දිගටම උද්‍යෝගයෙන් දෙවියන්ට සේවය කරන්න ඕනෙ කියලා එයා දැනන් හිටියා. අපිත් කරන්න ඕනෙ ඒ දේමයි.

6. අපි ‘අමතක කරන්න ඕනෙ’ අත්හැරලා දාපු මොන දේවල්ද?

6 පාවුල් වගේ අත්හැරලා දාපු දේවල් අමතක කරන්න අපිට පුළුවන් කොහොමද? අපෙන් සමහරදෙනෙක්ට අතීතයේ කරපු වැරදි නිසා එයාලගේ හිත තාමත් වධ දෙනවා ඇති. ඔයාත් ඒ වගේ හැඟීම් එක්ක පොරබදිනවා නම් යේසුස්ගේ ජීවිත පූජාව ගැන තව වැඩියෙන් අධ්‍යයනය කරන්න. ජීවිත පූජාව ගැන අධ්‍යයනය කරද්දී, ඒ ගැන හිතද්දී, යාච්ඤා කරද්දී අතීතයේ ඔයා කරපු වැරදි ගැන අනවශ්‍ය විදිහට දුක් නොවී ඉන්න ඒක ඔයාට උදව් වෙයි. මොකද යෙහෝවා දෙවියන් දැනටමත් ඒ වැරදිවලට ඔයාට සමාව දීලා කියලා ඔයාට තේරෙයි. පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් තවත් පාඩමක් මොකක්ද? සමහරු තව වැඩියෙන් සේවය කරන්න තියෙන කැමැත්ත නිසා හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවන් අත්හැරලා තියෙනවා. ඒ රස්සාව තාමත් කළා නම් අද වෙද්දී කොච්චර දේවල් ගන්න තිබුණාද කියලා හිතන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. ඒත් අත්හැරලා ආපු දේවල් ගැන ආයෙත් හිතන්නේ නැතුව ඉන්න අදිටන් කරගන්න. (ගණන්. 11:4-6; දේශ. 7:10) ‘අත්හැරලා දාපු දේවලට’ ඔයා කලින් යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරපු සේවය, විඳදරාගත්ත පීඩා වුණත් ඇතුළත් වෙන්න පුළුවන්. ඇත්ත, අතීතයේදී යෙහෝවා දෙවියන් අපිට උදව් කරපු විදි, ආශීර්වාද කරපු විදි ගැන හිතද්දී අපි දෙවියන්ට තව ළං වෙනවා. ඒත් කලින් කරපු සේවය දැන් කරන සේවය අඩු කරන්න හේතුවක් නෙමෙයි.—1 කොරි. 15:58.

මැරතන් තරඟයක යෙදෙන සමහර ක්‍රීඩකයින් දුවන එක නතර කරලා කඩවල තියෙන දේවල් බලනවා. තවත් අය ෆෝන් එක පාවිච්චි කරනවා. ඒත් ඉස්සරහින්ම ඉන්න කෙනා එයාගේ මනස වෙන දේවලට යොමු කරන්නේ නැහැ

ධාවන තරඟයේදී අපේ අවධානය වෙන දේවලට යොමු නොකර, දිගටම දුවන්න ඕනේ (7 ඡේදය බලන්න)

7. 1 කොරින්ති 9:24-27 අනුව ධාවන තරඟය ජය ගන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? පැහැදිලි කරන්න.

7 ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කරන්න “දැඩි උත්සාහයක් දරන්න” කියලා යේසුස් කියපු දේ පාවුල් හොඳින් තේරුම් අරන් හිටියා. (ලූක් 13:23, 24) පාවුල් දැනන් හිටියා යේසුස් වගේ එයාත් එයාගේ ජීවිතේ අවසානය දක්වාම ඒ දේ කරන්න ඕනෙ කියලා. ක්‍රිස්තියානීන් විදිහට අපි ගත කරන ජීවිතය එයා ධාවන තරඟයකට සමාන කළේ ඒ නිසයි. (1 කොරින්ති 9:24-27 කියවන්න.) ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක් එයාගේ අවධානය යොමු කරන්නේ දිනුම් කණුව වෙතටයි. උදාහරණෙකට හිතන්න, මැරතන් තරඟයක යෙදෙන ක්‍රීඩකයන්ට දුවන්න තියෙන්නේ පාර දෙපැත්තේ කඩසාප්පු තියෙන පාරක කියලා. දෙපැත්තේ තියෙන දේවල් දිහා බලන්න ක්‍රීඩකයෙක් දුවන එක නතර කරයිද? තරඟය දිනන්න ඕනෙ නම් එයා කීයටවත් එහෙම කරන්නේ නැහැ. ක්‍රිස්තියානීන් විදිහට අපි යෙදිලා ඉන්න ධාවන තරඟයේදීත් අපේ අවධානය කිසිම දෙයක් නිසා බිඳෙන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අපි අපේ මනස ත්‍යාගය දිහාවටම යොමු කරලා පාවුල් වගේ දිගටම උද්‍යෝගයෙන් සේවය කරනවා නම් අපිටත් පුළුවන් ත්‍යාගය දිනාගන්න.

විශ්වාසය දුර්වල කරන්න අභියෝගවලට ඉඩ දෙන්න එපා!

8. අපි බලන්නේ මොන අභියෝග තුන ගැනද?

8 ධාවන තරඟයේ යෙදෙද්දී අපේ වේගය අඩාල වෙන්න හේතු වෙන දේවල් තුනක් ගැන දැන් අපි බලමු. (1) බලාපොරොත්තු වෙන දේවල් ප්‍රමාද වෙද්දී, (2) ශරීර ශක්තිය අඩු වෙද්දී, (3) කාලයක් තිස්සේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙද්දී අපි අධෛර්යය වෙන්න පුළුවන්. ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්න අයගේ ආදර්ශ ගැන බලන එක අපිට ප්‍රයෝජනවත්.—ෆිලි. 3:17.

9. බලාපොරොත්තු වෙන දේවල් ප්‍රමාද වෙද්දී ඒක අපිට බලපාන්න පුළුවන් කොහොමද?

9 බලාපොරොත්තු වෙන දේවල් ප්‍රමාද වෙද්දී. යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් අපි බලන් ඉන්නේ ලොකු ආසාවකින්. යූදා දේශයේ තිබුණ දුෂ්ටකම්වලට නිමාවක් ගේන කල් හබක්කුක් ආසාවෙන් බලන් ඉන්නවා කියලා කිව්වාම යෙහෝවා දෙවියන් එයාට කිව්වා දිගටම “ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින්න” කියලා. (හබ. 2:3) ඒ වුණත් අපි ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් ඉටු වෙන්න ප්‍රමාදයි වගේ දැනෙද්දී අපි අධෛර්යය වෙන්න පුළුවන්. (හිතෝ. 13:12) උදාහරණෙකට විසිවෙනි සියවසේ මුල් කාලේ හිටපු අභිෂේක ලත් හුඟදෙනෙක් හිතුවේ එයාලට 1914දී ස්වර්ගයට යන්න ලැබෙයි කියලා. ඒත් ඒක වුණේ නැති වුණාම විශ්වාසවන්ත අභිෂේක ලත් අය මොකද කළේ?

රෝයල් සහ පර්ල් ස්පට්ස්

රෝයල් සහ පර්ල් ස්පට්ස් බලාපොරොත්තුවෙන් හිටපු දේ 1914දී ඉටු වුණේ නැහැ. ඒත් මිය යන කල්ම ඒ දෙන්නා විශ්වාසවන්තව සේවය කළා (10 ඡේදය බලන්න)

10. බලාපොරොත්තුවෙන් හිටපු දේ එයාලා හිතපු වෙලාවේ ඉටු නොවුණාම යුවළක් කළේ මොකක්ද?

10 ඒ අභියෝගයට හොඳින් මුහුණ දුන්න යුවළකගේ අද්දැකීම බලන්න. සහෝදර රෝයල් ස්පට්ස් බව්තීස්ම වුණේ 1908දී. එතකොට එයාට වයස 20යි. එයාට ඉක්මනටම ස්වර්ගයට යන්න ලැබෙනවා කියලා එයා විශ්වාස කළා. 1911දී පර්ල් කියන සහෝදරියට එයා විවාහ යෝජනාවක් කරද්දී මෙහෙම කිව්වා. “1914දී වෙන දේ ගැන ඔයා දන්නවා නේ. ඒ නිසා අපි ඊට කලින් බඳිමු.” ඒත් එයාලා බලාපොරොත්තු වුණ විදිහට 1914දී එයාලට ස්වර්ගයට යන්න ලැබුණේ නැති වුණාම ඒ යුවළ ධාවන තරඟයෙන් අයින් වුණාද? නැහැ. එයාලට වැඩියෙන්ම වැදගත් වුණේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන එකයි. එහෙම නැතුව ත්‍යාගය ලැබෙන දවස නෙමෙයි. එයාලගේ අධිෂ්ඨානය වුණේ විඳදරාගෙන දිගටම තරඟය දුවන්නයි. ඒ නිසා මිය යන කල්ම ඒ දෙන්නා විශ්වාසවන්තව, උද්‍යෝගයෙන් දෙවියන්ට සේවය කළා. දෙවියන් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරලා ඔහු පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ කියලා ඔප්පු කරන දවස එන කල් ඔයාත් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඇති. ඒ දේ නියමිත කාලේදී දෙවියන් අනිවාර්යයෙන්ම ඉටු කරනවා. බලාපොරොත්තු වෙන ඒ දේ ප්‍රමාදයි කියලා ඔයාට දැනුණත් අධෛර්යය වෙන්න එපා. ඒ දවස එන කල් වේගය අඩු නොකර දිගටම දුවන්න.

ආතර් සෙකෝඩ්

මහලු වයසේ හිටියත් ආතර් සෙකෝඩ්ට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන් වෙනුවෙන් එයාගේ උපරිමය දෙන්න (11 ඡේදය බලන්න)

11-12. කලින් තරම් සවිශක්තියක් දැන් අපිට නැති වුණත් දිගටම විශ්වාසවන්තව සේවය කරන්න අපිට පුළුවන් ඇයි? අද්දැකීමක් කියන්න.

11 ශරීර ශක්තිය අඩු වෙද්දී. ඇත්තම ධාවන තරඟයක යෙදෙන කෙනෙකුට හොඳ ශරීර ශක්තියක් තියෙන්නම ඕනේ. ඒත් අපි යෙදෙන ධාවන තරඟයේ යෙදෙන්න ඒ තරම් සවිශක්තියක් නැති කෙනෙක්ට වුණත් පුළුවන්. යෙහෝවා දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් ඇතුව උද්‍යෝගයෙන් ඔහුට සේවය කරන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්. (2 කොරි. 4:16) සහෝදර ආතර් සෙකෝඩ්ට වයස 88ක් වෙද්දී එයා බෙතෙල් එකේ අවුරුදු 55ක් සේවය කරලා තිබුණා. ඒ වෙද්දී එයාගේ ශරීර ශක්තිය දුර්වල වෙලයි තිබුණේ. දවසක් සහෝදරියක් එයාට හරිම ආදරෙන් මෙහෙම කිව්වා. “සහෝදර සෙකෝඩ් ඔයා යෙහෝවා වෙනුවෙන් කොයි තරම් නම් සේවයක් කරලා තියෙනවාද!” ඒත් සහෝදර සෙකෝඩ් එයා අතීතයේ කරපු සේවය නිසා ‘දැන් කළා ඇති’ කියලා හිතපු කෙනෙක් නෙමෙයි. එයා හිනා වෙලා මෙහෙම කිව්වා. “ඔයා කියන දේ ඇත්ත තමයි. ඒත් අපි මේ වෙන කල් කරපු දේ නෙමෙයි වැදගත්. දැනුත් ඉස්සරහටත් විශ්වාසවන්තව ඉන්න එකයි වැදගත්.”

12 සමහරවිට ඔයාත් යෙහෝවා දෙවියන්ට අවුරුදු ගාණක් තිස්සේ සේවය කරනවා ඇති. ඒත් දැන් ශරීර ශක්තිය දුර්වල නිසා කලින් තරම් සේවය කරන්න බැරුව ඇති. අධෛර්යය වෙන්න එපා! ඔයා විශ්වාසවන්තව කරපු සේවය යෙහෝවා දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) මතක තියාගන්න, අපි යෙහෝවා දෙවියන්ට කොච්චර ආදරේද කියලා ඔප්පු වෙන්නේ ඔහු වෙනුවෙන් අපි කොයි තරම් ප්‍රමාණයක් සේවය කරනවාද කියන දේ මත නෙමෙයි. ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් උපරිමය, අපි ආසාවෙන් කරනවා නම් අපේ ආදරේ ඔහුට පේනවා. (කොලො. 3:23) දෙවියන් අපි ගැන හොඳින්ම දන්නවා. අපිට කරන්න බැරි දේ ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—මාක් 12:43, 44.

අනතෝලි සහ ලිඩියා මෙල්නික්

අනතෝලි සහ ලිඩියා මෙල්නික් අවුරුදු ගාණක් තිස්සේ පීඩාවන්ට මුහුණ දුන්නත් විශ්වාසවන්තව හිටියා (13 ඡේදය බලන්න)

13. අපි දැනටමත් හුඟක් පීඩාවලට මුහුණ දීලා තිබුණත් දිගටම විශ්වාසවන්තව සේවය කරන්න මෙල්නික් යුවළගේ අද්දැකීම අපිට උදව් වෙන්නේ කොහොමද?

13 කාලයක් තිස්සේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙද්දී. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහරදෙනෙක්ට අවුරුදු ගාණක් පුරා දුෂ්කරතා, විරුද්ධවාදිකම් දරාගන්න වෙලා තියෙනවා. සහෝදර අනතෝලි මෙල්නික් ඒ වගේ කෙනෙක්. එයාට අවුරුදු 12දී එයාගේ තාත්තාව අත්අඩංගුවට අරන් සිරගත කළා. පස්සේ පවුලේ අය හිටපු මෝල්දාවියාවේ ඉඳන් කි.මී. 7,000කට වඩා දුරින් තිබුණ සයිබීරියාවට තාත්තාව පිටුවහල් කළා. අවුරුද්දකට පස්සේ අනතෝලිවත් එයාගේ අම්මායි, ආච්චියි, සීයායි එක්ක සයිබීරියාවට පිටුවහල් කළා. කාලෙකට පස්සේ එයාලට පුළුවන් වුණා ඈත ගමක තිබුණ රැස්වීම්වලට යන්න. ඒත් ඒකට යන්න එයාලා ගල්ගැහෙන සීතලේ, හිමෙන් වැහුණු පාරවල් දිගේ කි.මී. 30ක් ඇවිද්දා. පස්සේ කාලෙකදී සහෝදර අනතෝලිව අවුරුදු 3කට සිරගත කළා. එයාගේ බිරිඳ ලිඩියාගෙන් සහ අවුරුද්දක් වයස දුවගෙන් වෙන් වෙලා යන්න එයාට වුණා. අවුරුදු ගාණක් තිස්සේ හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වුණත් අනතෝලි සහ එයාගේ පවුලේ අය දිගටම විශ්වාසවන්තව දෙවියන්ට සේවය කළා. දැන් සහෝදර අනතෝලිට වයස 82ක්. එයා මධ්‍යම ආසියාවේ ශාඛා කාර්යාලයක කමිටු සාමාජිකයෙක් හැටියට සේවය කරනවා. අනතෝලි සහ ලිඩියා වගේ අපිත් අතීතයේ විඳදරාගත්ත විදිහටම දිගටම විඳදරාගනිමින් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරමු.—ගලා. 6:9.

අනාගත බලාපොරොත්තුව නිතරම මනසේ තියාගන්න

14. ත්‍යාගය ලබාගන්න නම් මොකක් කරන්න ඕනෙ කියලාද පාවුල් තේරුම්ගත්තේ?

14 පාවුල්ට ලොකු විශ්වාසයක් තිබුණා තරඟය අවසන් කරලා එයාගේ ත්‍යාගය දිනාගන්න එයාට පුළුවන් කියලා. අභිෂේක ලත් කෙනෙක් විදිහට පාවුල් බලාපොරොත්තුවෙන් හිටියේ ‘ස්වර්ගයට යෑම සඳහා දෙවිගෙන් ලැබූ කැඳවීම’ ගැනයි. ඒත් ඒ ත්‍යාගය ලබාගන්න නම් තරඟයේ අවසානය දක්වා ‘දිගටම දුවන්න’ ඕනෙ කියලා එයා තේරුම්ගත්තා. (ෆිලි. 3:14) මනස දිගටම ත්‍යාගයට යොමු කරලා තියාගන්න ෆිලිප්පිවරුන්ට උදව් කරන්න පාවුල් උදාහරණයක් පාවිච්චි කළා.

15. පුරවැසිභාවය ගැන උදාහරණය පාවිච්චි කරලා පාවුල් ෆිලිප්පි සභාවේ අයට උගන්වන්න හැදුවේ මොකක්ද?

15 ෆිලිප්පිවරුන්ට ස්වර්ගයේ තියෙන පුරවැසිභාවය ගැන පාවුල් මතක් කළා. (ෆිලි. 3:20) ඒක මතකයේ තියාගන්න එක වැදගත් ඇයි? ඒ කාලේ හුඟදෙනෙක් කැමැත්තෙන් හිටියා රෝමයේ පුරවැසිභාවය ලබාගන්න. මොකද ඒක තිබුණ අයට හුඟක් ප්‍රයෝජන ලැබුණා.b ඒත් අභිෂේක ලත් අයට තිබුණේ ඊට වඩා වටින ආණ්ඩුවක පුරවැසිභාවයක්. ඒකෙන් ලැබෙන ප්‍රයෝජන වෙන කිසිම ආණ්ඩුවකින් ලැබෙන්නේ නැහැ. ස්වර්ගයේ පුරවැසිභාවය එක්ක බලද්දී රෝම පුරවැසිභාවයේ කිසිම වටිනාකමක් නැහැ. ඒ නිසා පාවුල් ෆිලිප්පිවරුන්ට කිව්වා “නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න” කියලා. එතන “හැසිරෙන්න” කියද්දී පුරවැසියන් විදිහට හැසිරෙන්න කියන අදහස තියෙනවා. (ෆිලි. 1:27) අද ඉන්න අභිෂේක ලත් අයගේ ආසාවත් තරඟයේ අවසානය දක්වා ‘දිගටම දුවලා’ එයාලා ඉදිරියේ තියෙන ත්‍යාගය ලබාගන්නයි. එයාලා අපිට ආදර්ශයක්.

16. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් පොළොවේ ජීවත් වෙන්න වුණත් ෆිලිප්පි 4:6, 7 අනුව අපි දිගටම කරන්න ඕනෙ මොකක්ද?

16 අපිට තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව වුණත් පොළොවේ ජීවත් වෙන බලාපොරොත්තුව වුණත් අපි ඒ ත්‍යාගය ලබාගන්න අරමුණින් තරඟයේ අවසානය දක්වා දුවන්න ඕනේ. අපිට මොන වගේ දේවල් විඳදරාගන්න වුණත් අපි අත්හැරලා ආපු දේවල් දිහා ආයෙත් බලන්න හොඳ නැහැ. (ෆිලි. 3:16) යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කල් සමහරවිට අපි සෑහෙන කාලයක් තිස්සේ බලන් ඉන්නවා ඇති. එහෙම නැත්නම් අපේ ශරීර ශක්තිය එන්න එන්නම දුර්වල වෙලා ඇති. අවුරුදු ගාණක් පුරා දුෂ්කරතා විඳදරාගන්න අපිට සිද්ධ වෙලා ඇති. ඔයා ඒ මොන දේට මුහුණ දුන්නත් “කනස්සලු නොවන්න.” ඒ වෙනුවට යාච්ඤාවෙන් සහ කන්නලව්වලින් ඔයාගේ හැම ඉල්ලීමක්ම දෙවියන්ට කියන්න. එතකොට ඔයාට හිතාගන්නවත් බැරි තරම් සමාදානයක් දෙවියන් ඔයාට දෙයි.—ෆිලිප්පි 4:6, 7 කියවන්න.

17. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 තරඟකරුවෙක් තරඟයේ අන්තිම මීටර් කීපයට එද්දී එයාගේ සම්පූර්ණ ශක්තිය යොදවලා දුවනවා. මොකද එයාට ඕනෙ තරඟය අවසන් කරන්න. අපේ අරමුණත් තරඟයේ අවසානය දක්වාම දුවන එකයි. ඉදිරියේ තියෙන ත්‍යාගය ලබාගන්න අපි දිගටම දුවමු. විඳදරාගෙන තරඟයේ අවසානය දක්වා දුවන්න අපිට පුළුවන් කොහොමද? අපේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලත් ඒ දේවලට මුල් තැන දෙන්න පුළුවන් කොහොමද කියලත් ඊළඟ ලිපියෙන් බලමු.—ෆිලි. 1:9, 10.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • ත්‍යාගය දිහාම බලාගෙන දිගටම දුවන්න පාවුල්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?

  • බලාපොරොත්තු වන දේ ප්‍රමාද වුණත් කලින් තරම් සේවය කරන්න ශක්තිය නැති වුණත් කාලයක් තිස්සේ පීඩාවන් දරාගන්න වුණත් ධාවන තරඟයේ දිගටම රැඳී ඉන්න අපිට පුළුවන් කොහොමද?

  • දැඩි උත්සාහයක් දරමින් අවසානය දක්වාම දුවන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?

ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න

a අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තේ ළඟදී වුණත් අවුරුදු ගාණකට කලින් වුණත් අපි හැමෝටම ඕනෙ තව කිට්ටුවෙන් යේසුස්ව ආදර්ශයට ගන්න. ඒ වෙනුවෙන් දරන උත්සාහය අත්හරින්න එපා කියලා පාවුල් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා. එයා ෆිලිප්පිවරුන්ට ලියපු ලිපිය කියවද්දී අපේ ජීවිතේ හෝ මේ දුෂ්ට සමාජයේ අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්න අපිට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. පාවුල් එයාලට කියපු දේවල් අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.

b ෆිලිප්පිය රෝමය යටතේ තිබුණ ජනපදයක් නිසා එහේ හිටපු අයට රෝම පුරවැසිභාවය තිබුණා. ඒ නිසා පාවුල් පාවිච්චි කරපු උදාහරණේ එයාලට හොඳට තේරුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න