පාඨකයන්ගෙන් ප්‍රශ්න
තමා “පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා” සිටින බව ප්‍රේරිත පාවුල් පැවසූ විට, ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? (පිලිප්පි 3:13, නව අනුවාදය) කෙනෙකුට යම් දෙයක් ඕනෑකමින්ම අමතක කළ හැකිද?
නැත, බොහෝ අවස්ථාවලදී, යම් දෙයක් පිළිබඳ මතකයක් අපගේ මනසින් ඕනෑකමින්ම ඉවත් කිරීමට අපට නොහැක. මෙහිලා සත්‍යය නම්, අප මතකයේ තබාගැනීමට කැමති බොහෝ දේ අමතක වීමත්, අමතක කිරීමට කැමති බොහෝ දේ මතකයේ තිබීමත්ය. එසේනම්, පාවුල් පිලිප්පි 3:13හි අඩංගු වදන් ලියූ විට, ඔහු අදහස් කළේ කුමක්ද? පාඨ සම්බන්ධය අපට මෙය තේරුම්ගැනීමට උපකාර කරයි.
පිලිප්පි 3වන පරිච්ඡේදය තුළ, තම “මාංසය කෙරෙහි . . . විශ්වාසය” තැබීම සම්බන්ධයෙන් පාවුල් විස්තර කරයි. ඔහු තමාගේ නිකැළැල් යුදෙව් පසුබිම හා ව්‍යවස්ථාව කෙරෙහි තිබෙන ජ්වලිතය—එනම් ඉශ්‍රායෙල් ජාතිය තුළ ඔහුට බොහෝ ප්‍රයෝජන ගෙන දීමට හැකියාව තිබූ දේවල් සම්බන්ධයෙන් කතා කරයි. (පිලිප්පි 3:4-6; ක්‍රියා 22:3-5) එහෙත්, උපමාලංකාරයෙන් පවසනවා නම් ඔහු ඒවා අලාභයක් ලෙස සලකා, එවන් ප්‍රයෝජන ප්‍රතික්ෂේප කළේය. ඒ මන්ද? මන්දයත්, ඔහු වඩාත් හොඳ දෙයක්—එනම් “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම” සොයාගෙන තිබූ බැවිනි.—පිලිප්පි 3:7, 8.
පාවුල්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ, මේ ලෝකයේ විශේෂ තනතුරක් ලබාගැනීම නොවේ, නමුත් “මළවුන්ගෙන් [කලින්, NW] නැගිටීමට[ය].” (පිලිප්පි 3:10, 12) ඔහු මෙලෙස ලියයි: “පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි.” (පිලිප්පි 3:13, 14, නව අනුවාදය) තමා “පසුගිය දේ අමතක කරදම[න]” බව පාවුල් පැවසූ විට, ඔහු කෙසේ හෝ “පසුගිය දේ” තම මනසින් ඉවත් කර තිබුණු බවක් අදහස් නොකළේය. ඔහු ඒවා ලැයිස්තුගත කර තිබුණු බැවින්, ඒවා තවමත් පැහැදිලිවම ඔහුගේ මතකයේ තිබූ බව පෙනෙන්ට තිබිණ. මීට අමතරව, මුල් ග්‍රීක් භාෂාවෙහි සම්පූර්ණ නැති, සිදු වෙමින් පවතින ක්‍රියාවක් අඟවන ක්‍රියා පදයක එක් ආකාරයක් ඔහු භාවිත කරයි. ඔහු පවසන්නේ, “අමතක කර[දැමීම]” ගැන මිස “සම්පූර්ණයෙන්ම අමතක කර තිබීම” ගැන නොවේ.
‘අමතක කිරීම’ (එ·පි·ලැන්·තැʹනො·මායි) යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වදනට විවිධ අරුත් තිබේ, එයින් එකකි, “නොසැලකිලිමත් වීම” හෝ “නොසලකා හැරීම.” (හෝස්ට් බොල්ස් හා ගර්හාඩ් ෂනයිඩර් විසින් සංස්කරණය කරන ලද) එක්සිජෙටිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් යන පොතට අනුව, පිලිප්පි 3:13හි සඳහන් “අමතක කර[දැමීමෙන්]” අදහස් කරන්නේ මෙයයි. තමා අතහැර දමනු ලැබූ දේවල් සම්බන්ධයෙන් පාවුල් නිතරම කල්පනා නොකළේය. ඒවා ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීමට ඔහු ඉගෙනගෙන තිබුණේය. ස්වර්ගික බලාපොරොත්තුව සමඟ සසඳන විට, ඒවා “කුණු කසළ” මෙන් විය.—පිලිප්පි 3:8, නව අනුවාදය.
පාවුල්ගේ වදන් අදදිනට අදාළ විය හැක්කේ කෙසේද? ඇත්තෙන්ම, පාවුල් මෙන් ක්‍රිස්තියානිවරයෙක්ද දෙවියන්වහන්සේට සේවය කිරීම සඳහා පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා විය හැක. පූර්ණ-කාලීන සේවය සඳහා ඔහු ලාභ උපයන වෘත්තියක් අතහැර තිබෙනවා වන්ට පුළුවන. එසේ නැතහොත්, ඔහු ධනවත් පවුලක කෙනෙකු විය හැකි අතර, ඔවුන් සත්‍යය පිළිනොගන්නා බැවින්, ඔහුට උරුමවීමට තිබෙන දේවලින් ඔහුව කපාහැර තිබෙනවා විය හැක. එවැනි පරිත්‍යාගයන් ප්‍රශංසා කළ යුතු දෙයක් වුවත්, ඒවා වනාහි නිතරම සිත සිතා සිටිය යුතු දේවල් නොවේ. ඉදිරියේදී ඔහු සඳහා තිබෙන ශ්‍රේෂ්ඨ අනාගතය සලකා බැලීමේදී, ක්‍රිස්තියානියෙකු “පසුගිය දේ” ලෙස සැලකූ දෑ සම්බන්ධයෙන් ‘අමතක කර’ ඒ ගැන සිත සිතා සිටීම නතර කරයි.—ලූක් 9:62, NW.
පාවුල්ගේ වදන් පිටුපස ඇති ප්‍රතිපත්තිය සමහරවිට වෙනත් ආකාරයකින් අදාළ කළ හැක. දෙවියන්වහන්සේ ගැන ඉගෙනගැනීමට පෙර වැරදි හැසිරීමෙහි නියැලුණු ක්‍රිස්තියානිවරයෙකු ගැන කුමක් කිව හැකිද? (කොලොස්සි 3:5-7) එසේ නැතහොත්, ඔහු ක්‍රිස්තියානියෙකු වීමෙන් පසු බරපතළ පාපයක යෙදීම නිසා සභාව මගින් හික්මවනු ලැබුවායයි සිතන්න. (2 කොරින්ති 7:8-13; යාකොබ් 5:15-20) ඔහු සැබවින්ම පසුතැවිලි වී තමාගේ මාර්ග වෙනස් කර තිබේ නම්, ඔහුව “සෝදනු” ලැබ තිබේ. (1 කොරින්ති 6:9-11) සිදු වූ දේ අතීතය වේ. ඔහු කළ දේ වචනානුසාරයෙන්ම ඔහුට කෙදිනකවත් අමතක නොවනු ඇත—ඇත්තෙන්ම, පාපය නැවත කරනවා වෙනුවට, ඔහුට කළ හැකි නැණවත්ම දෙය වනු ඇත්තේ එම අද්දැකීමෙන් පාඩමක් ඉගෙනගැනීමය. එහෙත් ඔහු ‘අමතක කරන්නේ’ නිතරම තමාටම දොස් පවරාගන්නා අර්ථයකින් නොවේ. (යෙසායා 65:17, සසඳන්න.) යේසුස්වහන්සේගේ යාගය මත පදනම්ව සමාව දෙනු ලැබූ නිසා, ඔහු පසුගිය දේ පසෙක දැමීමට උත්සාහ කරයි.
පිලිප්පි 3:13, 14හි (නව අනුවාදය), “ඉදිරියෙහි තිබෙන” ඉලක්කය අත් කරගැනීමට දිවීමේ තරඟයක යෙදෙන ධාවකයෙකු ලෙස පාවුල් තමාව විස්තර කරයි. ධාවකයෙකු පිටුපස නොව, ඉදිරිය දෙසම බලයි. එයාකාරයෙන්ම, ක්‍රිස්තියානියෙකු බැලිය යුත්තේ, අතහැර දමා පැමිණි දේවල් දෙස නොව, නමුත් ඉදිරියෙහි තිබෙන ආශීර්වාද දෙසය. පාවුල් තවදුරටත් මෙසේ පවසයි: “නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත.” (පිලිප්පි 3:15) මෙනිසා මේ දෘෂ්ටිය වර්ධනය කරගැනීම සඳහා උපකාර ඉල්ලා දෙවියන්වහන්සේට යාච්ඤා කරන්න. බයිබලයේ පවසන ආකාරයට ඔබගේ මනස දෙවියන්වහන්සේගේ සිතිවිලිවලින් පුරවන්න. (පිලිප්පි 4:6-9) ඔබ සඳහා වන යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය ගැනත්, එමගින් ඔබ භුක්තිවිඳින ආශීර්වාද ගැනත් මෙනෙහි කරන්න. (1 යොහන් 4:9, 10, 17-19) එවිට, ඔබ අතහැර දමා පැමිණි දේ සම්බන්ධයෙන් සිත සිතා සිටීමෙන් වැළකීමට යෙහෝවඃවහන්සේ ඔබට ශුද්ධාත්මය තුළින් උපකාර කරනු ඇත. ඒ වෙනුවට, පාවුල් මෙන් ඔබත් ඉදිරියෙහි ඇති ශ්‍රේෂ්ඨ අනාගතය දෙස බලනු ඇත.—පිලිප්පි 3:17.