සියලු ජාතීන් හට පවිත්‍ර භාෂාවක්
“ එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයට යාච්ඤාකොට, එක්සිත්ව [උරින් උර NW] උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් [කෙරෙහි වෙනස් වීමක්] දෙන්නෙමි.”—ශෙපනියා 3:9.
යෙහෝවඃ දෙවියන් වහන්සේ අපගේ දවසෙහි සැබවින් ම ආශ්චර්යමත් කාර්යයක් ඉෂ්ට කරමින් සිටින සේක. උන් වහන්සේ සියලු ජාතීන් අතරෙන් ජනයා එකමුතු කරමින් සිටින සේක. උන් වහන්සේ ස්වකීය වචනයෙහි බොහෝ කලකට පෙර පුරෝකථනය කළ පරිදි, අලුත් භාෂාවක් ඔවුන්ට ඉගැන්වීමෙන් එය කරමින් සිටින සේක.—ශෙපනියා 3:9.
2 ඒ භාෂාව කුමක් ද? එය අවශ්‍ය වනුයේ මක්නිසා ද? එය ඉගෙන ගැනීම, පුද්ගලික ව අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?
කථා කිරීමේ දීමනාව
3 කථාව මාධ්‍යයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ඇති හැකියාව, මනුෂ්‍ය වර්ගයා සියලු සත්ත්ව මැවිලිවලින් වෙන් කරන්නා වූ දිව්‍ය දීමනාවකි. පළමු මනුෂ්‍යයා වූ ආදම්, බුද්ධිමත් ව සිතීමට හැකියාවක් තිබූ මනසක් සහිත ව මවනු ලැබී ය. කථාව වෙනුවෙන් යොදා ගත හැකි ස්වර තන්ත්ර, දිවක්, හා තොල් මෙන් ම වචන මාලාවක් හා අලුත් වචන ගෙතීමට හැකියාවක් ඔහුට දානය කරනු ලැබී ය. යෙහෝවඃ වහන්සේ ඔහුට කථා කළ විට ආදම්ට තේරුම් ගත හැකි වූ අතර, ආදම්ට ද, තමාගේ සිතුම් වචනින් ඉදිරිපත් කළ හැකි විය. (උත්පත්ති 1:28-30; 2:16, 17, 19-23) ආදම්ට දෙන ලද භාෂාව පැහැදිලි ව ම පසුකාලයේ දී හෙබ්‍රෙව් ලෙස හඳුන්වන්නට යෙදුන භාෂාව ය. අඩු තරමින් මනුෂ්‍ය පැවැත්මේ මුල් අවුරුදු 1,757 තුළ දී, සියලු මනුෂ්‍ය වර්ගයා පැහැදිලි ව ම ඒ එක් භාෂාව අඛණ්ඩ ව කථා කළහ.—උත්පත්ති 11:1.
4 අනතුරුව, නිම්රොද්ගේ දවස්වල, දුෂ්ට අයගේ වෑයම් නිෂ්ඵල කරනු පිණිස, බාබෙල් කොත ගොඩනැගීමෙහි හවුල් වීමට වූ නියමයට යටත් වූ සියල්ලන්ගේ භාෂාව යෙහෝවඃ වහන්සේ අවුල් කළ සේක. (උත්පත්ති 11:3-9) පෙනෙන අයුරින් යෙහෝවඃ වහන්සේ පළමුකොට ඔවුන් කලින් කථා කළ පොදු භාෂාව සියලු මතකයෙන් බොඳ කර, අනතුරුව ඔවුන්ගේ මනස් තුළට අලුත් භාෂාවක් හඳුන්වා දුන් සේක. මීට අලුත් වචන මාලාවක් පමණක් නොව, අලුත් ව්‍යාකරණ හා සිතිවිලිවල නව රටාවක් ද ඇතුළත් විය. යෙහෝවඃ වහන්සේ බාබෙල්හි ඇති කළ භාෂාවන්ගෙන්, අද දවස දක්වා, ක්‍රමයෙන් වෙනත් ඒවා වර්ධනය විය. භාෂා පිළිබඳ ශාස්ත්රාලයන්ට අනුව, දැන් ලොව පුරා භාෂා තුන් දහසක් පමණ කථා කෙරේ.
5 මෙම භාෂා කථා කරන්නා වූ ජනයා හට, ‘පවිත්‍ර භාෂාවක් කෙරෙහි වෙනස් වීම,’ ඔවුන් තමන්ගේ ස්වදේශීය භාෂාව අත්හැර දෙවියන් වහන්සේ ආදම්ට දුන් මුල් භාෂාව ඉගෙන ගත යුතු යයි අපේක්ෂා කරනු ඇත්ද? එම අනාවැකිය දීම වටා පැවති තත්ත්වය, එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට උපකාරවත් වේ.
පවිත්‍ර භාෂාවක් සඳහා අවශ්‍යතාව
6 එදා, යුදා රාජ්‍යය මෑතක් වන තුරු පළමු ව මනස්සේ හා පසුව ආමොන් විසින් පාලනය කරනු ලැබී ය. ඔවුහු බාල්ට පූජාසන තැනුවා වූ ද, ආත්ම බන්ධන උපයෝගි කර ගත්තා වූ ද, මායාකාර පුරුදුවලට අනුබල දුන්නා වූ ද, තැනැත්තන් ව සිටියහ. (2 රාජාවලිය 21:1-6; 2 ලේකම් 33:21-23) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ආමොන්ගේ පුත්‍රයා සහ ඔහුගෙන් පසුව පත් වූ තැනැත්තා ද වූ යොෂියාගේ පාලනය තුළ, යෙහෝවඃ වහන්සේ දිව්‍ය විනිශ්චය එම දේශය කෙරෙහි ක්‍රියාත්මක කරන්නට යන බවට අනතුරු ඇඟවීමට ස්වකීය දිවැස්වර ශෙපනියාට අණ කළ සේක.—ශෙපනියා 1:1, 2.
7 යුදෙව්වන් තමන්ගේ ම ඉතිහාසයෙන් හා දේවානුභාවය ලත් ලියවිල්ලෙන් යෙහෝවඃ වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව දැන සිටිය ද, ඔවුහු බාල් නමස්කාරයේ අශික්ෂිත පිළිවෙත්වල නිරතවෙමින් සිටියහ. ඔවුන් ඉර, සඳ, හා රාශි චක්‍රයේ තාරකා මණ්ඩලවලට නමස්කාර කළ අතර මෙය දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කෙළින් ම උල්ලංඝනය කිරීමක් විය. (ද්විතීය කථාව 4:19; 2 රාජාවලිය 23:5) මේ සියල්ල අභිබවා ඔවුන් යෙහෝවඃ වහන්සේට හා බොරු දෙවි වූ මල්කාම්ගේ නමට දිවුරීම් කරමින්, සියලු ආගම් සමානාකාර ලෙස ක්‍රියා කිරීමෙන්, ඔවුහු යම් ආකාරයක අන්තර් ඇදහිලි නමස්කාරයක සහභාගි වෙමින් සිටියහ. ඔවුන්ගේ ආකල්පය මෙසේ විය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] යහපතවත් නපුරවත් කරන්නේ නැත.” (ශෙපනියා 1:4-6, 12) යුදා වටා තිබූ දේශයන් ගත් කල, ඒ සියල්ලක් ම යෙහෝවඃ වහන්සේ හා ස්වකීය ජනයාට විරුද්ධ ව සිටීමේ වාර්තාවක් තිබූ අතර, ඔවුහු දිව්‍ය යුක්තිය ලබන්නට සුදුසු ව සිටියහ.—ශෙපනියා 2:4-15.
8 යෙහෝවඃ වහන්සේ, “සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයට යාච්ඤාකොට, එක්සිත්ව [උරින් උර NW] උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් [කෙරෙහි වෙනස් වීමක්] දෙන්නෙමි” යයි පුරෝකථනය කළේ, එවන් සිදුවීම් පසුතලයකට ගැනීමෙනි. (ශෙපනියා 3:9) එසේ නම්, එම පවිත්‍ර භාෂාව කුමක් ද?
9 එය හෙබ්‍රෙව් භාෂාව ද? නැත; යුදෙව් ජාතිකයින් හට කලින් එය තිබුණ ද, ඔවුන් කියමින් හා කරමින් සිටි දේවල් පැහැදිලි ව ම යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ පවිත්‍ර හා නිර්දෝෂ නොවී ය. එමෙන් ම පවිත්‍ර භාෂාව හුදෙක් දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය ද නොවන්නේ ය. ඔවුන්ට එය ද තිබිණ. එහෙත් ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ, දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ අරමුණු පිළිබඳ නියම තේරුම් ගැනීමක් වූ අතර එය සපයන්ට හැක්කේ ස්වකීය ආත්මය කරණකොටගෙන යෙහෝවඃ වහන්සේට පමණි. ඔවුන් එම පවිත්‍ර භාෂාව කථා කරන්නට ඉගෙන ගත් විට, ඔවුන්ගේ කල්පනාව, ඔවුන්ගේ කථාව, ඔවුන්ගේ හැසිරීම යනාදී සියල්ලක් ම යෙහෝවඃ වහන්සේ එක ම සැබෑ දෙවියන් වහන්සේ වන බවට වූ සිද්ධාන්තය පිළිගැනීම වටා කේන්ද්‍ර ගත වනු ඇත. (ශෙපනියා 2:3) ඔවුන් උන් වහන්සේ කෙරෙහි සිය විශ්වාසය තබන අතර උන් වහන්සේගේ ස්වාධිපත්‍යයට පූර්ණ අනුබලය දෙනු ඇත. මෙය අද දවසේ අපගේ සුවිශේෂ සැලකිල්ලට ලක් වන දෙයකි. ඒ මක්නිසා ද?
පවිත්‍ර භාෂාව දෙනු ලබන අය
10 එම අනාවැකිය යම් නිශ්චිත කාල පරිච්ඡේදයක දී සම්පූර්ණ වීම ගෙනහැර දක්වමින්, ශෙපනියා 3:9 මෙසේ පවසයි: “එකල . . . ඔවුන්ට පවිත්‍ර භාෂාවක් [කෙරෙහි වෙනස් වීමක්] දෙන්නෙමි.” ඒ කවදා ද? අටවන වගන්තිය පිළිතුරු දෙන ආකාරයට, යෙහෝවඃ වහන්සේ පොළොවේ මොළොක් ගුණ ඇත්තන්ට පවිත්‍ර භාෂාවක් කෙරෙහි වෙනස් වීම දෙනුයේ, තමන් වහන්සේ ‘ජාතීන් රැස් කරන’ කාලය තුළ දී ය, උන් වහන්සේ ‘ස්වකීය බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිර වීමට’ පෙරාතුව ය.
11 යොෂියා රජුගේ කාලයේ, යෙහෝවඃ වහන්සේ බබිලෝනීය හමුදාවට විනිශ්චය ඉටු කිරීමට ඉඩ හරින්නට පෙර, බොහෝ දෙනෙක් බොරු නමස්කාරය අත්හැර, ඒ වෙනුවට යෙහෝවඃ වහන්සේට සේවය කළහ. (2 ලේකම් 34:3-33) යළිත්, පළමු ශත වර්ෂයේ රෝමානුවන් විසින් යෙරුසලම විනාශ කරන්නට කලින්, දහස් සංඛ්‍යාත අය දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ අරමුණු ගැන ඉගෙන ගෙන උන් වහන්සේට සේවය කිරීමට එක්සත් වූහ. ඒ කාලයේ, යෙහෝවඃ වහන්සේගේ අරමුණු සම්පූර්ණ කිරීමක් වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ දේවලින් සත්‍යයේ භාෂාව වඩාත් සඵල විය. එහෙත් ශෙපනියාගේ අනාවැකිය සර්වලෝක පරිමාණයකින් සම්පූර්ණ වනුයේ අපගේ ම කාලයේ දී ය. අර්මගෙදොන්හි සර්වපරාක්‍රම දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට සියලු ජාතීහු රැස් කරනු ලබන්නෝ ය. (එළිදරව් 16:14, 16) එම රැස් කිරීම, 1914 රාජ්‍යයේ උපතේ පටන් ක්‍රියාත්මක වෙමින් පවතී. තව ද මෙම අනාවැකියේ සම්පූර්ණ වීමක් වශයෙන්, යෙහෝවඃ වහන්සේ ලොවපුරා ජනයා හට පවිත්‍ර භාෂාවක් කෙරෙහි වෙනස් වීම දෙමින් සිටියේ එම කාලය තුළ දී ම ය. පැමිණෙන්නා වූ මහත් පීඩාවෙන් බේරී ජීවත් වන්නන් පවිත්‍ර භාෂාව සැබවින් ම තමන්ගේ භාෂාව කර ගත් අය ව සිටිනු ඇති නිසා, එම භාෂාව ඉගෙන ගැනීම අතිශයින් වැදගත් වනු ඇත.—යෝවෙල් 2:32.
12 මීට එකඟ ව, යෙහෝවඃ වහන්සේ ස්වකීය ආලේපලත් සේවකයන්ගේ අවබෝධයේ නෙත් යෙසායා 6 වන පරිච්ඡේදයේ (වගන්ති 1-4) වාර්තා ගත කර ඇති ආශ්චර්යමත් දර්ශනයට විවෘත කළේ, 1 වන ලෝක යුද්ධයෙන් පසු සමයේ මුල් භාගයේ දී ය. යෙහෝවඃ වහන්සේට පිළිගත හැකි ලෙසින් සේවය කරනු පිණිස අප පවිත්‍ර තොල් ඇති ව සිටීම මෙම දර්ශනය අවධාරණය කරයි. එය, අති ශ්‍රේෂ්ඨ ආකාරයකින් යෙහෝවඃ වහන්සේ ශුද්ධ බව පෙන්වයි. උන් වහන්සේගේ සේවකයන් ද එම ගුණාංගය විදහා පෙන්විය යුතු ය. (1 පේතෘස් 1:15, 16) එහෙත් ආලේපලත් ඉතිරි අයට මේ සම්බන්ධයෙන් උපකාරය අවශ්‍ය විය. පළමුවන ලෝක යුද්ධය තුළ දී, ලෝකයේ කටයුතුවලට යම්තාක් දුරට සම්බන්ධ වීම හේතුවෙන් ඔවුහු කැලලට පත් වූහ. ‘ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භය පිරිසිදු ව’ නැතහොත් පවිත්‍ර ව තිබුණ ද, ඔවුන් මනුෂ්‍යයා කෙරෙහි නැතහොත් මනුෂ්‍ය සංවිධාන කෙරෙහි භය, සිය තොල් කෙරෙහි බලපැවැත්වීමට ඉඩ දීම හේතුවෙන් තමන්ගේ දේව වචනය ප්‍රකාශ කිරීම බොහෝ දුරට නිහඬ විය. (ගීතාවලිය 19:9) ක්‍රිස්තියානි ලෝකය සමඟ තිබූ සබඳතාව හේතුවෙන් ඉතිරි කොටස, ඇගේ සම්ප්‍රදායන් හා ව්‍යවහාර මගින් තවමත් කැලැල් වී සිටියහ.
13 සිය තත්ත්වය පිළිගනිමින්, ඉතිරි කොටස, දිවැස්වර යෙසායා කළාක් මෙන්, මෙසේ පැවසී ය: “අහෝ! මට දුක් වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ [යෙහෝවඃ NW] රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමි.” (යෙසායා 6:5) ඔවුහු තමන්ගේ තත්ත්වය පිළිගත නොහැකි ව තිබූ බව පිළිගත්හ. ඔවුන් දුර්වල ලෙස වැරදි ක්‍රියාමාර්ගයක තවදුරටත් නියැලුණේ හෝ මුරණ්ඩු ලෙස යෙහෝවඃ වහන්සේගේ තරවටුව පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ හෝ නැත. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට හුදු තොල් සේවාවක් පිරිනමමින්, අනතුරුව ජාතීන්ගේ සංගමය එම රාජ්‍ය ලෙස පූජකයන් තහවුරු කළ විට, ඔවුන් එම පූජකයන් හා එක් වූයේ නැත.
14 එම නිහතමානී ඉතිරි කොටස සතුව තිබූ පසුතැවිලි වන ආකල්පය නිසා, යෙහෝවඃ වහන්සේ ස්වකීය අපරිමිත කරුණාවෙහි පිහිටා ඔවුන්ගේ තොල් පවිත්‍ර කරන්නට යෙදුන සේක. යෙසායා 6:6, 7 අපට මෙසේ පවසයි: “එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්, ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැව; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේ යයි කීය.” මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් හා ඉගැන්වීම්, ගින්නෙන් මෙන් විනාශ කරන ලද්දේ දෙවියන් වහන්සේගේ වචනයෙන් වූ පවිත්‍ර කරන පණිවුඩයෙන් ය. එය ඔවුන්ගේ හෘදයන්ගෙන් මනුෂ්‍යයන් කෙරෙහි භය පහ කළ අතර, එය, යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීමට සිය තොල් පාවිච්චි කිරීමට ඇති දැවෙන ජ්වලිතයකින් අනුයුක්ත කරනු ලැබී ය. මෙසේ යෙහෝවඃ වහන්සේ ස්වකීය පොරොන්දුව සම්පූර්ණ කරමින් සිටි සේක: “සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයට යාච්ඤාකොට [යාච්ඤා කරන පිණිස, NW] . . . ඔවුන්ට පවිත්‍ර භාෂාවක් [වචනානුසාරයෙන්, පවිත්‍ර තොල්] දෙන්නෙමි.”—ශෙපනියා 3:9.
15 ඉතින් යෙසායාගේ පන්තිය, යෙසායා 6:8 හි වාර්තා කර ඇති ලෙසින්, යෙහෝවඃ වහන්සේගේ කටහඬ: “මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුද” යයි විමසනු අසන්නට පටන් ගත් විට, ඔවුහු ප්‍රීතියෙන්: “මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි” ප්‍රතිචාරය දැක්වූහ. ඔවුන් සියල්ලන්ට ම ප්‍රසිද්ධ සේවයෙහි නියැලීම පහසු නොවුවත්, දෙවියන් වහන්සේ විසින් ස්වකීය නාමය උදෙසා පාවිච්චි කරනු ලබන්නා වූ සෙනඟක් වීමට ඔවුන්ට අවශ්‍ය විය. උන් වහන්සේගේ ආත්මය ඔවුන් ව ශක්තිමත් කළේ ය. ඔවුන්ගේ සංඛ්‍යාව ද වැඩි විය.
16 කාලයාගේ ඇවෑමෙන්, ඔවුන්ගේ දේශනා කිරීම අනපේක්ෂිත ඵල දරනු ලැබූ බව පැහැදිලි විය. ඔවුන් තුළින්, යෙහෝවඃ වහන්සේ තවත් සමූහයකට පවිත්‍ර භාෂාව ඉගෙන ගන්නට උපකාර කරමින් සිටි සේක. (යෙසායා 55:5) මොවුන් ස්වර්ගික බලාපොරොත්තුවෙහි හවුල් නොවුවද, ඔවුහු රාජ්‍ය උරුමක්කාරයින්ගේ ඉතිරි කොටසේ මිත්රයින් වීම, එසේ ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රචාරකයන් සමඟ උරින් උර සේවය කිරීම වරප්‍රසාදයක් යැයි සැලකූහ. ප්රගතිශීලී ව ම මොවුහු, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” ඉදිරිපත් වී ඇති අතර, දැන් මිලියන ගණනාවකින් යුත් “මහත් සමූහයේ” කොටස් කරුවන් වෙති. ඔවුන්ගේ මුඛවලින් නික්මෙන කථාව මේ ලෝකයේ භේදාකාරි අංග සමඟ හඳුන්වා ගත හැකි කිසිම දෙයක් හා සම්බන්ධ ආකාරයේ එකක් නොවේ. ඔවුන් තමන්ගේ බලාපොරොත්තු යම් මනුෂ්‍යයෙකු හෝ යම් මනුෂ්‍ය සංවිධානයක් මත තබන්නට යන්නේ නැත. ඒ වෙනුවට, “ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬ” ගසන්නෝ ය.—එළිදරව් 7:9, 10.
එම භාෂාව ඉගෙන ගැනීමට අපෙන් බලාපොරොත්තු වන දෙය
17 අප යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ ඇසුරු කර ඇති කාලයේ දීර්ඝත්වය කොපමණ වුවත්, පවිත්‍ර භාෂාව පිළිබඳ අපගේ අවබෝධයත්, එය හොඳින් පාවිච්චි කිරීමට අපගේ හැකියාවත් වර්ධනය කර ගැනීමට කළ හැකි දෑ බොහොමයක් ඇත. එය කිරීම සඳහා පරිශ්‍රමයක් දැරීම වැදගත් වේ. ඒ මක්නිසා ද? හේතුව, මෙය සත්‍යයට ඇති අපගේ ප්‍රේමයේ ප්‍රකාශයක් වන නිසා ය.
18 මූලාරම්භයේ දී, මෙවන් ප්‍රේමයක්, තමාට ගෙනහැර දක්වනු ලබන ශුද්ධ ලියවිලි පද ඔහුට තේරුම් ගත හැකි වීමට යම් පුද්ගලයෙකුගේ මනස හා හෘදය විවෘත කිරීමට උපකාරවත් වේ; එය, යෙහෝවඃ වහන්සේ වෙත සමීප වීමටත්, උන් වහන්සේගේ සංවිධානය අගය කිරීමටත් ඔහු ව පොලඹවයි. එබැවින්, බොරු ආගමේ විලංගුවලින් මිදීමට අවශ්‍ය මූලික දෙය සත්‍ය සඳහා ප්‍රේමය ය. සමහරක් අය බයිබල් පණිවුඩය කෙරෙහි උනන්දුවක් දක්වන බව කියා සිටිය ද, කිසිලෙසකින් බොරු ආගමේ අනුබද්ධයන්ගෙන් හා එය අනුමත කරන ජීවිත රටාවෙන් සැබෑ ලෙස ඉවත් නොවෙති. ඒ මක්නිසා ද? දෙවැනි තෙසලෝනික 2:10 හි විස්තර කර ඇති ආකාරයට, ‘ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළි නොගන්නෝය.’ අප එම ප්‍රේමය ඇති ව සිටීම කොතරම් වැදගත් වනු ඇත්ද!
19 අප සත්‍ය වැලඳ ගැනීමත් සමඟ, අප එම ප්‍රේමය පෝෂ්‍ය කිරීම, අපගේ ආත්මික වර්ධනයෙහි වැදගත් සාධකයක් වනු ඇත. යෙහෝවඃ වහන්සේ සත්‍යතාවය, ‘භාෂාවක්’ ලෙස දක්වන බව මතකයේ තබා ගන්න. යම් තැනැත්තෙකු අලුත් භාෂාවක් ඉගෙන ගත් විට, ඔහු, සිය වචන මාලාව ගොඩ නැගීම, වචන නිවැරදි ව උච්චාරණය කිරීම, ව්‍යාකරණ විස්තර සහිත ව ඉගෙන ගැනීම යනාදිය සඳහා කඩිසර වෑයමක් දැරිය යුතු ය. අලුත් භාෂාවටත්, එය කථා කරන ජනයාටත් ඇති ප්‍රේමය, නොකඩවා වර්ධනය වීම සඳහා ඔහුට උපකාර කරයි. මාස කීපයකින් පසු ඔහුට යම්තාක් දුරට එම භාෂාව කථා කිරීමට හැකියාවක් තිබිය හැකි වුවත්, ස්වදේශිකයෙකු මෙන් කථා කිරීමට වසර ගණනාවක අවංක වෑයමක් දැරීමට සිදුවේ. පවිත්‍ර භාෂාව පිළිබඳ නිපුණ වීමටත් එයාකාර ම වෑයමක් අවශ්‍ය වේ.
20 දෙවියන් වහන්සේ ස්වකීය සේවකයින්ට දෙන්නා වූ භාෂාව පවිත්‍ර යයි කියනු ලබන බව විශේෂයෙන් ම සැලකිල්ලට ගත යුතු ය. ව්‍යාකරණ නිර්මාණය නිසා නොව, එහෙත් සදාචාර හා ආත්මික පිරිසිදුකම පිළිබඳ ව එය සාක්ෂි දරන බැවින් මෙය සැබෑ වේ. මෙම භාෂාවෙහි බොරු කීම, රැවටිල්ල, හෝ ප්‍රයෝගකාර කථා සඳහා ඉඩ හරින්නේ නැත. මෙම භාෂාව කථා කරන්නන් සැමවිට ම සත්‍ය කථා කළ යුතු ය. (ශෙපනියා 3:13; එපීස 4:25) එමෙන් ම ඔවුන්ගේ කථාව ලිංගික සදාචාරය පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ උසස් ප්‍රමිති විදහා පෙන්විය යුතු ය. (එපීස 5:3, 4) බොරු ආගමික ලෝක අධිරාජ්‍ය වන මහා බබිලෝනිය හා සම්බන්ධිත සෑම දෙයක් ම අපවිත්‍ර බව අපට ශුද්ධ ලියවිලි දන්වා ඇත. (එළිදරව් 18:2-4) ඊට අයත් දෙවිවරුන් රූපගත කර ඇති ආකාරය “පිළිකුල් උපදවන රූප” යයි හඳුන්වා ඇත. (යෙරෙමියා 50:2, NW) එසේ නම්, ඔබිනා ලෙස ම, පවිත්‍ර භාෂාව ඉගෙන ගන්නා අය, බොරු නමස්කාරයේ භෞතික අනුබද්ධයන් ඉවත් කළ යුතු ය, එහි ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ යුතු ය, එහි උත්සවවලින් නිදහස් විය යුතු ය, එසේ ම එහි වැරදි කල්පනාවන් විදහා පෙන්වන්නා වූ ප්‍රකාශයන් තමන්ගේ කථාවෙන් ඉවත් කළ යුතු ය. මීට අමතර ව, එළිදරව් 16:13-16 හි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එරෙහි ව ජාතීන් එක්රැස් කරන්නා වූ ප්රචාරක කටයුතු අපවිත්‍ර බව, යක්ෂයන් විසින් අනුබල දෙනු ලබන බව ද අපට දන්වනු ලැබ ඇත. මෙබැවින් මෙම අපවිත්‍ර කිසිවක් අපගේ කථාවට ඇතුළත් නොවීමට අප සුපරීක්ෂාකාරී විය යුතු ය.
21 අප ඉගෙන ගන්නා දෙය භාෂාවක් ලෙස හඳුන්වනු ලබන අතර, යුතු ලෙස එසේ වන නමුත්, එය කථා කරන්නන් යෙහෝවඃ වහන්සේගේ ජනයාට පොදු වූ කියමන් භාවිතා කරන ආකාරය හුදෙක් ඉගෙන ගන්නා බව පමණක් අදහස් නොකරයි. කටහඬෙහි ආකාරය, මුහුණේ ස්වභාවය, මෙන් ම අභිනය ද [අංග චලනය ඇතුළුව] වැදගත් වේ. වචන පමණක් මගින් ප්‍රකාශ නොකරන පණිවුඩ මේවා ඉදිරිපත් කරයි. මේවා නිතර අප ඇතුළාන්තයෙන් සැබෑ ලෙස කොයි ආකාරදැයි විදහා පෙන්වයි. අප පාපිෂ්ඨ මාංශයේ ක්‍රියාවන් වන ඊර්ෂ්‍යාව, පක්ෂවාදිකම්, හා ක්‍රෝධ සහමුලින් ම උදුරා දමා ඇත්ද හෝ නැත්ද හෝ අඟවයි. දෙවියන් වහන්සේගේ ස්ප්‍රීතුව අවහිරයක් නොමැති ව අපගේ ජීවිතයන්හි ක්‍රියාත්මක වන විට, එහි ඵල අප අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ආකාරයෙන් විද්‍යාමාන වන්නේ ය.—ගලාති 5:19-23; එපීස 4:31, 32.
22 තමාගේ දේශීය භාෂාවෙන් පරිවර්තනය කරනවා වෙනුවට, ඇත්තෙන් ම අලුත් භාෂාවෙන් ම කල්පනා කරන බව වටහා ගන්නා විට, අලුත් භාෂාවක් ඉගෙන ගන්නා ඕනෑ ම කෙනෙක් තමා ඉතා විශිෂ්ට සමර්ථ වීමක් කරා ළඟා වී ඇති බව දන්නේ ය. එයාකාරයෙන් ම, අප සත්‍ය ඉගෙන ගෙන, එය අපගේ ජීවිතයේ අදාළ කර ගැනීමටත් එය අන්‍යයන් සමඟ බෙදා ගැනීමටත් අවංක වෑයමක් දරන විට, අප ක්රමානුකූල ව සත්‍යයට එකඟ ව කල්පනා කරන බව අත්දකිනු ඇත. අප සදහට ම පැරණි දෙය අලුත් දෙය සමඟ සසඳමින් තෝරා ගැනීමක් කිරීමට බලවත් පරිශ්‍රමයක් දරන්නට යන්නේ නැත. ඉතා කුඩා කාරණාවල දී පවා, අවශ්‍ය මගපෙන්වීම සැපයීමට බයිබල් ප්‍රතිපත්ති මනසට පැමිණෙනු ඇත.—හිතෝපදේශ 4:1-12.
23 මනුෂ්‍ය වර්ගයා විසින් භාවිතා කරනු ලබන භාෂා දහස් සංඛ්‍යාවක් ඇති බව සැබෑවක් වන නමුත්, මේ සැමෙකකින් ම පවිත්‍ර භාෂාව ප්‍රකාශ කළ හැකි ය. එක්සත් ව, ලොව වටා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තමන් ප්‍රේමනීය දෙවියන් වූ යෙහෝවඃ වහන්සේට ගෞරවයක් ගෙනෙන්නා වූ ප්‍රසිද්ධ සාක්ෂියක් දරමින් උරින් උර සේවය කරන අතර පවිත්‍ර භාෂාවෙන් විපුල ප්‍රයෝජන ගනිමින් සිටිති. w91 04/01
සමාලෝචනය සඳහා ප්‍රශ්න
▫ කථා කිරීමේ දීමනාවෙහි ඇතුළත් කර ඇත්තේ කුමක් ද?
▫ පවිත්‍ර භාෂාව කුමක් ද?
▫ ශෙපනියා 3:9 කවරෙකු කෙරෙහි සම්පූර්ණ වී ඇත්ද?
▫ අප සැබවින් ම පවිත්‍ර භාෂාවට ප්‍රේම කරන බවට සාක්ෂි දැරිය හැක්කේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. (අ) ශෙපනියා 3:9 හි ඉෂ්ට වීමක් වශයෙන් යෙහෝවඃ වහන්සේ අපගේ දවසෙහි කුමක් කරන සේක් ද? (ආ) ශෙපනියාගේ අනාවැකිය අපට බලපාන ආකාරය තේරුම් ගනු පිණිස, කිනම් ප්‍රශ්නවලට පිළිතුරු දීම අවශ්‍ය වේ ද?
3. (අ) ආදම්ට උරුම කර දුන් ආශ්චර්යමත් දීමනාව කුමක් ද? (ආ) ආදම් කථා කළ භාෂාව කුමක් ද?
4. නිම්රොද්ගේ කාලයේ සිදුවීම් මනුෂ්‍ය භාෂාවට බලපෑවේ කෙසේ ද?
5. ‘පවිත්‍ර භාෂාවක් කෙරෙහි වෙනස් වීමට’ අයත් වන්නේ කුමක්දැයි අපට නිශ්චය කළ හැක්කේ කෙසේ ද?
6-8. (අ) ශෙපනියා 3:9 හි අනාවැකිය දීමට පෙරාතුව යුදාහි වර්ධනය වී තිබුණු ආගමික තත්ත්වය කුමක් වී ද? (ආ) යුදා වටා තිබූ දේශයන්හි පැවති ආකල්පය කුමක් වී ද?
9. (අ) පවිත්‍ර භාෂාව හෙබ්‍රෙව් හෝ හුදෙක් දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය නොවන්නේ මක්නිසා ද? (ආ) එම පවිත්‍ර භාෂාව කුමක් ද, එමෙන් ම එය, එම භාෂාව කථා කරන්නන්ගේ ජීවිතවලට බලපාන්නේ කෙසේ ද?
10. ශෙපනියා 3:9 හි අනාවැකිය සම්පූර්ණ වීමට නියමිත ව තිබුණේ කිනම් කාල පරිච්ඡේදයක් තුළ දී ද?
11. (අ) නවීන කාලවලට පෙරාතුව ශෙපනියා 3:9 හි කිනම් සම්පූර්ණ වීම් දෙක සිදු වී ද? (ආ) එහි අද දින සම්පූර්ණ වීම වෙනස් වනුයේ කෙසේ ද?
12. (අ) යෙසායා 6වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති දර්ශනය පවිත්‍ර භාෂාව සම්බන්ධ අනාවැකිය කෙරෙහි ඇති බලපෑම කුමක් ද? (ආ) තමන් යෙහෝවඃ වහන්සේගේ සේවය සඳහා තවදුරටත් පිළිගනු ලබන්නට නම්, ආලේපලත් ඉතිරි අයට උපකාරය අවශ්‍ය වූයේ මක්නිසා ද?
13, 14. (අ) ඉතිරි කොටස සැබෑ ආකල්පය පෙන්වූයේ කෙසේ ද, එමෙන් ම යෙහෝවඃ වහන්සේ ඔවුන් වෙනුවෙන් කිනම් ක්‍රියාමාර්ගයක් ගත් සේක් ද? (ආ) යෙහෝවඃ වහන්සේ ඉතිරි කොටසට පවිත්‍ර භාෂාවක් දෙනු ලැබුවේ කුමන ආකාරයෙන් ද?
15. ඉතිරි කොටසේ ප්‍රතිචාරය යෙහෝවඃ වහන්සේ ඔවුන්ට පවිත්‍ර භාෂාව දීමේ හේතුව සමඟ එකඟ වූයේ කෙසේ ද?
16. (අ) ඉතිරි කොටසේ දේශනා කිරීම කිනම් අනපේක්ෂිත ඵල දැරුවේ ද? (ආ) මහත් සමූහය, තමන් පවා එම පවිත්‍ර භාෂාව කථා කරන බව සාක්ෂි දරන්නේ කෙසේ ද?
17. පවිත්‍ර භාෂාව අප හොඳින් ඉගෙන, එය පාවිච්චි කිරීමට අපගේ හැකියාව වැඩි වර්ධනය කිරීම වැදගත් වනුයේ මක්නිසා ද?
18, 19. (අ) මූලාරම්භයේ පටන්, සත්‍ය සඳහා දැඩි ප්‍රේමයක් වර්ධනය කර ගැනීම වැදගත් වනුයේ මක්නිසා ද? (ආ) එම ප්‍රේමය පෝෂ්‍ය කිරීම වැදගත් වනුයේ මක්නිසා ද?
20. (අ) පවිත්‍ර භාෂාව සැබවින් ම පවිත්‍ර කරනුයේ කුමක් ද? (ආ) අප සියල්ලන්ගේ ම පාර්ශ්වයෙන් විශේෂිත සැලකිල්ලක් අවශ්‍ය කරවනුයේ මක්නිසා ද?
21. කථා කරනු ලබන වචනවලට අමතර ව පවිත්‍ර භාෂාවට ඇත්තේ කුමක් ද?
22. අප පවිත්‍ර භාෂාව හොඳින් ඉගෙන ගත් විට, එය අපගේ තීරණයන් ගැනීම කෙරෙහි බලපාන්නේ කෙසේ ද?
23. තමන්ගේ දේශීය භාෂාව කුමක් වුවත්, ලොව වටා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සියල්ලන් ම පවිත්‍ර භාෂාව කථා කරන බව පෙන්වන්නේ කුමක් ද?
පවිත්‍ර භාෂාව දන්නා අය එය අන්‍යයන් සමඟ බෙදා ගනිති
තමන්ගේ ද්ශීය භාෂාව කුමක් වුවත්, ලොව වටා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ පවිත්‍ර භාෂාව කථා කරති