බොහෝ කල් ඉවසූ අයගේ ආදර්ශ සලකා බලන්න
“දෙවියන් වහන්සේ . . . විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක් වූ සේක.”—රෝම 9:22, නව අනුවාදය.
අපගේ මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය දේවානුභාවයලත් වචනය වන ශුද්ධ බයිබලය අපට දුන් සේක. එය ‘අපගේ පාදයන්ට පහනක් හා අපගේ මාවතට එළියක් වීම’ සඳහා ය. (ගීතාවලිය 119:105) “සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව” සිටීමට ද දේව වචනය අපට උපකාර කරයි. (2 තිමෝති 3:16) එය මෙසේ අප ව සූදානම් කරන එක ක්‍රමයක් නම් බොහෝ කල් ඉවසූ අයගේ කදිම ආදර්ශ අපට සැපයීමෙන් ය. මෙම ගුණාංගය දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵලවලින් එකක් වන අතර, උන් වහන්සේගේ අනුමැතිය දිනා ගැනීමට හා සෙසු මනුෂ්‍යයන් සමඟ එකමුතු ව කටයුතු කිරීමට නැතුව ම බැරි දෙයකි.—ගලාති 5:22, 23.
2 “බොහෝ ඉවසිලිවන්තකම” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය පදගතාර්ථයෙන් ම අදහස් කරන්නේ “ආත්මයේ දිගු බව” යන්න ය. බොහෝ කල් ඉවසීම විග්රහ කර ඇත්තේ “කෝප කිරීම ඉදිරියෙහි ඉක්මනින් පළිගැනීමට හෝ වහා ම දඬුවම් කිරීමට නොපෙලඹී තමා ව ම වලක්වා ගන්නා ගුණාංගය” වශයෙන් ය. (වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස්, ඩබ්ල්යූ. ඊ. වයින් විසිනි, කාණ්ඩ 3, පිටුව 12) බොහෝ කල් ඉවසීම යනුවෙන් අදහස් කරන්නේ ආත්ම-දමනය පවත්වා ගැනීමත් කෝපවීමට ප්රමාදවීමත් ය. තව ද කෝපවීමට ප්‍රමාදවෙමින් බොහෝ කල් ඉවසන අය අතරෙහි ප්රමුඛ තැනැත්තා කවරෙක් ද? යෙහෝවඃ දෙවියන් වහන්සේ හැර වෙන කිසිවෙකු නොවේ. එබැවින්, යෙහෝවඃ වහන්සේ වනාහි “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස් වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව හා සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්” බව නික්මයාම 34:6 හි අපට කියවීමට තිබේ. සැබවින් ම, “උදහස්වීමට ප්‍රමාද වන්නාවූ” කෙනෙකු වශයෙන් යෙහෝවඃ වහන්සේ පිළිබඳ ව තවත් අට වාරයක් ශුද්ධලියවිලි සඳහන් කරයි.—ගණන් කථාව 14:18; නෙහෙමියා 9:17; ගීතාවලිය 86:15; 103:8; 145:8; යෝවෙල් 2:13; යෝනා 4:2; නාහුම්1:3.
3 බොහෝ කල් ඉවසීම, හෝ උදහස්වීමට ප්‍රමාදවීම අප යෙහෝවඃ දෙවියන් වහන්සේගෙන් අපේක්ෂා කරන්නා වූ දෙය ම වනු ඇත, මක්නිසා ද උන් වහන්සේ බලයෙන් හා ප්‍රඥාවෙන් අප්‍රමාණ වන අතර, යුක්තියෙන් පරිපූර්ණ ය, තව ද ප්‍රේමයේ මූර්තිය වන සේක. (ද්විතීය කථාව 32:4; යෝබ් 12:13; යෙසායා 40:26; 1 යොහන් 4:8) උන් වහන්සේ ස්වකීය ගුණාංග පාලනය කරගෙන සිටින අතර, සියලු ම අවස්ථාවල දී ඒවා සමබර ව තබා ගන්නා සේක. අසම්පූර්ණ මනුෂ්‍යයන් කෙරෙහි උන් වහන්සේ බොහෝ කල් ඉවසීම දක්වා තිබෙන්නේ මන්ද හා කෙසේ ද යන්න පිළිබඳ ව උන් වහන්සේගේ වචනය හෙළි කරන්නේ කුමක් ද?
ස්වකීය නාමය උදෙසා බොහෝ කල් ඉවසීම
4 යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසන්නේ මන්ද? උන් වහන්සේ වහා ම පව්කාරයන්ට දඬුවම් නොකරන්නේ මන්ද? ධර්මිෂ්ඨකම උදෙසා උදාසීන කමක් හෝ ජ්වලිතයක් නොමැතිකම නිසා නොවේ. නැත, එහෙත් යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසන අතර, වහා ම මනුෂ්‍යයන්ට දඬුවම් නොකරන්නේ හොඳ හේතුන් ඇතුව ය. එක හේතුවක් නම් උන් වහන්සේගේ නාමය ප්රකාශවීම පිණිස ය. තවත් හේතුවක් නම්, ඒදන් හි කැරැල්ලෙන් මතු වූ දෙවියන් වහන්සේගේ ස්වාධිපත්‍යය සහ මනුෂ්‍යවර්ගයාගේ අඛණ්ඩතාවය පිළිබඳ ප්‍රශ්න විසඳීමට කාලය වුවමනා වූ නිසා ය. දෙවියන් වහන්සේගේ බොහෝ කල් ඉවසීම සඳහා තවත් හේතුවක් නම්, වැරදි කරන අයට තමන්ගේ මාර්ග හරිගස්සා ගැනීමට අවස්ථාවක් දීමට ය.
5 ඒදන් උයනේ පළමු මනුෂ්‍ය යුවළ සමඟ කටයුතු කිරීමේ දී යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසූ සේක. යහපත හා නපුර දැනගැනීමේ ගසේ ගෙඩිය කෑමට එරෙහි ව දුන් උන් වහන්සේගේ ආඥාව ඔවුන් උල්ලංඝනය කළ විට, ඔවුන් ව හා ඒව ව මුළා කළා වූ දේවදූතයා ව වහා ම මරණයට පත් කිරීමට උන් වහන්සේට හැකිකම තිබිණ. යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨකම හා යුක්තිය දූෂ්‍ය කළ බවට හා කැරලිකරුවන් තිදෙනා සමඟ උන් වහන්සේ අමනාප වී සිටී බවට කිසිදු ප්‍රශ්නයක් නැත. උන් වහන්සේ ඔවුන් ව වහා ම මරණයට පත් කළ සේක් නම්, එය මුළුමනින් ම උන් වහන්සේගේ අයිතිය තුළ තිබෙන්නක් වනු ඇත. පළමු මිනිසා වන ආදම්ට දෙවියන් වහන්සේ මෙසේ අවවාද කර තිබූ සේක: “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:17) ආදම් පව් කළ දවසෙහි ම දෙවියන් වහන්සේට ගණන් දීමට වරදකරුවන්ට සිදු වූ අතර, මරණ දඬුවම දෙනු ලැබී ය. විනිශ්චයානුකූල ව ආදම් සහ ඒව එදා ම මිය ගියහ. නමුත්, අපගේ බොහෝ කල් ඉවසන මැවුම්කරුවාණන් විසින් අවුරුදු 930ක් ආදම්ට ජීවත්වීමට ඉඩ දෙනු ලැබූ සේක.—උත්පත්ති 5:5.
6 මේ කාරණයේ දී බොහෝ කල් ඉවසීමට හෝ උදහස්වීමට ප්‍රමාදවීමට දෙවියන් වහන්සේට හොඳ හේතු තිබිණ. උන් වහන්සේ වහා ම එම කැරලිකරුවන් මරණයට පත් කළ සේක් නම්, නමස්කාර කරනු ලැබීමට යෙහෝවඃ වහන්සේ වටින්නේ නැත සහ තත්ත්වයන් කුමක් වුවත් තමන්ගේ අඛණ්ඩතාවය පවත්වා ගන්නා වූ මනුෂ්‍ය සේවකයන් උන් වහන්සේට ඇතුව සිටීමට නොහැකි ය යන යක්ෂයාගේ ඒකාන්ත අභියෝගයට මෙය පිළිතුරක් නොවනු ඇත. තවදුරටත්, මෙවන් ප්‍රශ්නවලට ද පිළිතුරු නොලැබෙනු ඇත: ආදම් සහ ඒව පව් කළේ කවරෙකුගේ වරදින් ද? යෙහෝවඃ වහන්සේ ඔවුන් ව මවනු ලැබුයේ, පරීක්ෂාවට මුහුණ දීමට අසමත්වන ලෙසත්, ඉන්පසු දඬුවම් කිරීමටත් සදාචාරමය ව එතරම් ම දුර්වලතාවයකින් යුක්ත ව ද? යෝබ්ගේ පොතේ පරිච්ඡේද 1 සහ 2 හි ඇති වාර්තාවෙන් මේ සියල්ලකට ම තිබෙන පිළිතුර පැහැදිලි වේ. මනුෂ්‍ය ජාතියට වැඩිවීමට අවසර දීමෙන්, සාතන්ගේ චෝදනා බොරු බව ඔප්පු කිරීමට යෙහෝවඃ වහන්සේ මනුෂ්‍යයන්ට අවස්ථා ලබා දුන් සේක.
7 යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා වන ඊශ්‍රායෙල්වරුන් මිසරයේ වහල්භාවයෙන් මුදවා ගැනීමට සූදානම් වූ විට, උන් වහන්සේ නැවත වරක් බොහෝ කල් ඉවසන බව ඔප්පු කළ සේක. ඵාරාවෝ සහ ඔහුගේ යුද්ධ හමුදාව එවිට ම විනාශ කිරීමට යෙහෝවඃ වහන්සේට හැකිකම තිබිණ. කෙසේ වුවද, එසේ කරනවා වෙනුවට, දෙවියන් වහන්සේ කලකට ඔවුන් උදෙසා ඉවසූ සේක. කිනම් හොඳ හේතුවක් සඳහා ද? කාලය ගත වෙද්දී, යෙහෝවඃ වහන්සේගේ නිදහස් ජනයා වශයෙන් ඊශ්‍රායෙල්වරුන්ට මිසරයෙන් පිටවීමට ඉඩ නොදීමෙහි ඵාරාවෝ තව තවත් මුරණ්ඩු විය. යෙහෝවඃ වහන්සේට අභියෝග කිරීම නිසා තමා විනාශයට සුදුසු ‘උදහසේ භාජනයක්’ බව ඔහු මෙසේ පෙන්නුම් කළේ ය. (රෝම 9:14-24) එහෙත්, මේ කාරණයේ දී දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසා සිටීමට ඊටත් වඩා හොඳ හේතුවක් තිබිණ. මෝසෙස් කරණකොටගෙන, උන් වහන්සේ ඵාරාවෝට මෙසේ පැවසූ සේක: “දැනට මා විසින් මාගේ අත දිගුකොට නුඹට සහ නුඹේ සෙනගට වසංගතයෙන් පහර දෙන්ටත් එසේ නුඹ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය. සැබවින් මා විසින් නුඹ ආරක්ෂා කළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.”—නික්මයාම 9:15, 16.
8 ඊශ්‍රායෙල්වරුන් වනාන්තරයෙහි සිටින විට ද හොඳ හේතු සඳහා යෙහෝවඃ වහන්සේගේ බොහෝ කල් ඉවසීම ප්‍රකාශ කරන ලදි. රන් වස්සකුට නමස්කාර කිරීමෙන් හා නරක වාර්තාවක් සමඟ ඔත්තුකරුවන් දසදෙනා පැමිණි විට ඇදහිල්ල දැක්වීමට අසමත්වීමෙන් ඔවුන් දෙවියන් වහන්සේගේ ඉවසීම පරීක්ෂා කළ ආකාරය මොනතරම් ද! උන් වහන්සේගේ නාමය හා කීර්තිය හවුල් වී තිබූ නිසා දෙවියන් වහන්සේ ස්වකීය ජනයා වශයෙන් ඔවුන් ව විනාශ නොකළ සේක. එසේ ය, යෙහෝවඃ වහන්සේ ස්වකීය නාමය උදෙසා බොහෝ කල් ඉවසීම විදහාපෑ සේක.—නික්මයාම 32:10-14; ගණන් කථාව 14:11-20.
මනුෂ්‍යයන් උදෙසා බොහෝ කල් ඉවසීම
9 ආදම් පව් කිරීමෙන් තමන්ගෙන් පැවත ඒමට සිටි සියල්ලන් උදෙසා වැරදි කර, ඔවුන්ට මහත් අයුක්තියක් කළ දා සිට යෙහෝවඃ වහන්සේ මනුෂ්‍යවර්ගයා සඳහා බොහෝ කල් ඉවසා තිබෙන සේක. පසුතැවිලි වන මනුෂ්‍යයන්ට උන් වහන්සේ සමඟ සමඟි වීමට කාලය දීමෙන් එම වරද නිවැරදි කිරීමට දෙවියන් වහන්සේගේ බොහෝ කල් ඉවසීම ඊට හැකිකම ලබා දුන්නේ ය. (රෝම 5:8-10) නෝවාගේ දවසේ දීත් යෙහෝවඃ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් උදෙසා බොහෝ කල් ඉවසීම දැක්වූ සේක. ඒ අවස්ථාවේ දී, “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ [හෘදයේ NW] කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දුටුසේක.” (උත්පත්ති 6:5) මෙම තත්ත්වය දුටු වහා ම මනුෂ්‍ය ජාතිය විනාශ කර දැමීමට දෙවියන් වහන්සේට හැකිකම තිබුණත්, අවුරුදු 120කින් මෙම තත්ත්වයට අවසානයක් ගෙනෙන බවට උන් වහන්සේ නියෝග කළ සේක. (උත්පත්ති 6:3) නෝවාට දරුවන් තිදෙනෙක් ලබා ගැනීමට හා ඔවුන් වැඩිවියට පත් ව විවාහ වී, තමන්ගේ ජීවිත ගලවා ගැනීමට හා සත්ත්ව මැවිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා එම පවුලට නැවක් සාදා ගැනීමට දෙවියන් වහන්සේගේ බොහෝ කල් ඉවසීම කාලය ලබා දුන්නේ ය. මේ ආකාරයට පොළොව සඳහා දෙවියන් වහන්සේගේ මුල් අරමුණ ඉටුකිරීමට හැකියාව තිබිණ.
10 බොහෝ කල් ඉවසීම පිළිබඳ තවත් විග්‍රහයක් තමන්ගේ ජනයා සමඟ දෙවියන් වහන්සේ සිදු කළ කටයුතුවලට විශේෂයෙන් ම අදාළ වේ. එය වනාහි “බාධාවට පත් වූ සබඳතාවය දියුණු වනු ඇතැයි යන බලාපොරොත්තුව අත්හැරීමට ඇති අකමැතිකම ඇතුළු ව, වරද හෝ ප්‍රකෝප වීම ඉවසීමෙන් විඳදරා ගැනීම ය.” (ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, කාණ්ඩ 2, පිටුව 262; න්යූ යොර්ක් හි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් ප්‍රකාශයට පත් කරන ලදි.) ඊශ්‍රායෙල්වරුන් කෙරෙහි දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසුවේ මන්දැයි යන අමතර හේතුවක් මෙය දක්වයි. ඔවුහු නොකඩවා යෙහෝවඃ වහන්සේගෙන් ඉවතට හැරී අන්‍ය ජාතීන්ගේ වහල් භාවය යටතට පැමිණියහ. නමුත්, උන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන් ව ගලවා පසුතැවිලිවීමට අවස්ථාව දීමෙන් උන් වහන්සේ බොහෝ කල් ඉවසීම දැක්වූ සේක.—විනිශ්චයකාරයන් 2:16-20.
11 ඊශ්‍රායෙල් රජවරුන්ගෙන් බහුතරයක් තම යටත් වැසියන් ව බොරු නමස්කාරය වෙතට ගෙන ගියහ. දෙවියන් වහන්සේ ජාතිය වහා ම ඉවත් කළ සේක් ද? නැත, බාධාවට පත් වූ සබඳතාවයෙහි දියුණුවීමක් කෙරෙහි බලාපොරොත්තු ව උන් වහන්සේ ඉක්මනින් අත්නොහැරිය සේක. ඒ වෙනුවට, යෙහෝවඃ වහන්සේ කෝප වීමට ප්‍රමාද වූ සේක. බොහෝ කල් ඉවසීම විදහාපෑම මගින් දෙවියන් වහන්සේ නොකඩවා ඔවුන්ට පසුතැවිලිවීමට අවස්ථාවක් දුන් සේක. දෙවන ලේකම් 36:15, 16 හි අපට මෙසේ කියවීමට තිබේ: “ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වකීය සෙනගටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] කෝපය තමන්ගේ සෙනගට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම් කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.”
12 ස්වකීය ජනයාට උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසන බවට ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ද සාක්ෂි සපයයි. උදාහරණයක් වශයෙන්, වැරදි කරන ක්රිස්තියානින්ගෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ඇසී ය: “නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද [බොහෝ] ඉවසීමේද බහුලත්ටය සුළුකොට” සිතන්නෙහි ද? (රෝම 2:4) පේතෘස්ගේ වචනවලට ද එවැනි ම අදහසක් ඇත: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.” (2 පේතෘස් 3:9) ඉතා උචිත ලෙස, “අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකාපල්ලා” යයි අපට පවසා තිබේ. (2 පේතෘස් 3:15) මෙසේ, යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසන්නේ නුවුවමනාසේ මෘදුභාවය දැක්වීමක් නිසා හෝ ලිහිල්කමක් නිසා හෝ නොව, එනමුත් උන් වහන්සේගේ නාමය හා අරමුණු හවුල් වන නිසා ය, තව ද උන් වහන්සේ දයාවන්ත හා ප්‍රේමවන්ත නිසා ය.
බොහෝ කල් ඉවසීම පිළිබඳ යේසුස් වහන්සේගේ ආදර්ශය
13 උන් වහන්සේගේ පුත්‍රයාණන් වූ, මෙසියස් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බොහෝ කල් ඉවසීම දෙවෙනි වන්නේ දෙවියන් වහන්සේ විසින් තබන ලද ආදර්ශයට පමණි. උන් වහන්සේ වනාහි ප්‍රකෝප කිරීම යටතේ ඉක්මන් පළිගැනීමක් නොමැති ව, ආත්ම-දමනය දැක්වීමේ විශිෂ්ට ආදර්ශයකි.a මෙසියස් වහන්සේ බොහෝ කල් ඉවසනු ඇතැයි යන්න ගැන අනාගතවක්තෘ යෙසායා මෙම වචනවලින් ඒ ගැන පුරෝකථනය කළේ ය: “උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.” (යෙසායා 53:7) පේතෘස්ගේ ප්රකාශයෙනුත් එම වචන සනාථ කෙරේ: “උන්වහන්සේ[ට] නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක.” (1 පේතෘස් 2:23) තමන් අතරෙන් ඉතා උතුම් කවරෙක්දැයි යන විවාදවලින් උන් වහන්සේගේ ගෝලයන් යේසුස් වහන්සේගේ ඉවසීම මොනතරම් පරීක්ෂාවකට භාජනය කරන්ට ඇත්ද! නමුත්, උන් වහන්සේ ඔවුන් සමඟ කොපමණ බොහෝ ඉවසිලිවන්තකමින් හා ඉවසීමෙන් කටයුතු කළ සේක් ද!—මාර්ක් 9:34; ලූක් 9:46; 22:24.
14 බොහෝ කල් ඉවසීමෙහි යේසුස් වහන්සේ තැබූ ආදර්ශය අප අනුගමනය කළ යුතු ය. පාවුල් මෙසේ ලීවේ ය: “ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් NW] දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය [වධ කණුව NW] දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් [ආත්මයෙන් NW] ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටි පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනා කර බලාපල්ලා.”—හෙබ්‍රෙව් 12:1-3.
15 උන් වහන්සේ ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී උන් වහන්සේ විදහාපෑ ආකල්පයෙන් යේසුස් වහන්සේගේ බොහෝ කල් ඉවසීම සහ පරීක්ෂා කැමැත්තෙන් විඳදරා ගැනීමට කැමති වූ බව දැකගත හැක. තම ස්වාමියා ව ආරක්ෂා කිරීමට කඩුව ගත් නිසා පේතෘස්ට තරවටු කිරීමෙන් පසු, යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමද?”—මතෙව් 26:51-54; යොහන් 18:10, 11.
බොහෝ කල් ඉවසීම පිළිබඳ වෙනත් ආදර්ශ
16 අසම්පූර්ණ, පව්කාර මනුෂ්‍යයන්ට පවා බොහෝ කල් ඉවසීම විදහාපෑ හැක. අසම්පූර්ණ මනුෂ්‍යයන් විසින් තමන්ට සිදු කරන ලද වැරදි ඉවසිල්ලෙන් විඳදරා ගැනීම ගැන ආදර්ශ හෙබ්‍රෙව් ශුද්ධලියවිලිවල අඩංගු වේ. උදාහරණයක් වශයෙන්, හෙබ්‍රෙව් ජාතික කුලදෙටුවෙකු වූ යාකොබ්ගේ පුත්‍ර, යෝසෙප් ගනිමු. තමාගේ අර්ධ සහෝදරයන් විසින් හා පෝතිඵර්ගේ භාර්යාව විසින් සිදු කරන ලද අසාධාරණකම් ඔහු මොනතරම් ඉවසිල්ලකින් විඳදරාගත්තෙහි ද! (උත්පත්ති 37:18-28; 39:1-20) මෙම පරීක්ෂණ නිසා යෝසෙප් අමනාපයක් ඇති කර ගත්තේ නැත. තමාගේ සහෝදරයන්ට පැවසූ මෙම වචනවලින් මෙය පැහැදිලි වේ: “නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවෙල්ලා, නුඹලාටම කෝපනොවෙල්ලා. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලාට පෙරටුව මා එවූසේක.” (උත්පත්ති 45:4, 5) යෝසෙප් විසින් තබන ලද්දේ බොහෝ කල් ඉවසීමේ මොනතරම් කදිම ආදර්ශයක් ද!
17 දාවිත් වනාහි වැරදි ඉවසීමෙන් විඳදරාගනිමින්, බොහෝ කල් ඉවසීම විදහාපෑ යෙහෝවඃ වහන්සේගේ විශ්වාසවන්ත සේවකයන්ගේ තවත් ආදර්ශයකි. ඊර්ෂ්‍යා සහගත සාවුල් රජ විසින් බල්ලකු මෙන් ලුහුබඳිනු ලැබූ විට, ඔහු ව මරුමුවට පත් කිරීමෙන් පළිගැනීමට දාවිත්ට අවස්ථා දෙකක් තිබිණ. (1 සාමුවෙල් 24:1-22; 26:1-25) නමුත් දාවිත් දෙවියන් වහන්සේ කෙරෙහි බලාසිටිසේක, අබිෂයිට ප්‍රකාශ කළ ඔහුගේ වචනවලින් මෙය පැහැදිලි වේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහුට [සාවුල්] පහර දෙනසේක; නැතහොත් ඔහු මැරෙන දවස පැමිණෙන්නේය; නොහොත් ඔහු යුද්ධයට ගොස් නාස්තිවන්නේය. මාගේ අත ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මා වලක්වනසේක්වා”! (1 සාමුවෙල් 26:10, 11) එසේ ය, සාවුල් විසින් ලුහුබැඳීම නවත්වා දැමීමට දාවිත්ට බලය තිබිණ, නමුත් බොහෝ කල් ඉවසීමට දාවිත් තෝරා ගත්තේ ය.
18 තමාගේ ද්‍රෝහී පුත්‍රයා වන, අබ්සලොම්ගෙන් දාවිත් රජ පලා යන විට සිදු වූ දෙයත් සලකා බලන්න. සාවුල්ගේ පෙළපතට අයත් බෙන්යමින්වරයෙකු වූ ෂිමෙයි, දාවිත්ට ගල් ගසමින්, මෙසේ ශාප කළේ ය: “මිනීමරු මනුෂ්‍යය, දුර්ජන මනුෂ්‍යය, පලයන්, පලයන්”! ෂිමෙයි ව මරුමුවට පත් කිරීමට අබිෂයිට වුවමනා විය, නමුත් දාවිත් පළිගැනීමට අකමැති විය. එසේ කරනවා වෙනුවට, ඔහු නැවත වරක් බොහෝ කල් ඉවසීමේ ගුණාංගය විදහාපෑවේ ය.—2 සාමුවෙල් 16:5-13.
පාවුල්ගේ ආදර්ශය සලකා බලන්න
19 ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිලි තුළ, අසම්පූර්ණ මනුෂ්‍යයෙකු වන, ප්‍රේරිත පාවුල්ගේ බොහෝ කල් ඉවසීමේ තවත් කදිම ආදර්ශයක් අපට ඇත. ඔහුගේ ආගමික සතුරන් සමඟ හා ක්‍රිස්තියානි යයි කියා ගත්තා වූ අය සම්බන්ධයෙන් ඔහු ඉවසිලිවන්ත විඳදරා ගැනීම හා බොහෝ කල් ඉවසීම විදහාපෑවේ ය. එසේ ය, කොරින්ති සභාවේ සමහරෙක් මෙසේ පැවසුවත් පාවුල් බොහෝ කල් ඉවසීම දැක්වී ය: “ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුය”.—2 කොරින්ති 10:10; 11:5, 6, 22-33.
20 එමනිසා, හොඳ හේතු ඇතුව, කොරින්තිවරුන්ට පාවුල් මෙසේ පැවසී ය: “ඉවසීමෙන්ද [විඳදරා ගැනීමෙන් ද NW] පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද; පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද [බොහෝ] ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්‍රේමයෙන්ද; . . . යන මේ සියල්ලෙන් අපි දෙවියන්වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමුව.” (2 කොරින්ති 6:4-6) එවැනි ම අර්ථයකින්, ප්‍රේරිතවරයා තමාගේ හවුල් සේවක තිමෝතිට මෙසේ ලිවීමට හැකි විය: “නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද [බොහෝ] ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද [විඳදරාගැනීම ද NW] . . . මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. . . . ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.” (2 තිමෝති 3:10, 11) බොහෝ කල් ඉවසීමෙන් ප්‍රේරිත පාවුල් අප සඳහා තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක් ද!
21 පැහැදිලි ව ම, බොහෝ කල් ඉවසූ අයගේ කදිම ආදර්ශවලින් ශුද්ධලියවිලි පිරී තිබේ. යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන් ප්රමුඛ ආදර්ශ වෙති. නමුත් යෝසෙප්, දාවිත්, සහ ප්‍රේරිත පාවුල් වැනි අසම්පූර්ණ මනුෂ්‍යයන් විසින් මෙම ගුණාංගය විදහාපෑම මොනතරම් දිරිගන්වන සුලු ද! ඊළඟ ලිපිය සකස් කර ඇත්තේ එබඳු කදිම ආදර්ශ අනුගමනය කිරීමට අපට උපකාර කිරීම සඳහා ය. w91 05/15
[පාදසටහන්වල]
a බොහෝ කල් ඉවසීම යනුවෙන් අදහස් කරන්නේ නිකම් බොහෝ කාලයක් දුක් විඳීම ම නොවේ. බොහෝ කාලයක් ඉවසන කෙනෙකු පළිගැනීමට නොහැකි නිසා කලකිරීමට හෝ කෝපයට පත්වන්නෙහි නම්, ඔහු බොහෝ කල් ඉවසීමක් නොදක්වනු ඇත.
[පාඩම සඳහා ප්‍රශ්න]
1. (අ) දෙවියන් වහන්සේගේ දේවානුභාවයලත් වචනය අපගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියා කරන්නේ කෙසේ ද? (ආ) මේ සම්බන්ධයෙන්, බොහෝ කල් ඉවසීමේ ගුණාංගය මෙහි දි සලකා තිබෙන්නේ මන්ද?
2. “බොහෝ කල් ඉවසීම” යනුවෙන් යොදා ඇති ග්‍රීක් වචනයේ අර්ථය කුමක් ද, තව ද මෙම ගුණාංගය විදහාපෑමෙහි ප්රමුඛ තැනැත්තා වන්නේ කවරෙක් ද?
3. යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසීමට දායක වන ගුණාංගයන් මොනවා ද?
4. පව්කාරයන් කෙරෙහි දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසීම දක්වා ඇත්තේ කුමන හොඳ හේතු සඳහා ද?
5, 6. මිනිසාගේ කැරලිකාරකම සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසීම විදහාපෑවේ මන්ද?
7. යෙහෝවඃ වහන්සේ වහා ම ඵාරාවෝට මරණ දඬුවම නොදුන්නේ මන්ද?
8. වනාන්තරයෙහි කැරලිකාර ඊශ්‍රායෙල්වරුන් ව මරණයට පත් නොකළේ කිනම් හේතුවක් නිසා ද?
9. නෝවාගේ දවස්වල දී යෙහෝවඃ වහන්සේ එපමණ බොහෝ කල් ඉවසීම දැක්වූයේ මන්ද?
10, 11. ඊශ්‍රායෙල් ජාතිය සමඟ යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසීම දැක්වූයේ මන්ද?
12. යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසීමට හේතුව පිළිබඳ ව ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිලි ඉදිරිපත් කරන සාක්ෂි කුමක් ද?
13. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බොහෝ කල් ඉවසූ බවට තිබෙන ශුද්ධලියවිලි සාක්ෂි කවරේ ද?
14. බොහෝ කල් ඉවසීමේ යේසුස් වහන්සේගේ ආදර්ශය අප ව පෙලඹිය යුත්තේ කුමක් කිරීමට ද?
15. යේසුස් වහන්සේ බොහෝ කල් ඉවසූ බව හා පරීක්ෂණ කැමැත්තෙන් විඳදරා ගත් බව අප දන්නේ කෙසේ ද?
16. යාකොබ්ගේ පුත්‍ර යෝසෙප් බොහෝ කල් ඉවසූ බව ශුද්ධලියවිලි දක්වන්නේ කෙසේ ද?
17, 18. දාවිත් සම්බන්ධයෙන් අපට තිබෙන බොහෝ කල් ඉවසීමේ සාක්ෂි කවරේ ද?
19, 20. තමා බොහෝ කල් ඉවසන කෙනෙකු බව ප්‍රේරිත පාවුල් දැක්වූයේ කෙසේ ද?
21. ඊළඟ ලිපිය අපට උපකාරවත් විය හැක්කේ කෙසේ ද?
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ බොහෝ කල් ඉවසීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
◻ යෙහෝවඃ වහන්සේ බොහෝ කල් ඉවසා ඇත්තේ ප්‍රධාන වශයෙන් කුමන හේතු නිසා ද?
◻ යේසුස් වහන්සේ තමා බොහෝ කල් ඉවසන බව දක්වා ඇත්තේ කිනම් ආකාරවලින් ද?
◻ අසම්පූර්ණ මනුෂ්‍යයන්ට බොහෝ කල් ඉවසීම දැක්විය හැකි බවට තිබෙන ශුද්ධලියවිලි සාක්ෂි කවරේ ද?
යෝසෙප්, යේසුස් වහන්සේ, දාවිත්, පාවුල්, සහ යෝබ් බොහෝ කල් ඉවසීමේ ආදර්ශ වූහ
යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් කෙරෙහි බොහෝ කල් ඉවසීම විදහාපෑ සේක