සියල්ලන් කෙරෙහි බොහෝ ඉවසිලිවන්ත වන්න
“සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන [බොහෝ] ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.”—1 තෙසලෝනික 5:14.
බෙහෝ ඉවසිලිවන්ත වීමෙන් යෙහෝවඃ වහන්සේගේ නවීන-දින සාක්ෂිකරුවන් සපයා ඇති ආදර්ශය මොනතරම් ද! කලින් තිබූ නාට්සි හා ඒකාධිපති රටවල ද, වර්තමාන කාලය දක්වා මලාවි වැනි රටවල ද ඔවුන් බොහෝ දුෂ්කරතා හා පීඩා විඳදරාගෙන ඇත. ආගමික වශයෙන් බෙදී සිටින නිවෙස්වල ජීවත්වන අය ද බොහෝ ඉවසිලිවන්තකම දක්වති.
2 ඔවුන් අත්දකින පීඩා සහ දුෂ්කරතා මධ්‍යයෙහි වුවත් යෙහෝවඃ වහන්සේගේ කැප වූ ජනයා ආත්මික පාරාදීසයක ආශීර්වාද භුක්තිවිඳිමින් සිටිති. සැබවින් ම, අභිෂේකලත් ක්‍රිස්තියානින් එය භුක්තිවිඳීමට පටන් ගත්තේ 1919 වන වසරේ බවට සාක්ෂි දක්වත්. මෙම ආත්මික පාරාදීසයට හේතුව කුමක් ද? සියල්ලකට ම ප්‍රථම, යෙහෝවඃ වහන්සේගේ ජනයා අතරෙහි මෙම පාරාදීස තත්ත්වයන් පවතින්නේ දෙවියන් වහන්සේ ස්වකීය අභිෂේකලත් සේවකයන් ඔවුන්ගේ “දේශයට” හෝ සැබෑ නමස්කාරයේ තත්ත්වයට නැවත පිහිටුවා තිබෙන නිසා ය. (යෙසායා 66:7, 8) ආත්මික පාරාදීසය සමෘද්ධිමත් වන්නේ එහි සිටින සෑම කෙනෙකු ම දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල විදහාපාන නිසා ය. බොහෝ ඉවසිලිවන්තකම මේවායින් එකකි. (ගලාති 5:22, 23) අපගේ ආත්මික පාරාදීසය සම්බන්ධයෙන් මෙම ගුණාංගයේ වැදගත්කම විශාරද විලියම් බාක්ලේ විසින් පවසන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වේ: “මැක්රෝතූමියා [බොහෝ ඉවසිලිවන්තකම, makrothumia] නොමැති ව ක්‍රිස්තියානි ආශ්‍රය කියා දෙයක් තිබිය නොහැක . . . ඊට හේතුව නම් මෙයයි—මැක්රෝතූමියා වනාහි දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගතිලක්ෂණයක් ය (රෝම 2.4; 9.22).” (අ න ටෙස්ටමන්ට් වර්ඩ්බුක්, පිටුව 84) එසේ ය, බොහෝ ඉවසිලිවන්තකම එතරම් ම වැදගත් ය!
අපගේ සහෝදරයන් සමඟ බොහෝ ඉවසිලිවන්තකම දැක්වීම
3පෙනෙන ප්‍රකාරයට බොහෝ ඉවසිලිවන්තකම දැක්වීමෙහි යම් අපහසුතාවක් ප්‍රේරිත පේතෘස්ට තිබිණ, මක්නිසා ද වරක් ඔහු යේසුස් වහන්සේගෙන් මෙසේ ඇසී ය: “ස්වාමීනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාද?” යේසුස් වහන්සේ ඔහුට මෙසේ උපදෙස් දුන් සේක: “සත්වරක් නොව සැත්තෑවර සත්වරක්ය. [සැත්තෑ සත් වරක් ය. NW]” (මතෙව් 18:21, 22) වෙනත් වචනවලින් පවසනවා නම්, අපට එරෙහි ව පව් කරන යම්කිසිවෙකුට සමාව දීමට හා එකිනෙකා සමඟ ඉවසිලිවන්ත ව කටයුතු කිරීමේ ප්‍රමාණයට සීමාවක් නැත. කෙසේ වෙතත්, යම්කිසිවෙක් 77 වරක් දක්වා ගණන් තබාගෙන සිටිනු ඇතැයි අපට සිතිය නොහැක! නමුත්, එලෙස සමාව දීමට නම් බොහෝ ඉවසිලිවන්තකම අවශ්‍ය කරයි.
4 ආත්මික සහෝදරයන් විසින් බොහෝ ඉවසිලිවන්තකම විදහාපෑමේ දී, සභා වැඩිමහල්ලන් ආදර්ශමත් විය යුතු බවට කිසිදු සැකයක් නැත. ඇතැම් සෙසු ඇදහිලිවන්තයන් නොසැලකිලිමත් හෝ උදාසීන නිසා ඔවුන්ගේ ඉවසීම පරීක්ෂණයට භාජනය විය හැක. නරක පුරුදු හරිගැස්සීමට සිදුවන විට දී අනෙක් අය ළත වෙමින් ප්‍රමාද විය හැක. තමන්ගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ දුර්වලකම් මගින් වැඩිමහල්ලන් පහසුවෙන් කුපිත නොවීමට හෝ අමනාප නොවීමට හෝ ප්‍රවේසම් විය යුතු ය. ඒ වෙනුවට, මෙම ආත්මික එඬේරු මෙම උපදේශය මතක තබාගැනීම අවශ්‍ය ය: “තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.”—රෝම 15:1, නව අනුවාදය.
5 තව ද මනුෂ්‍ය දුර්වලකම් හා අඩුපාඩුකම් නිසා, පෞද්ගලිකත්ව අතර ගැටීම් ඇති විය හැක. අසමත්වීම් හෝ පුද්ගලයෙකුට විශේෂ වූ අස්වාභාවික ගති නිසා, අපගේ සහෝදරයන් ව අමනාප කරවන ආකාරයකින් අප කටයුතු කළ හැකි අතර, ඔවුනුත් එසේ ම අපට කළ හැක. එමනිසා, මෙම උපදේශය මොනතරම් උචිත ද: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා.” (කොලොස්සි 3:13) යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් සඳහා වලංගු හේතුවක් තිබුණත්, “එකිනෙකා ගැන ඉවසමින්” යනුවෙන් අදහස් කරන්නේ බොහෝ ඉවසිලිවන්ත වීම ය. අපගේ සහෝදරයන්ගෙන් පළිගැනීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම නොකළ යුතු අතර, ඔවුන්ට එරෙහි ව සුසුම්ලෑම ද සුදුසු නොවේ.—යාකොබ් 5:9
6 රෝම 12:19 හි ඇති උපදේශයේ එබඳු ම අදහසක් ඇත: “ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහැරපල්ලා. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කියනසේකැයි ලියා තිබේ.” ‘උදහසට ඉඩහැරීම’ යනුවෙන් අදහස් කරන්නේ කෝප වීමට ප්‍රමාද වීම හෝ බොහෝ ඉවසිලිවන්ත වීම ය. මෙම ගුණාංගය විදහාපෑම වනාහි ප්‍රඥාවේ ක්‍රියාමාර්ගය වන්නේ ය, මක්නිසා ද එය අපට මෙන් ම අන්‍යයන්ට ද ප්‍රයෝජන ලබා දෙයි. ගැටලුවක් පැනනැගී ඇත්නම්, බොහෝ ඉවසිලිවන්ත වීමෙන් අපට ම හොඳ හැඟීමක් ඇති වේ, මක්නිසා ද අප කාරණා තවත් බරපතළ නොකරන නිසා ය. අප බොහෝ ඉවසිලිවන්තකම දක්වන තැනැත්තාට ද හොඳක් දැනේ, මක්නිසා ද යම් ආකාරයකින් අපි ඔහුට දඬුවම් නොකරන හෝ පළිනොගන්නා නිසා ය. “ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන [බොහෝ] ඉවසිලිවන්තව සිටින මෙන්ද” සෙසු ක්‍රිස්තියානින්ට පාවුල් අනුශාසනා කිරීම පුදුමයක් නොවේ!—1 තෙසලෝනික 5:14.
පවුල් කවය තුළ
7 සන්තෝෂමත් විවාහයක් යනු හොඳට සමාව දෙන දෙදෙනකුගේ එකතුවක් යයි පවසා තිබේ. ඉන් අදහස් කරන්නේ කුමක් ද? එම සන්තෝෂයෙන් විවාහ වූ පුද්ගලයන් එකිනෙකා සමඟ කටයුතු කිරීමේ දී බොහෝ ඉවසිලිවන්තකම දක්වන බව ය. ඔවුන්ට ප්‍රතිවිරුද්ධ චිත්ත ලීලාවන් තිබෙන නිසා, පුද්ගලයෝ බොහෝ විට එකිනෙකාට ආකර්ෂණය වෙති. මෙම වෙනස්කම් කුතුහලය උපදවන්නක් විය හැක, නමුත් ඒවා ඝට්ටනයේ උල්පතක් ද විය හැකි අතර, දැනටමත් ‘මාංසයේ දුක්’ තිබෙන විවාහක ක්‍රිස්තියානින්ගේ වෙහෙසීම් හා කනස්සලුභාවයන් වැඩි කළ හැක. (1 කොරින්ති 7:28) උදාහරණයක් වශයෙන්, පුරුෂයෙක් කුඩා දේවල් ගැන නොසැලකිලිමත් වන්නේ යයි හෝ අපිළිවෙළකට කටයුතු කිරීමට නැඹුරු වන්නේ යයි සිතමු. මෙය ඔහුගේ භාර්යාවගේ ඉවසීම පරීක්ෂාවට භාජනය කළ හැක. නමුත් කාරුණික වචනවලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති නම්, බොහෝ ඉවසිලිවන්ත වීමෙන් ඔහුගේ දුර්වලකම සමඟ කටයුතු කිරීමට ඈට සිදුවනු ඇත.
8 අනෙක් අතට, බිරිඳක් සුළු දේවල් ගැන අනවශ්‍ය කලබල කිරීමක් කළ හැකි අතර, ඇගේ පුරුෂයාට හිරිහැර කිරීමට නැඹුරු විය හැක. මේ මගින් මෙම ශුද්ධලියවිල්ල අපගේ කල්පනාවට පැමිණිය හැක: “කලහකාරී බිරිඳක සමග ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳ ය.” (හිතෝපදේශ 25:24, නව අනුවාදය) එබඳු අවස්ථාවක දී, පාවුල්ගේ මෙම උපදේශය පිළිපැදීමට බොහෝ ඉවසිලිවන්තකම අවශ්‍ය කෙරේ: “පුරුෂයෙනි, නුඹලාගේ භාර්ය්යාවන් කෙරෙහි කර්කස [අධික ලෙස කෝප NW] නොවී ඔවුන්ට ප්‍රේමකරපල්ලා.” (කොලොස්සි 3:19) ප්‍රේරිත පේතෘස්ගේ මෙම උපදේශය පිළිපැදීමට පුරුෂයන්ට ද බොහෝ ඉවසිලිවන්තකම අවශ්‍ය කෙරේ: “එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්ය්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා.” (1 පේතෘස් 3:7) තම භාර්යාවන්ගේ දුර්වලකම් නිසා ඇතැම් අවස්ථාවල දී පුරුෂයෙකුගේ ඉවසීම පරීක්ෂාවට භාජනය විය හැකි අතර, ඒවා සමඟ කටයුතු කිරීමට බොහෝ ඉවසිලිවන්තකම ඔහුට උපකාර කරනු ඇත.
9 තමන්ගේ දරුවන් ව සාර්ථක ලෙස ඇතිදැඩි කිරීමට නම්, දෙමව්පියන් විසින් බොහෝ ඉවසිලිවන්ත වීම අවශ්‍ය කෙරේ. යෞවනයන් එක ම වරද නැවත නැවතත් සිදු කළ හැක. ඔවුන් මුරණ්ඩු බවක් හෝ ඉගෙන ගැනීමට ප්‍රමාදවීමක් පෙන්නුම් කළ හැක, තව ද ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඉවසීම පරීක්ෂාවට භාජනය කළ හැක. එබඳු තත්ත්වයන් යටතේ, ක්‍රිස්තියානි දෙමව්පියන් තමන්ගේ ශාන්තභාවය නැති කර නොගෙන කෝපවීමට ප්‍රමාද විය යුතු ය, නමුත් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සඳහා ස්ථිර ව සිටින අතරතුරේ දී සන්සුන්කම පවත්වා ගත යුතු ය. තමන් ද වරක් තරුණ ව සිටි බව හා වැරදි කළ බව පියවරුන් මතක තබාගත යුතු ය. පාවුල්ගේ උපදේශය ඔවුන් විසින් අදාළ කරගැනීම අවශ්‍ය කෙරේ: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා.”—කොලොස්සි 3:21.
පිටත සිටින අය සමඟ
10 මිනිස් අසම්පූර්ණකම හා ආත්මාර්ථකාමීකම නිසා, ක්රිස්තියානිවරයෙකුගේ රැකියා ස්ථානයෙහි අප්‍රසන්න තත්ත්වයන් ඇති විය හැක. උපායශීලිවීම හා සාමය උදෙසා වැරදි සමඟ ඉවසීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය වේ. ඊර්ෂ්‍යාසහගත සෙසු සේවකයෙකු විසින් සිදු කරන ලද කලහාකාරිකමට ගොදුරු වූ ක්රිස්තියානිවරයෙකුගේ අත්දැකීමෙන් මෙහි ඥානවන්තකම පෙන්නුම් කෙරේ. සහෝදරයා මේ ගැන ප්‍රශ්නයක් නොකර, බොහෝ ඉවසිලිවන්තකම දැක්වූ නිසා, කල් යාමේ දී කරදරකාරී වූ සේවකයා සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට ඔහුට හැකි විය.
11 යෙහෝවඃ වහන්සේගේ ජනයාට විශේෂයෙන් ම බොහෝ ඉවසිලිවන්තකම අවශ්‍ය කරන්නේ ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අයට දේශනා කරන විට දී ය. විටින් විට ක්‍රිස්තියානින්ට රළු ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදු වේ. අපත් එලෙස ම ප්‍රතිචාරය දැක්වීම සුදුසු වනු ඇත්ද? නැත, මක්නිසා ද එසේ කිරීම බොහෝ ඉවසිලිවන්තකම විදහා දැක්වීමක් නොවනු ඇත. ඥානවන්ත ක්‍රියාමාර්ගය වන්නේ පහත සඳහන් ප්‍රඥාවන්ත උපදේශය පිළිපැදීම ය: “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.”—හිතෝපදේශ 15:1.
බොහෝ ඉවසිලිවන්තකම විදහාපෑමේ දී ඇදහිල්ල සහ බලාපොරොත්තුව උපකාර කරයි
12 බරපතළ තත්ත්වයන් ඉවසමින්, බොහෝ ඉවසිලිවන්තකම විදහාපෑමට අපට උපකාර කළ හැක්කේ කුමකට ද? එක දෙයක් නම් දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ය. උන් වහන්සේ පවසන දෙය අනුව අපි දෙවියන් වහන්සේ ව විශ්වාස කළ යුත්තෙමු. ශුද්ධලියවිලි මෙසේ පවසයි: “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමග ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.” (1 කොරින්ති 10:13) වෙනත් වචනවලින් පවසනවා නම්, එක් වයසැති කෙනෙකු පැවසුවාක් මෙන් ය: “දෙවියන් වහන්සේ අවසර දෙන සේක් නම්, ඊට මුහුණ පෑමට මට පුළුවන.” එසේ ය, බොහෝ ඉවසිලිවන්ත වීමෙන් ඊට මුහුණ දීමට අපට හැක.
13 ඇදහිල්ලට කිට්ටුවෙන් සම්බන්ධ වී තිබෙන දෙයක් නම්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි බලාපොරොත්තුව ය. එය පෘථිවිය පාලනය කරන විට, අපට දුක ගෙන දෙන සියලු දුෂ්ට තත්ත්වයන් ඉවත් කරනු ලබනවා ඇත. මේ සම්බන්ධයෙන්, ගීතිකාකාර දාවිත් මෙසේ පැවසී ය: “තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.” (ගීතාවලිය 37:8, 9) දෙවියන් වහන්සේ ඉක්මනින් ම මෙම කරදරකාරී තත්ත්වයන් ඉවත් කරනු ඇතැයි යන ස්ථිර බලාපොරොත්තුව බොහෝ ඉවසිලිවන්ත වීමට අපට උපකාර කරයි.
14 නොඇදහිලිකාර කලත්‍රයෙක් අපට දුක ඇති කළහොත්, අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේ ද? උපකාරය සඳහා දෙවියන් වහන්සේ දෙස ම බලමින් සිටින්න, තව ද විරුද්ධවාදියා යෙහෝවඃ වහන්සේගේ නමස්කාර කරන්නෙකු වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සිටින්න. එක් ක්රිස්තියානිවරයෙකුගේ භාර්යාවක් ඇතැම් අවස්ථාවල දී ඔහුගේ ආහාර පිළියෙල කිරීම හා ඔහුගේ ඇඳුම් පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කළා ය. ඈ අසභ්‍ය භාෂාව භාවිතා කළ අතර, දින ගණනාවක් ම ඔහු සමඟ කථා කිරීමෙන් වැලකී සිටි අතර, කොඩිවින මගින් ඔහුට හූනියම් කිරීමට පවා ඈ තැත් කළා ය. නමුත් ඔහු මෙසේ පැවසී ය: “සෑම වතාවක දී ම යෙහෝවඃ වහන්සේ වෙතට යාච්ඤාවෙන් හැරුණ අතර, මාගේ ක්‍රිස්තියානි සමබරතාව නැති නොවන පිණිස බොහෝ ඉවසිලිවන්ත වීමේ යහපත් ගුණාංගය මට වර්ධනය කර ගැනීමට උන් වහන්සේ කෙරෙහි මම විශ්වාසය තැබීමි. යම් දිනක ඇගේ හෘදයේ ආකල්පය වෙනස් වනු ඇතැයි ද මම විශ්වාස කළෙමි.” එසේ සැලකීමෙන් අවුරුදු 20කට පසු, ඔහුගේ භාර්යාව වෙනස්වීමට පටන් ගත්තා ය, තව ද ඔහු මෙසේ පවසයි: “ආත්මයේ ඵලය වන, බොහෝ ඉවසිලිවන්තකම වර්ධනය කර ගැනීමට උන් වහන්සේ මට උපකාර කිරීම ගැන මා මොනතරම් යෙහෝවඃ වහන්සේට කෘතඥ වන්නෙම් ද, මක්නිසාද දැන් මට ප්‍රතිඵලය දැක ගත හැක: මාගේ භාර්යාව ජීවනයේ මාර්ගයේ යාමට පටන් ගෙන ඇත!”
යාච්ඤාව, නිහතමානිකම, සහ ප්‍රේමය උපකාර කරනු ඇත
15 බොහෝ ඉවසිලිවන්තකම විදහාපෑමේ දී යාච්ඤාව වනාහි තවත් ඉමහත් උපකාරයකි. පාවුල් මෙසේ උනන්දු කළේ ය: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) මෙම උපදේශයත් පිළිපැදීමට මතක තබාගන්න: “නුඹේ බර ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.”—ගීතාවලිය 55:22.
16 ආත්මයේ ඵලයක් වන බොහෝ ඉවසිලිවන්තකම වර්ධනය කර ගැනීමට තවත් ඉමහත් උපකාරයක් නම් නිහතමානිකම ය. ආඩම්බර තැනැත්තා නොඉවසිලිවන්ත ය. ඔහු පහසුවෙන් අමනාප වන අතර, ඉක්මනින් කෝප වන්නේ ය, තව ද කිසිදු අහිතකර සැලකිල්ලක් ඉවසා සිටින්නේ නැත. මේ සියල්ලක් ම බොහෝ ඉවසිලිවන්ත වීමට ප්‍රතිවිරුද්ධ ය. එහෙත් නිහතමානි පුද්ගලයෙක් තමා ව ම වුවමනාවට වඩා බරපතළ ලෙස සලකන්නේ නැත. සාවුල් රජ විසින් දාවිත් ව ලුහුබඳින විට සහ බෙන්යමින් ජාතික ෂිමෙයි විසින් නින්දා කරනු ලැබූ විට දාවිත් කළාක්මෙන්, ඔහු යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලාසිටිනු ඇත. (1 සාමුවෙල් 24:4-6; 2 සාමුවෙල් 16:5-13) එබැවින්, “සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද [බොහෝ] ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා” සිටීමට අප ආශා විය යුතු ය. (එපීස 4:2) තවදුරටත්, ‘යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවෙහි අපි යටහත් පහත් වෙමු.’—යාකොබ් 4:10, NW.
17 බොහෝ ඉවසිලිවන්තකම දැක්වීමට පරාර්ථකාමී ප්‍රේමය අපට විශේෂයෙන් ම උපකාර කරයි. සැබවින් ම, “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය,” මක්නිසාද අන්‍යයන්ගේ යහපත ගැන සිතීමට මෙය අපට උපකාර කරයි. (1 කොරින්ති 13:4) අන්‍යයන්ගේ තත්ත්වය තේරුම් ගැනීම පිණිස අප ඒ තත්ත්වයට ම පිවිසීමට [සංවේදනය දැක්වීමට] ප්‍රේමය අපට උපකාර කරයි. තවදුරටත්, ප්‍රේමය “සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත,” එබැවින් බොහෝ ඉවසිලිවන්ත වීමට එය අපට උපකාර කරයි. (1 කොරින්ති 13:7, 8) එසේ ය, යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා ගී ගයන්න යන පොතෙහි අංක 200 දරන රාජ්‍යය ගීතිකාව එය මෙසේ ඉදිරිපත් කරයි:
“ප්‍රේමේ ප්‍රිය දේ දකී ඒකත්වේ ගොඩ නගයි වේ දයා සතුරන්ට නිවැරැද්ද ම සොයයි”
ප්‍රීතියෙන් යුක්තව බොහෝ ඉවසිලිවන්ත වන්න?
18 යෙහෝවඃ වහන්සේට ඔබින ලෙස හැසිරෙමින්, උන් වහන්සේ ව සතුටු කරමින් හා සෑම යහපත් වැඩක දී ම ඵල දරන පිණිස, කොලොස්සියෙහි සිටි තමන්ගේ සෙසු ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිබඳ ඒකාන්ත දැනුමෙන් පූර්ණ වන ලෙස පාවුල් යාච්ඤා කළේ ය. මෙසේ ඔවුහු “ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමත් [විඳදරා ගැනීමටත් NW] [බොහෝ] ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත්” වන්නාහ. (කොලොස්සි 1:9-11) තවමත්, යමෙකුට “ප්‍රීතියෙන් යුක්තව බොහෝ ඉවසිලිවන්ත” විය හැක්කේ කෙසේ ද? මෙය පරස්පරවිරෝධි දෙයක් නොවේ, මක්නිසා ද ශුද්ධලියවිලිවල සඳහන් කරන ලද ප්‍රීතිය වනාහි නිකම් සැහැල්ලු සිතක් හෝ සතුටක් ඇතුව සිටීම පමණක් ම නොවේ. දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිවැරදි දේ කිරීම නිසා, ගැඹුරු තෘප්තියක් ඇතුව සිටීම ආත්මයේ ඵලය වන ප්‍රීතියට ඇතුළත් වේ. එය වනාහි බොහෝ ඉවසිලිවන්තකම දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොරොන්දු කරන ලද විපාකය ලැබීම පිළිබඳ බලාපොරොත්තුවේ ප්‍රකාශයකි. යේසුස් වහන්සේ මෙසේ පැවසුවේ ඒ නිසා ය: “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාදලද්දෝය. ප්රීතිවෙයල්ලා, ඉතා සන්තෝෂවෙයල්ලා; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.”—මතෙව් 5:11, 12.
19 යේසුස් වහන්සේට එබඳු ප්‍රීතියක් තිබිණ. සැබවින් ම, “උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසය [වධ කණුව NW] දරාගන,” සිටි සේක. (හෙබ්‍රෙව් 12:2) බොහෝ ඉවසිලිවන්ත වීමට එම ප්‍රීතිය යේසුස් වහන්සේට හැකිකම ලබා දුණි. එලෙස ම, ප්‍රේරිතයන්ට තළා, “යේසුස් වහන්ස්ගේ නාමයෙන් කථා නොකරන්ට අණ” කළ විට, සිදු වූ දෙය සලකා බලන්න. “ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්, දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.” (ක්‍රියා 5:40-42) එය වනාහි ප්‍රීතියෙන් යුක්ත ව බොහෝ ඉවසිලිවන්ත වීමට ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ට හැකි බව ඔප්පු කරන කොපමණ කදිම ආදර්ශයක් ද!
20 යහපත අපේක්ෂාවෙන් උදහස් වීමට ප්‍රමාදවීමට, පළිනොගැනීමට—එසේ ය, බොහෝ ඉවසිලිවන්ත වීමට—දේව වචනය අපට අවවාද කරන විට, එය සැබවින් ම ඥානවන්ත උපදෙස් අපට දෙයි! සභාව තුළ අපගේ සහෝදර සහෝදරියන් සමඟ ද, අපගේ පවුල් කවය තුළ සිටින අය සමඟ ද, අපගේ රැකියා ස්ථානයෙහි සිටින අය සමඟ සහ ක්‍රිස්තියානි දේව සේවයෙහි අපට හමුවන අය සමඟ කටයුතු කිරීමේ දී නිතිපතා යාච්ඤාව හා දෙවියන් වහන්සේගේ ආත්මයේ මෙම ඵලය අපට අවශ්‍ය වේ. තව ද බොහෝ ඉවසිලිවන්තකම දැක්වීමට අපට කුමක් උපකාර කළ හැකි ද? ඇදහිල්ල, බලාපොරොත්තුව, නිහතමානිකම, ප්‍රීතිය, හා ප්‍රේමය ය. සැබවින් ම, එබඳු ගුණාංග සහිත ව සියල්ලන් කෙරෙහි බොහෝ ඉවසිලිවන්ත වීමට අපට පුළුවන. w91 05/15
ඔබට මතක ද?
◻ ආත්මික පාරාදීසයෙහි අපගේ සහභාගිකමට බොහෝ ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍ය මන්ද?
◻ වැඩිමහල්ලන් විශේෂයෙන් ම බොහෝ ඉවසිලිවන්ත විය යුත්තේ මන්ද?
◻ ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් විසින් බොහෝ ඉවසිලිවන්තකම වර්ධනය කරගත යුත්තේ මන්ද?
◻ බොහෝ ඉවසිලිවන්ත වීමට අපට උපකාර කරනු ඇත්තේ වෙනත් කුමන ගුණාංග ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ ඉවසිලිවන්තකම දක්වා ඇත්තේ කොතැනක ද සහ කිනම් තත්ත්වයන් යටතේ ද?
2. යෙහෝවඃ වහන්සේගේ ජනයා භුක්තිවිඳින ආත්මික පාරාදීසයට හේතු වී තිබෙන සාධක දෙක කවරේ ද?
3. යේසුස් වහන්සේ පේතෘස්ට බොහෝ ඉවසිලිවන්තකම ගැන ලබා දුන් පාඩම කවරේ ද?
4. වැඩිමහල්ලන් විශේෂයෙන් ම බොහෝ ඉවසිලිවන්තකම දැක්විය යුත්තේ මන්ද?
5. අප බොහෝ ඉවසිලිවන්ත නම්, කුමක් සමඟ කටයුතු කිරීමට අපට හැකි ද?
6. බොහෝ ඉවසිලිවන්ත වීම ප්‍රඥාවේ ක්‍රියාමාර්ගය වන්නේ මන්ද?
7. විවාහ වූ අය බොහෝ ඉවසිලිවන්ත විය යුත්තේ මන්ද?
8. පුරුෂයින් බොහෝ ඉවසිලිවන්ත වීම අවශ්‍ය වන්නේ මන්ද?
9. බොහෝ ඉවසිලිවන්ත වීම දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ මන්ද?
10. අපගේ රැකියා ස්ථානයෙහි අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද, කිනම් අත්දැකීමෙන් මෙය දැකිය හැකි ද?
11. අප විශේෂයෙන් ම බොහෝ ඉවසිලිවන්ත විය යුත්තේ කිනම් අවස්ථාවේ ද, සහ මන්ද?
12, 13. බොහෝ ඉවසිලිවන්ත වීමට අපට උපකාර කරනු ඇත්තේ කිනම් ගුණාංග ද?
14. නොඇදහිලිකාර කලත්‍රයෙකු කෙරෙහි අප බොහෝ ඉවසිලිවන්ත විය යුත්තේ මන්දැයි දක්වන අත්දැකීම කුමක් ද?
15. බොහෝ ඉවසිලිවන්ත වීමට යාච්ඤාව අපට උපකාර කළ හැක්කේ මන්ද?
16. බොහෝ ඉවසිලිවන්ත වීමට නිහතමානිකම අපට උපකාර කළ හැක්කේ කෙසේ ද?
18. ප්‍රීතියෙන් යුක්ත ව බොහෝ ඉවසිලිවන්ත වීමට හැකිකම ඇත්තේ කෙසේ ද?
19. බොහෝ ඉවසිලිවන්ත වීම සමඟ ප්‍රීතිමත් වීමට හැකි බව දක්වන්නේ කිනම් ආදර්ශ ද?
20. අපි බොහෝ ඉවසිලිවන්ත වන්නෙමු නම්, අන්‍යයන් සමඟ අපගේ සබඳතාවයට මෙය බලපෑ හැක්කේ කෙසේ ද?
බොහෝ ඉවසිලිවන්ත වීමට පේතෘස්ට උපකාර වූයේ යේසුස් වහන්සේගේ කිනම් උපදේශය ද?