පොළෝ මාතාවගේ සිට සශ්‍රීකත්වයේ දේවතාවියන් දක්වා
මෙම සගරාවේ 18වන පිටුවේ පිංතූරයේ සිටින දේවතාවි ව ඔබ හඳුනන්නෙහි ද? ඒ පැරණි මිසරයේ මව් දේවතාවිය අසීස් ය. ඔබ කෞතුකාගාරයක් බැලීමට ගොස් තිබේ නම් හෝ ඉපැරණි ඉතිහාසය ගැන ලියා ඇති පොතක බලා තිබේ නම්, සමහර විට මෙම පිළිමය හෝ ඊට සමාන එකක් දැනටමත් ඔබ දැක තිබෙනවා වන්නට පුළුවන. එහෙත් මේ ගැන සලකා බලන්න: ඔබ අසීස් දේවතාවී ඉදිරියේ දණ ගසා වැඳ නමස්කාර කරනු ඇත් ද?
ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලින් එකකට ඔබ අයත් නම්, එය අමුතු ප්‍රශ්නයක් බව පෙනෙන්නට පුළුවන. ඔබ නමස්කාර කරන්නේ “ස්වර්ගයේ වැඩ වසන අපගේ පියාණෙනි” යනුවෙන් අමතනු ලබන, මැවුම්කාරයාණන් වහන්සේට බව ඔබ තරයේ කියා සිටිනවා විය හැක. (මතෙව් 6:9 නව අනුවාදය) මව් දේවතාවියෙකුට වැඳ වැටී නමස්කාර කිරීමේ අදහස අමුතු යමක් ලෙස, අතිශයින් පිළිකුල් සහගත දෙයක් ලෙස පවා ද පෙනෙනවා විය හැක. එහෙත්, එවැනි නමස්කාරයන් ඉතිහාසය පුරා පුළුල් ව විහි දී තිබෙන අතර, අද දින උතුම් මව් දේවතාවීට නමස්කාර කරන්නේ කවුදැයි ඔබ දැන ගන්නා විට ඔබ කම්පනයට පත් විය හැක.
කෙසේ වෙතත්, එය සාකච්ඡා කිරීමට පෙර, පුරාණ කාලවල මව් දේවතාවියන්ට නමස්කාර කළා වූ තරම ගැන සලකා බැලීමෙන් එහි පසුබිම තේරුම් ගන්නට උත්සාහ කරමු. මේ ආකාරයේ නමස්කාරය බොරු ආගමේ මුල් ආකෘතියක් බව පෙනෙන්නට තිබේ. මව් දේවතාවියන්ගේ නිරුවත් ප්‍රතිමා හා පිළිම, යුරෝපය පුරා සහ මධ්‍යධරණී දේශයන් සිට ඉන්දියාව දක්වා පුරා විද්‍යාඥයන් විසින් පැරණි බිම් කැන සොයා ගනු ලැබ තිබේ.
පොළෝ මාතාව ව සලකනු ලැබුවේ සියලු ආකාර ජීවිතවලට නිරන්තර උල්පත ව සිට ජීවිතය දානය කර යළිත් මරණයේ දී තමාට ම ජීවිතය ආපසු ලබා ගන්නා වූ තැනැත්තිය හැටියට ය. එවැන්නියක් වශයෙන් ඈ හට නමස්කාර කරනු ලැබූ නමුදු, ඈ වෙත බියක් ද දක්වනු ලැබී ය. පටන් ගැනීමට, ඇගේ ප්‍රජනන හැකියාවන් ලිංගිකත්වයෙන් තොර වූ බව විශ්වාස කරන ලදි. මිථ්‍යා දෘෂ්ටියේ විශ්වාස කෙරෙන හැටියට, එවිට, පුරුෂ අහස් පියාට උපත දුන් ඈ, ඔහුගේ භාර්යාව බවට පත් වූවා ය. මේ යුවල ගණන් කළ නොහැකි වෙනත් දෙවිවරුන් හා දේවතාවියන් බිහි කළෝ ය.
බබිලෝනීය මූලාකෘතිය
බබිලෝනීය දේවතා සමුහය තුළ, ඉෂ්ටාර් මූලික දේවතාවී වූ අතර, සුමේරියානු සශ්‍රීකත්වයේ දේවතාවිය වූ ඉන්නන්නාට සමාන ය. පරස්පර විරෝධී ලෙස, ඈ වනාහි යුද්ධයේ ද, ප්‍රේමයේ සහ කාමුකත්වයේ දේවතාවිය වූවා ය. ලෙʼස් රිලිජොන් ඩʼ බැබිලෝනී එʼ ඩʼසිරී (බබිලෝනියේ සහ අසිරියාවේ ආගම්) යන තම පොතේ, විශාරද එඩුවාඩ් ඪොර්මේ ඉෂ්ටාර් ගැන මෙසේ පැවසී ය: “ඈ, යාච්ඤා අසන, කෝපාන්විත දෙවිවරුන් ඉදිරියේ මැදහත් වී ඔවුන් ව සන්සුන් කරන දේවතාවියකි, කාන්තාවකි, දයාවන්ත මාතාවකි. . . . ඈ සියල්ලට ම ඉහළින් උසස් කරනු ලැබුවා ය. ඈ දේවාතාවියන්ගේ දේවතාවී බවටත්, සියලු දෙවිවරුන්ගේ රාජිනය බවටත්, ස්වර්ගයේ හා පොළොවේ දෙවිවරුන්ගේ ස්වාධිපතිනිය බවටත් පත් වූවා ය.”
ඉෂ්ටාර්ගේ වන්දනාකරුවෝ ඈ “කන්‍යාව”, “ශුද්ධ කන්‍යාව”, සහ “කන්‍ය මාතාව” යනුවෙන් හැඳින්නුවෝ ය. පැරණි සුමේරියානු-ඇකැඩියානු “ඉෂ්ටාර්ට යොමු කරන ලද විලාප ගී යාච්ඤාවේ” මෙසේ සඳහන් කරයි: “මම ඔබට යාච්ඤා කරමි, අහෝ කතුන්ගේ කාන්තාවෙනි, දේවාතාවියන්ගේ දේවතාවියෙනි. සියලු ජනයන්ගේ රාජනිය වන අහෝ ඉෂ්ටාර්. . . . අහෝ පාලන ඔටුන්න පැළඳි සියලු දිව්‍ය බලය අයත් තැනැත්තිය. . . . උප දෙව් මැදුරු ශුද්ධස්ථාන, පරිශුද්ධ තැන්, සහ චෛත්‍යයෝ ඔබට සවන් දෙති. . . . ඔබගේ රූපය තනා නැත්තේ කොතැන ද? . . . අහෝ මාගේ ශ්‍රී කාන්තාව; මා දෙස බලා මගේ යාච්ඤාවන් පිළිගත මැනව.”a
මව් දේවතාවි නමස්කාරය ව්‍යාප්ත වෙයි
ප්‍රාචීන දේ සම්බන්ධ ශාස්ත්රාඥයකු වූ එඩුවාඩ් ඪොර්මේ, “ඉෂ්ටාර් නමස්කාරයේ ව්‍යාප්තිය” ගැන කථා කරයි. එය මෙසෙපොතේමියා ව පුරා ව්‍යාප්ත වූ අතර, ඉෂ්ටාර් ම හෝ නැතහොත් ඒ හා සමාන ගති ලක්ෂණ තිබූ නමුත් විවිධ නම්වලින් යුත් දේවතාවියන් මිසරයේ, ෆිනීසියාවේ, සහ කානාන්හි එමෙන් ම ඇනටෝලියා (කුඩා ආසියාව), ග්‍රීසියේ හා ඉතාලියේ නමස්කාර කරනු ලැබිණි.
මිසරයේ නමස්කාර කරනු ලැබූ මූලික මව් දේවතාවිය වූයේ අසීස් ය. ඉතිහාසඥ එච්. ජී. වේල්ස් මෙසේ ලීවේ ය: “තමාට මුළු ජීවිතයෙන් දිවුරුම් දුන් බොහෝ භක්තිකයන් ව අසීස් ආකර්ෂණය කර ගත්තා ය. ඇගේ පිළිමයන් දේවාලවල තබා තිබූ අතර, තම අත්වල බිළිඳු හෝරස් ව රඳවා ගෙන තිබූ ඈ ව ස්වර්ගයේ රාජනිය ලෙස ඔටුනු පළඳවා තිබුණි. ඈ ඉදිරියේ ඉටිපන්දම් දැල්වෙමින් ජරාවාස වී තිබුණු අතර, චෛත්‍ය වටා භාර ඔප්පු කරනු පිණිස කරන ලද ඉටි පූජා තබා තිබිණි.” (ද අවුට්ලයින් ඔෆ් හිස්ටරි) අසීස් වන්දනාව මිසරයේ බොහෝ සෙයින් ජනප්‍රිය වී තිබිණි. එය මධ්‍යධරණී ප්‍රදේශයට ද පැතිර ගිය අතර, විශේෂයෙන් ග්‍රීසියට ද රෝමයට ද, බටහිර හා උතුරු යුරෝපාකාරයට පවා ද ව්‍යාප්ත වූයේ ය.
ෆිනීසියාවේ හා කානාන්හි, මව්-දේවතා නමස්කාරය යොමු වී තිබුණේ, බාල්ගේ භාර්යාව යයි කියනු ලැබූ අෂ්ටාරොත් හෙවත් අස්ටාර්ට්ට ය. බබිලෝනියේ ඇගේ ප්‍රතිරූපය වූ ඉෂ්ටාර් මෙන්, ඈ ද සශ්‍රීකත්වයේ හා යුද්ධයේ දේවතාවියක් වූවා ය. අස්ටාර්ට් වනාහි ස්වර්ගයේ කාන්තාව හා ස්වර්ගවල රාජනිය ලෙස හඳුන්වා තිබෙන පැරණි ලේඛන මිසරයේ දී හමු වී තිබේ. මෙම සශ්‍රීකත්වයේ දේවතාවියන්ගේ වන්දනාවේ අති අවමන් සහගත බලපෑම්වලට එරෙහි ව නියත සටනක් ගෙන යාමට ඊශ්රායෙල්වරුනට සිදුවිණි.
ඇනටෝලියාවට වයඹ දිගින් ඉෂ්ටාර්ට සමාන ව සිටියේ, දෙවිවරුන්ගේ උතුම් මාතාව ලෙස හැඳින් වූ සිබෙල් ය. ඈ ව සියල්ලන් උත්පාදකරන්නී ය. සියල්ලන් පෝෂ්‍ය කරන්නී ය, ආශීර්වාදලත් සියල්ලන්ගේ මාතාව යනුවෙන් ද නම් කොට තිබිණි. ඇනටෝලියාවේ සිට සිබෙල් වන්දනාවේ ලබ්ධිය පළමු කොට ග්‍රීසියට ද ඊළඟට රෝමයට ද පැතිර ගිය අතර, එය පොදු යුගය තුළ සෑහෙන කලක් දක්වා පැවතුණි. මේ සශ්‍රීකත්වයේ දේවතාවියන්ගේ වන්දනාවලට, උන්මාදයෙන් වියරු වැටුණු නැටුම්, පූජකයන් තම සිරුර කපා ඉරා ගැනීම, පූජකත්වයට අපේක්ෂාවෙන් සිටින්නන් විසින් තම ලිංගේන්ද්‍රයන් කප්පාදු කරගැනීම, දේවතාවියගේ ප්‍රතිමාව උසුලාගෙන මහත් උත්සවශ්‍රීයෙන් පෙරහැර යාම යනාදිය ඇතුළත් විය.”b
ආදිකාලීන ග්‍රීකයෝ ගායා නමින් හැඳින් වූ පොළෝ මාතා දේවතාවියකට නමස්කාර කළෝ ය. නමුත් ඔවුන් නමස්කාරය කළ දේවතාවියන් සමූහයට, ප්‍රේමයේ හා සශ්‍රීකත්වයේ දේවතාවී වන ඇෆ්‍රොඩයිටි, යුද්ධයේ දේවතාවී වන ඇතෙනා, සහ කෘෂිකර්මයේ දේවතාවී වන දෙමිතර් වැනි ඉෂ්ටාර් බඳු දේවතාවියන් ඇතුළත් විය.
රෝමයේ, වීනස් වනාහි ග්‍රීක් ඇෆ්‍රොඩයිටි, හා බබිලෝනියානු ඉෂ්ටාර් වැනි දේවතාවියන්ට නෑකම් කියන ප්‍රේමයේ දේවතාවියක් වූවා ය. කෙසේ වෙතත්, රෝමවරුන් අසීස්, සිබෙල්, හා මිනර්වා (ග්‍රීක ඇතේනා) වැනි දේවතාවින්ට වන්දනා මාන කළ අතර, මේ සියල්ලෝ ම එක් ක්‍රමයකින් හෝ වෙනත් ක්‍රමයකින් බබිලෝනීය මුල් ප්‍රතිමූර්තිය වූ ඉෂ්ටාර් ව පිළිබිඹු කළහ.
පැහැදිලි ව ම, වසර දහස් ගණනක් මුළුල්ලේ පැවැති මේ මව් දේවතාවි නමස්කාරය, උත්තරීතර මැවුම්කාරයාණන් වන යෙහෝවඃ වහන්සේට කරන නිර්මල නමස්කාරයට බලවත් විරුද්ධවාදියෙක් විය. මේ මහත් මව් දේවතාවි නමස්කාරය මිය ගියා ද? එසේ නැත්නම්, වත්මන් දවස දක්වා එය තවමත් පවතින්නේ ද? කරුණාකර දිගට ම කියවා බලන්න. w91 7/1
[පාදසටහන්වල]
a ප්‍රින්සිටන් සරසවි මුද්‍රණාලයේ ජේම්ස් බී. ප්‍රිට්චාර්ඩ් විසින් කර්තෘත්වය දැරූ, ඒන්ෂන්ට් නියර් ඊස්ටර්න් ටෙක්ස්ට්ස් හි පිටු 383-4.
b කුඩා ආසියාවේ වන්දනාමාන කරනු ලැබූ සශ්‍රීකත්වයේ තවත් දේවතාවියක නම් එපීසයේ අර්තෙමිස් ය. මේ ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ලැබේ.
[17වන පිටුවේ පින්තූරය]
බබිලෝනියාවේ ඉෂ්ටාර් තාරකාවක් ලෙස පිළිබිඹු කොට තිබේ.
[හිමිකම් විස්තර]
Courtesy of The British Museum
[18වන පිටුවේ පින්තූරය]
මිසරයේ අසීස් බිළිඳු හෝරස් දෙවියන් ව අතැතිව
[හිමිකම් විස්තර]
Musée du Louvre, Paris