පවුල සහ සභාව තුළ අදහස් හුවමාරු කර ගැනීම
“[ලුණු NW] රස මුසු, සිත් පිණවන බසින් [සැම විට ම NW] කථා කරන්න.”—කොලොස්සි 4:6, නව අනුවාදය.
1. දෙවියන් වහන්සේ ආදම්ට ඒව ව හඳුන්වා දුන් විට, ආදම් පැවසුවේ කුමක් ද?
“කිසි මිනිසෙකු දූපතක් නොවේ. . . . සෑම මිනිසෙකු ම මහද්වීපයක කොටසකි.” ශතක කිහිපයකට පෙර උගත් නිරීක්ෂකයෙක් එසේ ලීවේ ය. එසේ පැවසීමෙන්, මැවුම්කරුවාණන් ආදම් සම්බන්ධ ව පැවසූ දෙය එනම්: “මනුෂ්‍යයා තනිවම සිටීම හොඳ නැත” යන්න ඔහු නිකම් ම තහවුරු කළා පමණි. ආදම් සියලු සතුන්ට නම් තබා තිබූ හෙයින්, කථා කිරීමේ හා භාෂාව හැසිරවීමේ දීමනාව ඔහුට දානය කොට තිබූ බව පෙනී යයි. එහෙත් අදහස් හුවමාරු කර ගන්නට වෙනත් මිනිස් මැවිල්ලක් ආදම්ට සිටියේ නැත. දෙවියන් වහන්සේ ආදම්ට ඔහුගේ භාර්යාව වශයෙන් ඒව ව හඳුන්වා දුන් විට, “මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය” කියා ඔහු ප්‍රීතියෙන් හඬ නගා පැවසීම පුදුමයක් නොවේ! මේ අයුරින් පළමු මිනිස් පවුලේ ආරම්භයත් සමඟ ම, ආදම් තම සෙසු මානවයෙකු සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පටන් ගත්තේ ය.—උත්පත්ති 2:18, 23.
2. පාලනයකින් තොර ව රූපවාහිනිය නැරඹීමෙන් ඇති විය හැකි හානිකර ප්‍රතිඵල මොනවා ද?
2 අදහස් හුවමාරු කර ගැනීමට කදිම තැනකි, පවුල් කවය. ඇත්ත වශයෙන් ම, පවුල් ජීවිතයේ සාර්ථක භාවය රඳා පවතින්නේ ඒ මත ය. කෙසේ වෙතත්, අදහස් හුවමාරු කර ගැනීමට කාලය සහ ප්රයත්නය අවශ්‍ය කරවයි. අද දින කාලය විශාල ලෙස සොරා ගන්නා වූ දේවල්වලින් එකකි රූපවාහිනිය. අඩු තරමින් මාර්ග දෙකකින් එය හානි කරවන සුලු උපකරණයක් විය හැකි ය. එක් අතකට, එය කොතරම් පොලඹ වන සුලු ලෙසින් සිත් ඇද ගත හැකිදයත්, පවුලේ සාමාජිකයන් එයට ඇබ්බැහි වීමෙන් අදහස් හුවමාරු කර ගැනීම දුර්වල වී යාමට හේතු කරවයි. තවත් අතකට, වැරදි අවබෝධයන් සහ සිත් වේදනාවන් ඇති වන අවස්ථාවල දී, ඉන් ගැලවී යාමේ මාර්ගයක් සේ ක්‍රියා කරන්නට රූපවාහිනියට හැක. ගැටලු විසඳා ගන්නවා වෙනුවට, නිශ්ශබ්ද වී රූපවාහිනිය නැරඹීමට සමහරක් විවාහක සහකරුවෝ තෝරා ගෙන සිටිත්. එමනිසා පවුල් තුළ අදහස් හුවමාරුව අපොහොසත් කිරීමට දායක වන්නා වූ මේ රූපවාහිනිය, මූලික පවුල් බිඳින්නා යයි කියැවේ. එමනිසා පාලනයකින් යුතු ව රූපවාහිනිය නැරඹීමේ අසීරුතාවයන් තිබෙන අය, එය සහමුලින් ම ඉවත් කර දැමීම ගැන සලකා බැලුවහොත් යහපති.—මතෙව් 5:29; 18:9.
3. රූපවාහිනිය නැරඹීම සීමා කිරීමෙන් සමහරුන් ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේ ද?
3 ඇත්තෙන් ම, රූපවාහිනි නැරඹීම අඩු කළ විට හෝ අත්හැර දැමූ විට ප්‍රතිඵලයක් වශයෙන් ඉන් ඇති වූ ආශීර්වාද ගැන සඳහන් වූ කැපී පෙනෙන වාර්තා අප වෙත ලැබී තිබේ. එක් පවුලක් මෙසේ ලීවේ ය: “අපි එකිනෙකා සමඟ බොහෝ සෙයින් කථා බහ කරන්නෙමු . . . වඩාත් වැඩියෙන් බයිබල් ගවේෂණයන් කරන්නෙමු . . . අපි එකට සෙල්ලම්වල යෙදෙන්නෙමු . . . අපගේ ක්ෂේත්‍ර සේවයේ සෑම පැත්තක ම පාහේ දියුණුවක් ඇති වී තිබේ.” රූපවාහිනිය ඉවත් කර දැමූ තවත් පවුලක් මෙසේ පැවසී ය: “අපි මුදල් ඉතිරි කර ගන්නවා පමණක් නොවේ [ඔවුන් කේබල් රූපවාහිනි සේවයකට දායක වී තිබිණි] නමුත් අප දැන් පවුලක් වශයෙන් වඩාත් එකිනෙකාට ළං වී ඇති අතර, අපගේ වටිනා කාලයෙන් වෙනත් බොහෝ ඵලදායී දේවල් කිරීමට සොයා ගෙන සිටිමු. අපට නීරස බවක් කවදාවත් නැත.
බැලීම, කථා කිරීම, සහ සවන් දීම
4. විවාහක යුවළක් අදහස් හුවමාරු කර ගැනීම මගින් එකිනෙකා කෙරෙහි අගය කිරීම කෙසේ පෙන්විය හැකි ද?
4 පවුල තුළ අදහස් හුවමාරු කර ගැනීමේ විවිධාකාර විධි තිබේ. සමහරක් ඒවා වචනවලින් තොර ය. දෙදෙනෙක් නිකම් එකිනෙකා දෙස බැලූ විට, එය අදහස් හුවමාරු කර ගැනීමේ එක් විධියක් වෙයි. එකට සිටීම සැලකිල්ල දක්වනවාය යන ස්වභාවයක් ඇඟවිය හැක. වැළැක්විය නොහැකි හේතුවක් ඇත්නම් මිසක, කලත්‍රයන් දීර්ඝ කාලයක් එකිනෙකාගෙන් වෙන් වී නොසිටිය යුතුයි. විවාහ බන්ධනය තුළ තමන්ට ඇති සමීප සම්බන්ධතාවය භුක්ති විඳීමෙන් එකිනෙකාගේ සන්තෝෂය පෝෂණය කර ගන්නට විවාහක යුවළකට හැකි ය. ප්‍රසිද්ධියේ හෝ වේවා නැත්නම් පුද්ගලික ව හෝ වේවා, දැඩි සෙනෙහසින් යුතු ව නමුත් ගෞරවනීය ලෙස එකිනෙකා කෙරෙහි හැසිරීමෙන්, ඇඳුම් පැළඳුම්වලින් සහ ආචාරශීලී බවින් නිසි ගරුත්වය දැක්වීමෙන් එකිනෙකා කෙරෙහි ඔවුනට ගැඹුරු අගය කිරීම නිශ්ශබ්ද ව විදහා පෙන්වන්නට ද හැකි ය. ප්‍රඥාවන්ත සාලමොන් රජ එය මෙම වචනවලින් මෙසේ ප්‍රකාශ කළේ ය: “නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්‍ය්‍යාව කෙරෙහිම ප්‍රීතිවෙයන්න.”—හිතෝපදේශ 5:18.
5, 6. තමන්ගේ භාර්යාවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ ඇති වැදගත්කම ගැන ස්වාමිපුරුෂයන් සාවධාන විය යුත්තේ මන්ද?
5 අදහස් හුවමාරු කර ගැනීමට ඇතුළත් වන්නේ, සංවාදය, දෙබස—එනම් එකිනෙකා සමඟ කථා කිරීම මිස, එකිනෙකාට බැණ වැදීම නොවේ. ඇතැම් ස්ත්‍රීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ දී පුරුෂයන්ට වඩා හොඳින් කළ ද, එය ස්වාමිපුරුෂයන් හට නිශ්ශබ්ද සහකරුවන් ව සිටීමට නිදහසට කරුණක් නොවේ. බොහෝ විවාහයන් තුළ අදහස් හුවමාරු කිරීම හීන වී තිබීම ප්‍රධාන ගැටලුවක් වී තිබෙන බවට ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් සාවධාන විය යුතු අතර, අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයන් විවෘත ව තබා ගැනීමට ඔවුන් දැඩි ප්රයත්නයක් දැරිය යුතු ය. ඇත්ත වශයෙන් ම, එපීස 5:25-33 හි ප්‍රේරිත පාවුල් දෙන කදිම උපදෙසට ඔවුන් තම භාර්යාවන් සමඟ එක් ව කීකරු වෙනවා නම් ඔවුන් එසේ කරනු ඇත. ස්වාමිපුරුෂයෙක් තමාගේ ම ශරීරයට මෙන් තම භාර්යාවට ප්‍රේම කරනවා නම්, ඔහු ඔහුගේ ම නොව ඇයගේ සුභසාධනය සහ සතුට ගැන සැලකිල්ල දැක් විය යුතුයි. මෙය ඉටු කිරීමට නම් අදහස් හුවමාරු කර ගැනීම අනිවාර්යයෙන් ම අවශ්‍යයයි.
6 තමා ඇය ව අගය කරනවා යන කාරණය ඇය සාක්ෂි රහිත ව පිළිගත යුතුයි, නැතහොත් සිතා ගත යුතුයි යන ආකල්පය ස්වාමිපුරුෂයා දැරිය නොයුතුයි. ඈ කෙරෙහි ඔහු තුළ ඇති ප්‍රේමය ගැන ඈට සහතික ලෙස දැනෙන්නට සලස්වනු ලැබීමේ අවශ්‍යතාවයක් ඈට තිබේ. ඔහුගේ අගය කිරීම බොහෝ ක්‍රමවලින් පෙන්වන්නට ඔහුට හැකිය—එනම් ස්නේහවන්ත බවේ ප්‍රකාශ කිරීම් මගින් සහ අනපේක්ෂිත ත්‍යාගයන් මගිනි. එමෙන් ම ඈ කෙරෙහි බලපෑම් ඇති කළ හැකි කාරණා සම්බන්ධයෙන් ඈට මුළුමනින් තොරතුරු සපයා දීමෙනි. ඇගේ පුද්ගලික ඇඳුම් පැළඳුම්වල දී හෝ වේවා, පවුල වෙනුවෙන් ඈ වෙහෙස මහන්සි වී කරන වැඩ කටයුතුවල දී හෝ වේවා, එසේත් නැත්නම් ආත්මික ක්‍රියාකාරකම්වල දී ඈ මුළු හදින් දක්වන සහයෝගයේ දී හෝ වේවා, තම භාර්යාවගේ ප්රයත්නයන් පිළිබඳ ව තම අගය ප්‍රකාශ කිරීම සම්බන්ධ අභියෝගයට මුහුණ දෙන්නට ඔහුට සිදු වේ. මීට අමතර ව, 1 පේතෘස් 3:7 හි, ‘තම භාර්යාව සමඟ දැනගැන්මේ හැටියට වාසය කරන’ ලෙසට දී ඇති ප්‍රේරිත පේතෘස්ගේ උපදේශයට ස්වාමිපුරුෂයෙක් කීකරු වීමට නම්, දුර්වල භාජනයක් හැටියට ඈට ගෞරව කිරීමෙන්, එකිනෙකාට සම්බන්ධ සියලු කාරණාවල් ගැන ඈ සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පෙන්වනු ලබන සංවේදනය ඈ වෙත දැක් විය යුතුයි.—හිතෝපදේශ 31:28, 29.
7. තම ස්වාමිපුරුෂයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට භාර්යාවක් හට කිනම් වගකීමක් තිබේ ද?
7 එලෙසින් ම, එපීස 5:22-24 හි සඳහන් යටහත්කම පිළිබඳ උපදේශයට භාර්යාවක් කීකරු වන්නට යනවා නම්, ඇගේ ස්වාමිපුරුෂයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයන් විවෘත ව තබා ගැනීමේ අවශ්‍යතාවය ගැන සැලකිල්ල දැක්වීමට ඈට අවශ්‍ය ය. ඇගේ කථාව සහ ඇගේ හැසිරීම යන දෙකෙන් ම තම ස්වාමිපුරුෂයා කෙරෙහි “ගැඹුරු ගෞරවයක්,” දක්වන්නට ඈට අවශ්‍යයි. ඈ කිසි විටෙකත්, ඔහුගේ සිතුම් පැතුම් නොසලකා නැතහොත් ගණනකට නොගෙන තමන්ට හිතුමතේ ස්වාධීන ව කටයුතු නොකළ යුතුයි. (එපීස 5:33) සෑම විටෙක දී ම, ඈ සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර අතිශයින් පුද්ගලික කථා බහ පැවතිය යුතුයි.—හිතෝපදේශ 15:22, සසඳන්න.
8. අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයන් විවෘත ව තබා ගැනීම සඳහා, භාර්යාවන් කරන්නට කැමැත්තෙන් සිටිය යුත්තේ කුමක් ද?
8 තවදුරටත්, භාර්යාවක් තමන් ම දුකෙන් සිටින බව පෙන්වමින් නිහඬ ව ශෝකයෙන් සිටීමට එරෙහි ව පරීක්ෂාකාරී විය යුතු ය. වරදවා තේරුම් ගැනීමක් ඇති වී තිබේ නම්, කාරණය ගැන කථා බහ කිරීමට ඈ සුදුසු වේලාවක් ගැන බලා සිටීවා. ඔව්, එස්තර් බිසවගෙන් පාඩමක් ඉගෙන ගන්න. තම සැමියාගේ අවධානයට ලක් කිරීමට ජීවිතය හා මරණය අතර කාරණයක් ඈට තිබිණි. ප්‍රඥාවෙන් සහ උපායශීලී බවෙන් ඈ සැනෙකින් ක්‍රියාත්මක වීම, යුදෙව්වන්ගේ ගැලවීමට හේතු විණි. අපේ සිත් රිදවනු ලැබ තිබේ නම් හෝ සිත් රිදවනු ලබමින් තිබේ නම්, ඒ සම්බන්ධ ව අදහස් හුවමාරු කර ගන්නට අපි අපගේ කලත්‍රයන්ටත් අපටත් ණය ගැතිව සිටින්නෙමු. උපායශීලී බව සහ දිව්‍ය හාස්‍ය බවේ ස්වභාවයක් ඇති ව සිටීම, අදහස් හුවමාරු කර ගැනීමට වඩාත් පහසු කරවයි.—එස්තර් 4:15–5:8.
9. අදහස් හුවමාරුවේ දී සවන් දීම කුමන කාර්ය භාරයක් ඉටු කරයි ද?
9 අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයන් විවෘත ව තබා ගැනීමට අනිවාර්යයෙන් ම අවශ්‍ය කරවන දෙයක් නම්, අනෙක් තැනැත්තා විසින් පැවසීමට තිබෙන දෙයට සවන් දීම සඳහා එකිනෙකාට ඇති වගකීමයි. එමෙන් ම පවසනු නොලැබූ දෙය තේරුම් ගන්නට උත්සාහ කිරීමයි. මින් අවශ්‍ය කරවන්නේ කථා කරන පුද්ගලයාට අවධානය යොමු කිරීමයි. පවසමින් තිබෙන දෙය තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා පමණක් නොව, නමුත් එයට ගැබ් වී තිබෙන චිත්තවේගීය ස්වභාවය, එනම් යමක් පවසන ආකාරය ගැන ද අවධානය යොමු කරන්නට යමෙකුට අවශ්‍ය ය. බොහෝ විට ස්වාමිපුරුෂයෙක් මේ පැත්තෙන් දුර්වල වෙයි. ස්වාමිපුරුෂයන් සවන් දීමට අපොහොසත් වන නිසා භාර්යාවන් දුක් විඳිනවා විය හැක. එමෙන් ම භාර්යාවන් ඔවුන්ගේ පැත්තෙන් නිගමනයන්ට පැනීමෙන් වැළකීම පිණිස, ඔවුන් ද ප්‍රවේසමෙන් සවන් දීමට අවශ්‍ය යි. “ඥාණවන්ත පුද්ගලයා සවන් දී, වැඩි උපදෙස් ලබා ගනී.”—හිතෝපදේශ 1:5, NW.
දෙමාපියන් සහ දරුවන් අතර අදහස් හුවමාරුව
10. තම දරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම යුක්ති සහගත ව කිරීමට නම්, කුමන දෙයක් කිරීමට දෙමාපියන් කැමති විය යුතු ද?
10 දෙමාපියන් සහ ඔවුන්ගේ ජනිතයන් අතර ද අදහස් හුවමාරු කර ගැනීමට අසීරු වන තත්ත්වයන් තිබේ. “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කිරීම” පිණිස, අදහස් හුවමාරුවේ මාර්ගයන් පිහිටුවාලීම අවශ්‍ය කරවයි. මෙසේ කිරීම “ඔහු වයස්ගතවූ කලත් අහක්ව” නොයෑම සහතික කිරීමට උපකාරයක් වනු ඇත. (හිතෝපදේශ 22:6) සමහරක් දෙමාපියන් තම දරුවන් ව ලෝකයට ඇදී යාම හේතුවෙන් ඔවුන් ව තමන්ට අහිමි කර ගැනීමට තුඩු දී ඇත්තේ, ඔවුන්ගේ නව යොවුන් වියේ දී අදහස් හුවමාරුවේ පරතරයක් තිබූ නිසා ය. තම දරුවන් සමඟ නොකඩවා අදහස් හුවමාරු කර ගැනීමට දෙමාපියන් සතු වගකීම, ද්විතීය කථාව 6:6, 7 හි කැපී පෙනෙන්නට සලස්වා තිබේ: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ [හෘදයේ NW] තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න.” එසේය, දෙමාපියන් තම දරුවන් සමඟ කාලය ගත කළ යුතුයි! තම දරුවන් වෙනුවෙන් පරිත්‍යාගයන් කිරීමට ඔවුන් කැමත්තෙන් සිටිය යුතුයි.
11. දෙමාපියන් තම දරුවන් සමඟ කථා කළ යුතු සමහරක් දේවල් මොනවා ද?
11 දෙමාපියෙනි, යෙහෝවඃ වහන්සේ ඔබගේ දරුවන්ට ප්‍රේම කරන බවත්, එමෙන් ම ඔබ ද ඔබේ දරුවන්ට ප්‍රේම කරන බවත් ඔවුන්ට දැනගැනීමට සලස්වන්න. (හිතෝපදේශ 4:1-4) ඔවුන්ගේ මානසික, චිත්තවේගී, ශාරීරික සහ ආත්මික වර්ධනය උදෙසා ඔබ ඔබගේ සුව පහසුව සහ ආශාවන් පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටින බව ඔවුන් දකීවා. මේ සම්බන්ධයෙන් වැදගත් වන දෙයක් නම්, සංවේදනය දැක්වීමයි, එනම්, තම දරුවන්ගේ නෙත් තුළින් දේවල් දෙස බලන්නට දෙමාපියන්ට ඇති හැකියාව ය. මෙසේ පරාර්ථකාමී ප්‍රේමයක් පෙන්වීමෙන්, දෙමාපියෙනි, ඔබට ඔබගේ දරුවන් සමඟ එක්සත්කමේ ශක්තිමත් බැම්මක් ගොඩනැංවිය හැකි අතර, එසේ කළහොත් ඔවුන් ඔවුන්ගේ සම වයසේ සිටින අය සමඟ රහසිගත දේවල් කථා කිරීමට යනවා වෙනුවට, ඔබ සමඟ එම රහසිගත දේවල් කථා බහ කිරීමට ඔබ ඔවුන් ව දිරිගන්වනවා ඇත.—කොලොස්සි 3:14.
12. යෞවනයන් තම දෙමාපියන් සමඟ නිදහසේ අදහස් හුවමාරු කර ගත යුත්තේ ඇයි?
12 අනෙක් අතට, යෞවනයෙනි, ඔබගේ දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ඔබට ද වගකීමක් තිබේ. ඔවුන් ඔබ සඳහා කර තිබෙන දේවල් අගය කිරීම ඔවුන් කෙරෙහි ආත්ම විශ්වාසයක් තැබීමට, ඔබ හට උපකාරවත් වනු ඇත. ඔබට ඔවුන්ගේ උපකාරය සහ සහයෝගය අවශ්‍ය වන අතර, ඔබ ඔවුන් සමඟ නිදහසේ අදහස් හුවමාරු කර ගන්නවා නම්, එය ඔබ හට දීමට ඔවුන්ට පහසුවක් වනු ඇත. මූලික වශයෙන් අවවාද ගන්නට ඔබ ඔබගේ සම වයසේ සිටින්නන් වෙතට ඇදී යන්නේ ඇයි? ඔබගේ දෙමාපියන් සමඟ සසඳන කල, බොහෝ විට, මොවුන් ඔබ සඳහා කර ඇත්තේ ඉතා ස්වල්පයකි. ඔබට තිබෙනවාට වඩා ජීවිතයේ අත් දැකීම් ඔවුන්ට නොතිබෙන අතර, තව ද ඔවුන් සභාවට අයත් නොවේ නම්, ඔවුන් ඇත්තට ම ඔබගේ දිගු කාලීන සුභසාධනය ගැන උනන්දුව දක්වන අය නොවේ.
සභාව ඇතුළත අදහස් හුවමාරු කර ගැනීම
13, 14. ක්‍රිස්තියානින් අතර අදහස් හුවමාරුවට අනිවාර්යයෙන් ම නියම කර ඇති බයිබල් ප්‍රතිපත්ති මොනවා ද?
13 තවත් අභියෝගයක් නම්, ඔබගේ සභාවේ සහෝදරයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයන් විවෘත ව තබා ගැනීමයි. ‘එකට රැස්වෙන’ මෙන් අපට තද බල ලෙස අවවාද කොට තිබේ. අප එකට එක් රැස් වන්නේ කිනම් අරමුණකට ද? “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස” ය. මේ සඳහා අවශ්‍ය කරවන්නේ අදහස් හුවමාරුවයි. (හෙබ්‍රෙව් 10:24, 25) යමෙක් ඔබ තුළ අමනාපයක් ඇති කරන්නේ නම්, රැස්වීම්වලට නොපැමිණ සිටීමට එය නම් කොහෙත් ම හේතුවක් නොවේ. මතෙව් 18:15-17 හි සඳහන් යේසුස් වහන්සේ දුන් උපදෙස ප්‍රතිපත්ති ගරුක ව අනුගමනය කිරීමෙන්, අදහස් හුවමාරු කිරීමේ මාර්ගයන් විවෘත ව තබා ගන්න. ඔබගේ අසන්තෝෂයට හේතුව වී සිටින්නේ යයි ඔබ සිතා සිටින තැනැත්තා සමඟ කථා කරන්න.
14 ඔබගේ සහෝදරයන්ගෙන් කෙනෙකු සමඟ යම් අසීරුතාවයක් ඔබට තිබෙන විට, කොලොස්සි 3:13 හි සඳහන් ශුද්ධ ලියවිලිමය උපදෙසට සැලකිල්ල දක්වන්න. “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා.” මින් අඟවන්නේ, යමෙකු සමඟ කථා කිරීම ප්‍රතික්ෂේප කරනවාට වඩා ඔහු සමඟ අදහස් හුවමාරු කර ගැනීමයි. එමෙන් ම යමෙකු ඔබ ව කිසි ගණනකට නොගන්නා බවක් ඔබට පෙනේ නම්, මතෙව් 5:23, 24 හි සඳහන් උපදෙස සැලකිල්ලට ගන්න. අදහස් හුවමාරු කරන්න, ඔබගේ සහෝදරයා සමඟ සමාදාන වීමට උත්සාහ කරන්න. මේ සඳහා ප්‍රේමය සහ යටහත් පහත්කම ඔබගේ පැත්තෙන් අවශ්‍ය කරවන නමුත්, යේසුස් වහන්සේගේ උපදෙසට කීකරු වීමට ඔබටත් ඔබගේ සහෝදරයාටත් ඔබ ණය ගැති ව සිටින්නෙහි ය.
උපදෙස සහ දිරිගැන්වීම
15. උපදෙස් දිය හැකි තත්ත්වයක සිටින විට, ක්රිස්තියනින් එසේ කිරීමට අපොහොසත් නොවිය යුත්තේ මන්ද?
15 අදහස් හුවමාරු කර ගැනීම පිණිස දී ඇති නියෝගයට ගලාති 6:1 හි සඳහන් පාවුල්ගේ උපදේශයට කිකරු වීම ද ඇතුළත් වෙයි: “සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ [ආත්මික සුදුසුකම් ඇති NW] නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගනිල්ලා [යළි සකස් කරවා ගන්න NW]. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගනින්න.” අපගේ කථාවේ දී හෝ හැසිරීමේ දී අප යම් වරදක් කර තිබෙන විට යමෙකු විසින් ඒ ගැන අපට පෙන්වා දුන්නොත් එය පිළිගැනීමට විනීත භාවය අප හට හේතු කරවිය යුතුයි. ඇත්තෙන් ම ගීතිකාකාර දාවිත් මෙසේ ලියන විට ඔහුට තිබුණා වූ ආකල්පය අප සියල්ලන්ට ම තිබිය යුතුයි: “ධර්මිෂ්ඨයා මට පහරදේවා; ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා; එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා.” (ගීතාවලිය 141:5) විශේෂයෙන් වැඩිමහල්ලන් යටහත්කම සම්බන්ධයෙන් කැපී පෙනෙන ආදර්ශයන් විය යුතු අතර, පුද්ගලික මතයන් හි එල්ලී නොසිටිමින්, යළි සකස් කිරිම් පිළිගැනීමට ඔවුන් සූදානම් ව සිටිය යුත්තේ, ‘ප්‍රේමනීය මිත්‍රයෙක් කරන තුවාල විශ්වාසන්ත ඒවා’ බව මනසේ තබා ගනිමිනි.—හිතෝපදේශ 27:6, NW.
16. යෞවන කථිකයන් කුමන ආකාරයේ අදහස් පිළිගත යුතු ද?
16 ඉදිරිපත් කිරීම සඳහා වර්ධනය කරවන යමක් තිබිය හැකි මේරූ ක්‍රිස්තියානින්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම් සෙවීම, යෞවනයන් සඳහා තිබෙන ප්‍රඥාවේ සහ විනීත භාවයේ ක්‍රියා මාර්ගය ය. වැඩිමහල්ලන්ට පවා මේ මාර්ගයෙන් ප්‍රයෝජන ගත හැකි ය. උදාහරණයක් වශයෙන්, එළිදරව් 7:16, 17 හි සඳහන්, තවත් බඩගිනිවන්නේවත් පිපාසාවන්නේවත් නැතැයි යන ආශීර්වාදයන් වනාහි වෙනත් බැටළුවන් හට නව ලෝකයේ දී භුක්ති විඳීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිය හැකි දේවල් යයි වැඩිමහල්ලෙක් කථාවක දී පැවසුවේ ය. කෙසේ වුවද, මෙම ශුද්ධ ලියවිලි පාඨය මූලික වශයෙන් අදාළ වන්නේ, මෙම වර්තමාන කාලයට බව ගෙන හැර පා තිබේ. (රෙවලේෂන්—ඉට්ස් ග්‍රෑන්ඩ් ක්ලයිමැක්ස් ඇට් හෑන්ඩ්! පිටු 126-8 බලන්න.) මේ කරුණ ගැන සඳහන් කළ යුතු යයි සබයේ සිටි වැඩිමහල්ලෙකුට හැඟුණු නමුදු, ඔහුට එසේ කිරීමට අවස්ථාවක් ලැබීමට පෙර, කථිකයා ම දුරකථනයෙන් කථා කරමින්, ඔහුගේ කථාව තුළ දියුණු කිරීම සඳහා යම් යෝජනා තිබේ දැයි විමසී ය. එසේය, උපදෙස් ලැබීම සඳහා අපට ඇති අවශ්‍යතාවය ගැන දැනුම් දීමෙන්, අපට උපදෙස් දෙන්නට කැමැත්තෙන් සිටින අයට එය වඩාත් පහසු කරවමු. අපි සුළු සුළු දේවල්වලටත් උරණ නොවී කලබල නොවී සිත් තැවුල් ඇති කර නොගනිමු, නැතහොත් අනවශ්‍ය ලෙස සංවේදී නොවෙමු.
17. අපගේ සහෝදරයන් ව වර්ධනය කිරීමට අදහස් හුවමාරුව හේතු විය හැක්කේ කෙසේ ද?
17 අපගේ සාකච්ඡාවට හොඳින් අදාළ කළ හැකි ප්‍රතිපත්තියක් ප්‍රඥාවන්ත සාලමොන් රජ සඳහන් කළේ ය. ඔහු පැවසුවේ: “කරුණාව [යහපත NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වා නොගනින්න.” (හිතෝපදේශ 3:27) අපගේ සහෝදරයන්ට ප්‍රේම කිරීමට අපි ණය ගැතිව සිටින්නෙමු. පාවුල් පැවසුවේ: “එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටිල්ලා. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණ කර තිබේ.” (රෝම 13:8) එබැවින්, දිරිගැන්වීමේ වචනවලින් නොමසුරු වන්න. තරුණ උපස්ථායක සේවකයෙක් ප්‍රථම වතාවට ප්‍රසිද්ධ කථාවක් දෙනවා ද? ඔහුට ප්‍රශංසා කරන්න. සහෝදරියක් දිව්‍යාණ්ඩු පාසලේ ඇගේ පැවරුමට මහන්සි වී යත්න දරා හෝ ඉතා හොඳින් ඉටු කළා ද? ඇගේ ප්රයත්නයන් නිසා ඔබ එය රස විඳි අයුරු ඈට කියන්න. පොදුවේ ගන්නා කල, අපගේ සහෝදරයන් සහ සහෝදරියන් ඔවුන්ගේ කොටස ඉතා හොඳින් කිරීමට දැඩි සේ යත්න දරන අතර, එය අගය කරන බව ප්‍රේමයෙන් යුතු ව පැවසීමෙන් දිරිගන්වනු ලබත්.
18. පමණට වඩා ආත්ම විශ්වාසය පිළිබිඹු කරනු ලබයි නම්, කිරීමට තිබෙන කාරුණික දෙය කුමක් ද?
18 මීට පටහැනි ලෙස, යෞවන කථිකයෙකුට බොහෝ හැකියාවන් තිබෙන්නට හැකි නමුදු, ඔහු යෞවනයෙකු වීම හේතුවෙන්, තිබෙනවාට වඩා වැඩියෙන් ඔහු තමා තුළ ම ආත්ම විශ්වාසයක් ආරූඪ කර ගන්නට පුළුවන. මෙහි දී අවශ්‍ය කරවන්නේ කිනම් ආකාරයේ අදහස් හුවමාරුවක් ද? මෙහි දී, මේරූ වැඩිමහල්ලෙක් ඔහු වෙතට එළැඹ ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ තිබූ හොඳ කරුණුවලට ප්‍රශංසා කළ හැකි නමුදු, ඒ අවස්ථාවේ දී ම, මින් ඉදිරියට විනීත භාවය වර්ධනය කිරීමට හැකි මාර්ගයන් ගැන මෘදු ලෙස ඔහු හට යෝජනා කිරීම කාරුණික ක්‍රියාවක් නොවනු ඇත් ද? එවන් අදහස් හුවමාරුවක් සහෝදර ප්‍රේමය පෙන්වන අතර, වඩා යෞවන අය තුළ නරක ආකල්ප පැළපදියම් වන්නට මත්තෙන් ආරම්භයේ දී ම එවැනි ආකල්ප සහමුලින් ම උදුරා දමන්නට උපකාරවත් වනු ඇත.
19. වැඩිමහල්ලන් සහ පවුල් මූලිකයන් අදහස් හුවමාරු කරන්නන් විය යුත්තේ මන්ද?
19 වැඩිමහල්ලෝ, ඔවුන් එකිනෙකා සමඟත් සභාව සමඟත් ප්‍රයෝජනවත් දේවල් ගැන අදහස් හුවමාරු කර ගනිති. නමුත් මෙහි දී, විනිශ්චමය ගැටලුවලට සම්බන්ධ දේවල් වැනි රහසිගත දේවල් පැවසීමෙන් වැළකිය යුතු ය. කෙසේ වෙතත්, ඕනෑවට වඩා දේවල් සඟවා ගෙන සිටීම, අවිශ්වාසයටත් අධෛර්යයටත් හේතු කර විය හැකි අතර, සභාවක හෝ පවුලක උණුසුම් භාවයට හානි පැමිණ විය හැක. නිදසුනක් වශයෙන්, වර්ධනය කර වන සුලු වාර්තාවක් ඇසීමෙන් සෑම කෙනෙක් ම යම් ප්‍රීතියක් භුක්ති විඳිත්. ආත්මික දීමනාවක් ගැන දැනුම් දෙන්නට ප්‍රේරිත පාවුල් ආශාවෙන් සිටියාක් මෙන් ම, වැඩිමහල්ලන් ද වර්ධනාත්මක තොරතුරු අන්‍යයන්ට බෙදා දෙන්නට බලවත් ආශාවෙන් සිටිය යුතුයි.—හිතෝපදේශ 15:30; 25:25; රෝම 1:11, 12.
20. ඊළඟ ලිපියේ සලකා බලනු ඇත්තේ අදහස් හුවමාරුවේ කිනම් අංගය ද?
20 එසේය, ක්‍රිස්තියානි සභාව තුළත්, ක්‍රිස්තියානි පවුලක් තුළත් අදහස් හුවමාරුව අතිශයින් වැදගත් දෙයක් වෙයි. මීටත් වඩා, එය තවත් ක්ෂේත්රයක ද අනිවාර්ය දෙයක් වෙයි. ඒ කොහේ ද? ක්‍රිස්තියානි දේව සේවය තුළ ය. මෙම අති වැදගත් ක්‍රියාකාරකමේ දී අදහස් හුවමාරු කර ගැනීමේ අපගේ දක්ෂතාවයන් දියුණු කිරීමට තිබෙන මාර්ගයන් ගැන ඊළඟ ලිපිය තුළ සලකා බලනු ඇත. w91 9/1
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ පවුලේ අදහස් හුවමාරුවට නිතර බාධා පමුණු වන දෙයකින් ජය ගැනීමට හැකි වන්නේ කෙසේ ද?
◻ ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් හට අදහස් හුවමාරුවේ අභියෝගයට මුහුණ දිය හැක්කේ කෙසේ ද?
◻ දෙමාපියන්ට හා දරුවන්ට පරම්පරා පරතරයෙන් වැළකිය හැක්කේ කෙසේ ද?
◻ සභාවන් තුළ සහ පවුල් තුළ කරන අදහස් හුවමාරුව වර්ධනය ගෙන දෙන එකක් බවට ඔප්පු විය හැක්කේ කෙසේ ද?
[23වන පිටුවේ පින්තූරය]
හොඳින් අදහස් හුවමාරු කර ගැනීම, පවුලේ සුභසාධනය සහ සන්තෝෂය වැඩි දියුණු කරයි