ක්‍රිස්තියානි දේව සේවයේ දී අදහස් හුවමාරුව
“එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා.”—මතෙව් 28:19.
1. අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන බව අඟවන්නේ ක්‍රිස්තුස් වහන්සේ දී ඇති කිනම් නියෝගය ද?
ඉහත උපුටා දක්වා ඇති යේසුස් වහන්සේගේ නියෝගය, අපගේ දේව සේවය තුළ ගෙයින් ගෙට යන විට, නැවත බැලීම් කරන විට, සහ රාජ්‍යය දේශනා කිරීමේ සියලු අංගයන් හි නිරත වන විට, ජනයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අභියෝගයක් අප හමුවේ තබයි. යෙහෝවඃ දෙවියන් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේ දැන් පාලනය කරන මෙසියානු රාජ්‍යය සම්බන්ධ සත්‍යයන් දැනගැනීමට සැලැස්වීමේ වගකීම ද එම නියෝගයට ඇතුළත් වෙයි.—මතෙව් 25:31-33.
2. බලපෑමෙන් යුතු ව අදහස් හුවමාරු කර ගැනීමට, අපට අවශ්‍ය වන්නේ කුමක් ද?
2 බලපෑමෙන් යුතු ව අදහස් හුවමාරු කර ගැනීමට අපට හැක්කේ කෙසේ ද? පළමු ව, අප පවසන තොරතුරු ගැන අප විශ්වාස කළ යුතුයි. වෙනත් වචනවලින් පවසතොත්, යෙහෝවඃ වහන්සේ වනාහි එක ම සැබෑ දෙවියන් වහන්සේ බවටත්, බයිබලය වනාහි සැබවින් ම දෙවියන් වහන්සේගේ වචනය බවටත්, මිනිස් වර්ගයාගේ එක ම බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය බවටත්, අපට ශක්තිමත් ඇදහිල්ලක් තිබිය යුතු ය. ඒ මගින් අප උගන්වන දේ අපගේ හදවතින් පැමිණෙන අතර, තිමෝතිට දෙන ලද පාවුල්ගේ උපදෙසට අපි කීකරු වන්නෙමු. “ඔබත් සත්‍යය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.”—2 තිමෝති 2:15, නව අනුවාදය.
වචනෙන් තොර අදහස් හුවමාරුව
3-5. (අ) වචනයකුදු නොපවසා අදහස් හුවමාරු කර ගැනීමට අපට හැක්කේ කෙසේ ද? (ආ) මෙය තහවුරු කරන්නේ කුමන අත් දැකීම්වලින් ද?
3 බොහෝ විට අදහස් හුවමාරුවට වචන ඇතුළත් වෙයි. එහෙත්, ඇත්ත වශයෙන් ම, අපි මිනිසුන් සමඟ කථා කරන්නට පෙර පවා, අදහස් හුවමාරු කර ගන්නෙමු. කෙසේ ද? අපගේ ආචාරශීලී බවෙන් සහ අප ඇඳුම් අඳින හා හිස කෙස් සකස් කරන ආකාරය මගිනි. මීට වසර කිහිපයකට පෙර, වොච්ටවර් ගිලියඩි බයිබල් පාසලේ උපාධි ලත් මිෂනාරිවරයෙක් විදේශ රටක වූ තම සේවා පැවරුම වෙත නැවකින් ගමන් කරමින් සිටියේ ය. මුහුදු ගමනේ දවස් කිහිපයකට පසු, නැවේ සිටි අනෙක් සියලු දෙනාගෙන් ඔහු මෙතරම් වෙනස් මන්දැයි අමුත්තෙක් ඔහුගෙන් විමසී ය. මෙම මිෂනාරිවරයා යම් කිසි අති විශේෂමය දෙයක් දැනුම් දෙමින් සිටියේ ය. එනම් ඔහුගේ පෙනුමෙන් සහ හැසිරීම් ලීලාවෙන් පමණක් ඔහුට වෙනස් ප්රමිතීන් තිබූ බවත්, ඔහු එළැඹිය හැකි පුද්ගලයෙකු බවත් ය. සාක්ෂියක් දීම සඳහා මිෂනාරිවරයා හට මෙය කදිම ප්‍රස්තාවක් ලබා දුන්නේ ය.
4 තවත් නිදසුනක්. තමා පසු කරමින් යන අයට බයිබල් පොත් පත් ඉදිරිපත් කරමින්, පාරක් අයිනේ සිටගෙන සිටි එක් සහෝදරියක්, තමා අසලින් ගමන් කළ එක් ස්ත්‍රියක වෙත මිතුරු සිනහවකින් සංග්‍රහ කළා ය. මෙම ස්ත්‍රිය පඩි පෙලක් බසිමින් පොළොව යටින් පිහිටි දුම්රිය නැවතුම් පළ වෙත යෑමට පටන් ගත්තා ය. සැනෙකින් තම මනස වෙනස් කළ ඈ, සහෝදරිය වෙතට නැවත පැමිණ, බයිබල් පාඩමක් ඉල්ලා සිටියා ය. ඈ කෙරෙහි බලපෑමක් ඇති කොට තිබුණේ කුමක් ද? ඈ වෙත බයිබල් පොත් පත් ඉදිරිපත් කොට නොතිබුණද, වීථි සේවයේ යෙදී සිටි මෙම සාක්ෂිකාරියගේ මිත්‍රශීලී සිනහවකින් සංග්‍රහ ලැබ තිබිණි.
5 තුන් වෙනි උදාහරණයක්: යෞවන සාක්ෂිකරුවන් කණ්ඩායමක් ආපන ශාලාවක ආහාර ගනිමින් සිටින විට, අමුත්තෙක් ඔවුන්ගේ මේසය කරා පැමිණ ඔවුන්ගේ ආහාර සඳහා වූ බිල්පත ගෙවා දැමූ විට, ඔවුහු මවිතයට පත්වූහ. ඔහු එසේ කළේ මන්ද? ඔවුන්ගේ හැසිරීමේ ලීලාව ඔහු වෙත තදින් බලපෑමක් ඇති කොට තිබුණි. එම අමුත්තාට වචනයක්වත් නොපවසා එම යෞවනයන් කිහිප දෙනා තමුන් දේව භයැති පුද්ගලයන් බවට දැනුම් දී තිබුණි. අප වචනයක්වත් පවසන්නට පෙර, අපගේ ඉරියව්වෙන් අපගේ බාහිර පෙනුමෙන්, අපගේ මිත්‍රශීලී භාවයෙන් අප තොරතුරු දැනුම් දෙන බව පැහැදිලි ය.—1 පේතෘස් 3:1, 2 සසඳන්න.
තර්කයෙන් ඒත්තු ගැන්වීම අදහස් හුවමාරුවට අති වැදගත් ය
6. තර්කයෙන් ඒත්තු ගැන්වීම, අදහස් හුවමාරුව සඳහා මිල කළ නොහැකි දෙයක් බව උපහැරණය කරන්න.
6 අප ජනයා සමඟ ශුභාරංචිය සම්බන්ධ ව වචනයෙන් අදහස් හුවමාරු කර ගන්නා විට, නිකම් තම මතවල එල්බ ගෙන කථා කිරීමට නොව, නමුත් ඔවුන්ට තර්කයෙන් ඒත්තු ගැන්වීමට අප සූදානම් ව සිටිය යුතුයි. ශුභාරංචිය බෙදා ගන්නට තමා උත්සාහ කළ අය සමඟ පාවුල් තර්කයෙන් ඒත්තු ගන්වනවා අපි යළි යළි කියවන්නෙමු. (ක්‍රියා 17:2, 17; 18:19) අපට ඔහුගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේ ද? හොඳයි, මිනිස් වර්ගයා ගැන සැලකිල්ල දක්වන්නා වූ, සර්වබලධාරී ප්‍රේමනීය දෙවි කෙනෙකුගේ පැවැත්ම පිළිබඳ ව සැක පහල කිරීමට, දරුණු වෙමින් තිබෙන ලෝක තත්ත්වයන් ඇතැම් අය හට හේතු වී තිබෙනවා විය හැක. එහෙත්, සෑම දෙයක් සඳහා ම දෙවියන් වහන්සේට කාලයක් තිබෙන බව ඔවුන් හට තර්කයෙන් ඒත්තු ගැන්වීමට අපට හැකි ය. (දේශනාකාරයා 3:1-8) මේ නිසා, ගලාති 4:4 හි පවසන්නේ, දෙවියන් වහන්සේගේ නියමිත කාලය පැමිණි විට, උන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ව පොළොවට එවූ බවයි. මෙය සිදු වූයේ, එසේ කරන බවට උන් වහන්සේ ප්‍රථම වරට පොරොන්දු වී වසර දහස් ගණනකට පසු ව ය. මීට සමාන අයුරින්, උන් වහන්සේගේ නියමිත කාලය පැමිණෙන විට, උන් වහන්සේ දුක් වේදනා සහ දුෂ්ටකම නිමාවට පත් කරනු ඇත. මීටත් වඩා, දේව වචනයේ පෙන්වන්නේ, මෙතරම් කලක් දුෂ්ටකමට දිගට ම ඉඩ හැරීම සඳහා දෙවියන් වහන්සේ හට බලකරවන හේතු තිබෙන බවයි. (නික්මයාම 9:16 සසඳන්න.) මේ අයුරින් තර්කයෙන් ඒත්තු ගැන්වීමෙන්, සහ එම ඒත්තු ගැන්වීම උපහැරණයන් සහ බලවත් ශුද්ධ ලියවිලි සමඟින් ආධාර කර ගැනීම මගින්, යෙහෝවඃ වහන්සේ නොපවතින බවටත්, උන් වහන්සේ සැලකිල්ල නොදක්වන බවටත් කියා පෑමට දැන් පවතින දුෂ්ටකම තර්කානුකූල හේතුවක් ලෙස උපයෝගි කර ගත නොහැකි බව වටහා ගැනීමට අවංක පුද්ගලයන් හට උපකාරවත් වනු ඇත.—රෝම 9:14-18.
7, 8. පාරම්පරික යුදෙව්වෙකු සමඟ අදහස් හුවමාරු කර ගැනීමට තර්කයෙන් ඒත්තු ගැන්වීම අපට කෙසේ උපකාරවත් වෙයි ද?
7 ඔබ ගෙයින් ගෙට යන විට ගෙවැසියෙක් මෙසේ පවසනවා යයි සිතන්න: “මං යුදෙව්වෙක්. මට උනන්දුවක් නැහැ.”a දැන් ඔබ තවදුරටත් ඉදිරියට යන්නේ කෙසේ ද? එක් සහෝදරයෙක් මෙම එළැඹීම සමඟින් සාර්ථක වූ අයුරු වාර්තා කරයි: ‘දෙවියන් වහන්සේ මෙතෙක් පාවිච්චි කළ දිවැස්වරුන් අතරින් මෝසෙස් එක් අයෙකු වූ බවට ඔබ මා සමඟ එකඟ වෙනවා කියා මට ස්ථීරයි. ද්විතීය කථාව 31:29 හි වාර්තා වී ඇති අයුරින් මෙසේ ඔහු පවසා තිබෙනවා කියා ඔබ දන්නවා ද? “මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් . . . මා නුඹලාට අණ කළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය”? මෝසෙස් දිවැස්වරයෙක් වුණා. ඉතින් ඔහුගේ වචන සැබෑවක් බවට පත්වුණා. දෙවියන් වහන්සේ යුදෙව්වන් වෙතට මෙසියස් එවූ විට ඔහුගේ වචන සැබෑ වූවා විය හැකි ද? යුදෙව්වෝ උන් වහන්සේ ව පිළිනොගත්තේ ඒ නිසා ය. තත්ත්වය ඒක ම වෙන්නට ඉඩ තිබුණා. දැන් මෙය මෙසේ වූවා නම්, ඔවුන් කර ඇත්තේ වරදක්. එහෙම නම් ඔබත් මමත් එම වරද ම කළ යුත්තේ ඇයි?’
8 විශේෂයෙන් ම මෙම සියවස තුළ දී, ක්‍රිස්තියානි ලෝකය මගින් යුදෙව්වන් ව බොහෝ සෙයින් දුක් පීඩාවන්ට ලක් කර තිබෙන බව ද මතක තබා ගන්න. එමනිසා එයට අප සහභාගි වී නැති බව ගෙවැසියාට පැවසීමට ඔබට හැක. නිදසුනක් වශයෙන් ඔබට මෙසේ පැවසිය හැක: ‘හිට්ලර් බලයේ සිටින විට, ඔහු යුදෙව්වන් වර්ජනය කිරීමේ ප්‍රතිපත්තියට පීඩා කිරීමට විරුද්ධ වෙමින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඊට එරෙහි ව සිටි බව ඔබ දැන සිටියා ද? ඒ වගේ ම ඔවුන් “හිට්ලර්ට ජය වේවා” කියා කීමටත් ඔහුගේ හමුදාවේ සේවය කිරීමටත් ප්‍රතික්ෂේප කළා.’b
9, 10. නිරා ගින්න ගැන විශ්වාස කරන කෙනෙකුට උපකාර කිරීමට තර්කයෙන් ඒත්තු ගැන්වීම කෙසේ උපයෝගි කර ගත හැකි ද?
9 නිරා ගින්න ගැන විශ්වාස කරන කෙනෙකු සමඟ අදහස් හුවමාරු කර ගැනීමට වෑයම් කිරීමේ දී, යම් පුද්ගලයෙකුට සදාකාලයට ම නිරා ගින්නක දුක් විඳීමට තිබේ නම්, ඔහුට අමරණීය ආත්මයක් තිබිය යුතු යයි තර්කයෙන් ඒත්තු ගන්වන්නට ඔබට හැකි ය. නිරා ගින්න විශ්වාස කරන පුද්ගලයා මේ සමඟ පහසුවෙන් එකඟ වනු ඇත. ඊළඟට, ආදම් සහ ඒව සම්බන්ධ මැවීමේ වාර්තාව ගැන සඳහන් කරන්නට ඔබට හැකි අතර, එවැනි අමරණීය ආත්මයක් ගැන මොනයම් සඳහනක්වත් එහි තිබෙනවා ද කියා කාරුණික ව ඔහුගෙන් ඇසිය හැක. මේ අයුරින් දිගට ම තර්කයෙන් ඒත්තු ගන්වමින්, ආදම් ආත්මයක් බවට පත්වූවා ය යනුවෙන් අපට පවසන්නා වූ උත්පත්ති 2:7 කෙරෙහි ඔහුගේ අවධානය යොමු කර විය හැක. එමෙන් ම, ආදම්ගේ පාපයේ ප්‍රතිඵලය කුමක් වනු ඇත් දැයි දෙවියන් වහන්සේ පැවසූ දේ කාවද්දන්න: “නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) මෙබැවින්, ආත්මයක් වූ ආදම් දූවිල්ලට හැරී ගියේ ය.
10 ඔබට ඔහුගේ අවධානය යොමු කර විය හැකි තවත් දෙයක් නම්, නිරා ගින්නක සදාකාල දුක් වීඳීමක් ගැන උත්පත්ති වාර්තාවේ දෙවියන් වහන්සේ විසින් කොතැනකවත් සඳහන් කොට නොමැති බවයි. තහනම් ඵලය අනුභව නොකරන මෙන් දෙවියන් වහන්සේ ආදම් හට අනතුරු ඇඟ වූ විට, උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:17) නිරා ගින්නක් ගැන කිසි සඳහනක් නැත! ආදම්ගේ පාපයේ නියම ප්‍රතිඵලය වන්නට තිබුණේ ‘දූවිල්ලට හැරී යාම’ හෙවත් මරණය නොව, නමුත් සදාකාල වේදනා විඳීම නම්, සර්ව යුක්ති සහගත දෙවියන් වහන්සේට මේ බව පැහැදිලි ව විස්තර කිරීමට තිබුණේ නැත් ද? මේ අයුරින්, ප්‍රවේසමෙන් හා කාරුණික ව තර්කයෙන් ඒත්තු ගැන්වීමෙන් තමාගේ විශ්වාසයන් හි තිබෙන අස්ථීර භාවය දැක ගැනීමට අවංක පුද්ගලයෙකුට උපකාරවත් විය හැකි ය. අපි අන්‍යයන් සමඟ දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යතාවයන් බෙදා ගන්නා විට, තර්කයෙන් ඒත්තු ගැන්වීමේ ඇති වැදගත්කම කිසිවිටෙකත් අඩුවෙන් තක්සේරු නොකරමු.—2 තිමෝති 2:24-26; 1 යොහන් 4:8, 16.
බලපෑමෙන් යුත් අදහස් හුවමාරුවකට අවශ්‍ය කරන ගුණාංග
11-13. බලපෑමෙන් යුක්ත ව අදහස් හුවමාරු කර ගැනීම සඳහා කුමන ක්‍රිස්තියානි ගුණාංග අප හට උපකාරවත් වෙයි ද?
11 දැන්, රාජ්‍යය සත්‍යතාවයන් වඩාත් බලපෑමෙන් යුක්ත ව බෙදා ගැනීමට නම් අප වර්ධනය කළ යුත්තේ කුමන ගුණාංගයන් ද? හොඳයි, යේසුස් වහන්සේගේ ආදර්ශයෙන් අපට කියා පාන්නේ කුමක් ද? මතෙව් 11:28-30 හි අපට මෙසේ කියවීමට තිබේ: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් [හදවතින් NW] මෘදුව යටත්ව සිටින බැවින්, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.” අදහස් හුවමාරුවේ දී යේසුස් වහන්සේ සාර්ථක වූ එක් ප්‍රධාන කරුණක් අපට මෙහි දී දැකිය හැකි ය. උන් වහන්සේ මෘදු ව සිතින් යටහත් ව සිටි සේක. හරි හෘදයක් ඇති අයට උන් වහන්සේ අසල සිටිද්දී නැවුම් බවක් දැණිනි. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ද කදිම ආදර්ශයක් තැබුවේ ය, මන්දයත් ඔහු එපීසයේ වැඩිමහල්ලන්ට පැවසුවාක් මෙන්, ඔවුන් අතරට පැමිණි පළමු දවසේ සිට “සියලු ආකාර [මනසේ NW] යටත්කමින්” ඔහු ස්වාමීන් වහන්සේට සේවය කළ බව ය. —ක්‍රියා 20:19.
12 අප සෑම විට ම විනීත භාවය සහ මනසින් යටහත්කම ඇතු ව සිටීමෙන්, අප ද නැවුම් බවෙන් යුක්ත බව අන් අයට දැනෙන අතර, අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට එය අපට පහසු කරවයි. අප වෙන යම් ඕනෑ ම ආකල්පයක් ඇතුව සිටිනවා නම්, බොහෝ විට එය අප සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සිටින අය සහ අප අතර බාධාවක් ඇති කරනු ඇති බව පෙනී යනු ඇත. ඇත්තට ම, “ප්‍රඥාව තිබෙන්නේ විනීත අය සමඟයි.”—හිතෝපදේශ 11:2, NW.
13 බලපෑමෙන් යුතු ව අදහස් බෙදා ගැනීමට නම්, ඉවසිලිවන්ත සහ උපායශීලීවීමට ද අපට අවශ්‍ය ය. මාස්ගේ කඳු වැටිය මත සිට තමා ඉදිරියේ රැස් වී සිටි දාර්ශනිකයන් හට සාක්ෂි දරද්දී, ප්‍රේරිත පාවුල් උපායශීලී වූ බවට කිසි සැකයක් නැත. ඔහු ශුභාරංචිය ඉදිරිපත් කළේ, ඔවුන්ට තේරුම් යන ආකාරයටයි. (ක්‍රියා 17:18, 22-31) අපට සවන් දෙන අය සමඟ සාර්ථක ලෙස අදහස් හුවමාරු කර ගන්නට අප බලාපොරොත්තු වෙනවා නම්, ප්‍රේරිත පාවුල් කොලොස්සිවරුනට දුන් උපදෙසට අප සැලකිල්ල දැක්විය යුතු ය: “ඔබගේ සංවාදයන් සෑම විට ම ප්‍රසන්න කාරුණික ව තිබේවා; කිසිවිටෙකත් නිරස නොවේවා; ඔබට හමුවන එක් එක් පුද්ගලයාට හොඳින් ම පිළිතුරු දෙන ආකාරය ගැන අධ්‍යයනය කරන්න.” (කොලොස්සි 4:6, න ඉංග්ලිෂ් බයිබල්) අපගේ කථාවන් සෑම විට ම හොඳින් රස මුසු ව තිබිය යුතුයි. එවැනි කථාවක් අපට සවන්දෙන්නන්ගේ මනස් විවෘත කිරීමට සමත් වන අතර ම, අපරීක්ෂාකාරී ව හොඳ විනිශ්චයකින් තොර ව කරන කථා ඔවුන්ගේ මනස් වසා දැමීමට හේතු වනු ඇත.
14. සන්සුන් ලෙස, සංවාදශීලී අයුරින් එළැඹීම, අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අපට කෙසේ උපකාරවත් වනු ඇත් ද?
14 අප සෑම විටක ම සන්සුන් ව සිටින බව පෙනී යා යුතු ය. අපට සවන්දෙන්නන් ව පහසු තත්ත්වයක තැබීමට මෙය උපකාරවත් වෙයි. සන්සුන් ව සිටිනවා ය කීමෙන් අදහස් කරන්නේ සියලු දේ ම කථා කිරීමට වුවමනාවෙන් සිටීම නොවේ. ඊට වඩා ඉන් අදහස් කරන්නේ, කලබලකාරී ගතියක් නොපෙන්වා, සුහද ව ප්‍රශ්න ඇසීම මගින්, අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපට සවන්දෙන්නන් හට අවස්ථා සලස්වා දීම ය. විශේෂයෙන් ම, අප අනියම් ලෙස සාක්ෂි දරන විට, කථා කිරීමට අනෙක් පුද්ගලයා ව දිරිගැන්වීම ඥානවන්ත වෙයි. මේ අයුරින්, එක් සාක්ෂිකරුවෙක් ගුවන් යානයකින් ගමන් කරන විට, රෝමානු කතෝලික පූජකවරයෙකු තමා අසල වාඩි වී සිටින බව දිටී ය. පැයකට වඩා කාලයක් පුරා මෙම සාක්ෂිකරුවා, මෙම පූජකවරයා සමඟ උපයාශීලී ව ප්‍රශ්න අසමින් සිටි අතර, පූජකවරයා ඒවාට පිළිතුරු දුන්නේ වැඩියෙන් කථා කරමිනි. එහෙත්, ඔවුන් එකිනෙකාගෙන් වෙන් වී යන විට, පූජකවරයා බයිබල් ප්‍රකාශන කිහිපයක් ලබා ගෙන තිබුණි. එවැනි ඉවසිලිවන්ත එළැඹීමක් අවශ්‍ය කරවන්නා වූ තවත් ගුණාංගයක් විදහා පෑමට උපකාරවත් වෙයි. එය නම් සංවේදනයයි.
15, 16. අදහස් හුවමාරුව සඳහා සංවේදනය අපට කෙසේ උපකාරවත් වෙයි ද?
15 සංවේදනය යන්නෙන් අදහස් කරන්නේ, අප ව ම අන් අයගේ තැනට දැමීමක් හා සමාන දෙයකි. ප්‍රේරිත පාවුල් සංවේදනයේ ඇති අවශ්‍යතාවය ගැන මුළුමනින් අගය කළේ ය: “ඔහු කොලොස්සිවරුනට ලියූ දෙයින් එය දැක ගත හැක: “මක්නිසාද මම සියල්ලන්ගෙන් නිදහස්ව සිටියෙම් නුමුත් වැඩිදෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ට මා දාසයෙක් කරගතිමි. යුදෙව්වරුන් දිනාගන්නා [ගලවාගන්නා NW] පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි. මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැති කෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි. දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි. සියලු ආකාරයෙන් ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි.”—1 කොරින්ති 9:19-22.
16 මේ කාරණවල දී ප්‍රේරිත පාවුල් ව අනුගමනය කිරීමට නම්, උපායශීලීවීමට, විචාර බුද්ධිය පාවිච්චි කිරීමට, සහ නිරීක්ෂණාත්මක වීමට අපට අවශ්‍ය ය. අපට සවන්දෙන්නන් සිතන ආකාරයට සහ ඔවුන්ට හැඟෙන ආකාරයට ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සංවේදනය අප හට උපකාරවත් වෙයි. රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් නම් ප්රකාශනය මේ සම්බන්ධයෙන් අපට බොහෝ සේ උපකාරවත් වෙයි. ඔබ දේව සේවයේ යෙදෙන විට මෙම පොත සෑම විට ම ඔබ ළඟ තබා ගන්න.
ප්‍රේමය—අදහස් හුවමාරුව සඳහා රුකුලකි
17. සියලු ම ක්‍රිස්තියානි ගුණාංග අතරින්, බලපෑමෙන් යුක්ත ව අදහස් හුවමාරු කර ගැනීමට වඩාත් ම වටින්නේ කුමන ගුණාංගය ද, එය පෙන්වන්නේ කෙසේ ද?
17 විනීත භාවය, මනසින් යටත්කම, ඉවසීම සහ සංවේදනය යන ගුණාංග තොරතුරු බෙදා ගැනීමේ දී බලපෑමෙන් යුත් අදහස් හුවමාරුවක් සඳහා අත්‍යවශ්‍ය ය. එහෙත් මේ සියල්ලට ම වඩා, අන්‍යයන්ගේ හදවත්වලට ළඟා වීමේ දී සාර්ථක වීමට අපට උපකාරවත් වනු ඇත්තේ පරාර්ථකාමී ප්‍රේමයයි. ජනයා “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්,” යේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක. “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි [නැවුම් බවක් ගෙන දෙමි, NW]” යනුවෙන් පැවසීමට යේසුස් වහන්සේ ව පෙලඹ වූයේ ප්‍රේමයයි. (මතෙව් 9:36; 11:28) ජනයා වෙත නැවුම් බවක් ගෙන දෙමින් ජීවනයේ මාර්ගයට පැමිණීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා අපට ද වුවමනාවක් තිබෙන්නේ අප ඔවුන්ට ප්‍රේම කරන නිසා ය. අපගේ පණිවුඩය ප්‍රේමයේ පණිවුඩයකි, එසේ නම්, අපි එය ප්‍රේමනීය ආකාරයකින් පවසමින් සිටිමු. මේ ප්‍රේමය, මිතුරු සිනහවකින්, කරුණාවන්තකමෙන් සහ මෘදු ගතියකින්, සොම්නසින් පිරි උද්යෝගයකින් සහ උණුසුම් බවකින් පිළිබිඹු වෙයි.
18. පාවුල් තම ස්වාමියා ව අනුකරණය කළාක් මෙන්, අපට පාවුල් ව කෙසේ අනුකරණය කළ හැකි වේ ද?
18 මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් තම ස්වාමියා වූ යේසුස් වහන්සේ ව කදිම අනුකරණය කරන්නෙකු විය. සභාවන් එකක් පාසා එකක් ආරම්භ කිරීමේ ලා ඔහු එතරම් සාර්ථකත්වයක් අත් කර ගත්තේ මන්ද? ඔහුගේ ජ්වලිතය නිසා ද? එසේය, නමුත් ඔහු විදහා පෑ ප්‍රේමයත් නිසා ය. තෙසලෝනිකයේ නව සභාව සම්බන්ධ ව ඔහු විදහා පෑ සෙනෙහස ගැන ඔහු පැවසූ දේ කල්පනාවට ගන්න: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණය කරන්නාක් මෙන් නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන් වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.”—1 තෙසලෝනික 2:7, 8.
19. ප්‍රතිචාරය නොදක්වන ප්‍රදේශයන් නිසා අප ව අධෛර්ය වීමට අප ඉඩ නොදිය යුත්තේ මන්ද?
19 අදහස් හුවමාරු කර ගැනීම සඳහා අපගේ උපරිමය කර තිබුණ ද, අප බලාපොරොත්තු වන ප්‍රතිඵල අපට නොලැබී යයි නම්, අප අධෛර්යය විය යුතු ද? කොහෙත්ම නැත. සත්‍යය පිළිගැනීමට නම්, මිනිසුන් හට h අකුරු තුනක් තිබිය යුතු බවට (යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව එවකට හැඳින්වූ අයුරින්) බයිබල් ශිෂ්‍යයන් අතර කියමනක් තිබිණි. අවංකවීමට [honest], යටහත් පහත්වීමට [humble], සහ කුසගිනිවීමට [hungry] ජනයාට අවශ්‍ය ය. අවංක නොවන, වංක මිනිසුන් සත්‍යයට හොඳින් ප්‍රතිචාරය දක්වයි කියා අපට අපේක්ෂා කළ නොහැක; හිස උදුම්මා ගත් මාන්නාධික හෝ අහංකාර පුද්ගලයන් ශුභාරංචියට සවන් දෙයි කියා ද අපට බලාපොරොත්තු වෙන්නට බැරි ය. තවදුරටත්, පුද්ගලයෙකුට යම් තරමත අවංක භාවයක් සහ යටහත් පහත්කමක් තිබුණත්, ඔහුට ආත්මික කුසගින්නක් නැත්නම්, ඔහු සත්‍යය පිළිගනීවිය කියා සිතීමට අපට නොහැක.
20. අපගේ ප්රයත්නයන් කිසිවිටෙකත් නිෂ්ඵල වී නැති බව සෑම විට ම පැවසීමට අපට හැක්කේ කෙසේ ද?
20 ඔබගේ ප්‍රදේශය තුළ ඔබට හමුවන බොහෝ දෙනාට මෙම h අකුරු තුනෙන් එකක් හෝ කිහිපයක් ඌණ ව තිබෙන බවට කිසි සැකයක් නැත. අනාගතවක්තෘ යෙරෙමියාට එම අත් දැකීම ම තිබිණි. (යෙරෙමියා 1:17-19; මතෙව් 5:3, NW සසඳන්න.) එහෙත් තවමත් අපගේ ප්රයත්නයන් කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත. ඒ මන්ද? මක්නිසා ද අප ප්‍රචාරය කරන්නේ යෙහෝවඃ වහන්සේගේ නාමය සහ රාජ්‍යයයි. අපගේ දේශනා කිරීමෙන් සහ අප ඔවුන් ව හමුවෙන්නට යාමෙන් ද පෙන්වන්නේ අප දුෂ්ටයන් හට අනතුරු අඟවන බව ය. (එසකියෙල් 33:33) එමෙන් ම, අප අන්‍යයන් සමඟ සත්‍යය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට යත්න දැරීම මගින්, අප අපට ම ප්‍රයෝජන ලබා දෙන බවත් කිසිවිටෙකත් අමතක නොකරන්න. (1 තිමෝති 4:16) අපි අපගේ ඇදහිල්ල ශක්තිමත් ව හා අපගේ රාජ්‍යය බලාපොරොත්තුව දීප්තිමත් ව තබා ගන්නෙමු. මීටත් වඩා, අපි අපගේ අඛණ්ඩතාවය පවත්වා ගැනීමෙන්, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ නාමය ප්‍රශංසාවට ලක් කරවීමට හවුල් වීමෙන් උන් වහන්සේගේ හදවත සතුටු කරන්නෙමු.—හිතෝපදේශ 27:11.
21. සාරාංශයක් වශයෙන් අපට කුමක් කිව හැකි ද?
21 පුනරීක්ෂණයක් කරනවා නම්: අදහස් හුවමාරුව යනු බලපෑමෙන් යුක්ත ව තොරතුරු බෙදා ගැනීමයි. අදහස් හුවමාරු කර ගැනීමේ කලාව අතිශයින් වැදගත් දෙයක් වන අතර, අදහස් හුවමාරුව කැඩී බිඳී යන විට, බොහෝ හානි සිදු විය හැකි ය. යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහස් හුවමාරු කරන අයගෙන් ප්‍රධාන තැනැත්තන් වහන්සේ ලා බවත්, අපගේ කාලය සඳහා තොරතුරු දැනුම් දීමේ මාධ්‍යයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පත් කොට ඇති බවත් අපි තේරුම් ගත්තෙමු. එමෙන් ම, අපගේ ඇඳුම් පැළඳුම්වලින් හා අපගේ හැසිරීම මගින් අප අන් අය වෙත යම් පණිවුඩ ඉදිරිපත් කරන බව ද අපි සැලකිල්ලට ගතිමු. අප ජනයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට යත්න දරන විට, තර්කයෙන් ඒත්තු ගැන්වීම අති වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවත්, බලපෑමෙන් යුතු ව අදහස් හුවමාරු කර ගැනීමට නම්, විනීත වීමට සහ යටහත් පහත් වීමට අපට අවශ්‍ය වන අතර ම, සංවේදනය විදහා දක්වමින්, ඉවසීමෙන් සියල්ලට ම වඩා, ප්‍රේමයෙන් පිරුණු හදවතකින් පෙලඹී කටයුතු කළ යුතු බවත් ඉගෙන ගෙන ඇත. අපි මෙම ගුණාංග වර්ධනය කර ගෙන බයිබල් ආදර්ශයන් අනුගමනය කරන්නෙමු නම්, අප සාර්ථක අදහස් හුවමාරු කර ගන්නාවු ක්‍රිස්තියානින් වනු ඇත.—රෝම 12:8-11. w91 9/1
[පාදසටහන්වල]
a ඔබගේ සභා ප්‍රදේශයට උචිත ආකාරයට “රීසනිං” පොතේ 18 වන පිටුවෙහි සඳහන් ‘අයි හෑව් මයි ඕන් රිලිජන්’ (මට මගේ ම ආගම තිබෙනවා) යන තේමාව යටතේ කරුණු සකසා ගන්න.
b යුදෙව් ලබ්ධිකයන් සහ අනෙක් අය සමඟ අදහස් හුවමාරු කර ගන්නා ආකාරය ගැන තවදුරටත් යෝජනා සොයා ගැනීම සඳහා රීසනිං ෆ්‍රොම් ද ස්ක්රිප්ච’ස් හි පිටු 21-4 බලන්න.
ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇත් ද?
◻ වචනයක්වත් පැවසීමට පෙර, අදහස් හුවමාරුව පටන් ගන්නේ කුමන මාර්ගයෙන් ද?
◻ බලපෑමෙන් යුතු ව තර්කයෙන් ඒත්තු ගන්වන සමහරක් ආදර්ශයන් මොනවා ද?
◻ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සහ පාවුල්ට බලපෑමෙන් යුක්ත ව අදහස් හුවමාරු කර ගැනීමට මහෝපකාරී වූයේ කිනම් ගුණාංගයන් ද?
◻ ප්‍රතිඵල පැමිණෙන්නේ ටිකෙන් ටික වුවත් අධෛර්ය වීමට අපට අවශ්‍ය නැත්තේ මන්ද?