ඵලදායක ලෙස අදහස් හුවමාරු කරන්නෙකු වන්න
1 අපට පවරා තිබෙන දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය ඉටු කිරීමේදී අප අන් අයට වාචිකව තොරතුරු සැපයිය යුතුයි. (මතෙ. 24:14; 28:19, 20) ඇතැම්විට, මිතුරන් අතර පවා අදහස් හුවමාරු කරගැනීම අමාරු විය හැකියි. එසේනම්, අමුත්තන් සමඟ ඵලදායක ලෙස ශුභාරංචිය ගැන අදහස් හුවමාරු කරගැනීමට අපට උපකාරවත් වන දේවල් මොනවාද?
2 අමුත්තෙකු නොව මිතුරෙකු වන්න: දේවසේවයේදී ඔබ කතා කරන අය සමහර දේවල් දෙස බලන ආකාරයට දේවල් දෙස බලන්න වෑයම් කරන්න. සමහරුන් අමුත්තන් දෙස බලන්නේ සැකයෙන්. සමහර වේලාවට භයත් වෙනවා. අද ලෝකයේ පවතින තත්වය නිසා මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මෙය අදහස් හුවමාරුවට බාධාවක්. ඔබට හමු වෙන අයට මුලින්ම ඇති වන ඒ භයගතිය නැති කිරීමට ඔබට පුළුවන් කොහොමද? අපි වචනයක්වත් කතා කරන්න කලින් අපේ විනීත පෙනුම අනිත් අයට අප ගැන යමක් කියාපානවා. අපි ප්‍රසන්න ලෙස ඇඳ පැළඳ සිටිනවා නම් අපි කතා කරන අයගේ බිය නැති වී හා හැකියි.—1 තිමෝ. 2:9, 10.
3 ඵලදායක ලෙස අදහස් හුවමාරු කිරීමට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ කලබල ගතියක් නොමැතිව මිත්‍රශීලී ලීලාවකින් සිටීමයි. මෙසේ සිටීමෙන් අනිත් අය තුළ සන්සුන්බවක් ඇති විය හැකි අතර සවන් දීමට කැමැත්තක්ද ඇති කරවිය හැකියි. මේ සඳහා හොඳ සූදානමක් අවශ්‍යයි. අප පවසන්න යන දෙය පැහැදිලිව අපේ මනසේ තිබෙනවා නම් අප තුළ එතරම් කලබලකාරි ගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙසේ අපි සාමකාමී මනසක් ඇතුව සිටින විට අන් අයව අපේ පණිවිඩය වෙතට ඇඳගන්න පුළුවන්. සාක්ෂිකාරියක් තමාගේ නිවසට පැමිණීම ගැන එක් ස්ත්‍රියක් මෙසේ පැවසුවා. “මට මතකයි ඇගේ සිනහවෙන් පිරි මුහුණේ තිබුණු සාමකාමී බව. ඇයත් එක්ක කතා කරන්න ඕනෙ කියලා මට හිතුණා.” මෙය ඒ ස්ත්‍රියට ශුභාරංචියට සවන් දීම සඳහා දොරටුව විවෘත කර දුන්නා.
4 සිත් ඇදගන්නා ගුණාංග: අපි අනිත් අය කෙරෙහි අවංක උනන්දුවක් පෙන්වීම අවශ්‍යයි. (පිලි. 2:4) මෙය කළ හැකි එක් ආකාරයක් වන්නේ අප පමණක් කතා කිරීමෙන් වැළකී සිටීමයි. අපි දන්නවා, අදහස් හුවමාරුවට සවන් දීමත් ඇතුළත් බව. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අපට සවන් දෙන අයට ආරාධනා කර, ඔවුන් පවසන දේවලට උනන්දුවෙන් සවන් දෙද්දී ඔවුන් සිතනවා අපි ඒ අය ගැන සැලකිල්ලක් දක්වනවා කියා. මේ නිසා ඔබට සවන් දෙන අය කතා කරද්දී ඔබ සූදානම් කරගත් දේවල් පැවසීමට අවස්ථාව එන තෙක් පුල පුලා බලා සිටින්න එපා. අවංකවම ඔවුන්ට ප්‍රශංසා කරන්න ඔබට හැකි නම් එසේ කරන්න. ඔවුන් පවසන දේවල් අනුව ඔබේ අදහස් ගොඩනඟා ගැනීමට වෑයම් කරන්න. ඔවුන්ගේ හදවතට හුඟාක් සමීප දෙයක් ගැන ඔවුන් කතා කරන බව ඔවුන් පවසන දේවලින් හෙළි වන්නේ නම් ඔබේ ඉදිරිපත් කිරීම ඔවුන් සැලකිලිමත් වන දෙයට අනුව සකස් කරගන්න.
5 නිහතමානීකම හා මනසින් යටහත්කම පෙන්වීමෙන් අදහස් හුවමාරුව සුමට ලෙස ගලා යෑමට මඟ සැලසේ. (හිතෝ. 11:2; ක්‍රියා 20:19) ජනයා යේසුස් වෙතට ඇදී ආවේ ඔහු “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු” වූ නිසයි. (මතෙ. 11:29, NW) අනිත් අතට, තමන් හැම දේම දන්න ‘උගතෙක්’ කියා සිතීම අදහස් හුවමාරුවට මහත් බාධාවක්. මේ නිසා අප ළඟ තිබෙන්නේ සත්‍යය කියා අප තුළ දැඩි විශ්වාසයක් තිබුණද අපගේම අදහස්වල දැඩි ලෙස එල්බගෙන සිටීමෙන් වැළකීම නුවණට හුරුයි.
6 අප සමඟ කතා කරන තැනැත්තාගේ අදහස් බයිබලයේ උගන්වන දේවලට එකඟ වෙන්නේ නැත්නම් අප කටයුතු කරන්නේ කොහොමද? ඔහුව නිවැරදි කරන්න අපි බැඳී සිටිනවාද? ඔව්, පසු කාලයකදී අපට එය කළ හැකියි. නමුත් මුල් හමුවීමේදීම අපි එසේ කරන්න වෑයම් කරන්නේ නැහැ. ඇතැම්විට අපට සවන් දෙන තැනැත්තාට පිළිගන්න අමාරු විය හැකි බයිබලයේ සඳහන් ඉගැන්වීමක් ගැන කතා කරන්න කලින් අපත් සවන්දෙන්නාත් පොදුවේ එකඟ වන අදහස් මත සාකච්ඡාව ගොඩනැඟීම ප්‍රයෝජනදායකයි. මේ සඳහා ඉවසීම හා උපායශීලිත්වය අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් පාවුල් “ඇරියෝපගය” කියා හැඳින්වූ අධිකරණයේ විනිසුරුවන්ට සාක්ෂි දරද්දී තැබුවේ කදිම ආදර්ශයක්.—ක්‍රියා 17:18, 22-31.
7 ඵලදායක ලෙස අදහස් හුවමාරු කිරීමට සියල්ලටම වඩා අපට උපකාරවත් වන්නේ පරාර්ථකාමී ප්‍රේමයයි. “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය” ජනයා කෙරෙහි යේසුස්ට දැනුණාක් මෙන් අනුකම්පාවක් අප තුළත් ඇති විය යුතුයි. (මතෙ. 9:36) මොවුන් ළඟට ශුභාරංචිය ගෙන යන්නත් ජීවනයට යන මාර්ගයට පැමිණීමට ඔවුන්ට උපකාර කරන්නත් අපව පොලඹවන්නේ අප තුළ ඇති වන එම අනුකම්පාවයි. අප ජනයා වෙතට ගෙන යන්නේ ප්‍රේමයේ පණිවිඩයක්. එනිසා ඒ ගැන ප්‍රේමනීය ලෙස කතා කරමු. මෙසේ කිරීමෙන්, මුළු විශ්වයේම සිටින විශිෂ්ටතම අදහස් හුවමාරු කරන්නන් වන යෙහෝවා දෙවිව හා යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපට පුළුවන්.