යෙහෝවඃ වහන්සේගේ සැපයුම වන, “දෙනලද්දෝ ”
“විදේශියෝ [ඇත්ත වශයෙන් ම NW ] සිට නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය [කෙරෙහි එඬේරකම් කරන්නෝ ය NW ].”—යෙසායා 61:5.
1. “දායකයාණන්” යන වදනින් අපගේ මනසේ යෙහෝවඃ වහන්සේ ව සිහිගැන්වෙන්නේ මන්ද?
දෙවියන් වහන්සේ මොනතරම් ත්‍යාගශීලී දායකයාණන් කෙනෙකු වන සේක් ද! [යෙහෝවඃ වහන්සේ ම] සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක” යයි ප්‍රේරිත පාවුල් පැවසී ය. (ක්‍රියා 17:25) අප දෙවියන් වහන්සේගෙන් ලබන්නා වූ බොහෝ ‘යහපත් දීමනා හා පරිපූර්ණ ත්‍යාගයන්’ ගැන මෙනෙහි කිරීමෙන් අප සෑම කෙනෙකුට ම ප්‍රයෝජන ලැබිය හැකි ය.—යාකොබ් 1:5, 17; ගීතාවලිය 29:11; මතෙව් 7:7; 10:19; 13:12; 21:43.
2, 3. (අ) අප දෙවියන් වහන්සේගේ දීමනාවන්ට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේ ද? (ආ) ලෙවීවරුන් “දෙනලද්දෝ” වූයේ කිනම් අර්ථයකින් ද?
2 යෙහෝවඃ වහන්සේට ආපසු ගෙවිය හැකි ආකාරය ගැන ගීතිකාකරු කල්පනා කළේ හොඳ හේතු ඇති ව ය. (ගීතාවලිය 116:12) මිනිසුන්ට තිබිය හැකි හෝ දිය හැකි කිසිවක් අපගේ මැවුම්කරුවාණන්ට ඇත්තෙන් ම වුවමනා නැත. (ගීතාවලිය 50:10, 12) එහෙත්, ජනයා තම කැමැත්තෙන් ම අගය පූර්ණ ව සැබෑ නමස්කාරයේ නියැලෙන විට එය තමන් වහන්සේට ප්‍රසන්න බව යෙහෝවඃ වහන්සේ අඟවන සේක. (හෙබ්‍රෙව් 10:5-7 සසඳන්න.) සියලු මිනිසුන් කැප වීමෙන් තමන් ව සිය මැවුම්කරුවාණන්ට භාර කළ යුතු ය, ඉන් අනතුරුව, උන් වහන්සේ ද, පුරාතන ලෙවීවරුන් සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, වැඩිතර වරප්රසාදයන් දානය කරනු ඇත. සියලු ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය ද, පූජකයන් ලෙස මණ්ඩපයේ හා දේවමාලිගාවේ පූජාවල් ඔප්පු කිරීමට උන් වහන්සේ ආරොන්ගේ ලෙවී පවුල තෝරා ගත් සේක. ඉතිරි ලෙවීවරුන් ගැන කුමක් කිව හැකි ද?
3 යෙහෝවඃ වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “ලෙවී ගෝත්‍රය . . . ඉදිරිපිට සිටවාපන්න. . . . ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂා . . . කරත්වා. ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දීපන්න. ඔව්හු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය [හෙබ්‍රෙව්, නෙතු.නිම්’].” (ගණන් කථාව 3:6, 8, 9, 41) ලෙවීවරුන් මණ්ඩප සේවාවේ වගකීම් ඉටු කිරීමට ආරොන්ට “දෙනලද්දෝය,” එබැවින් “ඔව්හු ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය” යයි දෙවියන් වහන්සේට පැවසිය හැකි විය. (ගණන් කථාව 8:16, 19; 18:6) ඇතැම් ලෙවීවරු සුළු කාර්යයන් ඉටු කළහ: තවත් අය දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඉගැන්වීම වැනි කැපී පෙනෙන වරප්‍රසාද ලැබුවෝ ය. (ගණන් කථාව 1:50, 51; 1 ලේකම් 6:48; 23:3, 4, 24-32; 2 ලේකම් 35:3-5) වෙනත් “දෙනලද” සෙනඟක් මෙන් ම නවීන සමාන්තරයක් වෙත අපි දැන් අපගේ සැලකිල්ල යොමු කරමු.
ඊශ්‍රායෙල්වරු බබිලෝනියෙන් ආපසු පැමිණෙති
4, 5. (අ) බබිලෝනියේ වහල් භාවයෙන් හැරී පැමිණියේ කිනම් ඊශ්‍රායෙල්වරුන් ද? (ආ) නවීන කාලවල, වහල් භාවයෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ හැරී පැමිණීම අනුරූප වන්නේ කුමකට ද?
4 සැබෑ නමස්කාරය යළි පිහිටුවීම පිණිස, ඊශ්‍රායෙල්ගේ ඉතිරි කොටසක්, ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ගේ මඟ පෙන්වීම යටතේ බබිලෝනියෙන් සිය දේශයට ආපසු පැමිණි ආකාරය එස්රා හා නෙහෙමියා විස්තර කරති. මෙසේ ආපසු පැමිණි මුළු සංඛ්‍යාව 42,360ක් බව වාර්තා දෙක ම පෙන්වයි. එම සංඛ්‍යාවෙන් දහස් ගණනක් “ඊශ්‍රායෙල් සෙනගවූ මනුෂ්‍යයන්” වූහ. අනතුරුව එම වාර්තාව පූජකයන් ව ලේඛනගත කරයි. ඊළඟට ලෙවී ගෝත්‍රික ගායකයන් හා දොරටුපාලයන් ඇතුළු ව ලෙවීවරුන් 350 දෙනෙක් පමණ සඳහන් වේ. ඇතැම් විට පූජකයන් පවා විය හැකි නමුත් සිය පෙළපත සනාථ කළ නොහැකි වූ, පෙනෙන හැටියට ඊශ්‍රායෙල්වරුන් ව සිටි අතිරේක දහස් සංඛ්‍යාවක් ගැන ද එස්රා හා නෙහෙමියා ලියති.—එස්රා 1:1, 2; 2:2-42, 59-64; නෙහෙමියා 7:7-45, 61-66.
5 වහල් භාවයට ගනු ලැබූ හා පසු ව යෙරුසලමට හා යුදාවට ආපසු පැමිණි ඊශ්‍රායෙල්වරුන්ගේ මෙම ඉතිරි කොටස, දෙවියන් වහන්සේට කැපී පෙනෙන භක්තියක් හා සැබෑ නමස්කාරයට ගැඹුරු කැප වීමක් විදහා දැක්වූහ. සැලකිල්ලට ගත් පරිදි, 1919 මහා බබිලෝනියේ වහල් භාවයෙන් ඉවත් වූ ආත්මික ඊශ්‍රායෙල්ගේ ඉතිරි කොටස තුළ උචිත අනුරූපතාවයක් අපි නවීන කාලවල දකින්නෙමු.
6. දෙවියන් වහන්සේ ආත්මික ඊශ්‍රායෙල්වරුන් අපගේ කාලයේ යොදා ගෙන තිබෙන්නේ කෙසේ ද?
6 වර්ෂ 1919 ඔවුන් ලැබූ නිදහසෙන් පසු, ක්‍රිස්තුස් වහන්සේගේ ආලේප ලත් සහෝදරයන්ගේ ඉතිරි කොටස සැබෑ නමස්කාරයෙහි ජ්වලිතයෙන් ඉදිරියට ගමන් කර තිබේ. “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” සකසන්නා වූ 1,44,000 අන්තිමයන් එකතු කිරීම සඳහා ඔවුන් දරන්නා වූ ප්‍රයත්නවලට යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කර ඇත. (ගලාති 6:16; එළිදරව් 7:3, 4) සමූහයක් වශයෙන්, ආලේප ලත් ඉතිරි අය, ජීවන දායක ආත්මික ආහාර බහුල ව සැපයීමට යොදා ගනු ලබන “විශ්වාසවූ නුවණ ඇති දාස” පන්තිය සකසති. මොවුන් මෙම ආහාර ලොව වටා බෙදා හැරීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කොට තිබේ.—මතෙව් 24:45-47.
7. ආලේප ලත් අය සමඟ සැබෑ නමස්කාරයේ සමාගම් පවත්වනුයේ කවරහු ද?
7 මීට පෙර ලිපිය තුළ පෙන්වූ පරිදි, ඉදිරියේ ඇති මහත් පීඩාව තුළින් ගමන් කිරීමට දෙවියන් වහන්සේ විසින් දානය කළ බලාපොරොත්තුවකින් යුත් මිලියන සංඛ්‍යාත “වෙනත් බැටළුවෝ” දැන් යෙහෝවඃ වහන්සේගේ සෙනඟට අයත් වෙති. තවදුරටත් සාගිනි හෝ පිපාසා නොවන, එමෙන් ම දුක් කඳුළු තවත් නොගලනු ඇති, පොළොව මත සදාකාලයට ම යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ඔවුහු ආශා වෙති. (යොහන් 10:16; එළිදරව් 7:9-17; 21:3-5) එවන් අයට අනුරූප වන යමක්, බබිලෝනියෙන් ආපසු පැමිණි අයගේ වාර්තාව තුළ අපි දකින්නෙමු ද? එසේ ය!
ඊශ්‍රායෙල් නොවන අය ද ආපසු පැමිණෙති
8. බබිලෝනියෙන් ආපසු පැමිණි ඊශ්‍රායෙල්වරුන් සමඟ පැමිණියේ කවරහු ද?
8 බබිලෝනියේ සිටි යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නන්ට පොරොන්දු දේශයට ආපසු යාමට පවසනු ලැබූ විට, ඊශ්‍රායෙල් නොවන දහස් සංඛ්‍යාත අය ඊට ප්‍රතිචාරය දැක්වූහ. “නෙතිනිම්වරු” (“තේරුම දෙනලද්දෝ”) ගැනත්, “සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ” ගැනත් එස්රා හා නෙහෙමියා විසින් සපයන ලද ලැයිස්තුවේ අපි කියවමු. මොවුන්ගේ මුළු එකතුව 392ක් විය. එම වාර්තාවන් 7,500කට වැඩි වෙනත් අය ව ද සඳහන් කරයි: ඔවුහු, ‘වැඩකාරයෝ හා වැඩකාරියෝ’ මෙන් ම ලෙවී නොවන “ගී කියන මිනිස්සුත් ගී කියන ස්ත්‍රීහුත්” වෙත්. (එස්රා 2:43-58, 65; නෙහෙමියා 7:46-60, 67) ඊශ්‍රායෙල් නොවන මෙතරම් මහත් සංඛ්‍යාවකට ආපසු හැරී ඒමට පෙලඹ වූයේ කුමක් ද?
9. වහල් භාවයෙන් ආපසු පැමිණීමේ දී දෙවියන් වහන්සේගේ ආත්මය සම්බන්ධ වූයේ කෙසේ ද?
9 “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] ගෘහය ගොඩනගන පිණිස යන්ට [සැබෑ NW ] දෙවියන්වහන්සේ විසින් සිත් පොළඹවනලද සියල්ලෝ” ගැන එස්රා 1:5 කථා කරයි. එසේ ය, යෙහෝවඃ වහන්සේ ආපසු පැමිණි සියල්ලන් ව ම පෙලඹ වූ සේක. උන් වහන්සේ ඔවුන්ගේ ස්වභාවය, එනම්, ඔවුන්ගේ පොලඹවන සුලු මානසික නැඹුරුවාව ඇවිස්සෙවූ සේක. ස්වර්ගයේ සිට පවා, දෙවියන් වහන්සේට ස්වකීය ශුද්ධාත්මය, එනම් ක්‍රියාකාරික බලය යොදා ගනිමින් මෙය සිදු කළ හැකි විය. මෙසේ, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] ගෘහය ගොඩනගන පිණිස යන්ට” නැගී සිටි සියල්ලෝ ම, “[දෙවියන් වහන්සේගේ] ආත්මයෙන්” උපකාර ලැබුවෝ ය.—සෙකරියා 4:1, 6; හග්ගයි 1:14.
නවීන දින සමාන්තරයක්
10, 11. බබිලෝනියෙන් ආපසු පැමිණි ඊශ්‍රායෙල් නොවන අය සමඟ ගොඩනැඟිය හැකි සමාන්තරය කුමක් ද?
10 එසේ ආපසු පැමිණි ඊශ්‍රායෙල් නොවන්නන්ගෙන් පෙර ඡායා කොට දක්වන ලද්දේ කවරෙක් ව ද? ‘නෙතිනිම්වරු අද දින “වෙනත් බැටළුවන්ට” අනුරූපයක් වන්නෝ ය’ යයි බොහෝ ක්‍රිස්තියානින් පිළිතුරු දෙනවා වන්නට පුළුවන. සැබෑවකි, එහෙත් හුදු නෙතිනිම්වරු පමණක් නොවේ; ආපසු පැමිණි ඊශ්‍රායෙල් නොවන සියල්ලෝ ම අද දින ආත්මික ඊශ්‍රායෙල් නොවන ක්‍රිස්තියානින් ව නියෝජනය කරති.
11 යූ මේ සර්වයිව් ආර්මගෙඩන් ඉන්ටු ගෝඩ්’ස් න වර්ල්ඩ්a නම් පොත මෙසේ නිරීක්ෂණය කළේ ය: “ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් සමඟ බබිලෝනියෙන් පිටත් ව ආවේ ඊශ්‍රායෙල්වරුන් 42,360ක ඉතිරි කොටස පමණක් නොවේ . . . ඊශ්‍රායෙල් නොවන්නන් දහස් සංඛ්‍යාවක් සිටියහ . . . නෙතිනිම්වරුන් හැර, වහලුන්, පුරුෂ හා ස්ත්‍රී, වෘත්තික ගායකයන් මෙන් ම සාලමොන් රජුගේ සේවකයන්ගෙන් පැවතෙන්නන් යනාදී වෙනත් ඊශ්‍රායෙල් නොවන අය ද එහි සිටියහ.” එම පොත මෙසේ පැහැදිලි කළේ ය: “නෙතිනිම්වරුන්, වහලුන්, ගායකයන්, හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන්, යනාදී ඊශ්‍රායෙල් නොවන සියල්ලෝ, වහල්කමේ දේශයෙන් පිටත් ව ඊශ්‍රායෙල් ඉතිරි කොටස සමඟ ආපසු පැමිණියහ . . . එබැවින් ආත්මික ඊශ්‍රායෙල් නොවන විවිධ ජාතීන්ට අයත් ජනයා, අද දින ආත්මික ඊශ්‍රායෙල්ගේ ඉතිරි කොටස සමඟ ඇසුර පවත්වමින්, ඔවුන් සමඟ යෙහෝවඃ දෙවියන් වහන්සේ නමස්කාර කිරීම වැඩි දියුණු කරනු ඇතැයි කල්පනා කිරීම හරි ද? එසේ ය.” එවන් අය ‘නවීන-දින, ප්රතිආකෘතික නෙතිනිම්වරු, ගායකයන්, හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් වී ඇත.’
12. දෙවියන් වහන්සේ ආත්මික ඊශ්‍රායෙල්වරුන් සඳහා ස්වකීය ආත්මය සුවිශේෂී ආකාරයකට යොදා ගන්නේ කෙසේ ද, නමුත් එය ස්වකීය නමස්කාරකයන් සියලු දෙනාගේ ප්‍රයෝජනයට පවතින බව අපට ස්ථිර විය හැක්කේ මන්ද?
12 පුරාණ ආකෘතිය ලෙස සිදු වූවාක් මෙන්, පොළොව මත සදාකාලයට ජීවත්වීමට බලාපොරොත්තු වන්නන් සඳහා දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධාත්මය සපයන සේක. ඔවුන් යළි උපත නොලබන බව ඇත්ත ය. එක්ලක්ෂ හතලිස් හාර දහසට අයත් සෑම කෙනෙකුට ම දෙවියන් වහන්සේගේ ආත්මික පුත්‍රයෙක් ලෙස යළි උපත ලැබීමේ හා ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබීමේ අසහාය අත්දැකීමක් තිබේ. (යොහන් 3:3, 5; රෝම 8:16; එපීස 1:13, 14) ඇත්ත වශයෙන් ම, එම ආලේප කරනු ලැබීම කුඩා රැළ උදෙසා දෙවියන් වහන්සේගේ ආත්මයේ අද්විතීය විදහා පෑමක් වනු ඇත. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ක්‍රියාවට නැගීමට ද උන් වහන්සේගේ ආත්මය අවශ්‍ය වේ. එබැවින්, යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: ‘ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය දෙන සේක.’ (ලූක් 11:13) එසේ ඉල්ලන තැනැත්තාට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබුණත්, වෙනත් බැටළුවන්ගෙන් කෙනෙක් වුවත්, යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම පිණිස උන් වහන්සේගේ ආත්මය බහුල ව ලබා ගත හැකි ය.
13. දෙවියන් වහන්සේගේ සේවකයන් සියලු දෙනා කෙරෙහි ආත්මය ක්‍රියා කළ හැක්කේ කෙසේ ද?
13 යෙරුසලමට ආපසු පැමිණීමට දෙවියන් වහන්සේගේ ආත්මය ඊශ්‍රායෙල්වරුන් හා ඊශ්‍රායෙල් නොවන්නන් යන දෙකොටස ම පෙලඹ වූ අතර, එය අද දින ද පක්ෂපාතී වන උන් වහන්සේගේ සියලු සෙනඟට ශක්තිය හා උපකාරය සපයයි. ක්‍රිස්තියානියෙකු හට දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද බලාපොරොත්තුව ස්වර්ගීය ජීවිතය වේවා නැතහොත් භූමික ජීවිතය වේවා, ඔහු ශුභාරංචිය දේශනා කළ යුතු අතර, එහි ඇදහිලිවන්ත ව සිටීමට ශුද්ධාත්මය ඔහුට හැකියාව ලබා දෙයි. අපගේ බලාපොරොත්තුව කුමක් වුවත්, අප සෑම කෙනෙක් ම, ආත්මයේ ඵල වර්ධනය කර ගත යුතු අතර, අප සියල්ලන්ට මේවා පූර්ණ පරිමාණයකට අවශ්‍ය වෙයි.—ගලාති 5:22-26.
දෙන ලද්දේ විශේෂ සේවයක් සඳහා ය
14, 15. (අ) ආපසු පැමිණි ඊශ්‍රායෙල් නොවන්නන් අතරේ, වෙන් කොට දක්වන ලද්දේ කිනම් කණ්ඩායම් දෙක ද? (ආ) නෙතිනිම්වරු කවරහු ද, තව ද ඔවුන් කළේ කුමක් ද?
14 ආපසු පැමිණීමට ආත්මය විසින් පොලඹවනු ලැබූ ඊශ්‍රායෙල් නොවන්නන් දහස් සංඛ්‍යාව අතර, දේව වචනය වෙන් කොට දැක්වූ කුඩා සමූහයන් දෙකක්—නෙතිනිම්වරුන් හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන්—සිටියහ. ඔවුහු කවරහු වී ද? ඔවුන් කළේ කුමක් ද? එමෙන් ම මෙය අද දිනට අදහස් කළ හැක්කේ කුමක් ද?
15 නෙතිනිම්වරු වනාහි ඊශ්‍රායෙල් නොවන මූලාරම්භයක් ඇති, එමෙන් ම ලෙවීවරුන් සමඟ සේවය කිරීමට වරප්‍රසාද ලත් සමූහයකි. ‘සභාවටත් යෙහෝවඃ වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද’ බවට පත් වූ ගිබියොන් හි විසූ කානානිවරුන් මතකයට ගන්න. (යෝෂුවා 9:27) සමහර විට, බබිලෝනියෙන් ආපසු පැමිණි නෙතිනිම්වරුන් අතර ඔවුන්ගෙන් පැවත එන්නන් මෙන් ම දාවිත්ගේ පාලනය තුළ හා වෙනත් අවස්ථාවන්හි නෙතිනිම්වරුන් ලෙස එකතු කරන ලද වෙනත් අය සිටින්නට ඇත. (එස්රා 8:20) නෙතිනිම්වරු කළේ කුමක් ද? ලෙවීවරුන් පූජකයන්ට උපකාර කිරීමට දෙන ලද අතර, යථා කාලයේ දී ලෙවීවරුන්ට උපකාර කිරීම පිණිස නෙතිනිම්වරුන් දෙනු ලැබී ය. චර්මච්ඡේදනය ලැබූ විදේශිකයන්ට පවා මෙය වරප්‍රසාදයක් විය.
16. කාලයාගේ ඇවෑමෙන්, නෙතිනිම්වරුන්ගේ කාර්ය භාරය වෙනස් වූයේ කෙසේ ද?
16 එම සමූහය බබිලෝනියෙන් ආපසු පැමිණි විට, පූජකයන් හෝ නෙතිනිම්වරුන් හා ‘සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ’ සමඟ සැසඳීමේ දී, ඊට අයත් වූයේ ලෙවීවරුන් ස්වල්ප දෙනෙකි. (එස්රා 8:15-20) ආචාර්ය ජේම්ස් හේස්ටිංස්ගේ, ඩික්ෂනරි ඔෆ් ද බයිබල් මෙසේ නිරීක්ෂණය කරයි: “යම් කලකට පසු, [නෙතිනිම්වරුන්] ශුද්ධ නිල පන්තියක් ලෙස එතරම් ම පූර්ණ තරමකට පිහිටවනු ලැබූ බවත්, ඔවුන් හට වරප්‍රසාද පවරනු ලැබූ බවත් අපට දක්නට ලැබේ.” වීටුස් ටෙස්ටමෙන්ටුම් නමැති විද්වත් සඟරාව මෙසේ සටහන් කරයි: “වෙනස්වීමක් සිදු විය. වහල් භාවයෙන් ආපසු පැමිණීමෙන් පසු, මෙම [විදේශිකයන්] තවදුරටත් දේවමාලිගාවේ සේවය කළේ වහලුන් ලෙස නොව, දේවමාලිගයේ නිල කටයුතු කළ වෙනත් අය හා සමාන තත්ත්වයන් භුක්ති විඳින, එහි උපස්ථායකයන් ලෙස සලකනු ලැබූ අය ලෙසට ය.”—“වෙනස් වූ තත්ත්වයක්” යන කොටුව බලන්න.
17. වැඩියෙන් දේවල් කරන්නට නෙතිනිම්වරුන් පැවරුම් ලැබුවේ මන්ද, එමෙන් ම මේ සඳහා තිබෙන බයිබල් සාක්ෂි මොනවා ද?
17 ඇත්ත වශයෙන් ම, නෙතිනිම්වරුන් පූජකයන්ට හා ලෙවීවරුන්ට සමාන තත්ත්වයකට පත් වූයේ නැත. පසු ව සඳහන් කරන ලද කණ්ඩායම්, ඊශ්‍රායෙල්වරුන් වූ අතර, යෙහෝවඃ වහන්සේ විසින් ම තෝරා ගන්නා ලද ඔවුන්, ඊශ්‍රායෙල් නොවන්නන් විසින් අනුයුක්ත නොකළ යුතු විය. එහෙත්, බයිබලය අඟවන පරිදි, ලෙවීවරුන් ඉතා අඩු සංඛ්‍යාවක් සිටීම නිසා, නෙතිනිම්වරුන්ට දෙවියන් වහන්සේගේ සේවයේ වැඩි වැඩ කොටසක් කිරීමට ඉඩ හරිනු ලැබිණි. දේවමාලිගයට සමීප නිවාස ඔවුන් හට පවරන ලදි. නෙහෙමියාගේ කාලයේ දී, ඔවුහු දේවමාලිගය අසල බිත්ති අලුත්වැඩියා කිරීමෙහි පූජකයන් සමඟ වැඩ කළහ. (නෙහෙමියා 3:22-26) තව ද පර්සියාවේ රජ, සිය දේවමාලිගා සේවය නිසා ලෙවීවරුන් බදු ගෙවීමෙන් ඉවත් කරනු ලැබුවාක් මෙන්, නෙතිනිම්වරුන් ද ඉවත් කරන ලෙස අණ කළේ ය. (එස්රා 7:24) “දෙනලද්දෝ” වන මොවුන් (ලෙවීවරු හා නෙතිනිම්වරු) ආත්මික කාරණාවලට කොතරම් සමීප ව සම්බන්ධ ව සිටියා ද යන්නත්, නෙතිනිම්වරුන් ව කිසිවිටෙකත් ලෙවීවරුන් මෙන් ගණන් ගනු නොලැබුව ද, අවශ්‍යතාවය අනුව නෙතිනිම්වරුන්ට පවරන ලද දේ වැඩි වූ ආකාරයත් මෙයින් අඟවයි. පසු කාලයේ දී එස්රා, ආපසු පැමිණීම සඳහා වහලුන් එකතු කළ විට, ලෙවීවරු කිසිවෙක් මුල දී ඔවුන් අතර සිටියේ නැත. එබැවින් ඔවුන්ගෙන් කීප දෙනෙක්වත් සොයා ගැනීමට ඔහු බලවත් වෑයමක් දැරුවේ ය. එහි ප්‍රතිඵලය වූයේ, “අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට සේවකයන්” ලෙස සේවය කිරීමට ලෙවීවරුන් 38 දෙනෙක් හා නෙතිනිම්වරුන් 220 දෙනෙක් හැරී පැමිණීමයි.—එස්රා 8:15-20.
18. සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් කිනම් කාර්ය ඉටු කරන්නට ඇත් ද?
18 වෙන් කොට දක්වන ලද ඊශ්‍රායෙල් නොවන දෙවන කණ්ඩායම වූයේ සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් ය. බයිබලය ඔවුන් පිළිබඳ ව එතරම් විස්තරයක් දක්වන්නේ නැත. සමහරෙක් “සොපෙරත්ගේ පුත්‍රයෝය.” එස්රා එය හැස්.සො.ෆේ’රෙත් යයි සඳහන් කරමින්, එයට නියත පදයක් එකතු කරයි, ඇතැම් විට මින් අදහස් කරන්නේ “ලියන්නා” විය හැකි ය. (එස්රා 2:55; නෙහෙමියා 7:57) මෙසේ, ඔවුන් ලේඛනගත කරන්නන් හෝ පිටපත් කරන්නන් මණ්ඩලයක්, ඇතැම් විට දේවමාලිගා⁄පරිපාලක ලියන්නන් වූවා විය හැක. විදේශී පරපුරකින් පැමිණිය ද, බබිලෝනියෙන් පිට වීමෙන් හා යෙහෝවඃ වහන්සේගේ නමස්කාරය නැවත පිහිටු වීමට හවුල්වීම සඳහා ආපසු පැමිණීමෙන් සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ යෙහෝවඃ වහන්සේට තමන් තුළ තිබූ භක්තිය ඔප්පු කළෝ ය.
අද දින අප ව දීම
19. අද දවසේ ආලේප ලත් අය සහ වෙනත් බැටළුවන් අතර ඇති සම්බන්ධතාවය කුමක් ද?
19 අපගේ කාලයේ, නිර්මල නමස්කාරයේ පෙරමුණ ගැනීමෙහිත්, එසේ ම ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහිත්, දෙවියන් වහන්සේ විසින් ආලේප ලත් ඉතිරි කොටස ව ඉතා ප්‍රබල ලෙස යොදා ගෙන තිබේ. (මාර්ක් 13:10) දස දහස් සංඛ්‍යාත, සිය දහස් සංඛ්‍යාත හා පසු ව මිලියන සංඛ්‍යාත වෙනත් බැටළුවන් නමස්කාරයේ තමන් හා එක්වනු දැකීමට මොවුන් කොතරම් ප්‍රීති වී තිබේ ද! එමෙන් ම ඉතිරි කොටස හා වෙනත් බැටළුවන් අතර පැවත ඇත්තේ කොතරම් ආනන්දජනක සහයෝගිත්වයක් ද!—යොහන් 10:16.
20. නෙතිනිම්වරුන්ට හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන්ට සමාන්තරයක් වශයෙන් ගත හැකි සාධාරණ නව අවබෝධය කුමක් ද? (හිතෝපදේශ 4:18)
20 බබිලෝනියේ වහල් භාවයෙන් ආපසු පැමිණි ඊශ්‍රායෙල් නොවන සියල්ලන් සමාන්තර වන්නේ, ආත්මික ඉශ්රායෙලයේ ඉතිරි කොටස සමඟ දැන් සේවය කරන්නා වූ වෙනත් බැටළුවන්ට ය. එසේ නමුත්, නෙතිනිම්වරුන් හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් ව බයිබලයේ වෙන්කොට දක්වා තිබීමේ කාරණය ගැන කුමක් කිව හැකි ද? ආදර්ශනාත්මක ව බලන කල, නෙතිනිම්වරුන්ට හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් හට, ආපසු පැමිණි ඊශ්‍රායෙල් නොවන වෙනත් අයට වඩා වැඩි වරප්රසාදයන් දෙන ලදි. මේ මගින් මනාව පෙර ඡායා කොට දැක්විය හැක්කේ, දෙවියන් වහන්සේ විසින් අද දින ඇතැම් මේරූ හා කැමැත්ත දක්වන වෙනත් බැටළුවන්ට වරප්‍රසාද වැඩි කිරීම හා යුතුකම් එකතු කර තිබීම ය.
21. භූමික බලාපොරොත්තුව ඇති සමහර සහෝදරයන් වැඩිමනත් යුතුකම් හා වරප්රසාදයන් ලබා ඇත්තේ කෙසේ ද?
21 නෙතිනිම්වරුන්ගේ අමතර වරප්‍රසාද කෙළින් ම සම්බන්ධ වී තිබුණේ ආත්මික ක්‍රියාකාරකම්වලට ය. සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් පරිපාලන වගකීම් ලැබූ බව පැහැදිලි ය. ඒ හා සමාන ව අද යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟගේ අවශ්‍යතාවයන් ගැන සැලකිල්ල දැක්වීමට “මනුෂ්‍යයන්ට තෑගි” මගින් ඔවුනට ආශීර්වාද කොට ඇත. (එපීස 4:8, 11, 12) චාරිකා හා දිස්ත්‍රික්ක අවේක්ෂකයන් ලෙස සහ, වොච් ටවර් සමිතියේ ශාඛාවන් 98 හි ශාඛා කමිටුවලත් සේවය කරමින්, ‘රැළවල් කෙරෙහි එඬේරකම්’ කිරීමෙහි හවුල් වන්නා වූ මේරූ, අත්දැකීම් ලත් සහෝදරයන් බොහෝ සිය ගණනක් මෙම සැපයුමට ඇතුළත් වෙති. (යෙසායා 61:5) සමිතියේ ලෝක මූලස්ථානයේ, “විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා” හා එහි පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ, සමර්ථකම් ඇති මනුෂ්‍යයෝ ආත්මික ආහාර සැපයුම් සැකසීමට උපකාර කිරීමට පුහුණුව ලබති. (ලූක් 12:42) වෙනත් දීර්ඝ කාලයකට කැප වූ ස්වේච්ඡා සේවකයෝ බෙතෙල් නිවාසවල හා කර්මාන්තශාලා ක්‍රියාකාරිත්වය මෙහෙය වීමටත්, ක්‍රිස්තියානි නමස්කාරය සඳහා ශාඛා පහසුකම් හා ශාලාවල් ගොඩනැගීමේ ලෝක ව්‍යාප්ත වැඩසටහන අධීක්ෂණය කිරීමටත් පුහුණු කරනු ලැබ ඇත. රාජකීය පූජකත්වයේ කොටසක් සකසන්නා වූ, ආලේප ලත් ඉතිරි කොටසට සමීප උපකාර කරන්නන් ලෙස සේවය කිරීමෙහි විශිෂ්ටත්වයක් ඔවුහු ලබා සිටිති.—1 කොරින්ති 4:17; 14:40; 1 පේතෘස් 2:9 සසඳන්න.
22. වෙනත් බැටළුවන්ගෙන් සමහරෙකුට දැන් භාරදූර වගකීම් දීම සුදුසු වනුයේ මන්ද, තව ද අප මෙයට ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේ ද?
22 පුරාණ කාලවල, පූජකයෝ හා ලෙවීවරු දිගට ම යුදෙව්වන් අතර සේවය කළහ. (යොහන් 1:19) කෙසේ වෙතත්, අද දින, පොළොව මත ආත්මික ඉශ්රායෙලයේ ඉතිරි කොටස දිගට ම අඩු වී යා යුතු ය. (යොහන් 3:30 හි වෙනස සසඳන්න.) අවසානයේ, මහා බබිලෝනියේ අභාවයෙන් පසු, ‘මුද්‍රා කරන ලද’ සියලු 1,44,000 දෙනා, බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය සඳහා ස්වර්ගයේ සිටිනු ඇත. (එළිදරව් 7:1-3; 19:1-8) එහෙත් දැන් වෙනත් බැටළුවන් දිගට ම වැඩි විය යුතු ය. නෙතිනිම්වරුන් හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් හා සැසඳිය හැකි, ඔවුන්ගෙන් සමහරෙකුට ආලේප ලත් ඉතිරි කොටසේ අධීක්ෂණය යටතේ බරපතළ වගකීම් පවරනු ලැබීම ඔවුන්ට ආඩම්බරවීමට හෝ තමා ව වැදගත් යයි සැලකීමට හේතුවක් නොවේ. (රෝම 12:3) දෙවියන් වහන්සේගේ ජනයා ‘මහත් පීඩා මැදින් එත්ම,’ එහි වෙනත් බැටළුවන් අතර පෙරමුණ ගැනීමට සූදානමින්, අත්දැකීම් ලත් මනුෂ්‍යයන්—“අධිපතීහු”—සිටිනු ඇති බවට නිශ්චිත භාවයක් ඉන් අපට ලබා දෙයි.—එළිදරව් 7:14; යෙසායා 32:1; සසඳන්න ක්‍රියා 6:2-7.
23. අප සියල්ලන් ම දෙවියන් වහන්සේගේ සේවය සම්බන්ධයෙන් දීමේ ස්වභාවයක් වර්ධනය කළ යුත්තේ මන්ද?
23 බබිලෝනියෙන් ආපසු පැමිණි සියල්ලෝ ම වෙහෙස වී වැඩ කර, එනයින් තමන් යෙහෝවඃ වහන්සේගේ නමස්කාරය සිය මනසේ හා හෘදයේ ප්‍රධාන කොට තැබූ බව සනාථ කිරීමට කැමැත්තෙන් සිටියහ. එය අද දවසේත් එසේ ම පවතී. ආලේප ලත් ඉතිරි කොටස සමඟ, “විදේශියෝ . . . [ඇත්ත වශයෙන් ම NW ] බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය [කෙරෙහි එඬේරකම් කරන්නෝ ය NW ].” (යෙසායා 61:5) එබැවින් දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද කිනම් බලාපොරොත්තුවක් අපට තිබුණත්, තව ද අර්මගෙදොන් හි යෙහෝවඃ වහන්සේගේ නිදොස් බව ඔප්පු කරන දිනට පෙර, ආත්මයෙන් පත්කරන ලද වැඩිමහල්ලන්ට කිනම් වැඩිමනත් වරප්‍රසාද දානය කරනු ලැබුවත්, අපි සියල්ලන් ම පරාර්ථකාමී, යහපත්, ත්‍යාගශීලී ස්වභාවයක් ගොඩනගා ගනිමු. යෙහෝවඃ වහන්සේගෙන් අප ලබන ශ්‍රේෂ්ඨ ප්රයෝජනවලට කිසිකලෙක උන් වහන්සේට ආපසු ගෙවීමට අපට නොහැකි වුවත්, උන් වහන්සේගේ සංවිධානය තුළ අප කරන්නා වූ ඕනෑ ම දෙයක් අපි පූර්ණ ආත්මයෙන් කරමු. (ගීතාවලිය 116:12-14; කොලොස්සි 3:23) “පොළොව කෙරෙහි රජුන් ලෙස පාලනය” කිරීමට නියම කරන ලද, ආලේප ලද්දවුන් සමඟ වෙනත් බැටළුවන් කිට්ටුවෙන් සේවය කරත් ම, මෙසේ අප සියල්ලන්ට ම අප ව සැබෑ නමස්කාරය සඳහා ඉදිරිපත් කළ හැකි ය.—එළිදරව් 5:9, 10. w92 4/15
[පාදසටහන්වල]
a පිටු 142-8; වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
වෙනස් වූ තත්ත්වයක්
වහල් භාවයෙන් හැරී පැමිණි ඊශ්‍රායෙල් නොවන සමහරෙක් අත්දුටු වෙනස්කම් ගැන බයිබල් ශබ්දකෝෂ හා විශ්වකෝෂ ගණනාවක් අදහස් දක්වයි. උදාහරණයක් වශයෙන්, “සිය තත්ත්වයේ වෙනසක්” යන තේමාව යටතේ, එන්සයික්ලෝපීඩියා බිබ්ලිකා පවසන්නේ මෙසේ ය: “දැනටමත් අඟවා ඇති පරිදි, ඔවුන්ගේ සමාජ තත්ත්වය ඒත් සමඟ ම නංවාලනු ලැබී ය. [නෙතිනිම්වරුන්] එම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තවදුරටත් වහලුන් වශයෙන් පෙනී සිටියේ නැත.” (චෙයින් හා බ්ලැක් විසින් සංස්කරණය කරන ලද, IIIවන වෙළුමේ, 3399 පිටුව) ද සයික්ලෝපීඩියා ඔෆ් බිබිලිකල් ලිට්රේච යන ග්‍රන්ථයේ, ජෝන් කිටෝ මෙසේ ලියයි: “ඔවුන්ගෙන් [නෙතිනිම්වරුන්] වැඩි දෙනෙක් පලස්තීනයේ මෙම පහත් ස්ථානයට හැරී එනු ඇතැයි අපේක්ෂා කළ යමක් නොවී ය . . . මේ අය විසින් මෙසේ පෙන්වන ලද ස්වේච්ඡා කැපවීම සැලකිය යුතු ලෙසින් නෙතිනිම්වරුන්ගේ තත්ත්වය වැඩි වර්ධනය කළේ ය.” (IIවන වෙළුම, 417 පිටුව) දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලෝපීඩියා දක්වන්නේ මෙසේයි: “මේ සම්බන්ධය හා සාලමොන්ගේ කාලයේ ඔවුන්ගේ පසුබිමේ සිට කරුණු හැදෑරීමේ දී, සාලමොන්ගේ සේවකයන්ට දෙවන දේව මාලිගාවේ සැලකිය යුතු වගකීම් තිබූ බව පිළිගත හැකි ය.”—ජී. ඩබ්. බ්රොම්ලෙයි විසින් සංස්කරණය කරන ලද, 4වන වෙළුම, 570 පිටුව.
Pictorial Archive (Near Eastern History) Est.
යෙරුසලම නැවත ගොඩනැගීමට ඊශ්‍රායෙල්වරු ආපසු පැමිණි විට, ඊශ්‍රායෙල් නොවන දහස් සංඛ්‍යාවක් ඔවුන් සමඟ පැමිණියෝ ය
මතක තබා ගැනීමට කරුණු
◻ පුරාණ ඊශ්‍රායෙලයේ ලෙවීවරුන් “දෙනලද්දෝ” වූයේ කුමන ආකාරයෙන් ද?
◻ වහල් භාවයෙන් ආපසු පැමිණියේ කුමනාකාරයේ ඊශ්‍රායෙල් නොවන ජනයෝ ද?
◻ නෙතිනිම්වරුන් සම්බන්ධයෙන් කිනම් වෙනස්කම් සිදු වූ බව පෙනේ ද?
◻ නෙතිනිම්වරුන් හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් සම්බන්ධයෙන් දැන් අගය කරනු ලබන සමාන්තරය කුමක් ද?
◻ ආලේප ලත් අය සහ වෙනත් බැටළුවන් අතර සහයෝගිතාවයෙන් උපදවනු ලබන්නේ කිනම් විශ්වාසයක් ද?
කොරියාවේ ශාඛා කමිටුව. පුරාණ නෙතිනිම්වරුන් කළාක් මෙන්, වෙනත් බැටළුවන්ට අයත් පුරුෂයන් හට අද දින සැබෑ නමස්කාරයේ භාරදූර වගකීම් තිබේ