තහනම යටතේ දී යෙහෝවඃ වහන්සේ අප ව රැකබලා ගත් සේක 2 කොටස
දෙවෙනි ලෝක යුද්ධ සමය අතරතුරේ දී, මගේ නාට්සි සොල්දාදුවාගේ නිල ඇඳුමේ වූ පටියේ ගාංචුවේ, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යන වැකිය කොටා තිබුණා. මෙය, මා හට, යුද්ධයේ සහ ලේ වැගිරීමට පල්ලි ක්‍රමය හවුල්වීමේ තවත් උදාහරණයක් පමණයි. එය මා හට බලවත් පිළිකුලක් වූවා. ඉතින්, නැගෙනහිර ජර්මනියේ ලිම්බෑක් ඔබාර්ෆ්රෝනා හි දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් මා සමඟ කථා බහ කළ අවස්ථාවේ, මා තුළ ආගම කෙරෙහි බලවත් අප්‍රසාදයක් තිබූ අතර, මා අදේවවාදියෙකු සහ පරිණාමවාදියෙකු බවට පත් ව තිබුණා.
“මා ක්රිස්තියානිවරයෙකු වේ ය කියා සිතන්නවත් එපා” කියා මා මෙම සාක්ෂිකරුවන්ට පැවසුවා. නමුත් ඔවුන්ගේ තර්කවලින් මට ඒත්තු ගියේ දෙවිකෙනෙකු සිටින බවයි. කුතුහලයට පත්වූ මා, බයිබලයක් මිලට ගෙන, ටික කලකින් ඔවුන් සමඟ එය පාඩම් කරන්නට පටන් ගත්තා. එය 1953 දී වසන්ත සමය වුණා, එය නැගෙනහිර ජර්මනියේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු තහනම් කොට අවුරුදු තුනක පමණ කාලයක් ගත වී තිබූ අවදියයි.
වර්ෂ 1953 අගෝස්තු 15දා ද වොච්ටවර් සඟරාවේ, එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ තත්ත්වය ගැන පවසමින් මෙසේ විස්තර කොට තිබුණා: “නිරතුරු ව ම ඔත්තු බැලීමට හා තර්ජනවලට භාජනය වුවද, තමන් පස්සේ කවුදෝ සෝදිසියෙන් සිටින බවට ස්ථිර නොවී, එකිනෙකා ව බැහැදැකීමට බැරි ව සිටිය ද, යමෙකු ළඟ වොච්ටවර් පොත් පත් තිබී සොයා ගනු ලැබුවහොත්, ඔහු ‘වැරදි දේට පොලඹවන පොත් පත් බෙදා දීම’ හේතුවෙන් වසර දෙකකට හෝ තුනකට සිර ගත කරනු ලැබීමේ අවදානමක් තිබුණ ද, වඩාත් මේරූ සහෝදරයන් සිය ගණනක්, එනම් පෙරමුණ ගෙන සිට තිබෙන අය සිර භාරයේ සිටිය ද, එහෙත්, නැගෙනහිර ජර්මනියේ යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ දිගට ම දේශනා කරමින් සිටිති.”
වර්ෂ 1955 දී, මගේ භාර්යාව, රෙජීනා සහ මම බටහිර ජර්මනියේ නියූරෙන්බර්ග් නුවර පැවති යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වුණා, ඊළඟ අවුරුද්දේ බටහිර බර්ලින් නුවර අප දෙදෙනා බව්තීස්මය ලැබුවා. ඒ ඇත්තෙන් ම, 1961 දී නැගෙනහිර ජර්මනිය, බටහිර බර්ලින් නුවරින් වෙන් කළා වූ බර්ලින් තාප්පය ඉදිවීමට පෙරාතුවයි. නමුත් මා බව්තීස්මය ලැබීමට පෙර පවා, යෙහෝවඃ වහන්සේ වෙත දැක්වූ පක්ෂපාතකම පරීක්ෂණයට භාජනය වුණා.
වගකීම භාර ගැනීම
අප පළමුවෙන් ම සම්බන්ධ වී සිටි, ලිම්බෑක් ඔබාර්ෆ්රෝනා සභාවට, බටහිර බර්ලින් නුවර සිට බයිබල් පොත් පත් රැගෙන ආ හැකි කෙනෙක් ව අවශ්‍ය වුණා. අපට කුඩා ව්‍යාපාරයක් තිබූ අතර, දරුවන් දෙදෙනෙකු සිටියා, නමුත් යෙහෝවඃ වහන්සේට සේවය කිරීම ඒ වන විටත් අපගේ ජීවිතයේ මූලික අරමුණ වී තිබුණා. අප අපගේ මෝටර් රථය, පොත් 60ක් සැඟවිය හැකි විදිහට වෙනස් කළා. පොත් පත් එහා මෙහා ගෙන යාම අවදානම් සහිත කර්තව්‍යයක් වුණා, නමුත්, යෙහෝවඃ වහන්සේ කෙරෙහි රඳා සිටින්නට එය මට උපකාර කළා.
නැගෙනහිර බර්ලින් සිට බටහිර ප්‍රදේශයට මෝටර් රථයකින් ගමන් කිරීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. නමුත් එය අපට කොහොම හරි කරන්නට හැකි වීම ගැන මා පුදුම වෙනවා. එක් වතාවක්, නිදහස තිබෙන ප්‍රදේශය තුළ පොත් පත් එකතු කර ගත් අප, නැගෙනහිර ජර්මනියට ආපසු යාමට පෙර එම පොත් පත් මෝටර් රථය තුළ සැඟෙව්වා.
එක් අවස්ථාවක දී, අප පොත් සඟවා අහවර වුණා විතරයි, එක්තරා අමුත්තෙක් යා බද නිවසකින් පිටතට පැමිණියා. “එයි, මේ” ඔහු ගිගුරුවේ ය. මගේ හදවත නැවතුණා සේ ය. ඔහු අප ව නිරීක්ෂණය කරමින් සිටියා ද? “ඊළඟ වතාවේ දී වෙන කොහේ හරි යන එක හොඳයි. නැගෙනහිර ජර්මනියේ පොලිස් රේඩියෝ කාරෙක අර කෙළවරේ නතර කර තිබෙනවා. ඒ අය ඔබලා ව අල්ලා ගනීවි.” මම සැනසුම් සුසුමක් පිට කළා. දේශ සීමා ව පසුකර යාම හොඳින් කරනු ලැබුවා. මෝටර් රථයේ සිටි අපි හතර දෙනා ආපසු එන ගමනේ ගීතිකා ගැයුවා.
හුදෙකලාවට සූදානම් වීම
එක්දහස් නවසිය පනස් ගණන්වල, නැගෙනහිර ජර්මනියේ සිටි අය, පොත් පත් සහ මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා බටහිර සිටි අය වෙත රඳා සිටියා. නමුත්, 1960 දී මේ තත්ත්වයේ වෙනසක් ඇති වුණා, එනම්, නැගෙනහිර ජර්මනියේ සිටි සෑම සාක්ෂිකරුවෙකුට ම තම තමන්ගේ ප්‍රදේශයේ සිටි සෙසු සාක්ෂිකරුවන් සමඟ සමීප සම්බන්ධතාවයක් තබා ගැනීමට උපකාරී වූ අවස්ථාවක් උදා වුණා. ඊළඟට 1961 ජූනි මාසයේ දී, වැඩිමහල්ලන් සඳහා වූ පළමු රාජ්‍යය සේවා පාසල බර්ලින් නුවර දී පවත්වනු ලැබුවා. සති හතරක මෙම පළමු පාඨමාලාවට මා සහභාගි වුණා. යන්තම් සති හයක් ගත වුණා පමණයි, බර්ලින් තාප්පය ඉදි කෙරුණු අවස්ථාවේ දී, හදිසියෙන් ම අප ව බටහිර සම්බන්ධතාවලින් කපා දමනු ලැබුවා. අපගේ වැඩය දැන් තහනම මැද පමණක් නොවෙයි, හුදෙකලාවේ කරගෙන යන්න අපට සිදු වුණා.
නැගෙනහිර ජර්මනියේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු ටිකෙන් ටික අඩපණ වී ගොස් සම්පූර්ණයෙන් ම නතර වෙයි කියා සමහරුන් තුළ භයක් තිබුණා. කෙසේ වෙතත්, අවුරුද්දකට වඩා වැඩි කලකට ඉහත දී කරන ලද සංවිධාන සකස් කිරීම්, ආත්මික එක්සත්කම හා ශක්තිය පවත්වා ගන්නට අපට උපකාරවත් වුණා. මීට අමතර ව, රාජ්‍යය සේවා පාසලේ පළමු පංතියට සහභාගි වූ වැඩිමහල්ලන් විසින් ලබා ගත්තා වූ පුහුණුව, වෙනත් වැඩිමහල්ලන්ට ලබා දෙන්නට මෙම පුහුණුව ඔවුන්ට හොඳින් ප්‍රයෝජනවත් වුණා. එමනිසා, 1949 දී දිස්ත්‍රික්ක සමුළු සමඟ 1950 දී පනවනු ලැබූ තහනමට යෙහෝවඃ වහන්සේ අප ව සූදානම් කළාක් මෙන්, උන් වහන්සේ අප ව මෙම හුදෙකලා වීමට ද සූදානම් කළා.
බටහිර සම්බන්ධතා කපා හරිනු ලැබීමත් සමඟ ම, සංවිධානය ඉදිරියට ගෙන යාම සඳහා, මූලික පියවරවල් ගැනීමට අපට තිබුණු බව පැහැදිලි වුණා. බටහිර බර්ලින් හි සිටි ක්‍රිස්තියානි සහෝදරයන්ට ලියූ අප, බටහිර සිට සංචාරකයන්ට පැමිණිය හැකි නැගෙනහිර පෙදෙසේ පිහිටි මහා මාර්ගයක හමුවීමක් යෝජනා කළා. නියමිත ස්ථානයේ දී, අපි වාහනවල අබලන් වූ බවක් මවා පෑවා. මිනිත්තු කිහිපයකට පසු ව, වාහනවලින් පැමිණි අපගේ සහෝදරයන් බයිබල් පොත් පත් අප වෙත ගෙන ආවා. මගේ රාජ්‍යය සේවා පාසල් අත්පොත, මා අරගෙන තිබූ සටහන්, සහ ආරක්ෂක හේතු නිසා මා බර්ලින් නුවර තබා ඇවිත් තිබූ බයිබලය ඔවුන් විසින් ගෙන ඇවිත් තිබීම සන්තෝෂයට කරුණක් වුණා. ඒවා ආපසු ලබා ගැනීමට හැකි වීම මොනතරම් සතුටක් ද! මීළඟ අවුරුදු කිහිපය තුළ මේ දේවල් මා හට මොනතරම් අවශ්‍ය වනු ඇති ද කියා මා එතරම් දැනගෙන සිටියේ නැහැ.
තහනම් පාසලක්
දින කිහිපයකට පසු ව, නැගෙනහිර ජර්මනියේ සියලු ම පෙදෙස්වල රාජ්‍යය සේවා පාසලේ පංති පැවැත්වීම සඳහා විධිවිධාන යොදන ලෙස අපට උපදෙස් ලැබුණා. මා ඇතුළු, උපදේශකයන් හතර දෙනෙකු ව පත් කරනු ලැබුවා. නමුත්, මට නම් පෙනී ගියේ, අපගේ වැඩ තහනම යටතේ තිබෙන අතරේදී සියලු ම වැඩිමහල්ලන් ව පුහුණු කිරීම කළ නොහැකි අති මහත් කාර්යයක් විලසයි. අප කරන දේ හඳුනා ගැනීමට බැරි වන ලෙස, නිවාඩුවක් ගත කරන කඳවුරක් ලෙස අපගේ කටයුතු සූදානම් කරන්නට මා තීරණය කළා.
සෑම පංතියකට ම සිසුන් හතර දෙනෙක් සිටි අතර, මා උපදේශක වශයෙන් සේවය කළා, අරක්කැමියා වශයෙන් සේවය කළ සහෝදරයා හයවැනියා වුණා. භාර්යාවන් සහ දරුවන් ද සිටියා. ඒ නිසා සාමාන්‍යයෙන් පුද්ගලයන් 15 සිට 20 දක්වා සංඛ්‍යාවක කණ්ඩායමක් අපට සිටියා. සාමාන්‍යයෙන් කුඩාරම් ගැසූ බිම් ප්‍රදේශයක් පාවිච්චි කළ නොහැකි තරම් ය. ඒ නිසා මගේ පවුල සහ මම සුදුසු ස්ථාන සොයා ගැනීමේ අදහසින් පිටත් ව ගියා.
එක් අවස්ථාවක දී, එක්තරා ගම්මානයක් හරහා ගමන් කරන විට, ප්‍රධාන පාරෙන් කැලෑ රොදකට යන කුඩා අතුපාරක් දුටුවා. එය කදිම තැනක් බැව් පෙනෙන්ට තිබූ නිසා, මම ගම්මුලාදෑනියා හමුවෙන්ට ගියා: “වෙනත් පවුල් කිහිපයක් සමඟ සති කිහිපයක් ගත කරන්නට පුළුවන් තැනක් අප සොයනවා, අපගේ දරුවන්ට එහෙ මෙහෙ දුව පැන සෙල්ලම් කරන්නට හැකි වන විදිහට අපට ටිකක් නිදහසේ ඉන්න අවශ්‍යයි. අර තිබෙන කැලෑ රොද අපට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ද?” ඔහු එකඟ වුණා. එමනිසා අප ඒ සඳහා විධිවිධාන යෙදුවා.
ඒ බිමේ දී, පිටතට නොපෙනෙන සේ සඟවා තිබෙන පරිදි, හතරැස් මිදුලක් සෑදෙන ලෙස මා කූඩාරම් ගසා මගේ ට්‍රේලරය සකස් කර ගත්තා. ට්‍රේලරය අපගේ පංති කාමරය ලෙස යොදා ගැණුනා. දවසකට පැය 8 බැගින් දවස් 14ක් තිස්සේ අප දැඩි අධ්‍යයනයක් කළා. කොටු කර තිබූ කොටසේ පුටු සහ මේසයක් තිබුණා, ඒ හදිසියේ අනපේක්ෂිත අමුත්තන් ආවොත්, ඔවුන් සඳහයි. ඇත්තෙන් ම අමුත්තන් ආවා! එවැනි වේලාවල අපගේ පවුල්වලින් ලැබුණු ප්‍රේමනීය සහයෝගය අප ඇත්තෙන් ම අගය කළා.
අප පංති පවත්වන අතරතුරේ දී, අපගේ පවුල්වල උදවිය ආරක්ෂාවට සිටියා. මේ විශේෂ අවස්ථාවේ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශිය ලේකම් ද වූ ගම්මුලාදෑනියා කුඩා පාර දිගේ කැලෑ රොද වෙතට එනවා දක්නට ලැබුණා. ආරක්ෂාවට සිටි උදවිය, ට්‍රේලරය තුළ අනතුරු අඟවන නලාවට සවි කර තිබූ කේබලයේ යතුරක් එබුවා. සැනෙකින් ට්‍රේලරයෙන් එළියට පැන ගත් අප, මේසය වටේ කලින් පිළියෙළ කොට තිබු තැන්වලට විත්, කාඩ් සෙල්ලම් කරන්නට පටන් ගත්තා. මේ දර්ශනය ඇත්තට ම සිදුවන එකක් බව පෙන්වීම සඳහා ෂ්නැප්ස් (ජින් වර්ගයක්) බෝතලයක් පවා තිබුණා. මිත්‍රශීලී අයුරකින් අප ව බැහැදුටු ගම්මුලාදෑනියා, ඇත්තට ම සිදුවෙමින් තිබූ දෙය ගැන කිසිදු සැකයක් නොකොට ආපසු නිවස බලා ගියා.
වර්ෂ 1962කේ වසන්ත සමයේ සිට 1965 අග භාගය දක්වා කාලය අතරතුර, රට පුරා ම රාජ්‍යය සේවා පාසල් පැවැත්වුණා. නැගෙනහිර ජර්මනියේ අප මුහුණ දෙන මෙම විශේෂ තත්ත්වය පිළිබඳ ව කටයුතු කරන ආකාරය ඇතුළු ව එහි ලබා ගන්නා ලද දැඩි පුහුණුව, දේශනා වැඩය අධීක්ෂණය කිරීමට වැඩිමහල්ලන් ව සූදානම් කළා. පංතිවලට සහභාගි වනු සඳහා, වැඩිමහල්ලන් තමන්ගේ නිවාඩු ගැනීම් පරිත්‍යාග කළා පමණක් නොව, නමුත් සිරගත කරනු ලැබීමේ අවදානමට ද මුහුණ පෑවා.
පාසලෙන් ලත් ප්‍රයෝජන
අධිකාරින් අපගේ වැඩ කටයුතු ප්‍රවේසමෙන් යුතු ව නිරීක්ෂණය කරමින් සිටියා, ඇරත් 1965 අගභාගයේ දී වැඩිමහල්ලන්ගෙන් බොහෝ දෙනෙකු පාසල තුළින් පුහුණුව ලැබ සිටියායින් පසු ව, ඔවුන් අපගේ සංවිධානයට මාරාන්තික පහරක් එල්ල කරන්නට තැත් කළා. වැඩය තුළ පෙරමුණ ගනිමින් සිටිය බවට සලකනු ලැබූ සාක්ෂිකරුවන් 15 දෙනෙකු ව ඔවුන් විසින් අත්අඩංගුවට ගැණුනා. එය දේශය පීරා යමින්, හොඳින් සැලසුම් ඇතුව කරන ලද්දක්. යළිත් බොහෝ අය සිතුවේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් නවතිනු ඇති බවයි. නමුත් යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇතුව තත්ත්වය සකස් කර ගත් අප, පෙර දී කළාක් මෙන් අපගේ වැඩ කටයුතු කරගෙන ගියා.
විශේෂයෙන් ම මෙය කරන්නට හැකි වූයේ, රාජ්‍යය සේවා පාසලෙන් වැඩිමහල්ලන් විසින් ලබා ගෙන තිබූ පුහුණුව සහ පංති පැවැත්වෙන කාලය අතරතුරේ දී, ආශ්‍රය තුළින් ඔවුන් අතර නොකැඩෙන සේ ගොඩ නැගී තිබූ විශ්වාසයේ බැම්ම නිසයි. මේ අයුරින්, සංවිධානය එහි ශක්තිය පෙන්වූවා. අප සංවිධානයේ උපදෙස් කීකරු ලෙස ඉතා ළඟින් අනුගමනය කර තිබීම මොනතරම් වැදගත් දෙයක් වුණා ද!—යෙසායා 48:17.
ඊළඟ මාස කිහිපයේ දී, ආණ්ඩුවේ අධිකාරින් විසින් අප වෙත පමුණුවන ලද තද බල තහංචි නිසා අපගේ කටයුතුවලට වූ අහිතකර බලපෑම සුළු එකක් වූ බව පෙනෙන්ට තිබුණා. ටික කලකට පසු, රාජ්‍යය සේවා පාසල නැවතත් පටන් ගැනීමට අපට හැකි වුණා. අප ව සම්පූර්ණයෙන් ම යටපත් කරන්නට බැරි බව තේරුම් ගත් අධිකාරින්ට ඔවුන්ගේ උපක්‍රම වෙනස් කරන්නට සිදු වුණා. යෙහෝවඃ වහන්සේ උදෙසා මොනතරම් ජයග්‍රහණයක් ද!
දේව සේවය තුළ ක්‍රියාශීලී වී
ඒ කාලයේ දී, අපගේ සභා පොත් පාඩම් කණ්ඩායම් සමන්විත වුණේ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් විතර. අප සෑම කෙනෙක් ම බයිබල් පොත් පත් ලබා ගත්තේ මේ පොත් පාඩම් විධිවිධානය තුළින්. ඒ වගේ ම දේශනා වැඩය සම්බන්ධීකරණය කරනු ලැබුවේ ද මේ කුඩා පාඩම් කණ්ඩායම්වලින්. බයිබලය පාඩම් කිරීමට ආශා කළා වූ බොහෝ දෙනෙකු ව මුණ ගස්වා දීමෙන් යෙහෝවඃ වහන්සේ ආරම්භයේ පටන් මටත් රෙජිනාටත් ආශීර්වාද කළා.
අප ව උකුසු ඇසකට හසු වී අත්අඩංගුවට ගැනීමෙන් ආරක්ෂා වීම සඳහා අප ගෙයින් ගෙට සේවය තත්ත්වය අනුව සකස් කර ගත්තා. අප එක් තැනක පිහිටි නිවසකට යනවා, ඉන් පසු, ගෙවල් කිහිපයක් පසු කර ගොස් වෙනත් නිවසකට කථා කරනවා. එක් නිවසක දී, එක් කාන්තාවක් රෙජිනාටත් මටත් ඇගේ නිවස තුළට ආරාධනා කළා. අප ශුද්ධ ලියවිලිමය තේමාවක් ගැන ඈ සමඟ කථා කරමින් සිටින විට, ඇගේ පුතා කාමරයට ආවා. ඔහු කෙළින් ම දේවල් පවසන කෙනෙක්.
“ඔබ කවදා හෝ ඔබේ දෙවියන් වහන්සේ ව දැක තිබෙනවා ද?” ඔහු ඇසුවා. “මම ඔයගොල්ලන්ට එක් දෙයක් කියන්නම්. මම නම් විශ්වාස කරන්නේ මට පෙනෙන දේ පමණයි, අනෙක් හැම දෙයක් ම විකාර.”
“මට එය විශ්වාස කරන්න බැහැ.” මම පිළිතුරු දුන්නා. “ඔබ කවදා හෝ ඔබේ මොළය දැක තිබෙනවා ද? ඔබ කරන හැම දෙයකින් ම පේන්නේ ඔබට එහෙම දෙයක් තිබෙන බවයි.”
විදුලිබලය වගේ අපට නොපෙනෙන නමුත් පවතින බවට අප පිළිගන්නා දේවල් පිළිබඳ උදාහරණ කිහිපයක් රෙජිනා සහ මම, ඔහු වෙත ඉදිරිපත් කළා. මේ තරුණයා සාවධාන ව සවන් දුන්නා, ඉන් පසු ඔහු සහ ඔහුගේ මව අප සමඟ බයිබල් පාඩමක් පටන් ගත්තා. ඔවුන් දෙදෙනා ම සාක්ෂිකරුවන් බවට පත්වුණා. ඇත්තෙන් ම, මගේ භාර්යාව සහ මා පාඩම් කළ පුද්ගලයන්ගෙන් 14 දෙනෙක් ම සාක්ෂිකරුවන් බවට පත් වුණා. එම සංඛ්‍යාවෙන් අඩක් ම අපට මුණ ගැසුණේ ගෙයින් ගෙට බැහැදැකීම්වල දී, අනෙක් අඩ අප මුලින් ම අනියම් සාක්ෂි දරන විට හමුවුනු අය.
නිවාස බයිබල් පාඩමක් පටන් ගත් වහා ම, එය නිති පතා කරගෙන යනවාත් සමඟ ම, මෙම පුද්ගලයා විශ්වාස කටයුතු කෙනෙකු බවට අප සැලකු විට, අප ඒ තැනැත්තාට අපගේ රැස්වීම්වලට පැමිණෙන ලෙස ආරාධනා කළා. කෙසේ වෙතත්, මූලික සැලකිල්ල යොමු වුණේ, එම ශිෂ්‍යයා, දෙවියන් වහන්සේගේ සෙනඟගේ ආරක්ෂාවට යම් කිසි අනතුරක් කරාවි ද යන්න ගැනයි. මේ අයුරින්, සමහර අවස්ථාවල දී, බයිබල් ශිෂ්‍යයෙකුට අප විසින් රැස්වීම්වලට ආරාධනා කිරීමට පෙර, අවුරුද්දක් හෝ එවැනි කාලයක් ගත වුණා. එක් අවස්ථාවක දී, ඊටත් වඩා බොහෝ කලක් ගත වුණා. ප්‍රදේශයේ යම් පිළිගැනීමක් තිබූ ප්‍රධාන පෙලේ පුද්ගලයෙකු ගැන මට මතකයි; ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ නිළධාරින් සමඟ කිට්ටු සම්බන්ධයක් තිබූ කෙනෙක්. ඔහුට අපගේ රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙනු ලැබීමට පෙර, ඔහු අවුරුදු නවයක් තිස්සේ බයිබල් පාඩමක් කළා! අද දින එම මිනිසා අපගේ ක්‍රිස්තියානි සහෝදරයෙක්.
අධිකාරින් තවමත් අප ව ලුහුබඳිමින්
වර්ෂ 1965න් පසු ව අප තවදුරටත් විශාල වශයෙන් අත් අඩංගුවට ගැනීම්වලට භාජනය වූයේ නැහැ, නමුත් අපට කරදරයක් නැති ව සිටින්නට ලැබුණෙත් නැහැ. තවමත් අධිකාරින්ගේ උකුසු ඇස අප වෙත එල්ල වී තිබුණා. මේ කාලය වන විට පමණ, අපගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය සමඟ මා ළඟින් ඇලී ගැලී කටයුතු කළා,. ඒ නිසා මා නිලධාරින්ගේ විශේෂ අවධානයට ලක් වුණා. කිහිප වතාවක් ම ඔවුන් මා ව අල්ලා ගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් මගෙන් ප්‍රශ්න කළා. “නුඹේ නිදහසට දැන් නුඹට ආයුබෝවන් කීව හැකි” යයි ඔවුන් පැවසුවා. “දැන් නුඹට සිරගෙට යන්නයි වෙන්නේ.” නමුත් සෑම වතාවක දී ම අවසානයේ දී ඔවුන් මට යන්නට ඉඩ හැරියා.
වර්ෂ 1972 දී, නිලධාරින් දෙදෙනෙක් මා වෙතට පැමිණ, නොදැනුවත් ම වාගේ අපගේ සංවිධානයට කදිම ගෞරවයක් පිරිනැමුවා. අපගේ සභාවේ මුරටැඹ පාඩමට ඔවුන් හොරෙන් සවන් දී සිට තිබුණා. “මේ ලිපි හරි පහර දෙන සුලුයි කියලා අපට තේරෙනවා.” ඔවුන් දැඩි විරෝධයක් පළ කළා. පෙනෙන විදිහට ඔවුන් සැලකිලිමත් වෙලා සිටියේ වෙනත් අය එම සාකච්ඡා කරමින් සිටි ලිපිය කියෙව්වොත් කොමියුනිස්ට් වාදය ගැන ඔවුන් කුමක් සිතාවි ද යන්න ගැනයි. “අනෙක් හැම දේට ම වඩා, මුරටැඹ සඟරාවේ පිටපත් මිලියන පහක් හෝ හයක් පමණ බෙදා හරිනු ලබනවානේ. අනෙක, දියුණු වෙමින් පවතින රටවල අයත් මෙය කියවනවා. ඒක නිකම් ම බාල ගණයේ පත්තරයක් නොවෙයි.” ‘ඔබ කියන දේ මොනතරම් ඇත්ත ද!’ මම මට ම කියා ගත්තා.
වර්ෂ 1972වන විට, අවුරුදු 22කට අපගේ වැඩ තහනම් වී තිබුණා, ඒ වගේ ම යෙහෝවඃ වහන්සේ ප්‍රේමනීය ව හා ප්‍රඥාවන්ත ලෙස අපට මඟ පෙන්වා තිබුණා. අප උන් වහන්සේගේ උපදෙස් ඉතා ප්‍රවේසමෙන් අනුගමනය කොට තිබුණා, නමුත් නැගෙනහිර ජර්මනියේ සාක්ෂිකරුවන්ට නීත්‍යානුකූල පිළිගැනීම ලබා ගැනීමට පෙර තව අවුරුදු 18ක් ගත වෙන්නට තිබුණා. අපගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීම සඳහා අප දැන් භුක්ති විඳින නිදහස මොනතරම් පුදුමාකාර ද, එමෙන් ම අප ඒ ගැන මොනතරම් කෘතඥ විය යුතු ද!—හෙල්මුට් මාටින් විසින් පවසන ලදි. w92 5/1