තහනම යටතේ දී, යෙහෝවඃ වහන්සේ අප ව රැකබලා ගත් සේක 1 කොටස
වර්ෂ 1944 දී මම, ස්කොට්ලන්තයේ අයිර් අසල, කම්නොක් කඳවුරේ වෛද්‍ය උපස්ථායකයෙකු ලෙස වැඩ කළ, ජර්මානු යුද්ධ සිරකරුවෙක් ව සිටියා. පළාතේ ජනයා සමඟ ඇසුර සීමා කරනු ලැබූව ද, මට කඳවුරෙන් පිටතට යාමට අවසර ලැබී තිබුණා. එක් ඉරුදිනක විවේකී ව ඇවිදිමින් සිටිය දී, බයිබලයෙන් මට කාරණා පහදා දීමට අවංක වෑයමක් දරමින් සිටි මිනිසෙකු මුණ ගැසුණා. එතැන් පටන් අප නිතර එකට එකතු වී සක්මන් කරන්නට පටන් ගත්තා.
කලක් ගත වුණාට පසු ව, ගෙයක රැස්වීමකට ඔහු මට ආරාධනා කළා. මා සතුරු ජාතියක සාමාජිකයෙක් වූ නිසා, එය ඔහුගේ පැත්තෙන් අනතුරු දායක දෙයක් වුණා. ඒ අවස්ථාවේ ඔහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් බවත්, පැහැදිලි ව ම එම රැස්වීම ඔවුන්ගේ කුඩා බයිබල් පාඩම් රැස්වීමක් බවත් මට වැටහුණේ නැහැ. දේවල් එතරම් තේරුම් නොගිය ද, සිංහයෙකු හා බැටළු පැටවෙකු සමඟ දිග සුදු වස්ත්‍රයක් ඇඳගත් දරුවෙකුගේ චිත්‍රයක් මට හොඳට මතකයි. බයිබලයේ යෙසායාගේ පොතේ විස්තර කර ඇති ආකාරයට, නව ලෝකය පිළිබඳ මෙම චිත්‍රය, මගේ සිතට තදින් කාවැදුණා.
වර්ෂ 1947 දෙසැම්බර්යේ දී, මා ව සිර කඳවුරෙන් නිදහස් කරනු ලැබුවා. ජර්මනියට ආපසු පැමිණීමෙන් පසු, යුද්ධයට පෙර මා දැන හඳුනාගෙන සිටි මාගිට් සමඟ මා විවාහ වුණා. අප පදිංචියට ගියේ, පෝලන්ත හා චෙකොස්ලෝවේකියා දේශ සීමා අසල, සිට්ටව් ප්රදේශයටයි. ඉන් දින කිහිපයක් ඇතුළත, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් අපේ දොරට තට්ටු කළා. “මේ අය ස්කොට්ලන්තයේ දී මට හමු වූ කණ්ඩායම ම නම්, අපට ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා” යයි මා මගේ බිරිඳට පැවසුවා. ඒ සතියේ ම, සාක්ෂිකරුවන් සමඟ අපේ පළමුවන රැස්වීමට අප සහභාගි වුණා.
වැඩි කලක් යන්නට මත්තෙන් අප බයිබලයෙන් ඉගෙන ගත්තේ, නිති පතා රැස්වීම්වලට සහභාගි වීමේ හා දේශනා කිරීමේ වැඩයෙහි සහභාගි වීමේ අවශ්‍යතාවයයි. ඇත්ත වශයෙන් ම, සාක්ෂිකරුවන් බයිබලයෙන් ඉගැන්වූ දෙය, අපගේ ජීවිතවල වඩාත් ම වැදගත් දෙය බවට පත්වන්නට වැඩි කලක් ගත වුණේ නැහැ. ඉන් පසු කණ්ඩායමකට බයිබල් පාඩමක් පවත්වන්නට මං පටන් ගත්තා. ඊළඟට, 1950 පෙබරවාරියේ, සංචාරක අවේක්ෂකයන් දෙදෙනෙක්: “ඔබට කවදාවත් බව්තීස්ම ලැබීමට වුවමනාවක් නැද්ද?” කියා මගෙන් ඇසුවා. එදින සවස් වරුවේ ම මාගිට් සහ මා, බව්තීස්මයෙන් අපගේ කැපවීම දෙවියන් වහන්සේට සංකේතවත් කළා.
කරදරවල ආරම්භය
සිට්ටව් කියන්නේ ජර්මනියේ සෝවියට් කලාපයේ පිහිටා තිබු ප්‍රදේශයක්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට හිරිහැර කිරීමට දැරූ වෑයම පටන් ගත්තේ 1949 දීයි. බව්ට්සෙන් හි කුඩා එක්රැස්වීමක් පැවැත්වීමට පහසුකම් සලසා ගත්තේ ඉමහත් දුෂ්කරතා ගණනාවකට මුහුණ දීමෙන් පසුවයි. අනතුරුව, ග්‍රීෂ්ම ඍතුවේ, බර්ලීනයේ පැවැත්වීමට නියමිත ව තිබූ වඩා විශාල දිස්ත්‍රික්ක සමුළුව සඳහා යොදනු ලබන විශේෂ දුම්රිය සේවය හදිසියෙන් ම අවලංගු කෙරුණා. එහෙත් දහස් ගණනක් එයට පැමිණියා.
සභා රැස්වීම්වලට පවා කරදර පැමුණුණා. හිරිහැර කරන්නන් ඒවාට සහභාගි වුණේ, නිකම් කෑකෝ ගසා විසිල් කරන්නට පමණයි. එක් අවස්ථාවක සංචාරක අවේක්ෂකයෙකුගේ කථාවක් තව ටිකකින් නවත්වන තරමට අපට බලපෑම් එල්ල වුණා. මුද්‍රණාලයන් අප ව හැඳින්වූයේ අප විනාශයේ දිවැස්වරුන් කියායි. අප කඳු මුදුන්වල රැස්වී වළාකුල්වලින් ගසාගෙන යන තුරු බලා සිටින බව පවා පුවත්පත්වල ලිපි පළ වුණා. සාක්ෂිකරුවන් තමන් සමඟ දුරාචාරයේ යෙදෙන්නට වෑයම් කළේ යයි ඇතැම් ගැහැණු ළමුන් කියා සිටිනවා යනුවෙනුත් පුවත්පත්වල උපුටා දක්වා තිබුණා. ‘යෙහෝවඃ වහන්සේට කැපවීමක් කරන අය සදාකාල ජීවිතය ලබති’ යන ප්රකාශනය, සාක්ෂිකරුවන් සමඟ ලිංගික ක්‍රියාවන්හි නිරත වන අය සදාකාල ජීවිතය ලබන බව කියැවෙන ලෙසට විකෘති කර තිබුණා.
යුද්ධයට පොලඹවන්නන් හැටියට ද පසු ව අපට චෝදනා එල්ල වුණා. අර්මගෙදොන් හි දෙවියන් වහන්සේගේ යුද්ධය සම්බන්ධයෙන් අප පැවසූ දෙය, අප අවි තරඟයට හා යුද්ධයට අනුබල දුන් බවට වරදවා තේරුම් කර දෙනු ලැබුවා. මොනතරම් පිස්සුවක් ද! ඒ කෙසේ වෙතත්, 1950 අගෝස්තු මාසයේ, මා මුද්‍රණ ශිල්පියෙක් ලෙස සේවය කළ පළාතේ ප්රවෘත්ති පත්‍ර සමාගමේ රාත්‍රි වැඩමුරයක් සඳහා මා පැමිණි විට, එහි ගේට්ටුව අසල දී මා ව නවතනු ලැබුවා. පොලිසියත් සමඟ එතැන සිටි මුරකරුවා, “ඔබ ව සේවයෙන් පහ කර තිබෙනවා. ඔබේ මිනිස්සු යුද්ධයට උදව් කරනවා” කියා පවසුවා.
ගෙදර පැමිණි විට, එය මාගිට්ට සැනසීමක් වුණා. “මීට පස්සේ රෑ වැඩ නැහැ” ඇය කීවා. අප කනස්සල්ලට පත් වුණේ නැහැ. ඉක්මනින් ම මම වෙනත් රැකියාවක් සොයා ගත්තා. සැපයීම සම්බන්ධයෙන් අප දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවා, උන් වහන්සේ එසේ කළා.
අපගේ වැඩ තහනම් වෙයි
වර්ෂ 1950, අගෝස්තු 31, ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කටයුතු තහනම් කරනු ලැබුවා. ඒත් සමඟ ම අත්අඩංගුවට ගැනීම් දිගට ම සිදුවුණා. සාක්ෂිකරුවන් නඩු විභාගයන්ට ලක් වුණා, සමහරෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුවා. නාට්සිවරුන් යටතේ දේශපාලන සිරකඳවුරුවල පීඩා විඳි, සිට්ටව් හි දෙදෙනෙක්, කොමියුනිස්ට් වාදීන් විසින් හිර ගත කරනු ලැබුවා.
අපගේ සභාව අවේක්ෂණය කළ තැනැත්තා ව ඔහුගේ භාර්යාව සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ව අත්අඩංගුවට ගත් අය, ඔවුන්ගේ යෞවන දරුවන් දෙදෙනා ව තනිකර දමා ගියේ, තමන්ට ම ජීවිකාව සලසා ගන්නට වෙන තත්ත්වයකට ඔවුන් ව දමමිනුයි. ඔවුන්ගේ ආච්චි හා සීයා එම දරුවන් රැගෙන ගියෙන්, අද දින එම දැරියන් දෙදෙනා දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ව අන්‍යයන්ට කීමෙහි කඩිසර ව නියැලී සිටිනවා.
නැගෙනහිර ජර්මනියේ සභාවන්ගෙන් පැමිණි ගමනේ නියැලි සේවකයන්, නිදහස් බටහිර කොටසේ පිහිටි ප්‍රකාශන ලබා ගත හැකි තැන්වලින් ඒවා ලබා ගැනීමට බර්ලිනය වෙතට හා ඉන් ඉවතට ගමන් කරන්නට වුණා. එසේ සභාවන්හි ගමන් කළ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ, උසාවියට පමුණුවනු ලැබ, සිරගත කරනු ලැබුවා.
බලධාරීන් එක් හිමිදිරි උදෑසනක අපගේ නිවසට පැමිණියේ එය පරීක්ෂා කිරීමටයි. අපි ඔවුන්ගේ පැමිණීම කලින් බලාපොරොත්තුවෙන් සිටියා. ඒ නිසා මම, මා ළඟ තිබූ සභා වාර්තාවන් සියල්ල, දෙබර කූඩුවකට ආසන්න ව අපගේ අටුවේ තැන්පත් කර තිබුණා. එම කෘමීන් කිසිවිටෙක මට කරදරයක් නොකළ ද, එම මිනිසුන් ඒ අවට අවුස්සා සැරිසරමින් සිටි විට, දෙබරු රංචුවක් හදිසියේ ම ඇවිත් ඔවුන් ව වටකරගත්තා. ඔවුන්ට කළ හැකි එක ම දෙය වූයේ ආරක්ෂාව පිණිස දිවීම පමණයි!
යෙහෝවඃ වහන්සේ අප ව තහනම සඳහා සූදානම් කර තිබුණේ, 1949 පවත්වන ලද සමුළු මාර්ගයෙනුයි. පුද්ගලික පාඩම, රැස්වීම්වලට පැමිණීම, මෙන් ම අපගේ දේශනා ක්‍රියාවලිය වේගවත් කරන ලෙසත්, එසේ ම අනුබලය හා දිරිගැන්වීම පිණිස එකිනෙකා කෙරෙහි රැඳී සිටින ලෙසත් එම වැඩසටහනෙන් උනන්දු කර තිබුණි. ඇත්ත වශයෙන් ම පක්ෂපාතී ව සිටීමට මෙය අපට උපකාර කළා. මෙසේ, මිනිසුන් නිතර අප ව විවේචනය කර අපට ශාප කළ ද, අප ඒ ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.
තහනම යටතේ රැස්වීම් පැවැත්වීම
තහනම ගැන නිවේදනය කිරීමත් සමඟ, අපගේ සභා රැස්වීම් දිගට ම පැවැත්විය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට මං සෙසු සාක්ෂිකරුවන් දෙදෙනෙක් මුණ ගැසුණා. රැස්වීමකට පැමිණ සිටිය දී, අත්අඩංගුවට ගනු ලැබුවහොත් එය සිරගත කරනු ලැබිය හැකි නිසා, පැමිණීම අන්තරාදායක දෙයක් වුණා. අපි අපගේ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් හමු වුණා. සමහරෙක් කනස්සල්ලෙන් පසු වුනත්, සෑම කෙනෙක් ම රැස්වීම්වලට පැමිණීමේ අවශ්‍යතාව පිළිගැනීම, දිරිගැන්වීමකට හේතු වුණා.
අටුවක් අයිති ව තිබූ උනන්දුව දැක්වූ තැනැත්තෙක් රැස්වීම් පවත්වන තැනක් ලෙස පාවිච්චි කිරීමට එය අපට ලබා දුන්නා. එය සියල්ලන්ට පෙනෙන පරිදි, එළිමහන් පිටියක පිහිටා තිබුණ ද, එම අටුවට, පඳුරුවලින් වැසී තිබූ කුඩා පාරකට විවෘත වන සේ පසුපසින් කුඩා දොරක් තිබුණා. එබැවින් අපගේ පැමිණීම හා පිටවී යාම කිසිවෙකු දැක්කේ නැහැ. මුළු ශීත ඍතුව පුරා ඉටිපන්දම් එළියෙන් පවත්වන ලද අපගේ රැස්වීම්වලට එම පැරණි අටුව නිවහනක් වූ අතර ඊට 20 දෙනෙක් පමණ පැමිණ සිටියා. සෑම සතියක ම අපගේ මුරටැඹ සඟරාවේ පාඩමටත්, සේවා රැස්වීමටත් අප එහි එක් රැස් වුණා. අප ආත්මික ව ක්‍රියාශීලී ව සිටිය යුතු බව අවධාරණය කරමින්, වැඩසටහන අපගේ තත්ත්වයන්ට ගැලපෙන සේ සකස් කරනු ලැබුවා. වැඩි කලක් ගත වෙන්නට මත්තෙන්, උනන්දුව දැක්වූ එම මිනිසා ව සත්‍යයේ නව සහෝදරයෙක් ලෙස පිළිගැනීම අපගේ බලවත් ප්‍රීතියට හේතු වුණා.
එක් දහස් නව සිය පනස් ගණන්වල මැද භාගයේ, අධිකරණ තීන්දු ලිහිල් වූ අතර, අපගේ සහෝදරයන්ගෙන් සමහරෙක් හිරෙන් නිදහස් කරනු ලැබුවා. බොහෝ දෙනෙක් බටහිර ජර්මනියට පිටමං කරනු ලැබුවා. බටහිර ජර්මනියෙන් වූ සහෝදරයෙකුගේ පැමිණිමෙන් පසු, මා සම්බන්ධයෙන් නම් කාරණා කටයුතු වෙනස් වුණේ නොසිතූ විදහටයි.
මගේ පළමු ප්‍රධාන පැවරුම
එම සහෝදරයා තමා ව හැඳින්වූයේ හැන්ස් යනුවෙනුයි. අපගේ සංවාදයෙන් පසු, බර්ලිනයේ යම් ලිපිනයකට එන ලෙස මට ඉල්ලීමක් කෙරුණා. දොරේ සීනුව මත සංකේත නාමය සොයා ගත්තායින් පසු, මා ව ඇතුළට කැඳවනු ලැබුවා. දෙදෙනෙක් මා හා එක් ව ප්‍රසන්න එනමුත් ඉතා පොදු වූ සාකච්ඡාවක් පැවැත්වූවා. ඉන් අනතුරුව, ඔවුන් කියන්නට සිටි මූලික දෙය ඉදිරිපත් වුණා: “ඔබට විශේෂ පැවරුමක් දුන්නොත්, ඔබ එය භාර ගන්නවා ද?”
“ඇත්ත වශයෙන් ම,” යන්න මාගේ පිළිතුර වුණා.
“හොඳයි, අපට දැනගැනීමට ඕනෑ කළේ එයයි. සුභ ගමන්” යයි ඔවුන් පැවසුවා.
ඉන් තෙසතියකට පසු යළිත් බර්ලිනයට පැමිණෙන ලෙස මට දන්වන ලද අතර යළිත් මා ආවේ එම කාමරයටමයි. සිට්ටව් ප්‍රදේශයේ සිතියමක් මට දෙමින් සහෝදරයන් මූලික කරුණට පිවිසුණා: “මේ ප්‍රදේශයේ සහෝදරයන් සමඟ අපට කිසි සම්බන්ධතාවයක් නැහැ. අපට ඔවුන් සමඟ නැවත සම්බන්ධකම් පැවැත්වීමට ඔබට උදව් කළ හැකි ද?”
“ඇත්ත වශයෙන් ම, මම කරන්නම්,” යන්න මාගේ ක්ෂණික පිළිතුර වුණා. රෙයිසා සිට සිට්ටව් දක්වා ප්‍රදේශය දිගින් සැතපුම් 60කට වැඩි, පළලින් සැතපුම් 30ක් පමණ වූ විශාල ප්‍රදේශයක් වුණා. ඇරත් මට තිබුණේ බයිසිකලයක් පමණයි. එක් එක් සාක්ෂිකරුවා ව දැන හැඳිනගෙන, ඒ සෑම කෙනෙක් ව ම තමාගේ සභාව තුළ ස්ථාපිත කරනු ලැබූ අතර, ප්‍රකාශන හා උපදෙස් ලබා ගැනීමට මොවුන් නිති පතා නියෝජිතයෙක් බර්ලිනය වෙත යැවුවා. මෙම ක්‍රියා මාර්ගයෙන් සිදුවුණේ, රජයේ නිලධාරීන් යම් සභාවකට පීඩා පමුණුවන විට, අන් සභාවන් අනතුරට පත්වීම වැළැක්වී යාමයි.
යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය
පීඩා කිරීම් තිබුණ ද, බයිබල් උපදේශයන්ට කීකරු වෙමින්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අපගේ පණිවුඩය රැගෙන ගෙයින් ගෙට යාම අප කිසිදා නැවැත්වූයේ නැහැ. (මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 20:20) අප ඒ වන විට දැන සිටි පුද්ගලයන්ගේ නිර්දේශයන් මත අප යම් ලිපිනයන් වෙත ගිය අතර, සමහරක් ආශ්චර්යවත් අත්දැකීම් ද අප භුක්ති වින්දා. පහත දැක්වෙන සිදුවීම විස්තර කරන පරිදි, ඇතැම් අවස්ථාවල අපට තැන වැරදුන විට පවා ඒවා ආශීර්වාදයන් බවට පත් වුණා.
මටත් මගේ භාර්යාවටත් බැහැදැකීමට ලිපිනයක් දෙන ලදමුත් අප ගියේ වැරදි ලිපිනයක් වෙතටයි. දොර විවෘත වූ විට, පොලිස් නිල ඇඳුමක් කබා එල්ලන රාක්කයේ තිබෙනවා අප දුටුවා. මාගිට්ගේ මුහුණ සුදුමැලි වුණා; මාගේ පපුව ගැහෙන්නට පටන් ගත්තා. දැන් නම් සිර ගත වීමක් තමයි. කිරීමට තිබුණේ ඉක්මන් යාච්ඤාවක් කිරීම පමණයි.
“ඔබ කවුද?” පැමිණි මිනිසා කෙටියෙන් නමුත් පැහැදිලි ව ඇසුවා. අප සන්සුන් ව සිටියා.
“මා ඔබ ව කොහේ නමුත් දැක තිබෙනවා. නමුත් මට කල්පනා කරන්නට බැහැ කොහේදි ද කියලා. ඔව්, ඔබ පොලිස් නිලධාරියෙක්, මම ඔබ ව සේවයේ යෙදී සිටින විට දකින්න ඇති” මාගිට් පැවසුවා.
මෙය මද සහනයක් ගෙනා අතර ඔහු මිත්‍ර ස්වරයකින්, “ඔබ යෙහෝවඃ කට්ටිය ද?” යයි අසුවා.
“ඔව්, අපි එහෙමයි, තව ද ඔබගේ දොරට තට්ටු කරන්නට අපට ධෛර්යක් ඕනෑ බව ඔබ පිළිගන්නවා ඇති. අපි ඔබ කෙරෙහි පුද්ගලික ව සැලකිලිමත් වෙනවා” පිළිතුරු දෙමින් මම ද එක් වුණා.
ඔහු අප ව ඔහුගේ නිවස තුළට කැඳෙව්වා. අපි ඔහු ව වාර ගණනාවක් බැහැදැක බයිබල් පාඩමක් පටන් ගත්තා. කලක් ගත වෙද්දී මේ මිනිසා අපේ ක්‍රිස්තියානි සහෝදරයෙක් බවට පත්වුණා. එම අත්දැකීම යෙහෝවඃ වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් කළා ද!
සහෝදරියන් බොහෝ විට ගමනේ නියැලි සේවකයන් මෙන් ක්‍රියා කළ අතර, මේ සඳහා ඔවුන් සිය සම්පූර්ණ විශ්වාසය යෙහෝවඃ වහන්සේ කෙරෙහි තැබිය යුතු වුණා. ප්‍රකාශන ලබා ගැනීමට මාගිට් වරක් බර්ලිනයට ගිය විට ද සිදු වූයේ මෙයයි. සිතුවාට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා. බරින් යුත්, පමණ ඉක්මවා පුරවන ලද සූට්කේසය බැඳීමට රෙදි වැලක් පාවිච්චි කෙරුණා. මාගිට් දුම්රියේ ගමන් කරන තෙක් කිසි කරදරයක් වුණේ නැහැ. ඉන් අනතුරුව දේශ සීමා නිලධාරයෙක් ඊට ගොඩ වුණා.
“මේක කාගෙ ද, මේකෙ තිබෙන්නේ මොනවා ද?” සූට්කේසය පෙන්වමින් ඔහු සැරෙන් අසුවා.
“එහි තිබෙන්නේ මාගේ කිලුටු ඇඳුම්” මාගිට් පිළිතුරු දුන්නා.
සැක සිතූ ඔහු, එය විවෘත කරන ලෙස ඇයට අණ කළා. වුවමනාවෙන් ම හෙමින් හෙමින්, මාගිට් වරකට එක් ගැටය බැගින් සූට්කේසය වටා තිබූ රෙදිවැලේ ගැට ලිහන්නට පටන් ගත්තා. දේශ සීමා නිලධාරියාගේ රාජකාරියේ හැටියට ඔහු දුම්රියෙන් යම් දුරක් ගොස් ඉන් බැස, ආපසු ගමනට වෙනත් දුම්රියක් ගැනීම අවශ්‍ය කරවූ නිසා, ඔහු මහත් නොඉවසිල්ලට පත් වුණා. අවසානයේ, අන්තිම ගැට තුන ඉතිරි ව තිබිය දී, ඔහු බලාපොරොත්තු අත් හැරියේ ය. “ඔය කිලුටු ඇඳුම් අරගෙන යනවා!” කියා ඔහු කෑ ගැසුවා.
යෙහෝවඃ වහන්සේගේ පුද්ගලික සැලකිල්ල
මා සුපුරුදු ලෙස සභාවේ කාරණා කළේ අඳුරේ බැවින්, බොහෝ විට මා රාත්‍රියේ නිදා ගත්තේ පැය හතරකට නොවැඩි ව ය. එක් උදෑසනක නිලධාරීන් අපගේ දොරටු තට්ටු කරන්නට වූයේ එවන් ක්‍රියාවන්ගෙන් යුත් රාත්‍රියකට පසුවයි. ඔවුන් යම් පරීක්ෂණයක් කරන්නට පැමිණ සිටියා. කිසිවක් සඟවන්නට එය ප්‍රමාද වැඩි වුණා.
යමක් සඟවා ඇත්දැයි බැලීමට වැසිකිලිය පවා සෝදිසි කළ එම නිලධාරින්, මුළු උදෑසන ම තියුණු පරීක්ෂණයක් කළා. කබා රාක්කයේ එල්ලා තිබූ මාගේ කබාය පරීක්ෂා කරන්නට කිසිවෙක් සිතුවේ නැහැ. එහි ඇති සාක්කු ගණනාව තුළට මම හදිසියේ ලියවිලි දමා තිබුණා. එම නිලධාරීන්ට අවශ්‍ය ව තිබූ දේවල් සියල්ල එම සාක්කුවල තිබූමුත්, ඔවුන් ආපසු ගියේ හිස් අතිනුයි.
වෙනත් අවස්ථාවක, 1961 අගෝස්තු මස, මම සිටියේ බර්ලින් නුවරයි. බර්ලින් බිත්තිය ගොඩනැගීමට පෙර එය මා ප්‍රකාශන එකතු කරන අන්තිම ගමන වුණා. මා සිට්ටව් වෙත ආපසු පැමිණීමට සූදානම් වෙත් ම, බර්ලින් දුම්රිය ස්ථානය ජනයාගෙන් අතුරු සිදුරු නැතුව පිරී තිබුණා. දුම්රිය පැමිණි අතර ගොඩවීමට සියල්ලන් ම පොරකමින් සිටියා. සමූහයත් සමඟ ඇදී ගිය මා හදිසියෙන් ම දුටුවේ මා සිටින්නේ දුම්රියේ හිස් කොටසක් තුළ බවයි. මම ඊට ගොඩ වූ විගස, එහි ආරක්ෂක නියමුවා පිටතින් පැමිණ ඊට අගුල් දැමුවා. කොටසක මා තනි ව සිටින විට අනෙක් මගීන් දුම්රියේ ඉතිරි කොටසේ දැඩි ලෙස මිරිකී සිටියා.
අපි සිට්ටව් බලා ගමන් ඇරඹුවෙමු. ටික කාලයකට මා එම කොටසේ සිටියේ තනිවමයි. අනතුරුව දුම්රිය නැවතුම් පොළකට පැමිණි අතර මා සිටි කොටසේ දොරවල් විවෘත වුණා. සෝවියට් හමුදා භටයන් දුසිම් ගණන් ඇතුල් වුණා. මම සෝවියට් හමුදාවන් වෙනුවෙන් වෙන් කරන ලද කොටසක ගමන් කරමින් සිටි බව මට වැටහුණේ එවිටයි. මට පොළොව පලා ගෙන යන්නට සිතුණා. එහෙත්, හමුදා භටයන් වැරදි යමක් නොදැක්කා සේ මට පෙනී ගියා.
අප සිට්ටව් බලා යළි ගමන් ඇරඹුවා. අපගේ කොටසේ දොරවල් විවෘත ව තිබූ අතර හමුදා භටයන් පිට වී ගියා. ඔවුන් දුම්රිය ස්ථානයේ දී සියලු ම මගීන් පරික්ෂා කරන්නට වුණා. කරදරයක් නැතුව පිට වූයේ මා පමණයි. මා උසස් නිලධාරියෙක් යයි සිතමින්, බොහෝ හමුදා භටයන් මට ආචාර කරන්නට පවා පටන් ගත්තා.
බර්ලින් බිත්තියේ ගොඩනැගීම අපගේ සැපයුම් මාර්ගය තාවකාලික ව අවහිර කළ බැවින්, එම ප්රකාශනවල වටිනාකම මා දැන ගත්තේ ඉන් අනතුරුවයි. එහෙත්, එම ප්‍රකාශන අපගේ අවශ්‍යතාව මාස ගණනාවකට පිරිමසා ගැනීමට ප්‍රමාණවත් වුණා. මේ අතරතුර, අප සමඟ සම්බන්ධකම් ඇති කර ගැනීමට සැලසුම් කරනු ලැබුවා.
වර්ෂ 1961 බර්ලින් බිත්තියේ ගොඩනැගීම නිසා නැගෙනහිර ජර්මනිය තුළ අපට වෙනස්කම් සිදු වූවා. එහෙත් යෙහෝවඃ වහන්සේ, නිතර කරන්නා සේ, කල් ඇති ව කටයුතු පිළියෙළ කළා. තහනම යටතේ දී, උන් වහන්සේ නොකඩවා අප කෙරෙහි සැලකිල්ල දැක්වූවා.—හර්මාන් ලව්බ් විසින් විස්තර කරනු ලැබුවේ එසේ ය. w92 4/15
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දශක ගණනාවකට ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් තහනම් කරනු ලැබූ රටවල සිය සහෝදරයන් ගැන කල්පනා කර තිබේ. සිදු වූ දේවල් සමහරක් එළිදරව් කරන ලිපි තුනෙන් පළමු වැන්න ඉදිරිපත් කිරීමට අපි සතුටු වෙමු. මෙය ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය ලෙස හඳුන්වන ලද කොටසේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානින්ගේ පුද්ගලික වාර්තාවන් ය.
අපි බවුට්සෙන් හි කුඩා එක්රැස්වීමක් ප්‍රීතියෙන් භුක්ති වින්ඳෙමු