ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 12/1 20 පි.
  • වැඩිමහල්ලෙනි—පවරන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩිමහල්ලෙනි—පවරන්න!
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෙනත් අය ව පුහුණු කිරීමේ ඇති වටිනාකම
  • පැවරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
  • පවරන ආකාරය
  • වගකීම් භාර දෙන්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිහතමානී සහෝදරයන් අනිත් අයව පුහුණු කරලා වගකීම් භාර දෙනවා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වැඩිමහල්ලෙනි, වගකීම් ඉසිලීමට අන්‍යයන්ව පුහුණු කරන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 12/1 20 පි.

වැඩිමහල්ලෙනි—පවරන්න!

ඔහු තම ජීවිතයේ අත්දැකීම් මගින් පදම් වූ යුක්තිය සම්බන්ධ ව තියුණු හැඟීමක් ඇතුව සිටි ඉවසිලිවන්ත, යටහත් පහත් මිනිසෙකු විය. මේ නිසා, පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් මිලියන තුනකට වඩා වැඩි සංඛ්‍යාවක් අවවාද ලබා ගැනීම සඳහා නිසැකකමින් යුතු ව ඔහු වෙතට ආහ. ඔහු උත්සාහ කළේ ඔවුන්ගේ අපේක්ෂා කඩ නොකිරීමටයි. උදෑසන සිට සවස් යාමය දක්වා, ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන් ඔහු, දෙවියන් වහන්සේගේ නීති ඔවුන්ගේ තත්ත්වයට අදාළ වන්නේ කෙසේ දැයි දැකීමට ඔවුන්ට ඉවසිලිවන්ත ව උපකාර කළේ ය. එසේ ය, මීට අවුරුදු 3,500කට පමණ පෙර, යම් කෙටි කාල පරිච්ඡේදයක් පුරා, ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍ර 12 විනිශ්චය කරනු ලැබුවේ තනි මිනිසෙකු විසිනි. ඒ තැනැත්තා නම්—මෝසෙස් ය.

කෙසේ වුවද, මෝසෙස්ගේ මාමණ්ඩියා වූ යෙත්‍රෝ සැලකිලිමත් විය. මේ සියල්ල ම මෝසෙස් විසින් තනි ව ම කරගෙන යයි කියා බලාපොරොත්තු විය හැක්කේ කෙසේ ද? එබැවින් යෙත්‍රෝ මෙසේ ප්‍රකාශ කළේ ය: “නුඹ කරන දේ හොඳ නැත. නුඹද නුඹ සමග සිටින මේ සෙනගද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය.” (නික්මයාම 18:17, 18) විසඳුම? තම වගකීම් සමහරක් වෙනත් අයට පවරන ලෙස යෙත්‍රෝ මෝසෙස්ට අවවාද කළේ ය. (නික්මයාම 18:19-23) හොඳ අවවාදයකි!

අද දින ක්‍රිස්තියානි සභාව තුළ ද, මෝසෙස් මෙන් තමන්ට තනි ව ම ඉටු කරගන්නට හැකිවාට වඩා දේවල් බලා කියා ගැනීමට උත්සාහ කරන බොහෝ වැඩිමහල්ලෝ සිටිත්. ඔවුහු රැස්වීම් සංවිධානය කරනවාක් මෙන් ම, ඒවාට සූදානම් වී, ඉන් අනතුරුව වැඩසටහනේ කොටස් පිළිවෙළකට බලපෑමෙන් යුත් අන්දමින් ඉදිරිපත් කරති. (1 කොරින්ති 14:26, 33, 40; 1 තිමෝති 4:13) සභාවේ සාමාජික පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් ගැන ද වැඩිමහල්ලෝ සැලකිලිමත් වෙති. (ගලාති 6:1; 1 තෙසලෝනික 5:14; යාකොබ් 5:14) සියල්ලට ම වඩා වැදගත් වන, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයෙහි ඔවුහු පෙරමුණ ගනිත්. (මතෙව් 24:14; හෙබ්‍රෙව් 13:7) මහජනයා වෙත බෙදා දීම සඳහා, සභාවට පොත් පත් ලබා ගත හැකි වනු පිණිස ද ඔවුහු කටයුතු පිළියෙළ කරති.

මීට අමතර ව, චාරිකා එක්රැස්වීම් හා දිස්ත්‍රික්ක සමුළු වැඩසටහන්වල කොටස් ද ඇතැම් වැඩිමහල්ලන් වෙත පවරනු ලැබේ. ඔවුහු ඒකරැස්වීම් සංවිධාන කමිටුවල හා රෝහල් සේවා කමිටුවල ද සේවය කරති. සමහරු රාජ්‍යය ශාලා ගොඩනැගීමේ කටයුතුවල සහයෝගය දක්වත්. මේ සියල්ල ම සිදු කරනු ලබන්නේ, ඔවුන්ගේ පවුල් වගකීම් හා ඔවුන්ගේ අවශ්‍යතා සහ තමන් ව ම ආත්මික ව පෝෂණය කරගනු ලැබීමට අමතර ව ය. (සසඳන්න යෝෂුවා 1:8; ගීතාවලිය 110:3; 1 තිමෝති 3:4, 5; 4:15, 16.) එවන් ක්‍රිස්තියානි පුරුෂයන්ට මේ සියල්ල ම කරගත හැක්කේ කෙසේ ද? මෝසෙස්ට මෙන් ඔවුන්ටත් උපකාර ලැබිය යුතු ය. පවරා දීමට ඔවුන් ඉගෙන ගත යුතුයි. ඇත්ත වශයෙන් ම, පවරන්නේ නැති පුද්ගලයෙක් දුර්වල සංවිධායකයෙකි.

වෙනත් අය ව පුහුණු කිරීමේ ඇති වටිනාකම

වගකීම් පවරා දීමට තවත් හේතු තිබේ. තලෙන්ත පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාවෙහි, ස්වාමියා දුර ගමනක් යාමට පෙර, තම දාසයන් කැඳවා, විවිධ මට්ටම්වල වගකීම් ඔවුන් වෙත පැවරුවේ ය. (මතෙව් 25:14, 15) එසේ කිරීමෙන්, ඉලක්ක කිහිපයක් අත් කරගැනීමට ස්වාමියාට හැකි විණි. පළමුව, ඔහු ඉවත් ව ගොස් සිටි අතරතුර, ඔහුගේ දාසයන් ඔහු වෙනුවට ක්‍රියා කළ අතර, ඔහු ගොස් තිබූ විට, අවශ්‍ය වැඩ කෙමෙන් අඩු වී ගොස් නතර වූයේ නැත. දෙවෙනුව, යමෙක් කියන දේට වඩා ඔහු කරන දේ ඔහු ගැන හොඳින් පවසන නිසා, තම දාසයන්ගේ හැකියාවන් සහ ලැදිකම් ගැන නිරීක්ෂණය කිරීමට ස්වාමියාට පුළුවන් විය. තෙවෙනුව, බොහෝ අවශ්‍ය කරන අත්දැකීම් ලබා ගැනීමට ස්වාමියා තම දාසයන් හට ප්‍රස්තාවක් ලබා දුන්නේ ය.

මෙම උපමාවෙන් අද දින අපට අර්ථයක් තිබේ. යේසුස් වහන්සේ පොළොව හැර යන විට, උන් වහන්සේ සිය ආලේප ලත් ගෝලයන් වෙතට වගකීම් පැවරූ සේක. මෙම තැනැත්තන්ගේ ඉතිරි අය ලොව වටා රාජ්‍යය වැඩකටයුතු ගැන තවමත් වගකීම් දරත්. (ලූක් 12:42) නවීන දින ආලේප ලත් අයගේ ගබඩාකාරකම පවතින අතරතුරේ දී, යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද උන් වහන්සේගේ සංවිධානය මත දිස් වී තිබේ. ප්‍රතිඵලයක් වශයෙන්, එය පුදුමාකාර අන්දමින් වර්ධනය වී තිබේ. ඇත්තෙන් ම, පසුගිය අවුරුදු පහ තුළ දී පමණක්, මිලියනයකට වඩා වැඩි ගණනක් නවකයන්, වතුර බව්තීස්මය මගින් තම කැපවීම සංකේතවත් කොට ඇත! මෙය නව සභාවන් දහස් ගණනක් සහ නව චාරිකාවන් සිය ගණනක් ඇති වීමට හේතු වී තිබේ.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” හට වගකීම් පැවරුවාක් මෙන්, අනෙක් අතට, ඔවුහු, “වෙනත් බැටළුවන්ට” අයත් වැඩිමහල්ලන්ට හා උපස්ථායක සේවකයන්ට සභා වගකීම් පවරති. (මතෙව් 24:45-47; යොහන් 10:16) ඒ කෙසේ වෙතත්, අතිමහත් වර්ධනය ගැන බලා කියා ගැනීම සඳහා කැප වූ පුරුෂයන් වඩා බොහොමයක් අවශ්‍ය ය. ඔවුන් පැමිණෙනු ඇත්තේ කොහෙන් ද? වැඩිමහල්ලන් ඔවුන් ව පුහුණු කළ යුතු ය. එහෙත්, දක්ෂ බව අඟවන පුද්ගලයන් හට සුදුසු වගකීම් වැඩිමහල්ලන් විසින් පවරා දෙන්නේ නැත්නම්, ඔවුන් එවැනි පුරුෂයන් ව පුහුණු කරන්නේ කෙසේ ද? යෞවන පුරුෂයන්ගේ දක්ෂතාවයන් සහ පක්ෂපාතකම් ගැන නිරීක්ෂණය කරන්නට වැඩිමහල්ලන්ට හැකි වෙනත් ක්‍රම මොනවා ද?

පැවරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

ඇතැම් අයට, “පැවරීම” යනුවෙන් අදහස් කරන්නේ, සිය වගකීම්වල බර සැහැල්ලු කිරීම, ඒවායින් වැළකී සිටීම, ඒවා නොසලකා හැරීම හෝ ඒවා අත්හැරීම ය. කෙසේ වෙතත්, නිසි ලෙස භාවිතා කරනු ලබන විට, “පැවරීම” යනු ඇත්තෙන් ම වගකීම් ඉටු කිරීමේ ක්‍රමයකි. “පැවරීමට” යන ඉංග්‍රීසි ක්‍රියා පදය අර්ථ දක්වා ඇත්තේ, “වෙනත් අයෙකුට විශ්වාසයෙන් භාර දීම; යමෙකුගේ නියෝජිතයෙකු ලෙස පත් කිරීම; වගකීම හෝ අධිකාරිත්වය පැවරීම” යන්න ය. එහෙත්, අවසානයේ දී කරනු ලබන දේ පිළිබඳ ව වගකීම රඳා පවතින්නේ වැඩ පැවරූ තැනැත්තා අත ය.

තමන්ට පාලනය කර ගන්නට බැරිවේවි ය යන බිය පවතින නිසා, සමහරු පැවරීමෙන් වැළකී සිටිත්. එහෙත්, පැවරීම පාලනය නැති කර ගැනීම යන්න අදහස් නොකරයි. ස්වර්ගයේ සිට අදෘශ්‍යමාන ව පාලනය කරතත්, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ක්‍රිස්තියානි සභාව බොහෝ සෙයින් පාලනයට නතු කරගෙන සිටින සේක. ඇරත්, උන් වහන්සේ, අත්දැකීම් ලත් පුරුෂයන්ට සභාව බලා ගැනීමට විශ්වාසයෙන් භාර දෙන සේක.—එපීස 5:23-27; කොලොස්සි 1:13.

තවත් අය පැවරීමට අදි මදි කළ හැකි විය හැක්කේ මන්දයත්, වැඩකටයුතු ඉක්මනින් කර ගන්නට තමන්ට ම පුළුවන් කියා සිතන නිසා ය. කෙසේ වෙතත්, වෙනත් අය ව පුහුණු කිරීමේ වටිනාකම යේසුස් වහන්සේ දුටු සේක. පොළොව මත සිටි කිසිවෙක් යේසුස් වහන්සේ තරම් ප්‍රබල ලෙස ඉගැන්වූයේ නැත. (යොහන් 7:46) එහෙත්, තම ගෝලයන්ගෙන් 70 දෙනෙකුට උපදෙස් දීමෙන් පසු ව, දේශනා වැඩය සඳහා උන් වහන්සේ ඔවුන් ව පිටත් කර හැරිය සේක. ඉගැන්වීමේ හැකියාව අතින් යේසුස් වහන්සේට සමාන වීමට නොහැකි වුවත්, ඔවුන් ආපසු පැමිණියේ තම සාර්ථකත්වයන් සමඟ ප්‍රීතියෙන් පිරී ඉතිරී යමිනි. යේසුස් වහන්සේ ඔවුන් සමඟ ප්‍රීති වී, ඔවුන්ට ප්‍රංශසා කළ සේක, මන්දයත්, තමන් ගිය පසු, ඔවුන් වැඩය දිගට ම කරගෙන යන බවත්, තමන්ට කවරදාකවත් තනි ව ම කරනවාටත් වඩා වැඩියෙන් අන්තිමේ දී, ඔවුන් විසින් කරන බවත් උන් වහන්සේ දැන සිටි සේක.—ලූක් 10:1-24; යොහන් 14:12.

අවශ්‍ය අමතර තොරතුරු දීමත් සමඟ උපකාර ලබා ගැනීම ද පැවරීම යන්නෙන් අදහස් කරයි. යේසුස් වහන්සේ, මිය ගිය දවසට පෙර දින, තම අන්තිම පාස්කු කෑම සඳහා අවශ්‍ය කරන විධිවිධාන යොදන මෙන් පේතෘස් හා යොහන්ට පැවරූ සේක. (ලූක් 22:7-13) බැටළු පැටවෙකු, මුද්‍රික පානය, මුහුන් නුමුසු රොටි හා තික්ත පලා මිලට ගැනීම ගැන යේසුස් වහන්සේට කරදර වන්නට අවශ්‍ය වූයේ නැත; එමෙන් ම භාජන, දර ආදිය එක්රැස් කිරීමට ද උන් වහන්සේට අවශ්‍ය නොවී ය. පේතෘස් සහ යොහන් එම අමතර දේවල් ගැන බලා ගත්හ.

වැඩිමහල්ලන් යේසුස් වහන්සේගේ ආදර්ශය අනුකරණය කරනවා නම්, ඔවුන්ටත් ඒ හා සමාන ප්‍රයෝජන භුක්ති විඳින්ට හැකි ය. නිදසුනක් වශයෙන්, ඉදිරියේ දී බෙදා දෙන්නට තිබෙන පොත් පත් ඇණවුම් කරන ලෙස පොත් පත් භාර ව සිටින තැනැත්තාගෙන් ඉල්ලා සිටිය හැක. පසුගිය වතාවල දී, ඒ හා සමාන පොත් පත් භාවිතා වූයේ කෙසේදැයි නිර්ණය කිරීම සඳහා සිය වාර්තා විග්‍රහ කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටිනවා විය හැකියි. ඇණවුම් පෝරමය පිළියෙළ කිරීමට පෙර, සභා ක්ෂේත්‍රයේ ලක්ෂණ පිළිබඳ ව ද සැලකිල්ල දැක්වීමට ඔහුට හැක. ඉන් පසු ව, එම පෝරමය පරීක්ෂා කිරීම සඳහා, සභා ලේකම්ට භාර දිය හැකියි. පොත් පත් භාර සේවක තමාගේ රාජකාරිය ඉගෙන ගත්තායින් පසු ව, ඇණවුම් පෝරමයේ එකතුවත් සාධාරණ නම්, පසුගිය වාර්තා දෙවරක් පරීක්ෂා කිරීමට ලේකම්ට අවශ්‍ය නොවිය යුතු ය. පැහැදිලි ව ම, මෙවැනි සරල ආකාරයේ පැවරීමක්, පොත් පත් ඇණවුම් කිරීමේ දී අදාළ සියල්ලන්ට ම, කාර්යය වඩාත් පහසු සරල දෙයක් කරවනු ඇත.

ලබා ගත හැකි එවැනි ප්‍රයෝජන ගැන සැලකිල්ලට ගනිමින්, බලපෑමෙන් යුක්ත ව පවරා දීමක් යමෙකුට කළ හැක්කේ කෙසේ ද?

පවරන ආකාරය

පවරන ලද කාර්යය පැහැදිලි ව විස්තර කරන්න. සියල්ලට ම පෙර, අපේක්ෂා කරන ප්‍රතිඵල මොනවා ද කියා පැහැදිලි කරන්න. “මා එන තෙක් මෙයින් වෙළඳාම්කරපල්ලා” යනු මිනා මිල පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාවේ “වංශවත් මනුෂ්‍යයා” තමාගේ දාසයන් දසදෙනාට කී දෙයයි. (ලූක් 19:12, 13, ඇත්ත ඇති තැන.) තම දාසයන් තමාගේ මිනාවලින් ලාභ ලැබෙන සේ වෙළෙඳාම් කොට, ඉන් පසු, තමන් ආපසු පැමිණි විට, ඔවුන් ලැබූ ලාභ ප්‍රයෝජන ගැන වාර්තා කරාවි යයි ස්වාමියා අපේක්ෂා කළේ ය. තමන්ට කරන්ට තිබූ දේ ඔවුහු දැන සිටියෝ ය. මෙම ප්‍රතිපත්තිය, නවීන-දින රාජ්‍යය ශාලා ව්‍යාපෘතියකට අදාළ වන්නේ කෙසේ ද? උදාහරණයක් වශයෙන්, වහල අලුත් වැඩියා කිරීම පවරනු ලබන සහෝදරයාට, භාවිතා කරන්නේ කුමන ද්‍රව්‍ය ද, ඒවා ලබා ගත හැක්කේ කොහෙන් ද, කාලගුණය අනුව වැඩ පටන් ගන්නේ කවදා ද කියා සාමාන්‍යයෙන් පවසනු ලබනවා ඇත. එවැනි විශේෂ මාර්ගෝපදේශයන් හොඳ සංවිධානයක් ඇති කරයි.

වැඩයට ඇතුළත් වන්නේ කුමක් ද යන්න පමණක් නොව, නමුත් කුමන තීරණ ගනු ලැබීමට පුද්ගලයෙකුට ඉඩ දෙනු ලැබ තිබේ ද, එමෙන් ම කුමන කාරණා වෙන යම් තවත් කෙනෙකුට යොමු කළ යුතු ද යන්න ගැන ද පැහැදිලි ව විස්තර කිරීම වැදගත් ය. මෝසෙස් තමන් විසින් පත් කළ අය සුළු කාරණා විනිශ්චය කළ යුතු නමුත් අසීරු කාරණා තමන් වෙතට ගෙනා යුතු යයි ඔහු ඔවුනට පැවසුවේ ය.—නික්මයාම 18:22.

වගකීම් පවරන විට, පුද්ගලයන් දෙදෙනෙකුට එක ම වැඩය පැවරීමෙන් වැළකීමට ප්‍රවේසම් වන්න. සමහර වැඩකටයුතු එක පුද්ගලයෙකුට වඩා වැඩි දෙනෙකුට පවරන විට, ප්‍රතිඵලය වන්නේ වියවුල ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශාල සමුළුවක දී, පිරිසිදු කිරීමේ අංශය සහ ආහාර සේවා අංශය යන අංශ දෙකට ම ආහාර කවුන්ටර් පිරිසිදු කිරීමට පවරනු ලැබ තිබුණා නම්, නැතහොත් බව්තීස්ම අවස්ථාවේ දී පරිවාරක අංශය සහ බව්තීස්ම අංශය යන අංශ දෙකට ම නිරීක්ෂකයන් ව මෙහෙය වීමට පවරනු ලැබ තිබුණා නම් කුමක් සිදු විය හැකි ද කියා සිතා බලන්න.

දක්ෂ පුරුෂයන් ව තෝරා ගන්න. යෙත්‍රෝ මෝසෙස්ට මෙසේ අවවාද කළේ ය: “ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර . . . පත් කරන්න.” (නික්මයාම 18:21, නව අනුවාදය) මිනිසෙක් පළමුවෙන් ම ශුද්ධ ලියවිලිමය අවශ්‍යතා සපුරාලිය යුතු බවට නොකිව මනා ය. යමෙක් තමා විසින් ම වැඩකටයුත්ත කිරීමේ ලා “දක්ෂ” බව නිර්ණය කිරීමේ දී, පුද්ගලික ගති ලක්ෂණ, අත්දැකීම්, පුහුණුව, සහ සමර්ථතා වැනි සාධක ගැන සැලකිල්ල දැක්විය යුතු ය. මේ අයුරින්, විශේෂයෙන් සුහදශීලී, ප්‍රසන්න, උපකාර කරන සුලු ස්වභාවයක් ඇති ක්‍රිස්තියානියෙක් සඟරා කවුන්ටරයේ හෝ පරිවාරකයෙකු ලෙස පෙනෙන හැටියට හොඳින් සේවය කරනවා විය හැක. මේ හා සමාන අයුරින්, සභාවේ ලේකම්ට උදව් කිරීමට යමෙකු ව තේරීමේ දී, ඔහු කොතරම් පිළිවෙලකින් යුත් අයෙක් දැයි තර්කානුකූල ව සැලකිල්ල යොමු කළ යුතු ය. ඔහු සියලු ම කරුණුවලට හොඳින් අවධානය යොමු කරනවා ද, ඔහු කෙරෙහි රඳා පැවතිය හැකි ද, එමෙන් ම ඔහුට යමක් රහසිගත ව තබා ගත හැකි ද? (ලූක් 16:10) අවශ්‍ය ආත්මික සුදුසුකම්වලට අමතර ව, එවන් සාධකයන්ට ද අවධානය දීමෙන්, වැඩකටයුත්තට හරි මිනිසා ව යෙදවීමේලා උපකාරවත් වනු ඇත.

ප්‍රමාණවත් සම්පත් භාර දෙන්න. සේවය කරන තැනැත්තාට තමන්ට පවරනු ලැබූ වැඩය සම්පූර්ණ කිරීම සඳහා තමන් ළඟ ඇතැම් සම්පත් තබා ගැනීමට අවශ්‍ය වනු ඇත. ඔහුට උපකරණ, මුදල්, හෝ සහයෝගය සමහරවිට අවශ්‍ය වනු ඇත. ඇති තරම් සම්පත් භාර දෙන්න. උදාහරණයක් වශයෙන්, රාජ්‍යය ශාලාවේ අවශ්‍ය වී ඇති අලුත් වැඩියා කිරීම් කරන ලෙස සහෝදරයෙකුගෙන් ඉල්ලා සිටිය හැක. කළ යුත්තේ කුමක් ද කියා ඔහුට පැවසීම අවශ්‍ය බව පැහැදිලි නමුත්, ඉඳ හිට අවශ්‍ය වන යම් දේවල් මිලදී ගැනීම සඳහා ඔහුට සුළු මුදල් ද අවශ්‍ය විය හැක. සමහරවිට ඔහුට උපකාර අවශ්‍ය විය හැක. එමනිසා ඔහුට සහයෝගය දක්වන මෙන් වෙනත් අයගෙන් ඉල්ලා සිටින්ට වැඩිමහල්ලන්ට හැක, නැතහොත් ‘අහවල් සහෝදරයා ශාලාවේ අහවල් වැඩක් කරන්නට යනවා, උපකාර පතා ඔබගෙන් සමහරෙකු වෙතට ඔහු එළඹෙන්නට පුළුවන්’ යනුවෙන් සභාවට නිවේදනයක් කරනවා විය හැකි ය. එවැනි දේවල් ගැන කලින් සිතා බැලීම, ප්‍රමාණවත් සම්පත් සැපයීමකින් තොර පවරා දීමෙන් යමෙකු ව වළක්වාලනු ඇත. “බාගෙට පවරන්න එපා,” එක් කළමනාකාර උපදේශකයෙක් එය ප්‍රකාශ කරන්නේ එසේයි.

වගකීම් පවරන විට, එම පුද්ගලයා ඔබ වෙනුවෙන් ක්‍රියා කරන බව අන්‍යයන්ට දැනුම් දෙන්න. ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමට තිබෙන අධිකාරිත්වය ද සම්පතකි. යෝෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ නව නායකයා ලෙස පත්කරනු ලැබුවේ “මුළු සභාව ඉදිරියෙහි” ය. “[ඔහුගේ] ගරුතරකමෙන් කොටසක් ඔහු කෙරෙහි” තබන ලෙස මෝසෙස්ට උපදෙස් දෙන ලදි. (ගණන් කථාව 27:18-23) සභාව සම්බන්ධයෙන් ගත් කල, වැඩ පවරන ලද අයගේ නාම ලේඛනයක් දැන්වීම් පුවරුවේ ඇලවීමෙන් හුදෙක් එම දෙය ම ඉටු කරගත හැකි ය.

ඔවුන්ගේ තීරණවලට රුකුල් දෙන්න. දැන් වැඩය පවරනු ලැබූ තැනැත්තාට තමන්ගේ වැඩ පටන් ගත හැකියි. එසේ වුවත්, ඔබ ඔහු ගන්නා හොඳ තීරණවලට අනුබල දෙනවා නම්, ඔබට ධෛර්යයේ සැබෑ උල්පතක් විය හැකි බව මතක තබා ගන්න. නිදසුනක් වශයෙන්, රාජ්‍යය ශාලාවේ වේදිකාව මත මයික්‍රෆෝන සහ ගෘහ භාණ්ඩ තබන ආකාරය ගැන වැඩිමහල්ලෙකු වශයෙන් ඔබට වඩාත් කැමැති විදිහක් තිබෙනවා විය හැක, සමහරවිට මෙය පවරනු ලැබූ සහෝදරයා එය කරනවාට වඩා ටිකක් වෙනස් විය හැක. කෙසේ වෙතත්, වේදකාව බලා ගන්නා සහෝදරයාට ඔහුගේ වැඩවල දී යම් නිදහසකට ඉඩ දී තිබේ නම්, පෙනෙන විදිහට ඔහු ආත්ම විශ්වාසය හා අත්දැකීම් ලබා ගන්නවා ඇත. මීට අමතර ව, ඔහු කාරණා වැඩි දියුණු කරන්නට පවා පුළුවන. එක් ව්‍යාපාරික උපදේශකවරයෙක් මෙසේ සඳහන් කළේ ය: “වැඩය කරන ආකාරය නොව, වැඩය පවරන්න. . . . බොහෝ විට, නිර්මාණාත්මක දක්ෂකම මතු වෙයි.”

එපමණක් ද නොව, කථාවට කියනවාක් මෙන්, නඟුල අතේ තිබෙන, එනම් ඇත්තට ම වැඩය කරන සහෝදරයා, බොහෝ විට විශේෂ තත්ත්වයන්ට වඩාත් සමීප ව සිටින අතර, එමගින් ඊට සම්බන්ධ ගැටලු වඩාත් හොඳින් අවබෝධ කරගෙන සිටිනවා විය හැක. පෙනෙන හැටියට, සැබවින් ම ක්‍රියාත්මක වන විසඳුම් සහිත ව ඔහු ගැටලුවලට ප්‍රතිචාර දක්වනවා ඇත. පිටතින් බලා ගෙන සිටින්නන්ගේ ඇසට හසු නොවෙන්නා වූ කාරණ සමඟ ද ඔහු කටයුතු කරනවා විය හැකි ය. එමනිසා, එක් ක්‍රිස්තියානි අවේක්ෂකයෙක්, අත්දැකීම් ලත් තම සහයකයා ගැන මෙසේ පැවසුවේ ය: “යම් ගැටලු තිබෙනවා කියා ඔහු පවසන විට, මට ඔහු කියන දේ විශ්වාස කරන්නට සිදු වෙනවා.”

එසේ ය, තමන් ව මෙහෙයවනු ලබන කොයි යම් ආකාරයකින් හෝ සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින හා ඒ සඳහා හැකියාව තිබෙන කැප වූ පුරුෂයන් හා ස්ත්‍රීන් වනාහි ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට තිබෙන වඩාත් වටිනා ම සම්පතයි. වැඩිමහල්ලෙනි, මෙම භාණ්ඩවලින් හොඳින් ප්‍රයෝජන ගන්න! පවරා දීම විනීතකමේ ලකුණක් වන අතර, අධික වෙහෙස හා කලකිරීම අවම කරන්නට එයට හැකි ය. මේ අයුරින්, ඔබට වඩාත් දේවල් කරන්නට හැකි වනවා පමණක් නොව, නමුත් අවශ්‍ය කරන අත්දැකීම් ලබා ගන්නට ඔබ අනෙක් අයට ප්‍රස්තාවන් උදා කර දෙනවා ඇත. w92 10/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න