“අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න”
“අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ.”—2 තිමෝ. 2:2.
1, 2. තමන් කරන රැකියාව හුඟක් අය සලකන්නේ කොහොමද?
කෙනෙක් වැදගත් කෙනෙක්ද නැද්ද කියන දේ හුඟක් අය තීරණය කරන්නේ එයා කරන රැකියාව අනුවයි. කෙනෙක්ව මුලින්ම අඳුනගද්දී “ඔයාගේ රස්සාව මොකක්ද” කියලා හුඟක් අය අහන්නේ ඒ නිසයි.
2 සමහරුන්ව විස්තර කරද්දී එයාලගේ රැකියාව ගැන සඳහන් වෙන අවස්ථා බයිබලෙත් තියෙනවා. උදාහරණෙකට “බදු එකතු කරන මතෙව්,” “සීමොන් නමැති සම් පදම් කරන්නා,” “ලූක් නම් ප්‍රේමණීය වෛද්‍යවරයා” කියලා සඳහන් වෙනවා. (මතෙ. 10:3; ක්‍රියා 10:6; කොලො. 4:14) සමහරුන්ට ලැබුණ පැවරුම් ගැනත් බයිබලේ සඳහන් වෙනවා. දාවිත් රජ, අනාගතවක්තෘ එලියා, නියෝජිත පාවුල් ඒ අතරින් කීපයක්. දෙවිගෙන් ලැබුණ ඒ පැවරුම් ගැන එයාලට තිබුණේ ලොකු අගයක්. ඒ වගේ අපිත් ලැබෙන ඕනෑම පැවරුමක් අගය කරන්න ඕනේ.
3. වැඩිහිටි අය තරුණ අයව පුහුණු කරන්න ඕනෙ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
3 අපෙන් වැඩිදෙනෙක් තමන්ට ලැබිලා තියෙන පැවරුම් හුඟක් අගය කරනවා. හැමදාටම ඒ පැවරුම් කරන්න පුළුවන් නම් එයාලා කැමතියි. ඒත් ටිකෙන් ටික වයසට යද්දී තරුණ කාලේ කළා වගේ දේවල් කරන්න බැරි වෙනවා. (දේශ. 1:4) වයසට යද්දී කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් සීමා වෙන නිසා දෙවිගේ සංවිධානයට ඒක යම් විදිවලින් බලපාලා තියෙනවා. උදාහරණෙකට පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දැනුම් දෙන්න දෙවිගේ සංවිධානය අලුත් අලුත් ක්‍රම දැන් පාවිච්චි කරනවා. ඒක කරන්න එයාලා නවීන තාක්ෂණය යොදාගන්නවා. ඒත් ඒ වගේ අලුත් ක්‍රමවලට හුරු වෙන්න මහලු අයට ලේසි නැහැ. (ලූක් 5:39) ඒ විතරක් නෙමෙයි වයසට යද්දී ඇඟේ පතේ තියෙන සවිශක්තියත් අඩු වෙනවා. (හිතෝ. 20:29) ඒ නිසා වැඩිහිටි සහෝදරයන් සංවිධානයේ වගකීම් කරට ගන්න වයසින් අඩු සහෝදරයන්ව පුහුණු කරන එක කොයි තරම් වටිනවද! ඒක ඇත්තටම ප්‍රේමණීය දෙයක් නෙමෙයිද!—ගීතාවලිය 71:18 කියවන්න.
4. තමන් කරන වගකීම් අනිත් අයට භාර දෙන එක සමහරුන්ට අමාරු ඇයි? (“වගකීම් බෙදාගෙන කරන එක සමහරුන්ට අමාරු ඇයි?” යන කොටුව බලන්න.)
4 තමන්ගේ වැඩ කොටස වයසින් අඩු සහෝදරයන් එක්ක බෙදාගෙන කරන එක වගකීම් දරන සහෝදරයන්ට ලේසි නැති වෙන්න පුළුවන්. මොකද තමන් ආසාවෙන් කරන පැවරුම තමන්ට නැති වෙයි කියලා එයාලට දුකක් දැනෙන්න ඉඩ තියෙනවා. තමන්ට ඕනෙ විදිහට වැඩේ කරගන්න බැරි වෙයි කියලා බයක් දැනෙන්නත් පුළුවන්. වයසින් අඩු සහෝදරයන්ට දේවල් හොඳට කරන්න බැහැ කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් තව කෙනෙක්ව පුහුණු කරන්න තමන්ට වෙලාව නැහැ කියලා හිතෙයි. වයසින් අඩු සහෝදරයන්ගේ පැත්තෙනුත් කරන්න දෙයක් තියෙනවා. තමන්ට වගකීම් ලැබෙන කල් එයාලා ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ.
5. මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
5 සභාවේ වගකීම් කරට ගන්න වැඩිහිටි සහෝදරයන් වයසින් අඩු සහෝදරයන්ට උදව් කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද? (2 තිමෝ. 2:2) අද්දැකීම් තියෙන සහෝදරයන් එක්ක එකට වැඩ කරද්දී වයසින් අඩු සහෝදරයන් හොඳ ආකල්පයක් ඇතුව ඉන්න ඕනෙ ඇයි? එයාලගෙන් දේවල් ඉගෙනගන්න ඕනෙ ඇයි? විශේෂ කාර්යයක් කරන්න දාවිත් එයාගේ පුතාව සූදානම් කරපු විදිහ දැන් අපි බලමු.
දාවිත් සලමොන්ව සූදානම් කළා
6. දාවිත්ට ඕනෙ වුණේ මොකක් කරන්නද? දෙවි එයාට කිව්වේ මොකක්ද?
6 ආපු විරුද්ධවාදිකම් නිසා අවුරුදු ගාණක් දාවිත්ට තැනින් තැනට පලා යන්න වුණා. ඒත් රජ වුණාට පස්සේ එයා ජීවත් වුණේ සැප පහසුකම් තිබුණ මාලිගාවක. දවසක් එයා අනාගතවක්තෘ නාතන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරමක තියෙද්දී දේවදාර ලීයෙන් තැනූ නිවසක මම කොහොම ජීවත් වෙන්නද!” දාවිත්ගේ ආසාව වුණේ දෙවි වෙනුවෙන් ලස්සන ගෘහයක් හදන එක. “නිරතුරුවම සැබෑ දෙවි ඔබට ආශීර්වාද කරනවා. ඒ නිසා ඔබට හොඳයි කියා සිතෙන දෙයක් කරන්න” කියලා නාතන් එයාට කිව්වා. ඒත් යෙහෝවා දෙවි නාතන් මාර්ගයෙන් දාවිත්ට මෙහෙම කිව්වා. “මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.” දෙවි දිගටම දාවිත්ට ආශීර්වාද කරනවා කියලත් දෙවි වෙනුවෙන් ගෘහයක් හදන්න එයාගේ පුතෙක්ව තෝරගෙන තියෙනවා කියලත් එයාට කිව්වා. ඒක දැනගත්තම දාවිත් කළේ මොකක්ද?—1 ලේක. 17:1-4, 8, 11, 12; 29:1.
7. දෙවි දුන්න මඟ පෙන්වීම දාවිත් භාරගත්තේ කොහොමද?
7 දෙවි වෙනුවෙන් ගෘහයක් හදන්නේ තමන් නෙමෙයි කියලා දැනගත්තම දාවිත්ට දුකක් දැනෙන්න ඇති. ඒත් ඒ කාර්යය සාර්ථකව කරන්න තමන්ට පුළුවන් උපරිමයෙන් එයා සලමොන්ට සහය දුන්නා. ඉදි කිරීම් වැඩවලට අවශ්‍ය සේවකයන්ව සංවිධානය කළා. අවශ්‍ය කරන යකඩ, තඹ, රන්, රිදී සහ ලී රැස් කළා. දාවිත් දැනගෙන හිටියා ඒ ගෘහය හදන එකේ ගෞරවය තමන්ට ලැබෙන්නේ නැහැ කියලා. පස්සේ කාලෙක ඒක සලමොන්ගේ මාලිගාව කියලත් හැඳින්නුවා. ඒත් දාවිත්ට වැදගත් වුණේ ඒක නෙමෙයි. එයා සලමොන්ව දිරිගන්වමින් මෙහෙම කිව්වා. “මගේ පුත් සලමොන්, යෙහෝවා දෙවි ඔබ සමඟ සැමදා සිටීවා! ඔබේ දෙවි වන යෙහෝවා පැවසූ ලෙස ඔහුගේ ගෘහය ගොඩනැඟීමේ කාර්යය ඔබ සාර්ථකව ඉටු කළ යුතුයි.”—1 ලේක. 22:11, 14-16.
8. දේවමාලිගාව හදන විශාල කාර්යය කරන්න තරම් සලමොන්ට අද්දැකීම් මදි කියලා දාවිත්ට හිතෙන්න ඇත්තේ ඇයි? ඒත් එයා කළේ මොකක්ද?
8 1 ලේකම් 22:5 කියවන්න. දෙවි වෙනුවෙන් හදන ගෘහය “තේජශ්‍රීයෙන් බැබළිය යුතුයි” කියලා දාවිත් දැනගෙන හිටියා. ඒ වගේ අතිවිශාල කාර්යයක් කරන්න තරම් සලමොන් “තරුණ වැඩියි” කියලත් “ඔහුට එතරම් අද්දැකීම් නැහැ” කියලත් දාවිත්ට හිතෙන්න ඇති. ඒත් ඒක ගොඩනඟන්න යෙහෝවා දෙවි සලමොන්ට උදව් කරනවා කියලා දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා සලමොන්ට ඒ කාර්යය සාර්ථකව ඉටු කරන්න තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ දාවිත් උපරිමයෙන් කළා.
අනිත් අයව පුහුණු කරන එකෙන් සතුටක් ලබන්න
වයසින් අඩු සහෝදරයන් වගකීම් කරට අරන් කරද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක් (9 ඡේදය බලන්න)
9. අනිත් අය එක්ක වගකීම් බෙදාගන්න එකෙන් සතුටක් ලබන්න වැඩිහිටි අයට පුළුවන් කොහොමද? උදාහරණයක් කියන්න.
9 තමන් දැනට කරන පැවරුම් වයසින් අඩු අයත් එක්ක බෙදාගන්න වෙද්දී වැඩිහිටි සහෝදරයන් දුක් වෙන්න ඕනෙ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ දෙවිගේ වැඩේ තවත් හොඳින් කරන්න වයසින් අඩු අය පුහුණු වෙන එකයි. මේ ගැන හිතන්න. පුතෙක් පොඩි කාලේ තාත්තා කාර් එක එළවන විදිහ බලන් ඉන්නවා. ඒත් එයා ටිකක් ලොකු වෙද්දී වාහනේ එළවන විදිහ ගැන තාත්තා එයාත් එක්ක කතා කරනවා. රියදුරු බලපත්‍රයක් ගන්න පුළුවන් වයසට ආවම තාත්තා එයාට වාහනේ දීලා එහා පැත්තේ ඉඳන් වාහනේ එළවන්න එයාව පුරුදු කරනවා. රියදුරු බලපත්‍රය ලැබුණට පස්සේ තාත්තායි පුතායි මාරුවෙන් මාරුවට කාර් එක එළවනවා. ඒත් තාත්තා ටිකෙන් ටික වයසට යද්දී වැඩිපුරම කාර් එක එළවන්නේ පුතා. ඒ ගැන තාත්තා දුක් වෙනවද? නැහැ. ඒ වැඩේ කරන්න පුතා ඉන්න එක ගැන සතුටු වෙනවා. තමන් පුහුණු කරපු අය සභාවේ වගකීම් කරට අරන් කරනවා දකිද්දී වැඩිහිටි සහෝදරයන්ට දැනෙන්නෙත් ලොකු සතුටක්.
10. ගෞරවය, අධිකාරිය ගැන මෝසෙස්ට හැඟුණේ කොහොමද?
10 පරෙස්සම් වුණේ නැත්නම් අනිත් අයට ලැබිලා තියෙන පැවරුම් ගැන සහෝදරයෙක්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මෝසෙස් හොඳ ආදර්ශයක්. දවසක් ඊශ්‍රායෙල්වරුන් පිරිසක් අනාගතවක්තෘවරුන් වගේ හැසිරෙන්න පටන්ගත්තා. (ගණන් කතාව 11:24-29 කියවන්න.) ඒ වෙලාවේ යොෂුවාට ඕනෙ වුණා ඒක නවත්තන්න. ඒත් මෝසෙස් මෙහෙම කිව්වා. “මට ඒකෙන් අවාසියක් වෙයි කියා ඔබට භයද? භය වෙන්න එපා. ඇත්තටම යෙහෝවා දෙවිට සේවය කරන සෑම කෙනෙක්ම අනාගතවක්තෘවරුන් නම් කොයි තරම් හොඳද! එහෙම වුණොත් යෙහෝවා දෙවි ඔහුගේ බලය ඔවුන් සෑම කෙනෙකුටම ලබා දෙයි.” එයාලට එහෙම කරන්න පුළුවන් වුණේ දෙවි බලය දුන්න නිසයි කියලා මෝසෙස් තේරුම්ගත්තා. හැම වගකීමක්ම තනියෙන් කරලා තමන්ටම ගෞරවය ලබාගන්නවා වෙනුවට දෙවිගේ හැම සේවකයෙක්ටම දෙවිගෙන් පැවරුම් ලැබෙනවටයි මෝසෙස් කැමති වුණේ. අපිට හැඟෙන්නෙත් මෝසෙස්ට වගේද?
11. තමන්ගේ වගකීම් අනිත් අයට භාර දෙන එක ගැන සහෝදරයෙක් කිව්වේ මොකක්ද?
11 දශක ගාණක් තිස්සේ දෙවිට උද්යෝගයෙන් සේවය කරන සහෝදරයන් හුඟදෙනෙක් වයසින් අඩු සහෝදරයන්ව සංවිධානයේ වගකීම් භාරගන්න පුහුණු කරලා තියෙනවා. සහෝදර පීටර් ඒ වගේ කෙනෙක්. එයා පූර්ණකාලීනව සේවය කරපු අවුරුදු 74න් අවුරුදු 35ක්ම සේවය කළේ යුරෝපයේ ශාඛා කාර්යාලයක. මෑතක් වෙන කල්ම සේවා අංශය භාරව හිටියේ එයායි. ඒත් දැන් ඒ පැවරුම කරන්නේ එයා පුහුණු කරපු සහෝදර පෝල්. ඒ වෙනස්කම ගැන පීටර්ට හැඟුණේ කොහොමද? “වගකීම් කරට අරන් වැඩ කරන්න හොඳට පුහුණු වෙච්ච සහෝදරයන් ඉන්න එක ගැන මට හරිම සතුටුයි. එයාලා වැඩ කොටස හොඳට කරනවා” කියලා පීටර් කියනවා.
අද්දැකීම් තියෙන වැඩිහිටි අයගෙන් ඉගෙනගන්න
12. රෙහබෝවම්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?
12 සලමොන් මිය ගියාම එයාගේ පුතා රෙහබෝවම් රජ වුණා. තමන්ගේ පැවරුම හොඳට කරන්න අවශ්‍ය උපදෙස් එයා වැඩිහිටි අයගෙන් ඇහුවා. ඒත් එයාලගේ උපදෙස් පිළිගන්නවා වෙනුවට එයා පිළිගත්තේ පොඩි කාලේ ඉඳලා එකට හැදුණ වැඩුණ යාළුවන්ගේ උපදෙස්. ඒකෙන් සිද්ධ වුණේ ලොකු විපතක්. (2 ලේක. 10:6-11, 19) මොකක්ද පාඩම? අද්දැකීම් තියෙන වැඩිහිටි අයගෙන් උපදෙස් ලබාගන්න එක හොඳ දෙයක්. ඇත්ත, ඉස්සර ඉඳලා දේවල් කරගෙන ආපු විදිහටම දේවල් කරන්න ඕනෙ නැහැ. ඒ වුණත් වැඩිහිටි සහෝදරයෙක් දෙන යෝජනා සැලකිල්ලට ගන්න එක වටිනවා. එයාලට තියෙන්නේ පරණ අදහස් කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා.
13. වයසින් අඩු අයට වැඩිහිටි සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?
13 වයසින් අඩු සහෝදරයෙක්ට අලුතෙන් ලැබෙන පැවරුමට අද්දැකීම් තියෙන, වැඩිහිටි සහෝදරයෙක්ගේ වැඩ අධීක්ෂණය කරන එක ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම වෙලාවලදී වැඩිහිටි සහෝදරයන්ගෙන් අදහස්, යෝජනා ගන්න එක ඥානවන්ත දෙයක්. කලින් අපි කතා කරපු අද්දැකීමේ, පීටර් යටතේ තිබුණ අංශය පෝල්ට භාර දුන්නට පස්සේ තමන් කරපු දෙයක් ගැන පෝල් මෙහෙම කියනවා. “වැඩවලදී මං පීටර්ගේ අදහස් ගත්තා. අපේ අංශයේ ඉන්න අනිත් අයටත් එහෙම කරන්න කියලා මං දිරිගැන්නුවා.”
14. පාවුල් සහ තිමෝතිගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
14 තිමෝති පාවුල්ට වඩා හුඟක් බාලයි. ඒ දෙන්නා කාලයක් තිස්සේ එකට සේවය කළා. (ෆිලිප්පි 2:20-22 කියවන්න.) පාවුල් කොරින්ති සභාවේ අයට මෙහෙම කිව්වා. “උපකාරයක් වශයෙන් මම තිමෝතිව ඔබ වෙතට එවන්නෙමි. ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානය. මා ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරමින් සෑම සභාවකටම ගොස් උගන්වන විට මා කටයුතු කරන ආකාරය ගැන ඔහු ඔබට පැහැදිලි කර දෙයි.” (1 කොරි. 4:17) පාවුල් සහ තිමෝති සහයෝගයෙන් වැඩ කළා කියලා ඒකෙන් පැහැදිලියි. තමන් වගේම ඇපකැප වෙලා “ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරන්න” පාවුල් තිමෝතිට කියලා දුන්නා. පාවුල් උගන්වපු දේවල් තිමෝති හිතට ගත්තා. පාවුල්ට තිමෝති ගැන තිබුණේ ලොකු ආදරයක්. තිමෝති කොරින්ති සභාවේ අයව හොඳින් බලාගනියි කියලා පාවුල්ට විශ්වාසයක් තිබුණා. සභාවේ වගකීම් භාරගන්න අනිත් අයව පුහුණු කරද්දී පාවුල්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන්.
අපි හැම කෙනෙක්ටම වැදගත් වැඩ කොටසක් තියෙනවා
15. වෙනස්කම් වෙද්දී රෝම 12:3-5 සඳහන් දේ අපිට උදව් වෙන්නේ කොහොමද?
15 අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ අන්තිම කෙළවරේ. දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස දවසින් දවස වර්ධනය වෙනවා. ඒ වර්ධනයත් එක්කම විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ සමහර වෙනස්කම් අපිට පෞද්ගලිකව බලපාන නිසා ඒවාට හුරු වෙන එක ලේසි නැහැ. ඒත් අපි නිහතමානී නම් අපිට අහිමි වෙන දේ ගැන හිතන්නේ නැහැ. ඒ වෙනුවට අපි හිතන්නේ දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට ඒ වෙනස්කම් උදව් වෙන්නේ කොහොමද කියලයි. එහෙම කරද්දී වෙනස්කම්වලට හුරු වෙන එක අමාරු නැහැ. අපි අතරේ තියෙන එකමුතුකමත් ඒකෙන් වැඩි වෙනවා. රෝම සභාවේ අයට පාවුල් කිව්වා අපේ ශරීරයේ තියෙන හැම අවයවයකින්ම එකම කාර්යය සිද්ධ වෙන්නේ නැහැ වගේ සභාවේ ඉන්න එක් එක් සාමාජිකයාගෙන් ඉටු වෙන්නේ විවිධ කාර්යයන් කියලා. ඒ නිසා “මා ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න” කියලා පාවුල් එයාලට මතක් කළා.—රෝම 12:3-5.
16. දෙවිගේ සංවිධානයේ සාමයට සහ එකමුතුකමට දායක වෙන්න අපි එක් එක් කෙනාට පුළුවන් කොහොමද?
16 මොන වෙනස්කම්වලට මුහුණ දුන්නත් දිගටම දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට සහය දෙන්න අපි අදිටන් කරගමු. වැඩිහිටි සහෝදරයෙනි, දැන් ඔයාලා කරන පැවරුම් භාරගන්න වයසින් අඩු සහෝදරයන්ව පුහුණු කරන්න. වයසින් අඩු සහෝදරයෙනි, ඔයාලට වගකීම්, පැවරුම් ලැබෙද්දී ඒවා සතුටින් භාරගන්න. නිහතමානීව, වයසින් වැඩි සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. භාර්යාවෙනි, ප්‍රිසිලාව ආදර්ශයට ගන්න. තත්වයන් වෙනස් වෙද්දී එයා අකිලා එක්කම ඉඳලා එයාට සහය වුණා. ඒ දේම කරන්න ඔයාටත් පුළුවන්.—ක්‍රියා 18:2.
17. ගෝලයන් ගැන යේසුස්ට තිබුණේ මොන වගේ නිසැකකමක්ද? යේසුස් එයාලව පුහුණු කළේ මොන කාර්යය කරන්නද?
17 අනිත් අයව පුහුණු කරන එක යේසුස් සැලකුවේ අත්‍යවශ්‍ය දෙයක් විදිහට. තමන් හැමදාටම මේ පොළොවේ ඉන්නේ නැහැ කියලත් ඔහු පටන්ගත්ත කාර්යය ගෝලයන් දිගටම කරගෙන යන්න ඕනෙ කියලත් ඔහු දැනගෙන හිටියා. එයාලා පරිපූර්ණ අය නොවුණත් ඒ කාර්යය හොඳින් කරයි කියලා යේසුස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. (යොහ. 14:12) ඒ නිසා යේසුස් එයාලව හොඳින් පුහුණු කළා. ප්‍රතිඵලයක් විදිහට ඒ කාලේ ජනාවාස වෙලා තිබුණ හැම ප්රදේශයකටම වගේ ශුභාරංචිය ගෙනියන්න එයාලට පුළුවන් වුණා.—කොලො. 1:23.
18. අනාගතයේදී අපිට මොන වගේ පැවරුම් ලැබෙයිද? දැන් අපිට තියෙන කාර්යය මොකක්ද?
18 යේසුස් මිය ගියාට පස්සේ දෙවි ඔහුව නැවත නැඟිට්ටවලා තවත් වැඩියෙන් වගකීම් භාර දුන්නා. “සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්” වඩා බලතල ලබා දුන්නා. (එෆී. 1:19-21) අපි දෙවිට විශ්වාසවන්තව ඉඳලා හර්–මගෙදොන් යුද්දෙට කලින් මිය ගියොත් දෙවි අපිවත් නැවත නැඟිට්ටවලා පාරාදීසයේදී කරන්න හුඟක් වැඩ භාර දෙයි. ඒවා කරද්දී අපේ හිතට ලොකු තෘප්තියක් දැනෙයි. මේ කාලෙදීත් අපිට කරන්න වැදගත් කාර්යයක් තියෙනවා. ඒ තමයි ශුභාරංචිය දේශනා කරලා මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න උදව් කරන එක. අපි තරුණ වුණත් මහලු වුණත් “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරමු.”—1 කොරි. 15:58.