අග්‍රගණ්‍ය වූ හෙබ්‍රෙව් බයිබල් අත්පිටපතක්
වර්ෂ 1947 දී, මළ මුහුදේ අකුළන ලද ලියවිලි සොයා ගැනීමට පෙර, ලේඛන ඛණ්ඩ කිහිපයක් හැර, දැනගෙන තිබූ මුල් ම හෙබ්‍රෙව් බයිබල් අත්පිටපත සම්පාදනය කරන ලද්දේ, පො.යු. 9 සිට 11 සියවස් අතුරතුරේ දී ය. එය දළ වශයෙන් වසර එක් දහසකට පමණ පෙර ය. මින් අදහස් කරන්නේ, 1947ට පෙර බයිබලයේ හෙබ්‍රෙව් පාඨ අස්ථිර බව ද? එමෙන් ම, පැරණි හෙබ්‍රෙව් අත්පිටපත් මෙතරම් ස්වල්ප ප්‍රමාණයක් තිබෙන්නේ මන්ද?
එම අන්තිම ප්රශ්නය පළමුවෙන් සලකා බැලීමට නම්, සම්ප්‍රදායික යුදෙව් ක්‍රමය යටතේ, තවදුරටත් භාවිතා කිරීම සඳහා බොහෝ සෙයින් වැහැරී ගොස් ඇතැයි සලකන ලද මොනයම් හෙබ්‍රෙව් බයිබල් අත්පිටපතක් සිනගෝගයේ හෝ ගබඩාකාමරයක් වන ගනීසා හි ගබඩා කොට අගුලු දමනු ලැබිණි. පසු ව, මෙසේ ගොඩගැසුණු වැහැරී ගිය අත්පිටපත් පිටතට ගෙන වළලන ලදි. යුදෙව්වන් මෙසේ කළේ, ඔවුන්ගේ ශුද්ධ ලියවිලි අවමන් කරනු ලැබීමෙන් හෝ වැරදි ලෙස භාවිතා කරනු ලැබීමෙන් වැළැක්වීමට ය. මන්ද? මන්දයත්, ඉංග්‍රීසි බසින් “ජෙහෝවා” යනුවෙන් පොදුවේ හැඳින්වෙන දෙවියන් වහන්සේගේ පරිශුද්ධ නාමය නියෝජන කරන ටෙට්ට්රග්රැමටන් [අකුරු හතර] එහි අඩංගු වීම නිසා ය.
“ක්‍රවුන්”
පුරාණ හෙබ්‍රෙව් පාඨයන්ගෙන් වැඩි කොටසක් ප්රාරම්භක කාලවල සිට විශ්වාසනීය ව ගෙන එනු ලැබ තිබේ. නිදසුනක් වශයෙන්, ආරම්භයේ දී සියලු ම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි හෙවත් “පැරණි ගිවිසුම” අඩංගු වූ, කෙටර් හෙවත් “ක්‍රවුන්” [ඔටුන්න] යනුවෙන් හැඳින්වුනු වැදගත් හෙබ්‍රෙව් අත්පිටපතක් තිබුණි. සිරියාවේ, ප්‍රධාන කොට මුස්ලිම් නගරයක් වන ඇලෙප්පෝ හි ජීවත් වන පැරණි කුඩා යුදෙව් සමාජයක පැරණිතම සිනගෝගයක් තුළ මෙය ආරක්ෂා කරනු ලැබිණි. මීට පෙර, මෙම අත්පිටපත රැඳී තිබුණේ යෙරුසලමේ කාරෙයිට් යුදෙව්වන් අතේ ය, නමුත් යෙරුසලම මුස්ලිම්වරුන්ගෙන් මුදවා ගැනීමට සටන් කළ කුරුස යුද්ධ කරන්නන් විසින් 1099 දී එය අල්ලා ගන්නා ලදි. පසු ව, මෙම අත්පිටපත නැවත අත්කර ගනු ලැබ මිසරයේ පැරණි කයිරෝ වෙත ගෙන යනු ලැබී ය. අඩු තරමින් 15 සියවසේ දී, එය අලේප්පෝ වෙත ළඟා වූ අතර, ඉන් පසු ව එය අලෙප්පෝ කොඩෙක්ස් යන නමින් ප්‍රසිද්ධ විණි. අඩු වශයෙන් පො.යු. 930ට දාතම කර ඇති මෙම අත්පිටපත, එහි නමින් ම අඟවන්නාක් සේ, මොසරීය විශාරද බවේ ඔටුන්න යයි සලකන ලදි. මෙය හෙබ්‍රෙව් බයිබල් පාඨයන් ගෙන ඒමේ දී දක්වා ඇති සැලකිල්ල නිරූපනය කිරීමේ ලා කදිම උදාහරණයක් වූ අතර, ඇත්ත වශයෙන් ම, මෙය හෙබ්‍රෙව් බයිබල් අත්පිටපතක අග්‍රගණ්‍ය ආකෘතියක් වෙයි.
වඩාත් මෑත කාලවල දී, මෙම කැපී පෙනෙන සුලු අත්පිටපත ආරක්ෂා කළ අය, තමන්ගේ පරිශුද්ධ භාණ්ඩය කෙළසේවි යන මිථ්‍යා බියෙන් යුතු ව, විශාරදයෝ එයින් කාරණා තොරතුරු සොයා බලනවාට ඉඩ නුදුන්හ. මීටත් වඩා, කවදා හෝ ඡායාරූපයට නගනු ලැබුවේ මෙහි එක කොලයක් පමණක් බැවින්, අධ්‍යයනය කිරීම සඳහා ඡායා පිටපත් සංස්කරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි විය.
වර්ෂ 1948 දී, බ්‍රිතාන්‍යය පලස්තීනයෙන් ඉවත් ව ගිය විට, අලෙප්පෝ හි යුදෙව්වන්ට එරෙහි ව කෝලහාලයක් ඇති විය. ඔවුන්ගේ සිනගෝග පුළුස්සා දැමිණි; මෙම වටිනා පිටපත අතුරුදහන්වූ අතර, එය විනාශ වූවා යයි උපකල්පනය කරන ලදි. එහි තුන් කාලක් පමණ බේරී ඉතිරි ව තිබෙන බවත් එය සිරියාවේ සිට යෙරුසලමට හොරෙන් රැගෙන ඇවිත් තිබෙන බවත් වසර දහයකට පසු ව දැනගැනීමට ලැබීම මොනතරම් පුදුමයක් ද! වර්ෂ 1976 දී පිටපත් 500කින් යුත් මුළුමනින් ම වර්ණයෙන් යුත් කදිම ඡායා පිටපත් සංස්කරණයක් අවසානයේ දී නිකුත් කෙරිණ.
ප්‍රවීණයෙකුගේ වැඩක්
මෙම අත්පිටපත මේ තරම් වැදගත් වන්නේ ඇයි? මන්දයත් එහි ප්රාරම්භක ගාත්රාක්ෂර පාඨය, පො.යු. 930 දී පමණ, හෙබ්‍රෙව් බයිබල් පිටපත් කිරීමේ සහ අතින් ලිවීමේ ලා මහත් ගෞරවයකට භාජනය වූ විශාරදයෙකු වන ආරන් ඇෂර් විසින් නිවැරදි කරනු ලැබ, විරාම ලකුණු දමනු ලැබූ නිසා ය. එමනිසා, දක්ෂකමින් අඩු ලියන්නන් විසින් ඊට පසු ව සාදනු ලැබූ පිටපත් සඳහා සම්මතයක් තබමින්, එය අත්පොතක අග්‍රගණ්‍ය ආකෘතියක් වූයේ ය.
ආරම්භයේ දී, එයට පත්ඉරු 380ක් (පිටු 760ක්) තිබූ අතර, සාමාන්‍යයෙන් එය ලියනු ලැබුවේ, සත්ත්ව හම්වලින් සාදාගන්නා ලද පාච්මන්ට් පත්‍ර මත ඇති තීරු තුනක ය. දැන් එයට පත්ඉරු 294ක් අඩංගු වන අතර, පංච පුස්තකයේ සහ සාලමොන්ගේ ගීතිකා, දානියෙල්, එස්තර්, එස්රා, සහ නෙහෙමියා ඇතුළු අවසාන කොටසේ වැඩි හරියක් එහි නැත. එය, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්—රෙෆරන්ස් බයිබල් හි (යෝෂුවා 21:37, පාද සටහන) “Al” යනුවෙන් සඳහන් වෙයි. පොදු යුගයේ 12 වන සියවසේ, මධ්‍ය කාලීන, කීර්තිමත් යුදෙව් විශාරදයෙකු වූ (මෙහි පින්තූරයේ දක්වා ඇති), මෝසෙස් මයිමොනිඩස් තමා කවදා හෝ දැක ඇති හොඳ ම පිටපත අලෙප්පෝ කෝඩෙක්ස් පිටපත යයි ප්‍රකාශ කළේ ය.a
දහතුන් වෙනි සියවසේ සිට 15 වෙනි සියවස දක්වා අතින් පිටපත් කර ඇති හෙබ්‍රෙව් පාඨ පිටපත්, බෙන් ඇෂර් හා බෙන් නැෆ්තලයි නම් ප්‍රධාන මොසරීය පාඨ පවුල් දෙකක මිශ්‍රණයක් විය. දහසය වෙනි සියවසේ දී, ජාකොබ් බෙන් හයීම්, මෙම මිශ්‍ර සම්ප්‍රදායෙන් ගෙන හැර ඇති මුද්‍රිත හෙබ්‍රෙව් බයිබලයක් සඳහා පාඨ පිටපතක් නිපදවූ අතර, මෙය, ඊළඟ වසර 400 සඳහා වූ ආසන්න වශයෙන් සියලු ම මුද්‍රිත හෙබ්‍රෙව් බයිබල් සඳහා පදනම බවට පත් විය.
වර්ෂ 1937 දී, බිබ්ලියා හෙබ්‍රෙයිකා හි (මුද්‍රිත හෙබ්‍රෙව් පාඨ පිටපත) තුන්වන සංස්කරණයත් සමඟ, ලෙනින් ග්‍රැඩ් B 19A නමින් හඳුන්වනු ලැබූ රුසියාවේ තබනු ලැබ ඇති අත්පිටපත් වශයෙන් එය සුරැකි ව තබනු ලැබූ නිසා, බෙන් ඇෂර් සම්ප්‍රදායෙන් තොරතුරු ලබා ගන්නා ලදි. මෙම ලෙනින්ග්රාඩ් B 19A පිටපත පො.යු. 1008ට දාතම කර තිබේ. මළ මුහුදේ අකුළන ලද ලියවිලි ඇතුළු, අනෙකුත් සියලු වැදගත් අත්පිටපත් හා අනුවාදයන්ගෙන් යුත් කියවීම් සමඟ, යම් කාල පරිච්ඡේදයක් තුළ, අලෙප්පෝ හෙබ්‍රෙව් පාඨ පිටපත මුළුමනින් ම ප්‍රකාශයට පත් කිරීමට යෙරුසලමේ හෙබ්‍රෙව් සරසවිය සැලසුම් කරයි.
අද දින අප භාවිතා කරන බයිබල් පාඨ විශ්වාසදායක ය. ඒවා දිව්‍යමය අනුභාව ලැබ තිබෙන අතර, සියවස් ගණනාවක් පුරා අතිදක්ෂ නිපුණත්වයකින් වැඩ කළ ලේඛන පිටපත් කරන්නන් විසින් අතින් පිටපත් කර තිබුණි. මෙම පිටපත් කරන්නන් විසින් දක්වන ලද අති මහත් සැලකිල්ල දැකිය හැක්කේ, වර්තමානයේ තිබෙන පැරණි ම මැසොරීය බයිබලයට වඩා මළ මුහුදේ ලියවිල්ල වසර දහසක් ඉපැරණි වුවද, 1947 මළ මුහුද අසල තිබී සොයා ගත්, යෙසායාගේ හකුළන ලද ලියවිල්ල සමඟ මැසොරීය පාඨ පිටපත් සසඳන විට, පුදුම සහගත ව පෙන්නුම් කරන ඉතා සුළු වෙනස්කම් පමණක් වීම තුළින් ය. එපමණක් ද නොව, දැන් අලෙප්පෝ කොඩෙක්ස් පාඨ පිටපත විශාරදයන්ට ලබා ගත හැකි ව තිබෙන හෙයින් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පාඨයේ විශ්වාස කටයුතු බව කෙරෙහි නිසැක වීමට එය ඊටත් වඩා හේතු සපයයි. ඇත්තෙන් ම, “අපේ දෙවියන්වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය.”—යෙසායා 40:8. w92 10/15
[පාදසටහන්වල]
a අලෙප්පෝ පිටපත බෙන් ඇෂර් විසින් විරාම ගත කරන ලද අත්පිටපතක් බවට සමහරක් විශාරදයන් වසර ගණනාවක් පුරා සැක කළහ. කෙසේ වුවද, මෙම පිටපත අධ්‍යයන කටයුතු සඳහා ලබා ගත හැකි ව තිබෙන නිසා, සොයා ගෙන තිබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ, එය මයිමොනිඩස් විසින් සඳහන් කර ඇති, ඇත්තට ම බෙන් ඇෂර් විසින් කරන ලද අත්පිටපත බවයි.
Bibelmuseum, Münster
Jewish Division / The New York Public Library / Astor, Lenox, and Tilden Foundations