මැසරීට්වරු කවරහුද?
“සැබෑකමේ දෙවිවූ” යෙහෝවඃවහන්සේ, ස්වකීය වචනය වන බයිබලය රක්ෂා කරගෙන ඇත. (ගීතාවලිය 31:5) එහෙත් සැබෑකමේ සතුරා වන සාතන්, එය දූෂිත කිරීමටත්, විනාශ කිරීමටත් වෑයම් කර තිබෙන නිසා, ලිඛිතව ගත් කල, බයිබලය මූලිකව අප කරා පැමිණියේ කෙසේද?—මතෙව් 13:39 බලන්න.
මහාචාර්ය රොබර්ට් ගෝර්ඩිස් විසින් කරන ලද අදහස් දැක්වීමක මේ සඳහා යම් දුරකට පිළිතුරක් සොයාගත හැක: “මැසරීට්වරුන් නොහොත් ‘සම්ප්‍රදාය රකින්නන්’ ලෙස හඳුන්වනු ලබන හෙබ්‍රෙව් ලියන්නන්ගේ කාර්ය සිද්ධිය, මුළුමනින්ම අගය කොට නැත. මෙම නිර්නාමික ලියන්නෝ, ඉතා පරෙස්සම් හා ප්‍රේමනීය සැලකිල්ලකින් යුක්තව පරිශුද්ධ ග්‍රන්ථය පිටපත් කළෝය.” අදදින මෙම පිටපත්කරන්නන් බහුතරයකගේ නම් අප නොදැන සිටිතත්, මැසරීට්වරුන්ගේ එක් පවුලක නම අප සඳහා වාර්තා කර තිබේ—එනම් බෙන් ඇෂර්ය. ඔවුන් ගැනත්, සෙසු මැසරීට්වරුන් ගැනත්, අප දන්නේ කුමක්ද?
බෙන් ඇෂර් පවුල
පරණ ගිවිසුම යනුවෙන් නොයෙක්විට හඳුන්වනු ලබන, මූලාරම්භයේදී හෙබ්‍රෙව් භාෂාවෙන් ලියනු ලැබූ කොටස, යුදෙව් ලියන්නන් විසින් විශ්වාසවන්ත ලෙස පිටපත් කරනු ලැබීය. පොදු යුගයේ හයවන සිට දහවන සියවස දක්වා, මෙම පිටපත්කරන්නන්ව මැසරීට්වරුන් ලෙස හඳුන්වන ලදි. ඔවුන්ගේ කාර්යයට ඇතුළත් වූයේ කුමක්ද?
සියවස් ගණනාවක් පුරා හෙබ්‍රෙව් ලියනු ලැබුවේ ව්‍යඤ්ජනාක්ෂර භාවිත කිරීමෙන් පමණකි, පාඨකයා විසින් කියවීමේදී ස්වර ඇතුල් කරන ලදි. කෙසේවෙතත්, මැසරීට්වරුන්ගේ කාලය වන විට, හෙබ්‍රෙව්වල නියම ශබ්ද කිරීමේ විලාසය අභාවයට පත්වෙමින් තිබිණ, මන්දයත් යුදෙව්වරුන් බොහෝදෙනෙකු එම භාෂාවෙහි තවදුරටත් ව්‍යක්ත නොවූ බැවිනි. බබිලෝනියෙහි හා ඉශ්‍රායෙල්හි මැසරීට්වරු කණ්ඩායම්, උච්චාරණයේ වෙනස්කම් හා ස්වරවල නිසි උච්චාරණය දැක්වීම සඳහා ව්‍යඤ්ජනාක්ෂර අවට තැබිය යුතු සංකේත නිර්මාණය කළෝය. යටත් පිරිසෙයින් වෙනස් ක්‍රම තුනක් ගොඩනංවනු ලැබුවත්, වඩාත් බලපැවැත්වූ එක බවට පත්වූයේ ගලීල මුහුද අද්දර බෙන් ඇෂර් පවුලේ ගම වූ තිබේරියස්හි විසූ මැසරීට්වරුන්ගේ ක්‍රමයයි.
පොදු යුගයේ අටවන සියවසේ විසූ ජ්‍යෙෂ්ඨ ඇෂර්ගෙන් පටන්ගෙන, මෙම අද්විතීය පවුලෙන් මැසරීට්වරුන් පරම්පරා පහක් මූලාශ්‍රවල ලැයිස්තුගත කර තිබේ. අනික් අය, නෙහිමයා බෙන් ඇෂර්, ඇෂර් බෙන් නෙහිමයා, මෝසස් බෙන් ඇෂර්, එමෙන්ම අවසානයේදී පො.යු. දහවන සියවසේ විසූ ඒරන් බෙන් මෝසස් බෙන් ඇෂර් වූහ.a මෙම මනුෂ්‍යයෝ, හෙබ්‍රෙව් බයිබල් පාඨයේ නිසි උච්චාරණය ලෙස අවබෝධ කරගත් දෙය වඩාත් හොඳින් ප්‍රකාශයට පත්කරන්නාවූ ලිඛිත සංකේත සම්පූර්ණ කිරීමෙහිලා පෙරමුණෙහි සිටියෝය. මෙම සංකේත නිර්මාණය කිරීමට, ඔවුන්ට හෙබ්‍රෙව් ව්‍යාකරණ පද්ධතියේ පදනම නිශ්චය කරගැනීමට සිදුවිය. එතෙක් හෙබ්‍රෙව් ව්‍යාකරණ සඳහා කිසිදු පැහැදිලි නීති පද්ධතියක් වාර්තා කර නොතිබිණ. එමනිසා, මුල් හෙබ්‍රෙව් ව්‍යාකරණවේදීන් අතර මැසරීට්වරුන් සිටි බව යමෙකුට පැවසිය හැක.
බෙන් ඇෂර් පවුල් සම්ප්‍රදායේ අවසන් මැසරීට්වරයා වූ ඒරන්, මෙම තොරතුරු වාර්තා කොට සංස්කරණය කළ පළමු තැනැත්තා වූයේය. හෙබ්‍රෙව් ව්‍යාකරණ නීති පිළිබඳ පළමු පොත වන “සීෂර් ඩික්ඩුකෙයි හා-ටෙ’ආමිම්,” යන මැයින් යුත් කෘතියේ ඔහු එසේ කර තිබුණේය. ඉදිරි සියවස් ගණනාව පුරා, වෙනත් හෙබ්‍රෙව් ව්‍යාකරණවේදීන්ගේ කෘති සඳහා මෙම පොත පදනම බවට පත්විය. එහෙත් මෙය වූ කලි මැසරීට්වරුන්ගේ වඩාත් වැදගත් කෘතියෙහි අතුරු ඵලයක් වූවා පමණි. එය කුමක් වීද?
විශිෂ්ට මතකයක් අවශ්‍යයි
මැසරීට්වරුන්ගේ විශේෂ සැලකිල්ල යොමුවූයේ බයිබල් පාඨයේ එක් එක් වචනය, එක් එක් අකුර පවා නිරවද්‍ය ලෙස පිටපත් කිරීමටය. නිරවද්‍යතාව සහතික කිරීමේ අටියෙන්, අතීතයේ පිටපත්කරන්නන් විසින් ප්‍රමාද දෝෂයකින් හෝ හිතාමතා කරන ලද ඕනෑම වෙනස්කමක් ඇඟවීමට සපයන තොරතුරු වාර්තා කිරීමට, මැසරීට්වරු එක් එක් පිටුවේ පැති තීරු උපයෝගි කළෝය. මෙම තීරු සටහන්වල, වචනවල අසාමාන්‍ය රූප වින්‍යාස හා සංයෝගද සටහන් කළ මැසරීට්වරු, පොතක නැතහොත් මුළු හෙබ්‍රෙව් ලියවිලි තුළ මේවා කෙතරම් වාර ගණනක් දක්නට ලැබීද යන්න සලකුණු කළෝය. ඉඩ කඩ සීමිත වූ බැවින්, මෙම අදහස් බෙහෙවින් කෙටි කරන ලද සංකේත භාවිත කරමින් වාර්තා කරන ලදි. හරස්-පරීක්ෂණය සඳහා අමතර මෙවලමක් හැටියට, ඇතැම් පොත්වල මැද වචනය හා අක්ෂරය ඔවුහු සලකුණු කළෝය. ඔවුහු නිරවද්‍ය පිටපත් කිරීමක් සහතික කිරීමට බයිබලේ හැම අකුරක්ම ගණන් කිරීම තරම් දුරදිග ගියෝය.
මැසරීට්වරු පැති තීරුවල සඳහන් කෙටි කරන ලද සටහන් සම්බන්ධයෙන් වඩාත් පුළුල් වූ අදහස් පිටුවේ ඉහළ හා පහළ තීරුවල වාර්තා කළෝය.b ඔවුන්ගේ කෘති හරස් පරීක්ෂණයට භාජන කරද්දී මේවා උපකාරවත් විය. එකල මෙම ඡේද අංක අනුව බෙදා නොතිබූ නිසාත්, බයිබල් සමපද අකාරාදි නොතිබූ නිසාත්, මෙම හරස් පරීක්ෂණය කිරීම සඳහා මැසරීට්වරුන් බයිබලයේ වෙනත් කොටස්වලට යොමු දැක්වූයේ කෙසේද? ඉහළ හා පහළ තීරුවල, දක්වා තිබූ වචනය හෝ වචන බයිබලයේ වෙනත් කොතැනක සොයාගන්නා ලද්දේදැයි සිහිකරවීමට, ඔවුහු සමාන්තර පදයක කොටසක් ලැයිස්තුගත කළෝය. ඉඩ කඩ සීමිත වූ නිසා, එක් එක් සමාන්තර පදය ඔවුන්ට සිහිකරවීම සඳහා ඔවුහු එකම එක වැදගත් වචනයක් ලියන්නෝය. මෙම තීරු සටහන්වලින් ප්‍රයෝජන අත්කරගැනීමට, මෙම පිටපත්කරන්නන්ට මුළු හෙබ්‍රෙව් බයිබලයම පාහේ කටපාඩමින් දැනසිටීම අවශ්‍ය වනු ඇත.
තීරුවල දැක්වීම සඳහා වුවමනාවට වඩා දීර්ඝ වූ ලැයිස්තු අත්පිටපතෙහි තවත් කොටසක දක්වන ලදි. උදාහරණයක් වශයෙන්, උත්පත්ති 18:3හි පැති තීරුවේ මැසරෙටික් සටහනේ, קלד යන හෙබ්‍රෙව් අක්ෂර තුන දැක්වේ. මෙය වනාහි අංක 134 සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් යොදවන දෙයයි. අත්පිටපතෙහි තවත් කොටසක, මැසරීට්වරුන්ට කලින් සිටි පිටපත්කරන්නන් හිතාමතා යෙහෝවා යන නම අහක් කොට, ඒ වෙනුවට “ස්වාමීන්” යන වචනය ඇතුල් කළ ස්ථාන 134ක් දක්වන ලැයිස්තුවක් දක්නට ලැබේ.c මැසරීට්වරුන් මෙම වෙනස්වීම් ගැන අවබෝධයෙන් සිටියත්, තමුන්ට උරුම කර දුන් පාඨය වෙනස් කිරීම ඔවුහු තම අතට නොගත්තෝය. ඒ වෙනුවට, ඔවුහු මෙම වෙනස්වීම් තම තීරු සටහන්වල දැක්වූහ. එහෙත් පෙර විසූ පිටපත්කරන්නන් පාඨය වෙනස් කර තිබුණත්, මැසරීට්වරුන් එය වෙනස් නොකිරීමට එතරම් විශේෂ සැලකිල්ලක් දැක්වූයේ මන්ද? යුදෙව් විශ්වාස පිළිබඳ ඔවුන්ගේ ආකෘතිය ඔවුන්ගේ පූර්වගාමීන්ට වඩා වෙනස් වීද?
ඔවුන් විශ්වාස කළේ කුමක්ද?
මැසරීට්වරුන් වැඩිදියුණු වූ මෙම කාලපරිච්ඡේදය තුළදී, යුදෙව්වාදය ගැඹුරු ලෙස මුල්බැස තිබූ සංකල්පවේදී සටනක ඇලී ගැලී සිටියේය. පොදු යුගයේ පළමු සියවස සිට, රබ්බිවරුන්ගේ යුදෙව්වාදය එහි පාලනය වැඩි කරමින් සිට තිබිණ. රබ්බිවරුන් විසින් තල්මුඩය හා අර්ථකථන ලේඛනගත කිරීමත් සමඟ, වාචික ව්‍යවස්ථාව පිළිබඳ රබ්බිවරුන්ගේ අර්ථකථනය හා සසඳන කල, බයිබල් පාඨයට ද්විතීයික වැදගත්කමක් හිමිවෙමින් තිබිණ. එමනිසා බයිබල් පාඨය පරෙස්සමින් රක්ෂා කිරීමෙහි වැදගත්කම ගිලිහී යෑමට ඉඩකඩ තිබිණ.
අටවන සියවසේදී, ඛාරායිට්වරු යනුවෙන් හඳුන්වනු ලැබූ කණ්ඩායමක් මෙම ප්‍රවණතාවට එරෙහිව කැරලි ගැසුවෝය. පෞද්ගලික බයිබල් අධ්‍යයනයේ වැදගත්කම අවධාරණය කරමින්, ඔවුහු රබ්බිවරුන්ගේ හා තල්මුඩයේ අධිකාරය හා අර්ථකථන ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු සිය අධිකාරය වශයෙන් බයිබල් පාඨය පමණක් පිළිගත්තෝය. මෙනිසා එම පාඨය නිරවද්‍ය ලෙස පිටපත් කිරීමේ අවශ්‍යතාව වැඩි කළ අතර, මැසරෙටික් අධ්‍යයනවලට නව පණක් ලැබිණ.
රබ්බිවරුන්ගේ හෝ ඛාරායිට්වරුන්ගේ විශ්වාස, මැසරීට්වරුන් කෙරෙහි කොතරම් දුරට බලපෑමක් කළාද? හෙබ්‍රෙව් බයිබල් අත්පිටපත් පිළිබඳ ප්‍රවීණයෙකු වන එම්. එච්. ගෝෂෙන්-ගොට්ස්ටයින්, මෙසේ ප්‍රකාශ කරයි: “තමුන් ඉපැරණි සම්ප්‍රදායක් පවත්වමින් සිටි බවත්, මීට හිතා මතා බාධා කිරීම, කළ හැකි වඩාත්ම නරක අපරාධය බවත් මැසරීට්වරු තරයේ විශ්වාස කළෝය.”
බයිබල් පාඨය නිසි ලෙස පිටපත් කිරීම ශුද්ධ කාර්යයක් හැටියට මැසරීට්වරු සැලකූහ. වෙනත් ආගමික කාරණා මගින් ඔවුන්ව පෞද්ගලිකව පොලඹවනු ලැබුවත්, මැසරීට් කාර්යය තනිව ගත් කල, එය සංකල්පවේදීය ප්‍රශ්න අබිබවා ගමන් කළ බව පෙනෙන්ට තිබේ. ඉතා සංක්ෂිප්ත තීරු සටහන් නිසා, දේවවේදීය විවාද සඳහා වැඩි ඉඩ කඩක් නොසලසන ලදි. ඔවුන්ගේ ජීවිතයේ මුළු සැලකිල්ල යොමුවූයේ බයිබල් පාඨය කෙරෙහිය; ඔවුහු එය වෙනස්වීම්වලට භාජන නොකරනු ඇත්තාහ.
ඔවුන්ගේ කාර්යයෙන් ප්‍රයෝජන ලැබීම
ස්වාභාවික ඉශ්‍රායෙල් තවදුරටත් දෙවියන්වහන්සේගේ තෝරාගත් ජනයා නොවුවද, මෙම යුදෙව් පිටපත්කරන්නෝ දේවවචනය නිරවද්‍ය ලෙස රක්ෂා කිරීමට මුළුමනින්ම කැපවී සිටියෝය. (මතෙව් 21:42-44; 23:37, 38) බෙන් ඇෂර් පවුලේ හා වෙනත් මැසරීට්වරුන්ගේ සමර්ථකම රොබර්ට් ගෝර්ඩිස් විසින් මැනවින් කැටි කොට දක්වා තිබේ, හේ මෙසේ ලීවේය: “එම නිහතමානී නමුත් මැඩපැවැත්විය නොහැකි සේවකයෝ . . . බයිබල් පාඨය නැතිවීමෙන් හා වෙනස්වීමෙන් රක්ෂා කිරීමට වූ සිය ඉතා ප්‍රබල කාර්යය අප්‍රසිද්ධියේම ඉටු කළෝය.” (ද බිබ්ලිකල් ටෙක්ස්ට් ඉන් ද මේකිං) ප්‍රතිඵලයක් වශයෙන්, ලූතර් හා ටින්ඩේල් වැනි 16වන සියවසේ ප්‍රතිසංස්කාරකයන් පල්ලියේ අධිකාරයට විරුද්ධ වී, සියලුදෙනාටම කියවිය හැකිවන පිණිස පොදු භාෂාවලින් බයිබලය පරිවර්තනය කිරීමට පටන්ගත් විට, තම කෘතිවලට පදනමක් වශයෙන් ඔවුන්ට හොඳින් රක්ෂා කරන ලද හෙබ්‍රෙව් පාඨයක් තිබිණ.
අදදින අප සඳහාද මැසරීට්වරුන්ගේ කාර්යය තවදුරටත් ප්‍රයෝජනවත් වේ. නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්හි හෙබ්‍රෙව් ලියවිලිවලට පදනම ඔවුන්ගේ හෙබ්‍රෙව් පාඨවලින් ලැබේ. පුරාණ මැසරීට්වරුන් විසින් විදහාපෙන්වන ලද කැපවීමේ ස්වභාවය හා නිරවද්‍යතාව සඳහා සැලකිල්ල ඇතුව, මෙම පරිවර්තනය භාෂා ගණනාවකටම අඛණ්ඩව පරිවර්තනය කරනු ලැබේ. යෙහෝවඃ දෙවියන්වහන්සේගේ වචනයට අවධානය යොමු කිරීමෙහිලා අප මේ හා සමාන ස්වභාවයක් දැක්වීම යෙහෙකි.—2 පේතෘස් 1:18ආ, 20.
[පාදසටහන්වල]
a හෙබ්‍රෙව් භාෂාවේ “බෙන්” යන්නෙහි තේරුම “පුත්‍රයා” වේ. එමනිසා බෙන් ඇෂර් යන්නෙහි තේරුම “ඇෂර්ගේ පුත්‍රයා” වේ.
b පැති තීරුවල දක්වා තිබෙන මැසරෙටික් සටහන් කුඩා මසෝරා වශයෙන් හඳුන්වනු ලැබේ. ඉහළ හා පහළ තිබෙන තීරුවල සටහන් විශාල මසෝරා ලෙස හඳුන්වනු ලැබේ. අත්පිටපතේ වෙනත් තැන්වල දක්වා තිබෙන ලැයිස්තු අවසාන මසෝරා ලෙස හඳුන්වා තිබේ.
c නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් විත් රෙෆරන්සස් තුළ උපග්‍රන්ථය 1B බලන්න.
[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]
හෙබ්‍රෙව් උච්චාරණ රීතිය
ස්වර සංකේත හා උච්චාරණ ලකුණු සටහන් කිරීමට හොඳම ක්‍රමය සඳහා සෙවිල්ල, මැසරීට්වරුන් අතර සියවස් ගණනාවක් පුරා පැවතිණ. එබැවින්, බෙන් ඇෂර් පවුලේ සෑම අලුත් පරම්පරාවක් සමඟ දිගින් දිගට වර්ධනයක් දක්නට ලැබීම පුදුමයක් නොවේ. දැනට පවතින අත්පිටපත්වල දක්නට ලැබෙන්නේ, බෙන් ඇෂර් පවුලේ අන්තිම මැසරීට්වරුන් දෙදෙනා වූ මෝසස් හා ඒරන් යන අයගේ විලාස හා ක්‍රම පමණකි.d මෙම අත්පිටපත් සන්සන්දනාත්මකව අධ්‍යයනය කරන කල, උච්චාරණය හා අංකනයට අදාළ සුළු කාරණා සම්බන්ධයෙන්, ඒරන් සිය පිය වූ මෝසස්ට වඩා වෙනස් වූ, ඇතැම් නීති ගොඩනැඟූ බව පෙනේ.
බෙන් නැෆ්ටලයි ඒරන් බෙන් ඇෂර්ගේ සමකාලීනයෙක් වූයේය. මෝසස් බෙන් ඇෂර්ගේ කයිරෝ අත්පිටපත් වෙළුමෙහි බෙන් නැෆ්ටලයිහට සම්බන්ධ කොට තිබෙන අර්ථදැක්වීම් බොහොමයක් අඩංගු වේ. එමනිසා, බෙන් නැෆ්ටලයි මෝසස් බෙන් ඇෂර් යටතේ අධ්‍යාපනය ලැබුවා විය හැක, එසේ නැතහොත්, ඒ දෙදෙනාම වඩාත් පැරණි පොදු සම්ප්‍රදායක් රක්ෂා කළා විය හැක. බෙන් ඇෂර් හා බෙන් නැෆ්ටලයි රීති අතර වෙනස පිළිබඳ විශාරදයන් බොහෝදෙනෙකු කතා කළත්, ගෝෂෙන්-ගොට්ස්ටයින් මෙසේ ලියයි: “බෙන් ඇෂර් පවුල තුළ පැවති උපරීති දෙක ගැන කතා කරද්දී, අර්ථදැක්වීම් අතර වෙනස්කම්: බෙන් ඇෂර්ට විරුද්ධව බෙන් ඇෂර් යනුවෙන් දැක්වීම, සැබෑ තත්වය දක්වනවා විය හැක.” එනිසා තනි බෙන් ඇෂර් ක්‍රමයක් ගැන කතා කිරීම වැරදිසහගත වනු ඇත. බෙන් ඇෂර්ගේ ක්‍රම අන්තිමේදී පිළිගත් පිළිවෙත බවට පත්වූයේ එහි නෛසර්ගික උත්කෘෂ්ටභාවයේ ප්‍රතිඵලයක් නිසා නොවේ. ඒරන් බෙන් ඇෂර් පාඨයට වැඩි මනාපයක් දක්වනු ලැබුවේ, 12වන සියවසේ තල්මුඩ් විශාරද මෝසස් මයිමොනඩීස් ඉන් එකක් ප්‍රශංසාවට ලක් කළ නිසා පමණි.
[හෙබ්‍රෙව් අකුරු පින්තූරය]
ස්වර ලකුණු හා ශබ්ද ලකුණු සහිතව හා රහිතව දැක්වෙන නික්මයාම 6:2හි කොටසක්
[පාදසටහන්වල]
d මුල් හා අන්තිම අනාගතවක්තෲන් පමණක් අඩංගු කයිරෝ අත්පිටපත් වෙළුම (පො.යු. 895), මෝසස්ගේ ක්‍රම සම්බන්ධව උදාහරණයක් සපයයි. අලෙප්පෝ (පො.යු. 930 පමණ) හා ලෙනින්ග්‍රැඩ් (පො.යු. 1008) අත්පිටපත් වෙළුම්, ඒරන් බෙන් ඇෂර්ගේ ක්‍රම සඳහා උදාහරණ වශයෙන් සැලකේ.
[26වන පිටුවේ පින්තූරය]
අටවන සිට දහවන සියවස් දක්වා මැසරෙටික් ක්‍රියාකාරකම් සඳහා මධ්‍යස්ථානය වූ, තිබේරියස්
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.