“ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුවලින් අනර්ඝ ආශීර්වාද
දැනට වසර 2,700කට පමණ පෙර, දිවැස්වර යෙසායා ලීවේ මෙසේ ය: බලව! “පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය.” (යෙසායා 60:2) එම වදන් කොතරම් සැබෑවක් බව සනාථ වී තිබේ ද! කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේ ආලෝකය බබළන්නට සලස්වා ඇති බැවින්, බලාපොරොත්තුව ඇත. පසුගිය වසරේ, දෙවියන් වහන්සේගේ ආලෝකයට ප්‍රේම කරන්නන් ව “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුවට සහභාගි වීමට උණුසුම් ලෙස ආරාධනා කරනු ලැබී ය.
එම සමුළු වැඩසටහන මුලින් ම ජූනි මස උතුරු අමෙරිකාවේ ඉදිරිපත් කරනු ලැබී ය. ඉන් පසු මාසවල දී, එය නැගෙනහිර හා බටහිර යුරෝපයේත්, මධ්‍යම හා දකුණු අමෙරිකාවේත්, අප්‍රිකාවේත්, ආසියාවේත් එමෙන් ම ශාන්තිකරයේ දූපත්වලත් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මිලියන ගණන් අය මීට සහභාගි වී ඇත. එමෙන් ම ඔවුන් භුක්ති විඳ ඇත්තේ කොතරම් අනර්ඝ ආත්මික භෝජනයක් ද!
“ආලෝකය දරන්නන් වන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!”
බොහෝ ස්ථානවල සමුළුව සිකුරාදා පටන්ගෙන ඉරිදා දහවල් අවසන් විය. සිකුරාදා උදෑසන සමුළු සාමාජිකයන් සිය ආසනවල අසුන් ගනිත් ම, යෙහෝවඃ වහන්සේගේ ආලෝකය මෙම අන්තිම දවස්වල පෙර කවර දවසකටත් වඩා දීප්තිමත් ව බැබළී ඇති ආකාරය කෙටියෙන් ඇසීමට ඔවුන් වරම් ලැබී ය. අනතුරුව සමුළු සභාපති වේදිකාවට පිවිසුණේ ය. සැබෑ ක්‍රිස්තියානින් ආලෝකය දරන්නන් විය යුතු බව අවධාරණය කළ ඔහු, “ආලෝකය දරන්නන් වන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!” යයි උණුසුම් ලෙස පැවසී ය. සමුළු වැඩසටහන ඊට සහභාගි වන්නන්ට දිගට ම යෙහෝවඃ වහන්සේගේ ආලෝකය විහිදුවාලීමට උපකාර කරනු ඇත.
මූලික ඇමතුම මුළු සමුළුවේ ම තොරතුරු මාත්‍රය ගලායන විලාශය සඳහා ආදර්ශයක් තැබී ය. මෙම කථිකයා මනුෂ්‍ය වර්ගයා සඳහා දීප්තිමත් මතු බලාපොරොත්තුවේ ආලෝක ධාරා, බොහෝ කලකට පෙර ඒදන් හි නිවී ගිය බව සමුළු සාමාජිකයන්ට සිහිගැන්වී ය. එවක් පටන්, සාතන් සත්‍යයේ ආලෝකයට මනුෂ්‍යයන් ව අන්ධ කර ඇත. (2 කොරින්ති 4:4) ඒ කෙසේ ද යත්, යේසුස් වහන්සේ “ජාතීන්ගේ එළියක්” ලෙස පැමිණි සේක. (යෙසායා 42:1-6) උන් වහන්සේ ආගමික බොරු එළිදරව් කළ සේක, අන්ධකාරයට අයත් වැරදි සහගත ක්‍රියා හඳුන්වා දුන් සේක, යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යයට පක්ෂ ව ක්‍රියා කළ සේක, එමෙන් ම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ සේක. යේසුස් වහන්සේගේ අනුගාමිකයෝ ද එසේ ම කළහ—එමෙන් ම ඔවුන් තවදුරටත් එසේ ම කරති! (මතෙව් 28:19, 20) කථිකයා පොලඹවන සුලු ආකාරයකට මෙසේ පැවසී ය: ‘අපටත්, යේසුස් වහන්සේ මෙන්, ආලෝකය දරන්නන් විය හැකි ය. අපගේ දවසේ ඊටත් වඩා වැදගත් කාර්ය භාරයක් තවත් නැත. එමෙන් ම මීට වඩා ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයක් ද තවත් නැත.’
සමුළුවේ මුල් සැසි වාරය අවසන් වනවාත් සමඟ ම, බලාපොරොත්තු නොවූ යමක් සිදු විය. සමුළු සභාපති යළිත් වේදිකාවට පැමිණ, අලුත් රාජ්‍යය පත්‍රිකා හතරකින් පළමුවැන්න මුදා හැරීම නිවේදනය කළේ ය. ප්‍රබල අත්පොළසන් ගැසීමකින් මෙම සිදු වීම පිළි ගනු ලැබූ අතර මෙම රාජ්‍යය පත්‍රිකාවෙන් එක් පිටපත බැගින් පැමිණ සිටි සෑම කෙනෙකුට ම බෙදා දෙනු ලැබී ය.
සිකුරාදා පස්වරුවේ, සමුළු වැඩසටහන ආලෝකය දරන ක්‍රිස්තියානින් සඳහා මූලික උපදෙස් පිරිනැමීමේ කාර්යයට අවතීර්ණ විය. පළමු කථා දෙක ලෝකයේ අන්ධකාරයෙන් දූෂ්‍ය වීම වළක්වා ගත හැකි ආකාරය පිළිබඳ මාහැඟි අවවාද ඉදිරිපත් කළේ ය. සාතන්ට ආලෝකයේ දූතයෙක් ලෙස පෙනී සිටිය හැකි නිසා, ලෝකයේ අපවිත්‍ර දේවල් අප ව නොමඟ නොයවන ලෙසින් ආත්මික දෘෂ්ටියක් පවත්වා ගැනීම වැදගත් වේ. (2 කොරින්ති 11:14) පාවුල් මෙසේ උපදෙස් දුන්නේ ය: “නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත [හෘදය NW] අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.” (රෝම 12:2) ක්‍රිස්තියානියෙකුගේ පරිවර්තනය, අඛණ්ඩ ක්රියාවලියකැයි සමුළුවට පැමිණ සිටි අය ඇසූහ. අප දේව වචනය අධ්‍යයනය කරත් ම, අප ඉගෙන ගන්නා දේවල් ක්‍රියාවට නගත් ම අපගේ මනස් නොකඩවා පවිත්‍ර කර හැඩ ගස්වනු ලැබේ. මෙසේ අපි වැඩි වැඩියෙන්, “[ලබන්ට නොවටිනා තරම් වූ NW] කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව” සිටි යේසුස් වහන්සේ හා සමාන වන්නෙමු.—යොහන් 1:14.
යොවුන් ආලෝකය දරන්නෝ
සිකුරාදා පස්වරුවේ පසු භාගය යෞවනයන් කෙරෙහි යොමු කරනු ලැබී ය. පළමු කථාව (යෞවනය—ඔබ කුමක් ලුහුබඳිමින් සිටින්නෙහි ද?) ඇදහිල්ලේ මහඟු ආදර්ශයන් ව සිටින යෞවන ක්‍රිස්තියානින් ව ප්‍රශංසා කළේ ය. එහෙත් තමන් සාතන්ගේ විශේෂ ඉලක්කයක් ව සිටින බව ඔවුන්ට එය තුළින් සිහිගන්වනු ලැබී ය. හොඳින් පුරුදු පුහුණු වූ මලල ක්‍රීඩකයෙකුට පවා පුහුණුකරුවෙකු අවශ්‍ය කරයි. සමානාකාරයෙන් යෞවනයන්ට දිගට ම ආලෝකයේ ගමන් කිරීම සඳහා, තමන්ගේ මව්පියන්ගේ හා සභාවේ උපකාරය අවශ්‍ය වේ.
මෙය සිකුරාදා වැඩසටහන නිමාවකට පත් කළා වූ යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කිරීම නම් මාහැඟි නාට්‍යයෙන් අවධාරණය කරනු ලැබී ය. මෙහි දී යොෂියා රජුගේ ආදර්ශය ගෙනහැර දක්වනු ලැබී ය. කුඩා ළමයෙකු ව සිටිය දී පවා, ඔහු යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. ඔහු වටා දුෂ්ට බලපෑම් තිබුණ ද, උත්තම පූජක හිල්කියාගේ මඟ පෙන්වීම හා දේව ව්‍යවස්ථාවට තිබූ ඔහුගේ ප්‍රේමය නිසා, යොෂියා යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ හරි ව තිබූ දෙය කළේ ය. අද දවසේ සිටින යෞවනයෝ බොහෝ දෙනෙක් සමානාකාරයෙන් ක්‍රියා කරති.
ආලෝකය බබළන්නට සලස්වන්න
රාත්‍රියේ සුවබර නින්දකින් පසු ව, සහභාගි වන්නෝ, වර්ධනය දෙන සුලු වැඩිතර ශුද්ධ ලියවිලිමය උපදෙස් ලබා ගැනීමට සූදානම් ව සෙනසුරාදා උදයේ සමුළුවට පැමිණියහ. ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කරනු ලැබුවේ නැත. දින පදය සාකච්ඡා කිරීමෙන් පසු, ක්‍රිස්තියානියෙකුට තමාගේ ආලෝකය බැබළීමට සැලැස්විය හැකි විවිධ ක්‍රම පෙන්වන කථා මාලාවකින් වැඩසටහන තවදුරටත් ගෙනයනු ලැබී ය. (මතෙව් 5:14-16) දේශනා කිරීම එක් අති වැදගත් ආකාරයක් වන අතර යහපත් හැසිරීම ද වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. කථිකයා පැවසූ පරිදි, “දේශනා කිරීම අප විශ්වාස කරන දෙය අන්‍යයන්ට පවසනමුත්, ප්‍රේමය ක්‍රියාවට නැගීම එය විදහා දක්වනු ඇත.”
ඉන් අනතුරුව වැදගත් දේශනා ආධාරකයක් සමුළු සාමාජිකයන්ගේ අවධානයට යොමු කරනු ලැබී ය:—එනම් පත්‍රිකා. කලින් දින පත්‍රිකා පිළිබඳ නිවේදනය තවදුරටත් මනසේ නැවුම් ව තිබිය දී, මෙම කුඩා මෙවලම් කොතරම් බලගතුදැයි සනාථ කරන අත්දැකීම් සමුළු සාමාජිකයෝ ඇසූහ. සෑම අවස්ථාවකට ම සූදානම් ව, තිබෙන හැමවිට ම අවශ්‍ය තරම් පත්‍රිකා අතැති ව සිටින ලෙස සාමාජිකයන්ට දිරිගන්වනු ලැබී ය.
ඉන් අනතුරුව, ආලෝකය දැරීමෙහි වෙහෙසා ක්‍රියා කරන පූර්ණ-කාලීන රාජ්‍යය ප්‍රචාරකයන් වන, පුරෝගාමින් වෙත අවධානය යොමු කරනු ලැබී ය. අපගේ වෙහෙසා ක්‍රියා කරන පුරෝගාමින් ව අපි කොතරම් අගය කරන්නෙමු ද! තව ද ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. නමස්කාර කිරීමේ නිදහස මෑත කාලයේ දී පිරිනමන ලද රටවල පවා, පුරෝගාමින් ප්‍රමාණය වැඩි වෙමින් පවතී. පුරෝගාමින්ට සිය වරප්‍රසාදය නිධානයක් සේ රැකබලා ගන්නා ලෙස දිරිගන්වනු ලැබී ය. තවමත් පුරෝගාමින් ව නොසිටින අයගෙන් තමන්ගේ තත්ත්වයන් සලකා බලන ලෙස උදක් ම ඉල්ලා සිටිනු ලැබී ය. ඇතැම් විට ඔවුන්ටත් පූර්ණ කාලීන සේවය තුළ තමන්ගේ ආලෝකය බැබළ විය හැකි ලෙසින් තමන්ගේ කටයුතු සකස් කිරීමට හැකියාවක් තිබෙන්නට පුළුවන.
ආලෝකය දරන්නෙක් ව සිටින කල නිතර පරිත්‍යාගයන් කරන්නට සිදු වන අතර මෙය, “ආත්ම පරිත්‍යාගී ස්වභාවයකින් යුක්ත ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීම” නම් ඊළඟ කථාවේ දී ගෙනහැර දක්වනු ලැබී ය. “නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට” පාවුල් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. (රෝම 12:1) පීඩා විඳදරා ගන්නා අය විසින් ආත්ම-පරිත්‍යාගි ස්වභාවයක් විදහා පෙන්වනු ලැබේ. පූර්ණ කාලීන සේවයේ දිගට ම සිටිනු පිණිස පුරෝගාමිහු දින පතා පරිත්‍යාගයන් කරති. ඇත්ත වශයෙන් ම, සැබෑ ක්‍රිස්තියානින් සියල්ලන් ම මේ ලෝකයේ ආත්මාර්ථකාමී, ද්‍රව්‍යවාදී ලුහුබැඳීම්වලට වඩා තමන් ව යෙහෝවඃ වහන්සේගේ සේවයේ නිරත කරවා ගනිමින්, පරිත්‍යාගයන් කරති. මෙවන් ක්‍රියා මාර්ගයක් හේතු කොට ගෙන යෙහෝවඃ වහන්සේගෙන් මාහැඟි ආශීර්වාද ලැබේ.
එම දේශනය, ඉන් පසු ව දෙන ලද කථාවට—බව්තීස්ම කථාවට—උචිත හැඳින්වීමක් වූ බව කිව හැක. “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුවේ දී බව්තීස්ම වූ අයට මෙම කථාව සැබවින් ම අමතක නොවනු ඇත. ඔවුන්ගේ බව්තීස්මය සැමවිට ම තමන්ගේ ජීවිතයේ විශේෂ සිද්ධියක් ලෙස පවතිනු ඇත. අවුරුදු 30 දී බව්තීස්මය ලද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ඔවුන් අනුගමනය කරමින් සිටි බව ඔවුන්ට සිහිගන්වනු ලැබී ය. එපමණක් ද නොව, තමන් “අන්ධකාරයේ ක්‍රියා අහකදමා,” “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] සේවය” කිරීමට තීරණය කර තිබීම මතකයට නැගීමට බව්තීස්ම අපේක්ෂිතයෝ සතුටු වූහ. (රෝම 12:11; 13:12) බව්තීස්මය සඳහා පිටත් ව යාමට පෙර, ප්‍රීතිමත් ව ඔවුහු සමුළු සාමාජිකයන් ඉදිරියේ සිටගෙන සියල්ලන්ට ඇසෙන සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළහ. (රෝම 10:10) “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුවල දී ජල බව්තීස්මය ලබමින් තමන්ගේ කැපවීම යෙහෝවඃ වහන්සේට සංකේතවත් කළා වූ සියල්ලන්ට අපි යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය සඳහා යාච්ඤා කරමු.
සෙනසුරාදා දිවා භාගය නොවළහා අනතුරු ඇඟවීම් කීපයක් ලැබීමට උචිත කාලය විය. මේවා, “ගිජුකමේ මලපත් මඟ හරින්න,” “යමෙක් ඔබගේ වැඩදායක පුරුදු පළුදු කරමින් සිටින්නෙහි ද?,” හා “සියලු ආකාරයේ රූප නමස්කාරයට එරෙහි ව ආරක්ෂා වන්න” යන මාතෘකා යටතේ ඉදිරිපත් කරන ලද කථා මගින් දෙනු ලැබී ය. මෙම කථා තුන ක්‍රිස්තියානියෙක් ව දුර්වල කිරීමට, සාතන් විසින් උපයෝගි කර ගනු ලබන ඇතැම් උපක්‍රම හඳුන්වා දුන්නේ ය. යූදස් ඉස්කාරියොත් ප්‍රේරිතයෙකු වුවද, ඔහු මුදලට යේසුස් වහන්සේ ව පාවා දුන්නේ ය. යෞවන සාමුවෙල් හරියට ම යෙහෝවඃ වහන්සේගේ නමස්කාරය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වැඩුණ නමුත්, ඔහු නොගැලවිය හැකි ඉතා නපුරු ඇසුරට නිරාවරණය වූයේ ය. (1 සාමුවෙල් 2:12, 18-20) ලිංගික දුරාචාරය හා තණ්හාවත් රූප වැඳීමට ඇතුළත් විය හැකි ය. (එපීස 5:5; කොලොස්සි 3:5) එසේ ය, ගිජුකමත්, නපුරු සමාගමත්, රූප වැඳීමත් භයානක වන අතර ඒවා මඟ හැරිය යුතු ම ය.
මින් අනතුරුව සමුළු වැඩසටහනේ ස්වරූපය වෙනස් විය. ඊළඟ කථාව සිත් ගන්නා බයිබල් ප්‍රශ්න රාශියක් නගා ඒවාට පිළිතුරු සැපයී ය. උදාහරණයක් වශයෙන්, සත්‍යය පිළිනොගෙන මහත් පීඩාවට කලින් මිය යන අය නැවත නැගිටුවනු ලබනු ඇත්දැයි ඔබට පැහැදිලි කළ හැකි ද? ක්‍රිස්තියානියෙකුට සුදුසු විවාහ සහකරුවෙක් සොයාගත නොහැකි වූ විට, ඔහුට හෝ ඇයට කළ හැක්කේ කුමක් ද? තමන්ගේ බයිබල් අවබෝධය වැඩි කර ගැනීමට, සමුළුවට පැමිණ සිටිය අයට වොච් ටවර් පබ්ලිකේෂන් ඉන්ඩෙක්ස් පොතෙන්, විශේෂයෙන් ම “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන මාතෘකාව යටතේ කරුණුවලින් පූර්ණ ප්‍රයෝජනය ගන්නා ලෙස උනන්දු කරනු ලැබී ය.
ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම හා එළිදරව්ව
සෙනසුරාදා දින වැඩසටහනේ අවසන් අදියර “ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම හා එළිදරව් වීම මත ආලෝකය වැගිර වීම” යනුවෙන් වූ කථා මාලාවකින් අනාවැකි කෙරෙහි යොමු විය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම සනාථ කරන ‘ලකුණුවල’ විශේෂාංග පුනරීක්ෂණය කරනු ලැබී ය. (මතෙව් 24:3) දෙවන කොටසේ දී, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කරන නවීන දින ක්‍රියාකාරකම් සමාලෝචනය කරනු ලැබී ය. (මතෙව් 24:45-47) වර්ෂ 1919 පටන් දාස පන්තිය රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයේ විශ්වාසනීය ආකාරයකට පෙරමුණ ගෙන ඇති බව ගෙනහැර දක්වනු ලැබී ය. ඉන් අනතුරුව යෙහෝවඃ වහන්සේගේ ආලෝකය විහිදුවාලීමට ආලේප ලත් ක්‍රිස්තියානින් හා හවුල් වනු පිණිස සියලු ජාතීන්ගෙන් වූ මහත් සමූහයක් එක්රැස් කරන ලදි. කථිකයා මෙසේ පවසමින් සිය කථාව නිම කළේ ය: “සියල්ලන් ම ජ්වලිත ව විශ්වාස වූ නුවණ ඇති දාසයාට දිගට ම අනුබල දෙත්වා. බැටළු ගුණැති සියල්ලන්ට ඉතා නුදුරු යම් දිනක: ‘මගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකයේ පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා’ යන වදන් අසන්නට හැකි වන්නේ, එසේ කිරීමෙන් පමණකි.”—මතෙව් 25:34.
අන්තිම කථිකයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්වේ අර්ථයත්, ඉන් අඟවන දේත් සාකච්ඡා කළේ ය. (1 කොරින්ති 1:7) එම එළිදරව්ව මොනතරම් අත්දැකීමක් වනු ඇද්ද! මහා බබිලෝනිය විනාශ කරනු ලබනවා ඇත. සාතන්ගේ ලෝකයත් යේසුස් වහන්සේ හා සිය දේව දූතයනුත් අතර සිදුවන බලවත් යුද්ධය මෙම පිළිවෙළේ විනාශයෙන් අවසන් වනු ඇත. අවසානයේ, සාතන් ව පාතාලයට හෙලා වසනු ලැබ අක්‍රිය තත්ත්වයට පත් කරනු ලබනවා ඇත. එහෙත් ස්වර්ගයේ බැටළු පැටවාණන්ගේ විවාහය හා නව ලෝකයේ බිහි වීමත් සමඟ, දෙවියන් වහන්සේගේ ජනයා හට සහනයක් තිබෙනු ඇත. කථිකයා ඇත්තට ම දෙවියන් වහන්සේ අප ගැන සලකන සේක් ද? යන අලුත් විවරණිකාව මුදාහැරීමෙන් සිය ශ්‍රාවකයන් ව සතුටට පත් කළේ ය. අපගේ සැලකිලිමත් මැවුම්කරුවාණන් ගැනත්, අප සම්බන්ධයෙන් උන් වහන්සේ අරමුණු කර සිටින දේ ගැනත් දැනගැනීමට අවශ්‍ය ව සිටින යටහත් පහත් පුද්ගලයන්ට එය කොතරම් කදිම උපකාරකයක් වනු ඇද්ද!
ක්‍රිස්තියානි පවුල්
සමුළුවේ අවසාන දිනය වන ඉරුදින, ඉන් පසු ව උදා විය. ඒ කෙසේ වෙතත්, තවත් බොහෝ දේ ඉදිරිපත් කිරීමට ඉතුරු වී තිබුණි. දින පදය සාකච්ඡා කිරීමෙන් පසු ව, “ක්‍රිස්තියානි ගෘහය තුළ එකිනෙකාට සැලකිල්ල දැක්වීම” යන කථා මාලාවෙන් ක්‍රිස්තියානි පවුල වෙත අවධානය යොමු කරනු ලැබී ය. එහි පළමුවන කොටස සාර්ථක ක්‍රිස්තියානි පවුලක් ඇති ව සිටීමේ, එනම්, ආත්මික දේවල් මුල් තැනට දැමීම තේරුම් ගැනීමට සමුළු සාමාජිකයන්ට උපකාර කළේ ය. දෙවන කොටස මගින් රැස්වීමට පැමිණීම, ක්ෂේත්‍ර සේවය, පවුල් පාඩම්, විනෝදය යන මේ කාරණා, සියල්ලන්ගේ ම සහභාගිත්වය ඇති ව කිරීමට පවුල්වලට දිරිගැන්වී ය. එමෙන් ම කථා මාලාවේ තුන්වන කොටස, වයස්ගත අයට සැලකිල්ල දැක්වීමට ඇති සිය වරප්‍රසාදය හා වගකීම සමුළු සාමාජිකයන් හට සිහිගැන්වී ය. “අපගේ වයස්ගත සහෝදර සහෝදරියන් සභාවට වත්කමක්” යයි එම කථිකයා පැවසී ය. අපි ඔවුන්ගේ අත්දැකීම් ඉතා අගේ කොට සලකමින්, ඔවුන්ගේ අඛණ්ඩතාව අනුකරණය කරමු.
‘සිහිකල්පනාවෙන්’ සිටීම යන ප්‍රකාශයේ අර්ථය ඉන් අනතුරුව පරීක්ෂාවට ලක් විය. (1 පේතෘස් 4:7) සිහිකල්පනාවෙන් සිටින්නෙක් සමබර ය, සිහිනුවණින් යුක්ත ය, සාධාරණ ය, යටහත් පහත් ය, එමෙන් ම තර්කාන්විත ය. ඔහුට හරි හා වැරදි, සැබෑව හා බොරුව අතර වෙනස නිශ්චය කර ගත හැකි ය. මීට අමතර ව, ඔහු හොඳ ආත්මික සුවයක් පවත්වා ගැනීමට වෑයම් කරන්නේ ය.
ඉරිදා උදයේ වැඩසටහනේ අවසාන කථාව දෙවියන් වහන්සේට හා ක්‍රිස්තුස් වහන්සේට වූ අපගේ යටත් බව සාකච්ඡා කළේ ය. “යෙහෝවඃ දෙවියන් වහන්සේට හා ස්වකීය පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පක්ෂපාතී යටත් බවක් පැවැත්වීමේ වැදගත්කම අමුතුවෙන් කිව යුතු නොවේ” යයි එම කථිකයා පැවසී ය. මෙය අපගේ ජීවිතයේ සෑම අංගයකට ම බලපාන ආකාරය ඔහු වැඩිදුරටත් පෙන්වී ය. යටත් ව සිටීමට අපට උපකාර කරනු ඇත්තේ කුමක් ද? ගුණාංග හතරකි: ප්‍රේමය, දේව භය, ඇදහිල්ල, හා යටහත් පහත්කම.
ඉරුදින දිවා භාගය
හදිසියෙන් ම, ඉරුදින දිවා භාගය ළඟා වූ අතර එය සමුළුවේ අවසාන සැසිවාරය සඳහා කාලය විය. බොහෝ දෙනෙකුට, සමුළුව යන්තම් පටන් ගත්තා වැනි හැඟීමක් දැනුනත්, මේ වන විට එහි සමාප්තිය කරා සමීප වෙමින් තිබිණ.
ප්‍රසිද්ධ කථාවේ මාතෘකාව වූයේ “ලෝකයේ ආලෝකය අනුගමනය කරන්න” යන්න ය. පැමිණ සිටි අයට, ජීවිතය පවත්වා ගැනීමෙහි ලා භෞතික ආලෝකයේ කාර්ය භාරය පිළිබඳ චිත්තාකර්ෂණීය පැහැදිලි කිරීමක් දෙනු ලැබී ය. ඉන් අනතුරු ව කථිකයා ආත්මික ආලෝකයේ වැඩි වැදගත්කම ඉදිරිපත් කළේ ය. භෞතික ආලෝකය අප ව දශක කීපයකට ජීවමාන ව තබනමුත්, ආත්මික ආලෝකය අප ව සදාකාලයට ම ජීවත් කරවිය හැකි ය. එම කථාවේ දී යොහන් 1:1-16 දක්වා වගන්ති එකින් එක සාකච්ඡාවට ලක්වීම විශේෂ ලක්ෂණයක් විය. මෙහි යේසුස් වහන්සේ ව ලෝකයේ ආලෝකය ලෙස හඳුන්වා ඇත. අද දින, මෙම දුෂ්ට පිළිවෙළේ අවසාන කාලයේ, මෙම කාර්ය භාර්ය තුළ යේසුස් වහන්සේ ව අනුගමනය කිරීමෙහි පෙර කවරදාකටත් වැඩි හදිසිතාවයක් පවතී.
එම සතිය සඳහා නියම කර ඇති මුරටැඹ පාඩමේ කරුණුවල සංක්ෂිප්තයකින් පසු, අවසාන කථාව සඳහා කාලය එළඹිණ. සතුට සඳහා කරුණක් වූයේ, මතුවට තවත් බොහෝ දේවල් බලාපොරොත්තු විය හැකි බව කථිකයා විසින් පෙන්වීම ය. උදාහරණයක් වශයෙන්, ඔහු ඩුයිං ගෝඩ්’ස් විල් විත් සීල් නම් නාට්‍යය ඇතුළත් ශ්‍රව්‍ය නව කැසට් පටය ගැන නිවේදනය කළේ ය. එය එපමණක් නොවේ. ද බයිබල්—අ බුක් ඔෆ් ෆැක්ට් ඇන්ඩ් ප්රොෆර්සි යන විෂය මත සැකසූ අලුත් වීඩියෝ පට මාලාවක් ද, එහි පළමුවැන්න වන, ද බයිබල්—ඇකියුරේට් හිස්ටොරි, රිලයබල් ප්රොෆර්සි බලාපොරොත්තු විය හැකි ව තිබිණ.
අවසාන වශයෙන්, කථිකයා වර්ෂ 1993 දින හතරකින් යුත් දිස්ත්‍රික්ක සමුළු ද ඇතුළු ව, අප්‍රිකාවේ, ආසියාවේ, යුරෝපයේ හා දකුණු අප්‍රිකාවේ විශේෂ ජාත්‍යන්තර එක්රැස්වීම් පැවැත්වෙනු ඇතැයි නිවේදනය කළේ ය. “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුව අවසන් වෙමින් තිබුණ ද, ඊට පැමිණි අයට ඊළඟ වසර සඳහා සැලසුම් කළ හැකි විය.
අනතුරු ව සමුළුවට පැමිණි අයට ආපසු නිවාස කරා යාමට කාලය එළඹිණ. නිසැක ව ම, අන්ධකාරයේ පවතින මෙම ලෝකයේ ආලෝකය විහිදුවාලීමට ඔවුහු පෙර කවරදාකටත් වඩා අධිෂ්ඨාන පූර්වක ව සිටියහ. ආත්මික වූ යහපත් දේවලින් සපිරි දින තුනකට පසු, අවසාන කථාවේ උපුටා දක්වන ලද අන්තිම ශුද්ධ ලියවිලි පාඨයට වඩා වැඩි වැදගත් අර්ථයක් ලැබුණි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. . . . ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ [ප්‍රේමනීය NW] කරුණාව සදාකල් පවත්නේය.”—ගීතාවලිය 118:27, 29.
[15වන පිටුවේ පින්තූරය]
රුසියන් භාෂාවෙන් සමුළු වැඩසටහන
[16, 17වන පිටුවේ පින්තූර]
බොහෝ සමුළුවල දී පාලක මණ්ඩලයේ සාමාජිකයෝ කථා කළහ
රුසියාවේ, සා. පීටර්ස්බර්ග් හි එක්රැස් වූ අය අතර ජපානයෙන් පැමිණි නියෝජිතයෝ ද වූහ
උනන්දුව දනවන බයිබල් නාට්‍යයක් යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ හරි ව තිබෙන දෙය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය
අලුත් ආලෝකය දරන්නෝ බව්තීස්ම වීමෙන් යෙහෝවඃ වහන්සේට වූ සිය කැපවීම සංකේතවත් කළහ
සා. පීටර්ස්බර්ග් හි සමුළු සාමාජිකයන් වැඩසටහනට මුළුමනින් ම යොමු ව සිටීම
[18වන පිටුවේ පින්තූරය]
සමුළු සාමාජිකයෝ “ඇත්තට ම දෙවියන් වහන්සේ අප ගැන සලකන සේක් ද?” යන විවරණිකාව ලැබීමට අතිශයින් සතුටු වූහ