“ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමින් සිටින්න”
“සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම තුළ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මවනු ලැබූ අලුත් පුද්ගලිකත්වය පැළඳ ගන්න.”—එපීස 4:24, NW.
1. යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් ආශීර්වාද කරනු ලැබ සිටින්නේ කුමකින් ද? ඒ මන්ද?
යෙහෝවඃ දෙවියන් වහන්සේ “දිව්‍යාලෝකවල පියාණන්” වන සේක, තව ද ‘උන් වහන්සේ තුළ කිසි ම අන්ධකාරයක් නැත.’ (යාකොබ් 1:17, NW; 1 යොහන් 1:5) උන් වහන්සේගේ පුත්‍ර රත්නය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේ ගැන ම මෙසේ පැවසූ සේක: “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර [නොඇවිද NW] ජීවනයේ ආලෝකය ලබන්නේය [අයිති කර ගන්නේ ය NW].” (යොහන් 8:12) එමනිසා, යෙහෝවඃ වහන්සේගේ සැබෑ නමස්කාරකයෝ, තව ද උන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ අනුගාමිකයෝ, මානසික, සදාචාරමය, සහ ආත්මික ආලෝකනය සමඟින් ආශීර්වාද කරනු ලැබ සිටින අතර, ඔවුහු “ලෝකයේ ප්‍රදීපයන් මෙන් බැබළෙමින්” සිටිති.—පිලිප්පි 2:15, NW.
2. දෙවියන් වහන්සේගේ ජනයා හා ලෝකය අතර කිනම් වෙනසක් පුරෝකථනය කරනු ලැබී ද?
2 මීට බොහෝ කලකට පෙර, අනාගතවක්තෘ යෙසායා, මෙම වෙනස ගැන පුරෝකථනය කිරීමට අනුභාව ලැබී ය: “එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.” ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේගෙන් ඈත් ව සිටින සකල මිනිස් සංහතිය ම, “මේ අන්ධකාරයේ ලෝක පාලකයන්ගේ” බලය හා බලපෑම යටතේ සිටින බවට පවසනු ලැබ තිබේ.—යෙසායා 60:2; එපීස 6:12.
3. අප පාවුල්ගේ කාලෝචිත උපදෙසට දැඩි උනන්දුවක් දක්වන්නේ කිනම් හේතු උදෙසා ද?
3 තම සෙසු ක්‍රිස්තියානින් එවන් අන්ධකාරයකින් නිදහස් ව සිටීම ගැන පාවුල් ඉතා බොහෝ සේ උනන්දුවෙන් සිටියේ ය. ‘ජාතීන් ගමන් කරන්නාක් මෙන් ඔවුන් තවදුරටත් ගමන් නොකරන’ නමුත් ‘ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමින් සිටින’ ලෙස ඔහු ඔවුන්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. (එපීස 4:17; 5:8) මෙසේ කිරීමේ දී ඔවුන්ට සාර්ථක විය හැකි ආකාරය ගැන ද ඔහු පැහැදිලි කළේ ය. අද දින, ජාතීන් ව වසා අඳුර හා තද අන්ධකාරය වඩාත් ඝන බවට පත් ව තිබේ. මෙම ලෝකය, සදාචාර හා ආත්මික පරිහානිය නමැති මඩ තුළ වඩාත් ගැඹුරට එරී සිටී. යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් හට එන්ට එන්ට ම බැරෑරුම් සටනක් කිරීමට සිදු වී තිබේ. එමනිසා, පැවසීමට පාවුල් හට තිබූ දෙය ගැන අපි දැඩි උනන්දුවක් දක්වමු.
ක්‍රිස්තුස් වහන්සේ ගැන ඉගෙන ගන්න
4. පාවුල්: “ඔබ ක්‍රිස්තුස් වහන්සේ එසේ බව ඉගෙන ගත්තේ නැත” යයි පැවසූ විට, ඔහුගේ මනසේ තිබුණේ කුමක් ද?
4 ලෝකයේ නිෂ්ඵල ලුහුබැඳීම් හා අපවිත්‍රකම් ගැන විස්තර කිරීමෙන් පසු ව, ප්‍රේරිත පාවුල්, එපීසයේ සිටි තම සෙසු ක්‍රිස්තියානින් වෙත යළි සිය අවධානය යොමු කළේ ය. (කරුණාකර එපීස 4:20, 21 කියවන්න.) පාවුල් එම නගරයේ වසර තුනක පමණ කාලයක් තුළ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ යෙදී සිට තිබූ අතර, සභාවේ සිටි බොහෝ දෙනෙකු ව ඔහු විසින් පුද්ගලික ව හොඳින් දැන හඳුනාගෙන තිබුණා විය යුතු ය. (ක්‍රියා 20:31-35, NW) මෙසේ, “ඔබ ක්‍රිස්තුස් වහන්සේ එසේ බව ඉගෙන ගත්තේ නැත” [NW] යයි ඔහු විසින් පැවසූ විට, ඔහු ප්‍රකාශ කරමින් සිටියේ, 17 වෙනි ඡේදයේ සිට 19 වෙනි ඡේදය දක්වා ඔහු විසින් විස්තර කොට තිබූ, බොහෝ වැරදි සහගත හැසිරීම්වලට ඉඩ හැරියා වූ, යම් ලිහිල් දුබල සත්‍යයක් එපීස ක්‍රිස්තියානින් හට උගන්වා නොමැති බව තමා පුද්ගලික ව දැන සිටි බව ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ආදර්ශනය කරනු ලැබුවාක් මෙන්, සැබෑ ක්‍රිස්තියානි මාර්ගය ඔවුන් හට නිසි ලෙස හා ඒකාන්ත ලෙස උගන්වා තිබෙන බව හේ දැන සිටියේ ය. මේ හේතුව නිසා, ජාතීන් කළාක් මෙන් ඔවුන් තවදුරටත් අන්ධකාරයේ ගමන් නොකළ නමුත් ඔවුහු ආලෝකයේ දරුවන් වූවෝ ය.
5. නමට පමණක් සත්‍යය තුළ සිටීම හා අප තුළ සත්‍යය තබා ගෙන සිටීම අතර වෙනස කුමක් ද?
5 එසේ නම්, නිසි අයුරින් ‘ක්‍රිස්තුස් වහන්සේ ගැන ඉගෙන ගැනීම’ මොනතරම් වැදගත් ද! ක්‍රිස්තුස් වහන්සේ ගැන ඉගෙන ගැනීමට වැරදි මාර්ග තිබේ ද? ඇත්තෙන් ම, එසේ ය, මීට පෙර, එපීස 4:14 හි පාවුල් සහෝදරයන් හට අනතුරු ඇඟවූයේ මෙසේයි: “තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපාමාරුවෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවිය යුතුයි” කියා ය. පෙනෙන හැටියට, ක්‍රිස්තුස් වහන්සේ ගැන ඉගෙන ගෙන තිබූ නමුත්, තවමත් ලෝකයේ මාර්ගවල ගමන් කරමින් සහ එසේ කිරීමට අන්‍යයන්වත් ඒත්තු ගන්වමින් සිටි ඇතැම්හු සිටියෝ ය. අප තුළ සත්‍යය තිබීමට පටහැනි ව, සමහර අය පවසන පරිදි නිකම් සත්‍යය තුළ සිටීමේ අවදානම මින් පෙන්වයි ද? පාවුල්ගේ දවස්වල, මතුපිට අවබෝධය පමණක් තිබූ ඇතමුන් ව අන්‍යයන් විසින් පහසුවෙන් හා ඉක්මනින් හරවා ගනු ලැබූ අතර, අද දිනත් මෙය සැබෑවකි. මෙය වළක්වාලීම පිණිස, එපීසවරුන් හට ‘ක්‍රිස්තුස් වහන්සේ ව ඇසීමටත්, යේසුස් වහන්සේ මාර්ගයෙන් උගන්වනු ලැබීමටත්’ අවශ්‍ය වූ බව පාවුල් වැඩිදුරටත් පැවසී ය.—එපීස 4:21.
6. අපට අද දින ක්‍රිස්තුස් වහන්සේ මගින් ඉගෙනුම ලැබීමට, ඇසීමට හා උගන්වනු ලැබීමට හැක්කේ කෙසේ ද?
6 “ඉගෙන ගැනීමට,” “ඇසීමට,” සහ “උගන්වනු ලැබීමට” යන පාවුල් විසින් යොදා ගන්නා ලද සියලු වදන්වලින් අඟවන්නේ, පාසලක මෙන්, පාඩම් කිරීමේ හා උපදෙස් ලැබීමේ ක්‍රියාවලියක් ය. ඇත්ත වශයෙන් ම, අද දින යේසුස් වහන්සේගෙන් ම ඇසීමට, උන් වහන්සේගෙන් ම ඉගෙන ගැනීමට, හෝ උන් වහන්සේ මගින් ඍජු ලෙස අපට උගන්වනු ලැබීමට නොහැක. එහෙත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් උන් වහන්සේ ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික වැඩ සටහනක් පවත්වමින් සිටින සේක. (මතෙව් 24:45-47; 28:19, 20) දාස පංතිය විසින් නියමිත වේලාවට සපයනු ලබන ආත්මික ආහාර අප විසින් නිති පතා ගන්නවා නම්, පුද්ගලික ව හෝ සභාවේ දී ඒවා කඩිසර ලෙස පාඩම් කරනවා නම්, ඒවා ගැන මෙනෙහි කරනවා නම්, අප ඉගෙන ගන්නා දේ අදාළ කර ගන්නවා නම්, අපට නිසි අයුරින් හා නිවැරදි ලෙස ‘ක්‍රිස්තුස් වහන්සේ ව ඉගෙන ගත’ හැක. මෙම සියලු සැපයුම් සම්පූර්ණයෙන් ම ප්‍රයෝජනයට ගන්නා බවට සහතික වෙමු, එවිට, “උන් වහන්සේ ව අසා, උන් වහන්සේ මගින් උගන්වනු ලැබූ” බව සත්‍ය ලෙස පැවසීමට අපට හැකි වේ.
7. “යේසුස් වහන්සේ තුළ සත්‍යය” තිබේ යන පාවුල්ගේ වදන්වල කිනම් වැදගත්කමක් දැකිය හැකි ද?
7 එපීස 4:21 හි [NW], මෙම ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය ගැන අවධාරණය කළායින් පසු ව, පාවුල් මෙසේ ද එකතු කිරීම උනන්දුව දනවයි: “යේසුස් වහන්සේ තුළ සත්‍යය තිබෙන්නාක් මෙන්.” පාවුල් සිය ලිපිවල යේසුස් වහන්සේගේ පුද්ගලික නමින් ම උන් වහන්සේ ගැන සඳහන් කිරීම විරල සිද්ධියක් බව ඇතැම් බයිබල් විචාරකයෝ අවධාණයට ලක් කරවති. ඇත්තෙන් ම, එපීසවරුන්ට ලියන ලද ලිපියේ එවැන්නක් සඳහන් වන එක ම ස්ථානය මෙයයි. මෙයට මෙහි යම් විශේෂත්වයක් තිබේ ද? සමහරවිට, මිනිසෙකු වශයෙන් යේසුස් වහන්සේ විසින් තබන ලද ආදර්ශයට ඔහු අවධාරණය යොමු කරමින් සිටියා විය හැකියි. යේසුස් වහන්සේ තමන් ගැන ම කී දේ මතක් කරන්න: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය.” (යොහන් 14:6; කොලොස්සි 2:3) යේසුස් වහන්සේ, “සැබෑව . . . මමය” කියා පැවසුවේ මන්දයත් උන් වහන්සේ සත්‍යය නිකම් කථා කළා සහ ඉගැන්වූවා පමණක් නොව, උන් වහන්සේ ඒ තුළ ජීවත් වී එය පුද්ගලාරෝපණය කළ නිසා ය. එසේ ය, සැබෑ ක්‍රිස්තියානි ධර්මය හුදෙක් අදහසක් නොවේ, නමුත් ජීවිත මාර්ගයකි. සත්‍යය තුළ ජීවත් වෙමින් උන් වහන්සේ ව අනුකරණය කරන්නට ඉගෙන ගැනීම, ‘ක්‍රිස්තුස් වහන්සේ ව ඉගෙන ගැනීමට’ ඇතුළත් වෙයි. ඔබ ඔබගේ ජීවිත විලාශය යේසුස් වහන්සේට අනුව සකස් කර ගන්නෙහි ද? ඔබ උන් වහන්සේගේ පියවර දින පතා ළඟින් අනුගමනය කරමින් සිටින්නෙහි ද? ආලෝකයේ දරුවන් මෙන් අපට දිගට ම ගමන් කළ හැක්කේ එසේ කිරීමෙන් පමණි.
“පැරණි පුද්ගලිකත්වය පහකර දමන්න”
8. එපීස 4:22, 24 හි පාවුල් කිනම් උපමාව පාවිච්චි කළේ ද, එමෙන් ම එය යෝග්‍ය වනුයේ මක්නිසා ද?
8 අපට සාර්ථක ලෙස ‘ක්‍රිස්තුස් වහන්සේ ව ඉගෙන ගත’ හැකි ආකාරය සහ ආලෝකයේ දරුවන් මෙන් ගමන් කළ හැකි ආකාරය පෙන්වා දීමට පාවුල්, අප විසින් අනුගමනය කළ යුතු එකිනෙකට වෙනස් පියවරවල් තුනක් ගැන එපීස 4:22-24 හි කථා කර සිටියේ ය. මේවායින් පළමු පියවර නම්, “ඔබගේ පැරණි හැසිරීම් රටාවට අනුකූල වූ, එහි රැවටිලිකාර ආශාවන්ට අනුව දූෂණය වෙමින් තිබෙන්නාවූ, පැරණි පුද්ගලිකත්වය ඔබ විසින් ගලවා ඉවත දැමිය යුතු ය” යන්නයි. (එපීස 4:22, NW) “ඉවත දමන්න” යන යෙදුම (“ගලවා දමන්න” කිංඩම් ඉන්ටර්ලීනියර්) සහ “පැළඳ ගන්න” (24 පදය) යම් ඇඳුමක් ගලවා දමා පැළඳ ගැනීමේ මනෝ චිත්‍රයක් මවා පෙන්වයි. මෙය පාවුල් විසින් බොහෝ විට යොදා ගත් උපමානුසාර යමක් [රූපකයක්] වන අතර, එය ප්‍රබල එකකි. (රෝම 13:12, 14; එපීස 6:11-17; කොලොස්සි 3:8-12; 1 තෙසලෝනික 5:8) ආහාර ගන්නා අතරතුරේ දී වැනි අවස්ථාවක, අපගේ ඇඳුම්වලට කුණු තැවරී හෝ පැල්ලමක් වැදුණු විට, අපට ලැබෙන පළමු අවස්ථාවේ දී ම අපි එම ඇඳුම මාරු කරන්නෙමු. අපගේ ආත්මික තත්ත්වයට යම් කුණු පැල්ලමක් තැවරුණහොත් ඒ ගැන ද අපි ඒ හා සමාන ව සැලකිලිමත් නොවිය යුත්තෙමු ද?
9. කෙනෙකු පරණ පුද්ගලිකත්වය ඉවත දමන්නේ කොයි ආකාරයෙන් ද?
9 එසේ නම්, යමෙක් පැරණි පුද්ගලිකත්වය ඉවත දමන්නේ කෙසේ ද? ප්රාරම්භක භාෂාවේ “ඉවත දමන්න” යන ක්‍රියා පදය, අතීත කාල අර්ථයකින් දක්වා ඇත. එක් වරක් හෝ සියලු කාලවලට ගන්නා ලද ක්‍රියාවක් බව අඟවයි. “පැරණි පුද්ගලිකත්වය” (“පැරණි මිනිසා” කිංඩම් ඉන්ටර්ලීනියර්) සමඟ අපගේ “පැරණි හැසිරීම් රටාව” ස්ථිර හා තීරණාත්මක ක්‍රියාවක් සමඟ මුළුමනින් ම හා සම්පූර්ණයෙන් ම ඉවත දැමිය යුතු ය. එය අපට හිතාමතා සාර්ථක ලෙස කළ හැකි දෙයක් හෝ පසුබා සිටිය හැකි දෙයක් හෝ නොවේ. ඒ මන්ද?
10. යමෙක් පරණ පුද්ගලිකත්වය ඉවත දැමීමෙහි ලා නිශ්චිත හා ස්ථිර විය යුත්තේ මක්නිසා ද?
10 “දූෂණය වෙමින් තිබෙන්නා වූ” යන ප්රකාශනයෙන් පෙන්වන්නේ, “පැරණි මිනිසා” වඩ වඩාත් නරක් වෙමින් දිගින් දිගට ම සදාචාර පිළිකුල් බවේ ප්රගතිශීලී ව යෙදී සිටින බව ය. යථාර්ථයට අනුව, ආත්මික ආලෝකනය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, සියලු මිනිස් වර්ගයා සිටින්නේ පහළට රූටා ඇදෙන සර්පිලාකාර දඟරයක ය. මෙය “රැවටිලිකාර ආශාවන්ගේ” ප්‍රතිඵලයක් යයි පාවුල් පැවසුවේ ය. මාංසික ආශාවන් රැවටිලිකාර ය, මන්දයත් ඒවා අහිංසක ලෙස පෙනෙන්ට තිබිය හැකි නමුත්, ඒවායේ අවසානය විනාශකාරී නිසා ය. (හෙබ්‍රෙව් 3:13) ඒ ගැන සුපරීක්ෂාකාරී නොවුවහොත්, අවසානයේ දී සිදු වනු ඇත්තේ කෙලෙසීම හා මරණයයි. (රෝම 6:21; 8:13) පැරණි අපිරිසිදු ඇඳුමක් ගලවා ඉවත ලන්නා සේ, පැරණි පුද්ගලිකත්වය ඉවත ලා, එනම් ස්ථිර ලෙස මුළුමනින් ම ගලවා දැමිය යුත්තේ එමනිසා ය.
නව “මනසේ ස්වභාවයක්”
11. ආත්මික අලුත් කිරීම ඇරඹිය යුත්තේ කොතැන් සිට ද?
11 මඩ වගුරකින් ඉවතට එන පුද්ගලයෙක් තම අපිරිසිදු ඇඳුම් ගලවා ඉවත දැමිය යුතුවා පමණක් නොව, නමුත් අලුත් පිරිසිදු ඇඳුමක් දමා ගන්නට පෙර තමා ව ම හොඳින් සෝදා ගත යුතු ය. අපගේ ආත්මික ආලෝකනයට අවශ්‍ය කරන දෙවැනි පියවර වශයෙන් පාවුල් ගෙනහැර දැක්වූයේ හරියට ම එයයි, එනම්: “ඔබගේ මනස ක්‍රියාත්මක කරවන බලය තුළ ඔබ ව අලුත් කරනු ලැබිය යුතුයි.” (එපීස 4:23, NW) ඔහු මීට පෙර, 17 සහ 18 වෙනි පදවල ගෙනහැර දැක්වූවාක් මෙන්, ජාතීන් ගමන් කරමින් සිටින්නේ, “තමන්ගේ මනස්වල නිෂ්ඵලත්වයෙන්” වන අතර, “මානසික අන්ධකාරය” තුළ සිටිත්. තර්කානුකූල ලෙස, අලුත් කිරීම පටන් ගත යුත්තේ, අවබෝධයේ හා තේරුම් ගැනීමේ මධ්‍යස්ථානය වන මනස තුළයි. මෙය කළ හැක්කේ කෙසේ ද? ඒ, අපගේ මනස ක්‍රියාත්මක කරවන බලය අලුත් කිරීමෙන් යයි පාවුල් පහදා දුන්නේ ය. ඒ බලය කුමක් ද?
12. මනස ක්‍රියාත්මක කරවන බලය කුමක් ද?
12 පාවුල් විසින් යොමු දක්වන ලද, අපගේ මනස ක්‍රියාත්මක කරවන බලය, ශුද්ධාත්මය ද? නැත. “ඔබගේ මනස ක්‍රියාත්මක කරවන බලය” යන වාක්‍ය ඛණ්ඩයෙන් පදගතාර්ථමය ලෙස කියැවෙන්නේ, “ඔබගේ ම මනසේ ස්ප්‍රීතුව [ස්වභාවය]” කියා ය. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය මිනිසෙකුට අයත් දෙයක් කියා හෝ මිනිසෙකුගේ කොටසක් කියා හෝ බයිබලයේ කොතැනකවත් පවසා නැත. “ස්ප්‍රීතුව” යන වචනයෙන් මූලික ව අදහස් කරන්නේ, “හුස්ම” යන්නයි, නමුත් “යම් පුද්ගලයෙකුට යම් ආකල්පයක්, තත්ත්වයක්, හෝ චිත්තවේගයක් විදහා පෑමට හෝ යම් ක්‍රියාවක් කිරීමට හෝ යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට හේතු කරවන බලය ලෙස දැක්වීමට” එය බයිබලයේ භාවිතා කොට තිබේ. (ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම, 1026 පිටුව) එමනිසා, “මනසේ ස්වභාවය” යනු අපගේ මනස, අපගේ ම මානසික ප්‍රවණතාවය හා නැඹුරුවාව පණගන්වන හෝ ක්‍රියාත්මක කරවන බලයයි.
13. අපගේ මානසික නැඹුරුවාව අලුත් කළ යුත්තේ මක්නිසා ද?
13 අසම්පූර්ණ මනසේ ස්වභාවික නැඹුරුවාව හා කැමැත්ත කායික, මාංසික හා ද්‍රව්‍යවාදී දේවල් දෙසට යොමු වී පවතී. (දේශනාකාරයා 7:20; 1 කොරින්ති 2:14; කොලොස්සි 1:21; 2:18) පුද්ගලයෙක් ඊට ආවේණික නපුරු පුරුදු සමඟ පරණ පුද්ගලිකත්වය ඉවත් කළත්, ඔහුගේ පාපතර මානසික නැඹුරුවාව වෙනස් නොකළේ නම්, කවදා හරි ඔහු අත්හළ දේවල් කරා යළි පියමං කිරීමට ඔහුට බල කරනු ඇත. උදාහරණයක් හැටියට, දුම් පානය කිරීම, පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම, හෝ වෙනත් නරක පුරුදු අත් හැරීමට වෑයම් කළ බොහෝ දෙනෙකුගේ අත්දැකීම මෙය නොවේ ද? ඔවුහු තමන්ගේ මනස ක්‍රියාත්මක කරවන බලයේ අලුත් වීමට වෑයමක් නොගන්නවා නම්, පළමු තත්ත්වයට හැරී යාම බොහෝ දුරට නොවැළැක්විය හැක්කකි. ඕනෑ ම ආකාරයේ පරිවර්තනයක් කිරීමට මනසේ පූර්ණ යළි සැකසීමක් ඇතුළත් විය යුතු ය.—රෝම 12:2.
14. මනස ක්‍රියාත්මක කරවන බලය අලුත් කළ හැක්කේ කෙසේ ද?
14 එසේ නම්, කෙනෙකුගේ මනස හරි පැත්තට නැමෙනු ලෙසින් ඔහුට එම බලය අලුත් කළ හැක්කේ කෙසේ ද? ග්‍රීක් පාඨයේ “අලුත්කරනු ලැබ” යන ක්‍රියා පදය අඛණ්ඩ ක්‍රියාවලියක් ප්‍රකාශ කරමින්, වර්තමාන කාලයෙන් සඳහන් ව ඇත. එනිසා මනස ක්‍රියාත්මක කරවන බලය අලුත් කළ හැක්කේ දෙවියන් වහන්සේගේ සත්‍යයේ වචනය දිගට ම පාඩම් කිරීමෙනුත් එය අදහස් කරන දෙය මෙනෙහි කිරීමෙනුත් ය. අපගේ මොළය තුළ තොරතුරු, සංකේතක විද්‍යුත් හා රසායනික සංඥාවල ස්වභාවයෙන් උපාගමය නම් වූ සන්ධි බොහොමයක් හරහා යමින් නියුරෝනයෙන් නියුරෝනයට ගමන් කරන බව විද්‍යාඥයෝ අපට පවසති. “ස්නායු උපාගමයේ යම් ආකාරයක මතකයක් ඇති වනුයේ, සංකේතක සංඥාව ඊට ආවේණික මුද්‍රණ විලාසම තබමින් ඒ හරහා ගමන් කරන විට” යයි ද බ්‍රේන් නම් පොත පවසයි. එම සංඥාව ම ඊළඟ වතාවේ ඒ හරහා යන විට, ස්නායු සෛල එය හඳුනා ගෙන වඩා ඉක්මනින් ඊට ප්‍රතිචාරය දක්වයි. මින් වැඩි කලක් යන්නට මත්තෙන්, මෙය එම පුද්ගලයා තුළ අලුත් චින්තන රටාවක් බිහි කරනු ඇත. අප යහපත් ආත්මික තොරතුරු ලබා ගැනීමට නොනැවතී ක්‍රියා කරත් ම, අලුත් චින්තන රටාවක් ගොඩ නගනු ලබමින් අපගේ මනස ක්‍රියාත්මක කරවන බලය අලුත් කරනු ලැබේ.—පිලිප්පි 4:8.
“අලුත් පුද්ගලිකත්වය පැළඳගන්න”
15. අලුත් පුද්ගලිකත්වය අලුත් වනුයේ කිනම් අදහසකින් ද?
15 “[ඔබ] සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම තුළ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මවනු ලැබූ අලුත් පුද්ගලිකත්වය පැළඳ ගන්න” යයි අවසානයේ පාවුල් පවසයි. (එපීස 4:24, NW) එසේ ය, ක්‍රිස්තියානියෙක් අලුත් පුද්ගලිකත්වයක් පැළඳ ගනී. මෙහි “අලුත්” යන්නෙන් යොමු දක්වන්නේ කාලයට නොව ගුණාත්මක භාවයට ය. එනම් එය අලුත් ම ඝනයේ එකක් නිසා අලුත් වනවා නොවේ. එය “දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මවනු ලැබූ” සහමුලින් ම අලුත්, නැවුම් පුද්ගලිකත්වයක් වේ. කොලොස්සි 3:10 පාවුල් ඒ හා සමාන භාෂිතයක් පාවිච්චි කරමින් එය “මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස . . . අලුත්කරනු ලබන” බව පැවසී ය. මෙම අලුත් පුද්ගලිකත්වය හටගන්නේ කෙසේ ද?
16. අලුත් පුද්ගලිකත්වය “දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මවනු” ලබන්නේ යයි කිව හැක්කේ මක්නිසා ද?
16 යෙහෝවඃ දෙවියන් වහන්සේ පළමු මනුෂ්‍ය යුවළ වන, ආදම් සහ ඒව මැව්වේ තමන් වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙනි. ඔවුන් ව සත්ත්ව මැවිල්ලෙන් අතිශයින් වෙනස් කළ සදාචාර හා ආත්මික ගුණාංග ඔවුන්ට දායාද කොට දී තිබුණි. (උත්පත්ති 1:26, 27) ඔවුන්ගේ කැරලි ගැසීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයා ව ම පාපයට හා අසම්පූර්ණත්වයට ඇද දැමුව ද, ආදම්ගෙන් පැවතෙන්නන් හැටියට, අපට, සදාචාර හා ආත්මික ගුණාංග පිළිබිඹු කිරීමේ හැකියාව තවදුරටත් ඇත. දෙවියන් වහන්සේගේ කැමැත්ත වනුයේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තබන්නන්, පරණ පුද්ගලිකත්වය අහක දමා “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” භුක්ති විඳිය යුතු බව ය.—රෝම 6:6; 8:19-21; ගලාති 5:1, 24.
17. ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම අලුත් පුද්ගලිකත්වයේ කැපී පෙනෙන ලක්ෂණ වනුයේ මක්නිසා ද?
17 සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතිත්වය අලුත් පුද්ගලිකත්වයේ ගති ලක්ෂණ හැටියට පාවුල් වෙන්කොට දක්වන ගුණාංග දෙකකි. මෙය අලුත් පුද්ගලිකත්වය එය මැවූ තැනන් වහන්සේගේ රූපය අනුව අලුත් කරනු ලබන බව වැඩිදුරටත් අවධාරණය කරයි. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය [පක්ෂපාත ය NW]” කියා ගීතාවලිය 145:17 අපට පවසයි. තව ද එළිදරව් 16:5 යෙහෝවඃ වහන්සේ “සිටින්නාවූ, සිටියාවූ, ශුද්ධවූ [පක්ෂපාත වූ NW] තැනන්වහන්ස, . . . ඔබ ධර්මිෂ්ඨය” බව පවසයි. සැබවින් ම, අප දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලබන ආකාරයට ජීවත් වන්නට නම්, ධර්මිෂ්ඨකම හා පක්ෂපාතිත්වය වැදගත් ගුණාංග වන්නේ ය. අපි යොහන් බව්තීස්තගේ පියා වන, සෙකරියස් හා සමාන වන්නට වෑයම් කරමු. ඔහු වනාහි තමන්ගේ සෙනඟට “භයක් නැතුව . . . ශුද්ධකමින්ද [පක්ෂපාතකමින් ද NW] ධර්මිෂ්ඨකමින්ද උන්වහන්සේට සේවයකරන්ට [පරිශුද්ධ සේවය පිරිනැමීමට NW] වර” දීම වෙනුවෙන් දෙවියන් වහන්සේ ව ප්‍රශංසා කරන්නට ශුද්ධාත්මයෙන් පොලඹවනු ලැබූවෙකි.—ලූක් 1:74, 75.
“ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමින් සිටින්න”
18. ලෝකයේ ක්‍රම ඒවා තිබෙන ආකාරයෙන් ම දැකීමට පාවුල් අපට උපකාර කර ඇත්තේ කෙසේ ද?
18 එපීස 4:17-24 හි ඇති පාවුල්ගේ වදන් විස්තරාත්මක ව සලකා බැලූ අපට කල්පනා කරන්නට බොහෝ දෑ ඇත. මෙහි 17 සිට 19 දක්වා වගන්තිවලින්, ලෝකයේ මාර්ග ඒවා ඇති සැටියෙන් ම බලන්නට පාවුල් අපට උපකාර කරයි. දෙවියන් වහන්සේ පිළිබඳ දැනගැන්ම ප්‍රතික්ෂේප කරමින් ද සිය හෘදයන් උන් වහන්සේට එරෙහි ව දැඩි කර ගනිමින් ද, වැඩි දුරටත් ලෝකයට සම්බන්ධ ව සිටින අය ජීවනයේ සැබෑ ප්‍රභවයෙන් තමන් ව ම ඉවත් කරගෙන ඇත්තාහ. ප්‍රතිඵලයක් වශයෙන්, සැබෑ අරමුණක් හෝ මඟ පෙන්වීමක් නොමැති ව, ඔවුන්ගේ වෑයම් මෝඩකමෙන් හා නිෂ්ඵලත්වයෙන් අවසන් වේ. ඔවුහු සදාචාරයේ හා ආත්මිකත්වයේ නිරන්තර පිරිහීමට පත්වෙමින් සිටිත්. කොතරම් දුක්මුසු තත්ත්වයක් ද! එමෙන් ම ආලෝකයේ දරුවන් හැටියට අපට දිගට ම ගමන් කිරීමට අධිෂ්ඨාන පූර්වක ව සිටින්නට කොතරම් බලගතු හේතුවක් ද!
19. ආලෝකයේ දරුවන් හැටියට දිගට ම ඇවිදින්නට පාවුල් අපට දෙන අවසාන අවවාදය කුමක් ද?
19 අනතුරුව, 20 හා 21වන වගන්තිවල පාවුල්, අප නිකම් සත්‍යය සමඟ සිටිනු පිණිස නොව, ඒ වෙනුවට යේසුස් වහන්සේ කළාක් මෙන් සත්‍යය මාර්ගය අනුව ජීවත්වීමට, මහත් ඕනෑකමින් සත්‍යය ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කළේ ය. අවසාන වශයෙන්, 22 සිට 24 දක්වා, ඔහු අපට පරණ පුද්ගලිකත්වය මුලින් උපුටා දමා අලුත් පුද්ගලිකත්වය—ස්ථිර ව, නිශ්චය වශයෙන්—පැළඳ ගන්නා ලෙස අවවාද කරයි. මේ අතර අප අපගේ මානසික නැඹුරුවාවන් යහපත්, ආත්මික දිසාවකට දිගට ම හසුරුවමින් සිටිය යුතු ය. සියල්ලට ම වඩා, ආලෝකයේ දරුවන් හැටියට අප දිගට ම ඇවිදිත් ම උපකාරය සඳහා යෙහෝවඃ වහන්සේ දෙස බැලිය යුතු ය. ‘මන්දයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ හෘද අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවේ දෙවියන් වහන්සේ ම නිසා ය.’—2 කොරින්ති 4:6.
ඔබට මතක ද?
◻ අපට අද දින “ක්‍රිස්තුස් වහන්සේ ව ඉගෙන” ගත හැක්කේ කෙසේ ද?
◻ පරණ පුද්ගලිකත්වය ස්ථිර ව ඉවත් කළ යුත්තේ මක්නිසා ද?
◻ මනස ක්‍රියාත්මක කරවන බලය කුමක් ද, එමෙන් ම එය අලුත් කරවනු ලබන්නේ කෙසේ ද?
◻ අලුත් පුද්ගලිකත්වය සලකුණු කරන්නේ කිනම් ගුණාංගවලින් ද?
[15වන පිටුවේ පින්තූරය]
“මාර්ගයද සැබෑවද ජීවනයද මමය” යයි යේසුස් වහන්සේ වදාළ සේක
[16වන පිටුවේ පින්තූරය]
පරණ පුද්ගලිකත්වය එහි පුරුදු වන කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම, කැත කථාව, හා බොරු කීම සමඟ සහමුලින් ම ඉවත් කරන්න.—කොලොස්සි 3:8, 9
[17වන පිටුවේ පින්තූරය]
“සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම තුළ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මවනු ලැබූ අලුත් පුද්ගලිකත්වය පැළඳ ගන්න.”—එපීස 4:24, NW