බයිබල් විවේචකයන් ව ව්‍යාකූල කළ නැති වුණු අධිරාජ්‍යයක්
“අතීතයේ අෂූරිය අධිරාජ්‍යයේ ඉතිහාසය ලෝකයේ පුරාවෘත්තයන්හි වඩාත් අපැහැදිලි පරිච්ඡේදයන්ගෙන් යුත් එකක් විය.” “පුරාණ නිනිවය පිළිබඳ ව දැන සිටි සියල්ල ම අන්තර්ගත වී තිබුණේ බයිබලය තුළ තිබුණු ඊට යොමු දැක්වූ විසිරුණු සඳහන් කිරීම් හා අනාවැකිවල ය, එමෙන් ම අෂූරිය ඉතිහාසය පිළිබඳ ඩයඩෝරස් සිකලස් . . . හා වෙනත් අය කළ අනියම් මෙන් ම සුළු සඳහන් කිරීම්වල ද එය දැකගත හැකි විය.”—සයික්ලෝපීඩියා ඔෆ් බිබ්ලිකල් ලිට්රේචර්, වෙළුම් 1 සහ 3, 1862.
ග්‍රීක් ඉතිහාසඥ ඩයඩෝරස් සිකලස් දැනට වසර 2,000කට පෙර ජීවත් වූවෙකි. නිනිවය චතුරස්රාකාර නගරයක් වූ බවට ඔහු කියා සිටියේ ය; එහි පැති හතරේ එකතුව දිගින් ග්‍රීක් මිණුම් ඒකකයක් වූ ස්ටේඩියා 480ක් විය. එය වනාහි සැතපුම් 60ක පරිධියකි! නිනිවය “තුන් දවසක ගමන් ප්‍රමාණවූ” මහත් නුවරක් හැටියට විස්තර කරමින්, බයිබලය සමානාකාර අදහසක් ඉදිරිපත් කරයි.—යෝනා 3:3.
පුරාතන ලෝකයේ අප්‍රසිද්ධ නගරයක් එතරම් විශාල විය හැකි යයි විශ්වාස කරන්නට 19වන ශතවර්ෂයේ බයිබල් විවේචකයෝ ප්‍රතික්ෂේප කළහ. නිනිවය කෙසේ හෝ පැවත තිබුණි නම්, එය බබිලෝනියට කලින් පැවති පුරාතන ශිෂ්ටාචාරයක කොටසක් විය යුතු යයි ද ඔවුහු පැවසූහ.
නෝවාගේ මුනුබුරාගේ පුතෙක් වූ, නිම්රොද්, බාබෙල් නොහොත් බබිලෝනීය ප්‍රදේශයේ මුල් ම දේශපාලන රාජ්‍ය ඇති කළ බව උත්පත්ති 10වන පරිච්ඡේදය පවසන බැවින්, මෙම දෘෂ්ටිය ඊට විරුද්ධ විය. “ඔහු ඒ දේශයෙන් අෂුර්ට පිටත්ව ගොස් නිනිවයද රෙහොබොත්-ඊර්ද කලාද නිනිවය සහ කලා අතරෙහි වූ රෙසෙන්ද ගොඩනැගුවේය (එය මහත් නුවරය.)” යයි බයිබලය පවසයි. (උත්පත්ති 10:8-12) ශුද්ධ ලියවිල්ල එම අලුත් අෂූරිය නගර හතර එක් ‘මහත් නුවරක්’ හැටියට විස්තර කරන බව සැලකිල්ලට ගන්න.
ප්‍රංශ ජාතික පුරාවිද්‍යාඥයෙක් වූ, පෝල්-එමීල් බෝටා, 1843 දී, අෂූරිය නගරයකට අයත් යයි සනාථ වූ මාලිගාවක නටබුන් සොයා ගත්තේ ය. මෙම සොයා ගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය බාහිර ලෝකයට දැනගන්නට ලැබුණ විට, එය මහත් කුතුහලයක් ඇති කළේ ය. “එම මාලිගාව යෙසායා 20:1 හි සඳහන් අෂූරිය රජ වූ, සර්ගොන්ට අයත් බව තහවුරු වූ විට, මහජන උනන්දුව වැඩි විය. මන්දයත් බයිබලයෙන් බැහැර ව ඔහු ගැන කිසි වාර්තාවක් නොතිබුණු හෙයින් ඔහු ජීවත් ව සිටියේ ද යන්න පවා සැක කරනු ලැබූ නිසා ය” යයි ට්‍රෙෂර්ස් ෆ්‍රොම් බයිබල් ටයිම්ස් නම් සිය පොතේ ඇලන් මිලර්ඩ් පැහැදිලි කරයි.
මේ අතර, ඔස්ටින් හෙන්රි ලෙයාර්ඩ් නම් වෙනත් පුරාවිද්‍යාඥයෙක්, කොර්සාබාඩ්ට සැතපුම් 26ක් පමණ නිරිත දිසාවෙන් නිම්රුඩ් යනුවෙන් හැඳින්වෙන ස්ථානයක නටබුන් හාරන්නට පටන් ගත්තේ ය. ඒවා උත්පත්ති 10:11 හි සඳහන් අෂූරිය නගර හතරෙන් එකක—එනම් කලාහ් නගරයේ නටබුන් බව සනාථ විය. පසු ව, 1849 දී, ලෙයාර්ඩ් විසින් කලාහ් හා කොර්සාබාඩ් අතර කූයන්ජික් නමින් හැඳින්වෙන ස්ථානයක දී යෝධ මාලිගාවක නටබුන් සොයා ගන්නා ලදි. එම මාලිගාව නිනිවයේ කොටසක් බවට තහවුරු විය. කොර්සාබාඩ් හා කලාහ් අතර කරාම්ලස් නම් ගොඩැල්ලක් ද ඇතුළු ව, වෙනත් ජනාවාසවල නටබුන් පිහිටා ඇත. “අප නිම්රුඩ් [කලාහ්], කූයන්ජික් [නිනිවේ], කොර්සාබාඩ්, හා කරාම්ලස් යන ප්‍රධාන ගොඩැලි හතර චතුරස්‍රයක කොන් හතර ලෙස ගතහොත්, එහි පැති හතර, හරියට ම භූගෝල විද්‍යාඥයාගේ ස්ටේඩියා 480ට නැතහොත් සැතපුම් 60ට සෑහෙන දුරට අනුරූප වන බව සොයා ගත හැකි ය, ඇරත් මෙය අනාගතවක්තෘ [යෝනාගේ] දින තුනේ ගමනට එකඟ වෙයි” යයි ලෙයාර්ඩ් ප්‍රකාශ කළේ ය.
එසේ නම්, පෙනෙන හැටියට, එක ම “මහත් නුවර” තුළ මෙම ජනාවාස සියල්ල ම ඇතුළත් කොට ඒවාට උත්පත්ති 10:11 හි පළමු ව සඳහන් නගරයේ නම එනම් නිනිවය යනුවෙන් හැඳින්වූයේ ය. අද දිනත් ඒ දෙය ම කරනු ලැබේ. උදාහරණයක් හැටියට, මුල දී තිබුණු ලන්ඩනය හා ඊට අවට තිබෙන උප නගර අතර වෙනසක් තිබේ, එහෙත් එම උප නගරවලට සමහර විට “මහා ලන්ඩන්” යන යෙදුම භාවිතා වේ.
අහංකාර අෂූරිය රජෙක්
නිනිවයේ තිබූ මාලිගාවට කාමර 70කට වැඩි සංඛ්‍යාවක් අයත් වූ අතර ඒවායේ බිත්තිවල සම්පූර්ණ දිග සැතපුම් දෙකකට ආසන්න ය. මෙම බිත්ති මත හමුදා ජය ගැනීම් මෙන් ම වෙනත් ජයග්රහණයන් සිහිපත් කරවන්නා වූ මූර්ති නිර්මාණයන්හි පුලුස්සන ලද නෂ්ටාවශේෂයන් තිබුණේ ය. මින් වැඩි ප්‍රමාණයක් බොහෝ සෙයින් හානි වී තිබුණි. කෙසේ නමුත්, ලෙයාර්ඩ් එහි රැඳී සිටි කාලයේ අවසානයට එළඹුණ කල, ඉතා විශිෂ්ට අයුරින් හානි නොවී තිබූ කාමරයක් ඔහු සොයා ගත්තේ ය. එහි බිත්ති මත බලකොටුවලින් හොඳින් ආරක්ෂා වී තිබුණු නගරයක් අල්ලා ගැනීමත් එම නගරයට පිටතින් සිංහාසනාරූඪ වී සිටි ආක්‍රමණය කරන රජ ඉදිරියෙන් යුද්ධ හිරකාරයන් පෙළට ගෙන යාමත් ප්‍රදර්ශනය කර තිබුණි. රජුට ඉහළින් සෙල් ලිපියක් ඇති අතර, අෂූරිය ලේඛන පිළිබඳ විශේෂඥයන් පහත දැක්වෙන ආකාරයට එය පරිවර්තනය කරති: “ලෝකයේ රජු වූ ද, අෂූරියේ රජු වූ ද, සෙනකෙරිබ්, නිමෙඩු -සිංහාසනයක් මත අසුන් ගෙන ලාකීෂ් (ලා-කි-සු) වෙතින් (ගත්) කොල්ල කා ගත් බඩු විධිමත් ලෙස පිරික්සුවේ ය.”
අද දින මෙම දැන්වීම හා සෙල් ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දැක බලා ගත හැකි ය. එය බයිබලයේ 2 රාජාවලියේ 18:13, 14 හි වාර්තාගත ව ඇති ඓතිහාසික සිද්ධිය සමඟ එකඟ වේ: “හෙසකියා රජුගේ දහහතර වෙනි අවුරුද්දේ දී අෂූරියේ රජ වූ සෙනකෙරිබ් යුදාහි රජවරුන්ගේ නුවරවලට විරුත්ටධව ඇවිත් ඒවා අල්වාගත්තේය. එවිට යුදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අෂූරියේ රජුට කියා ඇරියේය. අෂූරියේ රජද රිදී තලෙන්ත [තුන්සියයක් ද රන් තලෙන්ත NW] තිහක්ද දෙන්ට යුදාහි රජවූ හෙසකියාට නියමකෙළේය.”
යුදාව සෙනකෙරිබ් විසින් ආක්‍රමණය කිරීම හා හෙසකියා විසින් ගෙවන ලද කප්පම පිළිබඳ වැඩිමනත් විස්තර ඉදිරිපත් කරන වෙනත් සෙල් ලිපි නිනිවයේ නටබුන් අතර සොයා ගනු ලැබී ය. “ඇතැම්විට වාර්තා ගත වී ඇති ඓතිහාසික සාක්ෂීන්ගෙන් වඩාත් කැපී පෙනෙන සම්පාතයන්ගෙන් එකක් නම්, හෙසකියාගෙන් රනින් ගන්නා ලද වස්තුවේ අගය වන, තලෙන්ත තිහයි, මෙය සම්පූර්ණයෙන් ම ස්වාධීන වූ වාර්තාවන් දෙකේ එකඟ වේ” යයි ලෙයාර්ඩ්ස් ලීවේ ය. අෂූරිය ලේඛන කියවා තේරුම් ගැනීමට උපකාර කළ, ශ්‍රීමත් හෙන්රි රෝලින්සන් මෙම සෙල් ලිපි “[සෙනකෙරිබ්ගේ] ඓතිහාසික අනන්‍යතාව ආරවුලකින් තොර වූ තත්ත්වයක තැබී ය” යයි නිවේදනය කළේ ය. මීට අමතර ව, නිනිවේ ඇන්ඩ් බැබිලන් නම් සිය පොතේ ලෙයාර්ඩ්ස් මෙසේ ද ඇසී ය: “නිනිවයේ භූමි භාගය සලකුණු කළ පස් හා කසළ ගොඩවල් යටින්, සෙනකෙරිබ් විසින් ම ඒවා සිදු වන කාලය තුළ ලියනු ලැබුවා වූ ද, කුඩා ම විස්තරය දක්වා බයිබල් වාර්තාව ස්ථිර කරන්නා වූ ද, හෙසකියා හා සෙනකෙරිබ් අතර සිදු වූ යුද්ධවල ඉතිහාසය සොයා ගනු ලබනවා ඇතැයි, මෙම සොයා ගැනීම් කරන්නට මත්තෙන්, එසේ කිරීමට ඇති හැකියාව හෝ පුළුවන්කම විශ්වාස කළේ කවුද?”
ඇත්ත වශයෙන් ම, සෙනකෙරිබ්ගේ වාර්තාවේ ඇතැම් විස්තර බයිබලය සමඟ එකඟ නොවේ. උදාහරණයක් වශයෙන්, පුරාවිද්‍යාඥ ඇලන් මිලාර්ඩ් මෙසේ සඳහන් කරයි: “වඩාත් කැපී පෙනෙන කාරණය [සෙනකෙරිබ්ගේ වාර්තාවේ] අවසානයේ දක්නට ලැබේ. හෙසකියා තමාගේ දූතයා හා සියලු කප්පම් සෙනකෙරිබ් වෙතට ‘පසු ව, නිනිවයට’ යැවී ය. සාමාන්‍ය ක්‍රමයට ජය ඝෝෂා පවත්වමින් අෂූරිය හමුදා ඒවා තමන්ගේ මව්බිමට ගෙන ගියේ නැත.” අෂූරිය රජ නිනිවයට පැමිණීමට පෙර කප්පම ගෙවන ලද බව බයිබලය පවසයි. (2 රාජාවලිය 18:15-17) මෙම වෙනස මක්නිසා ද? තව ද යුදා ආරක්ෂිත නගරය වන, ලාකීෂ් ආක්‍රමණය කළ ආකාරය සම්බන්ධයෙන් ඔහු පාරට්ටු කළ ආකාරයට, යුදෙව් අගනුවර වන, යෙරුසලම යටත් කරගැනීම ගැන සෙනකෙරිබ්ට පාරට්ටු කළ නොහැකි වූයේ මන්ද? බයිබල් ලේඛකයන් තිදෙනෙක් මීට පිළිතුර සපයති. සියැසින් දුටු සාක්ෂිකාරයෙක් වන, ඔවුන්ගෙන් කෙනෙක්, මෙසේ ලීවේ ය: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] දූතයා පිටත්ව ගොස් අෂූරිවරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන්වූය. එවිට අෂූර්හි රජවූ සෙනකෙරීබ් පිටත්ව හැරී ගොස් නිනිවෙහි වාසයකෙළේය.”—යෙසායා 37:36, 37; 2 රාජාවලිය 19:35; 2 ලේකම් 32:21.
ට්‍රෙෂර්ස් ෆ්‍රොම් බයිබල් ටයිම්ස් නම් සිය පොතේ, මිලර්ඩ් මෙසේ නිගමනය කළේ ය: “මෙම වාර්තාව සැක කරන්නට හොඳ හේතුවක් නැත . . . එය තමා ව අවමානයට ලක් කරනු ඇති නිසා, තමාට පසු ව රජකම් කරන අයට කියවීම පිණිස සෙනකෙරිබ් මෙවන් විපත්තියක් වාර්තා නොකිරීම තේරුම් ගත හැකි කාරණයකි.” ඒ වෙනුවට තමාගේ යුදෙව් ආක්‍රමණය සාර්ථක වූ බවටත්, හෙසකියා කප්පම් එවමින්, දිගට ම යටත් ව සිටි බවටත් හැඟීමක් මවා පාන්නට සෙනකෙරිබ් වෑයම් කළේ ය.
අෂූරියේ මූලාරම්භය සනාථ වේ
මැටි ශිලා ලේඛන දස දහස් සංඛ්‍යාවකින් යුත් පුස්තකාල ද නිනිවයේ සොයා ගනු ලැබී ය. උත්පත්ති 10:11 හි අඟවන පරිදි, අෂූරිය අධිරාජ්‍යයේ මූලාරම්භය බබිලෝනියේ දකුණු ප්‍රදේශයන්ට සම්බන්ධ ව තිබූ බව මෙම ලේඛන සනාථ කරයි. මෙම තොරතුරු උපයෝගි කර ගනිමින්, පුරාවිද්‍යාඥයන් තවත් දකුණට සිය ප්රයත්න යොදන්නට පටන් ගත්හ. එන්සයික්ලෝපීඩියා බිබිලිකා මෙසේ පැහැදිලි කරයි: “අෂූරිවරුන් දමා ගිය සියලු දේවලින් පැහැදිලි වන්නේ ඔවුන්ට බබිලෝනීය මූලාරම්භයක් තිබූ බව ය. ඔවුන්ගේ භාෂාව මෙන් ම ලියන ක්‍රමය, ඔවුන්ගේ සාහිත්‍යය, ඔවුන්ගේ ආගම හා ඔවුන්ගේ විද්‍යාව සුළු සුළු වෙනස්කම් කිරීම් සහිත ව පමණක් සිය දකුණු අසල් වැසියන්ගෙන් අත්පත් කර ගනු ලැබී ය.
ඉහත දක්වා ඇති ආකාරයේ සොයා ගැනීම්, සිය මත වඩාත් සමබර ව තබා ගැනීමට බයිබල් විවේචකයන්ට බල කර ඇත. ඇත්ත වශයෙන් ම, බයිබලය පිළිබඳ පැති නොගෙන කරන සෝදිසි කිරීමක් මගින්, එය සැලකිලිමත්, අවංක ලේඛකයන් විසින් ලියන ලද බවට එළිදරව් කෙරේ. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අග්රවිනිශ්චකාරයෙක් වන, සැල්මන් පී. චේස් බයිබලය සෝදිසි කර බැලීමෙන් පසු මෙසේ පැවසී ය: “එය දීර්ඝ, කල්පනාවෙන් කරන ලද, හා විචක්ෂණ අධ්‍යනයක් විය; තව ද මා ලෞකික වෘත්තීමය කාරණා සම්බන්ධයෙන් කරන්නා සේ, මෙම ආගමික විෂයෙහි ද සාක්ෂි පිළිබඳ ව එම ප්‍රතිපත්ති ම අදාළ කර ගැනීමේ දී බයිබලය ස්වභාවිකත්වය ඉක්ම වූ පොතක් බවටත්, එය දෙවියන් වහන්සේගෙන් ලැබී ඇති බවටත් වූ නිගමනයට මම එළඹ සිටිමි.”—ද බුක් ඔෆ් බුක්ස්; ඇන් ඉන්ට්‍රඩක්ෂන්.
ඇත්ත වශයෙන් ම, බයිබලය නිවැරදි ඉතිහාසයට වඩා වැඩි යමක් වේ. එය දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් වචනය ය, මනුෂ්‍ය වර්ගයාගේ සෙත පිණිස වූ ත්‍යාගයක් වන්නේ ය. (2 තිමෝති 3:16) බයිබලයේ භූගෝලීය තොරතුරු පරීක්ෂා කර බැලීමෙන් මෙයට සාක්ෂි බලා ගත හැකි ය. මෙය මීළඟ කලාපයේ සාකච්ඡා කරනු ලබනවා ඇත.
[6, 7වන පිටුවේ පින්තූර]
ඉහළ: බිතු සිතුවමකින් ගන්නා ලද විශාල කර දැක්වීම් තුනක්
පහළ: ලාකීෂ් වටලෑම විස්තර කරන්නා වූ අෂූරිය බිත්ති නිර්මාණයේ සිත්තමක්
[හිමිකම් විස්තර]
(Courtesy of The British Museum)
(From The Bible in the British Museum, published by British Museum Press)
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of the Trustees of the British Museum