ඇය තම ඇදහිල්ල උදෙසා සටන් කළා ය
වසර තුනකට පෙර, ස්පාඤ්ඤයේ, කැඩිස් නගරයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වූ කාරිඩාඩ් බාසාන් ලිස්ටන්ට හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය විය. පිත්තාශයෙහි ගල් තිබුණු නිසා උණ ද ඇයගේ රුධිරය විෂ වෙමින් ද තිබුණි. ඇය ව පළාතේ රෝහලට ඇතුල් කරනු ලැබූ විට, රුධිර ප්‍රවේශනයක් පිළිගැනීමට නොහැකි වීමට හේතු වූ බයිබලය මත පදනම් ඇයගේ ස්ථාවරය ඇය පැහැදිලි කළා ය. රුධිරය නොමැති ව ශල්‍යකර්මය කිරීමට වෛද්‍යවරු එකඟ වූහ. කෙසේ වෙතත්, ඇය ව ශල්‍යාගාරයට ගෙන යාමට මොහොතකට පෙර, ලියවිල්ලකට අත්සන් තබන ලෙස වෛද්‍යවරු ඇයගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් රුධිරය සම්බන්ධයෙන් වූ ඇයගේ තීරණයට ගරු කිරීමට කැමති බවත්, එනමුත් හදිසි තත්ත්වයක් පැන නැගුනහොත්, අවශ්‍ය යයි සැලකෙන ඕනෑ ම ප්‍රතිකාරයක් කිරීමට ඔවුන්ට ඇයගේ අවසරය ඕනෑ බවත් එහි සඳහන් ව තිබිණ.
ඒ අවස්ථාවේ දී රෝහලේ සිටි සභා වැඩිමහල්ලෙක් හා සාක්ෂිකරුවෙක් ව සිටි, කාරිඩාඩ්ගේ පුත්‍රයෙක්, එවන් ලියවිල්ලකට අත්සන් තැබීමෙන් ඇති වන ප්‍රතිඵල ගැන කාරිඩාඩ්ට අවවාද කළේ ය. ඇයගේ අත්සන හදිසි තත්ත්වයක් පැන නැගුනහොත් රුධිර ප්‍රවේශනයක් කිරීමට වෛද්‍යවරුන්ට අනුමැතිය ලබා දෙනු ඇත. ඇය ව ශල්‍යාගාරයට ගෙන යාමට වෛද්‍ය වෘත්තිකයන් පැමිණි විට, ඇය එම ලියවිල්ලට අත්සන් නොකරන බව ඇය පැහැදිලි කළා ය. ඇය ව වහා ම ඇයගේ කාමරයට යළි ගෙනැවිත් ඇයගේ මනස වෙනස් කරන්නට දැඩි පීඩනයකට ලක් කරනු ලැබුවා ය.
සාකච්ඡා කීපයකට පසු, අධිකරණ විනිශ්චයකාර තැන විසින් ඇය ව ඒත්තු ගැන්විය හැකි යයි කල්පනා කරමින් ඔහු ව කැඳවන්නට ඔවුහු තීරණය කළ ද, ඉන් ඵලක් නොවී ය. තමාට රුධිරය ලබා දීමට ඇය ඔවුන්ට අවසර දෙනු ලැබුවහොත්, තමා දෙවියන් වහන්සේ ඉදිරියේ වරදකාරියක් වන්නේ යයි කාරිඩාඩ් පැහැදිලි කළා ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ, කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කරනු ලැබූ විට, උපකාරය සඳහා කෑගැසීමෙන් ඇය විරුද්ධත්වය ඵල කළේ නම්, ඇය වැරදිකාරියක් ලෙස සලකනු නොලබන බව ඇය පෙන්වා දුන්නා ය. (ද්විතීය කථාව 22:23-27) “වෛද්‍යවරුන් මගේ කැමැත්ත නොසලකා හරිමින් මගේ හෘදය සාක්ෂියට විරුද්ධ ව වැඩ කරන්නට වෑයම් කරන බැවින්, ඔවුන් මා ව බලහත්කාරයෙන් දූෂණය කරන්නාසේ සලකා මා විරුද්ධ විය යුතුයි” යයි ඇය පැවසුවා ය.
පැය ගණනාවකට පසු ව අවසානයේ රුධිරය නොමැති ව ඇයගේ ශල්‍යකර්මය සිදු කිරීමට වෛද්‍යවරු එකඟ වූහ. ශල්‍යාගාරයේ දී, කාරිඩාඩ් යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීමට අවසරය ඉල්ලා සිටියා ය. ඇය එසේ කළ අතර, ශල්‍යකර්මය සාර්ථක විය.
එහෙත්, පසු ව කාරිඩාඩ්ගේ තත්ත්වය බරපතළ වූ අතර, ඇයගේ කැමැත්ත නොසලකා රුධිර ප්‍රවේශනයක් ලබා ගැනීමට බල කරන්නට වෛද්‍යවරු තීරණය කළහ. මෙසේ ඇයට රුධිර ප්‍රවේශනයක් ලබා දීමට වෛද්‍යවරයෙක් හා හෙදියක් සූදානම් වූහ. ඇය දුබල තත්ත්වයක සිටියදීත් කාරිඩාඩ් තමාගේ මුළු ශක්තියෙන් ඊට විරුද්ධත්වය පළ කළා ය. රුධිරය ගමන් කරන්නට තිබූ බටය පවා ඇය හපා දමන්නට සමත් වූවා ය. අවසානයේ, තමා කරමින් සිටි දෙය ගැන එම වෛද්‍යවරයා කොතරම් ලැජ්ජා වූයේදයත්, ඔහු මෙසේ පවසමින් ඉන් වැළකී සිටියේ ය: “මට මෙය කිසිසේත් කරන්නට බැහැ. මම අත පිස දා ගන්නවා.”
කාරිඩාඩ් එම අවදානම් තත්ත්වයෙන් බේරුණ අතර වෙනත් රෝගී තත්ත්වයන් කිසිත් නොමැති ව සුවය ලැබුවා ය. ඇයගේ ඇදහිල්ල හා නිර්භීතකම වෛද්‍යවරුන් මෙන් ම හෙදියන්ගේ සිතට කාවැදුණි. මේ සියල්ල සිදු වූයේ කාරිඩාඩ්ට වයස අවුරුදු 94ක් ව තිබිය දී ය.