යෙහෝවඃ වහන්සේ විසින් උගන්වා ඇති ආකාරයට හැසිරෙන්න
“ස්වාමිනි, [යෙහෝවඃ වහන්ස, NW] ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත [හෘදය NW] එකඟකළ මැනව.”—ගීතාවලිය 86:11.
“ප්‍රවේශනය කරන ලද රුධිරයෙන් රෝගකාරකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සම්ප්‍රේෂණය වීම සැබෑවක් වන බැවින්, රුධිර නිෂ්පාදිතයන් පාවිච්චිය ප්‍රතික්ෂේප කිරීමෙහිලා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් නිවැරදි ව සිටිනවා විය හැකි ය.”—1987, දෙසැම්බර් 15, ල’ ක්වොටිඩිඑන් ඩු මෙඩිසින් නම් ප්‍රංශ වෛද්‍ය දෛනිකය.
2 රුධිර ප්‍රවේශනයන් කොතරම් අන්තරාදායක ද, කොතරම් මාරාන්තික පවා විය හැකි ද, කියා දැන ගන්නට බොහෝ කලකට පෙර එම ප්‍රකාශය කියවන සමහරෙකු, එය ප්‍රතික්ෂේප කිරීම, හුදු අහඹු වාසනාවක් ලෙස යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් කල්පනා කරන්නට ඇත. එහෙත් රුධිරය පිළිබඳ ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් ගෙන ඇති ස්ථාවරය අහම්බෙන් ගත් එකක් හෝ, යම් අමුතු නිකායකින් ඇති කරන ලද නීතියක් හෝ, රුධිරය ආරක්ෂා සහිත නොවන බවට පවතින භයකින් උත්පාදනය වන ස්ථාවරයක් හෝ නොවේ. ඊට වෙනස් ව සාක්ෂිකාරයින් රුධිරය ප්‍රතික්ෂේප කරනුයේ සිය උතුම් උපදේශකයාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරු ලෙස හැසිරීමට ඇති ඔවුන්ගේ අධිෂ්ඨානය නිසා ය.
3 දෙවියන් වහන්සේ කෙරෙහි තම රඳා පැවැත්ම දැන තේරුම් ගත් දාවිත් රජ, උන් වහන්සේගෙන් උගන්වනු ලැබීමටත්, ‘උන් වහන්සේගේ සැබෑකමෙහි හැසිරෙන්නටත්’ අධිෂ්ඨාන කර සිටියේ ය. (ගීතාවලිය 86:11) තමා දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ රුධිරය පිළිබඳ වරදකරුවෙක් වීමෙන් තමන් ව වළක්වා ගනුයේ නම්, ඔහුගේ ‘ප්‍රාණය යෙහෝවඃ වහන්සේ වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලැබිය හැකි’ බව දාවිත්ට වරක් අවවාද කරනු ලැබී ය. (1 සාමුවෙල් 25:21, 22, 25, 29) මිනිසුන් වටිනා දෑ ආරක්ෂා කර සංරක්ෂණය කිරීම පිණිස ඒවා ඔතා තබන්නා සේ, දාවිත්ගේ ජීවිතය දෙවියන් වහන්සේ විසින් ආරක්ෂා කර සංරක්ෂණය කරනු ලැබිය හැකි ය. එම ඥානවන්ත අවවාදය පිළිගනිමින්, දාවිත් පුද්ගලික උත්සහයෙන් තමන් ව බේරා ගැනීමට වෑයම් නොකළ නමුත්, තම ජීවිතය සඳහා ණය ගැති ව සිටි තැනැන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබී ය: “ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.”—ගීතාවලිය 16:11.
4 එම ආකල්පය ඇති ව, කිනම් දිව්‍ය නීති වලංගු ව තිබුණේ ද හෝ කිනම් ඒවාට කීකරු විය යුතු ද යන්න තමාට පුද්ගලික ව තෝරා ගත හැකි යයි දාවිත් කල්පනා කළේ නැත. ඔහුගේ ආකල්පය වූයේ: “ස්වාමිනි, [යෙහෝවඃ වහන්ස, NW] ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; . . . සමතලා [ඍජු NW] මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.” “ස්වාමිනි, [යෙහෝවඃ වහන්ස, NW] ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත [හෘදය NW] එකඟකළ මැනව. මාගේ දෙවිවූ ස්වාමිනි, [යෙහෝවඃ වහන්ස, NW] මාගේ මුළු සිතින් [හදවතින් NW] ඔබට ප්‍රශංසාකරන්නෙමි.” (ගීතාවලිය 27:11; 86:11, 12) ඇතැම් අවස්ථාවල දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑකමෙහි හැසිරීම අපහසු හෝ මහත් ත්යාගශීලිකමක් ඉල්ලා සිටත හැකි නමුත්, ඍජු මාර්ගයේ උගන්වනු ලැබීමටත්, එහි ගමන් කිරීමටත් දාවිත්ට උවමනා විය.
රුධිරය ගැන උගන්වනු ලැබීම
5 ළමා කාලයේ පටන් දාවිත්ට, රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ කල්පනාව උගන්වනු ලැබූ බව අප සැලකිල්ලට ගැනීම වටී. මෙම කල්පනාව ආගමික අභිරහසක් නොවී ය. ව්‍යවස්ථාව ජනයා හට කියවනු ලැබූ විට, දාවිත් මෙසේ අසන්නට ඇත: “මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කළෙමි. මක්නිසාද සමගිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය. එබැවින්: නුඹලාගෙන් කිසිවෙක් ලේ නොකෑයුතුය, නුඹලා අතරෙහි වසන විදේශියාද ලේ නොකෑ යුතුයයි මම ඉශ්රායෙල් පුත්‍රයන්ට කීයෙමි.”—ලෙවි කථාව 17:11, 12; ද්විතීය කථාව 4:10; 31:11.
6 දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ව ස්වකීය තෝරාගත් සෙනඟ ලෙස පාවිච්චි කරනතාක් කල්, උන් වහන්සේ ප්‍රසන්න කරන්නට කැමති වන්නන් හට රුධිරය ගැන උගන්වනු ලැබිය යුතු විය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ඉශ්රායෙල් පුත්‍රයන් හා දූවරුන් උගන්වනු ලැබී ය. එහෙත්, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” නැමැති ක්‍රිස්තියානින්ගේ සභාව පිහිටුවා, දෙවියන් වහන්සේ එය පිළිගැනීමෙන් පසු, එවන් ඉගැන්වීමක් තවදුරටත් සිදුවනු ඇත්ද? (ගලාති 6:16) ඇත්තෙන් ම, එසේ ය. රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ මතය වෙනස් වූයේ නැත. (මලාකි 3:6) රුධිරය වැරදි ලෙස භාවිතා නොකරන ලෙසට උන් වහන්සේගේ ප්‍රකාශිත ස්ථාවරය ව්‍යවස්ථා ගිවිසුම ක්‍රියාත්මක වන්නට පෙර වලංගු ව පැවති අතර එය ව්‍යවස්ථාව අවසන් කළ පසුව පවා තවදුරටත් පැවතිණ.—උත්පත්ති 9:3, 4; ක්‍රියා 15:28, 29.
7 රුධිරයට ගෞරව කිරීම ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රගත දෙයකි. ‘එය අතිශයෝක්තියක් නොවේ ද?’ යයි සමහරෙක් අසන්නට පුළුවන. ඇරත්, යේසුස් වහන්සේගේ පූජාව නොවේ නම්, ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රගත වනුයේ වෙන කුමක් ද? තව ද ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ [යේසුස් වහන්සේගේ] ලේ [ලේවල මිදීමේ මිලය NW] කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.” (එපීස 1:7) ෆ්රෑන්ක් සී. ලෝබාක් විසින් පරිවර්තනය කරන ලද, ද ඉන්ස්පයර්ඩ් ලෙටර්ස්, එම වගන්තිය දක්වනුයේ: “ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය අප වෙනුවෙන් ගෙවූ අතර, දැන් අපි උන් වහන්සේට අයත් ව සිටින්නෙමු.”
8 ළඟා වෙමින් පවතින ‘මහත් පීඩාවෙන්’ බේරී පාරාදීස පොළොවක දෙවියන් වහන්සේගේ ආශීර්වාද භුක්ති විඳීමට බලාපොරොත්තු වන්නා වූ සියල්ලෝ ම යේසුස් වහන්සේගේ වගුරුවන ලද රුධිරය මත රැඳි සිටිති. එය පෙර සිදු වූ දෙයක් මෙන් ඔවුන් ගැන විස්තර කරමින්, එළිදරව් 7:9-14 මෙසේ පවසයි: “මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.” මෙහි සඳහන් වන භාෂාව කල්පනාවට ගන්න. ‘යේසුස් වහන්සේ ව පිළිගැනීම’ හා ‘උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම’ ඇත්ත වශයෙන් ම වැදගත් අංගයන් වුවත්, මොවුන් මහත් පීඩාවෙන් බේරුණේ ඒ නිසා බවක් එහි පවසන්නේ නැත. තවත් දුරට එහි කියා සිටින්නේ, ඔවුන් “තමුන්ගේ සළු [යේසුස් වහන්සේගේ] ලෙයින් සෝදා සුදුකරගත්” බව ය. ඊට හේතුව මිලක් ගෙවීමෙන් මුදවා ගත හැකි වටිනාකමක් උන් වහන්සේගේ රුධිරයට ඇති නිසා ය.
9 ප්‍රවේශනයක් වැදගත් බව කාය වෛද්‍යවරයෙක් අවංක ව බලකර කියා සිටින විට පවා, මෙම වටිනාකම සඳහා ඇති අගැයීම, රුධිරය වැරදි ලෙස භාවිතා නොකිරීමට අධිෂ්ඨාන කර සිටීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ට උපකාරවත් වේ. ප්‍රවේශනයකින් විය හැකි ප්‍රයෝජන, රුධිරය නිසා ම ඇති වන සෞඛ්‍ය අවදානමට වඩා වැඩි බව හෙතෙම විශ්වාස කළ හැකි ය. නමුත් රුධිරයේ වැරදි භාවිතයකට එකඟ වීමෙන් දෙවියන් වහන්සේගේ අනුමැතිය නැති කර ගැනීමේ වඩාත් බරපතළ අවදානම ගැන නොසලකා හැරීමට ක්‍රිස්තියානියෙකුට නොහැකි ය. “සැබෑව දැනගැනීම ලැබුවායින් පසු . . . කැමැත්තෙන්ම පව්” කරන්නා වූ අය ගැන ප්‍රේරිත පාවුල් වරෙක කථා කළේ ය. එයාකාර පාපයක් එතරම් බරපතළ වූයේ මක්නිසා ද? හේතුව එවන් මනුෂ්‍යයෙක් “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් [එතරම් නොවැදගත් වටිනාකමකින් යුත් දෙයක් NW]” කළ නිසා ය.—හෙබ්‍රෙව් 9:16-24; 10:26-29.
උගන්වනු ලැබීමට අන්‍යයන්ට උපකාර කරන්න
10 යේසුස් වහන්සේගේ මිදීමේ මිලය අගය කරන අපි, ජීවිතය ගලවන්නා වූ උන් වහන්සේගේ රුධිරයේ වටිනාකම ප්‍රතික්ෂේප කරමින්, පුරුද්දක් වශයෙන් පව් නොකරන්නට සැලකිලිමත් වන්නෙමු. කාරණාව හොඳින් සැලකිල්ලට ගැනීමෙන් පසු, ජීවිතය වෙනුවෙන් දෙවියන් වහන්සේට හුදෙක් කෘතඥ පූර්වක වීම, උන් වහන්සේගේ ධර්මිෂ්ඨ නීති පිළිබඳ කොයි යම් ආකාරයකින්වත් පාවාදීමක් ප්‍රතික්ෂේප කිරීමට අප ව පෙලඹවිය යුතු බව අපි පිළිගන්නෙමු. මේවා අපගේ සුභසිද්ධිය—අපගේ දිගුකාලින සුභසිද්ධිය හෘදයේ තබාගෙන දී ඇති බව අපට නිසැක විය හැකි ය. (ද්විතීය කථාව 6:24; හිතෝපදේශ 14:27; දේශනාකාරයා 8:12) කෙසේ නමුත්, අපගේ දරුවන් ගැන කුමක් කිව හැකි ද?
11 අපගේ දූදරුවන් ළදරු ව නැතහොත් තේරුම් ගැනීමට පමණට වැඩි ලාබාල ව සිටිය ද, අපගේ භක්තියේ පදනම මත යෙහෝවඃ දෙවියන් වහන්සේ ඔවුන් ව පවිත්‍ර එමෙන් ම පිළිගත හැකි යයි කල්පනා කළ හැකි ය. (1 කොරින්ති 7:14) එබැවින් ක්‍රිස්තියානි පවුලක ළදරුවන් රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුවීම පිළිබඳ ව තවමත් අවබෝධයක් ලබා තීරණයක් ගෙන නොමැති බව සැබෑවකි. කෙසේ නමුත්, අප මෙම අති වැදගත් කාරණය පිළිබඳ ව ඔවුනට ඉගැන්වීමට අපි අපේ උපරිමය කරන්නෙමු ද? ඇතැම් මව්පියන් තමන්ගේ දරුවන් හා රුධිරය පිළිබඳ ව වැරදි සහගත ආකල්පයක් දරන බව පෙනෙන්නට ඇති බැවින්, ක්‍රිස්තියානි මව්පියන් එය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු ය. සමහරෙක් තමන්ගේ ලාබාල දරුවන්ට රුධිර ප්‍රවේශනයක් දෙනවා ද යන්න පිළිබඳ ව තමන්ට සැබවින් ම එතරම් පාලනයක් නැතැයි කල්පනා කරන බව පෙනේ. මෙම වැරදි සහගත මතය ඇති වනුයේ මක්නිසා ද?
12 නොසලකා හරින ලද, එමෙන් ම අනිසි ලෙස යොදා ගන්නා දරුවන් ආරක්ෂා කිරීමට නීති, නැතහොත් රජයේ ආයතන රටවල් බොහොමයක ඇත. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් තම ප්‍රේමනීය පුතාට හෝ දුවට රුධිරය දීමට එරෙහි ව තීරණයක් ගන්නා විට, එය ඔවුන්ගේ දරුවන් නොසලකා හැරීමක් හෝ අනිසි ලෙස යොදා ගනු ලැබීමක් හෝ නොවේ. ඒත් සමඟ ම එම අවස්ථාවේ දී නවීන වෛද්‍ය විද්‍යාව සැපයිය හැකි විකල්ප ප්‍රතිකාර ද ඔවුහු ඉල්ලති. වෛද්‍යමය දෘෂ්ටිකෝණයෙන් පවා, ප්‍රවේශන ප්‍රතිකාරයේ පිළිගත් අන්තරාවන් ගැන සලකා බැලීමේ දී මෙය නොසලකා හැරීමක් හෝ අනිසි ලෙස යොදා ගැනීමක් නොවන්නේ ය. එය ඒ හා බැඳි අවදානම සලකා බලා ප්‍රතිකාරය තෝරා ගැනීමට ඇති අයිතිය ක්‍රියාවට නැගීමකි.a එහෙත්, නුවුවමනා ප්‍රවේශනයක් බලකර සිටීමට අධිබලය ලබන්නට සොයන සමහර වෛද්‍යවරු නිත්‍යානුකූල විධිවිධාන ලබා ගැනීමට උත්සුක වෙති.
13 දරුවෙකු කෙරෙහි රුධිර ප්‍රවේශනයක් කිරීමට අධිකරණ සහයෝගයක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට ඇති පහසුව ගැන කල්පනා කරමින්, එම කාරණය තමන්ට හැසිරවිය නොහැකි දෙයක් යයි, තමන්ට කළ හැකි හෝ කිරීමට අවශ්‍ය කිසිවක් නැතැයි ඇතැම් දෙමාපියන්, කල්පනා කළ හැකි ය. එම මතය කොතරම් වැරදි සහගත ද!—හිතෝපදේශ 22:3.
14 දාවිත් යෞවන කාලයේ පටන් දෙවියන් වහන්සේගේ මාර්ගයන්හි උගන්වනු ලැබූ බව අපි දුටුවෙමු. ජීවිතය දෙවියන් වහන්සේගෙන් වූ දීමනාවක් බවත්, රුධිරය ජීවිතය නියෝජනය කරන බවත් සැලකීමට ඔහුට එතුළින් හැකියාව ලබුණි. (2 සාමුවෙල් 23:14-17 සසඳන්න.) දෙවියන් වහන්සේ කල්පනා කරන ආකාරය “ළදරු වියේ පටන්” තිමෝතිට උගන්වනු ලැබී ය. (2 තිමෝති 3:14, 15, NW) අද දවසේ නිත්‍යානුකූල වශයෙන් වැඩිහිටි යයි සැලකෙන වයසට වඩා ලාබාල ව සිටිය දී පවා, දෙවියන් වහන්සේගේ කැමැත්ත හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් තමන්ගේ අදහස් දැක්වීමට හැකියාවක් දාවිත්ට හා තිමෝතිට, තිබෙන්නට ඇති බව ඔබ එකඟ නොවන්නෙහි ද? සමානාකාරයෙන්, වැඩිහිටි වයසට පත් වන්නට සෑහෙන කාලයකට පෙර, අද දවසේ යෞවන ක්‍රිස්තියානින්ට ඒ හා සමාන ව ම දෙවියන් වහන්සේගේ මාර්ගවල උගන්වනු ලැබිය යුතු ය.
15 සමහරක් ස්ථානවල, මේරු යයි කියන බාල වයස්කරුවෙකුට වැඩිහිටියන් හා සමාන අයිතිවාසිකම් ප්රදානය කර ඇත. වයස නැතහොත් මේරූ කල්පනාව, නැතහොත් ඒ දෙක ම මත පිහිටා, යෞවනයෙක් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් තමාගේ ම තීරණය ගැනීමට මේරූභාවයක් ලබා සිටින්නේ යයි සලකනු ලැබිය හැකි ය. මෙය නීතිය නොවන්නා වූ තැන්වල පවා, රුධිරය පිළිබඳ ව සිය ස්ථිර තීරණය පැහැදිලි ව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති යෞවනයෙකුගේ කැමැත්තට විනිශ්චකරුවන් නැතහොත් නිලධාරීන්, යම් සැලකිල්ලක් දක්වන්නට පුළුවන. අනික් අතට, යෞවනයෙකුට සිය විශ්වාසයන් පැහැදිලි ව මෙන් ම මේරූ ස්වභාවයකින් පහදා දීමට නොහැකි වන විට, ළදරුවෙකු සම්බන්ධයෙන්, පෙනෙන ලෙස වඩාත් හොඳ දෙය කිරීමට තමන් තීරණය කළ යුතු යයි අධිකරණයට හැඟෙන්නට පුළුවන.
16 එක් යෞවනයෙක් කලින් කලට බයිබලය වසර ගණනාවකට ඉගෙන ගෙන තිබුණ ද, බව්තීස්මය ලබා නොසිටියේ ය. “ස්වයං කැමැත්තෙන් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය” තමන්ට හිමිවන වයසට තවත් සති සතක් තිබුණ නමුත්, ඔහුගේ හා ඔහුගේ මව්පියන්ගේ කැමැත්තට එරෙහි ව ඔහුට ප්‍රවේශනයක් කිරීමට පිළිකාව සඳහා ඔහුට ප්‍රතිකාර කළ රෝහල අධිකරණ අනුබලයක් ඉල්ලා සිටියේ ය. මේ සම්බන්ධයෙන් සාවධාන ව කටයුතු කළ විනිශ්චකාරවරයා රුධිරය පිළිබඳ ඔහුගේ විශ්වාසයන් මෙන් ම බයිබලයේ පළමු පොත් පහේ නාම වැනි මූලික ප්‍රශ්න ඇසීමෙන් ඔහු ව පරීක්ෂණයට ලක් කළේ ය. ඒවා නම් කිරීමටවත් තමා රුධිරය ප්‍රතික්ෂේප කිරීමට හේතුව තමා තේරුම් ගෙන සිටියේ යයි ඒත්තු ගත හැකි සාක්ෂි හෝ ඉදිරිපත් කිරීමටවත් එම යෞවනයාට හැකි වූයේ නැත. කණගාටුදායක ලෙස, එම විනිශ්චකාරයා මෙසේ සඳහන් කරමින් ප්‍රවේශනය අනුමත කළේ ය: “රුධිර ප්රවේශනයන්ට එකඟ වීමට ඔහු ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ ම ආගමික ඇදහිලි පිළිබඳ මේරූ අවබෝධයක් මත පදනම් කොට ගෙන නොවේ.”
17 දෙවියන් වහන්සේගේ මාර්ග ගැන හොඳින් උගන්වනු ලැබ උන් වහන්සේගේ සත්‍යතාවයේ ගමන් කරන්නා වූ බාලයෙකුට කාරණා වෙනස් ව සිදු විය හැකි ය. වඩා බාල ක්‍රිස්තියානියෙකුට, ඊට සමාන විරල ඝනයේ පිළිකාවක් තිබුණි. එම දැරිය හා ඇයගේ මව්පියන් ප්‍රසිද්ධ රෝහලක විශේෂඥවරයෙකුගෙන් නවීකෘත රසායන චිකිත්සාව තේරුම් ගෙන පිළිගත්හ. එහෙත් මෙම කාරණය අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. විනිශ්චකාරයා මෙසේ ලීවේ ය: “රුධිර ප්රවේශනයකට ඇයට හැකි සෑම ආකාරයකින් ම ඇය විරුද්ධ වන්නී යයි ඩී.පී සහතික වූවා ය. ප්‍රවේශනයක් කිරීම තම ශරීරයේ අයිතිය පැහැර ගැනීමක් ලෙස සැලකූ ඇය, එය තමා ව දූෂණය කිරීමක් හා සැසඳුවා ය. තමාගේ කැමැත්තට ගරු කර, අධිකරණයෙන් නියෝග කළ රුධිර ප්‍රවේශනයක් නොමැති ව තවදුරටත් [රෝහලේ] රැඳී සිටින්නට අවසර දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.” ඇය ලැබූ ක්‍රිස්තියානි ඉගැන්වීම මෙම අසීරු අවස්ථාවෙහි ඇයට උපකාරවත් විය.—කොටුව බලන්න.
18 වයස අවුරුදු 12ක දැරියක් ලිව්කීමියාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටියා ය. රුධිරය ඇය කෙරෙහි බල කරවීමට හැකි වීම පිණිස ළමා සුභසාධක ආයතනයක් එම කාරණය අධිකරණය වෙත ගෙන ගියේ ය. විනිශ්චයකරුවා මෙසේ නිගමනය කළේ ය: “එල්. පැහැදිලි ව හා සත්‍යය ලෙස පිළිගත හැකි ආකාරයකට, තමාට රුධිරය ප්‍රවේශනය කිරීමට වෑයමක් ගතහොත්, ඇයගේ හැකි පූර්ණ ශක්තියෙන් එම ප්‍රවේශනයට එරෙහි ව සටන් කරන බව මෙම අධිකරණයට පවසා ඇත. ඇය කෑ ගසා, අතින් පොර බදා එම විදින උපකරණය තම අතෙන් ඇද දමන බවත්, ඇයගේ ඇඳට ඉහළින් ඇති රුධිර බෑගය විනාශ කිරීමට වෑයම් කරන බවත් ඇය පවසා ඇති අතර, ඇය එසේ කරන බව මම විශ්වාස කරන්නෙමි. මෙම දැරිය ව එම ක්‍රියාකලාපයට යොමු කරන්නා වූ කිසිම නියෝගයක් කිරීමට මම අකැමැති වෙමි . . . මෙම රෝගියා සම්බන්ධයෙන්, රෝහල යෝජනා කරන ලද ප්‍රතිකාරය, රෝගය දෙස බලන්නේ ශාරීරික පැත්තෙන් පමණි. එය ඇයගේ චිත්ත වේගී අවශ්‍යතාවයන් හා ආගමික ඇදහිලි ගැන සැලකිල්ල දැක්වීමට එය අසමත් වෙයි.”
දෙමව්පියෙනි—හොඳින් උගන්වන්න
19 තම පවුලේ සියල්ලන් රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීම ප්‍රිය කරන මව්පියන් හට මෙවන් අත්දැකීම් බලගතු පණිවුඩයක් ඉදිරිපත් කරයි. ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රයෙකු වූ එක් හේතුවක් වූයේ, එම කුල දෙටුවා “ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණ” කරනු ඇතැයි උන් වහන්සේ දැන සිටීම ය. (උත්පත්ති 18:19) මෙය අද දවසේ ක්‍රිස්තියානි මව්පියන් සම්බන්ධයෙන් සැබෑ විය යුතු නොවේ ද? ඔබ මව්පියෙක් නම්, ඔබේ ප්‍රේමනීය දරුවන් “[ඔවුන්] තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන . . . අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී“ සිටීමටත්, “නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද” එසේ කිරීමත් යෙහෝවඃ වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමට ඔබ ඔවුනට උගන්වමින් සිටිනවා ද?—1 පේතෘස් 3:15.
20 රුධිර ප්‍රවේශනයේ රෝග අනතුරු වන වෙනත් අවදානම් පිළිබඳ ව අපගේ දරුවන්ට දැන්වීම යහපත් විය හැකි වුවත්, රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ නීතියෙහි පිහිටා සිටින අයුරින් අපගේ දරුවන්ට ඉගැන්වීම මූලික ව රුධිරය පිළිබඳ භයක් සිතට වද්දන්නට වෑයම් කිරීමක් අදහස් නොකරයි. උදාහරණයක් වශයෙන්, තමා රුධිරය ලබා ගැනීමට අකැමැති මන්දැයි විනිශ්චයකාරයෙක් දැරියකගෙන් විමසනවා නම්, ඇය සිය පිළිතුරෙහි ප්‍රධාන වශයෙන් රුධිරය ඉතා අවදානම් සහගත නැතහොත් භය ගන්වන සුලු යයි තමා කල්පනා කළ බව කීවේ නම්, විපාකය කුමක් විය හැකි ද? ඇය හුදෙක් නොමේරු තත්ත්වයක හා ඕනෑවට වඩා භය වී ඇතැයි එම විනිශ්චයකරුවා නිගමනය කරනු ඇත, එය හරියට ඇයගේ මව්පියන්ට පවා ඇයට වඩාත් යහපත් යයි හැඟෙන උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඉවත් කරන ශල්‍යකර්මයකට භය වී හඬා වැළපෙමින් එම ශල්‍යකර්මයට ඇය කරන බාධා කිරීමක් හා සමාන ය. ඇරත්, ක්‍රිස්තියානින් ප්රවේශනයන්ට විරුද්ධ වන මූලික හේතුව, රුධිරය අපවිත්‍ර වී තිබීම නොව එය අපගේ දෙවියන් වහන්සේ මෙන් ම ජීවිත දායකයාණන්ට අනර්ඝ වීම යයි අපි කලින් සැලකිල්ලට ගත්තෙමු. අපගේ දරුවන් එය දැන සිටිය යුතු අතර, රුධිරයෙන් විය හැකි වෛද්‍යමය අනතුරුත් දැන සිටීම අපගේ ආගමික ස්ථාවරයට වැඩි පිටුවහලක් ලබා දෙන බවත් ඔවුන් දැන සිටිය යුතුයි.
21 ඔබට දරුවන් සිටිනවා නම්, ඔවුන් මේ හා එකඟ වන බවත්, ප්‍රවේශනය පිළිබඳ බයිබලය මත පදනම් ස්ථාවරය ඔවුන්ට පහදා දිය හැකි බවත් ඔබට ස්ථිර ද? මෙම ස්ථාවරය දෙවියන් වහන්සේගේ කැමැත්ත යයි ඔවුන් සැබවින් ම විශ්වාස කරනු ඇත්ද? දෙවියන් වහන්සේගේ නීතිය උල්ලංඝනය කිරීම, ක්‍රිස්තියානියෙකුගේ සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව අවදානමට ලක් කළ හැකි තරම් බරපතළ වනු ඇතැයි ඔවුහු ඒත්තු ගෙන සිටිත් ද? සිය දරුවන් ඉතා යෞවන ව හෝ වැඩිවියට ළං වී සිටියත්, ඥානවන්ත මව්පියන් මෙම කාරණා සිය දරුවන් සමඟ පුනරීක්ෂණය කරනු නියත ය. මව්පියන්, විනිශ්චකරුවෙක් හෝ රෝහල් නිලධාරීන් විසින් ඉදිරිපත් කළ හැකි ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය නිරූපනය කෙරෙන පුහුණු සැසිවාර එක් එක් යෞවනයා සමඟ පැවැත්විය හැකි ය. මෙහි ඉලක්කය වනුයේ යෞවනයෙක් කටපාඩම් කළ තෝරා ගත් සත්‍යයන් හෝ පිළිතුරු පුන පුනා කීමක් නොවේ. වඩා වැදගත් දේ නම්, ඔවුන් විශ්වාස කරන්නේ කුමක් ද හා ඒ මන්ද යන්න දැන සිටීමයි. ඇත්ත වශයෙන් ම, අධිකරණ විමසුමක දී මව්පියන් හෝ වෙනත් අය රුධිරයේ අවදානම මෙන් ම විකල්ප ප්‍රතිකාර තිබීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැකි ය. එහෙත් විනිශ්චයකරුවෙක් හෝ නිලධාරියෙක් අපගේ දරුවන් සමඟ කථා කිරීමෙන් දැන ගැනීමට කැමති වනු ඇත්තේ, ඔවුන් තමන් වහන්සේගේ තත්ත්වය හා මනාපයන් මේරූ ආකාරයකට තේරුම් ගෙන සිටින්නේ ද යන්නත්, ඔවුනට තමන්ගේ ම සාරධර්ම හා ස්ථිර විශ්වාසයක් ඇත්ද යන්නත් ය.—2 රාජාවලිය 5:1-4 සසඳන්න.
22 අප සියල්ලන් ම රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ මතය අගය කර එය දැඩි ලෙස අල්ලාගෙන සිටිය යුතු ය. ‘අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපගේ පාපවලින් අප මිදූ’ තැනැන් වහන්සේ ලෙස ක්‍රිස්තුස් වහන්සේ එළිදරව් 1:5 හි විස්තර කරයි. අපගේ පාප සඳහා පූර්ණ හා කල්පවතින සමාව අපට ලබා ගත හැක්කේ යේසුස් වහන්සේගේ රුධිරයේ වටිනාකම පිළිගැනීමෙන් පමණකි. රෝම 5:9 පැහැදිලි ව මෙසේ පවසයි: “ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන . . . උදහසෙන් ගළවනු ලබන්නෙමුව.” එසේ නම්, මෙම විෂය සම්බන්ධයෙන් අපත්, අපගේ දරුවනුත් යෙහෝවඃ වහන්සේ විසින් උගනුවනු ලැබීමත්, එසේ සදාකාලයට ම උන් වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට අධිෂ්ඨාන කර සිටීමත් කොතරම් ඥානවන්ත ද! w91 6/15
[පාදසටහන්වල]
a න්යූ යෝක් හි, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් ප්‍රසිද්ධ කරන ලද, හව් කැන් බ්ලඩ් සේව් යෝ ලයිෆ්? 21-2, 28-31 පිටු බලන්න.
ඉගැන්වීමේ මූලික කරුණු
◻ යෙහෝවඃ වහන්සේ විසින් උගන්වනු ලැබීම ගැන අපට තිබිය යුතු මතය කුමක් විය යුතු ද?
◻ රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ නීතියට කීකරු වීම මෙතරම් වැදගත් වනුයේ මක්නිසා ද?
◻ යෞවනයින්ට රුධිරය පිළිබඳ ඔවුන්ගේ වැටහීම පැහැදිලි ව හා ස්ථිර ව විස්තර කිරීමට හැකියාවක් තිබීම වැදගත් වනුයේ මක්නිසා ද?
◻ රුධිරය පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ නීතියෙහි හොඳින් උගන්වනු ලැබීමට ක්‍රිස්තියානි මව්පියන් සිය දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. රුධිර ප්‍රවේශනයන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව පොලඹවනුයේ කුමක් ද?
3. (අ) යෙහෝවඃ වහන්සේ කෙරෙහි රඳා පැවැත්ම ගැන දාවිත්ට හැඟුණේ කෙසේ ද? (ආ) දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම නිසා දාවිත් බලාපොරොත්තු වූ විපාකය කුමක් ද?
4. දාවිත් යෙහෝවඃ වහන්සේ විසින් උගන්වනු ලැබීමට කැමති වූයේ මක්නිසා ද?
5. රුධිරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ස්ථාවරය ගැන දාවිත් දැන සිටින්නට ඇත්තේ කුමක් ද?
6. රුධිරය පිළිබඳ ව දෙවියන් වහන්සේගේ සේවකයින්ට නොකඩවා උගන්වනු ලැබීමේ අවශ්‍යතාවයක් පැවතියේ කෙසේ ද?
7. රුධිරය ගැන දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලැබීම අපට වැදගත් වනුයේ මක්නිසා ද?
8. “මහත් සමූහය” ජීවනය පිණිස රුධිරය කෙරෙහි රඳා පවතිනුයේ කෙසේ ද?
9. රුධිරය පිළිබඳ යෙහෝවඃ වහන්සේට කීකරු වීම මෙතරම් බරපතළ වනුයේ මක්නිසා ද?
10. රුධිරයෙන් වැළකී සිටීමට ඇති අපගේ අධිෂ්ඨානය පසුපස ඇත්තේ කුමක් ද?
11-13. ඇතැම් මව්පියන්ට ඇත්තේ සිය දරුවන් පිළිබඳ කිනම් වැරදි සහගත කල්පනාව ද, එමෙන් ම ඒ මක්නිසා ද?
14. දාවිත් හා තිමෝති සිය බාල කාලයේ උගන්වනු ලැබුවේ කෙසේ ද?
15, 16. (අ) බාලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව ඇතැම් ස්ථානවල වර්ධනය වී ඇති මතය කුමක් ද? (ආ) එක් බාලවයස්කාරයෙකුට රුධිරය දීමට හේතු වූයේ කුමක් ද?
17. අවුරුදු 14 ක් වයසැති දැරියක් රුධිරය දීම ගැන ගත්තේ කිනම් ස්ථාවරයක් ද, එහි ප්‍රතිඵලය වූයේ කුමක් ද?
18. (අ) රෝගාතුර දැරියක් රුධිරය දීම ගැන ගත් ස්ථිර පියවර කුමක් වී ද? (ආ) ඇයගේ ප්‍රතිකාරය ගැන විනිශ්චකාරයා තීරණය කළේ කුමක් ද?
19. මව්පියන් සිය දරුවන් පිළිබඳ ව ඉටු කළ යුත්තේ කිනම් විශේෂිත වගකීම ද?
20. මූලික වශයෙන් අපට වුවමනා කරන්නේ රුධිරය පිළිබඳ ව අපගේ දරුවන් විසින් දැනගත යුතු හා විශ්වාස කළ යුතු කුමක් ද? (දානියෙල් 1:3-14)
21. (අ) මව්පියන් සිය දරුවන් ගැනත්, රුධිරය පිළිබඳ බයිබලයේ මතය ගැනත් ඉගෙන ගත යුත්තේ කුමක් ද? (ආ) රුධිරය සම්බන්ධයෙන් මව්පියන්ට සිය දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේ ද?
22. රුධිරය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ විසින් අපට උගන්වනු ලැබීමේ ස්ථිර විපාකය කුමක් විය හැකි ද?
අධිකරණය මවිතයට පත්විය
දහහත් වන ඡේදයේ සඳහන් කරන ලද ඩී. පී. සම්බන්ධයෙන් අධිකරණ නියෝගය සඳහන් කළේ කුමක් ද ?
“අධිකරණය අවුරුදු 14-1⁄2 වයසැති යෞවනියගේ බුද්ධිමත්කම, තැන්පත්කම, උදාර ලීලාව, හා බලගතු ස්වභාවය සම්බන්ධයෙන් බොහෝ සෙයින් මවිතයට පත්වනු ලැබී ය. ඇයට යම් ආකාරයක මාරාන්තික පිළිකාවක් තිබූ බව දැන ගැනීමෙන් ඇය මහත් පසුබෑමකට ලක් වන්නට ඇත . . . එහෙත්, වාචික සාක්ෂි ඉදිරිපත් කිරීමට අධිකරණයට පැමිණියේ මේරූ යෞවන තැනැත්තියකි. ඇය තමා මුහුණ දෙමින් සිටි දුෂ්කර කාර්ය භාරය පැහැදිලි ව අවබෝධ කර ගෙන සිටි බව පෙනෙන්නට තිබිණ. ඇය උපදෙස් දෙන සෑම සැසිවාරයකට ම සහභාගි වී, ප්‍රතිකාර සැලැස්මකට එකඟ වී, මනුෂ්‍යයෙක් හැටියට තමා මෙම වෛද්‍ය අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳ ගැළපෙන දර්ශනයක් ඇති කර ගෙන, හෘදයංගම ඉල්ලීමකින්: මාගේ තීරණයට ගරුකරන්න, යන්න සමඟින් අධිකරණයට පැමිණියා ය. . . .
“ඇයගේ මේරූභාවයට අමතර ව, අධිකරණය විසින් ඊට ගෞරව කරනු පිණිස, ඩී. පී. තමාගේ තීරණය වෙනුවෙන් අවශ්‍ය තරම් සාධක ප්‍රකාශ කළා ය. රුධිර ප්‍රවේශනයක් ඇතුළත් වන්නා වූ ප්‍රතිකාර සැලැස්මක් මගින් ආත්මික ව, මානසික ව, සදාචාරමය ව, හා චිත්තවේගී ව ඇයට හානි සිදු වනු ඇත. ප්‍රතිකාර සැලැස්ම පිළිබඳ ඇයගේ තෝරාගැන්මට අධිකරණය ගෞරව කරනු ඇත.”w91 6/15
විනිශ්චකරුවෙක් හෝ රෝහල් පරිපාලන නිලධාරියෙක් ක්‍රිස්තියානි යෞවනයෙක් සැබවින් ම විශ්වාස කරන දෙය හා ඊට හේතුව දැන ගැනීමට කැමති වනු ඇත