යෞවනයෙනි ක්‍රිස්තියානි පක්ෂපාතකමෙහි පරීක්ෂණයෙන් ඔබ සමත් වනු ඇත්ද?
“දුරාචාර හැසිරීම අපක්ෂපාතකම යයි ඔබ සිතන්නේ නැත. ඔබ විනෝද වනවා පමණයි. ඔබගේ දෙමාපියන් හෝ වැඩිමහල්ලන් හෝ දැනගතහොත්, එය අධික ශෝකය හා බොහෝ ගැටලු ඇතිකරන බව ඔබ දැන සිටීම සැබෑවකි. නමුත් ඔබ විනෝදවෙමින් සිටිද්දී, එවන් සිතුවිලි සියල්ලක් ම බැහැර කරයි.”
ඉහත සඳහන් වූ යෞවනයා වේශ්‍යාකමෙහි රහස්ගත ව යෙදී සිටියේ ය. ඔහු දෙයාකාර ජීවිතයක් ගත කරමින්, තම දෙමාපියන් හා ක්‍රිස්තියානි සභාව රවටමින් සිටියේ ය. එම අවස්ථාවේ දී ඔහු ක්‍රිස්තියානි පක්ෂපාතකමෙහි පරීක්ෂණයකින් අසමත් වෙමින් සිටි බව ඔහුට තේරුණේ නැත.
පක්ෂපාතකමෙහි එයාකාර පරීක්ෂණවලින් ක්‍රිස්තියානි යෞවනයින් දහස් ගණන් අසමත් වී ඇත. එය පුදුමයක් ද නොවේ! මන්ද, දෙවියන් වහන්සේගේ ජනයා සමඟ යක්ෂයා වන සාතන් ‘යුද්ධ කරමින්’ ඔවුන්ගේ අඛණ්ඩතාවය බිඳහෙලීමට ඔහුට කළ හැකි සියල්ලක් ම කරමින් සිටී. (එළිදරව් 12:17) විශේෂයෙන් ඔහු යෞවනයන් ව තම “කපටි උපායවල” ඉලක්කය කොට ඇත. (එපීස 6:11) එබැවින් පක්ෂපාත ව සිටීමට නම් සැබෑ ප්රයත්නයක් හා අධිෂ්ඨානයක් අවශ්‍ය වනු ඇත.
ඇත්තෙන් ම පක්ෂපාතකම යනු කුමක් ද? හෙබ්‍රෙව් ලියවිලිවල “පක්ෂපාතකම” සඳහා මූල භාෂාවේ වචනය අඟවන්නේ අරමුණක් ඇතුව පුද්ගලයෙකුට දක්වන ප්‍රේමනීය ඇල්මයි. (ගීතාවලිය 18:25) එය පහසුවෙන් කැඩිය හැකි යම් දුර්වල බන්ධනයක් අදහස් නොකරන නමුත්, එය ඒ පුද්ගලයා සම්බන්ධයෙන් වූ අරමුණ ඉෂ්ට වන තෙක් නොකැඩී පවතින සම්බන්ධයක් අඟවයි. ග්‍රීක ලියවිලිවල, “පක්ෂපාතකම” සඳහා මූල භාෂාවේ වචනය ශුද්ධකමේ, ධර්මිෂ්ඨකමේ හෝ මහත් ගෞරවයේ අදහසක් අඟවයි.
එබැවින් දෙවියන් වහන්සේ හා සමඟ හරි සම්බන්ධයක් පක්ෂපාතකමට ඇතුළත් වෙයි. “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද . . . මවනලද්දවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්න” යයි එපීස 4:24 අපට කියයි. යෙහෝවඃ වහන්සේට පක්ෂපාත ව සිටීමට ඔබට ඕනෑ ද? එසේ නම් ඔබ උන් වහන්සේ සමඟ පක්ෂපාත සම්බන්ධයක්, නොකැඩෙන බන්ධනයක්, ඔබගේ සියලු ම මාර්ගවල දී ම උන් වහන්සේ ව සතුටු කිරීම සඳහා අධිෂ්ඨානයක් වර්ධනය කර ගත යුතු ය. එසේ නොකිරීමට එය කොතරම් පොලඹවන සුලු වුවත්—යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඔබ ඇලී සිටිය යුතු ය!
අපක්ෂපාත වීම සඳහා තිබෙන පීඩන
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් අතර යෞවන අය බොහොමයක් ම පක්ෂපාත ව සිටීම සඳහා වෑයමක් දරමින් සිටීම, ප්‍රශංසා කටයුතු වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු පවිත්‍ර හෘදයසාක්ෂියක් ඇතුව සිටීමේ සතුට විදිති. කෙසේ වුවත් අපක්ෂපාතකම “අන්තිම දවස්වල දී” මනුෂ්‍යයන්ගේ පොදු චරිත නිරූපනයක් වන බව ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේ ය. (2 තිමෝති 3:1, 2) දුඃධදායක ලෙසින්, ඇතැම් ක්‍රිස්තියානි යෞවනයින් මෙම අපක්ෂපාත ලෝකයේ ‘අච්චුවට තමන් ව හැඩගැසීමට’ ඉඩ දී ඇත. (රෝම 12:2, ෆිලිප්ස්) සාතන් මෙය ඉෂ්ට කර ඇත්තේ කෙසේ ද?
තුල්‍යයන්ගේ බලපෑම සාතන්ගේ එක් බලවත් ආයුධයකි. අන්‍යයන් විසින් ප්‍රිය ලෙස පිළිගනු ලැබීමට බොහෝ අය කැමති වන අතර, මෙම ස්වභාවික ආශාව හා බලපෑම් කරන්නේ කෙසේදැයි සාතන් දැන සිටියි. සාමාන්‍ය යයි පිළිගනු ලැබීමට කැමතිවන ඇතැම් ක්‍රිස්තියානි යෞවනයින්, සනීපදායක නොවන කථාබහේ, දුරාචාර හැසිරීමේ, දුම් බීමේ, බේබදුකමේ—අනිසි මත් දාව්‍ය භාවිතයෙහි පවා යෙදී ඇත—මේ සියල්ල ඔවුන්ගේ තුල්‍යයන් විසින් පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙනි.
අප ‘අපගේ මාංශයේ ආශාවන්ට අනුව හැසිරෙමින් මාංශයට කැමති දේ කරනවාට’ සාතන් කැමති වෙයි. (එපීස 2:3) “තරුණ කාලයේ” දී ලිංගික තෘෂ්ණාවේ ආකර්ෂණය කොතරම් බලවත් ද කියා ඔහු හොඳින් දනියි. (1 කොරින්ති 7:36) එම ආශාවන්ට ඔබ ඉඩ දෙනවාට ඔහු කැමති වෙයි. කාමුක අදහස්වලින් පිරුණ පොත් පත්, චිත්‍ර පටි, හා විඩියෝ නැරඹීමෙන් හෝ ස්වයංලිංගික සේවනයෙහි යෙදීමෙන් සමහර ක්‍රිස්තියානි යෞවනයෝ නොදැනුවත් ව ම ඔහුගේ අතට අසු වෙති. ඊළඟට මේ දේවල්, බොහෝ විට බරපතළ අපක්ෂපාත ක්‍රියාවන්ට මගපෙන්වනු ඇත. මේ දේවල් සමහරක් සම්බන්ධයෙන් සාතන්ගේ ලෝකය ‘ඔබ ව එහි අච්චුවට අනුව හැඩගස්වා’ තිබේ ද?
දෙයාකාර ජීවිතයක් ගත කිරීම
වේශ්‍යාකම වැනි බැරෑරුම් වරදක් කිරීම ම බරපතළ කාරණාවක් වන අතර, සමහර යෞවනයෝ තම දුෂ්කරතා වඩා පටලවා ගනිති. ඔවුහු ගීතාවලිය 26:4හි සඳහන් වන “රැවටිලිකාර [තමන් කවුද කියා සඟවාගන්නා NW]” . . . “බොරුකාර මිනිසුන්” මෙන් වෙති. එවැනි යෞවනයෝ, තම දෙමාපියන් හෝ වෙනත් මේරූ ක්‍රිස්තියානින් සමඟ සිටිද්දී එක් ආකාරයකින් ද තම තුල්‍යයන් සමඟ සිටිද්දි වෙනත් ආකාරයකින් ද හැසිරෙමින්, දෙයාකාර ජීවිතයක් ගත කරති.
කෙසේ වෙතත්, දෙයාකාර ජීවිතයක් ගත කිරීම, තමන් ව පරාජයට පත් කරවන භයානක දෙයකි. හරිගස්වනු නොලැබූ වැරදි ක්‍රියාවන් බොහෝවිට වෙනත් වැරදි ක්‍රියාවන්ට මග පෙන්වයි. තව ද ආරම්භයේ දී තම හෘදයසාක්ෂියට අපහසුවක් දැනුනත්, කෙනෙකු වැරදි ක්‍රියාවන්හි දිගට ම එල්බ සිටින තරමට ම, වැරදි ක්‍රියාවන්ට විරුද්ධ ව තම හෘදයසාක්ෂිය ප්‍රතික්‍රියා කරන්නේ ද අඩුවෙනි. වැරදි කිරීම ගැන සැබවින් ම ‘වේදනාවක් දැනීමෙන් නතර’ වීමට ද කෙනෙකුට හැකි ය.—එපීස 4:19, කිංඩම් ඉන්ටලීනියර්.
මේ අවස්ථාවේ දී තම වැරදි කියා උපකාරය ලබා ගැනීමට අතිශයින් දුෂ්කර වනු ඇත. එම වරදෙහි වෙනත් ක්‍රිස්තියානි යෞවනයෝ සම්බන්ධ ව සිටිත් නම්, මෙය විශේෂයෙන් එසේ වන්නේ ය. බොහෝ විට වැරදි අතට යොමු වූ පක්ෂපාතකමෙහි ආකල්පයක් පවතියි. ආරම්භයේ දී සඳහන් කරන ලද යෞවනයා මෙසේ විස්තර කළේ ය: “ඔබ කරන දෙය ඔබ තේරුම් ගෙන, එය වැරදි බව ඔබ දන්නවා. අනිත් පුද්ගලයින් වැරැද්දට අසු නොවන ලෙසින්, ඔබ කාටත් නොකීමට පොරොන්දු වෙයි.”
පුද්ගලයෙකු, තම දෙමාපියන්ගෙන් හෝ සභාවෙන් ‘තමා කවුරුදැයි සැඟවුවත්’ ඔහුට යෙහෝවඃ වහන්සේගෙන් සැඟවිය නොහැකි ය. “උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.” (හෙබ්‍රෙව් 4:13) “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය” යයි බයිබලය අපට සහතික කරයි. (හිතෝපදේශ 28:13) නියම කාලයට වැරැද්ද අනාවරණය වනු ඇත. කෙනෙකුට උපායෙන් යෙහෝවඃ වහන්සේ ව පරදවා ජය ගැනීමට නොහැක. හිතෝපදේශ 3:7 මෙසේ පවසයි: “නුඹ ඤාණවන්තයෙකැයි සිතා නොගනින්න; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භයව නපුරෙන් දුරුවෙයන්න.” තවද “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ඇස් සෑම තැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන” බව සිහි කරගන්න.—හිතෝපදේශ 15:3.
පෙර සඳහන් වූ යෞවනයා, හා රහසිගත වරදේ සම්බන්ධ වූ තවත් කිහිප දෙනෙක් ද සොයා ගනු ලැබ, ඔහු සහ ඔහුගේ සගයින් ක්‍රිස්තියානි සභාවෙන් නෙරපා දැමීමට සිදු විය. ඔවුහු පසුව ආත්මික සුවය ලැබ නැවතත් සභාවට පළිගනු ලැබුවෝ ය. එසේ වුවත්, පක්ෂපාතකමෙහි අර්ථය ඉගෙනගැනීමට කොතරම් දැඩි මාර්ගයක් ද!
දෙවියන් වහන්සේ සමඟ ‘දේවල් හරිගස්සා ගැනීම’
දැනටමත් කෙනෙකු ඇතැම්විට වැරදි ක්‍රියාවක් කිරීමෙන්, යම් ආකාරයකින් අපක්ෂපාති ව සිට ඇත් නම් කිමෙක් ද? තමාව ම රවටමින් දේවල් හරිගස්සා ගැනීම සඳහා වූ අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කිරීම පහසු කාර්යයකි. වේශ්‍යාකමෙහි රහස්ගත ලෙස සහභාගි වූ යෞවනයෙක් පැවසුවේ: “එය කෙසේ හෝ වැරැද්ද වසා දමයි කියා සිතමින් මම මාගේ ක්ෂේත්‍ර සේවය වැඩි කළෙමි.” හිතුවක්කාර ඉශ්රායෙල් ජාතියත් ඒයාකාරයෙන් ම පූජා ඔප්පු කිරීමෙන් යෙහෝවඃ වහන්සේ ව සතුටු කරන්නට වෑයම් කළහ. නමුත් එවන් කුහක භක්තිය යෙහෝවඃ වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. උන් වහන්සේ ඔවුන්ට මෙසේ උනන්දු කළ සේක: “නුඹලා සෝදාගෙන පවිත්රවෙයල්ලා; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම් මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකියල්ලා.” යෙහෝවඃ වහන්සේ ඔවුන්ගේ පූජා පිළිගනු ඇත්තේ ඔවුන් ‘උන් වහන්සේ සමඟ දේවල් හරිගැස්වූවාට පසු ව’ පමණි. වැරදි ක්‍රියාවන්හි පටලැවී සිටිය හැකි ඕනෑ ම කෙනෙකු සම්බන්ධයෙන් ද එය අදත් එසේ ම වේ.—යෙසායා 1:11, 15-18.
රහසින් තුල්යයෙකුට කීමෙන් පමණක් කෙනෙකුට යෙහෝවඃ වහන්සේ සමඟ දේවල් හරිගස්සා ගත නොහැක. එක් කාරණාවක් නම්, ඔවුන් ද බොහෝ විට අත්දැකීම්වලින් සමාන ව සීමා ව සිටින හෙයින් තුල්‍යයන් හැම විට ම සුදුසු ම උපදෙස් ඉදිරිපත් කරන්නේ නැත. වඩා වැදගත් ලෙසින්, ඔවුන්ට ඔබගේ වරද කමා කළ නොහැකි ය. එය කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණයි. එබැවින් උන් වහන්සේට පවසමින් “ඔබගේ සිත [හෘදය NW] වගුරුවන්න.” (ගීතාවලිය 62:8) ඔබගේ හැසිරීම සම්බන්ධයෙන් ඔබ ගැඹුරු ලෙසින් ලැජ්ජාවට පත් වී සිටිය හැකි නමුත්, යෙහෝවඃ වහන්සේ ‘අතිශයින් කමාවන’ බව සහතික වන්න.—යෙසායා 55:7.
ඔබට අමතර උපකාරය අවශ්‍ය වනු ඇත. “ඔබගේ දෙමාපියන්ට දන්වන්න, ආරම්භයේ දී ම—වහා ම වැඩිමහල්ලන්ට දන්වන්න,” යයි එවන් උපකාරයෙන් ප්‍රයෝජන ලැබූ එක් යෞවන ක්‍රිස්තියානියෙක් උනන්දු කරයි. එසේ ය, ඔබගේ දෙමාපියන් ඔබට උපකාර කිරීමට හොඳ තත්ත්වයක සිටිය හැක. ඔවුන්ට ඔබගේ ගැටලු පිළිබඳ සම්පූර්ණ විස්තරය දන්වමින් “ඔබගේ හෘදය” වගුරුවන්න. (හිතෝපදේශ 23:26) අවශ්‍ය වන විට ඔබට සභා වැඩිමහල්ලන්ගෙන් වැඩි උපකාරය ලබාගැනීමට ද ඔවුන්ට සැලසුම් යෙදිය හැකි ය.—යාකොබ් 5:14, 15.
සැබෑ පක්ෂපාතකම විදහාපෑම—කෙසේ ද?
ඇත්ත වශයෙන් ම, අපක්ෂපාත හැසිරීමට කිසිවිටක නොවැටීමට වගබලාගැනීම වඩාත් සුදුසු වේ. ගීතාවලිය 18:25 අපට මෙසේ පවසයි: “කරුණාවන්තයා [පක්ෂපාත කෙනෙකු NW] සමග ඔබද [යෙහෝවඃ වහන්ස] කරුණාවන්ත [පක්ෂපාතකම NW] බව දක්වන සේක; නිර්දෝෂ තැනැත්තා සමග නිර්දෝෂ බව දක්වනසේක.” හැසිරීම සම්බන්ධයෙන් පක්ෂපාත ව උසස් තරාතිරම් පවත්වන අය ව යෙහෝවඃ වහන්සේ අතිශයින් ආශීර්වාද කරන සේක.
කෙසේ වෙතත්, ඔබගේ පක්ෂපාතකම පරීක්ෂණයට ලක්විය හැකි වෙනත් ක්‍රම ද ඇත. නිදසුනක් වශයෙන්, ඔබගේ මිත්‍රයෙක් හිතුවක්කාර ක්‍රියාමාර්ගයක ගමන් කිරීම ආරම්භ කර ඇතැයි සිතමු. ඔබගේ මිත්‍රයා සම්බන්ධයෙන් වැරදි අතට යොමු වූ පක්ෂපාතකම යෙහෝවඃ වහන්සේට වූ ඔබගේ පක්ෂපාතකම මුවා කිරීමට ඔබ ඉඩ දෙන්නෙහි ද? ප්‍රේමනීය දෙය වනුයේ එම මිත්‍රයා ව මුණගැසී කාරණාව ඔහුගේ දෙමාපියන්ට හෝ වැඩිමහල්ලන්ට දන්වන ලෙස ඔහු ව උනන්දු කිරීමයි. සාධාරණ කාල සීමාවක් තුළ ඔහු එසේ නොකරයි නම්, ඔබට ම එය කිරීමට සිදුවනු ඇතැයි ඔබගේ මිත්‍රයාට කියන්න. හිතෝපදේශ 27:5 පවසනුයේ: “ප්‍රසිද්ධියේ තරවටු කිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.” මෙයාකාරයෙන් ඔබගේ මිත්‍රයාට උපකාර කිරීමෙන්, ඔබ ඔබගේ මිත්‍රත්වයේ සැබෑකම ගැන පමණක් නොව නමුත් යෙහෝවඃ වහන්සේ කෙරෙහි වූ ඔබගේ පක්ෂපාතකමේ ගැඹුර ද විදහපාන්නේ ය.
පරීක්ෂාව කුමක් වුවත්, පක්ෂපාතකම විදහාපෑම සඳහා වූ ශක්තිය පැමිණෙන්නේ යෙහෝවඃ වහන්සේ සමඟ බලවත් පුද්ගලික සම්බන්ධයක් තුළිනි. අප එවන් සම්බන්ධයක් භුක්ති විඳීමට නම් අර්ථවත් යාච්ඤාව හා උද්යෝගිමත් පුද්ගලික පාඩම වැදගත් වේ. සිත්ගන්නා කරුණක් වනුයේ, පෙර සඳහන් වූ නොමග ගිය යෞවනයින් සියලු දෙනා ම පිළිගත්තේ තමන්ගේ යාච්ඤා හා පුද්ගලික පාඩම් පුරුදු සාමාන්‍ය දිනචර්යාවක් බවට පත් වී—කලකින් නැති වී ගිය බවයි. යෙහෝවඃ වහන්සේ ඔවුන්ට සැබෑ කෙනෙකු වීමට නතර වී, ඉක්මනින් අපිරිසිදු හැසිරීමට එය මගපෙන්වී ය. ඔබ, පක්ෂපාත ව සිටීම සඳහා, යාච්ඤාව හා පුද්ගලික පාඩම මගින්, යෙහෝවඃ වහන්සේ සමඟ වූ ඔබගේ සම්බන්ධය ශක්තිමක් කරමින් සිටිනවා ද?
සමහර අවස්ථාවන්හි දී ඔබ සතුටින් හොඳ කාලයක් ගතවීම මගහරිනවා ද කියා ඔබට සිතිය හැකි වීම සැබෑවකි. “ඇතැම් විට ලෝකයේ අය හොඳ කාලයක් ගත කරන බව පෙනේ” යයි තරුණ ස්ත්‍රියක් පැවසුවා ය. “නමුත් ඔබ යම් තත්ත්වයකට අසු වූ විට, එය කිසිසේත් විනෝදයක් නොවන බව ඔබට හැඟෙයි.” ලිංගික දුරාචාරයේ සම්බන්ධ වීමෙන් ප්‍රතිඵලයක් වූ ගැබ් ගැනීම හා ගබ්සා කිරීමකට යටත් වූ ඇය, අත්දැකීමෙන් කතා කළා ය. “සත්‍යය තුළ සිටීම ආරක්ෂාවකි,” යයි ඇය දැන් පවසයි—දුෂ්කර ආකාරයකින් ඇය ඉගෙනගත්ත පාඩමක්. ගීතාවලිය 119:165 අපට මතක් කරනුයේ, “[දෙවියන් වහන්සේගේ] ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට මහත් සමාදානයක් ඇත” කියා ය.
එබැවින්, පක්ෂපාත ව සිටීම සඳහා ඔබගේ උපරිමය කරන්න. යෙහෝවඃ වහන්සේ සමඟ කල්පවතින සම්බන්ධයක් ගොඩනගාගැනීම සඳහා ක්‍රියා කරන්න. නපුරට ද්වේෂ කර යහපතට ඇලී සිටින්න. (රෝම 12:9) ගීතාවලිය 97:10 අපට මෙසේ පවසයි: “ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ [පක්ෂපාත වන්නන්ගේ NW] ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයාගේ අතින් ඔවුන් ගළවන සේක.” එසේ ය, ක්‍රිස්තියානි යෞවනයෙක් වශයෙන්, ඔබ ක්‍රිස්තියානි පක්ෂපාතකමේ පරීක්ෂණයෙන් සමත් වන්නෙහි නම් ඔබ යෙහෝවඃ වහන්සේගේ රැකවරණයෙන් ප්‍රයෝජනය ලබන අතර, සදාකල් ජීවනය ද භුක්තිවිඳිනු ඇත. w91 6/15