“මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය”
“දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.”—1 කොරින්ති 13:13.
ලෝකයේ ප්‍රමුඛතම මානව විද්‍යාඥයන්ගෙන් කෙනෙකු වරක් මෙසේ පැවසී ය: “මනුෂ්‍යයන්ගේ මූලික මනෝවිද්‍යාත්මක අවශ්‍යතා සියල්ලෙන් ඉතා වැදගත් ම වන්නේ ප්‍රේමය සඳහා ඇති අවශ්‍යතාව බව අපගේ ජාතියේ ඉතිහාසයෙහි ප්‍රථම වතාවට අපි අවබෝධ කර ගතිමු. අපගේ සෞරග්‍රහමණ්ඩලයේ කේන්ද්‍රය වන සූර්යයා වටා අනෙක් ග්‍රහයන් ගමන් කරන්නාක්මෙන් ම සියලු මනුෂ්‍ය අවශ්‍යතාවල කේන්ද්‍රය එය වී තිබේ. . . . ප්‍රේම කරන ලද දරුවාට වඩා ප්‍රේම නොකරන ලද දරුවා ජෛවරසායනික ව, කායික ව, හා මනෝවිද්‍යාත්මක ව අතිශයින් වෙනස් වේ. දෙවනුව සඳහන් කරන ලද දරුවා වැඩෙන්නේ පළමුව සඳහන් කරන ලද දරුවාට වඩා වෙනස් ව ය. අප දන්නා දෙයක් නම්, මිනිසා ජීවත්වීමට ඉපද සිටින්නේ, හරියට ජීවත් වීම සහ ප්‍රේම කිරීම එකක් වන්නා සේ ය. ඇත්ත වශයෙන් ම, මෙය අලුත් දෙයක් නොවේ. මෙය වනාහි කන්ද උඩ දේශනාව තහවුරු කිරීමකි.”
2 එසේ ය, ලෞකික උගත්කමක් තිබූ මෙම මනුෂ්‍යයා පිළිගත්තාක්මෙන්, මනුෂ්‍ය ශුභසිද්ධියට ප්‍රේමයේ වැදගත්කම පිළිබඳ මෙම සත්‍යය අලුත් දෙයක් නොවේ. ලෝකයේ උගතුන් විසින් එය අගය කිරීමට පටන්ගෙන තිබෙන්නේ දැන් පමණක් විය හැක, නමුත් සියවස් 19කට කලින් මෙය දේව වචනයෙහි සඳහන් වී තිබිණ. ප්‍රේරිත පාවුල්ට මෙසේ ලිවීමට හැකි වූයේ ඒ නිසා ය: “දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.” (1 කොරින්ති 13:13) ඇදහිල්ලට හා බලාපොරොත්තුවට වඩා ප්‍රේමය උතුම් වන්නේ මන්දැයි ඔබ දැන සිටින්නෙහි ද? දෙවියන් වහන්සේගේ ගුණාංගවල හා ශුද්ධාත්මයේ ඵලවල උතුම් ම එක ප්‍රේමය යයි පැවසිය හැක්කේ මන්ද?
ප්‍රේමයේ වර්ග සතරක්
3 ප්‍රේමය දැක්වීමට ඇති මනුෂ්‍ය හැකියාව වනාහි දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හා මනුෂ්‍යවර්ගයා සඳහා ඇති සැලකිල්ලේ ප්‍රකාශයකි. “ප්‍රේමය” සඳහා වචන සතරක් පුරාණ ග්‍රීක්වරුන්ට තිබීම උනන්දුකරවන කරුණකි. එකක් වනාහි ලිංගික ආකර්ෂණය සමඟ ආශ්රිත වූ ආදරය අඟවන ඊʹරොස් [eʹros] වේ. ග්‍රීක් ශුද්ධලියවිලි ලේඛකයන්ට ඊʹරොස් පාවිච්චි කිරීමට අවස්ථාවක් නොතිබිණ, හිතෝපදේශ 7:18 සහ 30:16 හි සෙප්ටුඅජන්ට් එහි යම් ආකාර භාවිතා කරයි, තව ද හෙබ්‍රෙව් ශුද්ධලියවිලිවල ආදරය ගැන වෙනත් සඳහන් කිරීම් ද තිබේ. නිදසුනක් වශයෙන්, ඊසාක් රෙබෙකාට ‘ප්‍රේම කළ’ බව අපට කියවීමට තිබේ. (උත්පත්ති 24:67) සැබෑවට ම මේ ආකාරයේ ප්‍රේමයක ආදර්ශයක් යාකොබ් සම්බන්ධයෙන් සොයා ගත හැක, ප්‍රථම දැකීමේ දී ම රූමත් රාඛෙල්ට ඔහු ප්‍රේම කළේ ය. සැබවින් ම, “යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩ කළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.” (උත්පත්ති 29:9-11, 17, 20) එඬේරෙක් හා තරුණ ස්ත්‍රියක අතරෙහි පැවති ආදරයෙන් බර ප්‍රේමයක් ගැන සාලමොන්ගේ ගීතිකාව පවසයි. නමුත් මේ ආකාරයේ ප්‍රේමය, බොහෝ තෘප්තිය හා සතුටේ උල්පතක් විය හැකි වුවත්, දෙවියන් වහන්සේගේ ප්‍රමිතිවලට අනුකූල ව පමණක් දැක්විය යුතු බව තරයේ අවධාරණය කිරීම වැළැක්විය නොහැකි තරම් ය. තමාගේ ම නිත්‍යානුකූල විවාහක භාර්යාවගේ ප්‍රේමයෙන් පමණක් මනුෂ්‍යයෙකුට ‘නිතර ම ප්‍රීතිමත්’ විය හැකි බව බයිබලය අපට පවසයි.—හිතෝපදේශ 5:15-20.
4 ඊළඟට ලේ නෑකම මත පදනම් වූ, බලවත් පවුල් ප්‍රේමය, හෝ ජන්ම ස්නේහය තිබේ, ඒ සඳහා ග්‍රීක්වරුන්ට ස්ටෝ·ගිʹ [stor·geʹ] යන වචනය තිබිණ. “වතුරට වඩා ලේ ඝන ය” යන කියමන ඇති වී තිබෙන්නේ මේ නිසා ය. තම සොහොයුරු ලාසරුස් සඳහා මරියා සහ මාර්තාට තිබූ ප්‍රේමය මේ සම්බන්ධයෙන් අපට තිබෙන හොඳ ආදර්ශයකි. ඔහුගේ හදිසි මරණයේ දී ඔවුන් බොහෝ සෙයින් වැලපුණු ආකාරයෙන් මේ බව පැහැදිළි විය. තව ද යේසුස් වහන්සේ ඔවුන්ගේ ප්‍රේමනීය ලාසරුස් නැවත ජීවනයට ගෙනා විට ඔවුන් මොනතරම් ප්‍රීති වූයේ ද! (යොහන් 11:1-44) මවක් තම දරුවා සඳහා දක්වන ප්‍රේමය වනාහි මේ ආකාර ප්‍රේමයේ තවත් ආදර්ශයකි. (1 තෙසලෝනික 2:7 සසඳන්න.) මෙසේ, සියොන් සඳහා ස්වකීය ප්‍රේමය මොනතරම් මහත්දැයි අවධාරණය කිරීම සඳහා මවක් සිය දරුවාට දක්වන ප්‍රේමයට වඩා එය වැඩි යයි යෙහෝවඃ වහන්සේ සඳහන් කළ සේක.—යෙසායා 49:15.
5 “අන්තරා සහිත කාලවල්” ඇතුව අන්තිම දවස්වල ජීවත්වෙමින් සිටින බවට එක ඉඟියක් නම් ‘ජන්ම ස්නේහය’ නැතිවීම ය. (2 තිමෝති 3:1, 3) පවුල් ප්‍රේමය නොමැතිකම නිසා ඇතැම් යෞවනයෝ නිවසින් පලා යති, තව ද සමහර වැඩුණු දරුවෝ තමන්ගේ වයසක දෙමව්පියන් නොසලකා හරිති. (හිතෝපදේශ 23:22 සසඳන්න.) දරුවන්ට හිරිහැර කිරීම ව්‍යාප්ත ව තිබීමෙනුත් ජන්ම ස්නේහය නොමැතිකම දැකගත හැක—ඇතැම් දෙමව්පියන් තමන්ගේ දරුවන්ට එතරම් තදින් පහරදීම නිසා ඔවුන් ව රෝහල්ගත කිරීම අවශ්‍ය කෙරේ. බොහෝ දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන් හික්මවීමට අසමත්වීමෙනුත් මව්පිය ආදරය නොමැතිකම පැහැදිලි වේ. තමන්ට ඕනෑ විධියට කටයුතු කරන්ට දරුවන්ට ඉඩදීම වනාහි ප්‍රේමය ඇති බවට සාක්ෂියක් නොව, නමුත් එය විරුද්ධත්වයක් නොමැති පහසු ම ක්‍රමය අනුගමනය කිරීමකි. තම දරුවන්ට සැබෑ ලෙස ම ප්‍රේම කරන පියෙක් අවශ්‍ය විට ඔවුන් ව හික්මවනු ඇත.—හිතෝපදේශ 13:24; හෙබ්‍රෙව් 12:5-11.
6 ඊළඟට ෆිලිʹයා [phi·liʹa] යන ග්‍රීක් වචනය ඇත, මේරූ පුරුෂයන් හෝ ස්ත්‍රීන් දෙදෙනෙකු අතරෙහි මෙන්, මිතුරන් අතරෙහි (ලිංගික හැඟීම් නොමැති ව) පවතින ස්නේහය ඉන් අදහස් කරයි. දාවිත්ට හා යොනාතාන්ට එකිනෙකා සඳහා තිබූ ප්‍රේමය මේ සම්බන්ධයෙන් අපට තිබෙන කදිම ආදර්ශයකි. සටනේ දී යොනාතාන් මරුමුවට පත් වූ විට, ඔහු ගැන ශෝකවෙමින් දාවිත් මෙසේ පැවසී ය: “මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්රීන්ගේ ආදරයට වඩා මහත්ය.” (2 සාමුවෙල් 1:26) ප්‍රේරිත යොහන් සඳහා විශේෂ ඇල්මක් ක්‍රිස්තුස් වහන්සේට තිබූ බව ද අපට දැනගැනීමට තිබේ, මක්නිසා ද “යේසුස් වහන්සේ ප්‍රේමකළ ගෝලයා” වශයෙන් ඔහු ප්‍රකට ව සිටියේ ය.—යොහන් 20:2.
7 පාවුල්, 1 කොරින්ති 13:13 හි ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය ගැන සඳහන් කළ අතර, “මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමය” යයි පවසද්දී, ඔහු පාවිච්චි කළ ග්‍රීක් වචනය කුමක් ද? මෙහි යොදා ඇති වචනය අ·ගාʹපෙ [a·gaʹpe] වේ, “දෙවියන්වහන්සේ ප්‍රේමයය” යනුවෙන් ප්‍රේරිත යොහන් පැවසූ විට, ඔහු භාවිතා කළේත් එම වචනයයි. (1 යොහන් 4:8, 16) මෙම ප්‍රේමය වනාහි ප්‍රතිපත්තිය මගින් මගපෙන්වනු ලැබේ, නොහොත් පාලනය වේ. ඊට ස්නේහයක් සහ ඇල්මක් ඇතුළත් වී තිබිය හෝ නොතිබිය හැක, නමුත් එය වනාහි ලබන්නාගේ සුදුසුකම් හෝ දෙන්නාට ලැබෙන ප්‍රයෝජන නොසලකා අන්‍යයන්ට යහපත කිරීම සමඟ සම්බන්ධ වූ පරාර්ථකාමී චිත්තවේගයක් හෝ හැඟීමකි. මේ ආකාරයේ ප්‍රේමය නිසා ස්වකීය හදවතට ඉතා ආදරණීය වස්තුවක් වූ ස්වකීය ඒක-ජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දීමට දෙවියන් වහන්සේ පෙලඹුණු, “එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) පාවුල් එතරම් හොඳින් අපට මතක් කරන පරිදි: “ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය්ය ඇතුව සිටින්ට පුළුවන. නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය.” (රෝම 5:7, 8) එසේ ය, අන්‍යයන්ගේ ජීවිතයේ තත්ත්වය කුමක් වුවත් හෝ ප්‍රේමය දක්වන තැනැත්තාට කුමක් වැය වුවත් අ·ගාʹපෙ අන්‍යයන් සඳහා යහපත කරයි.
ඇදහිල්ල හා බලාපොරොත්තුවට වඩා උතුම් වන්නේ මන්ද?
8 නමුත් මේ ආකාරයේ ප්‍රේමය (අ·ගාʹපෙ) ඇදහිල්ලට වඩා උතුම් වන්නේ යයි පාවුල් පැවසුවේ මන්ද? පළමුවන කොරින්ති 13:2 හි ඔහු මෙසේ ලීවේ ය: “මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.” (මතෙව් 17:20 සසඳන්න.) එසේ ය, දැනුම ලබා ගැනීමට හා ඇදහිල්ලෙන් වර්ධනය වීමට අපි ගන්නා උත්සාහය ආත්මාර්ථකාමී අරමුණක් ඇතුව සිදු කරන්නෙමු නම්, දෙවියන් වහන්සේගෙන් කිසිදු ප්‍රයෝජනයක් අපට මේ නිසා ලැබෙන්නේ නැත. එලෙස ම, ඇතමෙක් ‘තමන්ගේ නාමයෙන් අනාගත වචන කියමින්, යක්ෂයන් දුරුකරමින්, නොයෙක් බලවත් ක්‍රියා කළත්’ තමන් වහන්සේගේ අනුමැතිය නොලැබෙන බව යේසුස් වහන්සේ පෙන්නුම් කළ සේක.—මතෙව් 7:22, 23.
9 අ·ගාʹපෙ ආකාරයේ ප්‍රේමය බලාපොරොත්තුවටත් වඩා උතුම් වන්නේ මන්ද? මක්නිසාද බලාපොරොත්තුව ආත්මාර්ථකාමී විය හැක, යමෙක් තමාට ලබා ගත හැකි ප්‍රයෝජන ගැන සැලකිලිමත් විය හැක, නමුත් ප්‍රේමය “තමාගේම කාරණා සොයන්නේ නැත.” (1 කොරින්ති 13:4, 5) තවදුරටත්, “මහත් පීඩාව” තුළින් අලුත් ලෝකයට බේරී ජීවත්වීම වැනි—අපේක්ෂා කරන ලද දෙය ඉටු වූ විට, බලාපොරොත්තුව තවත් නොපවති. (මතෙව් 24:21) පාවුල් පවසන පරිදි: “අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද? නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලලෙන් ඒ ගැන බලාසිටිමු.” (රෝම 8:24, 25) ප්‍රේමය ම සියල්ල ඉවසන්නේ ය, එය කිසිකලෙක පහවන්නේ නැත. (1 කොරින්ති 13:7, 8) එබැවින්, පරාර්ථකාමී ප්‍රේමය (අ·ගාʹපෙ) ඇදහිල්ලට හෝ බලාපොරොත්තුවට වඩා උතුම් වේ.
ප්‍රඥාව, යුක්තිය, සහ බලයට වඩා උතුම් ද?
10 ප්‍රඥාව, යුක්තිය, බලය, සහ ප්‍රේමය යන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ ප්‍රධාන ගුණාංග සතර දැන් අපි සලකා බලමු. මේවායින් උතුම් එකත් ප්‍රේමය යයි පැවසිය හැකි ද? සැබෑවට ම පුළුවන. මන්ද? දෙවියන් වහන්සේ කරන දෙය පිටුපස ඇති පොලඹවන්නාවූ බලය වනාහි ප්‍රේමය වන නිසා ය, “දෙවියන්වහන්සේ ප්‍රේමයය” යනුවෙන් ප්‍රේරිත යොහන් ලීවේ ඒ නිසා ය. එසේ ය, යෙහෝවඃ වහන්සේ වනාහි ප්‍රේමයේ පුද්ගලාරෝපනය වේ. (1 යොහන් 4:8, 16) යෙහෝවඃ වහන්සේ වනාහි ප්‍රඥාව, යුක්තිය, හෝ බලය බව ශුද්ධලියවිලි කොතැනකවත් පවසන්නේ නැත. ඒ වෙනුවට, මෙම ගුණාංග යෙහෝවඃ වහන්සේ සතුව පවතින බව අපට පවසා තිබේ. (යෝබ් 12:13; ගීතාවලිය 147:5; දානියෙල් 4:37) උන් වහන්සේ තුළ මෙම ගුණාංග සතර පරිපූර්ණ ලෙස සමබර ව තිබේ. ප්‍රේමයෙන් පොලඹවනු ලැබ, අනෙක් ගුණාංග භාවිතා කරමින් හෝ ඒවා සැලකිල්ලට ගැනීමෙන් යෙහෝවඃ වහන්සේ ස්වකීය අරමුණ ඉටුකරන සේක.
11 එසේ නම්, විශ්වය සහ බුද්ධිමත් ආත්ම හා මනුෂ්‍ය මැවිලි බිහි කිරීමට යෙහෝවඃ වහන්සේ ව පෙලඹුවේ කුමක් ද? ප්‍රඥාව හෝ බලය ද? නැත, මක්නිසා ද, මැවීමේ දී දෙවියන් වහන්සේ ස්වකීය ප්‍රඥාව හා බලය හුදෙක් භාවිතා කළා පමණි. උදාහරණයක් වශයෙන්, අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක.” (හිතෝපදේශ 3:19) තවදුරටත්, උන් වහන්සේගේ යුක්තියේ ගුණාංගය අනුව නිදහස් සදාචාර නියෝජිතයන් මැවීමට උන් වහන්සේ බැඳී සිටියේ නැත. අන්‍යයන් සමඟ බුද්ධිමත් පැවැත්මක් ඇතුව සිටීමේ ප්‍රීතියට සහභාගිවීමට දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන් වහන්සේ ව පෙලඹී ය. ආදම්ගේ වරද නිසා මනුෂ්‍යවර්ගයා පිට යුක්තිය විසින් පටවන ලද දඬුවම ඉවත් කිරීමට මගක් සොයා ගත්තේ ප්‍රේමයයි. (යොහන් 3:16) එසේ ය, පැමිණෙන භූමික පාරාදීසයක් තුළ කීකරු මනුෂ්‍යවර්ගයා ජීවත් විය යුතු බවට අරමුණු කිරීමට යෙහෝවඃ වහන්සේ ව පෙලඹුවේ ප්‍රේමයයි.—ලූක් 23:43.
12 දෙවියන් වහන්සේගේ සර්වපරාක්‍රම බලය නිසා, උන් වහන්සේගේ ඊර්ෂ්‍යාව නොඇවිස්සීමට අප වග බලාගත යුතු ය. පාවුල් මෙසේ ඇසී ය: “අපි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදහස් කරමුද? [ඊර්ෂ්‍යාවට පොලඹවන්නෙමු ද? NW] අපි උන්වහන්සේට වඩා බලවත්ද?” (1 කොරින්ති 10:22) ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේ වනාහි ‘ඊර්ෂ්‍යාසහගත දෙවි කෙනකි’, නමුත් නරක අර්ථයකින් නොව, ‘තනි භක්තිය ස්ථිර ලෙස අපේක්ෂා කිරීමෙන් ය.’ (නික්මයාම 20:5; කිං ජේම්ස් වර්ෂන්) ක්‍රිස්තියානින් වශයෙන්, දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රඥාවේ බොහෝ විදහාපෑම්වලින් අපි විශ්මයට පත් වන්නෙමු. (රෝම 11:33-35) උන් වහන්සේගේ යුක්තිය සඳහා ඇති අපගේ ගෞරවය නිසා හිතාමතා පව් කිරීමෙන් බොහෝ සේ ඈත් වී සිටීමට එය අපට සැලැස්විය යුතු ය. (හෙබ්‍රෙව් 10:26-31) නමුත් කිසිදු ප්‍රශ්නයක් නොමැති ව දෙවියන් වහන්සේගේ ප්‍රධාන ගුණාංග සතරෙන් ප්‍රේමය වනාහි වඩාත් උතුම් ම එක වන්නේ ය. උන් වහන්සේ වෙතට අප ව ඇද ගන්නේත්, උන් වහන්සේ ව සතුටු කිරීමට සහ උන් වහන්සේට නමස්කාර කිරීමට ද, උන් වහන්සේගේ ශුද්ධ නාමය නිර්දෝෂ කිරීමෙහි සහභාගිවීමට ද අප ව පොලඹවන්නේත් යෙහෝවඃ වහන්සේගේ පරාර්ථකාමි ප්‍රේමයයි.—හිතෝපදේශ 27:11.
ආත්මයේ ඵලවලින් වඩාත් උතුම් ම ඵලය
13 ගලාති 5:22, 23 හි සඳහන් කර තිබෙන දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල නවය අතරෙන් ප්‍රේමයට තිබෙන ස්ථානය කුමක් ද? මේවා වනාහි “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම” යන ඒවා ය. පාවුල් පළමුව ප්‍රේමය සඳහන් කළේ හොඳ හේතු ඇතුව ය. ඔහු ඊළඟට සඳහන් කරන ප්‍රීතියට වඩා ප්‍රේමය උතුම් ද? සැබවින් ම එසේ ය, මක්නිසා ද ප්‍රේමය නොමැති ව කල්පවතින ප්‍රීතියක් තිබිය නොහැක. ඇත්තට ම, ලෝකය එතරම් ම ප්‍රීති රහිත ව පවතින්නේ ප්‍රේමය නොමැති ව ආත්මාර්ථකාමීකම පවතින නිසා ය. නමුත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට තමන් අතරෙහි ප්‍රේමය තිබේ, තව ද ඔවුන්ගේ ස්වර්ගික පියාණන් සඳහා ද ඔවුන්ට ප්‍රේමය ඇත. එබැවින් ඔවුන් ප්‍රීතිමත් ව සිටිය යුතු බවක් අප ඔවුන්ගෙන් අපේක්ෂා කළ යුතු ය, තව ද ඔවුන් ‘සිතේ ප්‍රීතියෙන් ගී කියනු ඇත’ යයි පුරෝකථනය කරන ලදි.—යෙසායා 65:14.
14 ආත්මයේ සමාදාන ඵලයටත් වඩා ප්‍රේමය උතුම් ය. ප්‍රේමය නොමැතිකම නිසා, ලෝකය ගැටුම්වලින් හා ආරාවුල්වලින් පිරී තිබේ. නමුත් යෙහෝවඃ වහන්සේගේ ජනයා පොළොව පුරා එකිනෙකා සමඟ සමගියෙන් සිටිති. ගීතිකාකාරයාගේ වචන ඔවුන් සම්බන්ධයෙන් සැබෑ වී තිබේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන් සෙනගට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.” (ගීතාවලිය 29:11) ඔවුන්ට මෙම සමාදානය තිබේ, මක්නිසා ද සැබෑ ක්‍රිස්තියානින් ව හඳුනාගැනීමේ ලකුණ වන, ප්‍රේමය ඔවුන්ට තිබේ. (යොහන් 13:35) සියලු භේදකාරි සාධකයන් කුමක් වුවත්, ඒවා ජාතිවාදි, ජාතික, හෝ සංස්කෘතික වුවත් ඒවා ජයගත හැක්කේ ප්‍රේමයට පමණකි. එය වනාහි ‘එකමුතුකමේ පරිපූර්ණ බැම්මකි.’—කොලොස්සි 3:14.
15 වරදක් හෝ ප්‍රකෝප කිරීමක් ඉවසිල්ලෙන් විඳදරාගැනීම වන, බොහෝ ඉවසිලිවන්තකම සමඟ සසඳන විටත් ප්‍රේමයේ අතිශ්රේෂ්ඨකම දැකගත හැක. බොහෝ ඉවසිලිවන්ත වීමෙන් අදහස් කරන්නේ ඉවසිල්ලෙන් සිටීම මෙන් ම කෝපවීමට ප්‍රමාද වීමත් ය. නොඉවසිලිවන්ත වීමට හා ඉක්මනින් කෝපවීමට මනුෂ්‍යයන් ව පොලඹවන්නේ කුමක් ද? ප්‍රේමය නොමැතිකමක් නොවේ ද? කෙසේ වුවද, අපගේ ස්වර්ගික පියාණෝ බොහෝ ඉවසිලිවන්ත ව සිටින සේක, තව ද උන් වහන්සේ ‘උදහස් වීමට ප්‍රමාද වන සේක.’ (නික්මයාම 34:6; ලූක් 18:7) මන්ද? උන් වහන්සේ අපට ප්‍රේම කරන නිසා සහ ‘කිසිවෙක් විනාශ වෙනවාට අකමැති’ නිසා ය.—2 පේතෘස් 3:9.
16 ඇදහිල්ලට වඩා ප්‍රේමය උතුම් වන්නේ මන්දැයි අපි කලින් දුටුවෙමු. තව ද, දී තිබෙන හේතු ශුද්ධාත්මයේ ඉතිරි ඵල වන, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම, සහ පමණ දැන ක්‍රියා කිරීමට අදාළ වේ. මේ සියල්ලක් ම අවශ්‍ය ගුණාංග වෙයි, නමුත් 1 කොරින්ති 13:3 හි පාවුල් සඳහන් කළ පරිදි, ප්‍රේමය නොමැති නම්, ඒවායින් අපට ප්‍රයෝජනයක් ලබා ගත නොහැක, එහි පාවුල් මෙසේ ලීවේ ය: “මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.” අනෙක් අතට, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, සහ පමණ දැන ක්‍රියා කිරීම වැනි ගුණාංග හුවා දක්වන්නේ ප්‍රේමයයි. එබැවින්, පාවුල් තවදුරටත් පැවසුවේ ප්‍රේමය ගුණවන්තය, තව ද එය “සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය,” කියා ය. එසේ ය, “ප්‍රේමය කිසිකලෙක පහවන්නේ නැත.” (1 කොරින්ති 13:4, 7, 8) ආත්මයේ අනෙක් ඵල වනාහි පළමුවෙන් සඳහන් කරන ලද, ප්‍රේමයේ විවිධ අංග හෝ විදහාපෑම් හෝ බව ඉතා හොඳින් නිරීක්ෂණය කර තිබේ. සැබවින් ම, ආත්මයේ අනෙක් ඵල සියල්ල ප්‍රේමයට පිටුපසින් පිහිටා තිබේ, ප්‍රේමය සැබෑවට ම ඉතා උතුම් ම ගුණාංගය වේ.
17 දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵලවලින් වඩා උතුම් වන්නේ ප්‍රේමයය යන නිගමනය පාවුල්ගේ වචනවලින් මෙසේ සනාථ වෙයි: “එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයට නොසිටිල්ලා. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ. මක්නිසාද [ව්‍යවස්ථාව] . . . නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය. ප්‍රේමය අසල්වාසියාට නපුර කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.” (රෝම 13:8-10) ඉතා උචිත ලෙස, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන ආඥාව ශ්‍රාවක යාකොබ් හැඳින්වූයේ “රාජකීය ව්‍යවස්ථාව” ලෙස ය.—යාකොබ් 2:8.
18 වඩා උතුම් ම ගුණාංගය ප්‍රේමය බවට තවත් සාක්ෂි තිබේ ද? සැබෑවට ම, එසේ ය. “සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානද”? යයි ලියන්නෙක් යේසුස් වහන්සේගෙන් ඇසූ විට සිදු වූ දෙය සලකා බලන්න. යේසුස් වහන්සේ දස පනතෙන් එකක් උපුටා දක්වනු ඇතැයි ඔහු අපේක්ෂා කරන්ට ඇත. නමුත් යේසුස් වහන්සේ ද්වීතීය කථාව 6:4, 5න් උපුටා මෙසේ පැවසූ සේක: “ප්‍රධාන එක නම්—අහෝ ඉශ්රායෙල් අසාපන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය. [යෙහෝවඃ වහන්සේ ය. NW] උන්වහන්සේ එකම (දෙවියන්වහනසේ)ය. [යෙහෝවඃ වහන්සේ ය. NW] නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්රේමකරපන්න යන එකය.” ඊළඟට යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැත”.—මාර්ක් 12:28-31.
19 සැබෑවට ම, ඇදහිල්ල, බලාපොරොත්තුව, හා ප්‍රේමය ගැන පාවුල් සඳහන් කර, “මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය” යනුවෙන් පැවසූ විට, එය අතිශයෝක්තියක් නොවී ය. ප්‍රේමය විදහාපෑම නිසා, සභාවේ සිටින අය හා අපගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ව, අපගේ ස්වර්ගික පියාණන් හා වෙනත් අය සමඟ හොඳ සබඳතාවයක් ඇති වේ. ප්‍රේමයට අප කෙරෙහි වර්ධනය ගෙන දෙන බලපෑමක් තිබේ. සැබෑ ප්‍රේමය මොනතරම් විපාකදායක විය හැකිදැයි ඊළඟ ලිපිය දක්වනු ඇත. (1991 දෙසැම්බර් 1 මුරටැඹ කලාපය) w91 11/15
ඔබ ප්‍රතිචාරය දක්වනු ඇත්තේ කෙසේ ද?
◻ ඇදහිල්ල හා බලාපොරොත්තුවට වඩා ප්‍රේමය උතුම් වන්නේ කෙසේ ද?
◻ අ·ගාʹපෙ යනු කුමක් ද, සහ එය පෙන්වනු ලබන්නේ කෙසේ ද?
◻ දෙවියන් වහන්සේගේ ප්‍රධාන ගුණාංග සතරෙන් ප්‍රේමය වඩා උතුම් වන්නේ මන්ද?
◻ ආත්මයේ අනෙක් ඵලවලට වඩා ප්‍රේමය උතුම් වන්නේ කිනම් ආකාරවලින් ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. ප්‍රේමය ගැන මානව විද්‍යාඥයෙකු පැවසූවේ කුමක් ද?
2. (අ) ප්‍රේමයේ වැදගත්කම ප්‍රේරිත පාවුල් දැක්වූයේ කෙසේ ද? (ආ) කිනම් ප්‍රශ්න සලකා බැලීම දැන් වටී ද?
3. අදාරය ගැන තිබෙන ශුද්ධලියවිලිමය ආදර්ශ කවරේ ද?
4. ශුද්ධලියවිලි තුළ පවුල් ප්‍රේමය ආදර්ශකොට දක්වා තිබෙන්නේ කෙසේ ද?
5. අදදින ජන්ම ස්නේහය නොමැතිකම පැහැදිලි වන්නේ කෙසේ ද?
6. මිතුරන් අතරෙහි ඇති ස්නේහය පිළිබඳ ශුද්ධලියවිලි ආදර්ශ දෙන්න.
7. අ·ගාʹපෙ යන ප්‍රේමයෙහි ස්වභාවය කුමක් ද, සහ මෙය දක්වා තිබෙන්නේ කෙසේ ද?
8. අ·ගාʹපෙ ඇදහිල්ලට වඩා උතුම් වන්නේ මන්ද?
9. ප්‍රේමය බලාපොරොත්තුවට වඩා උතුම් වන්නේ මක්නිසා ද?
10. දෙවියන් වහන්සේගේ ප්‍රධාන ගුණාංග සතරෙන් ප්‍රේමය වඩා උතුම් එක බව පැවසිය හැක්කේ මන්ද?
11. විශ්වය සහ ආත්ම හා මනුෂ්‍ය මැවිලි මැවීමට යෙහෝවඃ වහන්සේ පෙලඹුනේ කුමකින් ද?
12. දෙවියන් වහන්සේගේ බලය, යුක්තිය, සහ ප්‍රේමයට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේ ද?
13. දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල අතරෙහි ප්‍රේමයට තිබෙන ස්ථානය කුමක් ද?
14. ආත්මයේ ඵලය වන සමාදානයට වඩා ප්‍රේමය උතුම් බව පැවසිය හැක්කේ මන්ද?
15. ආත්මයේ ඵලය වන බොහෝ ඉවසිලිවන්තකම සමඟ සසඳන විට ප්‍රේමයේ අතිශ්රේෂ්ඨභාවය පෙනී යන්නේ කෙසේ ද?
16. කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම, සහ පමණ දැන ක්‍රියාකිරීම සමඟ ප්‍රේමය සැසඳෙන්නේ කෙසේ ද?
17. ආත්මයේ ඵලවලින් වඩා උතුම් ප්‍රේමයය යන නිගමනය කිනම් ශුද්ධලිවිලි ප්‍රකාශවලින් සනාථ වෙත් ද?
18. ප්‍රේමය වඩා උතුම් ම ගුණාංගය බවට තවදුරටත් තිබෙන සාක්ෂි කවරේ ද?
19. අ·ගාʹපෙ යන ප්‍රේමයේ කැපීපෙනෙන ඵලවලින් සමහරක් කවරේ ද?
භූමික පාරාදීසයක ජීවත්වීම සඳහා මනුෂ්‍යවර්ගයා ව මැවීමට ප්‍රේමය දෙවියන් වහන්සේ ව පෙලඹී ය. එහි සිටීමට ඔබ බලාපොරොත්තු වන්නෙහි ද?