රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ජීවිතයේ පරිශුද්ධත්වය උදෙසා ගෞරවය
දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ රුධිරය ඉතා අනර්ඝ බවත් එය නුසුදුසු ලෙස භාවිතා කිරීම උන් වහන්සේ විසින් හෙලා දකින බවත් බයිබලය පෙන්වයි. (ලෙවී කථාව 17:14; ක්‍රියා 15:19, 20, 28, 29) මෙම බයිබල් නියමයන් නිසා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් රුධිර ප්‍රවේශනයන් පිළිගන්නේ නැත.
මෙම විෂය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආගමික ස්ථාවරය තේරුම් ගැනීමට හා සාක්ෂිකරුවන් විකල්ප ප්‍රතිකාරයන් පිළිගන්නා බව අගය කිරීමට වෛද්‍යවරුන්ට හා රෝහල් නිලධාරීන්ට උපකාර කිරීම පිණිස, වොච් ටවර් සමිතිය විවිධ රටවල රෝහල් සම්බන්ධතා කමිටු (රෝසක) පිහිටුවා ඇත. මෙම කමිටුවල සාමාජිකයෝ වෛද්‍ය වෘත්තිකයන් සමඟ කථා කිරීමට රෝහල්වලට යති. මෑතක දී, පෝලන්තයේ නගර 12ක රැස්වීම් 200කටත් වඩා පවත්වනු ලැබී ය, මීට වෛද්‍යවරුන් 500කටත් වඩා සහභාගි වූ අතර, ඔවුන් බොහෝ දුරට සායනවල නැතහොත් රෝහල් වාට්ටුවල මූලිකයන් විය. එවන් එක් හමුවීමක දී පහත සඳහන් දෙය සිදු විය:
“සැබ්රේස් නම් නගරයේ හෘද-ශල්‍ය සායනයේ පවත්වන ලද රැස්වීම ඉතා සාර්ථක එකක් විය. වර්ෂ 1986 පටන් එම සායනයේ වෛද්‍ය කණ්ඩායම රුධිරය නොමැති ව අපගේ සහෝදරයන් ව ශල්‍යකර්මයට භාජනය කර ඇත. මෙතෙක්, එවන් ශල්‍යකර්මයන් 40ක් සිදු කර ඇත. එම සායනය මුළු පෝලන්තයෙන් මෙන් ම විදෙස් රටවලින් ද රෝගීන් භාර ගැනීමට සූදානමින් සිටී. විනාඩි 50ක සාකච්ඡාවකින් පසු, වාට්ටුවක නියෝජ්‍ය ප්‍රධානියා රෝහල් සම්බන්ධතා කමිටුවේ සාමාජිකයන් ව රෝගීන් කණ්ඩායමකට හඳුන්වා දෙමින් කීවේ මෙසේ ය: ‘මේ අය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්. ඔවුන් අපගේ සායනය සමඟ සහයෝගී ව ක්‍රියා කරන අතර, ඔවුන් අපට උපකාර කරනවා. ඔවුන්ගේ සෙසු සාමාජිකයන් පමණක් නොව වෙනත් රෝගීන් ද ඔවුන්ගේ උපකාරයෙන් ප්‍රයෝජන ලබනවා. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ස්තුති වන්නට, බරපතළ හෘද ශල්‍යකර්මයන් රුධිරය නොමැති ව කළ හැකි බව අප ඒත්තු ගෙන තිබෙනවා.
“‘උදාහරණයක් වශයෙන්, [තමාගේ එක් රෝගියෙක් දෙසට ඇඟිල්ල දික් කරමින්] අපි මේ කාන්තාවට රුධිරය නොදී ශල්‍යකර්මයක් කළා. ලබන සඳුදා ඇය ගෙදර යනවා. එක දෙයක් සඳහන් කරන්න කැමතියි, අප දැන් රුධිරය භාවිතා කරන්නේ පෙරට වඩා බොහෝසෙයින් අඩුවෙන්. ඒ මන්දයත් එය භයානකයි, HIV, යකෘත්ප්රදාහය [හෙපටයිටිස්], හා සුව වීමට බොහෝ කාලයක් ගතවීම මේ හා සම්බන්ධ ව පවතිනවා.
“‘මම කතෝලිකයෙක් වුවත්, අපගේ නිවසේ අපි නිතර අන්‍යයන්ගේ දෘෂ්ටීන්වලට ගරු කරනවා. වරක් මම මගේ දරුවන් සමඟ ශ්ලොන්ස්කි ක්‍රිඩාංගනයේ ඇවිදින්නට ගියා. කලින් මෙම ක්‍රිඩාංගනය නොසලකා හරින ලද තත්ත්වයක තිබුණත්, දැන් එය සිතා ගත නොහැකි තරම් වෙනස් වී තිබෙන බව මම දුටුවා. මෙම වෙනස සිදු වූ ආකාරය මම එක් සේවකයෙකුගෙන් විමසුවා. එහි පරිපාලකයන් එම ක්‍රීඩාංගනය නැවත සැකසීමේ සියලු බලාපොරොත්තු අත්හැර සිටිය ද, එය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට කුලියට දුන් බවත් ඔවුන් එය අලුත්වැඩියා කළ බවත් ඔහු කියා සිටියා.
“‘එනිසා, මොවුන් අප සියල්ලන්ට ම බොහෝ දෑ ඉගෙන ගත හැකි ජන පිරිසක්. මේ වාට්ටුවේ අපි අන්‍යයන්ගේ දෘෂ්ටීන්වලට ගරු කළ යුතුයි කියා මම සිතනවා.’ ඉන් පසු, තව දින කිහිපයකින් ශල්‍යකර්මයකට භාජනය වන්නට සිටි සාක්ෂිකාරියක් වෙත ඇඟිල්ල දික් කරමින්, ඔහු කීවේ මෙසේ ය: ‘මෙම කාන්තාව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්. ඇයට ශල්‍යකර්මය කරන්නට යන්නෙත් රුධිරය නොමැතිව.’”
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් තමන්ගේ විශ්වාසයන් බලෙන් අන් අය මත පැවරීමට උත්සාහ නොකරන අතර, ඔවුහු ම “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය” යන්නා වූ ප්‍රේරිතයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් සිටිති. (ක්‍රියා 5:29) රුධිරයට ගෞරව කිරීම මෙයට ඇතුළත් වේ. මෙම විෂය සම්බන්ධයෙන් අන්‍යයන් තම ආගමික ස්ථාවරයන්ට ගෞරව කරන විට ඔවුහු එය අගය කරති.