ඔබට කොතරම් කල් ජීවත් විය හැකි ද?
ජීවිත ගමන පුරා ගැටලු පවතින බව අපෙන් වැඩි දෙනෙක් එක හෙළා ම පිළිගනු ඇත. එසේ වුවත්, ජීවමාන ව සිටීම ගැන අපි සන්තෝෂ වෙමු. අපගේ ළමා විය සමඟින්, නැතහොත් කෙටි ආයු කාලයක් සමඟින් අප තෘප්තියට පත් වන්නේ නැත; අපේ කැමැත්ත දීර්ඝ කාලයක් ජීවත්වීමට ය. එසේ වුවත්, මරණය වැළැක්විය නොහැකි යමක් සේ දිස් වේ. එය එසේ ද?
මරණය කල් දැමීමට හැකියාවක් තිබෙනවා ද? අපගේ ආයු කාලය දිගු කර ගත හැකි ද?
දික් කර ගත් ආයු කාලයක්?
වර්ෂ 1990 දී, එක්තරා ප්රවෘත්ති වාර්තාවක් මනුෂ්‍ය ආයු කාලය ‘අවුරුදු එකසිය දහයක්’ දක්වා දිගු කර ගැනීමට ඇති හැකියාව නිවේදනය කළේ ය. මෙය බයිබයේ ගීතිකාකරුවෙක් වූ මෝසෙස්ගේ මෙම වදන්වලට වක්‍ර යොමු දැක්වීමක් බවට කිසිඳු සැකයක් නැත: “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය. ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.” (ගීතාවලිය 90:10) මෙසේ මනුෂ්‍ය ආයු කාලයේ සාමාන්‍යය, අවුරුදු 70ක් හෝ 80ක් හැටියට බයිබලය සඳහන් කරයි. එහෙත් අද දින යම් පුද්ගලයෙකුට ජීවත් වන්නට අපේක්ෂා කළ හැකි අවුරුදු ප්‍රමාණය කොතරම් ද?
වර්ෂ 1992 ජ. සෞ. සං. (ජගත් සෞඛ්‍ය සංවිධානය) මගින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක්, ලොව වටා, අපේක්ෂිත ආයු කාලයේ සාමාන්‍යය, අවුරුදු 65ක් වන්නේ යයි සඳහන් කළේ ය. ජගත් සෞඛ්‍ය සංවිධානයට අනුව, මෙය “මීළඟ අවුරුදු පහ තුළ, මූලික ව ළදරු මරණ අනුපාතය අඩු වීම නිසා, අවුරුද්දකට මාස හතර බැගින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරුණි.” වෛද්‍ය හාස්කමක් අවුරුදු 50ට පෙර යමෙක් මරණයට පත්වීම වැළැක්වුවහොත්, එක්සත් ජනපදයේ, “අපේක්ෂිත ආයු කාලය සාමාන්‍යයෙන් වැඩි වනු ඇත්තේ අවුරුදු 3 1⁄2කින් පමණක්” බව ටයිම් සඟරාව පවසයි.
ජීවිතය මෙතරම් කෙටි වන්නේ මන්ද?
නෙදර්ලන්තයේ සම්පරීක්ෂණ ජරා විභාග (මහලු වයස හා ඒ කාලයෙහි ඇති වන රෝග පිළිබඳ හැදෑරීම) ආයතනයේ වෛද්‍ය යාන් ෆේක තර්ක කරමින් කියා සිටින්නේ, ඇතැම් රෝග මනුෂ්‍ය ශරීරයේ ශෛලවල ව්‍යූහයේ දෝෂයන්ට සම්බන්ධ වී ඇති ලෙසින් ම, වයස්ගත වීමේ ක්‍රියාවලිය ද ප්රවේණි සාධක මගින් බලපෑම් ලබන බව පෙනෙන්නට ඇති බව ය. අප වයස්ගත වෙනවාත් සමඟ ම, “ප්‍රධාන පෙළේ ජාන අතළොස්සක්” ප්‍රතිස්ථාපනය කළ හැකි නම්, අපට වැඩි කාලයක් ජීවත් විය හැකි බව ඇතැම් පර්යේෂකයෝ විශ්වාස කරති. වෙනත් අය එවන් යෝජනාවක් “සංකීර්ණ ගැටලු නොසලකා, යමක් පමණට වැඩිය සරල ව ඉදිරිපත් කිරීමක්” හැටියට වර්ගීකරණය කරත්.
කෙසේ වෙතත්, “මනුෂ්‍ය ශරීරයේ ශෛල තුළට කවන ලද සහජ ජෛව සීමාවක ආකාරයක් පෙනෙන්නට ඇත” යයි විද්‍යාඥයෝ පිළිගන්නා බව ටයිම් සඟරාව වාර්තා කරයි. “ජීවත් ව සිටින්නට” අප ව “ක්‍රමලේඛණය” කර ඇති බවට වාද කරන අය පවා, “යමක් වරදින” බව පිළිගනිති. ඇත්ත වශයෙන් ම, අවුරුදු 65, 70 හෝ 80, නැතහොත් ඉන් වසර කීපයකට පසු ව, බයිබලය පවසන පරිදි, අපගේ ජීවිතය මරණයෙන් “වහාම නිමාවකට පත් වේ.”
එහෙත්, පොදු යුගයේ පළමුවන සියවසේ විසූ ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්, නිසැකකමින් යුක්ත ව පුරෝකථනය කළේ “නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය” යනුවෙනි. (1 කොරින්ති 15:26) මරණය නිමාවකට පත් කළ හැක්කේ කෙසේ ද? එය නිමාවකට පත් කළ හැකි වුවත්, මරණයට පත් වන ඔබේ ප්‍රේමනීයයන් සම්බන්ධයෙන් ඔබට අද දින කටයුතු කළ හැක්කේ කෙසේ ද?