මහත් වටිනාකමකින් යුත් නිධානයක් මම සොයා ගතිමි
ෆ්ලොරන්ස් විඩෝසන් පවසන පරිදි
අඳුර වැටෙත් ම, කලපුවක් අසල කූඩාරම තනා ගැනීමට අපි තීරණය කළා. කාන්තාවන් දෙදෙනෙකුට කූඩාරමක් තනා ගැනීමට එය උචිත ස්ථානයක් නොවූවත්, අපි කල්පනා කළේ එක් රාත්‍රියකට එය ආරක්ෂා සහිත ස්ථානයක් වේවි කියායි. කූඩාරම සවි කිරීමෙහි මා නියැලී සිටි අතර මාජෝරි අපේ සන්ධ්‍යා ආහාරය පිළියෙළ කළා.
කලු පැහැති ගසක කඳක් ළඟ සෙලවීමක් මා දකින විට, කූඩාරමේ අන්තිම ඇණය සවි කිරීම මා අවසන් කළා පමණි. “ඔබ දැක්ක ද ඒ කඳ සෙලවෙනවා?” යයි මම මාජොරිගෙන් ඇසුවා.
“නැහැයි,” ඇය පිළිතුරු දුන්නේ මඳක් කලබලයෙනි.
“ඇත්තට ම, එය සෙලවුණා,” කියා මම හයියෙන් කිව්වා. “මට කේතලේ දෙන්න!”
මගේ උරහිස මත තිබූ පොරව ද ඇති ව, මම කලපුව දෙසට ගමන් කළා. මා එම කඳට ගෑවෙන නොගෑවෙන තරම් ළඟා වූ විට, මිනිසෙක් ඒ පිටුපසින් එළියට ආවා!
“කලපුවේ වතුර බොන්න හොඳ ද?” මදක් වියවුලෙන් වුවද මට අසන්නට පුළුවන් වුණා.
“නැහැ, බොන්න හොඳ නැහැ, ඒත් ඔබට වතුර ඕනෑ නම්, මම ගෙනත් දෙන්නම්” යනුවෙන් ඔහු රළු ආකාරයකට පිළිතුරු දුන්නා.
මම වහාම ඔහුගේ උපකාරය ප්‍රතික්ෂේප කළා, ඒත් සමඟ ම මට මහත් සහනයක් දනවමින් ඔහු හදිසියේ ම හැරී යන්න ගියා. වෙව්ලමින්, දුවගෙන පැමිණි මා, සිදු වී තිබූ දෙය මාජොරිට කිව්වා. අපි ඉක්මනින් ම කූඩාරම ගලවා, බඩුබාහිරාදිය අහුරා, එතැනින් ඉවත් වුණා. ඒ මිනිසා ඊට ටික දවසකට කලින් හිරෙන් නිදහස් කරන ලද බව පසු ව අපට දැනගන්නට ලැබුණා.
වර්ෂ 1937 තරම් අතීතයේ රත්රන් සොයන්නන් ඕස්ට්‍රේලියාවේ රන් පිහිටි එම ප්‍රදේශයේ නිතර කූඩාරම් තනා ගත්ත ද, අපි වෙනස් ආකාරයක දෙයක් සෙවූ පිරිසක් වීමු. අප සොයමින් සිටියේ දෙවියන් වහන්සේට අනර්ඝ වූ ජනතාවයි.
මගේ පවුලේ පසුබිම
දැනට වසර සියයකට පෙර, මගේ පියා වික්ටෝරියා ප්‍රාන්තයේ පෝර්පන්ක නම් කුඩා ගමේ කම්මල්කරුවෙක්. වර්ෂ 1895 දී මා එහි උපත ලද අතර මවුන්ට් බෆලෝ නමැති කන්ද පාමුල පිහිටි, ඔවන්ස් ගඟ අද්දර වැඩිමහල් සහෝදරයන් හතර දෙනෙක් සමඟ මම හැදී වැඩුනෙමි. මගේ මව්පියන් යූනියන් සභාවට නිති පතා ගිය අතර මා ගියේ මගේ පියා පරිපාලකයා ව සිටි ඉරිදා පාසලටයි.
වර්ෂ 1909, ප්රචණ්ඩ කුණාටුවක් තිබු අවස්ථාවක, මගේ මවට හෘදයාබාධයක් ඇති වී, මගේ පියාගේ දෑතේ ම ඇය මරණයට පත් වුණා. අනතුරුව, 1914 මුල් භාගයේ දී, මගේ සහෝදරයන්ගෙන් කෙනෙක් නිවසෙන් පිට ව ගිය අතර, ඉන් පැය කිහිපයකට ඔහු ව අප වෙතට ගෙනෙනු ලැබී ය—ඒත් ඒ මළ තත්ත්වයෙනි. ඔහු සිය දිවි නසා ගෙන තිබුණි. සිය දිවි නසා ගැනීම කමා නොකරනු ලබන පාපයක් යයි කියන ලද බැවින්, නිරය ඔහු එනතෙක් බලා සිටින බවට වූ පල්ලියේ ඉගැන්වීම්වලින් අපගේ ශෝකය තවත් වැඩි විය.
එම වසරේ පසු කාලයේ දී Iවන ලෝක යුද්ධය පටන් ගත් අතර මගේ සහෝදරයන්ගෙන් දෙදෙනෙක් විදේශ හමුදා සේවය සඳහා කැඳවීම් ලැබූහ. ලේ වැගිරවීම් හා වේදනාවන් පිළිබඳ භයානක පුවත්, යෞවන කාන්තාවන් වූ අප හය දෙනෙක් ව, මගේ පියා සමඟ යොහන් නමැති බයිබල් පොත ඉගෙන ගැනීම ඇරඹීමට පෙලඹ වී ය.
සැබෑ නිධාන සෙවීම
චාල්ස් ටේස් රසල් විසින් ලියන ලද ද ටයිම් ඉස් ඇට් හෑන්ඩ් (කාලය අත ළඟ ය,) නමැති පොතේ පිටපතක් එලන් හඩ්සන් සතු ව තිබුණා. ඒ කෙරෙහි ඇගේ උනන්දුව කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වූ අපට අනුබලයක් වුණා. එම පොත ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් (ශුද්ධ ලියවිලි පිළබඳ අධ්‍යයන) නමැති කාණ්ඩ හයකින් යුත් මාලාවක එකක් බව ඇය දැනගත් විට, ඇය මෙල්බෝර්න් හි පිහිටි ඉන්ටනැෂනල් බයිබල් ස්ටූඩන්ට්ස් එසෝසියේෂන් (ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍ය සංගමය) වෙත ලිපියක් යවා, එහි ඉතිරි ඒවා ඉල්ලා සිටියා ය. සති පතා පවත්වන අපගේ පාඩමට, එහි පළමු කාණ්ඩය වූ, ද ඩිවයින් ප්ලෑන් ඔෆ් ද ඒජස් (යුගයන් පිළිබඳ ව දිව්‍ය සැලැස්ම) පාවිච්චි කිරීමට අපගේ කණ්ඩායම එකඟ විය.
ගිනිමය නිරයක් නොමැති බව සොයා ගත් විට පියාත් මාත් සතුටු වූ ප්‍රමාණය ගැන සිතා බලන්න. මගේ සහෝදරයා ගිනිමය නිරයකට සීමා වී සිටින බවට වූ භය එමගින් ඉවත් ව ගියේ ය. මළවුන් නිදා සිටින්නාක් වැනි, සිහිසන් නැති තත්ත්වයක සිටින බවටත්, වධ විඳිමින් යම් ස්ථානයක ජීවත් ව නොසිටින බවටත් වූ සත්‍යය අපි ඉගෙන ගත්තෙමු. (දේශනාකාරයා 9:5, 10; යොහන් 11:11-14) අපගේ බයිබල් පාඩම් කණ්ඩායමේ සමහරෙක්, අප ඉගෙන ගනිමින් සිටි සත්‍යයන් දේශනා කිරීමට අපගේ අසල්වැසියන් වෙතට යාමට තීරණය කළහ. නුදුරු ගෙවල්වලට අප පයින් ගියමුත්, නගරයෙන් පිට වාසය කළ අය ව හමු වීමට අපි බයිසිකල් හා රෝද දෙකේ තනි අශ්වයා බඳින බක්කි කරත්ත පාවිච්චි කළා.
ගෙයින් ගෙට සාක්ෂි දැරීමෙහි මා මුලින් ම සහභාගි වුණේ, 1918 නොවැම්බර් 11වන දින, එනම් Iවන ලෝක යුද්ධයේ සටන් විරාම දිනයේ ය. අපගේ පාඩම් කණ්ඩායමට අයත් අප තිදෙනෙක්, ද පීපල්’ස් පුල්පිට් නම් රාජ්‍යය පත්‍රිකාව බෙදා දීමට වැන්ගරටා නම් නගරයට ගමන් කළා. මුලින් සඳහන් කළ අත් දැකීම මා ලැබුවේ, ඉන් වසර කිහිපයකට පසු, හුදකලා ග්‍රාමීය පෙදෙසක දේශනා කරන්නට මා ගිය අවස්ථාවක දී ය.
වර්ෂ 1919 දී, මෙල්බෝර්න් හි පවත්වන ලද බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවකට මා ගියා. එහි, 1919 අප්‍රියෙල් 22වන දින, යෙහෝවඃ වහන්සේට කළ මගේ කැප වීම වතුර බව්තීස්මයෙන් මා සංකේතවත් කළා. එම ආත්මික භෝජනෝත්සවය, ස්වර්ග රාජ්‍යයේ ආත්මික නිධානය සඳහාත්, යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය සඳහාත් මගේ අගැයීම වැඩි වර්ධනය කළා.—මතෙව් 13:44.
සමුළුවෙන් පසු මා හැරී ගෙදර ආවේ නැහැ. මාසයක් සාක්ෂි දැරීම සඳහා පූර්ණ-කාලීන දේශිකාවක් වන ජේන් නිකල්සන් හා එක් වන්නට ඇය කළ ආරාධනාවක් මා පිළිගත්තා. අපට පැවරුම් ලැබුණේ කිං ගඟ දිගේ වාසය කළ ගොවි හා ගව ගම්මානවල දේශනා කරන්න. මෑතක දී, ද මෑන් ෆ්‍රොම් ස්නොවි රිවර් නම් චිත්‍රපටය සෑදීමට යොදා ගනු ලැබුවේ මෙම කඳුකර ප්රදේශයමයි.
වර්ෂ 1921 දී ද හාර්ප් ඔෆ් ගෝඩ් නම් කදිම බයිබල් පාඩම් ආධාරකය අපට ලැබුණා. තමාගේ ඉරු දින පාසල් පන්තියේ පාඩම් පොත හැටියට පියා මෙය පාවිච්චි කරන්නට පටන් ගත් විට, මව්පියන් බොහෝ දෙනෙක් විරුද්ධත්වය පළ කර ඉල්ලා අස්වන්නැයි ඔහුට කියා සිටියා. ඔහු වහාම එසේ කළා. ඉන් පසු අපට හෙල් (නිරය) නමැති පොත් පිංචය ලැබුණා. එහි මුල් පිටේ තිබුණේ කුතුහලය දනවන ප්‍රශ්න තුනක්, “එය කුමක් ද? එහි සිටින්නේ කවුද? ඔවුන්ට ඉන් ඉවත් වන්නට පුළුවන් ද?” එම විෂය ගැන ඉදිරිපත් කර තිබූ පැහැදිලි බයිබල් සාධක මගින් පියා කොතරම් විස්මිත ප්‍රීතියකට පත් වූයේ ද යත්, ඔහු වහාම එහි පිටපත් ගෙයින් ගෙට බෙදා දෙන්නට පටන් ගත්තා. ඔහු ඒවා සිය ගණනක් අපගේ ගමේත් අසල පිටිසර ගම්වලත් බෙදා දුන්නා.
පියා සමඟ දේශනා ගමන්
අන්තිමේ දී, රාජ්‍යයේ පණිවුඩය රැගෙන වෙනත් ප්‍රදේශවල වසන ජනයා කරා යාමට පියා මෝටර් රථයක් මිල දී ගත්තා. කම්මල්කරුවෙක් හැටියට, ඔහු වැඩියෙන් පුරුදු වී සිටියේ අශ්වයන්ට නිසා, මම රියදුරා බවට පත් වුණා. මුල දී, අපි රාත්‍රිය හෝටල්වල ගත කළා. ඉක්මනින් ම මෙය වියදම් අධික බව පෙනී ගියෙන්, අපි එළිමහනේ කූඩාරම් තනා ගන්නට පටන් ගත්තා.
මෝටර් රථයේ ඉදිරි ආසනය දිගහැර මට මෝටර් රථය තුළ නිදා ගත හැකි ආකාරයට පියා එම ආසනය සකස් කළා. පියාට නිදා ගැනීම සඳහා අපි කුඩා කූඩාරමක් තනා ගත්තා. සති කිහිපයක් මෙසේ කූඩාරම්වල වාසය කිරීමෙන් පසු, අප පෝර්පන්ක වෙතට හැරී පැමිණෙන අතර, එවිට පියා යළිත් සිය කම්මල පටන් ගන්නවා. අපගේ ඊළඟ දේශනා ගමන සඳහා වියදම පියවා ගත හැකි ලෙසින්, මුදල් ගෙවූ පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් සිටීම ගැන අපි නිතර මවිතයට පත් වුණා.
හරි ආකාර චිත්ත ස්වභාවයක් ඇති බොහෝ දෙනෙක් අපගේ බැහැ දැකීම්වලට හිතකර ලෙස ප්‍රතිචාරය දැක් වූ අතර අවසානයේ බයිබල් පාඩම් පිළිගත්තා. මුලින් පෝර්පන්ක සිට පැමිණි අපගේ කුඩා කණ්ඩායම සේවය කළ ප්‍රදේශයේ දැන් තමන්ගේ ම රාජ්‍යය ශාලා ඇති සභාවන් හතක් තිබෙනවා. ඇත්තෙන් ම, “කුඩා දේවල දවස” හෙලා දැකිය හැක්කේ කා හට ද?—සෙකරියා 4:10.
වර්ෂ 1931 දී, පියාත් මාත් විශේෂ රැස්වීමකට සහභාගි වීමට සැතපුම් 200ක පමණ දුරක් වළවල් හා ගොඩැලි සහිත පාරවල් මතින් ගමන් කළා. ‘යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්’ යන අපගේ අලුත් නාමය අප යොදා ගත්තේ එහිදීයි. ශුද්ධ ලියවිල්ලට එකඟ, මෙම අද්විතීය නාමය ගැන අප දෙදෙනා ම අතිශයින් සතුටු වුණා. (යෙසායා 43:10-12) ඒතාක් අප ව හඳුන්වන ලද, එතරම් නිශ්චිත නොවූ නාමයක් වන, “ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්” යන නමට වඩා එය අප ව වඩාත් පැහැදිලි ව හඳුන්වා දුන්නා.
දිනක් බෙතංගා නම් නගරයේ සාක්ෂි දරමින් සිටිය දී, මට එංගලන්ත සභාවේ ප්‍රාදේශීය දේවගැති මුණ ගැසුණා. ඔහු අතිශයින් කෝපයට පත් වූ අතර අප පොත් පත් බෙදා දුන් නිවෙස් සොයන්නටත්, ඔවුන් ලබා ගත් පොත් තමාට දෙන ලෙස ජනයාට බල කරන්නටත් පටන් ගත්තා. ඉන් අනතුරුව නගරය මැද ස්ථානයක ඔහු ප්‍රසිද්ධියේ එම පොත් පුළුස්සා දැමුවා. එහෙත් ඔහුගේ එම නින්දිත ක්රියාවේ ප්‍රතිඵල ඔහුට ම විඳින්නට සිදු වුණා.
සිදු වූ දෙය මා සමිතියේ ශාඛා කාර්යාලයට දැනුම් දුන් පසු, එම පූජකයා කළ දෙය දෝෂාරෝපණයට ලක් කළ විවෘත ලිපියක් මුද්‍රණය කළා. තව ද, මෝටර් රථ තිබෙන සාක්ෂිකරුවන් තවත් සාක්ෂිකරුවන් ද කැටුව එම ලිපිය දිස්ත්‍රික්කය පුරා බෙදා දීමට විධිවිධාන යොදවන ලදි. පියාත් මාත් නැවත වරක් එම නගරයට ගිය අවස්ථාවේ දී, අපට පෙරට වඩා වැඩි පොත් සංඛ්‍යාවක් බෙදා දෙන්නට පුළුවන් වුණා. “තහනම්” ප්රකාශනවල අඩංගු දෑ දැනගැනීමට නගර වැසියන් තුළ කුතුහලයක් තිබුණි.
අපගේ දේශනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඊසානදිග වික්ටෝරියා හි බයිබල් සත්‍යය පිළිගත් මුල් ම තැනැත්තා මිල්ටන් ගිබ් ය. අප ඔහු ව බැහැ දුටු අවස්ථාවේ හා එසේ කළ ඊළඟ අවස්ථාව අතර ඔහුට ඉදිරිපත් කළ සමිතියේ සියලු ම ප්‍රකාශන ඔහු හොඳින් අධ්‍යයනය කළා. අප ඔහු ව නැවත බැහැ දුටු එක් අවස්ථාවක, “මම දැන් ඔබගේ ගෝලයන්ගෙන් කෙනෙක්” යයි කියමින් ඔහු අප ව මවිතයට පත් කළා.
ඔහුගේ තීරණය ගැන මා සතුටට පත් වුවත්, “නැහැ මිල්ටන්. ඔබට මගේ ගෝලයන්ගෙන් කෙනෙක් වෙන්න බැහැ” යයි මම ඔහුට පැහැදිලි කළෙමි.
“හොඳයි, එහෙනම්, මම රදර්ෆර්ඩ්ගේ [එවකට වොච් ටවර් සමිතියේ සභාපති] ගෝලයෙක්.”
යළිත් මම ඔහුට මෙසේ පැහැදිලි කළා: “නැහැ, ඔබ රදර්ෆර්ඩ්ගේ ගෝලයෙකුත් නොවේ, මම හිතනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක් කියලා.”
මිල්ටන් ගිබ්, මා මෙතරම් දීර්ඝ කාලයක් පුරා සොයමින් සිටි මාහැඟි නිධානයන්ගෙන් එකක් බව ඔප්පු කළා. ඔහුත්, ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙකුත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වන අතර ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයෝ සභාවේ ක්‍රියාශීලී ව කටයුතු කරනවා.
විවිධ පරීක්ෂාවන්ට මුහුණ දීම
වර්ෂ 1941 ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ මත පනවන ලද තහනම තිබියදීත්, අප බයිබලය පමණක් පාවිච්චි කරමින්, දිගට ම දේශනා කළා. එවිට ඉතා බරපතළ ලෙස රෝගාතුර ව සිටි මගේ පියා ව සාත්තු කිරීමට මා ව නිවසට කැඳවනු ලැබූ විට, මගේ පුරෝගාමි, නැතහොත් පූර්ණ-කාලීන සේවයට බාධා පැමුණුනා. පසු ව මාත් රෝගාතුර වී බරපතළ ශල්‍යකර්මයක් ඕනෑ කරන තත්ත්වයකට පත් වුණා. මා යළි පූර්ණ සුවය ලැබීමට යම් කලක් ගත වුවත්, “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි” යන දෙවියන් වහන්සේගේ පොරොන්දුව මම එහිදී අත් දුටුවා. (හෙබ්‍රෙව් 13:5) ක්‍රිස්තියානි සහෝදරියක් “ෆ්ලෝ මතක තබා ගන්න, ඔබ කවදාවත් තනි වෙලා නැහැ. ඔබයි යෙහෝවඃ වහන්සේයි නිතර ම බහුතරයක්” යයි පවසමින් සැක දුරු කළා.
එවිට මගේ දයාබර පියාගේ සති 13ක අන්තිම රෝගී තත්ත්වය ඇති විය. වර්ෂ 1946 ජූලි 26වන දින ඔහු මරණින් සිය නෙත් වසා ගත්තා. ඔහු පූර්ණ ජීවිතයක් භුක්ති වින්ඳ අතර ඔහුට තිබුණේ ස්වර්ගීය බලාපොරොත්තුවකි. (පිලිප්පි 3:14) මගේ බාල වයසෙන් වැඩි ප්‍රමාණයක් පියා සමඟ ගත කළ ද මා අවුරුදු 51 දී තනි වුණා. මට මගේ අනාගත ස්වාමිපුරුෂයා ව මුණ ගැසුණේ එවිටයි. වර්ෂ 1947 දී විවාහ වූ අප එක් ව පුරෝගාමි සේවයේ නියැලුනා. එහෙත් මේ ප්‍රීතිමත් කාල පරිච්ඡේදය දීර්ඝ එකක් වුණේ නැහැ. වර්ෂ 1953 දී ඔහුට ආඝාතයක් පහර දුන් අතර ඔහු ගිලන් තත්ත්වයට පත් වුණා.
මගේ ස්වාමිපුරුෂයාගේ කථික හැකියාවට අයහපත් බලපෑම් සිදු වූ අතර සම්පූර්ණයෙන් ම වාගේ ඔහු සමඟ කථා කළ නොහැකි තත්ත්වයක් උදා වුණා. ඔහුට සාත්තු කිරීමේ දුෂ්කර ම කොටස වූයේ එයයි. ඔහු කියන්නට වෑයම් කරමින් සිටි දෙය තේරුම් ගැනීමට මානසික වශයෙන් විශාල වෙහෙසක් දරන්නට සිදු වුණා. අසල සභාවක් නොමැති හුදකලා ස්ථානයක අප ජීවත් ව සිටියත්, එම පීඩාකාරී කාලවල යෙහෝවඃ වහන්සේ අප ව තනි කළේ නැහැ. සංවිධානයේ අලුත් ම තොරතුරු මෙන් ම මුරටැඹ හා පිබිදෙව්! සඟරා මගින් ආත්මික ආහාරයේ අඛණ්ඩ සැපයුමක් මා ලබා ගත්තා. වර්ෂ 1957 දෙසැම්බර් 29වන දින, මගේ ප්‍රේමනීය ස්වාමිපුරුෂයා මිය ගියා.
ඇඩිලේඩ් හි සේවය
මා යළිත් තනි වුණා. මා කුමක් කළ යුතු ද? වසර පහකට ආසන්න විරාමයකින් පසු මා ව යළිත් පූර්ණ-කාලීන දේව සේවකයෙක් හැටියට පිළිගනු ලබයි ද? මා ව පිළිගත් නිසා, මම මගේ නිවස විකුණා, දකුණු ඕස්ට්‍රේලියාවේ අග නගරය වන, ඇඩිලේඩ් හි පුරෝගාමි සේවය අලුතෙන් පටන් ගත්තා. ඒ අවස්ථාවේ දී එහි පුරෝගාමින්ගේ අවශ්‍යතාවයක් තිබූ අතර මා ව ප්‍රොස්පෙක්ට් නම් සභාවට මාරු කරනු ලැබුවා.
නගරයේ වාහන තදබදය නිසා රිය පැදවීම ගැන මා තුළ සැකයක් තිබූ බැවින්, මම මගේ මෝටර් රථය විකුණා යළිත් බයිසිකලයක් පාවිච්චි කරන්නට පටන් ගත්තා. මට අවුරුදු 86ක් වයස් වන තුරු මා එය පාවිච්චි කළ අතර “නිල් බයිසිකලයෙන් යන කුඩා මහත්මිය” යන පටබැඳි නාමයෙන් ද මම ප්‍රසිද්ධ වුණා. කලක් යන විට මට රථවාහන තදබදයක් තුළ වැඩි භයක් දැනුණා; මගේ බයිසිකලයේ ඉදිරි රෝදය නිතර නිතර සෙලවෙන ගතියක් දැනෙන්ට පටන් ගත්තා. නරක අත් දැකීම් බොහොමයකින් පසු, බයිසිකල් පැදීම අත්හැර දැමීමට සිදු වූ අන්තිම සිද්ධියට මා මුහුණ දුන්නේ එක්තරා සවස් වරුවක මා ඉණි වැටක් මතට වැටුණ අවස්ථාවේ දී ය. ‘මේක තමා අන්තිම වාරය’ මම මට ම කියා ගත් අතර එතැන් පටන් යළිත් වරක් මා පයින් ගමන් ආරම්භ කළා.
දැනට වසර කිහිපයකට පෙර, දිස්ත්‍රික්ක සමුළුවකට ගිය විට, මගේ දෙපා වාරු නැති වූ අතර ඉන් පසු ව මම මගේ උකුල් සන්ධියේ ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන්නා. ලොකු බල්ලෙක් මා ව බිම පෙරළූ අවස්ථාව දක්වා ශල්‍යකර්මයෙන් පසු මම හොඳින් කටයුතු කළා. මේ සඳහා වැඩිමනත් ප්‍රතිකාර අවශ්‍ය කළ අතර, එවක් පටන් එහා මෙහා යාමට මට ඇවිදින ආධාරකයක උපකාරය ඕනෑ විය. මගේ මනස තවමත් ඉතා ක්රියාශීලීයි. එය ක්‍රියා කරන්නේ හරියට එක්තරා මිත්‍රයෙක් පැවසූ ආකාරයටයි. එනම්: “ඔබගේ වයසට යමින් තිබෙන ශරීරය ඔබේ යෞවන මනසත් සමඟ පෑහෙන්නේ නැතුවා වගෙයි.”
ගත වූ කාලය තුළ, ඇඩිලේඩ් හි සභාව වර්ධනය වී, විශාල වී, බෙදී යනු මා දැක තිබෙනවා. අනතුරුව, 1983, මට අවුරුදු 88ක් වයස් ව තිබිය දී, මා වික්ටෝරියා ප්‍රාන්තයේ කම්බ්රියා නගරයේ පවුලක් සමඟ වාසය කරනු පිණිස ඇඩිලේඩ් නගරයෙන් ඉවත් වූ අතර මා එහි ප්‍රීතිමත් අවුරුදු දහයක් ගත කොට ඇත. අමාරුවෙන් හෝ මා තවමත් ක්ෂේත්‍ර සේවයේ යනවා. මගෙන් නිති පතා සඟරා ගන්නා අය ව බැහැ දකින්න සභාවේ මිත්‍රයන් මා ව තමන්ගේ මෝටර් රථවලින් එක්ක යනවා. මට ඔවුන් සමඟ කථා කළ හැකි ලෙසින් මේ අය කාරුණික ව මෝටර් රථය ළඟට ම එනවා.
වසර 98කට වැඩි මගේ ජීවිත කාලය දෙස හැරී බලන විට, මා සමඟ යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කළ පක්ෂපාත ඇදහිලිවන්ත අය ව, විශේෂයෙන් මගේ පුදුම සහගත පියා ව මට ආදරයෙන් සිහිපත් කරන්න පුළුවන්. පුරෝගාමි සේවයේ මගේ හවුල්කරුවන් ව සිටි වෙනත් ඇදහිලිවන්තයන්ට වඩා වැඩි කාලයක් මා ජීවත් ව ඇති බව පෙනෙනවා. එහෙත් දෙවියන් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ ජීවන ත්‍යාගය කෙරෙහි බලාපොරොත්තුවේ හවුල්කරුවන් සමඟ නැවත එක්වීමේ දී, එය මට කොතරම් මහත් ප්‍රීතියක් වනු ඇද්ද, සැබවින් ම එය මහත් වටිනාකමකින් යුත් නිධානයකි!
[28වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1919 අප්‍රියෙල් 22වන දින මම බව්තීස්මය ලැබුවෙමි
[31වන පිටුවේ පින්තූරය]
අවුරුදු 100කරා ළඟා වන විටත්, මම තවමත් යෙහෝවඃ වහන්සේට සේවය කරමින් සිටින්නට සතුටු වන්නෙමි