තනිව නමුත් කිසිදා අත්හරිනු ලැබ නැත
ඒඩා ලෙවිස් විසින් පැවසූ පරිදි
මා නිතරම දේවල් තනිවම කිරීමට නැඹුරුවාවක් තිබූ කෙනෙක්. මා කරන සෑම දෙයක්ම කිරීමේදී, දැඩි අධිෂ්ඨානයකින් යුතුව කිරීමට ඉටාගන්නවා. වෙනත් අය සමහරක් විට මෙය හඳුන්වන්නේ, උද්දච්චකම ලෙසින්. දේවල් කෙළින්ම කතා කිරීම කොතරම් පහසු දෙයක්ද කියා මා දන්නවා, ඒ වගේම මෙය අවුරුදු ගණනාවක් පුරා මා කෙරෙහි ගැටලු ඇති කර තිබෙනවා.
එහෙත්, මගේ පෞද්ගලික අඩු පාඩුකම් නිසා, යෙහෝවඃ දෙවියන්වහන්සේ මා ප්‍රතික්ෂේප කර නොතිබීම ගැන මා කෘතඥ වෙනවා. උන්වහන්සේගේ වචනය පාඩම් කිරීමෙන්, මගේ පෞද්ගලිකත්වය සකස් කරගැනීමට හැකි වී තිබෙනවා වගේම, මේ විදිහට මම අවුරුදු 60ක පමණ කාලයක් පුරා උන්වහන්සේගේ රාජ්‍ය කටයුතුවල සේවය කර තිබෙනවා. කුඩා කාලයේ පටන්, මා අශ්වයන්ට කැමැත්තක් දැක්වූ නිසා, තරමක් දුරට මා තුළ තිබූ ඇට්ටර ගතිය පාලනය කිරීමට දෙවියන්වහන්සේ දුන් උපකාරයෙන් මට නිතරම මතක් වුණේ, අශ්වයෙකු පාලනය කිරීමට කටකලියාව කොතරම් යොදාගත හැකිද යන්නයි.
මා ඉපදුණේ 1908දී, දකුණු ඕස්ට්‍රේලියාවේ මවුන්ට් ගැම්බියර්හි පිහිටි දැකුම්කලු නිල් විලක් අසලයි. මගේ දෙමාපියන්ට කිරිඑළදෙනුන් සහිත ගොවිපොළක් තිබුණ අතර, අටදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දියණිය වූයේ මමයි. අපේ පියා මියගියේ අප සියල්ලන් කුඩා කාලයේ. ඒ නිසා කිරි පට්ටියේ වැඩ කටයුතුවල වැඩි වගකීමක් ගන්ට සිදුවුණේ මට, ඇයි කිව්වොත්, පවුලේ අයට යමක් උපයාගැනීමට නිවසින් පිටව වැඩ කරන්ට මගේ අයියලා දෙදෙනාට සිදුවුණා. ගොවිපොළේ ජීවිතය ඉතා අමාරු, වෙහෙස ගෙන දෙන එකක් වුණා.
මට මුලින්ම බයිබල් සත්‍යය හමුවීම
අපේ පවුලේ අය ගියේ ප්‍රෙස්බිටේරියන් පල්ලියට, අප නිතිපතා එහි මෙහෙයන්වලට ගියා. මා ඉරිදා පාසැලේ ගුරුවරියක් බවට පත්වූ අතර, ආත්මිකව හා සදාචාර වශයෙන් හරි බවට මා විශ්වාස කළ දේ ළමුන්ට ඉගැන්වීමේ බැරෑරුම් වගකීම මා භාරගත්තා.
වර්ෂ 1931දී, මගේ සීයා මියගියා, ඔහු සතුව තිබූ දේවල් අතර, වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි ජේ. එෆ්. රදෆර්ඩ් විසින් ලියන ලද පොත් කිහිපයක් තිබුණා. මා ද හාප් ඔෆ් ගෝඩ් සහ ක්‍රිඒෂන් යන පොත් කියවන්ට ගත්තා. මා ඒවා කියවන්ට කියවන්ට, මා විශ්වාස කළ දේ සහ මවිසින් ළමුන්ට උගන්වමින් සිටි දේවල්, බයිබලයට අනුකූල නොවන බව දැනගත් මා වඩාත් පුදුමයට පත්වුණා.
මිනිස් ආත්මය අමරණීය නොවන බවත්, මියයන විට වැඩිදෙනෙක් ස්වර්ගයට නොයන බවත්, දුෂ්ටයන් සඳහා සදාකාල නිරාගින්නක දුක් විඳීමක් නැති බවත් දැනගැනීමෙන් මා කම්පනයට පත්වුණා. සතිපතා ඉරිදා සබත් පැවැත්වීම, ක්‍රිස්තියානි අවශ්‍යතාවක් නොවන බව දැනගැනීමත් මට මහ පුදුමයක් වුණා. මෙනිසා මට දැන් බරපතළ තීරණයකට මුහුණපෑමට තිබුණා: ක්‍රිස්තියානි ලෝකයේ සාම්ප්‍රදායික ඉගැන්වීම්වලට ඇලී සිටිනවාද, නැත්නම් බයිබල් සත්‍යය ඉගෙනගැනීමට පටන්ගන්නවාද යන්නයි. ප්‍රෙස්බිටේරියන් පල්ලිය සමඟ තිබූ ඇසුර නවතා දැමීමට තීරණය කිරීමට මට වැඩි කලක් ගත වුණේ නැහැ.
දැන් ඇත්තටම තනිවී
මා පල්ලියෙන් අස්වීමට සහ තවදුරටත් ඉරිදා පාසැලේ නොඉගැන්වීමට අදහස් කරන බව දැනුම් දුන් විට, මගේ පවුලේ අය, මිත්‍රයන් සහ පල්ලියට සම්බන්ධ අය කොහෙත්ම කැමති වුණේ නැහැ. නඩුකාර රදෆර්ඩ්ගේ මිනිස්සු යනුවෙන් හඳුන්වනු ලැබූ අය සමඟ මා සම්බන්ධ වෙමින් සිටින බව ඔවුන් දැනගත් විට, ඉන් සිදුවුණේ ද්වේෂසහගත ඕපාදූපවලට තවත් ඉන්ධන එකතු වීම පමණයි. මාව ඇත්තටම නෙරපනු ලැබුවේ නැහැ, මගේ පවුලේ අය සහ හිටපු මිතුරු මිතුරියන්ගෙන් වැඩිදෙනෙක්, මාව කොන් කළා.
මා කියවමින් සිටි පොත්වල ලැයිස්තු ගත කොට තිබූ ශුද්ධ ලියවිලි මා වඩාත් අධ්‍යයනය කර පරීක්ෂා කරත්ම මට වඩාත් පෙනී ගියේ, ප්‍රසිද්ධියේ දේශනා කිරීමේ අවශ්‍යතාවයි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තමන්ගේ ප්‍රසිද්ධ දේවසේවයේ කොටසක් හැටියට ගෙයින් ගෙට යන බව මා දැන සිටියා. එහෙත්, ඒ වකවානුවේ අපේ දිස්ත්‍රික්කයේ සාක්ෂිකරුවන් සිටියේ නැහැ. එම නිසා, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට මට කිසිවෙක් දිරිගැන්වූයේවත්, එය කරන ආකාරය පෙන්වූයේවත් නැහැ. (මතෙව් 24:14) මට මහා තනිකමක් දැනුණා.
කෙසේවෙතත්, අන්‍යයන්ට දේශනා කිරීමට බයිබලයේ සඳහන් නියෝගය මගේ කන්වල රැව්පිළිරැව් දුන්නා. මා කෙසේ හෝ දේශනා කළ යුතුය කියා මා තීරණය කළා. බොහෝ යාච්ඤා කළායින් පසු, මා තීරණය කළා, අසල්වැසි නිවෙස්වලට ගොස්, මා අධ්‍යයනය කොට ඉගෙනගෙන තිබූ දේවල් නිකම් ඔවුන්ට පවසා, ඔවුන්ගේම බයිබල්වලින් මෙම දේවල් ඔවුන්ට පෙන්වීමට. මා පළමුවෙන්ම ගියේ, මා කලින් සිටි ඉරිදා පාසැලේ අධිකාරිවරයාගේ නිවසට. මා පල්ලිය අතහැර යෑම ගැන ඔහුගේ උදාසීන ප්‍රතිචාරය සහ නිෂේධාත්මක වචන නිසා එය කොහෙත්ම දිරිගැන්වෙන ආරම්භයක් වුණේ නැහැ. එහෙත්, මා ඔහුගේ නිවසින් පිටවෙත්ම, වෙනත් නිවෙස්වලට ගොස් කතා කරන්ට මට මහත් ජ්වලිතයක් හා අමුතු අභ්‍යන්තර ශක්තියක් දැනුණා.
ඇත්තෙන්ම කිසිම ඍජු විරෝධතාවක් තිබුණේ නැහැ, නමුත්, මා කලින් සිටි පල්ලියේ ඇසුරු කළ අයව බැහැදකින්ට ගිය විට, ඔවුන් පොදුවේ දැක්වූ උදාසීනතාව ගැන මට පුදුම හිතුණා. මා පුදුමයට පත් කරමින්, බලාපොරොත්තු නොවූ අන්දමින්, මගේ ලොකු අයියාගෙන් පැමිණි ඉතා තද විරුද්ධවාදීකම් මා අද්දුටු විට, මට මතක් වුණේ යේසුස්වහන්සේගේ මෙම වචනයි: “මවුපිය සහෝදර නෑමිත්රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය. . . . මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය.”—ලූක් 21:16, 17.
මා බාල අවදියේ පටන්, පළපුරුදු අශ්වාරෝහිකාවක් වී සිටියා, එනිසා, මිනිසුන්ගේ නිවෙස්වලට ළඟා විය හැකි ඉක්මන්ම මාර්ගය අසුපිටින් යෑම බව මා තීරණය කළා. මේ නිසා මට පිටිසරබද පළාත්වලටත් යෑමට හැකි වුණා. කෙසේවෙතත්, එක් සවස් යාමයක, මගේ අශ්වයාගේ පාද පටලැවී, ලිස්සනසුලු පාරක් මත වැටුණා, මේ නිසා මගේ හිස් කබලේ දැඩි තුවාල ඇති වුණා. මා ජීවත් නොවනු ඇතැයි කියා කාලයක් යන තුරු මට භයක් තිබුණා. එම වැටීමෙන් පසුව, පාරවල් තෙතබරිතව හෝ ලිස්සනසුලුව තිබුණොත්, මා ගමන් කළේ, අශ්වයා බැඳි සල්කි රථයෙන්.a
සංවිධානය සමඟ සම්බන්ධ වීම
මගේ හදිසි අනතුරට ටික කලකට පසුව, දැන් පුරෝගාමීන් ලෙස හැඳින්වෙන පූර්ණ-කාලීන දේශනාකරුවන් කණ්ඩායමක්, මවුන්ට් ගැම්බියර් දිස්ත්‍රික්කයට පැමිණියා. මෙසේ, පළමු වතාවට, සෙසු ඇදහිලිවන්තයන් සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්ට මට හැකිවුණා. පිටව යෑමට පෙර ඔවුන් මා දිරිගන්වමින්, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට ලියා, වඩාත් සංවිධානාත්මක අයුරින් ප්‍රසිද්ධ දේශනා වැඩයේ හවුල් විය හැකි ආකාරය විමසා බලන මෙන් ඉල්ලා සිටියා.
සමිතියට ලිවීමෙන් පසු, පොත්ද, පොත් පිංචද, නිවෙස්වලදී මාවම හඳුන්වා දීම සඳහා මුද්‍රිත හැඳුනුම් කාඩ්පතක්ද මට ලැබුණා. ශාඛා කාර්යාලය සමඟ තැපැල් මාර්ගයෙන් සම්බන්ධ වීම නිසා, මගේ ආත්මික සහෝදර සහෝදරියන් සමඟ මඳක් සමීප බවක් මට දැනුණා. එහෙත්, මෙම පුරෝගාමී කණ්ඩායම ඊළඟ නගරය කරා ගිය විට, මට පෙරටත් වඩා තනිකමක් දැනුණා.
මා නිතිපතා සෑම දිනකම ප්‍රධාන වශයෙන් අශ්වයා බැඳි සල්කි රථයෙන් සාක්ෂිදැරීමට යෑමේ ප්‍රතිඵලයක් වශයෙන්, මා දිස්ත්‍රික්කය පුරා ප්‍රසිද්ධ වුණා. ඒ අතරම, මගේ ගොවිපොළේ වැඩ කටයුතු කරගන්ට මට පුළුවන් වුණා. මේ වන විට, මගේ පවුලේ අය, මාහට පෑ විරුද්ධකම් නවතා දමා තිබූ අතර, මෙම දිනචරියාවට බාධා කිරීමට උත්සාහ කළේ නැහැ. මේ විදිහට මා තනි වූ, බව්තීස්ම නොවූ, ශුභාරංචි ප්‍රකාශිකාවක හැටියට අවුරුදු හතරක් සේවය කළා.
සමුළුව සහ අන්තිමේදී බව්තීස්මය
වර්ෂ 1938 අප්‍රියෙල් මාසයේ සහෝදර රදෆර්ඩ් ඕස්ට්‍රේලියාවට ආවා. පූජක පංතියේ දැඩි විරෝධතාව නිසා, කුලියට දීමට නියමිතව තිබූ සිඩ්නි නගර ශාලාව අවලංගු කරනු ලැබුවා. කෙසේවෙතත්, අන්තිම මොහොතේදී, ක්‍රීඩාංගන භූමිය පාවිච්චි කිරීමට අවසර ලැබුණා. මන්ද, මෙම විශාල ක්‍රීඩාංගන භූමියේ තවත් දහස් ගණනකට ඉඩ කඩ තිබෙන නිසා සැලසුම් වෙනස් කරන්ට සිදුවීම ඇත්තටම ප්‍රයෝජනදායක බවට ඔප්පු වුණා. මීට 12,000ක් පමණ පැමුණුණා, පැමිණි අයගෙන් බොහෝදෙනෙක්, අපේ රැස්වීමට පූජක පංතිය පෙලඹෙවූ විරෝධතාව නිසා පැමිණි බව පෙනෙන්ට තිබුණා.
සහෝදර රදෆර්ඩ්ගේ පැමිණීමත් සමඟම, සිඩ්නි නගරය තදාසන්නයේ දින කිහිපයක සමුළුවක් පැවැත්වුණා. අන්තිමේදී මම මගේ ජීවිතය වතුර බව්තීස්මය මගින් යෙහෝවඃවහන්සේට කැප කළේ එහිදීයි. මුළු මහත් ඕස්ට්‍රේලියානු මහද්වීපය පුරා විසිර සිටි සිය ගණනක් සහෝදර සහෝදරියන් සමඟ අන්තිමේ එක්රැස්වීමෙන් මා අද්දුටු ප්‍රීතිය ඔබට සිතාගත හැකිද?
ආපසු මවුන්ට් ගැම්බියර් කරා
යළිත් නිවස කරා යෑමේදී, මට මහත් තනිකමක් දැනුණා, එහෙත්, රාජ්‍ය සේවයේ මට කළ හැකි දේ පෙරට වඩා කරන්ට මා තවත් අධිෂ්ඨාන කරගත්තා. ඊට වැඩිකල් යෑමට මත්තෙන්, මා හ්යු, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් හතරදෙනා ඇතුළු ඇග්නිව් පවුල දැනහඳුනා ගත්තා. ඔවුන් ජීවත් වුණේ, මවුන්ට් ගැම්බියර් සිට හරියටම සැතපුම් 30ක් එපිටින් පිහිටි මිලිසන්ට් නමැති කුඩා නගරයේ. ඔවුන් සමඟ නිතිපතා බයිබල් පාඩමක් පැවැත්වීමට, අශ්වයා බැඳි සල්කි රථයෙන් යන්ටයි එන්ටයි මා සැතපුම් 30ක් ගමන් කරනවා. ඔවුන් සත්‍යය වැළඳගත් විට, මගේ තනිකම නැති වී ගියා.
කෙටි කාලයකදී, සංවිධානාත්මකව සාක්ෂිදැරීම සඳහා අපි කණ්ඩායමක් සාදාගත්තා. ඉන්පසු, මගේ මව උනන්දුවක් දැක්වීමට පටන්ගත් අතර අලුතෙන් සෑදුණු කණ්ඩායම සමඟ පාඩමට යෑමට සහ ඒමට සැතපුම් 60ක ගමනට මා සමඟ ඇය එකතු වුණා. මව බව්තීස්ම වීමට කෙටි කලකට පෙර වුවත්, එදා පටන්, ඇය සැමවිටම දිරිගන්වනසුලු මෙන්ම උපකාරවත් කෙනෙකු වුණා. මා තවදුරටත් තනි වුණේ නෑ!
අපේ කුඩා කණ්ඩායම, ඇග්නිව් සහෝදරියන් තුන්දෙනා වන ක්‍රිස්ටල්, එස්ටෙල් සහ බෙටී මෙන්ම මා ඇතුළු පුරෝගාමීන් හතරදෙනෙක් බිහි කළා. පසුව, 1950 ගණන්වල මුල් භාගයේදී, සහෝදරියන් තුන්දෙනාම වොච්ටවර් ගිලියඩ් පාසැලට සහභාගි වුණා. ඔවුන්ට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මිෂනාරිවරියන් ලෙස සේවය කිරීමට පැවරුම් ලැබුණු අතර, ඔවුන් තවමත් එහි විශ්වාසවන්තව සේවය කරනවා.
වර්ෂ 1941දී, ඕස්ට්‍රේලියාවෙහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරනු ලැබුවා. එබැවින් අපි විගස ක්‍රියාත්මක වුණා. අප දේවසේවයේදී භාවිත කළ සියල්ල—පොත් පත්, කුඩා ප්‍රමාණයේ ශබ්දවාහිනී යන්ත්‍ර, තැටිගත කළ බයිබල් පොත් පත් යනාදි දෑ—ලොකු ඇඳුම් පෙට්ටියක ඇසුරුවා. ඉන්පසු අප ඇඳුම් පෙට්ටිය මඩුවක තබා අතිවිශාල පිදුරු ප්‍රමාණයකින් එය සැඟවෙන සේ වැසුවා.
තහනම තිබුණත්, නිවැසියන්ට කතා කරන විට බයිබලය පමණක් යොදාගනිමින්, නමුත් උපායශීලීව අපි අපගේ ගෙයින්-ගෙට සේවය දිගටම කරගෙන ගියා. මගේ අශ්වයාගේ සෑදලය යට මා සඟරා සහ පොත් පිංච සඟවන්ට වූ අතර, රාජ්‍ය පණිවිඩයට අව්‍යාජ උනන්දුවක් තිබෙන විට පමණක් ඒවා පිටතට ගන්නවා. අවසානයේ, 1943 ජූනි මාසයේදී, තහනම ඉවත් කළ අතර, අපට නැවතත් නිදහසේ පොත් පත් ඉදිරිපත් කිරීමට හැකිකම ලැබුණා.
නව පැවරුම්
වර්ෂ 1943දී මා පුරෝගාමී සේවකයෙකු ලෙස සේවය කිරීමට පටන්ගත් අතර ඊළඟ වසරේදී මා වෙනත් පැවරුමක් සඳහා මවුන්ට් ගැම්බියර් වෙත ගියා. පළමුව, ස්ට්රාත්ෆීල්ඩ්හි සමිතියේ ශාඛා කාර්යාලයක කෙටි කාලයකට සේවය කිරීමට ආරාධනාවක් ලැබුණා. ඉන්පසු නිව් සවුත් වේල්ස් සහ බටහිර වික්ටෝරියාවේ කුඩා නගර දෙකක සේවය කිරීමට පැවරුම් ලැබුණා. කෙසේවුවද, මට ලැබුණු ඉතා ආශීර්වාද ලත් පැවරුම්වලින් එකක් වුණේ මෙල්බර්න් නගරයේ විශාල සභාවක් සමඟ සේවය කිරීමය. කුඩා නගරයක හැදීවැඩුණු මා එහි සේවය කිරීමෙන් බොහෝ දේ ඉගෙනගත්තා.
වික්ටෝරියා දිස්ත්‍රික්කයේ, ගිබ්සන් ප්‍රදේශයේදී ලද මගේ පැවරුමේදී, මගේ සහකාරිය හෙලන් ක්‍රෝෆර්ඩ් සහ මා බොහෝ බයිබල් පාඩම් පැවැත්වූ අතර, කෙටි කාලයකදී සභාවක් ගොඩනැඟෙනවා දැක්කා. එම දිස්ත්‍රික්කයට විශාල ගම්බද ප්‍රදේශයක් තිබුණ අතර, ප්‍රවාහනය සඳහා අපට පරණ, විශ්වාසයක් තැබිය නොහැකි මෝටර් රථයක් තිබුණා. ඇතැම්විට අප රිය පදවාගෙන ගිය නමුත්, බොහෝවර අපට එය තල්ලු කරගෙන යෑමට සිදුවුණා. අශ්වයෙක් ලැබෙනවා නම් කියා මා මොන තරම් ආශාවෙන් සිටියාද! ඇතැම්විට, මට සැබවින්ම මෙසේ පැවසීමට හැකි වුණා: “අශ්වයෙක් දෙනවා නම් (රාජ්‍යය හැරෙන්න) ඕනෑම දෙයක් දෙන්න මම ලෑස්තියි!” අදදින එම දිස්ත්‍රික්කයේ බොහෝ නගරවල, ශක්තිමත් සභා සහ කදිම රාජ්‍ය ශාලා තිබෙනවා.
වර්ෂ 1969දී, ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරාවලට මට පැවරුමක් ලැබුණා. මෙය අභියෝගාත්මක සහ නොයෙක් තත්වයන් යටතේ සාක්ෂිදැරීමට ප්‍රස්තා උදා කළ බැවින්, අපට බොහෝ අවස්ථාවල බොහෝ විදේශ තානාපති කාර්යාලවල නිලධාරීන්ව මුණගැසීමට හැකි වුණා. මා තවමත් මෙහි සේවය කරන නමුත්, මෑත වසරවලදී, නගරයේ කාර්මික ප්‍රදේශයෙහි සාක්ෂිදැරීමට මා අවධානය යොමු කර තිබෙනවා.
වර්ෂ 1973දී, එක්සත් ජනපදයේ විශාල සමුළුවලට සහභාගි වීමට මට ප්‍රස්තාව ලැබුණා. 1979දී සමුළු නියෝජිතයෙකු වශයෙන් ඉශ්රායෙලය සහ යොර්දානයට යෑමට ලැබීම මගේ ජීවිතයේ තවත් වැදගත් සිද්ධියක් වුණා. බයිබලයේ සඳහන් ස්ථාන ඇතිසැටියෙන් බලාගැනීමට ලැබීමත්, එහිදී සිදුවූ දේ ගැන මෙනෙහි කිරීමට ලැබීමත්, ඇත්තෙන්ම හද දනවන අද්දැකීමක්. මළ මුහුදේ ලුණු සහිත වතුරේ පාවෙන විට මොන වගේද කියා අද්දැකීමට මට හැකි වුණ අතර, යොර්දානයේ පෙට්රා වෙත අප යන අතරේදී යළිත් අසු පිට යෑමට මට අවස්ථාව උදාවුණා. විසිරී තිබුණු මෙන්ම ගම්බද ප්‍රදේශවලට රාජ්‍ය පණිවුඩය සමඟින් යෑමට, අශ්වයන් මට උපකාර කළ ඒ මුල් දවස් මගේ මතකයට ආවා.
දිගටම පූර්ණ-කාලීන සේවයේ
වයසට යමින් සිටියත් පුරෝගාමී සේවා පාසැල සහ චාරිකා එක්රැස්වීම් සමඟ පැවති පුරෝගාමී රැස්වීම් මෙන්ම සංචාරක අවේක්ෂකයන්ගෙන් මා නොකඩවා ලද දිරිගැන්වීම වැනි විශේෂ වරප්‍රසාද මගින් පූර්ණ-කාලීන සේවයේ නිරතව සිටීමට තිබූ ආශාව ජීවමානව පැවතුණා. මට තනිව සිටීමට තිබූ කාලය අතීතයේ දෙයක් බවට පත්වීමට, යෙහෝවඃවහන්සේ කාරුණිකව වගබලාගෙන ඇතැයි කියා මට පැවසිය හැකියි.
මා දැන් 87වන වියේ පසුවන අතර, යෙහෝවඃවහන්සේට වසර 60ක් පමණ සේවය කිරීමෙන් පසු, නිර්භීත මෙන්ම බලවත් ලෙස නිදහස භුක්තිවිඳිමින් සිටින අය සඳහා දිරිගැන්වීමේ වචනයක් පැවසීමට මට තිබෙනවා: සැමවිටම යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීමට යටත් වන්න. අපගේ නිර්භීතකම පාලනය කරගැනීමටත්, අපට බොහෝවිට තනිකමක් දැනිය හැකි වුවත්, උන්වහන්සේ අපව කිසිදා අත් නොහරින බවට නිරතුරුවම මතක් කරගැනීමටත් යෙහෝවඃවහන්සේ උපකාර කරනසේක.
[පාදසටහන්වල]
a සල්කි යන නමින් හැඳින්වෙන මෙය, සැහැල්ලු ද්වි රෝද රථයකි.