මිථ්‍යා ලබ්ධි—ඒවා මොනවාද?
දිනය 1993 පෙබරවාරි 28—සියයකට වැඩි සංඛ්‍යාවකින් යුත් නීතිය ක්‍රියාත්මක කරවන බලධාරින් පිරිසක්, පිරිමි, ගැහැනු හා ළමුන් දුසිම් ගණනාවක් වාසය කරන ගොඩනැගිලි සංකීර්ණයකට කඩා වැදුනාහ. ඔවුන් එසේ කළේ නීතිවිරෝධි අවි සෙවීමටත්, සැක කළ අපරාධකරුවෙක් අත්අඩංගුවට ගැනීමටත්ය. කෙසේවෙතත් එම අවස්ථාවේදී, ගොඩනැගිලි තුළින් උණ්ඩ වර්ෂාවක් තමන් දෙසට ඇදී ආ විට, එය ඇත්තටම බලධාරින් බලාපොරොත්තු නොවූ දෙයක් විය. ඔව්හුද පෙරළා වෙඩි තැබූහ.
මෙම ගැටුමෙන් දසදෙනෙක් මරණයට පත්වූහ, කීපදෙනෙකුට තුවාල සිදු විය. ඊළඟ දින 50 තුළ, රජයේ බලධාරින් සිය ගණනක් කුඩා යුද්ධයක් කිරීමට ප්‍රමාණවත් තුවක්කු සමඟින් එම සංකීර්ණය වැටලූහ. ජය පරාජයකින් තොර මෙම ගැටුම නිමාවට පත් වූයේ, අඩු තරමින් දරුවන් 17දෙනෙක්ද ඇතුළුව, 86දෙනෙක් මරණයට පත් කරමිනි.
එහෙත් සතුරාව සිටියේ කවුද? මත් ද්‍රව්‍ය-වෙළෙඳාම හා සම්බන්ධ අවි ගත් පිරිසක්ද? ගරිල්ලා කණ්ඩායමක්ද? නැත. “සතුරා” හැටියට සිටියේ ආගමික බැතිමතුන් බව, එනම් ලබ්ධියක සාමාජිකයන් කණ්ඩායමක් බව ඔබ දැනටමත් දන්නවා වන්නට පුළුවන. ඔවුන්ගේ ඛේදවාචකය එක්සත් ජනපදයේ, මධ්‍යම ටෙක්සස් තැනිතලාවේ තිබූ අප්‍රකට ප්‍රජාවක් ජාත්‍යන්තර අවධානයට ලක් වීමට හේතු විය. ජනසන්නිවේදන මාධ්‍යයන්, ශ්‍රද්ධාවෙන් උන්මත්තක වූ ලබ්ධිවල අන්තරාව පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ගුවන් තරංග ඔස්සේද මුද්‍රිත පිටු තුළින්ද අඛණ්ඩව වාර්තා, විග්රහයන් හා අදහස් පළ කිරීමත් මෙමගින් සිදු විය.
සිය නායකයන් විසින් ලබ්ධියේ සාමාජිකයන්ව කලින් මරණයට පත්කළ අවස්ථාවන් මෙහිදී පොදු ජනයාට සිහිගන්වනු ලැබීය: එනම්, 1969දී කැලිෆෝනියාවේ සිදුවූ මැන්සන් ඝාතන; 1978දී ඝයානාවේ, ජෝන්ස්ටවුන්හිදී ලබ්ධි සාමාජිකයන් පුළුල් පරිමාණයෙන් සියදිවි හානි කර ගැනීම; සාමාජිකයන් 32දෙනෙකුගේ මරණය සිදුකරමින්, කොරියාවේ ලබ්ධි නායක පාර්ක් සූන්-ජා විසින් මෙහෙයවන ලද මිනීමැරුම්-ආත්මඝාතය යනාදියයි. මොවුන්ගෙන් වැඩි දෙනෙක් තමන් ක්‍රිස්තියානින් යයිද බයිබලය විශ්වාස කරනවා යයිද කියා සිටීම සැලකිල්ලට ගැනීම වටී.
දේව වචනය හැටියට බයිබලයට ගෞරව කරන බොහෝ දෙනෙක්, මෙම ලබ්ධීන් විසින් ශුද්ධ ලියවිලි ලජ්ජා රහිත වූ වැරදිසහගත ආකාරයකට භාවිතා කිරීම පිළිබඳව කම්පනයට පත්ව සිටීම, තේරුම් ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ලබ්ධිවල ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටීමේ හා ඒවායේ අනතුරුදායක පිළිවෙත් එළිදරව් කිරීමේ අරමුණ සඳහා සංවිධාන සිය ගණනක්, ගත වූ කාලය තුළ පිහිටුවා ඇත. ලබ්ධිවල කල් ක්‍රියාවන් පිළිබඳ විශේෂඥයන් අනාවැකි පළ කරමින් කියා සිටින්නේ, වසර කීපයකින් උදා වන නව දහස් වසර ලබ්ධිවල වර්ධනය වේගවත් කරනු ඇති බවයි. ලබ්ධිවලට විරුද්ධ වූ කණ්ඩායම් පවසන ආකාරයට අදහස් පළ කළ එක්තරා පුවත් සඟරාවක් කියා සිටියේ, “ඔබගේ ශරීරය උදුරා ගැනීමට, ඔබගේ මනස පාලනය කිරීමට, ඔබගේ ආත්මය දූෂ්‍ය කිරීමට සූදානමින් බලා සිටින” ලබ්ධීන් දහස් සංඛ්‍යාවක් පවතින බවය. “අවිවලින් සන්නද්ධව සිටින්නේ මින් ස්වල්ප දෙනෙකු වුවද, වැඩි ප්‍රමාණයක් අනතුරුදායක යයි සලකනු ලැබේ. ඒවා ඔබව මුළා කොට, ඔබගේ ධනය හා වත්කම් පැහැර ගෙන, ඔබගේ විවාහ කටයුතු හා භූමදාන කටයුතු සිදු කරනු ඇත.”
ලබ්ධියක් යනු කුමක්ද?
“ලබ්ධිය” යන පදයෙහි අර්ථය සහමුලින් නොදන්නා බොහෝ දෙනෙක් විසින් ලිහිල්ව භාවිතා කරනු ලැබේ. ව්‍යාකූල තත්ත්වයක් ඇති වීම වළක්වාලීමට, ඇතැම් දේවධර්මාචාරිහු මෙම වදන භාවිතා කිරීමෙන් වැළකී සිටින්නාහ.
“සම්ප්‍රදායිකව ගත් කල, ලබ්ධිය යන පදය ඕනෑම ආකාරයක නමස්කාරයකට හෝ පූජාචාරයකට යොමු දැක්වූ” බව ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පැහැදිලි කරයි. එම මිනුම් දණ්ඩෙන් ගත් කල, සියලුම ආගම් ලබ්ධීන් හැටියට වර්ග කළ හැකිය. කෙසේවෙතත්, අද දවසේ පවතින පොදු භාවිතයෙන් ගත් කල, “ලබ්ධිය” යන වදනට වෙනත් අර්ථයක් ඇත. එම විශ්වකෝෂයම සඳහන් කරන්නේ, “එක්දහස් නවසිය ගණන්වල මැද භාගයේ පටන්, ලබ්ධි පිළිබඳ ප්‍රචාරය එම වදනේ අර්ථය වෙනස් කර ඇති” බවය. “අද දින, එම පදය අදාළ කරනු ලබන්නේ අලුත් මෙන්ම සාධර්මික හෙවත් ලෝක සම්මතයට එකඟ නොවූ ධර්ම ඉගැන්වීම් හා පිළිවෙත්වලට අනුබල දෙන්නාවූ ජීවමාන නායකයෙකුව අනුගමනය කරන කණ්ඩායමකටයි.”
එම වදනේ ජනප්‍රිය භාවිතය ස්ථිර කරමින්, නිව්ස්වීක් සඟරාව පැහැදිලි කළේ, ලබ්ධි “සාමාන්‍යයෙන් කුඩා, අන්තවාදී දෘෂ්ටීන් දරන කණ්ඩායම්” බවත්, එහි “සාමාජිකයන් සිය අනන්‍යතාව හා අරමුණ අත්කර ගන්නේ තනි, උද්යෝගය කලඹවන තැනැත්තෙකුගෙන්” බවත්ය. සමානාකාරයෙන්, ඒෂියාවීක් සඟරාව සඳහන් කරන්නේ “[ලබ්ධිය] යන පදය තනිව ගත්කල අපැහැදිලි වුවද, එය සාමාන්‍යයෙන් තමාම දෙවියන්වහන්සේගේ පුද්ගලාරෝපණයක් යයි බොහෝ විට කියා ගන්නාවූ, උද්යෝගය කලඹවන නායකයෙක් වටා ගොඩනගන ලද අලුත් ආගමික ධර්මයක් අඟවන” බවය.
අමෙරිකා එක්සත් ජනපදයේ, මේරිලන්ඩ් ප්‍රාන්තයේ 100වන සම්මේලනයේ හවුල් සම්මුතියක භාවිතා කරන ලද භාෂාවේ, ලබ්ධිය යන යෙදුමට නින්දිත ඇඟවීමක්ද ඉදිරිපත් කෙරේ. එම සම්මුතිය පවසන්නේ “ලබ්ධියක් යනු පුද්ගලයෙකුට නැතහොත් සංකල්පයකට වුවමනාවට වඩා කැපවීමක් පෙන්වන්නාවූ කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් බවත්, එය එහි නායකයාගේ ඉලක්කයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැමති කරවා ගැනීමේ හා පාලනය කිරීමේ සාරධර්මයට පටහැනි මෙන්ම ප්‍රයෝගයෙන් බලපෑම් කිරීමේ ක්‍රම යොදා ගන්නා” බවත්ය.
පැහැදිලිවම, ලබ්ධි පොදුවේ තේරුම් ගෙන ඇත්තේ අද දවසේ පිළිගෙන ඇති සාමාන්‍ය සමාජ හැසිරීම සමඟ ගැටෙන්නා වූ උන්මූල හෙවත් පෙරලිකාර දෘෂ්ටීන් හා පිළිවෙත් ඇත්තාවූ ආගමික කණ්ඩායම් හැටියටයි. සාමාන්‍යයෙන් ඔවුහු තමන්ගේ ආගමික ක්‍රියාකාරකම් පවත්වන්නේ රහසිගතවය. මෙම ලබ්ධිමය කණ්ඩායම් බොහොමයක් ඇත්තෙන්ම ප්‍රජාවන් හැටියට වෙන්ව වාසය කරත්. තමා නායකයා යයි කියා ගන්නා මනුෂ්‍ය නායකයෙකුට ඔවුන්ගේ කැපවීම, සාමාන්‍යයෙන් කොන්දේසි විරහිත හා පූර්ණ එකක් වන්නේය. බොහෝවිට මෙම නායකයෝ දිව්‍යමය වශයෙන් තෝරාගනු ලැබූ බව, නැතහොත් තමන්ම ස්වභාවයෙන් දිව්‍යමයව සිටින බවට පවා පුරසාරම් දොඩති.
සමහර අවස්ථාවන්හි, ලබ්ධි විරෝධී සංවිධාන හා ජනමාධ්‍ය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්වද ලබ්ධියක් හැටියට සඳහන් කර ඇත්තාහ. මෑත කාලීන පුවත් ලිපි ගණනාවක් සාක්ෂිකරුවන්ව සැක කටයුතු පිළිවෙත් සඳහා සුප්‍රකට කණ්ඩායම් සමඟ එක්කර ඇත. එහෙත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව කුඩා අන්තවාදී දෘෂ්ටීන් දරන කණ්ඩායමක් හැටියට සඳහන් කිරීම, හරිද? ලබ්ධි සාමාජිකයෝ බොහෝවිට තමන්ව මිත්‍රයන්ගෙන්, පවුල්වලින්, මෙන්ම පොදුවේ සමාජයෙන් පවා වෙන්කර ගනිති. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් තත්ත්වය එයද? සාමාජිකයන්ව බඳවා ගැනීමට සාක්ෂිකරුවෝ කපටි හා මානව ගති සිරිත්වලට පටහැනි ක්‍රම භාවිතා කරමින් සිටිත්ද?
සිය අනුගාමිකයන්ගේ මනස් පාලනය කිරීමට ප්‍රයෝගයෙන් බලපෑම් කිරීමේ ක්‍රම යොදා ගන්නා බවට ලබ්ධි නායකයෝ නම් දරා ඇත්තාහ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මෙය කරන බවට කිසියම් සාක්ෂි තිබේද? ඔවුන්ගේ නමස්කාරය රහසිගතභාවයෙන් වැසී තිබේද? ඔවුහු අනුගමනය කරමින් හා ගරු කොට සලකමින් සිටින්නේ මනුෂ්‍ය නායකයෙකුවද? කොටින්ම කියනවා නම්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලබ්ධියක්ද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Jerry Hoefer/Fort Worth Star Telegram/Sipa Press