රහස්‍යභාවය ස්වාමීන්ගේ නාමයෙන්
එක්දහස් නවසිය අනූපහේ මාර්තු මාසයේ ජපානයේ ටෝකියෝවල නළ දුම්රිය මාර්ගයක සිදු වූ විෂ වායු ප්‍රහාරයක්, මිනිසුන් 12දෙනෙක්ට මරු කැඳවූ අතර, තවත් දහස් ගණනක්ව රෝගීන් බවට පත් කළා; ඒ වගේම එය රහසක් හෙළි කරන්න උපකාරවත් වුණා. ඕම් ෂින්රික්යෝ (පරම සත්‍යය) යන නම දැරූ ආගමික නිකායක් ගුප්ත ඉලක්කයන් පසුපස හඹායෑම සඳහා යොදාගැනීමට, සැරින් වායුව රහසින් ගබඩා කර තිබුණා.
මාසයකට පසුව, අ.එ.ජ. ඕක්ලහෝමා නගරයේ රජයේ ගොඩනැඟිල්ලක් බෝම්බ පිපිරීමකින් සුනුවිසුනු වී, 167දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම ප්‍රහාරය, හරියටම අවුරුදු දෙකකට කලින් වේකෝ ටෙක්සස්වල බ්‍රාන්ච් ඩේවිඩියන් නමැති ආගමික ලබ්ධිය සමඟ රජය නිස්කාරණේ ගැටුණු අවස්ථාවට යම් හෙයකින් සම්බන්ධයි කියලා සාක්ෂිවලින් ඇඟවූ බව පෙනේ. ඒ අවස්ථාවේදී ලබ්ධි සාමාජිකයන් 80දෙනෙක් පමණ මියගියා. එම බෝම්බ ප්‍රහාරය බොහෝදෙනෙක්ට රහසක්ව තිබූ යමකුත් හෙළි කළා: දැන් එක්සත් ජනපදවල හමුදාවන් වගේ ක්‍රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියා කරන අතර, අඩුම තරමින් සමහරක්, ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට රහසිගතව සැලසුම් කරන බවට සැක කරනවා.
පසුව, 1995 එහි නිමාව කරා එළඹෙද්දී, ප්‍රංශයේ ග්රෙනෝබල් නගරය ළඟ වන ළැහැබින් වැසුණු ප්‍රදේශයක පුද්ගලයන් 16දෙනෙකුගේ පුලුස්සනු ලැබූ සිරුරු සොයාගනු ලැබුවා. ඔවුන් සූර්ය දේවාලයේ පූජක පිරිසේ සාමාජිකයන්; එය කුඩා ආගමික ලබ්ධියක්; 1994 ඔක්තෝබර් මාසයේදී, සියදිවි හානි කරගැනීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් එහි සාමාජිකයන් 53දෙනෙක් මියගිය විට, ස්විට්සර්ලන්තයේ සහ කැනඩාවේ ජනමාධ්‍යවල ඔවුන් ප්‍රසිද්ධ වුණා. ඒත් මෙම ඛේදවාචකයෙන් පසුව පවා මෙම නිකාය දිගටම ක්‍රියා කරගෙන ගියා. අදදින දක්වා ඒ පිටුපස තියෙන පෙලඹීම සහ එහි ඉලක්ක රහස්‍යභාවයෙන් වැසී පවතී.
ආගමික රහස්යභාවයෙහි අන්තරාවන්
මෙවැනි දේවල් සිදු වෙලා තියෙන හින්දා, බොහෝ පුද්ගලයන් ආගමික කණ්ඩායම් දෙස වපර ඇහෙන් බලන එක පුදුමයක්ද? යමෙකුගේ විශ්වාසය අනිසි විදිහට යොදාගෙන, තමා එකඟ නොවන ඉලක්කයන් ලුහුබඳින්න කෙනෙකුව පොලඹවන ආගමික හෝ ආගමික නොවන රහස්‍ය සංවිධානයකට අනුබල දෙන්න කිසිම කෙනෙකුට වුවමනා නැති බව සහතිකයි. ඒත්, සැකකටයුතු රහස්‍ය සංගම්වලට සම්බන්ධ වීමේ උගුලට අසුවීමෙන් වැළකී සිටීමට මිනිසුන්ට මොනවාද කරන්න පුළුවන්?
එවැනි රහස්‍ය සංගමයක සාමාජිකත්වය ලබාගන්න කල්පනා කරන ඕනෑම කෙනෙක් එහි සැබෑ පරමාර්ථයන් විපරම් කිරීම නුවණට හුරු දෙයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මිතුරන්ගේ හෝ ආශ්‍රිතයන්ගේ පීඩනයට එරෙහිව ආරක්ෂා විය යුතු අතර, තීරණ හැඟීම් මත නොව, සැබෑ කාරණා මත පදනම් විය යුතුයි. මතක තියාගන්න: සිදු විය හැකි ඕනෑම ප්රතිවිපාකයක් ඇතැම්විට විඳවන්න වෙන්නේ වෙන අයට නොව පුද්ගලයාටමයි.
ගෞරවාන්විත චේතනා නැති අන්තරාදායක කණ්ඩායම්වලින් දුරුව සිටීමට හොඳම මාර්ගය, බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි. (යෙසායා 30:21) දේශපාලනයේදී මධ්‍යස්ථභාවය පවත්වාගැනීම, අනුන්ට, සතුරන්ට පවා ප්‍රේමය පෙන්වීම, “මාංසයේ ක්‍රියා” මඟහැරීම සහ දෙවිගේ ආත්මයේ ඵල වගා කිරීම මෙයට ඇතුළත් වෙනවා. ඒ සියල්ලට වඩා යේසු මෙන්, සැබෑ ක්‍රිස්තියානීන් මේ ලෝකයට අයත් නොවිය යුතුයි; ලෝකයේ රහස්‍ය සංගම්වලට සහභාගි වීමෙන් වැළකී සිටීමත් මෙවැනි ක්‍රියාමාර්ගයකට ඇතුළත් වෙනවා.—ගලාති 5:19-23; යොහන් 17:14, 16; 18:36; රෝම 12:17-21; යාකොබ් 4:4.
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කියන්නේ තමුන්ගේ ඇදහිල්ල බැරෑරුම්ව සලකන, එයට එකඟව ජීවත් වෙන්න විවෘතව වෑයම් කරන බයිබලයේ උනන්දුමත් ශිෂ්‍යයෝ. ‘සමාදානය සොයා, එය පස්සේ දුවන’ ආගමික කණ්ඩායමක් හැටියට ඔවුන් ලොව පුරා ප්‍රසිද්ධත්වයක් උසුලනවා. (1 පේතෘස් 3:11) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දේවරාජ්‍යයේ ප්‍රකාශකරන්නෝ (ඉංග්‍රීසියෙන්) යන ඔවුන්ගේ පොත නිවැරදිව මෙහෙම නිරීක්ෂණය කරනවා: “යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මොනම අර්ථයකින්වත් රහස්‍ය සංගමයක් නොවෙයි. බයිබලය මත පදනම් ඔවුන්ගේ විශ්වාසයන්, ඕනෙම කෙනෙක්ට ලබාගන්න පුළුවන් ප්රකාශනවල සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව, සිදු වන දේවල් පෞද්ගලිකව දකින්නත් ඒවාට සවන් දෙන්නත් රැස්වීම්වලට පැමිණෙන්න කියා මහජනයාට ඇරයුම් කරන්න ඔවුන් විශේෂ ප්රයත්නයක් දරනවා.”
සැබෑ ආගම කොහොමටවත් රහසිගත ආකාරයකින් ක්‍රියා කරන්නේ නැහැ. තමුන්ගේ අනන්‍යතාව සඟවන්නවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් ඔවුන්ගේ අරමුණ වසං කරන්නවත් එපා කියලා සැබෑ දෙවිගේ නමස්කාරකයන්ට උපදෙස් දීලා තියෙනවා. යේසුගේ මුල් ගෝලයෝ ඔවුන්ගේ ඉගැන්වීම්වලින් යෙරුසලම පිරෙව්වා. ඔවුන්ගේ විශ්වාසයන් සහ ක්‍රියාකාරකම් සියල්ලන්ටම එළිපිට ප්‍රකාශ කළා. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන්ද ඒ දේ සැබෑවක් වෙනවා. ආඥාදායක පාලන ක්රමයන් නමස්කාර කිරීමට තියෙන නිදහස මත වැරදිසහගත ලෙස තහංචි පනවන කොට, “[පාලකයා වශයෙන්, NW] මනුෂ්‍යයන්ට වඩා දෙවි[ට]” කීකරු වෙමින්, ක්‍රිස්තියානීන් තම ක්‍රියාකාරකම් පරෙස්සමින් සහ එඩිතරව කරගෙන යා යුතු බව තේරුම්ගත යුත්තක්; මේ වගේ තත්වයකට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වෙන්නේ ඔවුන් ප්‍රසිද්ධියේ එඩිතරව සාක්ෂිදරන හින්දයි—ක්‍රියා 5:27-29; 8:1; 12:1-14; මතෙව් 10:16, 26, 27.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් රහස් ලබ්ධියක් හෝ නිකායක් විය හැකියි කියන අදහස ඔබේ හිතේ අහලකවත් තිබුණා නම්, එහෙම වුණේ ඔවුන් ගැන ඔබට ප්‍රමාණවත් දැනුමක් නොතිබුණු නිසා වෙන්න පුළුවන්. පළමුවන සියවසේ බොහෝදෙනෙකුත් ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න ඇති.
ප්‍රේරිත පාවුල් රෝමයේ “යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්” සමඟ පැවැත්වූ රැස්වීමක් ගැන ක්‍රියා 28වන පරිච්ඡේදය අපිට කියනවා. ඔවුන් ඔහුට මෙහෙම කිව්වා: “මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමුව. එබැවින් නුඹ සිතන්නේ මොකද කියා නුඹෙන් අසන්ට කැමැත්තෙමු.” (ක්‍රියා 28:16-22) ඊට ප්‍රතිචාරයක් වශයෙන්, පාවුල් “[දෙවිගේ] රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින් . . . කාරණා තේරුම්කරදුන්” අතර, “සමහරු විශ්වාසකළෝය.” (ක්‍රියා 28:23, 24) සැබෑ ක්‍රිස්තු ධර්මය ගැන සැබෑ කාරණා ලබාගැනීම ඇත්තවශයෙන්ම ඔවුන්ගේ කල්පවතින ප්‍රයෝජනයට දායක වුණා කියලා කියන්න පුළුවන්.
දෙවිගේ විවෘත මෙන්ම ප්‍රසිද්ධ සේවය වෙනුවෙන් ඇප කැප වී සිටින අය වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සැබෑ කාරණා දැනගන්න උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ විශ්වාසයන් පිළිබඳ නියම කාරණා හෙළිදරව් කරන්න සන්තෝෂයෙන් බලා සිටිනවා. ඔවුන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් නියම තොරතුරු ලබාගැනීමට හැකි වන පරිද්දෙන්, පෞද්ගලිකව විමසා බලන එක හොඳ අදහසක් නෙවෙයිද?
[6වන පිටුවේ පින්තූරය]
ඔවුන් කවුද කියාත් කරන්නේ මොනවාද කියාත් හෙළි කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් සන්තෝෂයෙන් සිටිනවා