අනතුරකින් තර්ජනයක් එල්ල වන විට දුරින් සිටින්න
නාවිකයන්ට වඩා අන්තරාය සම්බන්ධයෙන් සංවේදීව සිටින්නේ ස්වල්ප දෙනෙකු පමණි. ඔවුන් කාලගුණය, උදම් මෙන්ම, සිය නැව වෙරළට ඇති දුර ප්‍රමාණය යනාදිය පිළිබඳව විමසිල්ලෙන් ඇසක් තබාගෙන සිටිය යුතුය. උදම් රළ හා සුළං එක්ව නැව වෙරළ දෙසට පදවන විට, නාවිකයෝ වෙහෙසකර ක්‍රියා පටිපාටියකට මෙන්ම අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙති.
සුළං මුවා වෙරළ ලෙස හැඳින්වෙන,—මෙවන් තත්ත්වයන් යටතේ, විශේෂාකාරයෙන් එම කුඩා නැව රුවලකින් පදවනු ලැබේ නම්, නාවිකයෙක් වෙරළ හා තමාගේ නෞකාව අතර සැලකිය යුතු මුහුදු තීරයක් පවත්වා ගනී. රුවල් යාත්‍රා කිරීම පිළිබඳ අත් පොතක් පැහැදිලි කරන ආකාරයට, නාවිකයෙක් අසුවිය හැකි ‘ඇතැම්විට දරුණුතම අවස්ථාව වනුයේ මාරුතයකදී දැඩි අන්තරාවක් ඇති කරවමින් නැවක සුළං නොවදින පැත්තේ වෙරළක් පවතින තත්ත්වයකට අසුවීමය.’ මෙයට නිර්දේශිත විසඳුම කුමක්ද? ‘කිසිවිටෙක ඔබගේ නෞකාව එවන් ආපදාවකට පත්වීමට ඉඩ නොහැරීමය.’ වැලි කණ්ඩියක් හෝ ගල් පර සහිත වෙරළක් මත නැව විනාශ වීම වැළැක්විය හැකි ආරක්ෂිත ක්‍රමය නම් අනතුරෙන් ප්‍රමාණවත් දුරක් පවත්වා ගැනීමයි.
ක්‍රිස්තියානින්ද තමන්ගේ ඇදහිල්ල නමැති නැව බිඳ හෙළිය හැකි අන්තරාවන්ට සංවේදීව සිටිය යුතුය. (1 තිමෝති 1:19) මේ දිනවල, ස්ථිර ක්රියාකලාපයක් පවත්වා ගැනීමට තත්ත්වයන් කිසිලෙසකින් උචිත නොවේ. සුළං හා උදම් මගින් නැවක් එහි ගමන් මාර්ගයෙන් ඉවතට තල්ලු කරන්නට හැකියාවක් ඇති පරිද්දෙන්ම, අපගේ කැප කළ ජීවිතද අපගේ අසම්පූර්ණ මාංසයේ නිත්‍ය නැඹුරුවාවෙන් මෙන්ම—දැන් බොහෝදුරට තියුණු තත්ත්වයකට පත්ව ඇති මාරුත බලවේගයක් වන—ලෝකයේ ස්වභාවයේ දැඩි සුළංරැළි බඳු පහරවලින් ගමන් කළ යුතු නිසි දිශාව නැති කර ගත හැකිය.
ඉතා අන්තරාදායක තත්ත්වයන් යටතේ ජීවත්වූ මනුෂ්‍යයෙක්
නොදැනුවත්වම අන්තරාදායක ආත්මික ජලාශ තුළට කොතරම් පහසුවෙන් පිවිසිය හැකිද!
වටවූ ගොඩබිමින් හිරවූ ජලස්කන්ධයක් පැවති තැනක, එනම් මළ මුහුද අසළ සිදුවූ උදාහරණයක් සැලකිල්ලට ගන්න. අප මෙහිදී සඳහන් කරන්නේ ලොත්ගේ ආදර්ශයයි. සොදොමේ ජීවත් වන්නට ඔහු ගත් තීරණය ඔහුට ගැටලු බොහොමයක් මෙන්ම මහත් වේදනාවක් ගෙන දුණි. තම තමුන්ගේ එඬේරුන් අතර ඩබරයක් සිදුවීමෙන් පසු, ආබ්‍රහම් හා ලොත් වෙනස් ප්‍රදේශයන්හි ජීවත් වන්නට එකඟ වූහ. ලොත්, මුළු යොර්දාන් දිස්ත්‍රික්කය තෝරාගෙන, එම දිස්ත්‍රික්කයේ නගර අතර තමාගේ කූඩාරම තනා ගත් බව අපට කියවන්නට ඇත. පසුව, සොදොමේ වැසියන්ගේ ජීවිත රටාව ඔහුව සිත් තැවුලට පත් කළද, ඔහු සොදොම්හි ජීවත් වන්නට තීරණය කළේය.—උත්පත්ති 13:5-13; 2 පේතෘස් 2:8.
යෙහෝවඃවහන්සේව මහත් සේ අමනාපයට පත් කළාවූද, අවට අසල්වැසි ජනයාගේ පොදු උද්ඝෝෂණයකට පවා හේතු වූවාවූද අතිශයින් දුරාචාර වූ නගරයක ලොත් දිගටම ජීවත් වූයේ මන්ද? සොදොම සෞභාග්‍යවත් තත්ත්වයක තිබූ අතර ලොත්ගේ භාර්යාව නිසැකවම නගර ජීවිතයේ ද්‍රව්‍යමය ප්‍රයෝජන භුක්ති වින්ඳාය. (එසකියෙල් 16:49, 50) සොදොමේ සමෘද්ධිමත් ආර්ථිකයෙන් ඇතැම්විට ලොත් පවා ආකර්ෂණයක් ලබන්නට ඇත. එහි ජීවත් වන්නට ඔහුට කුමන හේතුවක් තිබුණත්, ඔහු එතැනින් ඉවත් විය යුතුව තිබුණේ කළාට වඩා ඉක්මනින්ය. අවසානයේ ලොත්ගේ පවුල අන්තරාදායක ප්‍රදේශයෙන් ඉවත්වූයේ, යෙහෝවඃවහන්සේගේ දූතයාගේ හදිසි බලකිරීම මත පමණකි.
උත්පත්ති වාර්තාව මෙසේ පවසයි: “පහන්වුණ කල දේවදූතයෝ: මේ නුවර අයුතුකමෙහි නුඹ නාස්තිනොවන පිණිස නැගිට මෙහි සිටින නුඹේ භාර්යාවත් නුඹේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන පලයන්නැයි කියා ලොත් ඉක්මන් කෙරෙවුවෝය.” එහෙත් දැඩි අනතුරු ඇඟවීමෙන් පසුව පවා, ලොත් ‘ප්‍රමාද විය.’ අන්තිමේදී දේව දූතයෝ “ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්ද අල්වාගෙන ඔහු ගෙනගොස් නුවරින් පිටත සිටෙවුවෝය.”—උත්පත්ති 19:15, 16.
ඔවුන්ව නගරයෙන් පිටතට ගෙනා පසු, “නුඹේ ප්‍රාණය ගලවාගන්ට දුවපන්න; ආපසු නොබලන්න. සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවපන්න” යනුවෙන් එම දේවදූතයෝ ලොත්ගේ පවුලට අන්තිම උපදෙස් සමහරක් දුන්හ. (උත්පත්ති 19:17) එවිට පවා එම සමභූමිය සහමුලින්ම අත්හැර දමනු වෙනුවට ලොත් අවසර ඉල්ලා සිටියේ අසළ නුවරක් වන ශොවර් වෙතට යාමටයි. (උත්පත්ති 19:18-22) පැහැදිලිවම, අන්තරාවෙන් හැකිතාක් දුරට තමාව දුරස් කර ගැනීම සම්බන්ධයෙන් ලොත් අදිමදි කරමින් සිටියේය.
ශොවර් වෙතට යන අතර, ලොත්ගේ භාර්යාව, පෙනෙන හැටියට ඇය එහි අත්හැර දැමූ දේවලට ඇති ආශාව නිසා, හැරී සොදොම දෙස බැලුවාය. දේව දූතයාගේ උපදෙස් නොසලකා හැරීම නිසා, ඇයට සිය ජීවිතය අහිමි විය. ධර්මිෂ්ඨ මිනිසෙක් වූ ලොත්, සිය දියණියන් දෙදෙනා සමඟ නගරයේ විනාශයෙන් ගැලවුණේය. එහෙත් අන්තරාව අසළ ජීවත්වීමට තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට කොතරම් ගෙවන්නට සිදුවීද!—උත්පත්ති 19:18-26; 2 පේතෘස් 2:7.
අන්තරායෙන් ඉවත්ව සිටීම
ලොත්ගේ තිත්ත අද්දැකීම පෙන්වන්නේ අප අන්තරාවක් සමීපයට පැමිණි විට නැතහොත් එවන් පරිසරයක සුනංගු වන විට සිදුවිය හැකි දෙයයි. හොඳ නාවිකයන් මෙන්, එවන් ආපදාවකට පත්වීමට අප කිසිවිටෙකත් අපට ඉඩ නෑරිය යුතු බව, ප්‍රඥාව අපට නියෝග කරනු ඇත. අප වෙන්ව සිටිය යුතු ඇතැම් අනතුරුදායක ක්ෂේත්රයන් මොනවාද? ඇතැම් ක්‍රිස්තියානින් පමණ ඉක්මවා ව්‍යාපාරික කටයුතුවල නියැලීමෙන්, ලෞකික මිත්‍රයන් සමඟ කිට්ටු මිත්‍රකම් ඇති කිරීමෙන්, නැතහොත් විවාහ වීමට තමන්ට නිදහස නොමැති විට විරුද්ධ ලිංගයේ යමෙක් සමඟ චිත්තවේගීව සම්බන්ධ වීමෙන් නොමඟ ගොස් ඇත්තාහ.
මේ සෑම අවස්ථාවකම, ඥානවන්ත ක්‍රියාමාර්ගය වන්නේ, අන්තරාවෙන් අපගේ දුර පවත්වා ගැනීමයි. උදාහරණයක් වශයෙන්, ඉතා වාසිදායක ව්‍යාපාර ප්‍රස්තාවක් ගෙනා හැකි ආත්මික අන්තරාවන්ට අප සාවධානව සිටිනවාද? ඇතැම් සහෝදරයෝ තමන්ගේ පවුල්වලට, තමන්ගේ සෞඛ්‍යට මෙන්ම, තමන්ගේ දිව්‍යාණ්ඩු වගකීම්වලට අනතුරු වන ආකාරයට තමන්ව වාණිජ්‍ය කටයුතුවල ගිල්වා තබාගෙන ඇත්තාහ. ඇතැම් අවස්ථාවන්හි පෙලඹීම පවතින්නේ මුදලට ලබා දිය හැකි වඩාත් සැප පහසු ජීවිත රටාව දෙසටය. අන් අවස්ථාවන්හි එය තමන්ගේ ව්‍යාපාරික හැකියාව ඔප්පු කිරීම පිළිබඳ අභියෝගයක් වන්නේය. තමන්ගේ චේතනාව වෙනත් සහෝදරයන්ට රැකියා සැපයීම නැතහොත් ලෝක ව්‍යාප්ත සේවය සඳහා වඩාත් ත්‍යාගශීලීව සම්මාදම් කිරීමට හැකිවීම යයි ඇතැමෙක් තර්ක කරන්නට පුළුවන. ව්‍යාපාරය හොඳින් කෙරීගෙන යන විට, රාජ්‍යය කටයුතු සඳහා තමන්ට වැඩි කාලයක් කැප කළ හැකි යයි ඇතැම්විට ඔවුන් කල්පනා කරනවා වන්නට පුළුවන.
මේ බොරු වළවල්වලින් සමහරක් මොනවාද? අස්ථිර ආර්ථික වාතාවරණයත්, “හදිසි කාරණාත්” හොඳටම සැලසුම් කළ ව්‍යාපාර කටයුත්තක් පවා ගිල්වන්නට පුළුවන. (දේශනාකාරයා 9:11) විශාල ණයක් සමඟ පොර බැදීම සන්තාපය ගෙන දිය හැකි අතර ආත්මික කාරණා ඉවත් කරන්නට පුළුවන. එමෙන්ම ව්‍යාපාරයක් හදිසියෙන් වැඩි දියුණු වන විට පවා, බොහෝ කාලයක් හා මානසික ශක්තියක් ඒ සඳහා මිඩංගු විය හැකි අතර, සෑහෙන තරමකට ලෝකයා සමඟ ඇසුරු කරන්නටද සිදුවිය හැකිය.
ස්පාඤ්ඤයේ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මහත් මූල්‍ය දුෂ්කරතාවයක සිටි විට රක්ෂණ සමාගමක් ඔහුට පොලඹවන සුළු යෝජනාවක් කළේය. මෙහිදී නිදහස් රක්ෂණ නියෝජිතයෙක් හැටියට විශාල මුදලක් ඉපයීමේ ප්‍රස්තාවක් ඔහුට තිබුනද, ඔහු අවසානයේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. “එය පහසු තීරණයක් නොවූවත්, මම නැහැ යයි කීම ගැන සතුටු වෙනවා” යයි ඔහු පැහැදිලි කළේ ය. “කරුණක් වශයෙන් කියතොත්, මගේ දිව්‍යාණ්ඩු සම්බන්ධතාවයන් තුළින්—අනියම් ආකාරයෙන් පවා—මුදල් ඉපැයීමට මා තුළ කැමැත්තක් තිබුණේ නැත. තවද මම මාගේම ප්‍රධානියා වීමේ අදහසට ප්‍රිය කළද, මට බොහෝ සේ ගමන් කරන්නටත්, රැකියාව සඳහා වැඩි කාලයක් වැය කරන්නටත් සිදුවනු ඇත. එය අනිවාර්යයෙන්ම මගේ පවුලත් ඒවගේම සභාවත් නොසලකා හැරීමක් අදහස් කරනු ඇත. ඒ සියල්ලටම වඩා, මා එම යෝජනාව පිළිගත්තේ නම්, මගේ ජීවිතය පාලනයකින් තොර එකක් වනු ඇති බව මට ස්ථිරයි.”
කිසිඳු ක්‍රිස්තියානියෙකුට තමාගේ ජීවිතය කෙරෙහි පාලනය අහිමි කර ගැනීමට ඉඩ හැරිය නොහැකිය. විශ්‍රාම ගෙන ජීවිතය වඩාත් පහසුවෙන් ගත කරනු පිණිස වැඩි වැඩියෙන් සම්පත් රැස්කළ මනුෂ්‍යයෙක් පිළිබඳ උපමාවක් ප්‍රකාශ කිරීමෙන් එවන් ක්‍රියාකලාපයක කනගාටුදායක විපාකයන් යේසුස්වහන්සේ පෙන්වූ සේක. එහෙත් හෙතෙම අවශ්‍ය තරම් මුදල් ප්‍රමාණයක් අවසානයේ රැස්කරගත් බව ඔහු තීරණය කළ රාත්‍රියේම, ඔහු මළේය. “දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්න අය එයාකාරයයි” යේසුස් වහන්සේ අනතුරු ඇඟවූ සේක.—ලූක් 12:16-21; සසඳන්න යාකොබ් 4:13-17.
ලෞකික අය සමඟ පමණ ඉක්මවූ ආශ්‍රයට එරෙහිවද අප ආරක්ෂා විය යුතුය. ඇතැම්විට එය අසල්වැසියෙක්, පාසල් මිත්‍රයෙක්, රැකියා ස්ථානයේ හවුලේ සේවය කරන්නෙක්, එසේත් නැතහොත් ව්‍යාපාර ආශ්‍රිතයෙක් වන්නට පුළුවන. ‘ඔහු සාක්ෂිකරුවන්ට ගෞරව කරනවා, ඔහු පිරිසිදු ජීවිතයක් ගත කරනවා, එමෙන්ම සත්‍යය ගැනත් අප ඇතැම්විට කථා කරනවා’ යනුවෙන් අප තර්ක කරන්නටද පුළුවන. එහෙත්, අන්‍යයන්ගේ අද්දැකීම් තහවුරු කරන්නේ, කාලයාගේ ඇවෑමෙන් ආත්මික සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ ආශ්‍රයට වඩා එවන් ලෞකික ආශ්‍රයට වැඩි කැමැත්තක් දක්වන තත්ත්වයක පවා අප සිටින බව අපට තේරුම් යා හැකි බවය. එවන් මිත්‍රත්වයක තිබිය හැකි ඇතැම් අන්තරාවන් මොනවාද?
අප ජීවත්වන කාලවල හදිසිතාව අප සුළු කොට සලකන්නට පටන් ගත හැකි අතර ආත්මික කාරණාවලට වඩා ද්‍රව්‍යමය දේවලට වැඩි උනන්දුවක් දක්වන්නට පුළුවන. ඇතැම්විට, අපගේ ලෞකික මිත්රයන්ව අසතුටු කිරීමට ඇති භය නිසා, අප ලෝකයෙන් පිළිගනු ලැබීමට පවා කැමති වන්නට පුළුවන. (1 පේතෘස් 4:3-7 සසඳන්න.) ගීතිකාකාර දාවිත්, අනෙක් අතට, යෙහෝවඃවහන්සේට ප්‍රේම කළ අය ඇසුරු කරන්නට වැඩි කැමැත්තක් දැක්වීය. “ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි. සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි” යයි ඔහු ලිව්වේය. (ගීතාවලිය 22:22) අපත් දාවිත්ගේ ආදර්ශය අනුකරණය කරමින්, අපව ආත්මික වශයෙන් ගොඩනැගිය හැකි මිත්‍රත්වය සොයන්නේ නම්, අප ආරක්ෂාව ලබනු ඇත.
තවත් අනතුරු සහිත ක්‍රියාමාර්ගයක් වනුයේ, යමෙක් විවාහ වීමට නිදහසක් නොමැති විරුද්ධ ලිංගයේ අයෙක් සමඟ චිත්තවේගීව සම්බන්ධ වීමය. සංවාදය ප්‍රබෝධවත් වන්නාවූද තමාගේ අදහස් හෝ හාස්‍ය රසය පවා ඇත්තාවූ ආකර්ෂණීය යමෙක් වෙත කෙනෙක් ඇදී ගිය විට අන්තරාව ඉස්මතු වන්නට පුළුවන. ඔහුගේ හෝ ඇයගේ ඇසුර භුක්ති විඳිමින්, කෙනෙක් මෙසේ තර්ක කරන්නටද පුළුවන, ‘කොතරම් දුරට යා යුතුදැයි මා දන්නවා. අප මිත්‍රයන් විතරයි.’ එසේද වුවත්, වරක් අවුස්සන ලද හැඟීම් පාලනය කර ගැනීම පහසු නැත.
යෞවන විවාහක සහෝදරියක් වන, මේරි, මයිකල්ගේ ඇසුර ප්‍රීතියෙන් භුක්ති වින්ඳාය.a ඔහු සිත්ගන්නා සහෝදරයෙක් වුවත් මිත්‍රත්වයක් ගොඩනැගීමේ යම් දුෂ්කරතා අද්දුටුවේය. ඔවුන් බොහෝ දෑ පොදුවේ බෙදාගත් අතර තමන්ට එක්ව විහිළු තහළු කළ හැකි බව ඔවුන්ට පෙනුණි. තනිකඩ සහෝදරයෙකුට තමාට විශ්වාසයෙන් කාරණා කථා කිරීමට වුවමනාවක් තිබූ බව කල්පනා කිරීමෙන් මේරි හොඳටම තම හැඟීම් මගින් රවටනු ලැබුවාය. වැඩි කලක් යන්නට මත්තෙන් අහිංසක මිත්‍රත්වයක් ලෙස පෙනුන දෙය දැඩි චිත්තවේගී ආලයක් බවට පත් විය. ඔවුහු වැඩි වැඩියෙන් එක්ව කාලය ගත කරන්නට පටන් ගත් අතර අවසානයේ දුරාචාරයේ යෙදුනාහ. “මම අන්තරාව වටහාගත යුතුව තිබුණේ මුලදීම,” යයි මේරි සුසුම් හෙළයි. “වරක් මිත්‍රත්වය වැඩිදියුණුවූ පසු, මරවැල්ල මෙන් එය අපව වඩාත් ගැඹුරට ඇදගෙන ගියේය.”
අප කිසිවිටෙකත් “සියල්ලට වඩා සිත [හෘදය, NW] රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?” යන බයිබල් අනතුරු ඇඟවීම අමතක නොකළ යුතුය. (යෙරෙමියා 17:9) අපගේ රැවටිලිකාර හෘදය ගල් පරවලට එරෙහිව රුවල් නැව පදවන උදම් මෙන්, විපත්තිකර චිත්තවේගී සම්බන්ධතාවයක් තුළට අපව කැඳවාගෙන යන්නට පුළුවන. ඊට විසඳුම? ඔබ විවාහ වන්නට නිදහස්ව නොසිටින්නේ නම්, ආකර්ෂණීය යයි ඔබට හැඟෙන යමෙක් වෙතින් චිත්තවේගීව ඔබගේ දුර පවත්වා ගැනීමට හිතාමතාම ක්‍රියා කරන්න.—හිතෝපදේශ 10:23.
අන්තරාවෙන් ඉවත්වීම හා නිදහස්ව සිටීම
අප දැනටමත් ආත්මික අන්තරාවක සිටින බව අප දකින්නේ නම් කුමක් කළ හැකිද? සුළං හා උදම් මගින් ගල් පර සහිත වෙරළක් දෙසට තමන් ඇදී යන විට, නාවිකයෝ, මහත් ආයාසයකින් වඩාත් ආරක්ෂාකාරී මුහුදු තීරයකට පැමිණෙන තෙක්, තමන්ගේ නැව් මුහුද දෙසට පදවාගෙන යාමට වෙහෙසෙති, එසේත් නැතහොත් නැව් සුනු විසුණු වීම වැළැක්වීමට වෙරළෙන් ප්‍රමාණවත් දුරක් පවත්වා ගනු පිණිස සුළං දෙසට නැව් පදවති. සමානාකාරයෙන්, අපවත් මුදා ගැනීමට අප පොරබැදිය යුතුය. ශුද්ධ ලියවිලිමය උපදෙස්වලට අනුකූල වීමෙන්, යෙහෝවඃවහන්සේගේ උපකාරය ඉල්ලා උනන්දුවෙන් යාච්ඤා කිරීමෙන් හා මේරූ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් උපකාරය පැතීමෙන්, අපට ආරක්ෂා සහිත මාර්ගයකට යළි පිවිසෙන්නට පුළුවන. අපට නැවත වරක් මනසේ හා හෘදයේ සමාදානයෙන් ආශීර්වාද ලබන්නට පුළුවන.—1 තෙසලෝනික 5:17.
අපගේ තත්ත්වයන් කුමක් වෙතත්, අප “ලෝකයට අයත් දේවල්” වෙතින් ඉවත්ව සිටින්නට ඥානවන්ත විය යුතුය. (ගලාති 4:3, NW] ලොත්ට වෙනස්ව ආබ්‍රහම් ලෞකික කානානිවරුන්ගෙන් බැහැරව ජීවත් වන්නට තෝරා ගත්තේය. ඒ හේතුවෙන් වසර ගණනාවකට ඔහුට කූඩාරම්වල ජීවත්වන්නට සිදුවුවද, ඔහු එසේ කළේය. මෙනිසා ඔහුට ඇතැම්විට ද්‍රව්‍යමය පහසුකම් සමහරක් අහිමි වන්නට ඇතිමුත් ඔහුගේ සරල ජීවන-රටාව ඔහුව ආත්මික වශයෙන් ආරක්ෂා කළේය. ඔහුගේ ඇදහිල්ලේ නැව බිඳ ගනු වෙනුවට, ඔහු “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” බවට පත් වුණේය.—රෝම 4:11.
පෙර කවරදාකටත් වඩා ශක්තිමත් ‘ආත්මයක්’ ඇති, තමන්ගේම කැමැත්තට ඉඩ දෙන ලෝකයකින් වට වී සිටින අප, ආබ්‍රහම්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය. (එපීස 2:2) අප සියලු කාරණාවලදී යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම පිළිගන්නේ නම්, උන්වහන්සේගේ ප්‍රේමනීය ආරක්ෂාව නොපමාව අද්දැකීමෙන්, අප ආශීර්වාද ලබනවා ඇත. අපටත් දාවිත්ට හැඟුන ආකාරයටම දැනෙනවා ඇත: “උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක. සැබවින් යහපත්කමත් [ප්‍රේමනීය, NW] කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ගෘහයෙහි වාසයකරන්නෙමි.” අන්තරාවේ මාවත් කරා ක්‍රමයෙන් හැරෙනවා වෙනුවට, “ධර්මිෂ්ඨකමේ මාවත්වල” ගමන් කිරීම, නිසැකවම, සදාකාල ආශීර්වාදයන් ගෙනෙනු ඇත.—ගීතාවලිය 23:3, 6.
[පාදසටහන්වල]
a ඇතැම් නම් වෙනස් කර ඇත.
[24වන පිටුවේ පින්තූරය]
ඔබ විවාහ වීමට නිදහස්ව නොසිටින්නේ නම්, ඔබගේ සිත් බැඳ ගනීවි යයි ඔබට හැඟෙන යම් කෙනෙකුගෙන් චිත්තවේගීය ලෙසින් දුරින් සිටින්න