විලියම් හ්විස්ටන් මිථ්යාවාදියෙක්ද නැතහොත් අවංක පඬිවරයෙක්ද?
ඔබගේ විශ්වාසයන් උදෙසා ඔබ ඔබගේ වෘත්තිය පරිත්‍යාග කරනවා ඇද්ද? විලියම් හ්විස්ටන් එසේ කළේය.
බයිබලයේ ඉගැන්වීම් සම්බන්ධයෙන් හෙතෙම එංගලන්ත සභාව සමඟ එකඟ නොවූ විට, ඔහු දහඅටවන සියවසේ මුල්භාගයේදී, ආගමික මතභේදයට සම්බන්ධවූ චරිතයක් බවට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අවසානයේ, ඔහුව මිථ්යාවාදියෙක් හැටියට හංවඩු ගසනු ලැබීය. ඔහුගේ පරිපාටිය එසේ ඔහුව උපහාසයට ලක් කළද, ඔහුට ගෞරවයක් අත්කර දුන්නේය.
විලියම් හ්විස්ටන් කවරෙකු වීද? එමෙන්ම ඔහු ඉටු කළේ කුමක්ද?
බයිබල් පඬිවරයෙකි
විලියම් හ්විස්ටන් ශ්‍රීමත් අයිසැක් නියුටන්ගේ අති දක්ෂ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය සහායකයෙක්ව සිටියේය. පළමුවන සියවසේ යුදෙව් ඉතිහාසඥයෙක්ව සිටි ෆ්ලේවියස් ජොසේෆස්ගේ ලේඛනවල ඉංග්‍රීසි සංස්කරණයන්ගෙන් ඔබ තොරතුරු විභාග කළොත්, ඔබ බොහෝ දුරට කියවනු ඇත්තේ හ්විස්ටන් විසින් 1736දී කරන ලද පරිවර්තනයයි. වෙනත් පරිවර්තනයන් තිබුණත්, ඔහුගේ සටහන් හා රචනා සමඟ, ඔහුගේ පණ්ඩිතගෝචර අනුවාදය තවදුරටත් අත්‍යුත්කෘෂ්ට තත්ත්වයක පවතින අතර එය තවමත් මුද්‍රණය කරනු ලබමින් පවතී. බොහෝ දෙනෙක් මෙම කෘතිය සලකන්නේ හ්විස්ටන්ගේ සමර්ථකම්වල උච්චාවස්ථාව හැටියටය.
කෙසේවෙතත්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ හ්විස්ටන්ගේ පරිවර්තනයක් වන, ප්‍රිමිටිව් නිව් ටෙස්ටමන්ට් නොසලකා හැරිය හැකි යමක් නොවේ. එය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1745දී එනම් ඔහුගේ 78වන වියේදීය. හ්විස්ටන් ශුභාරංචි පොත් හතර හා ප්‍රේරිතවරුන්ගේ ක්‍රියා පොත කොඩෙක්ස් බිසයි නම් අත් පිටපතෙන්ද, පාවුල්ගේ ලිපි ක්ලර්මොන් කොඩෙක්ස් නම් අත් පිටපතෙන්ද, එළිදරව් ඇතුළු ඉතිරි කොටස ඇලෙක්ස්සැන්ඩ්රියානු අත් පිටපතෙන්ද පරිවර්තනය කළේය. ඔහු 1 යොහන් 5:7හි ව්‍යාජ කොටස අත්හැරීමට සැලකිලිමත් වූයේය. තමාගේ කාලයේ ලබා ගත හැකි හොඳම මූලාශ්රයන් හැටියට හ්විස්ටන් මෙම පුරාතන ග්‍රීක් මූලාශ්රයන් තුන තෝරා ගත්තේය.
හ්විස්ටන් කළ දෙය සඳහා පෙනෙන්ට තිබෙන පෙලඹීම් සාධකය වූයේ බයිබලය සඳහා ඇති ප්‍රේමයයි. දේවවාදය, එනම් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය සඳහා හේතුව පමණක් ප්‍රමාණවත් පදනමක් බවට වූ ඉගැන්වීම ඔහුගේ දවසේ පැතිර පැවතුණි. විලියම් හ්විස්ටන්—හොනස්ට් නියූටෝනියන් නම් පොතට අනුව, “බයිබලය පුරාතන ඉතිහාසයේ එකම නොවරදිනසුලු ප්රභවය බවට වූ සම්ප්‍රදායික දෘෂ්ටිය” ඔහු තරයේ පිළිගත්තේය. මෙහි “නියූටෝනියන්” යන පදය, සිය “ප්‍රින්සිපියා” වෙනුවෙන් සුප්‍රකට, අයිසැක් නියුටන් වෙත යොමු දැක්මක් වන අතර හෙතෙම විශ්වයේ ගුරුත්වාකර්ෂණ නියමය පැහැදිලි කළේ මෙමගින්ය. නියුටන්ගේ චින්තන රටාව විලියම් හ්විස්ටන් කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළේය. ඒ කෙසේද?
එකිනෙකට වෙනස් පෞද්ගලිකත්ව
විලියම් හ්විස්ටන් උපත ලැබුවේ 1667දී, එංගලන්ත සභා පූජකයෙකුගේ පුතෙක් හැටියටය. වර්ෂ 1693දී ඔහු පූජකත්වය ලැබීමෙන් පසු, ගණිතය ඉගෙන නියුටන්ට සහායකයෙක් වීමට ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ආපසු හැරී ගියේය. ඔවුන් දෙදෙනා අතර කිට්ටු බැඳියාවක් වර්ධනය විය. ඉන් වසර තුනකට පමණ පසු ගණිතය පිළිබඳ ලුකේසියන් මහාචාර්යවරයෙක් හැටියට නියුටන් සිය පදවියෙන් අස්වූ විට, ඔහු වෙනුවට හ්විස්ටන් පත්කරනු ලබන බවට ඔහු වගබලා ගත්තේය. සිය වෘත්තියෙහි නියැලෙමින්, හ්විස්ටන් තාරකා විද්‍යාව හා ගණිතය පිළිබඳව දේශන ඉදිරිපත් කළද, නියුටන්ගේ බලපෑම නිසා බයිබල් කාල නිර්ණය හා ධර්මය කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් දැක්වීමටද ඔහු පෙලඹුණේය.
නියුටන් ආගමට ලැදි තැනැත්තෙක් විය. බයිබලයේ සඳහන් දහස් අවුරුද්ද කෙරෙහි විශ්වාසය තබන්නෙකු හැටියට, ඔහු දානියෙල් හා එළිදරව් පොත්වල අනාවැකි පිළිබඳව බොහෝ සේ ලිව්වේය. කෙසේවෙතත්, ඔහුගේ ආයු කාලය තුළ එම ලිපිවලින් කිසිවක් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ නැති තරම්ය. ඔහු ත්‍රිත්ව ඉගැන්වීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ත්‍රිත්වයට එරෙහි ඔහුගේ සාක්ෂි ප්‍රසිද්ධ කිරීමට අවස්ථාව එළඹුණ විට, ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා නිරීක්ෂණය කරන ආකාරයට “ත්‍රිත්වයට එරෙහි සිය මත ප්‍රසිද්ධ වනු ඇතැයි බියෙන් නියුටන් පසුබැස්සේය.” අයිසැක් නියුටන්, හිස්ටෝරියන් නම් පොතේ එෆ්. ඊ. මැනියුවෙල් එය මෙසේ පවසයි: “නියුටන්ගේ කණ්ඩායම සිය අදහස් රහසේ තබාගත්හ, නැතහොත් සිය උද්යෝගය වළක්වා ගත්හ. . . . නියුටන් රහසිගතව කටයුතු කළ අතරම හ්විස්ටන් ප්‍රසිද්ධියේ කෑමොර ගැසුවේය.” මෙසේ මෙම මනුෂ්‍යයන් දෙදෙනාට එකිනෙකට වෙනස් පුද්ගලිකත්වයන් තිබුණි.
නෙරපීම
වර්ෂ 1708 ජූලිවල, ඇතනේසියානු ලබ්ධියේ දක්නට ලැබූ ආකාරයට, ත්‍රිත්වයේ මිථ්‍යා ඉගැන්වීම සම්බන්ධයෙන් එංගලන්ත සභාවේ ධර්මය සඳහා ප්රතිසංස්කරණයක් අයැදිමින් කැන්ටබරියේ හා යෝක්හි අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වෙත හ්විස්ටන් ලිපි යැවීය. මෙහිදී ප්‍රවේසම් වන හැටියට ඔහුට උපදෙස් දෙනු ලැබුවේ හොඳ හේතු ඇතුවය. එහෙත් හ්විස්ටන් දිගටම එසේ කරන්නට විය. “මා මෙම කරුණු හොඳින් අධ්‍යයනය කර ඇති අතර මුළු ක්‍රිස්තියානි සභාවම දීර්ඝ කලක් පුරා ඒවා තුළ අධික ලෙස රටවනු ලැබ සිටින බව මම හොඳින් ඒත්තු ගෙන සිටිමි; තවද දෙවියන්වහන්සේගේ ආශීර්වාදයෙන්, මට එසේ කිරීමට හැකි නම්, තවදුරටත් එය රවටන්නට ඉඩ නොහරිමි” යයි ඔහු පැවසීය.
නියුටන් සිය සමාජ හා අධ්‍යාපනික තත්ත්වය උදෙසා භය විය. අනෙක් අතට, හ්විස්ටන් එසේ භය වුණේ නැත. සිය ත්‍රිත්ව-විරෝධී විශ්වාසයන් සකස් කිරීමෙන් පසු, ඔහු සිය දෘෂ්ටීන් ඉදිරිපත් කරමින් කුඩා පොතක් ලිව්වේය. එහෙත් 1708 අගෝස්තුවල, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මෙම තොරතුරු ධර්ම විරෝධියයි තීරණය කළ නිසා, මුද්‍රණය කිරීමට ඔහුට අවසර දීම ප්‍රතික්ෂේප කළේය.
වර්ෂ 1710දී, එංගලන්ත සභා විශ්වාසයට පටහැනි ධර්මය උගන්වන බවට හ්විස්ටන්ට චෝදනා කරනු ලැබීය. ඔහුව වැරදිකරුවෙක් හැටියට තීන්දු කර, ඔහුව මහාචාර්ය ධූරයෙන් පහකර, කේම්බ්‍රිජ් වෙතින් ඉවත් කරනු ලැබීය. කෙසේවෙතත්, ඊට වසර පහකට ආසන්න කාලයක් පුරා ඔහුට විරුද්ධව නීතිමය කටයුතු දියත් කරන ලද, නීතිමය ක්‍රියාමාර්ග හමුවේ පවා, හ්විස්ටන්ව කිසිවිටෙක මිථ්යාවාදියෙක් හැටියට දෝෂණය කරනු ලැබුවේ නැත.
නියුටන්ගේ ත්‍රිත්ව-විරෝධී දෘෂ්ටීන් හ්විස්ටන්ගේ ඒවාට සමාන වුවත්, ඔහු සිය මිත්‍රයා උදෙසා කථා නොකළ අතර අවසානයේදී ඔහුව දෝෂාරෝපණයට ලක් කළේය. වර්ෂ 1754දී, ත්‍රිත්වය අනාවරණය කරන්නාවූ නියුටන්ගේ බයිබල් දැනුම් සම්භාරය අවසානයේ—ඔහුගේ මරණයෙන් වසර 27කට පසු—ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. එහෙත් ඊට වසර දෙකකට කලින් මියගියාවූ, හ්විස්ටන්ට යම් ආකාරයකින් උපකාරවත් වීමට එය පමා වැඩි විය.
ගෞරවයට පාත්රවූ රාජකීය සමාජයෙන් හ්විස්ටන්ව වළක්වාලීම ගැන නියුටන් වගකිය යුතුයයි සැලකේ. එහෙත් හ්විස්ටන් අධෛර්යයට පත් වූයේ නැත. ඔහු හා ඔහුගේ පවුල ලන්ඩනයේ පදිංචියට ගිය අතර ප්‍රාථමික ක්‍රිස්තියානි ධර්මය වැඩිදියුණු කිරීම සඳහා සමාජයක් ඔහු එහිදී පිහිටෙව්වේය. සිය මුළු ශක්තිය ඔහු ලිවීම සඳහා යොදා ගත්තේය. මෙසේ එම කාලය සඳහා ඔහුගේ වඩාත් වැදගත් කෘතිය වූ ප්‍රිමිටිව් ක්‍රිස්ටියැනිටි රිවයිව්ඩ් (ප්‍රාථමික කිතුදහම යළි පණගැන්වී) ග්‍රන්ථයේ වෙළුම් හතර ලිව්වේය.
අවසානය දක්වා මතභේදවලට තුඩුදුන්නෙකි
නාවිකයන් විසින් මුහුදේ දේශාංශකය නිශ්චය කිරීම සඳහා විද්‍යාඥයෙක් හැටියට, හ්විස්ටන් විවිධ ක්‍රම අත්හදා බැලුවේය. ඔහුගේ අදහස් ක්‍රියාවට නගනු නොලැබුවත්, ඔහුගේ අඛණ්ඩ වෑයම අවසානයේ නාවික හෝරාමානය වැඩිදියුණු කිරීම සඳහා තුඩු දුණි. බයිබල් අනාවැකි පිළිබඳ හ්විස්ටන්ගේ දෘෂ්ටීන් බොහොමයක්, ඔහුගේ සමකාලීනයන්ගේ මෙන්, වැරදිසහගත බව සනාථ වී ඇතත්, සත්‍යය සෙවීමෙහිලා ඔහු සිය උපරිම වෑයම දැරූ බවට ප්රත්යක්ෂය. විද්‍යාත්මක හා බයිබලීය යන විෂයන් දෙකේම සත්‍යය ආරක්ෂා කිරීමට ඔහු ලියූ දෑ අතර, ධූමකේතුවල කක්ෂ පිළිබඳව ඔහු ලියූ පත්‍රිකා සහ නෝවාගේ දවසේ සිදුවූ ජල ගැල්මේ බලපෑම් පිළිබඳව ඔහුගේ අදහස් දැක්වීම් දක්නට ලැබේ. කෙසේවෙතත් ඔහුගේ සියලුම කෘති අභිබවා යන්නේ ත්‍රිත්ව ධර්මය ශුද්ධ-ලියවිල්ලට පටහැනි බව නිරාවරණය කරන කෘතීන්ය.
ඔහුගේ අදහස්වලට අනුව හැසිරෙමින්, හ්විස්ටන් 1747දී එංගලන්ත සභාවෙන් ඉවත් විය. දේවගැතියෙකු ඇතනේසියානු ලබ්ධිය කියවන්නට පටන්ගත් විට ඔහු පල්ලියෙන් ඉවත්ව ගිය විට, ඔහු පදගතාර්ථයෙන් හා රූපික වශයෙන් ඉන් ඉවත් වූයේය. ඒ රිලිජස් එන්සයික්ලොපීඩියා හ්විස්ටන් ගැන මෙසේ පවසයි: “ඔහුගේ චරිතයේ මානුෂික විවෘත ස්වභාවය හා සත්‍යවාදී ස්වභාවයද, ඔහුගේ ජීවිතයේ වෙනස් නොවන ගතිය හා ඔහුගේ හැසිරීමේ ඍජු ස්වභාවයද යමෙක් අගය කළ යුතුමය.”
විලියම් හ්විස්ටන්හට, සත්‍යය සම්බන්ධයෙන් පාවා දීමක් කළ නොහැකිවූ අතර මනුෂ්‍යයන්ගේ අනුමැතියට හා ප්‍රශංසාවට වඩා පුද්ගලික ස්ථිර විශ්වාස වැඩි වටිනාකමකින් යුක්ත විය. මතභේදයට තුඩු දුන්නෙකු වුවත්, හ්විස්ටන් වනාහි බයිබලය දේව වචනය හැටියට තහවුරු කිරීමෙහිලා අභීතව සටන් කළ අවංක පඬිවරයෙකි.—2 තිමෝති 3:16.
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Copyright British Museum