ඔබට ඉවසීම ක්‍රියාවට නැංවිය හැකිද?
යෙහෝවඃවහන්සේ ආබ්‍රම්ට මෙසේ පැවසූ සේක: “නුඹේ දේශයෙන් පිටත්ව . . . මා විසින් නුඹට පෙන්වන දේශයට පලයන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි.” (උත්පත්ති 12:1, 2) එවිට ආබ්‍රම්ගේ වයස අවුරුදු 75ක් විය. ඔහු කීකරු වූ අතර, යෙහෝවඃවහන්සේ කෙරෙහි බලාසිටිමින් තමාගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා ඥානවන්තව ඉවසීම ක්‍රියාවට නැංවූයේය.
අවසානයේදී, දෙවියන්වහන්සේ ඉවසිලිවන්ත ආබ්‍රහම්ට (ආබ්‍රම්ට) මෙසේ පොරොන්දු වූ සේක: “සැබවින්ම නුඹට බොහෝසෙයින් ආශීර්වාද කරන්නෙමි. බොහෝසෙයින් නුඹ වර්ධනය කරන්නෙමි.” ප්‍රේරිත පාවුල් මෙසේ එකතු කළේය: “ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.”—හෙබ්‍රෙව් 6:13-15.
ඉවසීම යනු කුමක්ද? එය වනාහි “යම් දෙයක් සඳහා සන්සුන්ව බලා සිටීමට” ඇති හැකියාව හෙවත් “කුපිත කිරීම හෝ පීඩාව යටතේ තමාවම දමනය කරගැනීම” යනුවෙන් ශබ්දකෝෂවල නිර්වචනය කොට තිබේ. එමනිසා, ඔබට යම් කෙනෙකු කෙරෙහි හෝ යම් දෙයක් කෙරෙහි බලා සිටීමට සිදුවූ විට, නැතහොත් ඔබව කුපිත කරනු ලබන විට හෝ පීඩා කරනු ලබන විට ඔබගේ ඉවසීම පරීක්ෂණයට භාජන වෙයි. එවන් තත්ත්වයන්හිදී ඉවසිලිවන්ත පුද්ගලයා සන්සුන්ව සිටී; නොඉවසිලිවන්ත තැනැත්තා ඉක්මන් වී කෝපයෙන් ඇවිස්සෙයි.
අපගේ නොඉවසිලිවන්ත නූතන ලෝකය
විශේෂයෙන්ම නගරබද ප්‍රදේශ බොහොමයක, වැඩි අවධානයක් දෙනු ලබන්නේ, ඉවසීමට නොව නමුත් වේගයටය. මිලියන ගණනක් ජනයා වෙසෙන ජනාකීර්ණ නගරවල, සෑම දවසක්ම ආරම්භ වන්නේ උදෑසන ඔරලෝසුවේ සීනුව නාදවීමත් සමඟිනි. එවිට වියරුවෙන් මෙන් කඩිමුඩියේ වැඩ පටන් ගැනේ—එනම්, යම් තැනකට යෑමට, යමෙකුව බැහැදැකීමට, යමක් ඉටුකර ගැනීමට යනාදියෙන්ය. බොහෝ දෙනෙක් ආතතියට හසුවී නොඉවසිලිවන්ත වීම පුදුමයක්ද?
අන්‍යයන්ගේ අඩුලුහුඬුකම්වලට මුහුණපාන විට ඔබ කලබල වන්නෙහිද? “කලට වේලාවට වැඩ සිදුවෙන්නේ නැත්නම් මම ඒකට කැමති නැහැ” යනුවෙන් ඇල්බට් පවසයි. නියමිත වේලාවට වඩා පමා වී පැමිණෙන කෙනෙකු කෙරෙහි බලා සිටීම, විශේෂයෙන්ම හමුවීමට නියමිත වේලාව ඉක්මවා ගොස් ඇත්නම් ඒ ගැන බලා සිටීම මහා හිරිහැරයක් බවට වැඩි දෙනෙකු එකඟ වනු ඇත. දහඅටවැනි සියවසේ බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකුවූ නිව්කාස්ල්හි ආදිපාදවරයා ගැන මෙසේ පවසනු ලැබ තිබිණි: ‘ඔහු උදෑසන පැය භාගයකින් ප්‍රමාද වෙයි, එමනිසා දවස පුරා ඔහුට කිසිම වැඩක් නියමිත වේලාවට කිරීමට නොහැකිය.’ ඔබට එවැනි පුද්ගලයෙකු සමඟ දවසක් දවසක් පාසා රඳා පැවතීමට තිබුණා නම්, ඔබ ඉවසිලිවන්තව සිටිනු ඇත්ද?
යම් වාහනයක් පදවන විට, ඔබ සැණෙකින් කුපිත වී, බලා සිටීමට අදිමදි කරමින් හෝ වේගයෙන් පදවා ගෙන යෑමට පෙලඹෙන්නෙහිද? එවන් තත්ත්වයන්හිදී, නොඉවසිල්ල බොහෝවිට විපත්වලට අතවනයි. එක්දහස් නවසිය අසූ නවය වසර අතරතුරේදී, බටහිර ජර්මනිය ලෙස එවකට හැඳින්වූ ප්‍රදේශයේ, මහා මාර්ග අනතුරු 4,00,000කට වඩා වැඩි ගණනක දරුණු තුවාල හෝ මරණ සිදුවිය. ඇත්තෙන්ම, මින් 3න් 1ක්ම සිදුවූයේ, අධික වේගය නිසාය, නැතහොත් ඉදිරියෙන් ගමන් කළ වාහනයට වඩාත් කිට්ටුවෙන් පැදවීම නිසාය. එබැවින්, පුද්ගලයන් 1,37,000කට වැඩි ප්‍රමාණයකට දරුණු තුවාල සිදුකිරීමට හෝ මරණයට පත් කිරීමට යටත් පිරිසෙයින් යම් තරමකට හේතුවූයේ නොඉවසිලිවන්තකමයි. මෙය නොඉවසිලිවන්තකමේ මොනතරම් දුර්විපාකයක්ද!
“යමෙක් හැමවිටම පාහේ කථාවකට බාධා පමුණුවන විට, නැත්නම් යමෙක් හුඟාක් පුරසාරම් දොඩන විට, ඉවසිලිවන්තව සිටීම මට අසීරු දෙයක්,” යයි ඈන් පැමිණිලි කරන්නීය. “වයසක අය කෙරෙහි යෞවනයන් කිසිම ගෞරවයක් නොදක්වන විට” තමාගේ ඉවසීමට අභියෝග එල්ල වේ යයි කාර්ල් හර්මාන් පිළිගනී.
මෙවැනි හා වෙනත් තත්ත්වයන් ඔබගේ ඉවසීම නැති කරනවා වෙන්නට පුළුවන. එසේ නම්, වැඩියෙන් ඉවසීම වගා කිරීමට ඔබට හැක්කේ කෙසේද?
ඔබගේ ඉවසීම ශක්තිමත් කිරීමට යෙහෝවඃවහන්සේට හැක
බොහෝ දෙනෙක් සිතන්නේ ඉවසීම තීරණයක් ගැනීමට නොහැකි බවක් හෝ දුර්වලකමක් අඟවන බවය. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේහට ඉන් අඟවන්නේ ශක්තියේ සංකේතයෙකි. උන්වහන්සේම, “ඉවසිලිවන්ත වන සේක. . . . මක්නිසාද සියල්ලන් පසුතැවිලි වෙනවාට මිස කිසිවෙකු විනාශ වෙනවාට උන්වහන්සේ කැමති නැත.” (2 පේතෘස් 3:9, NW) එමනිසා, ඔබ ඔබවම වළක්වා ගැනීම ශක්තිමත් කිරීමට, යෙහෝවඃවහන්සේට තදින් ඇලී සිට, ඔබගේ මුළු හදින් උන්වහන්සේ මත රඳා සිටින්න. ඉවසිලිවන්ත චිත්ත ස්වභාවයක් වර්ධනය කර ගැනීමට තිබෙන වඩාත්ම වැදගත් එකම පියවර නම්, දෙවියන්වහන්සේ සමඟ ඔබගේ සම්බන්ධතාව ශක්තිමත් කිරීමයි.
එපමණක්ද නොව, පොළොව සහ මිනිස් වර්ගයා සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ අරමුණු දැනගැනීමද ඉතා වැදගත්ය. “අත්තිවාරම් ඇත්තාවූ දෙවියන්වහන්සේ විසින් යෝජනා කර සෑදුවාවූ නුවර [දෙවියන්වහන්සේගේ රාජ්‍යය] ගැන [ආබ්‍රහම්] බලාසිටියේය.” (හෙබ්‍රෙව් 11:10) ඒ හා සමානව, දිව්‍ය පොරොන්දු පිළිබඳව පැහැදිලි දෘෂ්ටියක් තබා ගෙන යෙහෝවඃවහන්සේ කෙරෙහි බලා සිටීමෙන් සෑහීමකට පත්වීම ප්‍රයෝජනදායකය. දේවල් ගැන ඉක්මනින් කලබල වෙනවා වෙනුවට, ඉවසීම ඇත්තෙන්ම ජනයාව සත්‍යය නමස්කාරය වෙතට දිනාගනු ලබන බව එවිට ඔබ වටහා ගන්නවා ඇත. මේ අයුරින්, “අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීම යයි සලකාපල්ලා.”—2 පේතෘස් 3:15.
ඔබගේම පෞද්ගලික තත්ත්වයන් නිසා ඔබගේ ඉවසීම දැරිය නොහැකි තරමට පරීක්ෂණයට ලක් වේ නම් තත්ත්වය කුමක්ද? නොඇදහිලිකාර අය ඔබව ඉතා කටුක පීඩාකාරී තත්ත්වයකට පත් කරත්ද? නිමක් නැති දීර්ඝ කාලයක් සේ දිස්වන කලක් පුරා ඔබ අසනීපව සිටි ඇත්ද? එවන් තත්ත්වයකදී, ශ්‍රාවක යාකොබ් ලියූ දේ හෘදයට ගන්න. ඉවසීම ක්‍රියාවට නැංවීමෙහිලා අනාගතවක්තෘවරුන් සැපයූ රටාව වෙතට යොමු දැක්වීමෙන් අනතුරුව, තදබල පීඩා යටතේ සන්සුන්ව සිටීමේ රහස ඔහු හෙළි කළේය. යාකොබ් පැවසුවේ මෙසේයි: “නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු [දිගටම, NW] යාච්ඤාකරාවා.”—යාකොබ් 5:10, 13.
ඔබගේ ඉවසීම ශක්තිමත් කරන මෙන්ද, පරීක්ෂා යටතේ ඔබේ ස්වභාවය පාලනය කර ගැනීමට උපකාර කරන මෙන්ද යාච්ඤාවෙන් දෙවියන්වහන්සේට කන්නලව් කරන්න. යළි යළිත් යෙහෝවඃවහන්සේ වෙතට හැරෙන්න, ඔබගේ ශාන්තභාවයට කිසියම් තර්ජනයක් එල්ල කරන අන්‍යයන්ගේ තත්ත්වයන් හෝ ගති පැවතුම් හඳුනාගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කරනවා ඇත. පරීක්ෂාවන් ඇති විය හැකිවාක් මෙන් පෙනෙන්නට තිබෙන තත්ත්වයන් ගැන කලින්ම යාච්ඤා කිරීම, සන්සුන්ව සිටීමට ඔබට උපකාර වෙනවා ඇත.
තමා සහ අන්‍යයන් ගැන නිසි දෘෂ්ටියක්
මනසේ ශාන්ත ස්වභාවයක් පවත්වා ගැනීම පිණිස, ඔබට ඔබ ගැන හා අන්‍යයන් ගැන නිසි දෘෂ්ටියක් ගත යුතුය. බයිබලය අධ්‍යයනය කිරීමක් තුළින්, මෙම නිසි දෘෂ්ටිය ලබා ගත හැකිය, මන්ද සෑම කෙනෙකුටම උරුමවූ අසම්පූර්ණකම් තිබෙන බවත්, එමනිසා දුර්වලකම් තිබෙන බවත් ඉන් පෙන්වන බැවිනි. එපමණක්ද නොව, බයිබල් දැනුම ඔබට ප්‍රේමය තුළ වර්ධනය වීමට උපකාර කරයි. අන්‍යයන් කෙරෙහි ඉවසීම විදහාපෑම පිණිස මෙම ගුණාංගය අත්‍යවශ්‍යය.—යොහන් 13:34, 35; රෝම 5:12; පිලිප්පි 1:11.
ඔබ කලබලවන අවස්ථාවලදී ප්‍රේමය හා සමාව දීමට දැඩි කැමැත්තකින් සිටීම ඔබව සන්සුන් කළ හැකියි. ඔබව කේන්තිගස්වන ගතිපැවතුම් යමෙකුට තිබේ නම්, ඔබ අකමැති වන්නේ එම ගතිපැවතුම්වලට මිස පුද්ගලයාට නොවන බව ප්‍රේමය ඔබට සිහිගන්වනු ඇත. බොහෝවිට ඔබගේම දුර්වලකම් දෙවියන්වහන්සේගේ ඉවසීම කොපමණ පරීක්ෂා කරනවාද කියාත් අන්‍යයන්ව කුපිත කරනවාද කියාත් සලකා බලන්න.
ඔබ ගැනම නිවැරදි දෘෂ්ටියක් තබා ගැනීමද ඉවසීමෙන් යුතුව බලා සිටීමට ඔබට උපකාරවත් වෙනවා ඇත. නිදසුනක් වශයෙන්, ඔබ යෙහෝවඃවහන්සේගේ සේවය තුළ වරප්‍රසාද සඳහා වීර්ය කර තිබෙන මුත් ඔබගේ බලාපොරොත්තු සුන්වී ගොස් තිබේද? ඔබගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන බවක් ඔබට දැනේද? එය එසේ නම්, බොහෝ නොඉවසිලිවන්තකම උඩඟුකම තුළ මුල් බැසගෙන තිබෙන බව මතක තබා ගන්න. “උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය” යයි සාලමොන් පැවසීය. (දේශනාකාරයා 7:8) එසේය, උඩඟුකම වනාහි ඉවසීම වගා කිරීමට ඇති ප්‍රධාන බාධකයකි. යටහත් පහත් පුද්ගලයෙකුට සන්සුන්ව බලාසිටීමට වඩාත් පහසු බව සැබෑ නොවේද? එමනිසා, යටහත් පහත්කම වගාකරන්න, තවද මෙසේ මනසේ සාමයෙන් යුතුව යම් ප්‍රමාදයක් භාර ගැනීමට ඔබට වඩාත් හොඳින් හැකි වෙනවා ඇත.—හිතෝපදේශ 15:33.
ඉවසීම මහඟු විපාක ගෙන එයි
ආබ්‍රහම් ප්රධානකොටම ප්‍රසිද්ධ වී ඇත්තේ ඔහුගේ ඇදහිල්ල නිසාය. (රෝම 4:11) එහෙත්, ඉවසීම ඔහුගේ ඇදහිල්ල කල්පවත්නා එකක් බවට පත් කළේය. යෙහෝවඃවහන්සේ කෙරෙහි බලා සිටීම වෙනුවෙන් ඔහුට ලැබුණු විපාකය කුමක්වීද?
යෙහෝවඃවහන්සේගේ වැඩි වර්ධනය වූ විශ්වාසය ඔහු වෙත දානය කරන ලදි. මෙසේ ආබ්‍රහම්ගේ නාමය ශ්‍රේෂ්ඨ එකක් වූ අතර, ඔහුගෙන් පැවතෙන්නෝ බලවත් ජාතියක් බවට පත්වූහ. පොළොවේ සියලු ජාතීන්ට ඔහුගේ වංශය කරණකොටගෙන තමන්ටම ආශීර්වාද කර ගැනීමට හැක. ආබ්‍රහම් දෙවියන්වහන්සේ වෙනුවෙන් කථා කරන්නෙකු වශයෙන්ද, මැවුම්කරු රූපකයක් හැටියට පවාද කටයුතු කළේය. ආබ්‍රහම්ගේ ඇදහිල්ල හා ඉවසීම උදෙසා මීට වඩා ඉමහත් විපාකයක් තිබුණා විය හැකිද?
පරීක්ෂා ඉවසීමෙන් යුතුව විඳදරාගන්නා ක්‍රිස්තියානින් කෙරෙහි, “යෙහෝවඃවහන්සේ ස්නෙහයෙන් ඉතා මුදු මොළොක් වන සේක.” (යාකොබ් 5:10, 11, NW) එවැනි පුද්ගලයෝ උන්වහන්සේගේ කැමැත්ත කිරීම නිසා පිරිසිදු හෘදය සාක්ෂියක් භුක්ති විඳිති. එසේ නම්, ඔබගේ තත්ත්වය සම්බන්ධයෙන්, ඔබ යෙහෝවඃවහන්සේ කෙරෙහි බලා සිට ඉවසීමෙන් යුතුව පරීක්ෂා විඳදරා ගන්නේ නම්, ඔබගේ සංයමය, යෙහෝවඃවහන්සේගේ අනුමැතිය හා ආශීර්වාදවලට හේතුකරවනවා ඇත.
දෙවියන්වහන්සේගේ ජනයාගේ ජීවිතවල සෑම පැත්තකටම ඉවසීම හොඳින් ගැළපෙයි. යෙහෝවඃවහන්සේගේ සේවකයන් දෙදෙනෙකු වන ක්‍රිස්ටියාන් හා ආග්නස් නමැති අය විවාහ ගිවිස ගැනීමට තීරණය කළ අවස්ථාවේදී මෙය තේරුම්ගත්හ. ආග්නස්ව වඩාත් හොඳින් දැනගැනීමට ක්රිස්ටියාන්ගේ දෙමාපියන්ට වුවමනා වීම නිසා ඊට ගෞරව කරමින් ඔවුහු තම ගිවිස ගැනීම ප්‍රමාද කළෝය. මෙම ක්‍රියාවෙන් ඇතිවූ බලපෑම කුමක්ද?
“අපගේ ඉවසීම අපගේ දෙමාපියන් කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කළාද කියා අපට වැටුහුණේ ඉන්පසුවයි. අප ඉවසීමෙන් යුතුව බලා සිටීම මගේ භාර්යාව හා මා අතර සම්බන්ධය විනාශ කළේ නැහැ. එහෙත් එය මගේ දෙමාපියන් සමඟ අපේ සම්බන්ධතාව ගොඩනැංවීමේ පළමුවෙනි ගඩොල් කැටය වුණා” යනුවෙන් ක්‍රිස්ටියාන් පැහැදිලි කරයි. එසේය, ඉවසීමෙන් ලබන විපාක බොහෝ අගනේය.
ඉවසීම සමාදානයද වැඩි දියුණු කරයි. සිදුවන සෑම දෝෂයක්ම ඔබ විසින් ප්‍රශ්නයක් කර නොගැනීම ගැන ඔබගේ පවුලේ අය හා මිත්‍රයන් ඔබට කෘතඥපූර්වක වනු ඇත. අන්‍යයන් අතින් වැරදි සිදු වන විට, ඔබගේ සන්සුන්කම හා අවබෝධය ලජජාව ඇතිකළ හැකි අවස්ථා ඇතිවීම වළක්වාලනු ඇත. චීන ආප්තෝපදේශයක් මෙසේ කියයි: “කෝප වූ මොහොතක ඉවසා සිටීම, දවස් සිය ගණනකට විඳින්නට සිදුවන බලවත් සන්තාපවලින් ඔබව ආරක්ෂා කරයි.”
ඉවසීම ඔබගේ පෞරුෂත්වය නංවාලයි, එහි ප්‍රතිඵලයක් වශයෙන්, අනෙකුත් කදිම ගුණාංග එමගින් ඔපමට්ටම් වෙයි. එය ඔබගේ ඇදහිල්ල කල්පවතින එකක් කරයි, ඔබගේ සමාදානය දිගු කාලීන කරයි. ඔබගේ ප්‍රේමය නොසෙල්වන එකක් කරයි. කරුණාවන්තකම, යහපත්කම හා මොළොක්කම ක්‍රියාවට නංවන අතරේදී, ඉවසිලිවන්ත වීම ඔබට ප්‍රීතිමත්වීමට මහෝපකාරී වෙයි. ඉවසීම ක්‍රියාවට නැංවීමෙන්, බොහෝ ඉවසිලිවන්තකම හා ආත්ම-දමනය වගාකිරීමට අත්‍යවශ්‍යය ශක්තිය වර්ධනය වෙයි.
යෙහෝවඃවහන්සේගේ පොරොන්දු ඉටුවීම කෙරෙහි ඉවසීමෙන් යුතුව බලා සිටින්න, එවිට, පුදුමාකාර අනාගතයක් ගැන ඔබට සහතික විය හැක. ආබ්‍රහම් මෙන්, ඔබ ‘ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුම කර ගනීවා.’—හෙබ්‍රෙව් 6:12.
[23වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇතුව සිටීම, ආබ්‍රහම් කළාක් මෙන් ඉවසීම විදහාපෑමට ඔබට උපකාරවත් වනු ඇත