ඔබ එකඟනොවීම් නිරාකරණය කරගන්නේ කෙසේද?
නොසැලකිලිමත්ව සෙලවුණු නිසා රාක්කය මත තිබෙන පිඟන් මැටියෙන් සාදන ලද අලි පස්දෙනාගෙන් තෙවැන්නා බිම වැටුණි. එම අලියා ප්‍රතිසංස්කරණය කළ යුතුය. එසේ නොකළොත් එම අලි කට්ටලයේ එකඟත්වය නැති වී යනු ඇත. කෙසේවෙතත්, එම ක්‍රියාවලිය පරෙස්සමින් කළ යුත්තක් වන අතර ඔබ ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ යයි ඔබට නොහැඟේ. ඔබ උපදෙස් පැතිය යුතුය, නැතහොත් එම වැඩය කර දෙන හැටියට නිපුණ තැනැත්තෙකුගෙන් ඉල්ලා සිටින්නට පවා සිදුවිය හැක.
ආත්මික සහෝදර සහෝදරියන් අතර එකඟත්වය හුදු විසිතුරු භාණ්ඩවලට වඩා අගනේය. ගීතිකාකරු යෝග්‍ය ආකාරයකට ගායනා කළේ, “බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද!” යනුවෙනි. (ගීතාවලිය 133:1) සෙසු ක්‍රිස්තියානියෙක් සමඟ එකඟනොවීමක් නිරාකරණය කිරීම ඇතැම් අවස්ථාවන්හි පරෙස්සමින් කළ යුත්තක් විය හැකිය. ඇරත්, ඇතැමෙක් මේ සම්බන්ධයෙන් හරි ක්‍රමයට ක්‍රියා නොකරති. එබැවින් බොහෝ විට එම “ප්‍රතිසංස්කරණය” නුවුවමනා ලෙස වේදනාකාරී, නැතහොත් අවලක්ෂණ සලකුණු තබමින්, එතරම් හිතකර තත්ත්වයක නොපවතින්නට ඉඩ තිබේ.
ඇතැම් ක්‍රිස්තියානිහු තමන් විසින්ම හසුරුවා ගත හැකි කාරණා සම්බන්ධයෙන් පත්කරන ලද වැඩිමහල්ලන්ව හවුල් කර ගැනීමට නුවුවමනා ලෙස වෑයම් දරති. මෙය මෙසේ විය හැක්කේ, කළ යුත්තේ කුමක්දැයි තමන් ස්ථිරවම නොදන්නා නිසා වන්නට පුළුවන. “අපගේ සහෝදරයෝ බොහෝ දෙනෙක් තමන්ගේ එකඟනොවීම් නිරාකරණය කරගැනීමට බයිබල් උපදෙස් අදාළ කර ගත යුතු ආකාරය දන්නේ නැහැයි” කියා බයිබල් උපදෙස් දීමෙහි අද්දැකීම් ලත් සහෝදරයෙක් පවසයි. “බොහෝවිට ඔවුන් කාරණා ක්‍රියාත්මක කරවන යේසුස්වහන්සේගේ ක්‍රමය අනුගමනය කරන්නේ නැත” යයි ඔහු තවදුරටත් පැවසීය. එසේ නම්, සිය සහෝදරයා සමඟ ක්‍රිස්තියානියෙක් එකඟනොවීම් නිරාකරණය කරගත යුතු ආකාරය ගැන යේසුස්වහන්සේ ඇත්ත වශයෙන්ම පැවසුවේ කුමක්ද? මෙම උපදෙස් හොඳින් දැන සිටීමත්, එය අදාළ කරගන්නා ආකාරය ඉගෙන ගැනීමත් ඉතා වැදගත් වන්නේ මන්ද?
සුළු එකඟනොවීම්
“එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න.”—මතෙව් 5:23, 24.
යේසුස්වහන්සේ මෙම වදන් පැවසූ විට, යුදෙව්වෝ යෙරුසලමේ දේවමාලිගාවේ පූජාසනය මත චාරිත්‍රානුකූලව යාග ඔප්පු කළහ, නැතහොත් “පඬුරු” ඉදිරිපත් කළහ. යුදෙව්වෙක් සෙසු ඉශ්රායෙලිතයෙකුට වරදක් කර තිබුණේ නම්, එසේ වරද කළ තැනැත්තාට සම්පූර්ණ දවන පූජාවක් හෝ පාප පූජාවක් ඔප්පු කරන්නට පුළුවන. යේසුස්වහන්සේ විසින් ප්‍රකාශිත උදාහරණය ඉදිරිපත් වන්නේ වඩාත්ම තීරණාත්මක අවස්ථාවේදීය. පුද්ගලයෙක් පූජාසනයට පැමිණ සිය පඬුර දෙවියන්වහන්සේට පුද කරන්නට මොහොතකට පෙර, තමාගේ සහෝදරයාට තමාට විරුද්ධව යමක් ඇති බව ඔහුට සිහිපත් වේ. එසේය, එවන් ආගමික යුතුකමක් ඉටුකිරීමට කලින් සිය සහෝදරයා සමඟ සමගිවීම වඩාත් වැදගත් සේ සැලකිය යුතු බව එම ඉශ්රායෙලිතයා තේරුම් ගතයුතුව තිබුණි.
එවන් යාග මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අවශ්‍යතාවක් වුවද, ඒවා පමණක්ම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඉමහත් වටිනාකමකින් යුක්ත වූයේ නැත. දිවැස්වර සාමුවෙල් අවිශ්වාසවන්ත සාවුල් රජට පැවසුවේ මෙසේය: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ප්‍රසන්නවනසේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.”—1 සාමුවෙල් 15:22.
සිය කන්ද උඩ දේශනාවේදී, යේසුස්වහන්සේ මෙම ප්‍රමුඛතා අනුපිළිවෙළ නැවතත් සඳහන් කළ අතර සිය යාගයන් ඔප්පු කිරීමට පෙර තමන්ගේ එකඟනොවීම් ඔවුන් නිරකරණය කරගත යුතු බව සිය ගෝලයන්ට පෙන්වා දුන්සේක. අදදින, ක්රිස්තියානින්ගෙන් අවශ්යකරවන යාග ආත්මික ස්වභාවයක් ගනී—එනම්, එය “දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව[කි].” (හෙබ්‍රෙව් 13:15) කෙසේවෙතත්, එම ප්‍රතිපත්තිය දිගටම වලංගුය. යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේම කරන බව කියා සිටිමින් සිය සහෝදරයාට වෛර කරන්නේ නම් එය නිෂ්ඵල දෙයක් වනු ඇතැයි ප්‍රේරිත යොහන් සමානාකාරයෙන් පෙන්වයි.—1 යොහන් 4:20, 21.
සැලකිය යුතු ලෙසින්, මුල් පියවර ගත යුත්තේ සිය සහෝදරයාට තමාට එරෙහිව යමක් ඇති බව මතක් වන තැනැත්තාය. ඔහු එසේ විදහා පෙන්වන නිහතමානිකම ඇතැම්විට යහපත් ඵල දරන්නට පුළුවන. සමහර විට, තමාගේම වරද පිළිගනිමින් ඔහු වෙතට පැමිණෙන තැනැත්තා සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට අමනාපයට පත් කරන ලද පුද්ගලයා ප්‍රතික්ෂේප නොකරනු ඇත. වැරදි ලෙස ගනු ලැබූ ඕනෑම දෙයක්, පහෙන් කොටසක්ද ඊට එකතු කර එය සම්පූර්ණ වශයෙන් ආපසු දිය යුතු බව මෝසෙස්ගේ ව්‍යවස්ථාව නියම කර තිබුණි. (ලෙවී කථාව 6:5) නිවැරදිම අදහස ගන්නවා නම්, තමා සිදුකර තිබිය හැකි ඕනෑම හානියක් හරිගස්සනු පිණිස, වරදකරුවා ඉල්ලා සිටින දෙය ඉක්මවා යෑමට සිය කැමැත්ත පළ කරන්නේ නම් සාමකාමී, එකමුතු සම්බන්ධතාවක් නැවත පිහිටුවා ගැනීම සමානාකාරයෙන් පහසු දෙයක් වනු ඇත.
කෙසේවෙතත්, සාමකාමී සම්බන්ධතාවන් නැවත පිහිටුවා ගැනීමට දරන වෑයම් හැමවිටම සාර්ථක නොවේ. ප්‍රතිචාරය දක්වන්නට මැලි වන කෙනෙක් සමඟ එකඟනොවීම් නිරාකරණය කිරීම අපහසු බව හිතෝපදේශ පොත අපට සිහිපත් කරයි. [හිතෝපදේශ 18:19, NW] පවසන්නේ මෙසේය: “සහෝදරයෙකුට විරුද්ධව අයුතුකමක් කෙරේ නම් ඔහු බලවත් නුවරකට වඩා දැඩිය; තවද පදිංචිය සඳහා ටැඹක අගුල් හා සමාන එදිරිවාදිකම් ඇත්තේය.” තවත් පරිවර්තනයක් එය මෙසේ දක්වයි: “අමනාපයට පත් සහෝදරයෙක් දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය: තවද ඔවුන්ගේ විවාද මාලිගාවක අගුල් මෙනි.” (දි ඉංග්ලිෂ්මන්’ස් බයිබල්) කෙසේවෙතත්, අවසානයේ, සියලු කාරණාවන්හි දෙවියන්වහන්සේව ප්‍රසන්න කරන්නට ආශාවෙන් සිටින සෙසු ඇදහිලිවන්තයන් හා සම්බන්ධයෙන් අවංක හා නිහතමානි වෑයම් බොහෝ දුරට සාර්ථක වන්නට ඉඩ තිබේ. ඇතැම් තත්ත්වයන් යටතේ, මතෙව් 18වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති යේසුස්වහන්සේගේ උපදේශය අදාළ කළ යුතුය.
බරපතළ එකඟනොවීම් නිරාකරණය කිරීම
“තවද නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දීපන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය. නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන පලයන්න. ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියාපන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.”—මතෙව් 18:15-17.
යුදෙව්වෙක් (නැතහොත් පසුකලෙක, ක්‍රිස්තියානියෙක්) යෙහෝවඃවහන්සේගේ සෙසු නමස්කාරකයෙකු සමඟ බරපතළ දුෂ්කරතාවකට මුහුණ දෙන්නේ නම් කුමක් කිව හැකිද? මුල් පියවර ගත යුතුව තිබුණේ තමාට එරෙහිව පව් කළේ යයි සිතූ තැනැත්තා විසිනි. වරද කළ තැනැත්තා සමඟ ඔහු පෞද්ගලිකව කාරණා සාකච්ඡා කළ යුතු විය. විශේෂාකාරයෙන්ම සිදුවී තිබුණේ ඉක්මනින් නිරාකරණය කළ හැකි වරදවා තේරුම් ගැනීමක් නම්, පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමාගේ පැත්තට පක්ෂව කාරණා පෙන්වීමට වෑයම් නොදැරීමෙන්, ඔහු නිසැකවම බොහෝ දුරට සිය සහෝදරයාව දිනාගැනීමට ඉඩ තිබෙනු ඇත. එම කාරණය ගැන දැන සිටියේ ඊට කෙළින්ම සම්බන්ධ අය පමණක් නම්, සියල්ල වඩාත් පහසුවෙන් නිරවුල් වනු ඇත.
කෙසේවෙතත්, පළමු පියවර ප්‍රමාණවත් නොවන්නට පුළුවන. එම තත්ත්වයත් සමඟ කටයුතු කරන්නට, යේසුස්වහන්සේ කියා සිටියේ “තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන පලයන්න” යනුවෙනි. මොවුන් කෙළින්ම සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන් පවා විය හැකිය. ඇතැම්විට ඔවුන් එක් පුද්ගලයෙක් අනෙක් තැනැත්තා ගැන ද්වේෂසහගත යමක් කියනු අසා තිබෙන්නට පුළුවන, නැතහොත් සාක්ෂියට කැඳවාගෙන ගිය අය දැන් පක්ෂ දෙක වී එකඟ නොවී සිටින ලිඛිත ගිවිසුමට අත්සන් තැබූ විට සාක්ෂිකරුවන්ව සිටි අය වන්නට පුළුවන. අනෙක් අතට, කැඳවාගෙන යන අය, ගැටලුව සඳහා හේතුව පැහැදිලි කිරීම සඳහා ලිඛිත හෝ වාචික සාක්ෂි වැනි යම් කරුණු ඉදිරිපත් කෙරේ නම්, ඔවුන්ට ඒ සඳහා සාක්ෂිකරුවන් වන්නට පුළුවන. මෙහිදී පවා, මෙම කාරණය ගැන සිටිය යුත්තේ හැකි තරම් අඩු පිරිසක්—“එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු”—පමණි. කරුණ වරදවා තේරුම් ගැනීමක් පමණක් වූවා නම්, මෙසේ ක්‍රියා කිරීම කාරණා වඩාත් බරපතළ වීම වළක්වාලනු ඇත.
අමනාප වූ තැනැත්තාට තිබිය යුතු චේතනා මොනවාද? ඔහු වෑයම් දැරිය යුත්තේ සිය සෙසු ක්‍රිස්තියානි තැනැත්තාව නින්දාවට පත්කර, ඔහුව අවමානයට ගොදුරු කිරීමටද? යේසුස්වහන්සේගේ උපදෙස් සලකා බැලීමේදී, සිය සහෝදරයන්ව දෝෂාරෝපණයට ලක් කිරීමට ක්‍රිස්තියානින් ඉක්මන් නොවිය යුතුය. වරද කළ තැනැත්තා තමාගේ වරද පිළිගෙන, සමාව ඉල්ලා, කාරණා නිවැරදි කර ගැනීමට වෑයම් දරන්නේ නම්, ඊට ගොදුරු වූ තැනැත්තා සිටින්නේ ‘සිය සහෝදරයා දිනා’ ගත් තත්ත්වයකය.—මතෙව් 18:15.
එම කරුණ විසඳාගත නොහැකි වූයේ නම්, එය සභාවට ගෙන යා යුතුව තිබුණි. මුලදී, මින් යුදෙව්වන්ගේ වැඩිමහල්ලන්ව අදහස් වුවද, පසුව අදහස් වූයේ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ය. පසුතැවිලි නොවන වරදකරුවාව සභාවෙන් නෙරපා දමන්නට සිදුවිය හැක. යුදෙව්වන් ඇසුරු නොකළ අය වන, “අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද” ඔහුව සලකන්නැයි කීමෙන් අදහස් කෙරෙන්නේ මෙයයි. මෙම භාරදූර පියවර ඕනෑම ක්‍රිස්තියානියෙක් විසින් පෞද්ගලිකව ගත හැක්කක් නොවේ. එවන් පියවර ගැනීමට අනුමැතිය ලබා සිටින්නේ, සභාව නියෝජනය කරන්නාවූ, පත්කරන ලද වැඩිමහල්ලන් පමණකි.—1 කොරින්ති 5:13 සසඳන්න.
පසුතැවිලි නොවන වරදකරුවෙක් නෙරපන්නට ඇති හැකියාවෙන් පෙන්නුම් කෙරෙන්නේ, මතෙව් 18:15-17 සුළු එකඟනොවීම් සම්බන්ධයෙන් අදාළ නොවන බවය. යේසුස්වහන්සේ බරපතළ වැරදිවලට යොමු දක්වමින් සිටියත්, ඒවා වනාහි අදාළ පුද්ගලයන් දෙදෙනා අතර නිරවුල් කරගත හැකි ආකාරයේ ඒවා විය. උදාහරණයක් වශයෙන්, වරද ඊට ගොදුරුවූ තැනැත්තාගේ ගෞරවයට මහත්සේ බලපෑම් කරන අපහාසාත්මක යමක් කීමක් විය හැකිය. එසේත් නැතහොත් එය මූල්‍ය කරුණක් හා සම්බන්ධ වන්නට පුළුවන, මන්දයත් ඊට පසු වගන්තිවල විශාල ණයක් කමා කරනු ලැබූ දයාවිරහිත දාසයා පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාව සඳහන්ව තිබෙන නිසාය. (මතෙව් 18:23-35) දෙන ලද කාලය තුළ ආපසු නොගෙවන ලද ණයක් වනාහි අදාළ පුද්ගලයන් දෙදෙනා අතර පහසුවෙන්ම නිරාකරණය කර ගත හැකි කෙටිකාලීන දුෂ්කරතාවකි. එහෙත් ණයට ගත් තැනැත්තා ණයට ගත් මුදල හිතුවක්කාර ලෙස නැවත ගෙවීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය බරපතළ වරදක්, එනම්, සොරකමක් විය හැකිය.
වෙනත් වැරදි හුදෙක් ක්‍රිස්තියානින් අතර පමණක් නිරවුල් කරගත නොහැක. මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ, ප්‍රසිද්ධියේ ශාප කිරීමක් වැනි වරදක් දැන්විය යුතුව තිබුණි. (ලෙවී කථාව 5:1; හිතෝපදේශ 29:24) සමානාකාරයෙන්, සභාවේ නිර්මලත්වය හා සම්බන්ධ වන්නාවූ එවන් ඉතා බරපතළ වැරදි, ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට දැන්විය යුතුය.
කෙසේවෙතත්, ක්‍රිස්තියානින් අතර සිදුවන ගැටුම් බොහොමයක් මෙම ක්‍රියා පිළිවෙළ යටතට පැමිණෙන්නේ නැත.
ඔබට නිකම්ම සමාව දිය හැකිද?
බරපතළ එකඟනොවීම් නිරාකරණය කරන ආකාරය යේසුස්වහන්සේ පැහැදිලි කිරීමත් සමඟම, උන්වහන්සේ තවත් වැදගත් පාඩමක්ද ඉගැන්වූ සේක. අපට කියවන්නට තිබෙන්නේ මෙසේය: “එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි [සැත්තෑසත්වරක්යයි, NW] කියමි.” (මතෙව් 18:21, 22) තවත් අවස්ථාවක යේසුස්වහන්සේ “දවසකට සත්වරක්” සමාව දෙන හැටියට සිය ගෝලයන්ට පැවසූ සේක. (ලූක් 17:3, 4) එසේ නම්, මින් පැහැදිලි වන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් පසුබෑමෙන් තොරව සමාව දීමෙන් එකඟනොවීම් නිරාකරණය කරගැනීම අපේක්ෂා කෙරෙන බවය.
මෙය වනාහි සැලකිය යුතු වෑයමක් දැරිය යුතු ක්ෂේත්රයකි. මෙම ලිපියේ මුලදී උපුටා දැක්වූ පුද්ගලයා කියා සිටියේ, “ඇතැම් සහෝදරයන්ට සමාව දෙන්නේ කොහොමද කියා හරිහැටි දන්නේ නැහැ” යනුවෙනි. “තමන්ට සමාව දීමට තෝරා ගත හැකි බවත්, එසේ කරන්නේ මූලිකව, ක්‍රිස්තියානි සභාවේ සාමය ආරක්ෂා කිරීමට යයි යමෙක් පැහැදිලි කරන විට ඔවුන් පුදුම වන බවක් දැකිය හැකියි” යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසුවේය.
ප්‍රේරිත පාවුල් ලිව්වේ මෙසේය: “යමෙකුට තවකෙනෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට යම් සාධාරණ හේතුවක් තිබුණද, එකිනෙකා ගැන ඉවසමින්, එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න. යෙහෝවඃවහන්සේ ඔබට නොමසුරුව සමාව දුන්නාක් මෙන්, ඔබත් එසේම කරන්න.” (කොලොස්සි 3:13, NW) අපව අමනාපයට පත්කර ඇති සහෝදරයෙක් වෙතට යන්නට පෙර, මතු සඳහන් ප්‍රශ්න ඕනෑකමින් සිතා බැලීම හොඳය: එම අමනාපය ගැන ඔහුට කථා කිරීම වටීද? ක්‍රිස්තියානි ධර්මයේ සැබෑ ස්වභාවය අනුව, කළ දේ මට අමතක කළ නොහැකිද? මා ඔහුගේ ස්ථානයේ සිටියේ නම්, කමා කරනු ලැබීමට මට වුවමනා නොවනු ඇද්ද? එමෙන්ම සමාව නොදීමට මා තෝරා ගන්නේ නම්, මගේ යාච්ඤාවලට පිළිතුරු සහ සමාව ලැබීමට දෙවියන්වහන්සේගෙන් මට බලාපොරොත්තු විය හැකිද? (මතෙව් 6:12, 14, 15) මෙවන් ප්‍රශ්න සමාව දීමට අපට ඇත්තටම උපකාරවත් විය හැක.
ක්‍රිස්තියානින් හැටියට, අපගේ වඩාත් වැදගත් වගකීම්වලින් එකක් වනුයේ යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සභාව තුළ සාමය ආරක්ෂා කිරීමය. එබැවින්, අපි යේසුස්වහන්සේගේ උපදේශය ක්‍රියාවට නංවමු. මෙය පසුබෑමකින් තොරව සමාව දීමට අපට උපකාරවත් වනු ඇත. මෙවන් සමාව දීමේ ස්වභාවයක් දායක වනු ඇත්තේ යේසුස්වහන්සේගේ ගෝලයන්ව හඳුනා ගැනීමේ ලකුණක් වන සහෝදර ප්‍රේමය වඩවා ගැනීමටය.—යොහන් 13:34, 35.
[23වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේගේ උපදේශය අනුගමනය කිරීමෙන් ක්‍රිස්තියානින්ට සිය එකඟනොවීම් නිරාකරණය කරගත හැක