සාක්ෂිකරුවන් ඔබව හමුවීමට නිතර එන්නේ ඇයි?
අන්න ඔවුන් ආයෙත් ඇවිල්ලා, ඒත් මීට සති කිහිපයකට පෙරත් ඔවුන් මෙහෙ ආවා නේද?’ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් ඔබව හමුවීමට ඔබගේ නිවසට එන විට, මේ අදහස ඔබගේ මනසට නැඟෙනවාද? අදදින මිලියන ගණනක් ජනයාව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් නිතිපතා බැහැදකිනු ලැබේ. වැඩි දෙනෙකුට තමන්ගේම ආගමක් තිබෙන බවත් ඔවුන් උනන්දුවක් නොදක්වන බව දැන දැනත් මේ සාක්ෂිකරුවන් නිතරම අන්‍යයන්ගේ නිවෙස්වලට යන්නේ ඇයි කියා ඔබ අසනවා විය හැක. එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබිය යුතුය.
දෙවියන්වහන්සේ ඉදිරියේ දරන වගකීම
වර්ෂ 1914 පටන්, එනම් පළමු ලෝක යුද්ධය ආරම්භ වූ දා පටන්, මෙම වත්මන් ලෝක පිළිවෙළේ අවසානය ගැනත් පොළොව කෙරෙහි පැමිණෙන්නට යන දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පාලනය ගැනත් බයිබල් අනාවැකි ඉටු කරමින් ලෝක සිද්ධීන් සිදුවෙමින් පවතින බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ශුද්ධ ලියවිලිවලින් ඉගෙන ගෙන සිටිති. සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ සිදුවෙමින් පවතින ප්රචණ්ඩත්වය, ලේ වැගිරීම, වෛරය නිසා මිනිස්වර්ගයාව ඔවුන්ගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ගෙන ඒමට දරන ප්රයත්නයේදී ඔවුන්ව තවත් ඈතට ගෙන ගොස් තිබේ. මිනිස් පවුලට තවමත් පීඩාකරන යුද්ධ සහ ත්‍රස්තවාදය වනාහි, ජනයාගේ හෘදයන්, මනස් හා ආකල්ප වෙනස් කිරීමට මිනිස් පාලන අසමත් වී ඇති බවට තහවුරුවකි. ඉතිහාසයේ සිදුවූ සිද්ධීන් හේතුවෙන් ගැඹුරට කාවැදුණු නුරුස්නාබව නිසා, වාර්ගික, ජාතික හා ආගමික කණ්ඩායම් අතර පවත්නා සබඳතා තවමත් කඩා බිඳී යමින් තිබේ. මෙය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, උතුරු අයර්ලන්තය, මැද පෙරදිග සහ කලින් යුගෝස්ලාවියාව තරම් එකිනෙකට දුරින් පිහිටි රටවල සත්‍යයක් වෙයි. එසේනම්, තිබෙන එකම දිගුකාලීන විසඳුම කුමක්ද?
සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ කුමක්ද?
දෙවියන්වහන්සේගේ විසඳුම වන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ විසින් ගෙනෙන්නට පොරොන්දු වූ දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි ක්‍රියාත්මක කළ හැකි එකම විසඳුම බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පිළිගනිති. යේසුස්වහන්සේ සිය සුප්‍රකට ආදර්ශ යාච්ඤාවේදී, එම රාජ්‍යය උදෙසා ආයාචනයක් පවා ඇතුළත් කළසේක: “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරපල්ලා:—ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” මිනිස් වර්ගයාගේ කටයුතුවලට දෙවියන්වහන්සේගේ මැදිහත්වීමක් මෙම යාච්ඤාවෙන් සැබවින්ම ඉල්ලා සිටින බව සාක්ෂිකරුවෝ විශ්වාස කරති.—මතෙව් 6:9, 10.
එබැවින්, නොකඩවා ගෙයින් ගෙට ගොස්, එම පණිවුඩය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැඟෙන්නේ මන්ද? යේසුස්වහන්සේ විසින් කැපී පෙනෙන්ට යෙදුණු ආඥා දෙකක් නිසාය: “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේම කරව යනුය.”—මතෙව් 22:37-39.
දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීමට සාක්ෂිකරුවන්ට වුවමනාය, එමෙන්ම තම අසල්වාසීන් කෙරෙහි ඇති ප්‍රේමය නිසා, එම ආශීර්වාදම ඔවුන්ද ලබාගන්නවා දැකීම සාක්ෂිකරුවන්ගේ ආශාවයි. මෙසේ, යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කරන ඔවුහු, පරාර්ථකාමී ප්‍රේමයෙන් පෙලඹී, තම අසල්වාසීන්ව බැහැදැකීමට යති. “සන්තෝෂවත් දෙවියන්වහන්සේ” විසින් පිරිසිදු පොළොවක කීකරු මිනිස්වර්ගයා සඳහා පොරොන්දු වී ඇති දේ දැනගැනීමට අඩුතරමින් ප්‍රස්තාවක් ලබා දීමට ඔවුන්ට වුවමනාය.—1 තිමෝති 1:11, NW; 2 පේතෘස් 3:13.
දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කළ ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකුවූ පාවුල්ට, මෙසේ ලිවීමට හැකිවිය. “බොරු නොකියන [බොරු කිව නොහැකි, NW] දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ, දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් [ය].” එසේ, “බොරු කිව නොහැකි” දෙවියන්වහන්සේ, තමන්වහන්සේව දැනගෙන සේවය කිරීමට නිහතමානී ලෙස උත්සාහ කරන අයට සදාකාල ජීවනය “පොරොන්දු” වූසේක.—තීතස් 1:1, 3; ශෙපනියා 2:3.
සාක්ෂිකරුවන්ට වැටුපක් ගෙවනවාද?
සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ දේව සේවය සඳහා වැටුප් ගෙවන බව ඇතැම් අය යම් යම් අවස්ථාවල චෝදනා කර තිබේ. එය අමූලික බොරුවකි! පාවුල් කොරින්ති සභාවේ අයට ලියූ වචන ඔවුහු බැරෑරුම් ලෙස සැලකිල්ලට ගනිති: “බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් අපි, දෙවියන්වහන්සේගේ වචනය බාල වෙළඳ බඩුවක් මෙන් නොකොට, අවංකවද දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙසද උන්වහන්සේ ඉදිරියෙහි කිතුනු සේවකයන් මෙන් ප්‍රකාශ කරමු.”—2 කොරින්ති 2:17, නව අනුවාදය.
තමන්ගේ ආගමික සේවාවන් උදෙසා හෝ වේවා, නැතහොත් තමන්ගේ රූපවාහිනී මෙහෙයන්වල වාණිජ ව්‍යාපාර ප්‍රචාරණය කිරීම වෙනුවෙන් හෝ වේවා, ඇත්තෙන්ම, සමහරක් ආගමික නායකයෝ මුදල් ලබා ගැනීමේ අටියෙන් දේශනා කරති. බොහෝ ආගම්වලට වැටුප් ගෙවන පූජක පක්ෂයක් සිටී.
මීට හාත්පසින්ම වෙනස්ව, සාක්ෂිකරුවන්ට මුදල් ගෙවනු ලබන පූජක පංතියක් නැත, තවද ඔවුන්ගේ පොත්පත් අවංකව සත්‍යය සොයන අය වෙත, සුළු සම්මාදමකට ඉදිරිපත් කරනු ලැබේ, තවද මේ අයගෙන් බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කිරීමට පෙලඹෙති. මෙම ලෝක ව්‍යාප්ත දේශනා වැඩයෙහි වියදම් පිරිමසා ගැනීමට මේවා යොදා ගැනේ. “නුඹලා නොමිලයෙහි ලැබුවහුය, නොමිලයේ දීපල්ලා,” යන යේසුස්වහන්සේගේ උපදෙසට එකඟව, සෑම වසරකම පැය මිලියන ගණනක් දෙවියන්වහන්සේගේ සේවය තුළ කැප කරමින් ඔවුහු තම කාලය හා ශක්තිය ඇතුළු තම සම්පත් නොමිලේ වැය කරති. මෙසේ, ඔවුහු ගෙයින් ගෙට යෑමෙන් සහ නිවාස බයිබල් පාඩම් මාර්ගයෙන් උනන්දුමත් අයට උගන්වති.—මතෙව් 10:8; 28:19, 20; ක්‍රියා 20:19, 20.
පුද්ගලයන් වශයෙන් හෝ තම ප්‍රදේශයේ පිහිටි සභාවන්ට හෝ වොච් ටවර් සමිතියට හෝ මුදල් උපයා ගැනීමේ චේතනාවක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට නොමැති බව සැබෑ කරුණුවලින් ඔප්පු කෙරේ. ගෙයින් ගෙට යෑම සම්බන්ධයෙන් කිසිවෙක් කිසි මුදල් ගෙවීමක් ලබන්නේ නැත. එසේ නම්, ඔවුන්ගේ වැඩකටයුතුවලට මුදල් ලැබෙන්නේ කෙසේද? ලොව පුරා අගය කිරීමෙන් යුත් පුද්ගලයන්ගෙන් ලැබෙන ස්වේච්ඡා සම්මාදම් මගිනි. කිසි විටෙකත් මුදල් එකතු කිරීමක් කෙරෙන්නේ නැත.
ඔවුන්ගේ සාක්ෂිදැරීමේ ඇති මහත් බලපෑම
ගෙයින් ගෙට සේවය සහ සාක්ෂිකරුවන්ගේ අනියම් ලෙස දේශනා කිරීම, මහජනයාගේ සාවධානත්වය කෙරෙහි මහත් බලපෑමක් ඇති කොට තිබේද? ජනමාධ්‍ය තුළින් දිස්වෙන සාක්ෂිවලින් එකහෙළා පවසන්නේ පිළිතුර එසේය වන බවයි. රූපවාහිනී වැඩසටහන්වල සහ චිත්‍රපටවල, යම් කෙනෙක් දොරට තට්ටු කරන දර්ශනවලදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව සඳහන් කරනු ලැබ තිබේ. කාටුන් චිත්රකථාවල සාක්ෂිකරුවන්ව සඳහන් කර තිබේ. ඔවුන්ගේ ජ්වලිත ක්‍රියාකාරකම් කොතරම් ප්‍රසිද්ධවී ඇත්ද යත්, ලොවවටා කාටුන් ශිල්පීහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට යොමුදැක්වීම් ඇතුළත් කොට සිටිති. මේවායේ උපහාසාත්මක බවක් දිස්වන්නට තිබුණත්, ඒවා පදනම් වී ඇත්තේ ඒකාන්ත මූලික සත්‍යයන් මතය—එනම්, සාක්ෂිකරුවන් තම ගෙයින් ගෙට සේවය නොකඩවා කරගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී ඇති බවය.—ක්‍රියා 20:20.
එක් මිනිසෙක්, “හින්දු ආගමේ ගුරු” කෙනෙකුගෙන් විචාරීම සඳහා කන්දකට නඟිනවා මෑතකදී එක් කාටුන් දර්ශනයක පෙන්නුම් කෙරිණි. ඔහු මෙසේ කීවේය: “සිදුවීමට තිබෙන පුදුමාකාර දේවල් ගැන මට කියන්න.” “ගුරු” පිළිතුරු දුන්නේ කෙසේද? “අපි බලමු. . . . සාගත, වසංගත, භූමිකම්පා තිබේවි. ඉර අඳුරු වෙයි, සඳ ලේ වෙයි.” “තිබෙන ශුභාරංචිය කුමක්ද?” කියා ප්‍රශ්න අසන්නා ඇසීය. “ගුරු” මීට පිළිතුරු දුන්නේ මෙසේයි: “දෙවියන්වහන්සේ සියලු කඳුළු පිසදමනවා ඇත, . . . මරණයත් වැලපීමත් වේදනාවත් තවත් නොතිබෙනවා ඇත!” “ඔබ එවැනි දේවල් දන්නේ කෙසේද?” අමුත්තා ඇසීය. පිළිතුර? “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් බේරීමට කිසිවෙකුට බැහැ!” එමෙන්ම මෙම කාටුන් චිත්‍ර ශිල්පියා සම්බන්ධවද එම දේම සැබෑ වූවා විය යුතුය!
මෙවැනි හා ඒ හා සමාන වැඩසටහන්වලින් ගත හැකි ඒත්තුගන්වන කරුණ නම්, එය සාක්ෂිකරුවන්ගේ නිරන්තර බැහැදැකීම පමණක් නොව, නමුත් ඔවුන්ගේ පණිවුඩයේ නිරන්තර බවද එමගින් හෙළි කිරීමය. එම වචන ස්වල්පය තුළ, එම චිත්‍ර ශිල්පියා, ඔවුන්ගේ ගෙයින් ගෙට සාක්ෂිදැරීමේ මූලික කොටසක් ගෙන හැර පා ශුද්ධ ලියවිලිවලට යොමු දැක්වූයේය.—සසඳන්න මතෙව් 24:7, 29; එළිදරව් 21:3, 4.
වැඩි දෙනෙක් සාක්ෂිකරුවන්ගේ පණිවුඩය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් අධෛර්ය වන්නේ වත්, ඔවුන්ගේ ජ්වලිතය බාල කරන්නට යන්නේ වත් නැත. ප්‍රේරිත පේතෘස් අවවාද කළේ මෙසේයි: “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ [පැමිණ සිටීමේ, NW] පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝය. එසේ වුවද, ප්‍රේමයෙන් පෙලඹී සිටින සාක්ෂිකරුවන්, තමන්ගේ අසල්වාසීන්ව නොකඩවා ගොස් බැහැදකින අතර, දෙවියන්වහන්සේ මෙම වත්මන් දූෂිත පිළිවෙළ අවසානයකට ගෙනෙන තෙක් එසේම කරනවා ඇත.—2 පේතෘස් 3:3, 4.
අන්තිම දවස්වලදී, පළමුකොට ශුභාරංචිය දේශනා කළ යුතුව තිබේ යයි යේසුස්වහන්සේ පැවසූසේක. මෙය කරන්නේ මන්ද සහ කෙසේද කියා තවදුරටත් පරීක්ෂා කර බැලීමට ඊළඟ ලිපි දෙක කියවා බලන්න.—මාර්ක් 13:10.
[9වන පිටුවේ පින්තූර]
වැටුප් ලබන පූජක පංතියක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට නැත—ඔවුහු සියල්ලෝම ස්වේච්ඡාවෙන් සේවය කරති