පාඨකයන්ගෙන් ප්‍රශ්න
ආර්ථික වශයෙන් දුෂ්කර වූ මෙම කාලවලදී, පුද්ගලයෝ සහ සමාගම් එන්ට එන්ටම තමන් බංකොලොත් බව ප්‍රකාශ කරමින් සිටිති. බංකොලොත්භාවය සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රකාශයක් කිරීම ශුද්ධ ලියවිලිමය වශයෙන් ක්‍රිස්තියානියෙකුට සුදුසු දෙයක්ද?
පැහැදිලිවම නවීන දිනට අදාළ වන්නාවූ කාරණා සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රායෝගික මඟ පෙන්වීම් අපට සපයන ආකාරය පිළිබඳ කදිම උපහැරණයක් මෙම ප්‍රශ්නයේ පිළිතුරෙන් සැපයේ. බංකොලොත්භාවය පාලනය කරන නීති බොහෝ රටවලට තිබේ. රටින් රටට නීති වෙනස් වෙයි, තවද මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ඉදිරිපත් කිරීම ක්‍රිස්තියානි සභාවට අයිති දෙයක් නොවේ. එහෙත්, බංකොලොත්භාවය පිළිබඳ නීතිමය සැපයුම සම්බන්ධයෙන් යම් මූලික අදහසක් ලබාගන්නට අපි වෑයම් කරමු.
ආණ්ඩු විසින් පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට බංකොලොත්භාවය සඳහා අධිකරණයට ප්‍රකාශයක් කිරීම ඉඩ දීමට එක් හේතුවක් නම්, මුදල් ණයට දෙන හෝ ණය ඉදිරිපත් කරන අයට (ණය හිමියන්ට), මුදල් ණයට ගන්නාවූ හෝ ණය පවරාගන්නාවූ (ණය කරුවන්) නමුත්, තමන් විසින් ගෙවිය යුතු දේ නොගෙවන්නාවූ පුද්ගලයන්ගෙන් හෝ ව්‍යාපාරවලින් යම් පමණක ආරක්ෂාවක් ලබා දීමයි. එබැවින්, තමන්ට අයත් දේ නැවත ලබා ගැනීමට තිබෙන එකම ක්‍රියා මාර්ගය වශයෙන්, ණය හිමියාට පෙනී යා හැකි දෙය නම්, ණය කරුවා විසින් බංකොලොත්භාවය පිළිබඳ අධිකරණයට ප්‍රකාශයක් කරන ලෙසට ණය කරුවාට අණ කරන මෙන් අධිකරණයට ආයාචනා කිරීමය, එවිට ණයේ කොටසක් ගෙවන පරිද්දෙන් ණය කරුවාගේ වත්කම් බෙදිය හැකිය.
මෙම බංකොලොත්භාවය පිළිබඳ ප්‍රකාශයක් කිරීම ක්‍රියාත්මක වන තවත් මාර්ගයක් නම්, තමන්ගේ ණය හිමියන් සෑහීමට පත් කිරීමට අවංක ලෙසම නොහැකි ණය කරුවන්ට යම් ආරක්ෂාවක් ඒ මගින් ලබා දීමය. බංකොලොත්භාවය සඳහා අධිකරණයට ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ණය කරුවාට අවසර ලැබෙනවා විය හැකි අතර, ඔහුගේ ණය කරුවන්ට ඔහුගේ වත්කම්වලින් සමහරක් ලබා ගත හැකි වෙයි. එහෙත්, ණය කරුවාට නිවස හෝ අවම වත්කම් රඳවා තබා ගැනීමටත්, ඔහුගේ කලින් ණය කරුවන්ගේ තර්ජනයකින් හෝ දේපළ අල්ලා ගැනීමකින් තොරව දිගටම තම ජීවිතයේ එදිනෙදා කටයුතු කර ගෙන යෑමටත් නීතියෙන් ඔහුට ඉඩ හරින්නට පුළුවන.
එසේ නම්, මුල්‍යමය හෝ ව්‍යාපාර ගනුදෙනුවලදී දෙපැත්තටම යම් ආරක්ෂාවක් ලබා දීම පිණිස මෙම නීති සම්පාදන කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහෙත්, බයිබලය ඉදිරිපත් කරන උපකාරවත් උපදෙස් මොනවාද කියා අපි සලකා බලමු.
බයිබලය ණය ගැනීමට දිරිගන්වන්නේ නැතැයි යන කාරණය අවබෝධ කරනොගෙන, පිටුවෙන් පිටුවට එය කියවීම යමෙකුට අසීරු දෙයක් වනු ඇත. හිතෝපදේශ 22:7හි වැනි අනතුරු ඇඟවීම් අපට හමුවේ: “වස්තු කාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණය දෙන්නාට මෙහෙකරුවෙක්ය.”
මතෙව් 18:23-34හි සඳහන් යේසුස්වහන්සේගේ උපහැරණයේ, ඉතා විශාල ණයක් ගෙවීමට තිබූ දාසයා සම්බන්ධයෙන්ද සිහිකරන්න. “ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය,” නමුත් රජෙකුවූ ස්වාමියා, අනුකම්පාව දක්වා, ඔහුට දයාව පෙන්වීය. එම දාසයා දයාවිරහිත බව ඔප්පු කළ විට, රජ ‘තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.’ ඉතා හොඳම ක්‍රියාමාර්ගය, එනම්, නිර්දේශිත ක්‍රියාමාර්ගය නම්, මුදල් ණයට ගැනීමෙන් වැළකී සිටීම බව මොනවට පැහැදිලිය.
ඉපැරණි ඉශ්‍රායලයේ දෙවියන්වහන්සේගේ ජනයා අතර ව්‍යාපාර ගනුදෙනු තිබූ අතර, ඇතැම් අවස්ථාවලදී මුදල් ණයට ගැනීම හා ණයට දීමට සිදුවිය. යෙහෝවඃවහන්සේ ඔවුන්ට අණ කළේ කුමක් කිරීමටද? යම් පුද්ගලයෙකුට, ව්‍යාපාරයකට ඇතුළු වීමට හෝ එය පුළුල් කිරීමට මුදල් ණයට ගැනීමට වුවමනා වී නම්, ඒ සඳහා පොලියක් අය කිරීම, හෙබ්‍රෙව්වෙකු ට නීතිමය හා සාමාන්‍ය දෙයක් වූයේය. කෙසේවෙතත්, අවශ්‍යතාව ඇති ඉශ්‍රායලිතයකුට මුදල් ණයට දීමේදී පරාර්ථකාමී වන ලෙස දෙවියන්වහන්සේ සිය ජනතාවගෙන් උදක්ම ඉල්ලා සිටිසේක; අහිතකර තත්ත්වයකදී පොලියක් අය කිරීමෙන් ලාභ ඉපයීම ඔවුන්ට තහනම් විණි. (නික්මයාම 22:25) ද්විතීය කථාව 15:7, 8 මෙසේ කියයි: “නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් [අවශ්‍යතාව ඇති කෙනෙක්, NW] නුඹ වෙත සිටින්නේ නම්, . . . නුඹේ අත ඔහුට විදහා, ඔහුගේ හිඟකමට සෑහෙන පමණ ඇත්තෙන්ම ඔහුට ණයට දෙන්ට ඕනෑය.”
ණය කරුවාගේ පවුලේ ඇඹරුම් ගල හෝ රාත්‍රියේ උණුසුම්ව සිටීමට අවශ්‍ය වස්ත්‍රය වැනි ණය කරුවාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් ණය හිමියා විසින් ග්‍රහණයට ගැනීමට නොහැකි වන පරිද්දෙන් නියම කරනු ලැබූ නීතිවලද ඒ හා සමාන කරුණාවක් හා සැලකිල්ලක් පිළිබිඹු විණි.—ද්විතීය කථාව 24:6, 10-13; එසකියෙල් 18:5-9.
ඇත්ත වශයෙන්ම, සියලුම යුදෙව්වන්, තම ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවාණන්ගෙන් සහ නීතිදායකයාණන්ගෙන් පැමිණි මෙම ප්‍රේමනීය නීතිවල ඇති නියම ස්වභාවය පිළිගෙන අදාළ කරගත්තා නොවේ. (යෙසායා 33:22) ඇතැම් ගිජු යුදෙව්වෝ තම සහෝදරයන්ට ඉතා කර්කශ අන්දමින් සැලකුවෝය. අදදිනත්, ඇතැම් ණය හිමියන් තමන් ඉල්ලා සිටින දේ සම්බන්ධයෙන් කර්කශ සහ අසාධාරණ විය හැකිය, කලින් දැකිය නොහැකි යම් සිදුවීමකට ගොදුරු වීම නිසා එම මොහොතේම ගෙවීමක් කරන්නට නොහැකි වූ අවංක ක්‍රිස්තියානියෙකුටද මෙසේ කරන්නට පුළුවන. (දේශනාකාරයා 9:11, NW) ලෞකික ණය හිමියෝ, ණය කරුවා කෙරෙහි සුනම්‍ය නොවීමෙන්, ඔහුව දැඩි පීඩනයකට යටත් කිරීමෙන්, යම් පීඩනකාරි තත්ත්වයකට පත් කරන අතර, මේ හේතුවෙන් තමන්වම ආරක්ෂාකර ගැනීම පිණිස තමන් යමක් කළ යුතු යයි ණය කරුවාට හැඟීයයි. ඔහු මෙම ආරක්ෂාව ලබන්නේ කෙසේද? ඇතැම් අවස්ථාවලදී, ණය හිමියා විසින් පිළිගන්නාවූ එකම දෙය වන්නේ, බංකොලොත්භාවය පිළිබඳ නීතිමය පියවර ගැනීමය. එහෙයින්, ගිජු නොවූ හෝ තමාගේ ණය ගෙවීම සම්බන්ධයෙන් නොසැලකිලිමත් නොවූ ක්‍රිස්තියානියෙක්, වස්තු භංගත්වය සඳහා අධිකරණයට ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මගින් පිහිටක් පතනවා විය හැකිය.
එනමුත්, මෙම කාරණයේ අනෙක් පැත්ත පිළිබඳවද අප සාවධාන විය යුතුය. යම් ක්‍රිස්තියානියෙක්, තමා වියදම් කළ දෙය සහ වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් ආත්ම-දමනය නොදැක්වූ නිසා හෝ තමාගේ ව්‍යාපාර තීරණවලදී සාධාරණ ලෙසින් දුරදක්නා නුවණ පාවිච්චි නොකළ නිසා ණය බරට වැටෙන්නට පුළුවන. ඔහු මෙම ණය පිළිබඳ සැහැල්ලුවෙන් සලකා, බංකොලොත්භාවයක් තුළින් සහනයක් සොයමින්, තමාගේ දුර්වල විනිශ්චය හේතුකොටගෙන අන්‍යයන්ට රිදවිය යුතුද? පොදු දේපළ හෝ මුල්‍ය වත්කම් සම්බන්ධයෙන් එවැනි වගකීමකින් තොරව ක්‍රියා කිරීමක් බයිබලය අනුමත නොකරයි. එය දෙවියන්වහන්සේගේ සේවකයාගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහුගේ එසේය කියා කීම එසේය කියාම විය යුතු බවයි. (මතෙව් 5:37) කොතක් ගොඩනැඟීමට පෙර වියදම ගණන් බැලීම පිළිබඳව යේසුස්වහන්සේගේ අදහස්ද සිහියට නඟන්න. (ලූක් 14:28-30) මෙයට එකඟව, යම් ක්‍රිස්තියානියෙක්, මූල්‍යමය ණයක් ගැනීමට පෙර, සිදුවීමට ඉඩකඩ ඇති අයහපත් ප්‍රතිඵල ගැන හොඳින් සලකා බැලිය යුතුය. වරෙක ඔහු ණයක් ගත් විට, තමා විසින් ණය ගත් පුද්ගලයන්ට හෝ සමාගම්වලට එම ණය ගෙවීමට ඇති වගකීම පිළිබඳ හැඟීමකින් ඔහු ක්‍රියා කළ යුතුය. යම් ක්‍රිස්තියානියෙකු වගකීමෙන් තොර බවට හෝ විශ්වාස කළ නොහැකි බවට බොහෝ දෙනෙකු විසින් ඒත්තු ගෙන තිබේ නම්, තමා විසින් ලබා ගැනීමට උත්සාහ දැරූ හොඳ නාමය ඔහු කෙළසා ගත හැකි අතර, තවදුරටත් පිටත සිටින්නන්ගෙන් ඔහුට හොඳ සාක්ෂියක් නැත.—1 තිමෝති 3:2, 7.
යෙහෝවඃවහන්සේ සාදරයෙන් පිළිගන්නේ කෙබඳු ආකාර පුද්ගලයන්වදැයි පිළිබඳව ගීතාවලිය 15:4හි අපට පවසන දේ සිහිකරන්න: “ඔහු [දෙවියන්වහන්සේ අනුමත කරන තැනැත්තා] . . . තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.” එසේය, තමන්ගේ ණය හිමියන්ට සැලකිය යුතු අන්දමටම ඔවුන්ට සැලකීම දෙවියන්වහන්සේ ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා කරනසේක.—මතෙව් 7:12.
එසේ නම්, සාරාංශයක් වශයෙන් ගත් විට, අතිවිශේෂ තත්ත්වයක් යටතේදී, කායිසර් විසින් ඉදිරිපත් කර ඇති බංකොලොත්භාවය සම්බන්ධ නීතිවල ආරක්ෂාව පැතීමට ක්‍රිස්තියානියෙකුට ඇති හැකියාව බයිබලයේ සහමුලින්ම ඉවත් කර දමා නැත. කෙසේවුවද, අවංකකම සහ රඳාපැවතිය හැකි බව සම්බන්ධයෙන් ක්‍රිස්තියානියෙක් විශේෂ පුද්ගලයෙක් විය යුතුය. මේ අනුව, තම මූල්‍යමය වගකීම් සපුරාලීමෙහිලා තමන් තුළ ඇති අවංක ආශාව සම්බන්ධයෙන් ඔවුන් ආදර්ශවත් විය යුතුය.