ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 10/15 4-7 පි.
  • මළවුන්ගේ තත්ත්වය කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මළවුන්ගේ තත්ත්වය කුමක්ද?
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිනිස්වර්ගයා උදෙසා මරණය අදහස් නොකරන ලදි
  • කිනම් පොරොන්දුවක්ද?
  • ආත්ම විෂයෙන් පැමිණෙන පණිවුඩ
  • යෙහෝවඃවහන්සේ, සත්‍යයේ සහ ප්‍රේමයේ දෙවි කෙනෙකි
  • අප ප්‍රේම කළ මියගිය අයට සිදු වන්නේ කුමක්ද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • ඔබ මළවුන්ට බිය විය යුතුද?
    2009 පිබිදෙව්!
  • මරණයෙන් පසු ජීවිතයක්—කෙසේද, කොතැනකද, කවදාද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට අමරණීය ආත්මයක් ඇද්ද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 10/15 4-7 පි.

මළවුන්ගේ තත්ත්වය කුමක්ද?

මළවුන් ගැන බිය රඳා පවතින්නේ එක් උපකල්පනයක් මතය, එනම්, මියගිය තැනැත්තාට, මරණයෙන් පසුව ජීවත් වන ආත්මයක් හෙවත් ස්ප්‍රීතුවක් තිබෙන බවය. මෙම සංකල්පය බොරු බව බයිබලය පැහැදිලිව උගන්වයි නම්, ඔබට හානි කිරීමට මළවුන්ට හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැළලී යයි. ඉතින්, එසේ නම්, බයිබලය පවසන්නේ කුමක්ද?

මළවුන්ගේ තත්ත්වය සම්බන්ධව, දෙවියන්වහන්සේගේ වචනය මෙසේ කියයි: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.”—දේශනාකාරයා 9:5, 6.

මේ අනුව බැලූ කල, ඔබට උපකාර කිරීමට හෝ හානි කිරීමට මළවුන්ට හැකිද? නැත කියා ශුද්ධලියවිලි පවසයි. මළවුන් සිටින්නේ නිහඬව සිහිසන් නැති තත්ත්වයකය. ජීවතුන් සමඟ කථාබහ කිරීමට හෝ ප්‍රේමයේ හෝ වෛරයේ කිසියම් චිත්තවේගයක් පළ කිරීමට හෝ යම් ක්‍රියාවක් කර ගෙන යෑමට හෝ ඔවුන්ට නොහැක. ඔබට ඔවුන් ගැන කිසිදු භයක් ඇතුව සිටීමට අවශ්‍ය නැත.

‘ඇත්තයි, භෞතික ශරීරයේ මරණය ගැන ඔබ එලෙස කථා කරනවා නම්, එය සත්‍යයක් වෙන්ට පුළුවන්. නමුත් භෞතික මරණය ජීවිතයේ අවසානය නොවේ; එය ආත්මය ශරීරයෙන් පිටවීමක් විතරයි. එම ආත්මයට පුළුවන් ජීවත්වන අයට උපකාර කරන්ට හෝ හානි කරන්ට” යනුවෙන් ඇතැමෙකු පවසන්ට හැකිය. ලෝක ව්‍යාප්තව සිටින මිලියන ගණනකටද ඒ අයුරින් හැඟේ.

නිදසුනක් වශයෙන්, මැඩගස්කරයේ ජීවිතය සැලකෙන්නේ හුදෙක් සංක්‍රමණයක් හැටියටය, එබැවින්, විවාහ මංගල්‍යයකට වඩා අවමංගල්‍යයක් හා මිනී ගොඩ ගැනීමක් වඩා වැදගත් යමක් ලෙස සැලකේ. පුද්ගලයා ඔහුගේ මුතුන් මිත්තන්ගෙන් පැමිණි බවත්, ඔහු මරණයේදී යළිත් ඔවුන් වෙතට හැරී යන බවත් විශ්වාස කෙරේ. මෙබැවින්, ජීවත් වන්නන් සඳහා ගෙවල් සාදනු ලබන්නේ ලී හා අමු ගඩොල් වැනි කලක් ගත වන විට කොටස්වලට කැඩී යන ද්‍රව්‍යවලින් වන අතරේදී, මළවුන් උදෙසා සාදනු ලබන “ගෙවල්” හෙවත්, සොහොන්, වඩාත් විසිතුරු කල්පවතින ද්‍රව්‍යවලින් සාදනු ලැබේ. මිනියක් ගොඩ ගැනීමකදී, එම මියගිය තැනැත්තාගේ පවුලේ අයට හා මිත්‍රයන්ට හැඟෙන්නේ තමන්ට ආශීර්වාද ලැබෙන බවය, තවද තමන් මිනියේ ඇටකටු ස්පර්ශ කළහොත් තමන්ට දරු ඵල ලැබිය හැකි බවට ස්ත්‍රීහු විශ්වාස කරති. එහෙත්, යළිත්, දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ කුමක්ද?

මිනිස්වර්ගයා උදෙසා මරණය අදහස් නොකරන ලදි

යෙහෝවඃ දෙවියන්වහන්සේ මිනිසාව මැව්වේ ජීවත් වීමට බවත්, උන්වහන්සේ මරණය ගැන කථා කළේ අකීකරුකමේ විපාකයක් වශයෙන් බවත් සැලකිල්ලට ගැනීම උනන්දුව දනවනසුලුය. (උත්පත්ති 2:17) පළමු මිනිසා සහ ස්ත්‍රිය පව් කිරීම කනගාටුවට හේතු වූ අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පාපය මරණීය උරුමයක් ලෙස සියලු මිනිස්වර්ගයාට පැතිරී ගියේය. (රෝම 5:12) එහෙයින්, පළමු මිනිස් යුවළගේ අකීකරුකමේ පටන්, මරණය ජීවිතයේ යථාර්ථයක් බව, එසේය, වේදනාකාරි යථාර්ථයක් බව කියන්ට ඔබට හැකියි. අප මවනු ලැබුවේ ජීවත් වීමට වන අතර, මරණය අවසානය ලෙස ඊට මුහුණ දීමට අසංඛ්‍යාත මිලියන ජනයාට දුෂ්කර වීමට හේතුව මෙය අර්ධ වශයෙන් පැහැදිලි කරයි.

බයිබලයේ වාර්තාවට අනුව, සාතන් උත්සාහ කළේ, අකීකරුවුවහොත් මරණය පැමිණෙන බවට වූ දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීමට පටහැනි යමක් මරණය සම්බන්ධයෙන් පැවසීම මගින් පළමු මිනිස් යුවළව රැවටීමටය. (උත්පත්ති 3:4) එනමුත්, කල්යත්ම, දෙවියන්වහන්සේ පැවසූ පරිදි, මිනිසුන් මියයන බව පැහැදිලිව පෙනෙන්ට විය. මෙසේ, සියවස් ගණනාවක් මුළුල්ලේ සාතන් තවත් බොරුවක් සමඟින් ප්‍රතිචාර දක්වා තිබේ—එනම්, ශරීරයේ මරණයේදී මිනිසාගේ යම් ආත්ම කොටසක් බේරී ජීවත් වන බවය. “බොරුවේ පියා” ලෙස යේසුස්වහන්සේ විසින් විස්තර කරනු ලැබූ සාතන් වන යක්ෂයා සම්බන්ධයෙන් එවන් රැවටිල්ලක් මනාව ගැළපේ. (යොහන් 8:44) මීට පටහැනිව, මරණයට දෙවියන්වහන්සේ දී ඇති පිළිතුර දිරිගැන්වෙන පොරොන්දුවකි.

කිනම් පොරොන්දුවක්ද?

එය නම්, බොහෝ දෙනෙකු උදෙසා නැවත නැගිටීමක් පිළිබඳ පොරොන්දුවය. “නැවත නැගිටීම” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය අ.නාʹස්ටා.සිස්ය. ඉන් පදගතාර්ථයෙන් දෙන අරුත, “යළි සිටගැනීම” වන අතර, එය මරණයෙන් නැගිටීමට යොමු දක්වයි. එසේය, මිනිසා මරණයේදී නිදාගෙන සිටී, නමුත් දෙවියන්වහන්සේට ස්වකීය බලය මගින් පුද්ගලයෙකුව නැවත නැගිටුවීමට හැකිය. මිනිසා ජීවිතය අහිමි කර ගනී, නමුත් යළිත් ඔහුට ජීවිතය දීමට දෙවියන්වහන්සේට හැකිය. ‘සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන’ බව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූසේක. (යොහන් 5:28, 29) “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැගිටීමක් වන්නේයයි . . . [තමා] බලාපොරොත්තුවෙන්” සිටින බව ප්‍රේරිත පාවුල් ප්‍රකාශ කළේය. (ක්‍රියා 24:15) ප්‍රාග්-ක්‍රිස්තියානි යුගවල විසූ ඇදහිලිවන්ත සේවකයෙකු වූ යෝබ්ද, නැවත නැගිටීමක් පිළිබඳ සිය බලාපොරොත්තුව පළ කර සිටියේ මෙසේය: “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි. ඔබ [දෙවියන්වහන්සේ] අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි.”—යෝබ් 14:14, 15.

නැවත නැගිටීම පිළිබඳ පැහැදිලි පොරොන්දුව, මළවුන් ආත්ම ආකාරයකින් ජීවත් වන බවට වූ අදහස බොරු බව ඔප්පු කරන්නේ නැද්ද? මළවුන් ජීවත්ව ස්වර්ගයේ හෝ යම් ආත්ම ලෝකයක සතුටින් පැවත සිටියේ නම්, නැවත නැගිටීමේ අරමුණ කුමක් වනු ඇත්ද? ඔවුන් තම විපාකය හෙවත් ඉරණම මේ වන විටත් ලබා ගෙන තිබෙනවා නොවේද? දෙවියන්වහන්සේගේ වචනයේ අධ්‍යයනයකින් හෙළි කරන්නේ, අපගේ ප්‍රේමනීය පියාණන් වන යෙහෝවඃවහන්සේ විසින් පොරොන්දු වී ඇති නව ලෝකයේ හෙවත් පාරාදීසයේ මහත් පිබිදවීම සිදුවන තෙක්, මළවුන් සැබවින්ම මියගිය, සිහිසන් නැති, නින්දක සිටින බවය. එහෙත්, ශරීරයේ සහ ආත්මයේ වෙන්වීමක් මරණයෙන් අදහස් නොකෙරේ නම් සහ ආත්මය දිගටම ජීවත් නොවේ නම්, ආත්ම ලෝකයෙන් ලැබෙනවා යයි පෙනී යා හැකි පණිවුඩ සම්බන්ධ සිද්ධීන් ගැන කුමක් කිව හැකිද?

ආත්ම විෂයෙන් පැමිණෙන පණිවුඩ

ආත්ම විෂයෙන් ලැබුණා යයි සිතනු ලැබූ පණිවුඩ රාශියක් පිළිබඳ සිද්ධීන් අසංඛ්‍යාත ගණනක් වාර්තා වී තිබේ. ඇත්තෙන්ම ඒවායේ මූලාරම්භය කුමක්ද? “සාතන්ම ආලෝකයේ දූතයෙකු මෙන් බොරු වේශයෙන් පෙනී සිටී. එබැවින්, ඔහුගේ නියෝජිතයන් යහපතේ නියෝජිතයන් සේ බොරු වේශයෙන් පෙනී සිටීම සරල දෙයක්ය” යනුවෙන් බයිබලය අනතුරු අඟවයි. (2 කොරින්ති 11:14, 15, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) එසේය, ජනයාව වඩාත් පහසුවෙන් රවටනු හා මුළාකරනු පිණිස, භූතයෝ (කැරලිකාර දේව දූතයෝ), ඇතැම් විට උපකාර කරන්ට කැමති බවට අඟවමින්, ජීවත්වන්නන් සමඟ අදහස් හුවමාරු කර ගෙන ඇත්තාහ.

රැවටීමේ මෙම ව්‍යාපාරය සම්බන්ධව ප්‍රේරිත පාවුල් තවදුරටත් අනතුරු අඟවයි: “සමහරු මුළාකරවන ආත්මයන්ද [ආනුභාව ලත් ප්‍රකාශනද, NW] යක්ෂයන්ගේ ගුරුකම්ද [භූත ඉගැන්වීම්ද, NW] සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇත.” (1 තිමෝති 4:1) එමනිසා, මළවුන්ගෙන් ලැබුණා යයි කියා සිටින ඕනෑම අන්දමේ ප්‍රතිචාරයක්, දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යතාවන්ගෙන් ජනයා ඉවත හැරවීම සඳහා මිථ්‍යා ඇදහිලිවලට ඔවුන්ව වහල් කර ගනිමින්, ආගමික බොරුවලට උල්පන්දම් දෙන “යහපතේ නියෝජිතයන්” ලෙස බොරු වෙස්ගෙන සිටින භූතයන්ගෙන් පැමිණෙන බවට බොහෝ සෙයින් පෙනී යන්නකි.

මළවුන්ට කිසිවක් කථා කළ නොහැකි බව, කිසිවක් කළ නොහැකි බව, නැතහොත් කිසිවක් නොහැඟෙන බව තහවුරු කරමින්, ගීතාවලිය 146:3, 4 මෙසේ ප්‍රකාශ කරයි: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්. ඔහුගේ හුස්ම [ආත්මය, NW] නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරි යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.” ‘නික්ම යන’ ඒ “ආත්මය” කුමක්ද? එය නම්, පුද්ගලයාගේ හුස්ම ගැනීමෙන් පෝෂණය වන ජීවන-බලයයි. එමනිසා, මළ තැනැත්තා හුස්ම ගැනීම නැවැත්වූ විට, ඔහුගේ සිහිකල්පනාවන් තවදුරටත් ක්‍රියාත්මක වූයේ නැත. ඔහු මුළුමනින්ම සිහිසන් නැති තත්ත්වයකට ඇතුල් වෙයි. එබැවින් ජීවත්වන්නන් කෙරෙහි මුළුමනින්ම පාලනයක් ඇතුව සිටීමට ඔහුට නොහැක.

මරණයේදී මිනිසුන් සහ සත්ත්වයන් යන දෙවර්ගයම සිහිසන් නැති වන බවත්, ඔවුන්ව සෑදි දූවිල්ලටම ආපසු හැරී යන බවත් ප්‍රකාශ කරමින්, බයිබලය මිනිසෙකුගේ මරණය සත්ත්වයෙකුගේ මරණය හා සසඳන්නේ එමනිසාය. දේශනාකාරයා 3:19, 20 මෙසේ පවසයි: “මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය [ආත්මයය, NW]; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය. සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම පස්වලට හැරීයන්නෝය.”

මළවුන්ගෙන් විචාරීමට හා ඔවුන් විසින් බලපෑම්වලට ලක් වීමට තමන්ට හැකි යයි ජනයා විසින් සිතන පරිදි ඔවුන්ව රැවටීමට භූතයන් උත්සාහ කරන බව දැනගත් යෙහෝවඃ දෙවියන්වහන්සේ සිය ජනයා වූ ඉපැරණි ඉශ්‍රායෙලිතයන්ට මෙසේ අනතුරු ඇඟවූසේක: “පේනකියන්නෙක්වත්, නිමිති බලන්නෙක්වත්, ශාස්ත්‍ර කියන්නෙක්වත්, මායාකාරයෙක්වත්, මතුරන්නෙක්වත්, ආත්ම බන්ධනකාරයෙක්වත්, අනවිනකාරයෙක්වත්, මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] පිළිකුලක්ය.”—ද්විතීය කථාව 18:10-12.

පැහැදිලිවම, අපට හානි කිරීමට මළවුන්ට හැකිය යන අදහස දෙවියන්වහන්සේගෙන් පැමිණෙන්නේ නැත. උන්වහන්සේ වනාහි සත්‍යතාවේ දෙවිකෙනෙකි. (ගීතාවලිය 31:5; යොහන් 17:17) එමෙන්ම, “ආත්මයෙන්ද සැබෑකමින්ද” උන්වහන්සේට නමස්කාර කරන, සත්‍යයට ප්‍රේම කරන්නන් උදෙසා උන්වහන්සේ පුදුමාකාර අනාගතයක් ගබඩා කර තිබෙනසේක.—යොහන් 4:23, 24.

යෙහෝවඃවහන්සේ, සත්‍යයේ සහ ප්‍රේමයේ දෙවි කෙනෙකි

“බොරු කිව නොහැකි,” අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්වහන්සේ, ස්වකීය පොරොන්දුව දී තිබෙනසේක: එනම්, මියගොස් සිටින සහ සොහොන් කොත්වල තබා තිබෙන මිලියන පිට මිලියන ගණනක්, ධර්මිෂ්ඨ නව ලෝකයක සදාකාල ජීවනයේ අපේක්ෂාව ඇතුව නැවත නැගිටවනු ලබනවා ඇත! (තීතස් 1:1, 3; යොහන් 5:28) නැවත නැගිටීමක් පිළිබඳ මෙම ප්‍රේමනීය පොරොන්දුවෙන් හෙළිවන්නේ, යෙහෝවඃවහන්සේට, ස්වකීය මිනිස් මැවිල්ලේ සුභසාධනය ගැන ගැඹුරු උනන්දුවක් හා මරණය, දුක, හා වේදනවා මුලිනුපුටා දැමීමට හෘදයාංගම ආශාවක් තිබෙන බවයි. එමනිසා මළවුන්ට භයවීමට හෝ ඔවුන් ගැන සහ ඔවුන්ගේ අපේක්ෂා ගැන අනවශ්‍ය ලෙස කනස්සලුවීමට කිසිදු අවශ්‍යතාවක් නැත. (යෙසායා 25:8, 9; එළිදරව් 21:3, 4) අපගේ ප්‍රේමනීය හා යුක්තිසහගත දෙවියන් වන යෙහෝවඃවහන්සේට ඔවුන්ව නැවත නැගිටවිය හැකිය. එමෙන්ම එසේ කරනවා ඇත, එමඟින් මරණයේ වේදනාව නිෂ්ප්‍රභ කරනු ලැබේ.

පොරොන්දු වී ඇති එම ධර්මිෂ්ඨ නව ලෝකය තුළ, පොළොව මත තත්ත්වයන් කුමන ආකාරයේ වනු ඇද්දැයි පිළිබඳ විස්තරවලින් දේව වචනය වන බයිබලය පිරී ඇත. (ගීතාවලිය 37:29; 2 පේතෘස් 3:13) එය වනාහි, සාමයේ හා සන්තෝෂයේ මෙන්ම සියලු සෙසු ජනයා සඳහා ප්‍රේමය දක්වනු ලබන කාලයක් වනු ඇත. (ගීතාවලිය 72:7; යෙසායා 9:7; 11:6-9; මීකා 4:3, 4) සෑම කෙනෙකුටම, ආරක්ෂාව, කදිම නිවාස, මෙන්ම කිරීමට ප්‍රීතිදායක වැඩ තිබෙනු ඇත. (යෙසායා 65:21-23) සියල්ලන්ටම අනුභව කිරීම සඳහා යහපත් දේවල් බොහෝ තිබෙනු ඇත. (ගීතාවලිය 67:6; 72:16) සෑම කෙනෙකුම පූර්ණ සනීපය භුක්ති විඳිනවා ඇත. (යෙසායා 33:24; 35:5, 6) ප්‍රේරිතයන් සහ අමතර සීමිත සංඛ්‍යාවක් යේසුස්වහන්සේ සමඟ ස්වර්ගයේ පාලනය කරන අතරේදී, මරණයෙන් පසු තවත් අයගේ ආත්මවලට ස්වර්ගයේ ඇති ආශීර්වාදලත් තත්ත්වයක් ගැන බයිබලය කිසිදු සඳහනක් නොකරයි. (එළිදරව් 5:9, 10; 20:6) මියගොස් ඇති බිලියන සංඛ්‍යාවක් මරණයෙන් පසු ජීවත් වේ නම්, මෙය අරුම පුදුම දෙයක් වනු ඇත.

එහෙත්, අප බයිබලයේ පැහැදිලි ඉගැන්වීම දන්නාවිට මෙය අරුම පුදුම දෙයක් නොවේ: එනම්, මළාහු ජීවමාන ආත්ම වශයෙන් පැවැත්මෙන් තොර වී සිටිති. ඔබට හානි කිරීමට ඔවුන්ට නොහැක. සිහිවීමේ සොහොන්වල සිටින අය, දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී ඔවුන්ගේ නැවත නැගිටීම වන තෙක්, සිහිසන් නැති තත්ත්වයක හුදෙක් සැතපී සිටිති. (දේශනාකාරයා 9:10; යොහන් 11:11-14, 38-44) එසේ නම්, අපගේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා දෙවියන්වහන්සේ මත රඳා තිබේ. “අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීති සන්තෝෂවන්නෙමු.”—යෙසායා 25:9.

[7වන පිටුවේ පින්තූරය]

දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලිව පෙන්වන්නාක් මෙන්, මළාහු නැවත නැගිටීම සිදුවන තෙක් මුළුමනින්ම අක්‍රියාශීලීව සිටිති

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න