දෙවියන්වහන්සේට භයවන අය සමඟ එක්රැස්වීම
“සෑම තැනකම වෙසෙන ජනයා, භයෙන් නිදහස—එනම් අපරාධවලට ඇති භයෙන්, විරැකියාව පිළිබඳව භයෙන්, බරපතළ අසනීපවලට භයෙන් නිදහස ගැන ඉතා ආශාවෙන් සිටිනවා. අපටත් එම ආශාව තිබෙනවා. . . . එසේනම්, භය වගා කරන ආකාරය ගැන අපි සාකච්ඡා කරන්නේ ඇයි?” එම කුතුහලය දනවන ප්රශ්නය අසනු ලැබුවේ, 1994 ජූනි මාසයේදී ආරම්භ වූ සෑම “දේව භය” දිස්ත්‍රික් සමුළුවකම මූලික කථාව ඉදිරිපත් කළ සහෝදරයා විසිනි.
පළමුව උතුරු අමෙරිකාවේද, පසුව යුරෝපයේ, මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ මුහුදුකරයේ දූපත්වල මෙම සමුළුවට පැමිණි මිලියන ගණනක්දෙනා, එවැනි භයක් වගා කිරීමට ඉගෙනගැනීමට උත්සුක වූහ. මන්ද? යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය ජනයා සඳහා ඇති ආශීර්වාදවලට අප විසින් පංගුකාරයන් වීම රඳා පවතින්නේ, අප දේව භය ඇතුව සිටීම මත වන බැවින්ය. සමුළුවට පැමිණි අය එකට රැස්වූයේ දේව භය ගැන ඉගෙනගැනීමටය, තවද මෙම දවස් තුනක වැඩසටහන තුළදී මෙම අත්‍යවශ්‍ය ක්‍රිස්තියානි ගුණාංගය ගැන ඔවුහු බොහෝ දේ ඉගෙනගත්හ.
‘දෙවියන්වහන්සේට භය වී උන්වහන්සේගේ ආඥා පවත්වන්න’
ඒ වනාහි, දේශනාකාරයා 12:13 මත පදනම් වූ, සමුළුවේ පළමු දින තේමාව විය. දෙවියන්වහන්සේට භයවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? වැඩසටහනේ පළමු කොටසේදී සමුළු සභාපති පහදා දුන්නේ, දේව භය, යෙහෝවඃවහන්සේ කෙරෙහි ගරුබිය හා ප්‍රණාමය සහිත ගෞරවයක් මෙන්ම උන්වහන්සේව අප්‍රසන්න කිරීමේ සුවදායක බියක් පිළිබිඹු කරන බවය. එවන් දේව භයක් අශුභ එකක් නොවේ; එය සුවදායකය, එමෙන්ම යෝග්‍යයය.
මෙම සනීපදායක භය, අපට ප්රයෝජනවත්වන්නේ කෙසේද? ප්‍රීතියෙන් යුතුව දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීමට දේව භය අපව පොලඹවනු ඇති බව “වෙහෙසට පත්වී අත්නොහරින්න” යන ඊළඟ කථාවේ පහදා දෙනු ලැබීය. දෙවියන්වහන්සේ සහ අසල්වැසියා කෙරෙහි ඇති ප්‍රේමය සමඟින්, එවන් භයක් අප තුළට ආත්මික ශක්තියක් ඇතුල් කරනු ඇත. එසේය, සදාකාල ජීවනය සඳහා වූ ධාවනයේ වේගය අඩු කිරීමෙන් වැළකීමට දේව භය අපට උදව් විය හැක.
වැඩසටහනේ ඊළඟට වූයේ, දේව භය අපව උසුලන බවට වූ ජීවමාන සාක්ෂි ඉදිරිපත් වූ සම්මුඛ සාකච්ඡාය. අගතිය, උදාසීනකම නැතහොත් පීඩා අභිබවා දිගටම දේව සේවයේ යෙදීමට දෙවියන්වහන්සේ සඳහා වූ ප්‍රණාමය සහිත භය තමන්ට බලපෑ අයුරුත්, දුෂ්කර පෞද්ගලික පරීක්ෂා හමුවේ පවා විඳදරාගැනීමට එය තමන්ට උපකාර කළ අන්දමත් සම්මුඛ සාකච්ඡාවට භාජන වූ අය පැවසූහ.
එහෙත්, ඇතැම් අයට දේව භය තිබෙන්නෙත්, තවත් අයට එය නැත්තෙත් මන්ද? “දේව භය වගා කිරීම සහ ඉන් ප්‍රයෝජනගැනීම” යන කථාවේදී, යෙරෙමියා 32:37-39හි සඳහන් දේ පැහැදිලි කළ මූලික ඇමතුම ඉදිරිපත් කළ කථිකයා, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට දේව-භයැති හෘදයක් දීමට පොරොන්දු වූ බව පැවසුවේය. යෙහෝවඃවහන්සේ අපගේ හදවත් තුළ දේවභය පැළපදියම් කරනසේක. කෙසේද? ස්වකීය ශුද්ධාත්මයෙන් හා ස්වකීය වචනය වන බයිබලය මාර්ගයෙනි. කෙසේවෙතත්, අප දේව වචනය අධ්‍යයනය කිරීමට බලවත් ප්රයත්නයක් ගත යුතු බවත්, උන්වහන්සේ අප වෙත දානය කර ඇති බහුල ආත්මික සැපයුම්වලින් අප පූර්ණ ප්රයෝජනගත යුතු බවත් පැහැදිලිය. උන්වහන්සේට භයවීමට අපට උගන්වන අපගේ සමුළු සහ සභා රැස්වීම් මීට ඇතුළත් වෙයි.
පස්වරු වැඩසටහන ආරම්භ වූයේ, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසය තබන ලෙසට දුන් අනුශාසනා සමඟිනි. ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ ජීවිතවලට රාජ්‍යය බලපෑ යුතු ප්‍රධාන මාර්ග පිළිබඳව සාකච්ඡාවක් මීට පසුව ඉදිරිපත් විය.
අනතුරුව පැමිණියේ, සමුළුවේ ඉදිරිපත් වූ කථා මාලා තුනේ පළමුවැන්නයි. මෙම කථා මාලාවේ තේමාව වූයේ, “දිව්‍යමය අවශ්‍යතාවන්ට කීකරු වීමට දේව භය අපව පොලඹවයි” යන්න වූ අතර, එය පවුල වෙත අවධානය යොමු කළේය. ඉදිරිපත් වූ ශුද්ධ ලියවිලිමය—ප්‍රායෝගික—අවවාදවල සාම්පලයක් පහත දැක්වේ.
□ ස්වාමිපුරුෂයන්ට: තම භාර්යාවට තම ශරීරයට මෙන් ප්‍රේම කිරීමට දේව භය පුරුෂයෙකුව පෙලඹවිය යුතුය. (එපීස 5:28, 29) කිසි මිනිසෙක් හිතාමතාම තමාගේ ශරීරයට හානි සිදුකර නොගනී, තමන්ගේ මිතුරන් ඉදිරිපිට තමන්වම පහත් තත්ත්වයට පත් නොකරයි, නැතහොත් තමාගේම අඬුලුහුඬුකම් ගැන ඕපාදූප නොකියයි. එසේනම්, ඔහු තමාට දක්වන අභිමානය හා ගෞරවය පරිදි තම භාර්යාවටත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව සැලකිය යුතුය.
□ භාර්යාවන් සඳහා: ‘දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ දේවල් නිතරම කිරීමට’ යේසුස්වහන්සේව පෙලඹවූයේ දේව භයයි. (යොහන් 8:29) මෙය භාර්යාවන්ට, තම ස්වාමිපුරුෂයන් සමඟ කටයුතු කිරීමේදී අනුකරණය කළ හැකි කදිම ස්ප්රීතුවකි.
□ දෙමාපියන් සඳහා: තම දෙමාපිය වගකීම් බරපතළ ලෙස සැලකිල්ලට ගැනීමෙන්, තම දරුවන් යෙහෝවඃවහන්සේගෙන් ලද උරුමයක් ලෙස දැකීමෙන් දේව භය පෙන්වීමට දෙමාපියන්ට හැක. (ගීතාවලිය 127:3) දෙමාපියන්ගේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ, අව්‍යාජ ක්‍රිස්තියානීන් බවට පත්වීම සඳහා තම දරුවන්ව හදාවඩාගැනීමය.
□ දරුවන් සඳහා: තම ‘දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවීමට’ යෙහෝවඃවහන්සේ දරුවන්ට උපදෙස් දෙනසේක. (එපීස 6:1) මේ අනුව, දෙමාපියන්ට කීකරු වීම දෙවියන්වහන්සේට කීකරු වීමකි.
අවසාන කථාව අපගේ ගැඹුරු හැඟීම්වලට බලපෑවේය, මන්ද, අප ආදරය කළ යමෙකු මරණයෙන් අපට අහිමි වන විට, අප සියල්ලන්ම අද්දකින ගැඹුරු හැඟීම් එහි සාකච්ඡා වූ බැවිනි. කෙසේවෙතත්, කථාවේ භාගයක් පමණ දුරගියාට පසු, මවිතය දනවන යමක් විය. ඔබ ප්‍රේම කළ යමෙක් මියගිය විට නමැති නව විවරණිකාව මුදාහැරීම ගැන නිවේදනය කරමින් කථිකයා සබය සතුටට පත් කළේය. තමන් ආදරය කළ යමෙක් මියගිය පසු තමා තුළ ඉස්මතු වන හැඟීම් හා චිත්තවේග අවබෝධ කරගෙන ඒවා සමඟ කටයුතු කිරීමට උපකාරවත් වන බොහෝ දේ මෙම පූර්ණ-වර්ණ සහිත පිටු 32කින් යුත් ප්රකාශනය කියයි. වියෝදුකින් වැළපෙන්නෙකුට කුමක් පැවසිය යුතුදැයි නොදැන ඔබ කවදාවත් කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබෙනවාද? ශෝකවන්නන්ට උපකාර කිරීමට අපට හැකි ආකාරය මෙම විවරණිකාවේ කොටසක සාකච්ඡා වී තිබේ. කථිකයාට සවන් දෙන අතර, බොහෝදෙනෙකු කල්පනා කරමින් සිටියේ, මෙම නව විවරණිකාව සමඟින් තමන්ට උපකාර කළ හැකි යමෙකු ගැනය.
‘දේව භයෙන් සහ ගරු බියෙන් යුතුව පරිශුද්ධ සේවය පිරිනමන්න’
එය වනාහි හෙබ්‍රෙව් 12:28 මත පදනම් වූ, දෙවන දවසේ තේමාව විය. වැඩසටහනේ පෙරවරුවේදී, “යෙහෝවඃවහන්සේට භය ඇතුව හැසිරෙන සභාවෝ” යන දෙවන කථා මාලාව ඉදිරිපත් විණි. පළමු කොටස කථා කළේ රැස්වීම්වලට පැමිණීම ගැනය. අප රැස්වීම්වලට පැමිණ සිටීම, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආත්මික සැපයුම් කෙරෙහි වූ අපගේ ගෞරවය නිරූපනය කරයි. මේවාට පැමිණීම මගින්, අප උන්වහන්සේගේ නාමයට භයවන බවත්, උන්වහන්සේගේ කැමැත්තට එකඟවීමට ඉතා දැඩි ආශාවෙන් සිටින බවත් අපි පෙන්වමු. (හෙබ්‍රෙව් 10:24, 25) සමස්තයක් වශයෙන් මුළු සභාවම යෙහෝවඃවහන්සේට භයවීම තුළ ගමන් කිරීමට නම්, එක් එක් පුද්ගලයා කදිම හැසිරීම පවත්වාගැනීම සම්බන්ධව තමන්ගේ කොටස කළ යුතු බව දෙවන කථිකයා පහදා දුන්නේය. අවසාන කථිකයා, සියලු ක්‍රිස්තියානීන්ට ඇති වරප්‍රසාදයක් හා යුතුකමක් ගැන කථා කළේය—එනම්, අත්නෑර ශුභාරංචිය ප්‍රකාශ කිරීමය. අප කොතරම් කලකට දේශනා කරනු ඇද්ද? එය ප්‍රමාණවත් යයි යෙහෝවඃවහන්සේ කියන තෙක්ය.—යෙසායා 6:11.
මෙම සඟරාවේ පාඩම් ලිපිවල දැන් සාකච්ඡාවට භාජන කොට ඇත්තාක් මෙන්, ‘යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රීතිවීම ඔබගේ බලකොටුවයි’ යන්න ඊළඟ කථාවේ තේමාව විණි. (නෙහෙමියා 8:10) යෙහෝවඃවහන්සේගේ ජනයා ප්‍රීතියෙන් සිටින්නේ මන්ද? කථිකයා හේතු ගණනාවක් ඉදිරිපත් කළේය. ඉතා වැදගත් එකක් නම්, දෙවියන්වහන්සේ සමඟ ඇති සමීප සබඳතාව අප පොළොව මත වඩාත්ම ප්‍රීතිමත් ජනයා කරවීමය. නිකමට සිතා බලන්න, යෙහෝවඃවහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඇදගෙන තිබෙන ජනයා අතර සිටීමේ වරප්‍රසාදය අපට තිබෙන බව කථිකයා සමුළුවට පැමිණි අයට මතක් කර දුන්නේය. (යොහන් 6:44) එය ප්‍රීතිවීම සඳහා මොනතරම් ප්‍රබල හේතුවක්ද!
සෑම සමුළුවකම ඇති සුවිශේෂී අවස්ථාවකි, බව්තීස්මය, තවද “දේව භය” සමුළුවලට එය ඇතුළත් කර තිබිණි. “යෙහෝවඃවහන්සේට භය ඇතුව කරන කැපවීම සහ බව්තීස්මය” නමැති කථාවේදී, කථිකයා, සියලු බව්තීස්ම ලත් පුද්ගලයන්ට තිබෙන පෞද්ගලික වගකීම් සිව්වැදෑරුම් බව පැහැදිලි කළේය: (1) අප විසින් දේව වචනය තේරුම්ගැනීමට සහ එය අදාළ කරගැනීමට උපකාර වන ප්රකාශනවල ආධාරයෙන් එය අධ්‍යයනය කළ යුතුය; (2) අප යාච්ඤා කළ යුතුය; (3) අප සභා රැස්වීම්වලදී සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කළ යුතුය; සහ (4) අප යෙහෝවඃවහන්සේගේ නාමයට සහ රාජ්‍යයට සාක්ෂි දැරිය යුතුය.
සෙනසුරාදා පස්වරුවේ වැඩසටහන ආරම්භ වූයේ, “යෙහෝවඃවහන්සේ විසින් අත්නාරින ලද ජනතාවක්” යන භය සැක දුරුකරන දිරිගන්වන විෂය සමඟිනි. මීට සියවස් තිස්පහකට පෙර, එනම් ඉශ්රායෙල් ජාතිය දුෂ්කර කාලවලට මුහුණ දුන් අවස්ථාවේ, යෙහෝවඃවහන්සේ මෙසේ පවසමින්, මෝසෙස්ට සහතිකයක් දුන්සේක: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] . . . නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත.” (ද්විතීය කථාව 31:6) ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වී එය අත්පත් කරගත් විට ඔවුන්ව ආරක්ෂා කිරීම මගින් යෙහෝවඃවහන්සේ එම සහතිකය සැබෑ බවට ඔප්පු කළසේක. අදදින, අප දුෂ්කර පරීක්ෂාවන්ට මුහුණ දෙන විට, අප යෙහෝවඃවහන්සේට සමීපව ඇලී සිට උන්වහන්සේගේ වචනයේ අවවාදවලට අවනත වුවහොත්, උන්වහන්සේ අපව අත්නාරින බවට අපටත් පූර්ණ නිසැකකමක් ඇතුව සිටිය හැකිය.
බයිබලය කියවීමෙන් ඔබට සතුට ලැබිය හැක්කේ කෙසේද? “දේව වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න” යන කථාවේ, එය විමසිලිමත් මනසකින් කියවා මෙවැනි ප්‍රශ්න අසන ලෙස කථිකයා යෝජනා කළේය: යෙහෝවඃවහන්සේගේ ගුණාංග සහ උන්වහන්සේගේ මාර්ග ගැන මෙම වාර්තාව මට උගන්වන්නේ කුමක්ද? මෙම පැතිවලින් වඩාත් යෙහෝවඃවහන්සේ මෙන් වීමට මට හැක්කේ කෙසේද? මේ ආකාරයෙන් බයිබලය කියවීම ප්‍රිය උපදවන මෙන්ම විපාකදායී අද්දැකීමක්ය.
ඊළඟට අවධානය යොමු කරනු ලැබුවේ, වැඩසටහනේ “යෙහෝවඃවහන්සේට භයවෙන්නන්හට උපකාරවත්වන සැපයුම්” යන තුන්වන කථා මාලාවටය. අදදින යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් වෙනුවෙන් ප්රාතිහාර්ය සිදු නොකළද, තමන්වහන්සේට භයවෙන්නන්ට උන්වහන්සේ සැබවින්ම ආධාර කරනසේක. (2 පේතෘස් 2:9අ, 10අ) මෙම අර්බුද කාලවලදී අපට උපකාර කිරීමට යෙහෝවඃවහන්සේගෙන් ලැබී ඇති සැපයුම් හතරක් මෙම කථා මාලාවේ සලකා බලන ලදි: (1) යෙහෝවඃවහන්සේ, ස්වකීය ආත්මය කරණකොටගෙන, අපගේ ශක්තියෙන් ඔබ්බට ඇති වැඩ ඉටු කිරීමට අපව බලවත් කරනසේක. (2) ස්වකීය වචනය කරණකොටගෙන, උන්වහන්සේ අපට උපදෙස් සපයා අපව මඟ පෙන්වනසේක. (3) මිදීමේ මිලය කරණකොටගෙන, උන්වහන්සේ අපට පිරිසිදු හෘදය සාක්ෂියක් දානය කරනසේක. (4) වැඩිමහල්ලන් ඇතුළු, ස්වකීය සංවිධානය තුළින්, උන්වහන්සේ අපට මඟ පෙන්වීම සහ ආරක්ෂාව සපයනසේක. (ලූක් 11:13; එපීස 1:7; 2 තිමෝති 3:16ආ; හෙබ්‍රෙව් 13:17) මෙම සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජනගැනීම මගින්, විඳදරාගැනීමටත්, එනයින් යෙහෝවඃවහන්සේගේ අනුමැතිය දිනාගැනීමටත් අපට හැකි වනු ඇත.
සෙනසුරාදා සවස අවසාන කථාවේ තේමාව වූයේ, මලාකීගේ අනාගතවාක්‍යය මත පදනම් වූ “යෙහෝවඃවහන්සේගේ භයංකර දවස ළඟය” යන්නය. පොදු යුගයේ 70දී යෙරුසලම මත විනිශ්චය පැමිණියාක් මෙන්, ඈත අතීතයේදී භයංකර දවස් තිබී ඇත. එහෙත්, සියලු මිනිස්වර්ගයා අද්දකින වඩාත්ම භයංකර දවස පැමිණෙනු ඇත්තේ, ‘දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන,’ පැමිණෙමින් තිබෙන යෙහෝවඃවහන්සේගේ දවසේ වනු ඇත. (2 තෙසලෝනික 1:6-8) එය කොතරම් ඉක්මනින් පැමිණේවිද? කථිකයා මෙසේ ප්‍රකාශ කළේය: “අන්තිමය ළඟය! යෙහෝවඃවහන්සේ දවස හා පැය දන්නාසේක. උන්වහන්සේ ස්වකීය කාල සටහන වෙනස් නොකරනසේක. ඉවසීමෙන් යුතුව විඳදරාගැනීමට අපගෙන් ඉල්ලා තිබේ.”
දවස් දෙකක් එවිටමත් ගෙවී ගොස් තිබූ බව විශ්වාස කිරීම අසීරු විය. අන්තිම දවසේදී තිබෙන්ට යන්නේ මොනවාද?
‘දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේට ගෞරව දෙන්න’
තුන්වන දවසේ තේමාව පදනම් වී තිබුණේ එළිදරව් 14:7 මතය. මෙම උදෑසන වැඩසටහන අතර තුර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව අනිකුත් සියලු ආගමික සංවිධානවලින් වෙන් කරන්නාවූ මූලධර්මීය ඉගැන්වීම් සමහරක් කැපීපෙනෙන්ට සැලසුවාවූ කථා මාලාවක් ඉදිරිපත් විණි.
“ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමක් තිබෙනු ඇත” නම්වූ කථාවේදී, කථිකයා උනන්දුමත් ප්‍රශ්නයක් නැඟීය: “එම දහස්-අවුරුදු විනිශ්චය දවස අතරතුරේදී, සාතන්ගේ දේවල පිළිවෙළේ මෙම අවසාන අවුරුදුවල ඇදහිලිවන්ත මියගිය අය නැවත නැගිටුවනු ලබන්නේ කවදාද?” පිළිතුර? “බයිබලය පවසන්නේ නැත” යයි කථිකයා පැහැදිලි කළේය. “කෙසේවෙතත්, අර්මගෙදොන්හි බේරී ජීවත්වන්නන්ගේ මහත් සමූහය සමඟ, විනිශ්චය දවස පුරා සිදුවෙන්ට යන අතිමහත් අධ්‍යාපන කර්තව්‍යයේ හවුල් වීම සඳහා, අපගේ දවස්වල මියගිය අය පළමුවෙන්ම නැවත නැගිටුවනු ලැබීම තර්කානුකූල දෙයක් නොවන්නේද? ඇත්තෙන්ම, එසේය!” බේරී ජීවත්වන්නන් සිටිනු ඇද්ද? සහතිකවම එසේ සිටිනු ඇත. මේ ගැන අපට සහතික කරන බයිබල් ඉගැන්වීම් සහ උදාහරණ, “මහත් පීඩාවෙන් ගැළවී ජීවත්වීම” යන ඊළඟ කථාවේ පැහැදිලි කෙරිණි.
බයිබලය ඉරණම් දෙකක්—එනම්, අසංඛ්‍යාත මිලියන ගණනකට පරාදීස පොළොවක සදාකාල ජීවනය සහ ක්‍රිස්තුස්වහන්සේ සමඟ උන්වහන්සේගේ රාජ්‍යයේ පාලනය කිරීමට යන සීමිත සංඛ්‍යාවකට, අමරණීය ස්වර්ගික ජීවනය—විස්තර කරන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ කලක සිට වටහාගෙන සිටිති. මෙම ස්වර්ගික බලාපොරොත්තුව “කුඩා රැළ, භය නොවෙල්ලා” යන කථාව තුළ සාකච්ඡා කෙරිණි. (ලූක් 12:32) වත්මන් ලෝක තත්ත්වය දෙස බලන කල, කුඩා රැළ නිර්භීත විය යුතුය; ඔවුන් සෑම කෙනෙකුම අවසානය දක්වා විඳදරාගත යුතුය. (ලූක් 21:19) “ඔවුන්ගේ නිර්භීතකම,” කථිකයා පැවසූ පරිදි, “මහත් සමූහයේ අයව දිරිගැන්වීමට දායක වේ. මේ පොළොව අද්දැක තිබෙන වඩාත්ම දරුණු අර්බුදකාරි අවස්ථාවේදී ගැළවීම බලාපොරොත්තුවෙන් ඔවුන්ද එවැනි නිර්භීත ආකල්පයක් වගා කළ යුතුය.”
වැඩසටහනේ පෙරවරුව අවසානයේදී, ඔබ ඉදිරියේ තිබෙන තේරීම් නමැති බයිබල් නාට්‍යය සබය විසින් සතුටින් නරඹන ලදි. යෝෂුවාගේ දවස්වලදී මෙන්ම අනාගතවක්තෘ එලියාගේ දවස්වලදී, ඉශ්රායෙල්වරුන් සිටියේ සන්ධිස්ථානයකය. තේරීමක් කිරීමට තිබිණි. එලියා මෙසේ පැවසුවේය: “නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව පලයල්ලා. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව පලයල්ලා”. (1 රාජාවලිය 18:21) අදදිනත්, මිනිස්වර්ගයා සිටින්නේ සන්ධිස්ථානයකය. මෙය වනාහි කල්පනා දෙකක් අතරේ හිරවී සිටීමට කාලයක් නොවේ. හරි තේරීම කුමක්ද? වයස්ගතව සිටි යෝෂුවා කළ තේරීමමය. ඔහු මෙසේ පැවසුවේය: “මමද මාගේ පවුලද ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] සේවයකරමු.”—යෝෂුවා 24:15.
හදිසියේම වාගේ ඉරිදා අපරභාගය පැමිණි බව පෙනෙන්ට තිබිණ, “දැන් සැබෑ දෙවියන්වහන්සේට භය විය යුතු හේතුව” යන තේමාවෙන් යුත් ප්‍රසිද්ධ අනුශාසනාවට කාලය පැමිණියේය. එළිදරව් 14:6, 7හි සියලු මිනිස්වර්ගයාගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටිනු ලැබේ: “දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දීපල්ලා.” දෙවියන්වහන්සේට භයවීම දැන් හදිසි දෙයක් වන්නේ මන්ද? එම ශුද්ධ ලියවිලි පදය ඊළඟට පවසන්නාක් මෙන්, “උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණු[ණ]” බැවිනි. දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ රජු වශයෙන් දැන් සිංහාසනාරූඪ වී සිටින, ස්වකීය පුත්‍රයාණන් මගින්, යෙහෝවඃවහන්සේ, මෙම වත්මන් අපිරිසිදු, කැරලිකාර දේවල පිළිවෙළ සමාප්තියකට ගෙනෙනු ඇත. දෙවියන්වහන්සේට භයවෙන්නන්ට සහනය ගෙන ඒමටත්, එමෙන්ම අපගේ භූමික නිවස ආරක්ෂා කරගැනීමටත් තිබෙන එකම මඟ මෙය බව කථිකයා පැහැදිලි කළේය. මේවා, මෙම දේවල පිළිවෙළේ අවසාන දවස් බැවින්, අප දැන් සැබෑ දෙවියන්වහන්සේට භය වී ගෞරවය දීම හදිසි දෙයකි!
එම සතියට නියමිත මුරටැඹ පාඩමේ සාරාංශය ඉදිරිපත් වූවායින් පසු, අවසාන කථිකයා වේදිකාවට පැමිණියේය. සමුළු වැඩසටහන ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, දේව භය, සමුළුවට පැමිණ සිටින්නන් සඳහා මහත් අර්ථයක් ගෙන ඇතැයි ඔහු පැහැදිලි කළේය. දෙවියන්වහන්සේට භය වන්නන්ට පැමිණෙන බොහෝ ප්‍රයෝජන ගැන ඔහු අවධාරණය කළේය. කථිකයා, යුනයිටඩ් බයි ඩිවයින් ටීචිං [දිව්‍ය ඉගැන්වීමෙන් එක්සත්වීම] නමැති නව වීඩියෝ පටයක මුදාහැරීම ගැන නිවේදනය කළේය. එය 1993-94 වකවානුවේ පැවැති “දිව්‍ය ඉගැන්වීම” ජාත්‍යන්තර සමුළුවල විශේෂ අංග හුවා දක්වයි. කථාව අවසානයට ළංවෙනවාත් සමඟම, බොහෝදෙනෙකු සිතුවේ, ‘අපට ඊළඟ වසරේ කුමක් බලාපොරොත්තුවෙන් සිටිය හැකිද?’ කියායි. බොහෝ ස්ථානවල දවස්තුනේ සමුළු අපට අපේක්ෂා කළ හැක.
අවසානයේදී, මලාකී 3:16හි මෙසේ පවසන දෙයට කථිකයා යොමු දක්වා සිටියේය: “එකල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමග කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද [යෙහෝවඃවහන්සේද, NW] කන්දී ඇසූසේක, එවිට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ [මත කල්පනා කළ, NW] අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.” යෙහෝවඃවහන්සේගේ නාමය මත කල්පනා කිරීමටත් දේව භයින් යුතුව සේවය කිරීමටත් පැහැදිලි අධිෂ්ඨානයක් ගෙන සමුළුවට පැමිණි අය සමුළුවෙන් පිටවී ගියහ.
[24වන පිටුවේ පින්තූරය]
දේව භය දිගටම පිළිබිඹු කිරීමට බව්තීස්ම අපේක්ෂකයන්ට අවශ්‍යය
[25වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේට සේවය කිරීම තීරණාත්මක වීමේ අවශ්‍යතාව, “ඔබ ඉදිරියේ තිබෙන තේරීම්” නාට්‍යයෙන් ඊට සවන්දෙන්නන්ට කාවද්දනු ලැබිණි
[26වන පිටුවේ පින්තූරය]]
“ඔබ ප්‍රේම කළ යමෙක් මියගිය විට” නමැති නව විවරණිකාව ලබාගැනීමට සමුළුවට පැමිණි සියල්ලෝ සතුටු වූහ