දැඩි උත්සාහය දියුණුවට මඟ පාදයි
ෂ්යූසෙ මැග්ලොව්ස්කි විසින් පවසන ලද පරිදි
පොලිස් රාළහාමි මගේ අතින් අල්ලාගත් විට, මගේ පියා සිටින්නේ කොතනදැයි මා බැලුවා. කොහොමවුණත්, මා නොදැනුවත්වම, මේවන විටත් එයාව පොලිසියට ගෙනගොස් තිබුණා. මා එහි ගියවිට, පොලිස් රාළහාමිලා බයිබල් ඇතුළුව, අපගේ සියලුම ප්‍රකාශන බිම ගොඩ ගැසුවා. මෙය දුටු විට, මගේ පියා ඇසුවා: “ඔබ බයිබලුත් බිම දමනවාද?” කියා පොලිස් ස්ථානාධිපතිවරයා ඊට තම කනගාටුව ප්‍රකාශ කර, බයිබල් අහුලා ඒවා මේසය මත තැබුවා.
අපි අන්තිමේදී පොලිසියට පැමිණියේ කොහොමද? අපි කරමින් සිටියේ මොනවාද? බයිබල් පවා අපෙන් ගත් නිසා, අපි සිටියේ අදේවදෘෂ්ටි පොලිස් ප්රාන්තයකද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට, මා ඉපදීමට පවා පෙර, 1925 වසර වෙතට අපි යා යුතුව තිබෙනවා.
එම වසරේදී මගේ පියා එස්ටෙෆැනෝ මැග්ලොව්ස්කි හා මගේ මව ෂ්යූලිඇන එදා යුගොස්ලාවියාව ලෙස හැඳින්වූ රටෙන් පිට වී බ්‍රසීලයේ සැවෝ පවුලෝහි පදිංචියට ගියා. පියා රෙපරමාදු සහ මව කතෝලික වුණත්, ආගම ඔවුන් අතර භේදයකට හේතු වුණේ නැහැ. ඇත්තටම, අවුරුදු දහයකට පසුව සිදුවූ යමක් නිසා, ඔවුන් ආගමික වශයෙන් එකමුතු වුණා. හංගේරියානු බසින් ලියා තිබෙන මළවුන්ගේ තත්වය විස්තර කළ පින්තූර පොත් පිංචයක් පියාගේ මස්සිනා ඔහුට ගෙනැවිත් දුන්නා. ඔහුට එය තෑග්ගක් හැටියට ලැබී තිබුණු අතර, එය කියවා, විශේෂයෙන්ම “නිරය” පිළිබඳ කොටස ගැන ඔහුගේ අදහස තමාට දන්වන මෙන් ඔහු පියාගෙන් ඉල්ලා සිටියා. පියා මුළු රෑම පොත් පිංචය කීපවතාවක්ම කියවා, ඊළඟ දවසේදී, ඔහුගේ අදහස විමසන්ට ඔහුගේ මස්සිනා පැමිණි විට, පියා ඒකාන්ත ලෙසම මෙසේ ප්‍රකාශ කළා: “මෙන්න සත්‍යය!”
සුළුවෙන් පටන්ගැනීම්
එම ප්රකාශනය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වූ නිසා, ඔවුන්ගේ විශ්වාසයන් හා ඉගැන්වීම් ගැන තව තවත් දැනගැනීමට ඔවුන් දෙදෙනා ඒ අයව සෙව්වා. අන්තිමේදී ඔවුන්ව හමුවූ විට, සාක්ෂිකරුවන් සමඟ අපගේ පවුලේ සාමාජිකයන් කීපදෙනෙක් බයිබල් සාකච්ඡා පැවැත්වූවා. එම අවුරුද්දේදී, එනම්, 1935දී, හංගේරියානු බසින් නිතිපතා බයිබල් පාඩමක් ආරම්භ කළ අතර, සාමාන්‍යයෙන් අටදෙනෙක් පමණ ඊට සහභාගි වුණා, එදා පටන් අපේ නිවසෙහි නිතිපතා බයිබල් පාඩම් පවත්වා තිබුණා.
අවුරුදු දෙකක් පාඩම් කිරීමෙන් පසු, 1937දී බව්තීස්ම වූ පියා, යෙහෝවඃවහන්සේගේ උද්යෝගවත් සාක්ෂිකරුවෙක් වුණා, ගෙයින්-ගෙට දේශනා වැඩයේ හවුල්වෙමින් සහ පත් කළ සේවකයෙක් මෙන්ම, පොත් පාඩම් පවත්වන්නෙක් හැටියට කටයුතු කළා. සැවෝ පවුලෝහි, විලා මාරියානා ප්‍රදේශයේ පළමු සභාව පිහිටුවන්ට ඔහු උපකාර කළා. පසු කලක සභාව නගර මධ්‍යයට ගෙන යනු ලැබූ අතර, එය මධ්‍යම සභාව වශයෙන් හඳුන්වනු ලැබුවා. අවුරුදු දහයකට පසුව, ඉපිරැංග ප්‍රදේශයේ දෙවන සභාව පිහිටුවනු ලැබුවා, තවද පියා එහි සභා සේවක වශයෙන් පත් කරනු ලැබුවා. වසර 1954දී, මෝඉන්යො වෙල්යෝ යන පළාතේ තුන්වන සභාව පිහිටුවනු ලැබුවා, එහිත් ඔහු සභා සේවක වශයෙන් කටයුතු කළා.
මෙම කණ්ඩායම ස්ථිර වූ වහාම, සැවෝ බෙර්නාර්ඩෝ ඩො කාම්පෝහි අසල පිහිටි කණ්ඩායමකට ඔහු උපකාර කිරීමට පටන්ගත්තා. සාක්ෂිකරුවන්ගේ මෙම කුඩා කණ්ඩායමේ උත්සාහයට ලැබුණු යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදයට ස්තුතිවන්ත වෙන්ට, වර්ධනය විස්මජනක වී තිබෙනවා, එමනිසා 1994 මහා සැවෝ පවුලෝහි සභා 760ක ප්‍රචාරයකයන් 70,000කට වැඩිය සිටියා. මෙම වර්ධනය දැකීමට පියා නොසිටීම කනගාටුවට කරුණක්. 1958හි ඔහුට වයස අවුරුදු 57ක් වන විට, ඔහු මියගියා.
පියාගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරමින්
වෙනත් මේරූ ක්‍රිස්තියානීන් මෙන්, මගේ පියාගේ කැපීපෙනෙන ගතිලක්ෂණයක් නම්, ඔහුගේ ආගන්තුක සත්කාරයයි. (3 යොහන් 1, 5-8 බලන්න.) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 1936දී එක්සත් ජනපදයෙන් බ්‍රසීලයට පැමිණි ආන්ටෝන්යෝ ආන්ඩ්රාඩෙ සහ ඔහුගේ බිරිඳ හා පුතා, මෙන්ම සහෝදර හා සහෝදරී යූල් ආගන්තුකයන් වශයෙන් ඇතුව සිටීමට අපට වරප්‍රසාදය ලැබුණා. වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් ශිෂ්‍යයන් දෙදෙනෙක් වන, හැරි බ්ලැක් හා ඩිලර්ඩ් ලෙත්කෝ අපගේ නිවසේ ආගන්තුකයන් වශයෙන් සිටියා, වසර 1945දී බ්‍රසීලයට පැවරුම් ලත් පළමු මිෂනාරිවරුන් ඔවුන් වුණා. බොහෝදෙනෙක් ඔවුන්ට පසුව පැමිණියා. මෙම සහෝදර සහෝදරියන් අපගේ පවුලේ සෑම කෙනෙකුටම නිරන්තර ධෛර්යයේ උල්පතක් වුණා. මෙය අගය කිරීම හා අපගේ පවුලේ ප්‍රයෝජනය සඳහා ආගන්තුක සත්කාරය පිළිබඳ ක්‍රිස්තියානි ගුණාංගය සම්බන්ධයෙන් අපේ ආදර්ශය අනුකරණය කරන්ට මා උත්සාහ කර තිබෙනවා.
වසර 1935දී පියා සත්‍යය ඉගෙනගන්නා විට, මගේ වයස අවුරුදු 9ක්ව තිබුණත්, වැඩිමල් පුතා හැටියට, ඔහුගේ දිව්‍යාණ්ඩු කටයුතුවලට මා හවුල් වීමට පටන්ගත්තා. අංක 141, එසා ඩෙ කේරොස් වීථියේ, සැවෝ පවුලෝහි සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙහි තිබූ රාජ්‍ය ශාලාවේ තිබූ රැස්වීම්වලට අප සියලුදෙනාම ඔහු සමඟ ගියා. මගේ පියා මට උගන්වා, මට දුන් පුහුණුවට ස්තුතිවන්ත වන්ට, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට දැවෙන ආශාවක් මම වර්ධනය කළා, තවද 1940දී යෙහෝවඃවහන්සේට මාවම කැප කර, සැවෝ පවුලෝ මැදින් ගලා බසින දැන් දූෂිතව තිබෙන ටියටේ නදියෙහි දියේ ගිල්වනු ලැබීමෙන් මෙය සංකේත කළා.
අන්‍යයන් තුළ සත්‍යයේ පණිවුඩය සිටුවීමෙන් හා වතුර දැමීමෙන්ද, ඔවුන් සමඟ ගෘහ බයිබල් පාඩම් පැවැත්වීමෙන්ද, ශුභාරංචියේ නිත්‍ය ප්‍රචාරකයෙකු වීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න මා ඉක්මනින්ම ඉගෙනගත්තා. බ්‍රසීලය තුළ යෙහෝවඃවහන්සේගේ කැපවූ සාක්ෂිකරුවන් දහස් ගණනක් සිටිනවා දැන් මා දකිද්දී, සත්‍යය පිළිබඳ දැනුමක් ලබාගැනීමට හෝ ඔවුන්ගේ අගය ගැඹුරු කිරීම සඳහා ඔවුන්ගෙන් බොහෝමයකට උපකාර කිරීමට උන්වහන්සේ විසින් මාව පාවිච්චි කළ බව දැනගැනීමෙන් මට ගැඹුරු සතුටක් දැනෙනවා.
මා උපකාර කළ අය අතරෙහි කෙනෙක් නම් ෂ්වැකින් මෙලෝය, ඔහුව මට මුණ ගැසුණේ ගෙයින්-ගෙට සේවයේදීය. මම වෙනත් මනුෂ්‍යයන් තිදෙනෙකුට කතා කරමින් සිටියා, නමුත් ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. එවිට මා දුටුවා තරුණ පිරිමි ළමයෙක් අපට එකතු වී දැඩි වුවමනාවකින් සවන් දෙමින් සිටින බව. ඔහුගේ උනන්දුව දැකීම නිසා, මාගේ අවධානය ඔහුට යොමු කර, හොඳ සාක්ෂියක් දීමෙන් පසු, සභා පොත් පාඩමට ඔහුට ආරාධනා කළා. ඔහු පොත් පාඩමට පැමිණියේ නැහැ, නමුත් ඔහු දිව්‍යාණ්ඩු සේවා පාසැලට පැමිණ සිටියා, ඉන්පසු ඔහු රැස්වීම්වලට නිතිපතාම පැමිණියා. ඔහු හොඳින් දියුණු වී, බව්තීස්ම ලැබ, වසර ගණනාවක් සඳහා සිය බිරිඳත් සමඟ සංචාරක සේවයේ යෙදුණා.
ඊළඟට මගේ රැකියා ස්ථානයේ සිටි ආර්නාල්ඩෝ ඕර්සි ගැන සලකා බලමු. මා සෙසු සේවකයෙකුට නිතිපතා සාක්ෂි දැරුවා, රැවුළ වවාගත් තරුණ මනුෂ්‍යයෙකු සෑමවිටම සවන් දුන් බව මා දුටුවා, එමනිසා මා ඔහුට කෙළින්ම කතා කළා. ඔහු තද කතෝලික පවුලකට අයත් කෙනෙකු වූ අතර, දුම්පානය, අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ජූඩෝ සටන් ක්‍රමය පුහුණු වීම වැනි කාරණා ගැන බොහෝ ප්‍රශ්න ඇසුවා. බයිබලය පවසන දෙය මා ඔහුට පෙන්නුවා, ඊළඟ දවසේදී ඔහු මා සමඟ ගොස්, ඔහුගේ දුම් පයිප්පය හා ලයිටරයද, ඒ එක්කම කුරුසයත්, ඔහුගේ අසභ්‍ය චිත්‍රපටත් විනාශ කර, ඔහුගේ රැවුළ කපා දැම්මා. විනාඩි ගණනාවකදී වෙනස් මනුෂ්‍යයෙක් වුණා! ඔහු ජූඩෝ පුහුණුවීමත් නවතා දමා, ඔහු සමඟ දිනපතා බයිබලය පාඩම් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඔහුගේ බිරිඳගෙන් හා පියාගෙන් ඔහුට විරෝධතාව පැමිණියත්, ඔහු අවට පදිංචිව සිටි සහෝදරයන්ගේ උපකාරය ඇතුව, ඔහු ආත්මික ලෙස හොඳින් දියුණු වුණා. කෙටි කාලයකදී, ඔහු බව්තීස්ම ලැබුවා, තවද අදදින ඔහු සභා වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කරනවා. ඔහුගේ බිරිඳ හා දරුවනුත් සත්‍යය පිළිගත්තා.
රාජ්‍ය සේවයෙහි හවුල්වීම
මට අවුරුදු 14ක් පමණ වන විට, දැන්වීම් ප්රචාරක ආයතනයක මා වැඩ කිරීමට පටන්ගත්තා, එහිදී මා නාම පුවරු පින්තාරු කිරීමට ඉගෙනගත්තා. මෙය ඉතා ප්‍රයෝජනවත් වුණා, මක්නිසාද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රසිද්ධ කථා හා සමුළු ප්‍රචාරය කෙරෙන පළඳින දැන්වීම් පුවරු හා බැනර් පින්තාරු කිරීමට, වසර ගණනාවක් සඳහා සැවෝ පවුලෝහි සිටි එකම සහෝදරයා වූයේ මා පමණයි. වසර 30ක් තිස්සේ, සමුළු සංඥා අංශයේ අවේක්ෂකයා වශයෙන් සේවය කිරීමේ වරප්‍රසාදය මට තිබුණා. කලට වේලාවට සංඥා පින්තාරු කිරීමට හැකිවන පිණිස, සමුළු ශාලාව තුළ නිදාගනිමින් පවා, සමුළුවල වැඩ කිරීම සඳහා මා සෑමවිටම මාගේ නිවාඩු තියාගත්තා.
සමිතියේ ශබ්ද විකාශන මෝටර් රථය සමඟ වැඩ කිරීමට මට ප්‍රස්තාව ලැබුණා, එවකට එය අලුත් දෙයක් වුණා. අපි අපගේ බයිබල් ප්‍රකාශන රාක්කයක් මත තබා, ශබ්ද විකාශන මෝටර් රථය මගින් පටිගත කළා වූ පණිවුඩයක් ප්‍රචාරය කරද්දී, සිදුවන දෙය බැලීමට ජනයා ඔවුන්ගේ නිවාසවලින් ඉවතට පැමිණි විට, අපි ඔවුන්ට කතා කරනවා. රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රසිද්ධ කිරීමට අපි පාවිච්චි කළ තවත් මාධ්‍යයක් නම්, එහා මෙහා ගෙන යා හැකි ග්රැමෆෝනයයි, සමිතියේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට පාවිච්චි කළ තැටි තවමත් මා ළඟ තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ බයිබල් පොත් පත් බෙදා හරිනු ලැබුවා.
ඒ කාලයේදී, කතෝලික පල්ලිය සැවෝ පවුලෝ වීථී ඔස්සේ දිග පෙරහැරවල් ගියා, බොහෝවිට පිරිමින් මාර්ගය පෑදීම සඳහා ඉදිරියෙන් ගියා. එක් ඉරිදාවක, පියා සහ මම මුරටැඹ හා පිබිදෙව්! බෙදාහරින විට, දිග පෙරහැරක් පැමිණියා. පියා පුරුද්දක් වශයෙන් තොප්පියක් පැළඳගෙන සිටියා. පෙරහැරේ ඉදිරියෙන් එන එක් මනුෂ්‍යයෙක්: “ඔබගේ තොප්පිය ගළවා දමන්න! පෙරහැරක් එන බව ඔබට පෙනෙන්නේ නැද්ද?” පියා තොප්පිය නොගැළවූ විට, තවත් මනුෂ්‍යයන් අප වෙතට පැමිණ, සාප්පුවක ජනේලයක් ළඟට අපව තල්ලු කර, කලබලයක් ඇති කළා. මෙය පොලිස් රාළහාමි කෙනෙකුගේ අවධානයට යොමු වී, සිදුවන්නේ කුමක්දැයි බැලීමට ඔහු පැමිණියා. එම මනුෂ්‍යයන්ගෙන් කෙනෙක් ඔහුගේ බාහුවෙන් අල්ලා, ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කළා. “ඔබගේ අත මගේ ඇඳුමෙන් ඉවතටගන්න” කියා පවසමින්, ඔහුගේ අතට පහරක් ගැසුවා. ඉන්පසු ඔහු ඇසුවා සිදුවන්නේ කුමක්ද කියා. පෙරහැර යද්දී මගේ පියා තොප්පිය ගළවන්නේ නැතැයි කියා ඔහු පැවසුවා, තවදුරටත්: “මම අපොස්තලික රෝමානු කතෝලිකයෙක්” කියා කීවා. අනපේක්ෂිත පිළිතුරු වුණේ: “ඔබ රෝමානුවෙක් කියා කියනවා? එසේනම් ආපසු රෝමයට යන්න! මෙය බ්‍රසීලයයි.” එවිට ඔහු අප වෙතට හැරී, “පළමුවෙන් මෙතැන සිටියේ කවුදැයි” ඇසුවා. අපි සිටි බව පියා පිළිතුරු දුන් විට, පොලිස් රාළහාමි මනුෂ්‍යයන්ව පිටත් කර යවා, අපගේ වැඩය කරගෙන යන්ට කියා කීවා. මුළු පෙරහැර යන තෙක්, ඔහු අප අසල රැඳී සිටියා—පියාගේ තොප්පියත් ඔහුගේ හිසේ රැඳී තිබුණා!
මෙවැනි සිද්ධීන් කලාතුරකින් සිදුවුණේ. එහෙත් ඒවා සිදුවූ විට, සුළුතරයක් සඳහා යුක්තිය කෙරෙහි විශ්වාස කර, කතෝලික සභාවේ පැත්ත නොගත් මනුෂ්‍යයන් සිටි බව දැනගැනීමට ලැබීම දිරිගන්වනසුලුයි.
තවත් අවස්ථාවකදී, මට යෞවනයෙක් මුණ ගැසුණ අතර, ඊළඟ සතියේ එන්ට කියා මට කීවා. මා එහි ගියවිට, ඔහු මාව හොඳින් පිළිගෙන, ඇතුළට ඒමට ඉල්ලා සිටියා. යෞවනයන් කල්ලියක් මා වට කරගෙන, සමච්චල් කරමින් මාව ප්‍රකෝප කිරීමට තැත් කිරීම ගැන මා පුදුම වුණා! තත්වය වඩාත් භයානක වූ අතර, ඔවුන් ඉක්මනින්ම මට පහර දෙනු ඇතැයි මා සිතුවා. මට යම්කිසිවක් සිදුවුවහොත් ඔහු සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත්, මා සිටින තැන මාගේ පවුලේ අය දන්නා බවත්, මා ඇතුළට කැඳවූ කෙනාට කීවා. මට යන්ඩ ඉඩ දෙන්න කියා මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා, ඔවුන් ඊට එකඟ වුණා. කොහොමවුණත්, මාව තනියෙන් මුණ ගැසීමට ඔවුන්ගෙන් කිසිවෙකුට වුවමනා නම්, මා සූදානම් බව ඔවුන්ට දැන්නුවා. පසුව මා දැනගත්තා ඔවුන් ආගම් පිස්සන්ගේ කණ්ඩායමක් බව, ඔවුන් ස්ථානීය පූජකයාගේ මිත්‍රයන් වූ අතර, මෙම රැස්වීම සූදානම් කිරීමට ඔවුන්ව දිරිගන්වා තිබෙන්නේ ඔහුයි. මම ඔවුන්ගේ ග්රහණයෙන් නිදහස් වීම ගැන සතුටු වුණා.
ඇත්තවශයෙන්ම, ආරම්භයේදී, බ්‍රසීලයේ දියුණුව ඉතාම හෙමින් සිදුවුණේ, නොදැනෙන තරම්. අප සිටියේ “සිටුවීමේ” මුල් අදියර තුළ, ඒවා “රැකබලාගැනීමට” හා අපගේ ඵලවල “අස්වැන්න නෙළාගැනීමට” අපට තිබුණේ ටික කාලයක් පමණයි. ප්‍රේරිත පාවුල් ලියූ දෙය අප සෑමවිටම සිහිපත් කළා: “මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.” (1 කොරින්ති 3:6, 7) වසර 1945දී පළමු ගිලියද් උපාධිධාරීන් දෙදෙනාගේ පැමිණීමත් සමඟම, බොහෝ කලක් තිස්සේ බලා සිටි වර්ධනය සඳහා කාලය පැමිණ ඇතැයි අපට හැඟුණා.
විරෝධතාව ඉදිරියෙහි නිර්භීතකම
කෙසේවෙතත්, විශේෂයෙන්ම යුරෝපයෙහි IIවන ලෝක යුද්ධයෙන් පසු, විරෝධතාව නොමැතිව වර්ධනය පැමිණීමට නොතිබිණ. සාමාන්‍ය ජනයා හා ඇතැම් අධිකාරීන් අපගේ මධ්‍යස්ථ ස්ථාවරය තේරුම් නොගත් නිසා, එළිපිටම පීඩා කළා. වසර 1940 එක් අවස්ථාවකදී, සැවෝ පවුලෝ මධ්‍යයෙහි පැළඳගත් දැන්වීම් පුවරු ඇතුව වීථි සේවය කරමින් සිටින විට, පොලිස් රාළහාමි කෙනෙක් මට පිටුපසින් පැමිණ, දැන්වීම් පුවරු ඉරා දමා, මාව පොලිසියට ගෙනයෑම සඳහා මාගේ බාහුවෙන් අල්ලාගත්තා. මාගේ පියා සිටීදැයි කියා මා වටපිට බැලුවා, නමුත් ඔහු පෙනෙන්ට සිටියේ නැහැ. මා නොදැන සිටියත්, බ්‍රසීලයේ වැඩ අධීක්ෂණය කරන සහෝදර යූලි ඇතුළුව, මාගේ පියා සහ වෙනත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්ම මේවන විටත් පොලිසියට රැගෙන ගොස් තිබුණා. ආරම්භක ඡේදයේ ඇඟවූ පරිදි, එහිදී මට මාගේ පියාව මුණ ගැසුණා.
මා බාලයෙක් වූ නිසා, මාව රඳවා තබාගත නොහැකි බැවින්, පොලිස් රාළහාමි කෙනෙක් ඉක්මනින්ම මාව ගෙදර ගෙන ගොස්, මගේ මවට භාර දුන්නා. එදා සවසම සහෝදරියනුත් නිදහස් කරනු ලැබුවා. පසුව සහෝදර යූල් හැර, අනික් සහෝදරයන් සියලුදෙනාම, ගණනින් දහදෙනෙක් පමණ, නිදහස් කිරීමට පොලිසිය තීරණය කළා. කෙසේවෙතත්, සහෝදරයෝ කියා සිටියේ: “අපි ඔක්කොම යනවා, නැත්නම් එක්කෙනෙක්වත් යන්නේ නැහැ” කියාය. පොලිස් රාළහාමිලාද දැඩිව සිටි නිසා, අපි සියලුදෙනාම එකට සීතල කාමරයක් තුළ සිමෙන්ති පොළොව මත මුළු රාත්‍රිය ගත කළා. ඊළඟ දවසේදී කිසිම කොන්දේසියක් නැතුව අප සියල්ලන්වම නිදහස් කළා. දැන්වීම් පුවරු සමඟින් සාක්ෂිදැරීම නිසා සහෝදරයන්ව කිහිපවතාවක්ම අත්අඩංගුවට ගනු ලැබුවා. දැන්වීම් පුවරු මගින් ප්‍රසිද්ධ කථාව හා ෆැසිසිසම් ඔර් ෆ්‍රීඩම් යන මාතෘකව ඇති පොත් පිංචයක්ද ප්‍රචාරය කළා, ඇතැම් අධිකාරීන් සිතුවා අපි ෆැසිස්ට්වාදයට පක්ෂයි කියා, මෙය වරදවා තේරුම්ගැනීම්වලට මඟ පෑදුවා.
අනිවාර්ය හමුදා සේවයත් තරුණ සහෝදරයන්ට ගැටලු ඇති කළා. වසර 1948දී, මෙම ප්‍රධාන ප්රශ්නය මත බ්‍රසීලයෙහි සිරගත කළ පළමු තැනැත්තා මමයි. මා සමඟ කුමක් කළ යුතුද කියා අධිකාරීන් දැන සිටියේ නැහැ. කාසාපාවා නගරයේ හමුදා බැරැක්කවලට මාව මාරු කළා, එහි ගෙවත්තේ එළවළු සිටුවීමට හා ඒවා බලාකියාගැනීමටත් නිලධාරීන් විසින් යම් ක්‍රීඩාවක් සඳහා පාවිච්චි කරන ලද කාමරයද පිරිසිදු කිරීමට මාව යොදවනු ලැබුවා. සාක්ෂිදැරීමට හා මනුෂ්‍යයන් සමඟ ප්‍රකාශන තැබීමට මට බොහෝ අවස්ථා තිබුණා. සමිතියෙන් ප්‍රකාශයට පත් කළා වූ චිල්රන් යන පොතේ පිටපතක් මුලින්ම පිළිගත්තේ අංශ භාර නිලධාරියයි. කාමරයකට කොටු වී සිටි හා ශාරීරික ව්‍යායාමවල යෙදීමට නොහැකි හේවායන් 30ක් හෝ 40කට පමණ ආගම ගැන ඉගැන්වීමට පවා මට පවරා තිබුණා. අන්තිමේදී, මාස දහයක් සිරභාරයේ සිටීමෙන් පසු, නඩුවිභාගයකට මාව ගෙනැවිත්, නිදහස් කරනු ලැබුවා. සමහර මනුෂ්‍යයන්ගෙන් මට විඳීමට සිදු වූ තර්ජන, නින්දා හා සම්ච්චල්වලට මුහුණ දීමට මට ශක්තිය දුන් යෙහෝවඃ වහන්සේට මා කෘතඥ වෙනවා.
විශ්වාසවන්ත හා පක්ෂපාත සහයිකාවක්
වසර 1951 ජූනි 2වනදා, මම බාර්බ්ර සමඟ විවාහ වුණා, එදා සිට අපේ දරුවන්ට ඉගැන්වීමෙහි හා ඔවුන්ව “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද” ඇති දැඩි කිරීමෙහි ඈ විශ්වාසවන්ත හා පක්ෂපාත හවුල්කාරියක් වී තිබෙනවා. (එපීස 6:4) අපේ දරුවන් පස්දෙනාගෙන් හතරදෙනෙක් විවිධ ක්ෂේත්රයන්හි යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටිනවා. අපේ බලාපොරොත්තුව නම්, අප සමඟ ඔවුනුත් සත්‍යයේ දිගටම සේවය කරමින්, සංවිධානයේ දියුණුවට හා සිදු කෙරෙන වැඩයට දායක වනු ඇතැයි කියාය. මේ සමඟ ඇති ඡායාරූපයෙහි වඩාගෙන සිටින ළදරුවා වූ, බාලයා හැරෙන්ට පවුල් සමාජිකයෝ සියල්ලෝම යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයෝය. හතරදෙනෙක් වැඩිමහල්ලෝ වන අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් ස්ථාවර පුරෝගාමීන් හැටියටත් සේවය කරනවා, මෙය හිතෝපදේශ 17:6හි සත්‍යතාව පැහැදිලි කරයි: “මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය.”
දැන්, මා අවුරුදු 68ක් වයස්ව සිටින අතර, මාගේ සෞඛ්‍යය එතරම් හොඳ නැහැ. වසර 1991දී, රුධිර නාළ තුනක තිබූ අවහිරතා ශල්‍යකර්මයක් මගින් හරිගස්සනු ලැබුවා. ශල්‍යකර්මය හා පසුව හුළං පිරවිය හැකි බටයක් පාවිච්චි කර රුධිර නාළයක් ශල්‍යකර්මයකින් අලුත්වැඩියා කරනු ලැබුවා. කෙසේවෙතත්, සැඌ බෙර්නාර්ඩෝ ඩො කාම්පෝහි සභාවක මුලසුන භාර අවේක්ෂක වශයෙන් මා නොකඩවා සේවය කරන අතර, මෙහි මුලින්ම වැඩ ආරම්භ කළා වූ, මගේ පියාගේ අඩිපාරේ යෑමට මා සතුටු වෙනවා. අපේ පරම්පරාව සැබවින්ම අසහාය එකකි, යෙහෝවඃවහන්සේගේ මෙසියානු රාජ්‍යය පිහිටුවීම පිළිබඳ දැනුම් දීමේ කිසිදාක නැවත නොකරන වරප්‍රසාදයට හවුල්වීමේ ප්‍රස්තාව තිබෙනවා. එබැවින්, පාවුල් විසින් තිමෝතිට ලියන ලද වචන අප කිසිවිටකත් අමතක නොකළ යුතුයි: “ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරපන්න, නුඹේ සේවය සම්පූර්ණකරපන්න.”—2 තිමෝති 4:5.
[23වන පිටුවේ පින්තූරය]
මගේ දෙමව්පියෝ, එස්ටෙෆැනෝ සහ ෂ්යූලිඇන මැග්ලොව්ස්කි
[26වන පිටුවේ පින්තූරය]
ෂ්යූසෙ හා බාර්බ්ර සමඟින් ඔවුන්ගේ පවුලේ යෙහෝවඃවහන්සේට කැප වූ සේවකයෝ